තෙරුවන් වැඳීම

සසර සැරිසරණ අසරණ සත්ත්ව සමූහයට පිහිට වන මහා කාරුණික වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස!

චතුරසංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ අතිදීර්ඝ කාලය මුළුල්ලෙහි දානපාරමිතාය, ශීලපාරමිතාය, නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාය, ප්‍ර‍ඥාපාරමිතාය, වීර්යපාරමිතාය, ක්ෂාන්ති පාරමිතාය, සත්‍යපාරමිතාය, අධිෂ්ඨාන-පාරමිතාය, මෛත්‍රී පාරමිතාය, උපේක්ෂා පාරමිතාය යන දශ පාරමී ධර්‍මයන් සපුරා චතුස්සත්‍යාවබෝධ කොට පස්මරුන් පරදවා සර්වඥ පද ප්‍රාප්ත වූ නුඹ වහන්සේ ශීලයෙන් ද සමාධියෙන් ද ප්‍ර‍ඥාවෙන් ද සෘද්ධියෙන් ද යසසින් ද ලෝකයෙහි අග්‍ර‍වන සේක. නුඹවහන්සේ වැඩ සිටි තැනට පා තැබූ තැනට පවා රජහු ද දෙව් බඹහු ද නමස්කාර කරන්නාහ.

මහාකාරුණිකයන් වහන්ස! නුඹ වහන්සේගේ කරුණාගුණය ඉතා ආශ්චර්‍ය්‍යය. ලොවුතුරා බුදුව අසරණ සත්ත්වයනට පිහිට වනු සඳහා දානපාරමිතාව පිරූ නුඹ වහන්සේ චතුරසංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ ඒ අතිදීර්ඝ කාලයෙහි නුදුන් දනක් නැත. නුඹ වහන්සේ දුන් දාන වස්තු සම්භාරයට උපමා කිරීමට මහමෙර මිටිය. මහ පොළොව කුඩාය. පොළොවේ වැලිකැට මඳය. සාගර ජලය මඳය. නුඹ වහන්සේ දුන් වස්තු සම්භාරයට උපමා නැත. නුඹ වහන්සේ අනේක වාරයන්හි සකල සම්පත්තියෙන් පරිපූර්ණ මහාරාජ්‍යයන් දුන් සේක. ප්‍රාණය සේ ප්‍රිය අඹුදරුවන් දුන් සේක. සිය සිරුරෙන් ලේ වගුරුවා දුන් සේක. හදවත උපුටා දුන් සේක. නෙත් උපුටා දුන් සේක. හිස කපා දුන් සේක. නුඹ වහන්සේ ගේ කරුණාවට උපමා නැත. කෝටියක් මවුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණාව එක් පිණ්ඩයක් කළ ද නුඹවහන්සේගේ කරුණාවට උපමා නො කළ හැකි ය.

