එක්තරා භික්ෂුවක් බුදුන් වහන්සේ වෙත එළඹ, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! ධර්මකථිකයාය ධර්ම කථිකයාය යි කියනු ලැබේ. කොපමණකින් ධර්ම කථිකයෙක් වේදැ යි විචාළේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
ජරාමරණස්ස චෙ භික්ඛු! නිබ්බිදාය විරාගාය නිරොධාය ධම්මං දෙසෙති ධම්මකථිකො භික්ඛූති අලං වචනාය, ජරාමරණස්ස චෙ භික්ඛු! නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හොති, ධම්මානු ධම්මපටිපන්නො භික්ඛූති අලං වචනාය, ජරා මරණස්ස චෙ භික්ඛු! නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුත්තො හොති දිට්ඨධම්මං නිබ්බානප්පත්තෝ භික්ඛූති අලං වචනාය.
ජාතියා චෙ භික්ඛු! -පෙ-
භවස්ස චෙ භික්ඛු! -පෙ-
උපාදානස්ස චෙ භික්ඛු! -පෙ-
තණ්හාය චෙ භික්ඛු! -පෙ-
වෙදනා චෙ භික්ඛු! -පෙ-
ඵස්සස්ස චෙ භික්ඛු! -පෙ-
සළායතනස්ස චෙ භික්ඛු! -පෙ-
නාමරූපස්ස චෙ භික්ඛු! -පෙ-
විඤ්ඤාණස්ස චෙ භික්ඛු! -පෙ-
සංඛාරානං චෙ භික්ඛු! -පෙ-
අවිජ්ජාය චෙ භික්ඛු! නිබ්බිදාය විරාගාය නිරොධාය ධම්මං දෙසෙති “ධම්මකථිකො භික්ඛු” ති අලං වචනාය. අවිජ්ජාය චෙ භික්ඛු නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හොති. “ධම්මානුධම්මපටිපන්නො භික්ඛු” ති අලං වචනාය. අවිජ්ජා චෙ භික්ඛු නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුත්තො හොති “දිට්ඨධම්ම නිබ්බානප්පත්තො භික්ඛූ! ති අලං වචනාය.
එහි තේරුම මෙසේ ය:-
ඉදින් මහණ තෙමේ ජරාමරණයට කලකිරීම පිණිස නො ඇලීම පිණිස ජරාමරණයා ගේ නිරෝධය පිණිස දහම් දෙසා නම් ඒ මහණ ධර්මකථික භික්ෂුවකැයි කීමට සුදුසු ය. ඉදින් මහණ තෙමේ ජරාමරණයට කලකිරීම පිණිස නො ඇලීම පිණිස ජරාමරණයා ගේ නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම්, ඒ භික්ෂු තෙමේ නිර්වාණ ධර්මයට අනුකූල ප්‍රතිපත්තිය පුරන්නේ ය යි කිය යුතු ය. ඉදින් මහණ තෙමේ ජරාමරණයට කලකිරී ජරා මරණයෙහි නො ඇලීමෙන් ජරාමරණය නිරුද්ධ කිරීමෙන් උපාදානයන් කරණකොට කිසි ධර්මයක් නො ගෙන මිදුණේ වේ ද ඒ භික්ෂුව ඉහාත්මයෙහි නිවනට පැමිණි භික්ෂුවකැ යි කීමට සුදුසු ය.
