භාවනා ක්‍රම (සැකෙවින්)
ගරු බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්ථවිරයන් වහන්සේ විසිනි.
සසර දුකෙහි කලකිරුණු බොහෝ චින්තකයෝ එයින් මිදෙන උපා සෙවූහ. එහි ඵල වශයෙන් නානාවිධ දර්ශනයෝ පහළ වූහ. වේදාන්තවාදීහු පරමාත්මාවබෝධය මෝක්‍ෂයට උපාය යැ යි කීහ. සාංඛ්‍ය මිමාංසා න්‍යායාදී අන් දාර්ශනිකයෝත් ඇතැම් දැයින් මඳක් වෙනස් වූවෝ නමුදු, සාමාන්‍යයෙන් පරමාත්මාවබෝධයෙන් ම මෝක්‍ෂය වේ යැයි පැවසූහ. දඹදිවින් පිටත්හි ක්‍රෛස්තවාදී අන් දර්ශන වල ද, මෙයට තරමක් හුරු වූ ඉගැන්නුම් පහළ විය.
ඔවුන් කියන පරිදි පරමාත්මාවබෝධයට හෝ දෙවියන් හා එක්වීමට යෑ යුතු මඟ නම්, සිත ඒ අතට හුරු කොට වඩා ලීමයි. භාරතීයයන් අතර මෙය භාවනා නමින් ද වැහැරැවිණ. එය ම යෝග නමින් ද ව්‍යවහෘත වී.
ඒ ඒ අරමුණෙහි පහළ වන චින්තන ක්‍රියාවන්ගේ නිරෝධය යෝග නමැයි “යෝගශ්චිත්තවෘත්ති නිරෝධඃ” යනුවෙන් යෝගාසාර උපනිෂද්හි ද, පාතඤ්ජල යෝග සූත්‍රයෙහි ද දැක්විණ. තවත් ඇදුරු කෙනෙක් “සංයොගඃ යොගමිත්‍යාහුර් ජීවාත්ම පරමාත්මනොඃ” යි ජීවාත්ම පරමාත්ම දෙකේ එක් වීම යෝග නමැ යි කීහ. එයතර වශිෂ්ඨර්ශි “සංසාරොත්තරණේ යුක්තිර් යොග ශබ්දෙන කථ්‍යතෙ’ යි සසරින් ගොඩ නැංමේ උපාය “යෝග” යන්නෙන් කියැවේයැ යි පැවසීය.
හෛන්දවයන් අතර පවත්නා යෝග ක්‍රම බොහෝය. හක්තියෝග, රාජයෝගාදි වශයෙනි. දෙවියා කෙරෙහි භක්තිය ක්‍රමයෙන් දියුණු කොට සිතින් දෙවියා හා එක්වීම භක්තියෝග මාර්ගයයි. යම, නියම, ආසන, ප්‍රාණායාම, ප්‍රත්‍යාභාර, ධාරණ, ධ්‍යාන, සමාධි යන අෂ්ටාංග පුරාලීමෙන් චිත්තේකාග්‍රතාව ලබා පරමාත්මාවබෝධය කිරීම රාජයෝග නමින් දැක්විණ. සත්‍ය අසත්‍ය දෙක වෙන් වෙන් කොට බල බලා ගොස්, අවසන්හි ලෝක නමින් දැක්වෙන සියල්ල මිථ්‍යා බවත්, ඒක බ්‍රහ්ම පදාර්ථය ම (පරමාත්මය ම) සත්‍ය බවත් අවබෝධ කොට, එය හා එක්වීම ඥානයෝගයයි.
