නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
භවග්ගු පාදාය අවීචි හෙට්ඨතො
එත්ථන්තරෙ සත්තකායූපපන්නා
රූපී අරූපී ව අසඤ්ඤි සඤ්ඤිනො
දුක්ඛා පමුඤ්චන්තු ඵුසන්තු නිබ්බුතිං.
සකල සත්ව සමූහයා කෙරෙහි පතළ මහා කරුණාවෙන් තෙත් වූ ළයැති අසරණ සරණ වූ ලොවුතුරා බුදුවරයන් වහන්සේ චතුර සංඛ්‍ය කල්ප ලක්ෂාදි වශයෙන් අති දීර්ඝ කාලයක් මුළුල්ලෙහි දැඩි දුක් ගෙන දානාදි සමතිස් පැරුම් දහම් සපුරා බුදු වන්නේ,සසර සයුරෙහි නිමග්නවැ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවාදි දුඃඛයන් ගෙන් හා ආපායික දුඃඛයන්ගෙන් ද පෙළෙන අසරණ සත්ත්ව සමූහයා ඉන් ගොඩ නඟා අමෘත මහා නිර්වාණ සංඛ්‍යාත ක්ෂේම භූමියෙහි පිහිටවනු පිණිසය.
සකල සංසාරිකාපායික දුඃඛස්කන්ධයාගේ අනුත්පාද නිරෝධය වූ නොනස්නා සුවය වූ ලෝකෝතර නිර්වාණය වනාහි බුදු සස්නෙන් ම මිස අන් සස්නෙකින් නො ලැබිය හැකිය. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සම්පත් වනාහි බුදු සසුන නැත ද සත්ත්වයෝ ලබන්නාහුය. තථාගතයන් වහන්සේ විසින් ඒ ලෞකික පත් ලැබීමේ මග දේශනා කරනුයේ අතිරේක වූ ද අප්‍රධාන වූ ද කාර්‍ය්‍යයක් වශයෙනි. බුදුන් වහන්සේගේ ශ්‍රාවකයකු හෙවත් බෞද්ධයකු වීමේ ප්‍රධාන ප්‍රතිඵලය ද ඒ නිර්වාණ සුඛය අත් කර ගැනීම ම ය. එබැවින් සකල බෞද්ධයන් විසින් ම බෞද්ධ වීමේ නියම ප්‍රතිඵලය ලැබීමට නම් ඒ තථාගතයන් වහන්සේ විසින් දක්වා වදාළ නිර්වාණ මාර්ගයට බැස ගත යුතුයි. එසේ නො කරන්නාහු කලාතුරකින් මුණ ගැසෙන සම්බුද්ධ ශාසනයෙන් ගතයුතු ප්‍රයෝජනය නො ලබන්නෝය.