මෙ කල අධිගම ලාභීන් නැත ය යනු ද ඇතැමුන් ගේ මතයකි. අධිගම ලාභීහු “මම සෝවාන් වෙමි ය, මම රහත් වෙමිය” යි ලොවට අඬ ගා කියන්නාහු නොවෙති. අධිගමලාභීන් හැඳින ගැනීමට ඔවුන්ගේ විශේෂ ලකුණක් ද නැත.
බුද්ධකාලයෙහි ශ්‍රාවස්ත්‍යාදී නගරවල ලක්ෂ ගණන් අධිගමලාභී ගෘහස්ථයෝ විසූහ. ඔහු ද සාමාන්‍ය මිනිසුන් සේ ම ගොවිකම් වෙළඳාම් ආදී රැකී රක්ෂා කරමින් අඹු දරුවන් පෝෂණය කරමින් විසුවෝය. හැඳින ගැනීමට විශේෂ ලකුණක් ඔවුන් කෙරෙහි නොවීය. පෙර විසූ භික්ෂූන් අතර ද අධිගමලාභීහු බොහෝ වූහ. එක් කලෙක මේ ලක්දිව අසවල් භික්ෂුව ප්‍රථග්ජනය යි කියා දැක්වීමට කෙනකු නැති තරමට අධිගමලාභී භික්ෂූන් ම විසූ බව අටුවා පොත්වල දක්වා තිබේ. කොතෙක් ආර්‍ය්‍යයන් විසුව ද සෝවාන් - සකෘදාගාමි - අනාගාමි පුද්ගලයන් තබා රහතුන් වත් හැඳින ගැනීමට ලකුණක් නම් නැත. දම් සඟුණු අටුවාවෙහි එන කථාවක් මෙසේය :-
පෙර ලක්දිව සිතුල්පව් වෙහෙර විසූ රහතන් වහන්සේ කෙනකුන්ගේ උපස්ථායකයකු වූ බුඩ්ඪපබ්බජිතයෙක් (මහලුව පැවිදි වූවෙක්) විය. ඒ නම දිනක් රහතන් වහන්සේ හා පිඩු සිඟා ඇවිද රහතන් වහන්සේ ගේ පිරිකර ද ගෙන පිටි පසින් එන්නේ “ස්වාමීනි! ආර්‍ය්‍යයන් ගේ සැටි කෙසේදැ” යි රහතන් වහන්සේ විචාළේය.
එකල රහතන් වහන්සේ කියන සේක් “ඇවැත්නි! ඇතැම් මහල්ලෝ ආර්‍ය්‍යන්ගේ පා සිවුරු ගෙන වත පිළිවෙත කරමින් හැසිරෙන්නාහු ද ආර්‍ය්‍යයන් නො හඳුනන්නාහ. ඇවැත්නි! ආර්‍ය්‍යයෝ හැඳින ගැනීමට එතරම් දුෂ්කර වූවෝය” යි වදාළ සේක. බුඩ්ඪපබ්බජිතහට එයිනුදු කාරණය නො වැටහිණි.
ආර්‍ය්‍යයන් හැඳින ගැනීමෙහි දුෂ්කරත්වය මේ කථාවෙන් ද දත හැකිය. ආර්‍ය්‍යයන් කෙරෙහි හැඳිනීමට ලකුණක් නැති බැවින් ද, ඔවුන් විසින් තමන්ගේ ආර්‍ය්‍ය භාවය අන්‍යයන්ට නො පවසන බැවින් ද ලෝකයෙහි ආර්‍ය්‍යයන් ඇති නැති බව පරචිත්ත විජානනඥානය ලැබුවකු විසින් මිස අනිකකු විසින් නොදත හැකිය. පරචිත්ත විජානනඥානය ඇතියකුට පවා මේ විශාල ලෝකයෙහි සෑම දෙනාගේ ම තතු බැලීම පහසු කාර්‍ය්‍යයක් නොවේ. පරචිත්ත විජානනඥානයක් නැති අප වැනි අය මෙ කල ආර්‍ය්‍යයන් ඇති නැති බව කියන්නට යතහොත් එය හාස්‍ය ජනක ක්‍රියාවකි.
මෙ කල ගිහියන් අතර තබා පැවිද්දන් අතර ද විදර්ශනා වඩන අය සුලභ නොවෙති. එබැවින් ආරණ්‍යාදි විවේක ස්ථානයකට එළඹ භාවනා කරන භික්ෂූන් ලෝකයා උසස් කොට සලකති. සැදැහැවත් බෞද්ධයෝ බොහෝ දුර සිට ද ගොස් ඒ භික්ෂූන්ට පූජා සත්කාර කරති. “මෙ කල ආර්‍ය්‍යයෝ නැතය; මඟ ඵල නොලැබිය හැකිය. එබැවින් භාවනා කිරීම හිස් වැඩෙක්ය” යන කථාව භාවනා නො කරන්නවුන් විසින් ආරණ්‍යාදි විවේකස්ථාන වල වෙසෙන භික්ෂූන් ගේ තත්ත්වය පහත් කොට දක්වනු පිණිස ඇති කරන ලද්දෙකැයි සිතිය හැකිය.