තම දෙවියාගේ ගුණ අඟවන කිසි මන්ත්‍රයක් දපමින්, දෙවියාගේ කිසි ආකාර විශේෂයක් සිතින් සළක සළකා බවුන් වඩා අන්තයේදී ඒ දෙවියා හා එක් වීම මන්ත්‍රයෝගයයි. සිරුරෙහි සුසුම්නා නාඩියට යටින් මූලාධාර චක්‍රයෙහි මැදැ හෝනා කුණ්ඩලිනී ශක්තිය, ඒ ඒ චක්‍ර අරමුණු කොට සමාධිය වැඩීමෙන් පුබුදුවා, ක්‍රමයෙන් ඉහළ ඉහළ චක්‍ර ඔස්සේ නංවා, අවසනැ හිසැ වූ සහස්‍රාර පද්මයට යවා, එමඟින් සමාධි ලබා, පරමාත්මාවබෝධය කුණ්ඩලිණීයෝගය යි. මේ ආදි වශයෙන් සිත එකඟ කිරීමේ නොයෙක් ක්‍රම උපනිෂත් පොත්වල දක්නා ලැබේ. මේ එකෙකුත් බෞද්ධ ව්‍යවහාරයෙහි පෙනෙන ශමථ භාවනා නම් කොටසෙන් පිටත නො යයි.
කසින භාවනාවට හෛන්දව යෝග පොත්වල ත්‍රාටක යැයි ව්‍යවහාර වේ. පරිකර්ම නිමිත්තට ප්‍රතීක යැයි ද, පරිකරිම භාවනාවට වහිරංග උපාසනා යැයි ද, උපචාර භාවනාවට අන්තරංග උපාසනා යැයි ද, හින්දූන් වහරවන බව පෙනේ. ඔවුන්ගේ ප්‍රාණායාම ක්‍රමය බෞද්ධයන් ගේ ආනාපාන ක්‍රමය වැන්නෙකි.
ඔවුන් මේ කී ක්‍රම වලින් ලබන ප්‍රතිභාග නිමිත්ත හෝ කසිණාලෝකය, අනන්ත කොට පතුරුවා එය පරමාත්ම යැයි වරදවා ගෙන, එහි ම සිත ගිල්වා හිදීම, බ්‍රහ්මයා (පරමාත්මයා) හා එක් වීම යැයි වරදවා සිතන බව බෞද්ධ ඇසින් බලන්නහුට පෙන්නේ. රූප ධ්‍යාන හෝ අරූප ධ්‍යාන ලැබූ හින්දු යෝගීහු තමනට පෙනෙන ප්‍රඥප්ති අරමුණ පරමාත්ම කොට සලකා මෝක්ෂය ලදුම්භ යි එතෙකින් තෘප්තියට පැමිණ නවතිති. ඉන් ඔබ නො යති.
ක්‍රිස්තියානින් ගේ සියලු භාවනා ක්‍රම භක්තියෝග කොටසට ඇතුළත් උපචාර සමාධි මාත්‍ර බව පෙනේ. ඔහු ආරම්භයේදී සිත අන් අරමුණු වලින් ඉවත් කැරගැනීම පිණිස, දෙවියන් තමා හමුවෙහි ඉන්නා බව සළකති. සලකා යාඥා කරති. ඉන් පසු සුළු පාපෝච්චාරණයක් වේ. ඉනික්බිති ශුද්ධාත්මාහ්වානය වේ. ඉක්බිති ක්‍රිස්තු තුමාගේ ගුණ හා ආකාරය සිහි කරනු ලැබේ. එයින් පසු ක්‍රිස්තු තුමා කළ දේශනාවෙක යම් කොටසක් සිහි කරති. එහි අදහස සළකති. එය ක්‍රිස්තු තුමා ජීවත්ව ඉන්නා සෙමෙහි පැවසූ විලාශය සිතින් දක්නට තැත් කරති. එය දේශනා කළ අන්දම, ඒ අවස්ථාවෙහි ඉරියව් පැවැත්වූ සැටි, පරිකල්පිත කොට දකිති. ඉන්පසු එතුමා ස්වර්ගයෙහි ඉන්නා සැටිය පරිකල්පිත කෙරෙති. අවසානයේදී එතුමාට ආත්මසන්නිර්යාතනයෙන් තමා පුදති. මෙයින් භක්තිය වැඩීම ද, තරමක සංසිඳීමෙක් ද සිතෙහි වේ. තවත් මෙබඳු බොහෝ ක්‍රම ඇත. ඔවුන්ගේ උසස් යෝගනියක වූ තෙරේසා ගේ ක්‍රම බොහෝ වැදගත් කොට සලකති. භක්ති යෝගයෙන් පිටත් කිසිත් ඔවුනට නැත. ඉස්ලාම්වරුන් ගේ භාවනා ද මෙයට හුරු භක්තියෝග මාත්‍ර ම ය.
