“මෙ කල විදර්ශනා වැඩීමෙන් පලක් නැත. කොතෙක් විදර්ශනා වැඩුව ද මෙ කල මාර්ගඵල නො ලද හැකිය” යි ඇතැමුන් කියතත් එය සත්‍යය යි පිළිගැනීමට හේතු යුක්තියක් නැත. යම් ප්‍රතිපත්තියකින් යම් ඵලයක් ලැබේ නම් කවරදාත් ඒ ප්‍රතිපත්තිය නොවරදවා පිරුව හොත් ඒ ඵලය ලැබිය යුතුයි. මාර්ග ඵල ලැබීමට නිසි ප්‍රතිපත්තිය පිරීමෙන් එක් කලෙක දී මුත් සෑම කල්හිම මඟ පල නොලැබේ නම් තථාගතයන් වහන්සේ ගේ ධර්මය මඳ කලකට පමණක් නෛර්‍ය්‍යාණික වන ඉතිරි කාලයට අනෛර්‍ය්‍යාණික වන ධර්මයක් විය යුතුය. උන් වහන්සේ ගේ ධර්මය කලකට පමණක් නෛර්‍ය්‍යාණික වී කලකට අනෛර්‍ය්‍යාණික වන්නක් නොව සෑම කලකට ම නෛර්‍ය්‍යාණික වූවකි.
විදර්ශනා වැඩුවත් මෙකල මගඵල නො ලැබිය හැකිය කියන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මය කලකට අවලංගු කිරීමෙන් එයට පහර දෙන්නෝ ය. ධර්මය සෑම කල්හි ම නෛර්‍ය්‍යාණික බව මිස කලකදී එය අනෛර්‍ය්‍යාණික වී අවලංගු වන බවක් තථාගතයන් වහන්සේ නො වදාළ සේක. “ඉමේ ච සුභද්ද භික්ඛු සම්මා විහරෙය්‍යුං න සුඤ්ඤෝ ලෝකෝ අරහන්තෙහි අස්ස” යනුවෙන් බුදුන් වහන්සේ විසින් වදාරන ලදුයේ භික්ෂූහු මනා කොට විසුවෝ නම් හෙවත් මනාකොට පිළිවෙත් පිරුවෝ නම් ලෝකය කිසිකලෙක රහතුන්ගෙන් සිස් නො වන බවය. ධර්මය අනෛර්‍ය්‍යාණික වන කාලයක් නැති බව, නො වරදවා පිළිවෙත් පිරුව හොත් සැම කල්හි ම මාර්ගඵල නිර්වාණයන් ලැබිය හැකි බව එයින් ප්‍රකාශිතය.