පවාරණා ඤත්තිය

“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අජ්ජ පවාරණා පණ්ණරසී. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො තෙවාචිකං පවාරෙය්‍ය.”

මෙසේ ඤත්තිය තැබූ පසු සඞ්ඝස්ථවිරයන් වහන්සේ විසින් ඒකාංසකොට සිවුර පෙරවා උක්කුටිකයෙන් හිඳ වැඳගෙන:-

“සඞ්ඝං අවුසො පවාරෙමි. දිට්ඨෙන වා සුතෙන වා පරිසංකාය වා වදන්තු මං ආයස්මන්තො අනුකම්පං උපාදාය පස්සන්තො පටිකරිස්සාමි. දුතියම්පි ආවුසො සඞ්ඝං පවාරෙමි -පෙ- තතියම්පි ආවුසො සඞ්ඝං පවාරෙමි -පෙ- පස්සන්තො පටිකරිස්සාමි.”

මෙසේ පවාරණය කළ යුතු ය. සඞ්ඝස්ථවිරයන් වහන්සේ පවාරණය කරන කල්හි සෙස්සන් අසුන්වල නො හිඳ, උක්කුටිකයෙන් හිඳිය යුතුය. මහ තෙරුන් වහන්සේ පවාරණය කළ පසු වැඩිමහලු පිළිවෙලින් සෙසු භික්ෂූන් විසින් පවාරණය කළ යුතු ය. වැඩිමහල්ලන් පවාරණය කරන තුරු බාලයන් විසින් උක්කුටිකයෙන් ම හිඳිය යුතු ය. තමතමන් පවාරණය කළ පසු අස්නෙහි හිඳ ගැනීමට අවසර ඇත්තේ ය. නවකයන් විසින් මෙසේ පවාරණය කළ යුතු ය.

සඞ්ඝං භන්තෙ පවාරෙමි. දිට්ඨෙන වා සුතෙන වා පරිසංකාය වා වදන්තු මං ආයස්මන්තො අනුකම්පං උපාදාය පස්සන්තො පටිකරිස්සාමි. දුතියම්පි භන්තෙ සඞ්ඝං -පෙ- තතියම්පි භන්තෙ සඞ්ඝං -පෙ- පටිකරිස්සාමි.

පවාරණය කරන සඞ්ඝයා අතර, පසු වස් වැසූ හෝ වස් නො වැසූ හෝ වස් බිඳුනාවූ හෝ භික්ෂූහු වෙත් නම්, ඔවුන් විසින් පාරිසද්ධිය ආරෝචනය කළ යුතු ය. පසු වස් විසූ භික්ෂූන් පවාරණය කරන තැනක පෙර වස් විසූ භික්ෂූහු වෙත් නම්, ඔවුන් විසින් ද පාරිසුද්ධිය ආරෝචනය කළ යුතු ය.

මහාපවාරණ දිනයෙහි සීමාවකට රැස්වූ භික්ෂූන් අතර පසුවස් විසුවෝ බහුල වෙත් නම්, පවාරණාඤත්තිය නො තබා පාමොක් උදෙසිය යුතු ය. ඉන් පසු ඤත්තියක් නො තබා ම පෙරවස් විසූවන් විසින් ඒ භික්ෂූන් කෙරෙහි පවාරණය කළ යුතු ය. දෙ පිරිස සම වෙත් නම් පවාරණාඤත්තිය තබා පෙරවස් විසූවන් පවාරණ කළ යුතු ය. පසුවස් විසූවන් ඒ භික්ෂූන් කෙරෙහි පාරිසුද්ධිය ආරෝචනය කළ යුතු ය. පසු වස් පවාරණ දිනයෙහි පිළිපැදිය යුත්තේ ද එසේ ම ය. මහා පවාරණය කරන දිනයෙහි පෙරවස් හා පසු වස් විසූ භික්ෂූන් දෙනමක් පමණක් එක් සීමාවකට එක් වූවාහු නම්, පෙරවස් විසූ භික්ෂුව අනිත් භික්ෂුවට පවාරණය කළ යුතු ය. පසු වස් විසූ භික්ෂුව පාරිසුද්ධිය ආරෝචනය කළ යුතු ය.