උදේ සිල් සමාදන් වීමෙන් පසු 6.30 සිට 7 දක්වා වැඳුම් පිදුම් කළ යුතු ය.

තමන්ට නො තේරෙන පාළි භාෂාවෙන් ගොතා ඇති පාඨ කියා වන්දනා පූජා කිරීමේ දී ඇති වන්නේ මඳ විපාකයක් ගෙන දෙන දුබල ඥානවිප්‍ර‍යුක්ත කුසල් ය. ඥානසම්ප්‍ර‍යුක්ත බලවත් කුසල් ඇතිවීමට තමාට තේරෙන භාෂාවකින් තෙරුවන් ගුණ කියා වැඳුම් පිදුම් කළ යුතු ය. ගාථා තේරුමත් සමඟ කීම සුදුසු ය.

සිල් සමාදන් වීමෙන් පසු සෑම දෙනා ම මල් ද ගෙන විහාරයකට හෝ චෛත්‍යයක් වෙතට හෝ ගොස් පූජාසනයෙහි මල් තබා මතු දැක්වෙන ගාථා තේරුම් සහිතව කියා මල් පිදිය යුතු ය. සිල් සමාදන් වූ දිනයේ මේ පොත ළඟ තබා ගත යුතු ය. වැඳුම් පිදුම් කිරීමේ දී කියන පාඨ පාඩම් නැති නම්, පොත බලාගෙන කියා වැඳුම් පිදුම් කිරීම ද සුදුසු ය. අනිකකු ලවා කියවා ගෙන වැඳුම් පිදුම් කිරීම ද යහපති. භික්ෂූන්වහන්සේ නමක් ලවා කියවා ගෙන වැඳුම් පිදුම් කිරීම හොඳ ය. භික්ෂූන් වහන්සේ නමක් ලවා එය කරවා ගත නොහැකි නම්, උපාසක පිරිසේ සිටින ශබ්ද නඟා කිය හැකි කෙනකු ලවා වන්දනා පූජා පාඨ කියවා ගත යුතු ය. කියවන තැනැත්තාට පාඩම් නැති නම් පොත බලා කියවිය යුතු ය. සෙස්සන් ඔහු කියන පරිදි කියා වැඳුම් පිදුම් කළ යුතු ය. මල් පූජා කිරීම සඳහා භාවිත කරන නොයෙක් ගාථා ඇත්තේ ය. එක් වරක් මල් පිදීමේ දී ඇති තරම් දන්නා තරම් ගාථා කීම නුසුදුසු ය. මක් නිසා ද? එක් ගාථාවකින් මල් පිදූ කල්හි ඒ මල් පූජා වී ඉවර ය. පූජාකළ මල් අයිති බුදුන් වහන්සේට ය. බුදුරදුන්ට අයිති මල් නැවත ගාථා කියා නැවත පිදීම විහිළුවකි. පූජා කළ මල් පූජා කරුට අයිති නැත. අයිති නැති මල් පූජා නො කළ හැකි ය. වරක් ගාථාවක් කියා මල් පිදූ තැනැත්තාට තවත් ගාථාවක් කියා මල් පුදන්නට වුවමනා නම් නැවත අලුත් මල් සපයා ඒ ගාථාව කියා පිදිය යුතු ය. ඇතැම්හු මල් අසුනෙහි මල් ටිකක් තබා “පූජෙමි බුද්ධං කුසුමෙන නෙන” යනාදි ගාථාව කියා ඒ මල් බුදුන්ට පුදති. නැවත “පූජෙමි ධම්මං කුසුමෙන නෙන: පූජෙමි සංඝං කුසුමෙන නෙන” යනාදි ගාථා කියා ඒ මල්ම ධර්මයට ද සංඝයාට ද පුදති. එසේ කිරීම නො මැනවි. වරක් බුදු රදුන්ට පූජා කළ මල් නැවත ධර්මයට සංඝයාට පිදීමට පූජාකළ තැනැත්තාට අයිතියක් නැත. බුද්ධ ධර්ම සංඝ යන තෙරුවනට මල් පුදන්නට උවමනා නම් මලසුනෙහි තෙරුවන් සඳහා තුන් පලක වෙන වෙනම මල් තැබිය යුතු ය. ඉක්බිති එක එක ගාථාව කියා ඒ මල් වෙන වෙන ම බුදුනට ද දහමට ද සඟනට ද පිදිය යුතු ය. එක ම මල් පොකුරක් හෝ මල් වට්ටියක් තෙරුවනට ම පුදනු කැමති නම් මේ මල් බුද්ධ ධර්ම සංඝ යන ත්‍රිරත්නයට පුදමි යි කියා එක් වරකින් ම පූජා කළ යුතු ය. එසේ කළ කල්හි ඒ මල් එකවර ම තෙරුවනට පූජා වේ. හිමි වේ.

විහාරයට ගොස් මල් පහන් පිදීමේ දී වැඳීමේ දී බුදුපිළිමයට වඳිමිය පුදමිය යි සිතා වැඳුම් පිදුම් නොකළ යුතු ය. බුදුපිළිමය ඉදිරියේ දී සියල්ල දත් බුදුරජාණන් වහන්සේට පුදමිය වඳිමිය යන අදහසින් වැඳුම් පිදුම් කළ යුතු ය. එසේ කිරීමේ දී ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන ගෞරවය බුදුපිළිමයට කළ යුතු ය. වැඳ පුදා ආපසු යන කල්හි පිටිපා නො යා යුතු ය.

අනු මාතෘකා
keyboard_arrow_rightමල් පූජාව
keyboard_arrow_rightතෙරුවන් වැඳීම
keyboard_arrow_rightබෝධි වන්දනාව
keyboard_arrow_rightපින් දීම