පර්සි ආගමෙහි හින්දූන්ගේ රාජයෝග ඥාන යෝග භක්ති යෝග තුන අනුව එයට හුරුව හැඩ ගැසුණු,යෝග ක්‍රම ඇති බව පෙනේ. චීනයෙහි සිටි ලාඕන්සේ ගේ තේඕ ධර්මයෙහි දැක්වෙනුයේ, වේදාන්තවාදීන් ගේ ඥානයෝග ම ය. වෙනස, නම් වලින් හා අවස්ථා බෙදීම් වලින් පමණි.
ඥාථපුත්‍ර නිර්ග්‍රන්ථයා අදහන ජෛනයන් ගේ භාවනා ක්‍රම දොළොසකි. ඔහු ද්වාදශෝප්‍රේක්‍ෂා නමින් හැඳින්වෙයි. අන්‍යානුප්‍රේක්‍ෂා (සියල්ල අනිත්‍ය යයි යලි යලි බැලීම), අශරණානුප්‍රේක්‍ෂා (ආත්මය කර්ම විපාක නිසා අශරණ වන බව බැලීම), සංසාරානුප්‍රේක්‍ෂා (සසර සරන තුරු ආත්මය විමුක්තිය ලද නො හැකි බව බැලීම), ඒකත්වානුප්‍රේක්‍ෂා (තමා ම කර්ම කරන්නා බවත්, තමා ම එහි ඵල විඳින්නා බවත් සැළකීම), අන්‍යත්වානුප්‍රේක්‍ෂා (නෑදෑ ආදීනුත් ලොවැ අන් සියල්ලත් සිත කය දෙකත් අන්‍ය බව ආත්ම නොවන බව නුවණින් බැලීම), අශුච්‍යානුප්‍රේක්‍ෂා (සිරුර පිළිකුල මෙනෙහි කිරීම), ආශ්‍රවානුප්‍රේක්‍ෂා (කර්මයන් තම ආත්මය තුළට පිටින් වෑස්සීම නිසා කෙලෙසුන් හැදෙන බව, එය භවයේ හේතුව බව සැලකීම) සංවරානු ප්‍රේක්‍ෂා (කර්මයන් ආත්මයට වෑස්සීම වැළැක්විය යුතු බව මෙනෙහි කිරීම), නිර්ජරානුප්‍රේක්‍ෂා (ආත්මය කෙරෙන් කර්ම රූප සොලවා ඉවත් කළ යුතු බව සැලකීම), ලෝකානුප්‍රේක්‍ෂා (ලොවේත්, එය සෑදීමට කරුණු වූ ධාතූන්ගේත් තතු නුවණින් බැලීම), බෝධි දුර්ලභානුප්‍රේක්‍ෂා (සත්‍යාවබෝධයේ දුර්ලභ කම මෙනෙහි කිරීම), ධර්ම ස්වාඛ්‍යාතානුප්‍රේක්‍ෂා (ධර්මයේ අගය මෙනෙහි කිරීම) යනු ඒ භාවනා දොළසයි.