මෙ කල ආර්‍ය්‍යයන් ඇති නැති බව නම් නොකිය හැකි නමුත් පෙර මෙන් සුලභ නැති බව නම් කිය හැකිය. විදසුන් වඩා එක ජාතියෙක දී කරන උත්සාහයෙන් ම කෙනකුට මඟ-පල ලැබෙන්නේ නොවේ. මේ ජාතියේ දී විදසුන් වඩා මඟඵල ලැබිය හැකි වන්නේ පෙර ජාති වල දී විදසුන් වඩා තිබූ අයටය. මඟ පල ලැබිය හැකි පමණට විදර්ශනා ඥානය මෝරන්නට ජාති ගණනක් ගත විය හැකිය. විදර්ශනා වැඩීම් ආදි වශයෙන් පෙර ජාතිවල දී පුරන ලද පාරමිතා ඇතිව මඟ පල ලැබීමට සුදුසු ව විසූ පින්වත්හු බුද්ධ කාලයේදී ද එයට සමීප කාලයේදී ද සමූහ සමූහ වශයෙන් මඟඵල ලබා නිවන් දුටහ. බුදුන් වහන්සේ බුදුවී බොහෝ කල් ඉකුත් වී ගිය බැවින් මඟ ඵල ලැබීමට සුදුසුව විසූ අය දැනට බොහෝ සෙයින් මඟ ඵල ලබා අවසන් වී යන්නට ඇත. තවත් ඇතිනම්, ඇත්තේ ස්වල්ප දෙනෙකි. මෙකල අධිගමලාභීන් මඳ වීමේ හේතුව එය යයි සිතිය හැකිය.
මෙකල විදසුන් වඩන්නවුන් අතර හේතු සම්පත් ඇති අය වුවහොත් ඔහු මේ ජාතියේ ම මඟ-පල ලබා නිවන් දකිති. හේතු සම්පත් නැතියවුනට එය මතු ජාතියෙක දී මඟ ඵල ලැබීමට හේතු වන්නේය. විදර්ශනා නො වැඩුව හොත් හේතු සම්පත් ඇති පමණින් ඉන්ම මඟ-පල ලැබෙන්නේ ද නොවේ. හේතු සම්පත් ඇති නැති බව නොදත හැකි කරුණකි. මඟ-පල ලැබීමට හේතු සම්පත් ඇතිව ද විදසුන් නො වැඩීම නිසා බුදුන් කල බරණැස් නුවර විසූ මහා ධන සිටු පුත්‍රයා මෙන් බොහෝ දෙන ලැබිය හැකිව තිබෙන මාර්ග ඵලයෙන් පිරිහෙති.
බරණැස් නුවර එක්සිය හැට කෝටියක් ධනය ඇතිව සිට ධනයෙන් මත්ව නො මනා සේ හැසිර සියලු ධනය නසාගෙන අන්තිමේ දී වාසයට තැනක් ද නැති ව සිඟමනට වැටුණ මහධන සිටු පුත්‍රයා දැක බුදුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට වදාරන සේක් “ආනන්දය, සිඟා කන මේ මහාධන සිටු පුත්‍රයා බලව! මොහුට ධනය නොනසා ප්‍රථම වයසෙහි කර්මාන්ත කරවූයේ නම් මේ නුවර අග සිටු වන්නට වාසනාව තිබුණේය. පැවිදි වී නම් සව් කෙලෙසුන් නසා රහත්ව නිවන් දකින්නට තිබිණ. ඉදින් මධ්‍යම වයසෙහිදී කර්මාන්ත කැර වී නම් මේ නුවර දෙවන සිටු වන්නටත්, පැවිදි වී නම් අනාගාමී වී නිවන් දකින්නටත් වාසනාව තිබිණ. පශ්චිම වයසෙහි කර්මාන්ත කරැවී නම් මේ නුවර තුන්වන සිටු වන්නටත් පැවිදි වී නම් සකෘදාගාමී මාර්ගයට පැමිණ නිවන් දකින්නටත් තිබිණැ” යි වදාළ සේක.
