විනෝද ගමන්, වන්දනා ගමන්, ඥාති දර්ශන, මිත්‍ර දර්ශනාදි ඕනෑම කරුණකට සත්තාහකරණීයයෙන් යා යුතු බවක් විනයෙන් නො පෙනේ. “ධම්මසවනත්‍ථාය අනිමන්තිතෙන ගන්තුං න වට්ටති උද්දෙස පරිපුච්ඡාදීනං අත්‍ථායපි ගන්තුං න ලභති” යනුවෙන් විනය අටුවාවෙහි දහම් ඇසීම, උගෙනීම, පිළිවිසීම යන මේවාටත් ආරාධනයක් නැතුව නො යා යුතු බව දක්වා තිබේ. “ආචරියං පස්සිස්සාමීති ගන්තුං ලභති” යි ගුරුවරයා දක්නට යා හැකි බව කියා තිබේ.
අනුජානාමි භික්ඛවෙ! සත්තන්නං සත්තාහකරණීයෙන අප්පහිතෙ’පි ගන්තුං, පගෙව පහිතෙ. භික්ඛුස්ස භික්ඛුනියා සික්ඛමානාය සාමණෙරස්ස සාමණෙරියා මාතුයා ච පිතුස්ස ච. අනුජානාමි භික්ඛවෙ ඉමෙසං සත්තන්නං සත්තාහකරණීයෙන අප්පහිතෙ’පි ගන්තුං, පගෙව පහිතෙ. සත්තාහං සන්නිවත්තො කාතබ්බො.
යනුවෙන් භික්ඛුවය, භික්ෂුණියය, ශික්ෂමානාවය, සාමණේරයාය, සාමණේරියය, මවය, පියාය යන මේ සත් දෙනා උදෙසා ආරාධනාවක් නැත ද සත්තාහකරණීයයෙන් යා යුතු බව තථාගතයන් වහන්සේ විසින් අනුදැන වදාරා තිබේ.
“අනුජානාමි භික්ඛවෙ! සඞ්ඝකරණීයෙන ගන්තුං සත්තාහං සන්නිවත්තො කාතබ්බො” යි සඞ්ඝකරණීයයෙන් ද නිමන්ත්‍රණයක් නැතිව වුව ද සතියක් නැවතීමට යා හැකි බව වදාරා තිබේ. සඞ්ඝකරණීය යනු විහාර-චෛත්‍ය-සඞ්ඝාවාසාදියේ ප්‍රතිසංස්කරණාදි වැඩ ය. ඒවාට කම්කරුවන් සෙවීම්-ද්‍රව්‍ය සෙවීම් ආදිය ය. සෑම භික්ෂුවක් ම සඞ්ඝයාට ඇතුළත් කෙනකු වන බැවින් භික්ෂූන්ගේ පෞද්ගලික සේනාසනවල කටයුතු සඳහා යාම ද සඞ්ඝකරණීය පිණිස යාමම ය. ඉහත කී පුද්ගලයන්ගෙන් අන්‍යයන්ගේ වැඩ සඳහා සතිකරණයෙන් යා යුත්තේ ආරාධනාවක් ඇතහොත් ය. අන්තරායයක් ඇති කල්හි වස් විසූ තැන හැර යාමෙන් වස්සච්ඡේදය වුව ද ඇවැත් නො වේ. ගුරුවරයා දක්නට ගිය අවස්ථාවකදී, ගුරුවරයාගේ කීම පරිදි, එහි නැවතීමෙන් වස් බිඳීමෙන් ද, ඇවැත් නො වේ.