මේ නානාවිධ ලබ්ධි ගත්තන් අතුරෙහි පරමාත්ම හෝ පරබ්‍රහ්ම නමින් කෙනෙක් ද, ශිව විෂ්ණු ආදී නම් වලින් කෙනෙක් ද, පුරුෂ නමින් කාපිලයෝ ද, ජෙහෝවා, අල්ලා, අහුරමස්දා නමින් ක්‍රෛස්තව, මුස්ලිම්, පාර්සි ලබ්ධිකයෝ ද, තේඕ ලබ්ධිකයෝද, ජීව නමින් ජෛනයෝ ද කිසි ප්‍රඥප්තිමාත්‍ර ධර්මයක් පරිකල්පිත කොට-ගෙන, එයින් අන්‍ය සියල්ල අනිත්‍යාදි වශයෙන් සිතමින්, තමාගේ පරිකල්පිත පදාර්ථය නිත්‍ය ස්වරූපයෙන් වරදවා ගෙන, එහි ඇලී සසරෙහි ම වෙලී සිටිත්. ඔහු මුක්ති යැයි කිය කියා භවයෙහි කිසි එක් කොටසෙක ම සිත යවත්, නොයෙක් තරාතිරමින් අඩු වැඩි වූ, ඔවුන්ගේ භාවනා ක්‍රම එකකුත් නියම විදර්ශනයෙක් නොවේ.
ක්‍රෛස්තව ඓස්ලාමික චින්තකයෝ භවයෙහි ලේශමාත්‍රයක් දුටහ. පාරසික ලබ්ධිකයෝ එයට වඩා දුටහ. හෛන්දවයෝත් තේඕ ලබ්ධිකයෝත් ඔවුන් හැම ඉක්මවා භවයේ වැඩි කොටසක් දුටහ. ජෛනයෝ ඔවුන්ටත් වඩා හවසේ දොස් දුටහ. එහෙත් ඒ සර්වප්‍රකාරයෙන් නො දුටු ඔහු එහි කිසි කොටසක් දේවත්වයෙන් හෝ ආත්මත්වයෙන් ගෙන එහි ඇලී භවයෙන් මිදුණම්හයි සිත සිතා, භවයෙහි ම ගිලුණහ. මේ දුරාක්ඛ්‍යාත ශාසනයෙහි දිවා රෑ දෙක්හි වෙහෙස විඳ බවුන් වඩන්නාහු ලත් ඵලය ය.
සියල්ල තතු වූ පරිදි දත් සර්වඥ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ සර්වප්‍රකාර පරිපූර්ණ ධර්මය අනුව සිතා බලන්නහුට, බාහිර සමයාගත ඒ සියලු භාවනා ක්‍රම ම ශමථ පක්‍ෂයෙන් වුව ද, අසම්පූර්ණ බව දැක්ක හැකිය. විදර්ශනා භාවනාවෙක් බාහිරකයන ට කොයින් ද? ලොව සියලු සංස්කාර, අනිත්‍ය දුක්ඛ වශයෙනුත්, සියලු ධර්ම අනාත්ම වශයෙනුත්, ඉගැන්වෙන බෞද්ධ විදර්ශනා භාවනා ක්‍රමය එකී සියලු ම ක්‍රම පරදවා ශ්‍රේෂ්ඨ ස්ථානය ගනී. එයට නොහසු වන කිසි ද දහමෙක්, කිසි ද භවයෙක නැත. පරසමයවාදීන් නොයෙක් සැටියෙන් වණන ඔවුන්ගේ පරිකල්පිත ආත්මය ද, ශිව විෂ්ණු ජෙහෝවා ආදී පදාර්ථ ද, ත්‍රිලක්ෂණ භාවනාවට හසුව නිශ්ශෝභව වැටී යයි. ඒ ආත්ම නොව අනාත්ම ම වෙයි.
මෝක්ෂවබෝධය සඳහා වැඩිය යුතු එකම භාවනා ක්‍රමය බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් ලොව හමුවට පැමිණ මේ විදර්ශනා භාවනා ක්‍රමය ම ය.
එය ආභිධම්මික රේරුකානේ චන්දවිමල ස්ථවිර පාදයන් වහන්සේ විසින් නිබන්ධ, මෙම විදර්ශනා භාවනා ක්‍රමය නම් පොතෙන් මැනවින් උගත හැක්ක. මේ මහඟු ධර්ම ග්‍රන්ථය බෞද්ධාබෞද්ධ කාගේත් හස්තසාර වස්තුවක් වේවා!
බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ස්ථවිර
1947 නොවැම්බර් 15