තේවාචික සඞ්ඝ පවාරණය

සීමාවට සඞ්ඝයා රැස්වූ පසු එක් භික්ෂුවක් විසින් “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං. අහං ආයස්මන්තං (තිස්සං) පවාරණා ඤත්තිඨපනං අජ්ඣෙසෙය්‍යං” යන වාක්‍යයෙන් අජ්ඣෙසක සම්මුතිය ලබාගෙන “සඞ්ඝො භන්තෙ ආයස්මන්තං (තිස්සං) පවාරණා ඤත්තිඨපනං අජ්ඣෙසති. ඨපෙතු භන්තෙ ආයස්මා (තිස්සො) පවාරණා ඤත්තිං” යි තුන් වරක් කියා සඞ්ඝස්ථවිරයන් වහන්සේට හෝ අන් වියත් තෙර නමකට හෝ පවාරණාඤත්තිය තැබීමට ආරාධනා කළ යුතු ය.

ඉක්බිති ආරාධනා ලත් තෙරුන් වහන්සේ විසින් “ආම ඨපෙමි ආවුසො” යි පිළිවදන් දී: “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං අහං ආයස්මන්තං (නාගං) විනයට පුච්ඡෙය්‍යං” යන වැකිය කියා විනය පුච්ඡක ඤත්තිය තැබිය යුතුය.

ආරාධනා කළ භික්ෂුව විසින් “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං අහං ආයස්මතා (තිස්සෙන) විනයට පුට්ඨො විස්සජ්ජෙය්‍යං” යි විනය විස්සජ්ජක ඤත්තිය තැබිය යුතු ය. ඉක්බිති මතු දැක්වෙන පරිදි විනය විචාරීම හා පිළිතුරු දීම කළ යුතුය.

ප්‍රශ්නය:-

“සම්මජ්ජනී පදීපො ච - උදකං ආසනෙන ච

පවාරණාය එතානි - පුබ්බකරණන්ති වුච්චති” යි

අර්ථකථාචාර්යයන් වහන්සේලා විසින් ප්‍රකාශිත පරිදි, පවාරණයට සඞ්ඝයා රැස්වීමට පළමු කළයුතු වූ හැමදීම ය, පහන් දැල්වීම ය, බොන පැන් - පරිභෝග පැන් එළවීම ය, අසුන් පැනවීම ය යන මේ කෘත්‍ය සතර කොට නිමවී ද?

පිළිතුර:- දැනට සූර්යාලෝකය ඇති බැවින් පහන් දැල්වීම නුවුවමනා ය. සෙස්ස කොට නිමවී ය.

ප්‍ර: “ඡන්දපවාරණා උතුක්ඛානං - භික්ඛු ගණනා ච ඔවාදො

පවාරණා ය එතානි - පුබ්බකිච්චන්ති වුච්චති” යි.

අර්ථකථාචාර්යයන් වහන්සේලා විසින් ප්‍රකාශිත පරිදි, ගෙනෙන ලද ඡන්දපවාරණයන් සඞ්ඝයා හට සැලකොට, නිමවී ද?

උ: සීමස්ථක සියලු භික්ෂූන් වහන්සේලා මෙහි රැස්ව අත්පස නො පිරිහෙලා කායසාමාග්‍රිය දී වැඩ සිටින බැවින් ඡන්දපාරිසුද්ධීන් ගෙන ඒමක් නැත්තේ ය.

ප්‍ර: සෘතුව වනාහි හේමන්තය-ගිම්හානය-වස්සානය යි තෙවැදෑරුම් වේ. ඒ සෘතූන් අතුරෙන් දැන් පැමිණ ඇති සෘතුව කිනම් සෘතුවක් ද?

උ: දැනට පැමිණ ඇති සෘතුව වස්සාන සෘතුව ය.

ප්‍ර: එක් එක් සෘතුවක පක්ෂ අට බැගින් ඇත්තේ ය. දැන් පැමිණ ඇත්තාවූ මේ වස්සාන සෘතුවෙන් කොතෙක් පක්ෂ ඉක්ම ගියේ ද? කොතෙක් පක්ෂ ශේෂව ඇත්තේ ද? මේ පැමිණ ඇති පක්ෂය කී වැනි පක්ෂය ද?

