උපාදාන සතර කලින් විස්තර කර ඇත. උපාදානයන් ඇති වන්නේ ද වැඩෙන්නේ ද ලෞකික නාම රූප ධර්මයන්හි ය. ලෞකිකනාම රූපය යි කියනුයේ ලෝකෝත්තර සිත් සතරත් නිවනත් හැර කාම රූප අරූප සංඛ්‍යාත ලෝක තුනෙහි සත්ත්වයන් පුද්ගලයන් වශයෙන් හා ගස්වැල් ආදි වස්තු වශයෙන් ද ඇත්තා වූ සියල්ල ය. විඤ්ඤාණය ඇති නැති වස්තු දෙවර්ගය අතුරෙන් උපාදානයන් වඩාත් වැඩෙන්නේ සත්ත්ව පුද්ගල සංඛ්‍යාත සවිඥානක වස්තු විෂයෙහි ය.
ලෞකික නාම රූපයන්හි ආස්වාදය - ආදීනවය කියා කරුණු දෙකක් ඇත්තේ ය. රූපශබ්දාදිය නිසා සත්ත්ව සන්තානයෙහි උපදනා සුඛ සෝමනස්ස දෙක ලෞකික ධර්මයන්ගේ ආස්වාද පක්‍ෂය යි. ජරා මරණ ශෝක පරිදේවාදිය ලෞකික ධර්මයන් ගේ ආදීනව පක්‍ෂය ය. ලෞකික ධර්මයන් ගේ ආස්වාද පක්‍ෂය ඉතා සුලු ය. ආදීනව පක්‍ෂය ඉතා මහත් ය. ලෞකික ධර්මයන් ගෙන් ලැබිය හැකි ආස්වාදය සොයන ආස්වාදය ලබන්නට උත්සාහ කරන අයට ඒ ලෞකික ධර්ම සමූහය අරමුණු කොට ඒ ධර්මයන් කෙරෙහි මහත් ආශාවක් ඇති වේ. “උපාදානියෙසු භික්ඛවෙ! ධම්මේසු අස්සාදානුපස්සී විහරතො තණ්හා පවඩ්ඪති” යි වදාළේ එහෙයිනි.
මේ සූත්‍රයෙන් දක්වන්නේ ද තෘෂ්ණා මූලික ප්‍රතීත්‍යසමුත්පාදයෙකි. තෘෂ්ණාව මුල්කොට උපදනා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාස සංඛ්‍යාත දුඃඛස්කන්ධය මහ ගිනි කඳක් වැනි ය. මහ ගිනි කඳට වියළි තණපත් ආදිය දමතහොත් ඒතාක් එය ඇවිලෙන්නේ ය. උපාදානය ධර්මය යි කියනු ලබන ලෞකික නාමරූපයන් ගේ ආස්වාදය නැවත නැවත සෙවීම නැවත නැවත ලබන්නට විඳින්නට උත්සාහ කිරීම දුඃඛස්කන්ධ සංඛ්‍යාත ගිනිමැලයට දර දැමීම ය. ඒ දර දැමීම කරන තෙක් ම සංසාර දුඃඛසංඛ්‍යාත ගිනිමැලය නො නිවී ඇවිලෙන බව මේ සූත්‍රයෙන් දක්වන අදහස ය. මේ සූත්‍රයෙහි දක්වන පටිච්චසමුප්පාදයට ඇත්තේ තණ්හා - උපාදාන - භව - ජාති - ජරාමරණ යන අංග පස පමණෙකි.