අසරණ සරණ වූ භාග්‍යවතුන් වහන්ස! නුඹ වහන්සේ බොහෝ සත්ත්වයනට පිහිටවන සේක. නුඹ වහන්සේ බොහෝ සත්ත්වයන් අපායෙන් මුදවන සේක. සසර දුකින් මුදවන සේක. බොහෝ සත්ත්වයනට දෙවි මිනිස් සැප ලබා දෙන සේක. නිවන් සැප ලබා දෙන සේක. නුඹ වහන්සේ බරණැස ඉසිපතනයේ දී දම්සක් පැවැත්වීමෙන් අටළොස් කෙළක් දෙවිබඹුන් නිවන් දැක්වූ සේක. තිරෝකුඩ්ඩ සූත්‍ර‍ දේශනාවෙන් සුවාසූ දහසක් සත්ත්වයන් නිවන් දැක් වූ සේක. සුමන මාලාකාර සමාගමයේදී සුවාසූ දහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. ධනපා සමාගමයේ දී දසදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. ඛදිරංගාර ජාතක සමාගමයේ දී සුවාසූ දහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. ජම්බුකා ජීවක සමාගමයේ දී සුවාසූ දහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. ආනන්දසෙට්ඨි සමාගමයේ දී සුවාසූ දහසක් සත්ත්වයන් නිවන් දැක් වූ සේක. පාරායන සූත්‍ර‍ දේශනයේ දී තුදුස් කෝටියක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. යමකප්‍රාතිහාර්‍ය්‍යයේ දී විසිකෝටියක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. දේවෝරෝහණයේ දී තිස්කෝටියක් සත්ත්වයන් නිවන් දැක් වූ සේක. අභිධර්ම දේශනයේදී අසූකෝටියක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. සක්කපඤ්හ සූත්‍ර‍ දේශනයේ දී අසූදහසක් සත්ත්වයන් නිවන් දැක් වූ සේක. මහාසමය සූත්‍ර‍ මංගල සූත්‍ර‍ චූළරාහුලෝවාද සූත්‍ර‍ දේශනාවල දී අප්‍ර‍මාණ සත්ත්වයන් නිවන් දැක්වූ සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස! දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් අසූ අනුව්‍යඤ්ජන ලක්ෂණයෙන් කේතුමාලාවෙන් ව්‍යාමප්‍ර‍භාවෙන් ෂට්වර්ණ රශ්මි මාලාවෙන් බබලන්නා වූ නුඹ වහන්සේ රූප සෞන්දර්යයෙන් ද ලෝකයෙහි අග්‍ර‍ වූ සේක.

අෂ්ටාංග සමන්වාගත බ්‍ර‍හ්මස්වරයෙන් දහම් දෙසන්නා වූ නුඹ වහන්සේ වචන විලාසයෙන් ද ලෝකයෙහි අග්‍ර‍ වූ සේක.

සර්වඥතාඥාන දශබලනඥාන චතුර්වෛශාරද්‍යඥාන ෂට් අසාධාරනඥාන චතුර් යෝනි පරිච්ඡේදඥාන පඤ්චගති පරිචිඡේදඥාන චතුර්දශ බුද්ධඥාන ප්‍ර‍තිසම්භිදා ඥානාදි අනේක ඥානයන්ගෙන් ආඪ්‍ය වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස! මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්ම යන ලෝකත්‍රයෙහි සියල්ලන් විසින් දත් සියල්ල නුඹ වහන්සේ දත් සේක. ඔවුන්ගේ සිත් ඔවුන්ගේ අදහස් ඔවුන්ගේ චරිත නුඹ වහන්සේ මැනවින් දන්නා සේක. නුඹවහන්සේ විසින් නො දත හැකි ධර්‍මයක් නැත.

දෝත නඟා වඳින්නහුට පවා නොයෙක් දෙව් මිනිස් සැප ලබා දීමට සමත් අචින්තනීය අප්‍රමේය ගුණස්කන්ධයක් ඇති මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස! නුඹ වහන්සේ පිළිසරණ කරගන්නට ලැබූ මම ද පිනා ගියෙමි.

අසරණ සරණ වූ භාග්‍යවතුන් වහන්ස! මම දිවි හිමි කොට නුඹ වහන්සේ සරණයෙමි. මම නුඹ වහන්සේගේ ශ්‍රාවක වෙමි. නුඹ වහන්සේ වදාළ ධර්ම රත්නනය ද සරණයෙමි. නුඹ වහන්සේගේ ඖරස පුත්‍ර‍ ආර්‍ය්‍ය සංඝරත්නය ද සරණ යෙමි.

දෙවි බඹුන් විසිනුදු බැතියෙන් නමදින නුඹ වහන්සේගේ පාද පද්මය බැතියෙන් වඳිමි. දෙවනුව ද වඳිමි. තෙවනුව ද වඳිමි. නුඹ වහන්සේ වදාළ ධර්ම රත්නයට ද වඳිමි. දෙවනුව ද වඳිමි. තෙවනුව ද වඳිමි. නුඹ වහන්සේගේ ඖරසපුත්‍ර‍ මහා සංඝ රත්නයට ද වඳිමි. දෙවනුව ද වඳිමි. තෙවනුව ද වඳිමි.

මෙසේ තෙරුවන් වැඳ චෛත්‍යයක් ඇතිනම් එහි යන්න.