බුදු කෙනකුන් හමුවී දහම් අසන්නට ලද හොත් ලෙහෙසියෙන් ම මඟ පල ලබා නිවන් දැකිය හැකි වෙතැයි බොහෝ දෙනා සිතතත් එපමණකින් සැම දෙනම නිවන් දක්නාහු නොවෙති. බුදුන් වහන්සේ දිනපතා අලුයම් කාලයෙහි ලොව බලා වදාරා නිවන් දකින්නට හේතු සම්පත් ඇති සත්ත්වයන් සොයා දහම් දෙසා ඔවුන් නිවන් දක්වති. බුදුන් වහන්සේගෙන් දහම් අසන හැම දෙන ම නිවන් දකිත් නම් ලෝකයේ එක් කොනක සිට අනෙක් කොනට දහම් දෙසා ගෙන යෑම මිස ධර්මාවබෝධය කැර ගන්නට සමත් සත්ත්වයන් සොයන්නට කරුණක් නැත. නිවන් දක්නට හේතු සම්පත් නැති ධර්මාවබෝධය කිරීමට නො සමත් පුද්ගලයා එක් වරක් නොව බුදුන් වහන්සේ ගෙන් දහස් වරක් බණ ඇසුයේ ද දහසක් බුදුවරයන්ගෙන් බණ ඇසුයේ ද මඟ ඵල නො ලබන්නේ ය.
කොසොල් රජතුමා වනාහි ඉතා ළඟින් බුදුන් වහන්සේ ඇසුරු කළ උවසුවෙකි. එසේ ම නිතර ඇසුරු කළ උවසුවෙකි. බොහෝ බණ ඇසූ උවසුවෙකි. බුදුන් වහන්සේ විසින් එතුමාට විශේෂයෙන් දේශනා කළ සූත්‍ර ධර්ම බොහෝ ගණනෙකි. සංයුක්ත නිකායේ කොටසක් වූ කෝසල සංයුක්තය එතුමාට ම විශේෂයෙන් දේශිත සූත්‍ර ධර්මයන් ගේ සංග්‍රහයෙකි. එතුමා බුදුන් වහන්සේ උදෙසා මහා විහාරයක් ද කරවීය. බුදුන් වහන්සේ දීර්ඝ කාලයක් වැඩ විසුවේ ද කොසොල් රටෙහි ම ය. එහෙත් කොසොල් රජතුමා යටත් පිරිසෙයින් සෝවාන් මඟට වත් නො පැමිණියේ ය. මල්ලිකා දේවිය ද එසේ ම බුදුන් වහන්සේ ගෙන් නිතර බණ ඇසූ, නිතර දන් දුන් තැනැත්තියකි. එහෙත් මඟ-පල නො ලැබුවාය.
සුනක්ඛන්ත නමැති භික්ෂුව ආනන්ද ස්ථවිරයන් වහන්සේ මෙන් කලක් බුදුන් වහන්සේට උපස්ථාන කරමින් උන් වහන්සේ ළඟ ම හැසුරුණ කෙනෙකි. එහෙත් සෝවාන් මඟට වත් පැමිණෙන්නට අසමත් විය. මෙසේ බුදුන් වහන්සේගේ සමීපයෙහි ම හැසිරත් මඟ ඵල නොලැබූ අය තවත් බොහෝ විය හැකිය. අතීතයෙහි බොහෝ බුදුවරයෝ පහළ වූහ. දීර්ඝ වූ මේ සංසාරයෙහි බුදු කෙනකුන් නුදුටු, බුදු කෙනකු ගෙන් දහම් නො ඇසූ සත්ත්වයකු ඇතිය යි නොකිය හැකිය. බුදුවරුන්ගෙන් දහම් ඇසූ පමණින් සෑම සත්ත්වයෙක් ම නිවන් දකී නම් අද ලෝකයේ සත්ත්වයෝ නොවෙති. සියල්ලෝ ම අද නිවනේය.
පිපීමට තරම් වැඩී තිබෙන පත්මයෝ හිරුරැස් පහස ලත් කල්හි පිපෙති. සෙස්සෝ නො පිපෙති. එමෙන් හේතු සම්පත් ඇත්තා වූ සත්ත්වයෝ බුදුවරුන්ගේ ධර්ම දේශනාව ඇසූ කල්හි මඟ ඵල ලබා නිවන් දකිති. සෙස්සෝ නිවන් නො දකිති. පෙර ජාතිවලදී ස්කන්ධාදි ධර්ම විභාග දැන උගෙන විදර්ශනා වඩා නුවණ දියුණු කර ගෙන තිබෙන ත්‍රිහේතුක පුද්ගලයෝ පමණක් බුදුවරයන්ගෙන් ධර්මය අසා මඟ ඵල ලබති. අනාගතයෙහි එබඳු පුද්ගලයකු වීමට දන් දීම, සිල් රැකීම ම ප්‍රමාණවත් නොවේ. ඒ දෙක පමණක් කළාහු සසර සුගතියේ ඉපිද බුදුන් දක්නට නම් සමත් වෙති. දහම් අසා නිවන් දක්නට නම් සමත් නොවෙති.