ඉදින් මහණ තෙමේ ජාතියට -පෙ-
ඉදින් මහණ තෙමේ භවයට -පෙ-
ඉදින් මහණ තෙමේ උපාදානයට -පෙ-
ඉදින් මහණ තෙමේ තණ්හාවට -පෙ-
ඉදින් මහණ තෙමේ වේදනාවට -පෙ-
ඉදින් මහණ තෙමේ ඵස්සයට -පෙ-
ඉදින් මහණ තෙමේ ෂඩායතනයට -පෙ-
ඉදින් මහණ තෙමේ නාමරූපයට -පෙ-
ඉදින් මහණ තෙමේ විඤ්ඤාණයට -පෙ-
ඉදින් මහණ තෙමේ සංස්කාරයන්ට -පෙ-
ඉදින් මහණ තෙමේ අවිද්‍යාවට කලකිරීම පිණිස නො ඇලීම පිණිස අවිද්‍යාව ගේ නිරෝධය පිණිස දහම් දෙසා නම් ඒ භික්ෂුව ධර්මකථිකයෙකැ යි කීමට සුදුසු ය. ඉදින් මහණ තෙමේ අවිද්‍යාවට කලකිරීම පිණිස නො ඇලීම පිණිස අවිද්‍යාව ගේ නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම් ඒ භික්ෂු තෙමේ නිර්වාණ ධර්මයට අනුකූල ප්‍රතිපත්තිය පුරන්නේ ය යි කිය යුතු ය. ඉදින් මහණ තෙමේ අවිද්‍යාවට කලකිරී අවිද්‍යාවෙහි නො ඇලී අවිද්‍යාව නිරෝධ කිරීමෙන් උපාදානයන් කරණ කොට කිසි ධර්මයක් නො ගෙන මිදුණේ වේ ද, ඒ භික්ෂුව ඉහාත්මයෙහි ම නිවනට පැමිණි භික්ෂුවකැ යි කීමට සුදුසු ය. මේ ඉහත දැක් වූ ධර්මපාඨයේ තේරුම ය.
යමක් ගැන කලකිරීමට ධර්මයක් වුවමනා වන්නේ ඒ දෙයට ඇලුම් කරන අය ඇතහොත් ය. ජරා මරණ දෙකට ඇලුම් කරන කෙනකු නැත. එබැවින් ජරා මරණය ගැන කලකිරීමට දහම් දෙසන්නෙක් කුමට ද? යන ප්‍රශ්නය මේ සූත්‍ර ධර්මය සම්බන්ධයෙන් ඇතිවිය හැකි ය. ජරා මරණ දෙකට කැමති කෙනකු නැති බව සත්‍යයකි. එහෙත් මේ සත්ත්වයා අවිද්‍යාදි ද්වාදශාංගයක් ඇති මේ සංසාරයට, තවත් ක්‍රමයකින් කියත හොත් මේ පඤ්චස්කන්ධයට තදින් ඇලුම් කරයි. ජරා මරණයත් මේ පඤ්චස්කන්ධයට අයත් නැති, මේ පඤ්චස්කන්ධයෙන් පිටත් දෙයක් නො වේ. එබැවින් පඤ්චස්කන්ධයට ඇලුම් කරන තැනැත්තේ එයට ඇලුම් කිරීම් වශයෙන් ජරාමරණයටත් ඇලුම් කරන්නේ වේ.
එබැවින් සංසාර චක්‍රයට අයත් ධර්ම වෙන් වශයෙන් ගෙන එකින් එක ගෙන කියන කල්හි ජරා මරණය ගැන කලකිරීමට දහම් දෙසීමත් වුවමනා ය. මේ සංසාර චක්‍රයේ ඇති වඩා නපුරු තැන ජරාමරණය ය. එයට හැම සත්ත්වයෝ ම බිය වෙති. එහෙත් සත්ත්වයෝ එය අමතක කර දමා පඤ්චස්කන්ධයට ඇලුම් කරගෙන නො යෙක් පව් කම් කරමින් ප්‍රීති වෙති. ඒ නිසා ම ඔවුහු නො කැමති වන ජරාමරණයෙන් නො මිදෙති. ඔවුන් සංසාර චක්‍රයෙන් මිදීමට සසර කලකිරවීමට ඇති හොඳ ම උපාය ජරාමරණය මතුකොට දක්වා එහි ඇති භයානකත්වය පෙන්වීම ය. එබැවින් ජරාමරණය ගැන කලකිරීම පිණිස දහම් දෙසීම නිරර්ථක දෙයක් නොව, ඉතාම සාර්ථක වැඩක් බව කිය යුතු ය.