උ: මේ වස්සාන සෘතුවෙන් පක්ෂ පසක් ඉක්ම ගියේ ය. පක්ෂ දෙකක් ශේෂව ඇත්තේ ය. දැනට පැමිණ තිබෙන්නේ සවන පක්ෂය වේ.

ප්‍ර: දැන් මේ සීමාවට රැස්ව සිටින භික්ෂූන්ගේ සඞ්ඛ්‍යාව කොපමණ වන්නේ ද?

පිළිතුරු දෙනු.

ප්‍ර: අවවාද ලබාගැනීම සඳහා භික්ෂුණීන් විසින් කරන ලද ආයාචනය සඞ්ඝයාට සැලකොට නිමවී ද?

උ: මෙකල භික්ෂුණීන් නොමැති බැවින් ආයාචනයක් නැත්තේ ය.

ප්‍ර:

“පවාරණා යාවතිකා ච භික්ඛු

කම්මප්පත්තා සභාගාපත්තියො ච

න විජ්ජන්ති වජ්ජනීයා ච පුග්ගලා

තස්මිං න හොන්ති පත්තකල්ලන්ති වුච්චති” යි

අර්ථකථාචාර්යයන් වහන්සේලා විසින් ප්‍රකාශිත පරිදි, පවාරණය සාමාන්‍යයෙන් එකක් වුව ද, විශේෂ ලක්ෂණ වශයෙන් ‘චාතුද්දසී-පණ්ණරසී-සාමග්ගී’ ය යි දින වශයෙන් තුනක් ද, ‘සඞ්ඝ-ගණ-පුග්ගල’ ය යි කාරක පුද්ගලයන්ගේ වශයෙන් තුනක් ද, ‘තේවාචික-ද්වේවාචික-ඒකවාචික’ ය යි කර්තව්‍යාකාරයෙන් තුනක් ද වන බැවින් නව වැදෑරුම් වේ. දැනට කරන්නට යන මේ පවාරණය දින වශයෙන් කිනම් පවාරණයක් ද?

උ:

පණ්ණරසී පවාරණය යි.

ප්‍ර:

කාරක පුද්ගලයන්ගේ වශයෙන් කිනම් පවාරණයක් ද?

උ:

සඞ්ඝපවාරණය යි.

ප්‍ර:

කර්තව්‍යාකාර වශයෙන් කිනම් පවාරණයක් ද?

උ:

තේවාචික පවාරණය යි.

ප්‍ර:

තේවාචික පවාරණය යි කීයෙහි, එයට යටත් පිරිසෙයින් පස්නමක් හෝ පස්නමකට අධිකවූ හෝ භික්ෂු පිරිසක් වුවමනාය. එපමණ භික්ෂූහු දැනට මෙහි රැස්ව ඉන්නාහු ද?

උ:

එසේ ය.

ප්‍ර:

සියලුම භික්ෂූහු සභාගාපත්තීන්ගෙන් මිදුණාහු ද?

උ:

භික්ෂූහු ඔවුනොවුන් ඇවැත් දෙසා ගැනීමෙන් පිරිසිදු වූහ.

ප්‍ර:

එක්විසි වර්ජනීය පුද්ගලයන් සඞ්ඝයාගේ අත්පසින් බැහැර කොට නිමවී ද?

උ:

එසේ ය.

ඉක්බිති විනය පුච්ඡක තෙරුන් වහන්සේ විසින් “පුබ්බකරණ පුබ්බකිච්චානි සමාපෙත්වා දෙසිතාපත්තිකස්ස සමග්ගස්ස භික්ඛුසඞ්ඝස්ස අනුමතියා පවාරණා ඤත්තිං ඨපෙතුං ආරාධනා කරොම” යි කිය යුතු ය. රැස්ව සිටින භික්ෂූන් වහන්සේලා විසින් සාධුකාර දීමෙන් එයට පිළිවදන් දිය යුතු ය.