අටුවා පොත් කීපයක අධිගමාන්තර්ධාන කථා දක්නා ලැබේ. ඒවා එකිනෙකට සම නැත. එබැවින් ඒවා සාර වශයෙන් පිළිගත නො හැකිය. ඒ අන්තර්ධාන කථාවල සැටියටත් තවම අධිගමය ලැබිය හැකි කාලය ය. මින් ඉදිරියටත් ඒ කාලය ඇත්තේය.
කවරදා නමුත් අධිගමාන්තධානය වෙතත් වනුයේ කාලයේ වරදින් නොව පුද්ගලයින් විසින් පිළිවෙත් නොපුරා හැරීමෙනි. එක ජාතියෙක දී කරන උත්සාහයෙන් ම මග-ඵල නොලැබිය හැකිය. මේ බුදුසසුනෙන් මඟ-පල ලැබීමට නිසි අය මඟ-පල ලබා අවසන වීමෙන් හෝ අධිගමාන්තධානය විය හැකිය.
මනුෂ්‍යයන් විසින් මඟ-පල ලැබීමට පිරිය යුතු පිළිවෙත් පිරීම හෙවත් විදර්ශනා වැඩීම හැර දැමූ පසු භාවනා මාර්ගය දත් අයත් නැති වී ගිය පසු නැවත බුදු කෙනකුන් බුදුවී නිර්වාණ මාර්ගය ප්‍රකාශ කරන තෙක් පසේ බුදුවරුනට හැර අන්‍යයනට මඟපල නො ලැබේ. තථාගතයන් වහන්සේ ගේ ධර්මය පවතිද්දී විදර්ශනා භාවනා මාර්ගය තිබියදී කාල විපර්‍ය්‍යාසය නිසා මඟ-පල නොලැබෙතැයි කීම “ඉමේච සුභද්ද භික්ඛු සම්මා විහරෙය්‍යුං න සුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අස්ස” යන බුදු වදනට විරුද්ධ මතයෙකි.