මේ සූත්‍රයෙහි පටිච්චසමුප්පාදාංග දොළොස ගැනම වෙන වෙනම දක්වා ධර්මකථික ලක්‍ෂණ වදාරා තිබෙන හෙයින් එහි අදහස තරමක් දුරට වැසී තිබේ. මේ සූත්‍රයෙන් දැක්වෙන කෙටි අදහස නම් අවිද්‍යාදි ද්වාදශාංගයක් ඇති මේ සංසාර චක්‍රය කෙරෙහි කලකිරෙන පරිදි සංසාරයට ඇති ආශාව දුරුවන පරිදි සංසාරචක්‍රය සිඳ නිවනට පැමිණෙන පරිදි දහම් දෙසන භික්ෂුව ධර්මකථිකයා ය යනුයි. ඛන්ධවග්ගසංයුක්තයේ චූල පණ්ණාසකයේ ධර්මකථික වර්ගයේ සූත්‍ර දෙකක ම -
“රූපස්ස චෙ භික්ඛු නිබ්බිදාය විරාගාය නිරෝධාය ධම්මං දෙසෙති, ධම්මකථිකො භික්ඛූති අලං වචනාය. වේදනාය චෙ භික්ඛු නිබ්බිදාය විරාගාය නිරොධාය ධම්මං දෙසෙති, ධම්මකථිකො භික්ඛූති අලං වචනාය. සඤ්ඤාය චෙ භික්ඛු නිබ්බිදාය විරාගාය නිරොධාය ධම්මං දෙසෙති, ධම්මකථිකො භික්ඛූති අලං වචනාය. සංඛාරානං චෙ භික්ඛු නිබ්බිදාය විරාගාය නිරොධාය ධම්මං දෙසෙති. ධම්ම කථිකො භික්ඛූති අලං වචනාය. විඤ්ඤාණස්ස චෙ භික්ඛු නිබ්බිදාය විරාගාය නිරොධාය ධම්මං දෙසෙති. ධම්මකථිකො භික්ඛූති අලං වචනාය” යි.
වදාරා තිබේ. ඒ දේශනයෙන් දැක්වෙන්නේ පඤ්චස්කන්ධය ගැන කලකිරීම පිණිසත්, පඤ්චස්කන්ධයෙහි නො ඇලීමට හා පඤ්චස්කන්ධයෙන් බැහැර වී නිවනට පැමිණීම පිණිසත් දහම් දෙසන භික්ෂුව ධර්මකථිකයා බව ය. තථාගතයන් වහන්සේ විසින් මෙසේ දෙතැනක දෙයාකාරයකින් ධර්‍මකථිකයා හඳුන්වා තිබීමෙන් ධර්ම කථිකයන් දෙවර්ගයක් උන් වහන්සේ වදාරා ඇතය යි නො සිතිය යුතු ය. පටිච්චසමුප්පාදාංග දොළොසත් පඤ්චස්කන්ධයම ය. පඤ්චෝපාදානස්කන්ධයත් පටිච්චසමුප්පාදයම ය. විභාග කර ඇති ක්‍රමයේ මිස ධර්ම වශයෙන් ඒ දෙක්හි වෙනසක් නැත.
ගොවිකමත් උපාසකකමත් යන දෙක ම කරන මිනිසකුට ගොවි මහතාය යි ද උපාසක මහතාය යි ද කිය හැකි ය. ඒ වචන දෙකින් කෝක කීවත් ගැනෙන්නා එකම මනුෂ්‍යයා ය. එමෙන් අවිද්‍යාදි පටිච්චසමුප්පාදාංගයෝය කීවත් රූප වේදනාදියය කීවත් ඒ කීම් දෙකින් ගැනෙන්නේ එකම දෙයකි. ඒ නිසා ඒ සූත්‍ර දෙක්හි දැක්වෙන ධර්මකථිකයා ගේ වෙනසක් නැති බව දත යුතු ය.
