දෘෂ්ටි නිවාරණ දේශනා

දෙවියන් සහිත ලෝකයා විසින් සත්ත්වයා ගැනත් බාහිර ලෝකයා ගැනත් අනේකප්‍ර‍කාර මිථ්‍යාදෘෂ්ටි ඇති කර ගෙන තිබෙන්නේ මේ ප්‍ර‍තීත්‍යසමුත්පාද ධර්මය නො දැනීම නිසා ය. යමෙක් පටිච්චසමුප්පාදය හරියට ම තේරුම් ගත්තේ නම් ඒ තැනැත්තා හට “ලෝකය දෙවියකු විසින් මවන ලද්දක්ය, ඉබේම ඇතිවූවක්ය” යනාදීන් පවත්නා එකම මිථ්‍යාදෘෂ්ටියකුදු ඇති නො වේ. පටිච්ච-සමුප්පාදය තේරුම් ගත් තැනැත්තා නැවත කිසිවකුට මිථ්‍යාදෘෂ්ටිකයකු නො කළ හැකි ය. පටිච්චසමුප්පාදය ඉගෙන ගැනීම තේරුම් ගැනීම - පිරිසිදු සම්‍යග්දෘෂ්ටිකයකු වීමට ඇති හොඳම උපාය ය. දෘෂ්ටිගතිකයන් එයින් මුදාළීමටත් ඇති හොඳම උපාය, ඔවුනට පටිච්චසමුප්පාදය අවබෝධ කරවීම ය.

ආත්මය ශරීරය යන දෙකම එකය කියා ද, ආත්මය අනිකෙක ශරීරය අනිකෙක කියා ද, පින් පව් කළහුට එහි විපාකය ලැබෙනවාය කියා ද, එකකු කළ කර්‍මයේ විපාකය අනිකකුට හිමි වෙනවාය කියා ද ලෝකයෙහි ඇති අනේකප්‍ර‍කාර දෘෂ්ටීන් ගත් අය පැමිණි කල්හි ඔවුන් ගේ දෘෂ්ටි නැති කිරීම සඳහා තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ අයට දේශනා කළ සූත්‍ර‍ ගණනක් ද ඇත්තේ ය.

මේ පටිච්චසමුප්පාද විවරණය අංග සම්පූර්ණ වීම පිණිස ඒ සූත්‍ර‍ත් මෙහි දැක්විය යුතු ය. පළමු මෙහි දැක් වූ සූත්‍ර‍ සේ ම දික් වූ ඒ සූත්‍ර‍, පාළියත් සමග සම්පූර්ණ කොට දක්වන්නට ගිය හොත් ග්‍ර‍න්ථය මහත් වන බැවින් දෘෂ්ටි නිවාරණ සූත්‍ර‍ කීපයක කරුණු පමණක් මෙහි දක්වනු ලැබේ.