උපනිසා සූත්‍ර‍ය (අර්හත්වය පිළිබඳ පටිච්චසමුප්පාදය)

(නිදානවග්ග සංයුත්තයේ දසබල වග්ගයෙන්)

එක් සමයෙක්හි තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක. මහණෙනි, මම දන්නහු ගේ දක්නහු ගේ ආශ්‍ර‍වක්ෂය ය කියමි. නො දන්නහු ගේ නො දක්නහු ගේ ආශ්‍ර‍වක්ෂයයක් නො කියමි. මහණෙනි! කුමක් දන්නහු ගේ කුමක් දක්නහු ගේ ආශ්‍ර‍වයන් ගේ ක්ෂයය වේ ද? මේ රූපය ය, රූපයා ගේ පහළවීම මෙසේ ය, රූපයා ගේ නිරෝධය මෙසේ ය, මේ වේදනාව ය, වේදනාව ගේ පහළවීම මෙසේ වේ ය, වේදනාව ගේ නිරෝධය මෙසේ වේ ය. මේ සංඥාවය, සංඥාවගේ පහළවීම මෙසේ වේ ය, සංඥාවගේ නිරෝධය මෙසේ වේ ය. මේ සංස්කාරයෝ ය, සංස්කාරයන් ගේ පහළ වීම මෙසේ වේ ය, සංස්කාරයන් ගේ නිරෝධය මෙසේ වේ ය. මේ විඤ්ඤාණය ය, විඤ්ඤාණයේ පහළවීම මෙසේ වේ ය, විඤ්ඤාණයා ගේ නිරෝධය මෙසේ වේ ය කියා දන්නහු ගේ දක්නහු ගේ ආශ්‍ර‍වක්ෂය ය වේ.

මහණෙනි! ඔහුගේ ආශ්‍ර‍වක්ෂය සංඛ්‍යාත අර්හත් ඵලය ප්‍ර‍ත්‍යවේක්ෂා කරන්නා වූ යම් ඥානයක් වේ ද, එය ද ප්‍ර‍ත්‍යයෙන් හටගත් එකක් බව කියමි. ප්‍ර‍ත්‍යයන් නැතියෙකැ යි නො කියමි. මහණෙනි! අර්හත්ඵල ප්‍ර‍ත්‍යවේක්ෂා ඥානයාගේ ප්‍ර‍ත්‍යය කවරේ ද? එහි ප්‍ර‍ත්‍යය අර්හත්ඵල සංඛ්‍යාත විමුක්තිය ය. මහණෙනි! ඒ විමුක්තිය ද ප්‍ර‍ත්‍යය සහිතය යි කියමි. මහණෙනි! ඒ විමුක්තිය ගේ ප්‍ර‍ත්‍යය කවරේ ද? එහි ප්‍ර‍ත්‍යය විරාග සංඛ්‍යාත අර්හත් මාර්ගය යි කිය යුතු ය. මහණෙනි! මම ඒ විරාගය ද ප්‍ර‍ත්‍යය සහිතය යි කියමි.

මහණෙනි! විරාගයේ ප්‍ර‍ත්‍යය කවරේ ද? එහි ප්‍ර‍ත්‍යය නිබ්බිදාඤාණ නම් වූ විදර්ශනා ඥානය ය. මහණෙනි! ඒ නිබ්බිදාව ද මම ප්‍ර‍ත්‍යය සහිතය යි කියමි. මහණෙනි! නිබ්බිදාවෙහි ප්‍ර‍ත්‍යය කවරේ ද? එහි ප්‍ර‍ත්‍යය යථාභූත ඤාණ නම් වූ සංස්කාරයන් ගේ සැටි තත් වූ පරිදි දන්නා තරුණ විදර්ශනාඥානය ය. මහණෙනි! ඒ යථාභූත ඤාණයද ප්‍ර‍ත්‍යය සහිතයැ යි කියමි. මහණෙනි, ඒ යථාභූත ඤාණයේ ප්‍ර‍ත්‍යය කවරේ ද? එහි ප්‍ර‍ත්‍යය සමාධිය යි කිය යුතු ය. මහණෙනි! මම සමාධිය ද ප්‍ර‍ත්‍යය සහිතය යි කියමි.