ධර්මකථික ලක්‍ෂණය පිළිබඳව සැලකිය යුතු කරුණක් ඇත. ධනය සපයන සැටි - ලැබූ ධනය පරිස්සම් කරගන්නා සැටි - පවුල දියුණු කරගන්නා සැටි - දූ දරුවන් හදා ගන්නා සැටි - බිරිය සතුටු කරවන සැටි - සැමියා සතුටු කරවන සැටි - නෑ මිතුරන් සතුටු කරවන සැටි - අසල් වැසියන් සතුටු කරවන සැටි - කන බොන සැටි - අඳින පළඳින සැටි - පමණ දැන වියදම් කරන සැටි - මාපියන්ට සැලකිය යුතු සැටි - වැඩිහිටියන්ට සැලකිය යුතු සැටි - දන්දීමේ අනුසස් - දෙව්ලොව සැටි - දෙව්ලොව යන සැටි යනාදි කරුණු ව්‍යක්ත අන්දමින් මිනිසුන් ගේ සිත්වලට කාවදින අන්දමින් මිනිසුන් පහදින අන්දමින් දේශනය කරන භික්ෂුව ධර්මකථිකයා ය යි නො වදාරා, සසර කලකිරීමට, තණ්හාව දුරු කිරීමට - පඤ්චස්කන්ධයෙන් මිදීමට දහම් දෙසන භික්ෂුවම ධර්මකථිකයාය යි වදාළේ කුමක් හෙයින් ද? යනු කල්පනා කළ යුතු කරුණු ය.
ලෝකයෙහි බුදුවරයන් වහන්සේලා චතුරසංඛ්‍ය කල්ප ලක්‍ෂය ආදි වශයෙන් ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි පෙරුම් පුරා ලොවුතුරා බුදු බවට පැමිණෙන්නේ මේ මිනිසුන්ට පොහොසත් වෙන සැටි උගැන්වීමට වත්, දූ දරුවන් හදාගන්නා අන්දම උගැන්වීමටවත්, බිරිය හා සමගියෙන් වෙසෙන සැටි උගැන්වීමටවත්, අසල්වැසියන් සමග හොඳ හිතින් වෙසෙන සැටි උගැන්වීමටවත්, රට ජාතිය දියුණු කරගන්නා සැටි උගැන්වීමටවත්, දෙව් ලොවට යන සැටි උගැන්වීමටවත් නො වේ. මහාබෝධි සත්ත්ව සුමේධ තාපසයන් වහන්සේ එදා දීපංකර බුද්ධපාද මූලයේ දී සසරින් එතර වන්නට උත්සාහ නො කොට සසර රැඳුනේ :-
“ඉමිනා මෙ අධිකාරෙන කතෙන පුරිසුත්තමෙ,
සබ්බඤ්ඤුතං පාපුණාමි තාරෙමි ජනතං බහුං,
සංසාරසොතං ඡින්දිත්වා විද්‍ධංසෙත්වා තයො භවෙ.
ධම්මනාවං සමාරුය්හ සන්තාරෙස්සං සදෙවකෙ.”
යනුවෙන් වදාරා ඇති පරිදි සංසාර ශ්‍රෝතස (සංසාර චක්‍රය) සිඳ, කාම රූප අරූප සංඛ්‍යාත භවත්‍රය නැති කොට දහම් නැවට නැඟ දෙවියන් සහිත ලෝකයා සංසාර සාගරයෙන් එතරට පමුණුවන්නෙමිය යන අදහසිනි.
බුදුරජාණන් වහන්සේගේ අදහස සත්ත්වයන් සංසාරයෙන් එතර කරවීම ය, එබැවින් උන්වහන්සේ සත්ත්වයන් සංසාර සාගරයෙන් එතර කරවනු පිණිස ස්කන්ධාදි ධර්ම පිළිබඳ වූ, සසර කලකිරවන්නා වූ, තෘෂ්ණාව නැති කරන්නා වූ, නිවනට පමුණුවන්නා වූ, ධර්මයක් ම බොහෝ සෙයින් දේශනය කළ සේක. සමහර අවස්ථාවලදී ධනය සැපයීම් ධනය රැකීම් ආදි මෙලොව ජීවත්වීමට ප්‍රයෝජනවත් ධර්ම ද උන්වහන්සේ දේශනය නො කළේ නො වේ. එසේ කළ අවස්ථා ඇත්තේ ඉතා ස්වල්පයෙකි. එබඳු ධර්මයක් දේශනය කිරීම බුද්ධත්වයේ පරමාර්ථය නො වේ. උන්වහන්සේ විසින් දේශනය කළ සසරට කලකරවන ධර්මය සැමදෙනාට ම ගැලපෙන්නක් නො වේ. “පඤ්ඤාවන්තස්සායං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස” යි වදාළේ එහෙයිනි.