මහණෙනි! සමාධිය ගේ ප්‍ර‍ත්‍යය කවරේ ද? එහි ප්‍ර‍ත්‍යය සුඛයය යි කිය යුතු ය. මහණෙනි! මේ සුඛය ද ප්‍ර‍ත්‍යය සහිත ය යි කියමි. මහණෙනි! සුඛයේ ප්‍ර‍ත්‍යය කවරේ ද? පස්සද්ධිය ය යි කිය යුතු ය. මහණෙනි! මම පස්සද්ධිය ද ප්‍ර‍ත්‍යය සහිතය යි කියමි. පස්සද්ධිය ගේ ප්‍ර‍ත්‍යය කවරේ ද? ප්‍රීතිය ය යි කිය යුතු ය. මහණෙනි! ප්‍රීතිය ද ප්‍ර‍ත්‍යය සහිතය යි කියමි. ප්‍රීතියේ ප්‍ර‍ත්‍යය කවරේ ද? පාමොජ්ජ නම් වූ දුර්‍වල ප්‍රීතිය යි කිය යුතු ය. මහණෙනි! ඒ දුර්වල ප්‍රීතිය ද ප්‍ර‍ත්‍යය සහිතය යි කියමි. ඒ දුර්වල ප්‍රීතියේ ප්‍ර‍ත්‍යය කවරේ ද? ශ්‍ර‍ද්ධාව ය යි කිය යුතු ය.

මහණෙනි! ශ්‍ර‍ද්ධාව ද ප්‍ර‍ත්‍යය සහිතය යි කියමි. එහි ප්‍ර‍ත්‍යය කවරේ ද? මහණෙනි! ශ්‍ර‍ද්ධාවේ ප්‍ර‍ත්‍යය දුකය යි කිය යුතු ය. මහණෙනි! දුඃඛය ද ප්‍ර‍ත්‍යය සහිතය යි කියමි. එහි ප්‍ර‍ත්‍යය කවරේ ද? එහි ප්‍ර‍ත්‍යය ජාතියය යි කිය යුතු ය. මහණෙනි! ජාතිය ද ප්‍ර‍ත්‍යය සහිතය යි කියමි. එහි ප්‍ර‍ත්‍යය කවරේ ද? එහි ප්‍ර‍ත්‍යය භවයය යි කිය යුතු ය. මහණෙනි! භවය ද ප්‍ර‍ත්‍යය සහිතය යි කියමි. එහි ප්‍ර‍ත්‍ය කවරේ ද? එහි ප්‍ර‍ත්‍යය උපාදානයය යි කිය යුතු ය.

මහණෙනි! උපාදානයා ගේ ප්‍ර‍ත්‍යය කවරේ ද? එහි ප්‍ර‍ත්‍යය තණ්හාවය යි කිය යුතු ය. මහණෙනි! තණ්හාව ද ප්‍ර‍ත්‍යය සහිතය යි කියමි. එහි ප්‍ර‍ත්‍යය කවරේ ද? එහි ප්‍ර‍ත්‍යය වේදනාවය යි කිය යුතු ය. මහණෙනි! වේදනාව ද ප්‍ර‍ත්‍යය සහිතය යි කියමි. වේදනාවේ ප්‍ර‍ත්‍යය කවරේ ද? එහි ප්‍ර‍ත්‍යය ස්පර්ශය යි කිය යුතු ය. මහණෙනි! ස්පර්ශය ද ප්‍ර‍ත්‍යය සහිතය යි කියමි. එහි ප්‍ර‍ත්‍යය කවරේ ද? එහි ප්‍ර‍ත්‍යය ෂඩායතන ය යි කිය යුතු ය. මහණෙනි! ෂඩායතනය ද ප්‍ර‍ත්‍යය සහිතය යි කියමි. එහි ප්‍ර‍ත්‍යය කවරේ ද? නාමරූපය යි කිය යුතු ය. මහණෙනි! නාමරූපය ද ප්‍ර‍ත්‍යය සහිත ය යි කියමි. එහි ප්‍ර‍ත්‍යය කවරේ ද? එහි ප්‍ර‍ත්‍යය විඤ්ඤාණය ය යි කිය යුතු ය. මහණෙනි! විඤ්ඤාණය ද ප්‍ර‍ත්‍යය සහිතය යි කියමි. එහි ප්‍ර‍ත්‍යය කවරේ ද? එහි ප්‍ර‍ත්‍යය සංස්කාරය යි කිය යුතු ය. මහණෙනි! සංස්කාරයෝ ද ප්‍ර‍ත්‍යය සහිතයෝය යි කියමි. මහණෙනි! සංස්කාරයන් ගේ ප්‍ර‍ත්‍යය කවරේ ද? සංස්කාරයන් ගේ ප්‍ර‍ත්‍යය අවිද්‍යාවය යි කිය යුතු ය.

මහණෙනි! මෙසේ සංස්කාරයෝ අවිද්‍යාව ප්‍ර‍ත්‍යය කොට ඇත්තාහ. විඤ්ඤාණය සංස්කාරයන් ප්‍ර‍ත්‍යය කොට ඇත්තේ ය. නාමරූපය විඤ්ඤාණ ප්‍ර‍ත්‍යය කොට ඇත්තේ ය. ෂඩායතනය නාමරූපයන් ප්‍ර‍ත්‍යය කොට ඇත්තේ ය. ඵස්සය ෂඩායතනය ප්‍ර‍ත්‍යය කොට ඇත්තේ ය. වේදනාව ඵස්සය ප්‍ර‍ත්‍යය කොට ඇත්තේ ය. තණ්හාව වේදනාව ප්‍ර‍ත්‍යය කොට ඇත්තේ ය. උපාදානය තණ්හාව ප්‍ර‍ත්‍යය කොට ඇත්තේ ය. භවය උපාදානයන් ප්‍ර‍ත්‍යය කොට ඇත්තේ ය. ජාතිය භවය ප්‍ර‍ත්‍යය කොට ඇත්තේ ය. දුඃඛය ජාතිය ප්‍ර‍ත්‍යය කොට ඇ්තතේ ය. ශ්‍ර‍ද්ධාව දුඃඛය ප්‍ර‍ත්‍යය කොට ඇත්තේ ය. පාමොජ්ජය (දුර්වල ප්‍රීතිය) ශ්‍ර‍ද්ධාව ප්‍ර‍ත්‍යය කොට ඇත්තේ ය. බලවත් ප්‍රීතිය පාමොජ්ජය ප්‍ර‍ත්‍යය කොට ඇත්තේ ය. ප්‍ර‍ශ්‍ර‍බ්ධිය බලවත් ප්‍රීතිය ප්‍ර‍ත්‍යය කොට ඇත්තේ ය. සුඛය ප්‍ර‍ශ්‍ර‍බ්ධිය ප්‍ර‍ත්‍යය කොට ඇත්තේ ය. සමාධිය සුඛය ප්‍ර‍ත්‍යය කොට ඇත්තේ ය. යථාභූතඤාණදස්සන නම් වූ තරුණ විදර්ශනාඥානය සමාධිය ප්‍ර‍ත්‍යය කොට ඇත්තේ ය. නිබ්බිදාඤාණ නම් වූ විදර්ශනාඥානය තරුණ විදර්ශනාඥානය ප්‍ර‍ත්‍යය කොට ඇත්තේ ය. විරාග නම් වූ අර්හත් මාර්ගය නිබ්බිදාඤාණ නම් වූ විදර්ශනා ඥානය ප්‍ර‍ත්‍යය කොට ඇත්තේ ය. විමුත්ති නම් වූ අර්හත් ඵලය විරාගය ප්‍ර‍ත්‍යය කොට ඇත්තේ ය. ඛයේඤාණ නම් වූ අර්හත් ඵලය ප්‍ර‍ත්‍යවේක්ෂා කරන්නා වූ ඥානය විමුක්තිය ප්‍ර‍ත්‍යය කොට ඇත්තේ ය.

මහණෙනි! පර්වත මුදුනෙහි මහවැසි වට කල්හි ඒ ජලය පහත් පහත් තැන්වලට ගලා යන්නේ ය. පර්වතවල ජලයෙන් සෑරීගිය තැන්, වියළීමෙන් පැලුණු තැන් කුඩා ඇලවල් පුරවන්නේ ය. පිරුණා වූ කඳුරැළි බිම්පැලුම් කුඩා ඇලවල් කුඩා වළවල් පුරවන්නාහ. පිරුණා වූ කුඩා වළවල් මහ වළවල් පුරවන්නාහ. පිරුණා වූ මහ වළවල් කුඩා ගඟවල් පුරවන්නාහ. පිරුණා වූ කුඩා ගඟවල් මහා ගංගා පුරවන්නාහ. පිරුණා වූ මහා ගංගාවෝ සමුද්‍ර‍ය පුරවන්නාහ. මහණෙනි! එපරිද්දෙන් සංස්කාරයෝ අවිද්‍යාව හේතුකොට ඇත්තෝ ය. විඤ්ඤාණය සංස්කාරයන් ප්‍ර‍ත්‍යය කොට ඇත්තේ ය. -පෙ- විමුක්ති සංඛ්‍යාත අර්හත්ඵලය විරාග සංඛ්‍යාත මාර්ග ඥානය ප්‍ර‍ත්‍යය කොට ඇත්තේ ය. අර්හත්ඵල ප්‍ර‍ත්‍යවේක්ෂා ඥානය අර්හත්ඵලය ප්‍ර‍ත්‍යය කොට ඇත්තේ ය.

මේ සූත්‍රයෙන් දැක්වෙන පටිච්චසමුප්පාදාංග මෙසේ ය:-

අවිජ්ජා, සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, දුක්ඛ, සද්ධා, පාමොජ්ජ, පීති, පස්සද්ධි, සුඛ, සමාධි, යථාභූතඤාණදස්සන, නිබ්බිදා, විරාග, විමුත්ති, ඛයෙඤාණ මෙසේ තෙවිස්සෙකි.

පටිච්චසමුප්පාදයකැ යි කියනුයේ හේතුඵල පරම්පරාවක් නිසා ය. ඉහත කී පටිච්චසමුප්පාදය සේ මෙය චක්‍ර‍යක් නො වේ. මේ පටිච්චසමුප්පාදයෙන් සංසාරය කෙළවර වේ.