එදා ද බුදුන් වහන්සේ ගේ ඒ නෛර්‍ය්‍යාණික (සසරින් එතර කරවන) ධර්මයට බොහෝ දෙනා විරුද්ධ වූහ. ඒ ධර්මය දේශනය කරන නිසා ඇතමුන් උන්වහන්සේ සැලකුව් ලෝකපාළුවකු ලෙසට ය. ඒ ධර්මය නිසා උන්වහන්සේට අප්‍රිය කළ තරම මාගන්දිය පිරිවැජියා ගේ කථා ප්‍රවෘත්තියෙන් තේරුම් ගත හැකි ය.
එක් අවස්ථාවක දී තථාගතයන් වහන්සේ කුරුරට කම්මාසදම්ම නම් නියම්ගමෙහි භාරද්වාජ නම් බ්‍රාහ්මණයකු ගේ ගිනිහල් ගෙයි තණ ඇතිරියක සැතපී සිට ඒ ඇතිරිය එසේ ම තිබෙන්නට හැර වැඩම කළ සේක. එදා මාගන්දිය නමැති පිරිවැජියා ද පා ගමනින් ඇවිදිනුයේ භාරද්වාජ ගේ ගිනිහල් ගෙට පැමිණියේ ය. ඔහු තථාගතයන් වහන්සේ සැතපුණු තණ ඇතිරිය දැක “භාරද්වාජය! ශ්‍රමණයකුට යෝග්‍ය වන මේ තණ ඇතිරිය කවරකු උදෙසා පනවන ලද්දේදැ” යි ඇසීය. පින්වත් මාගන්දියය! ශාක්‍ය කුලයෙන් පැවිදි වූ ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේට මෙය පනවන ලද්දේය යයි භාරද්වාජ කීය.
එකල්හි මාගන්දිය “දුද්දිට්ඨං වත හෝ භාරද්වාජ අද්දසාම යෙ මයං තස්ස භොතෝ ගෝතමස්ස භූනහුනෝ සෙය්‍යං අද්දසාම” භාරද්වාජය! මිනිසා ගේ දියුණුව නසන ශ්‍රමණ භවත් ගෞතමයා නිදාගත් තැන දැකීමෙන් අපි නො දැකිය යුත්තක් දුටුවෙමු” යි කී ය. කියන ලද පාඨයෙහි භූනහු යන වචනයේ තේරුම ‘දියුණුව නැති කරන තැනැත්තාය’ යනු යි. ඒ වචනයෙන් බුදුන් වහන්සේට ගර්හා කළේ මිල මුදල් ආදි කාමවස්තූන් රැස්කිරීමට නොව ඒවා අතහැරීමට ඒවාට ආලය නො කිරීමට දහම් දෙසන නිසා ය.
චතුරසංඛ්‍ය කල්පලක්‍ෂයක් පෙරුම් පුරා උන්වහන්සේ බුදු වූයේ ලෝකයෙන් වෙන් වී නිවනට පැමිණීමට දහම් දෙසනු සඳහා ය. එබැවින් උන්වහන්සේ කාමයන්ට කලකිරීමට - කාමයන් හැර දැමීමට දහම් දෙසන සේක. ධන සැපයීම් පවුල් දියුණු කිරීම් ආදිය පිණිස දේශනය කරන ධර්මය තණ්හාව දුරු කරන ධර්මයක් නොව තණ්හාව වඩන ධර්මයකි. නිවනට පමුණුවන ධර්මයක් නොව සසර දිගු කරන ධර්‍මයකි. එබැවින් ඒ ධර්මය බුදුවීමේ පරමාර්ථයට විරුද්ධ ය. එබැවින් තථාගතයන් වහන්සේ එබඳු ධර්මයක් දේශනය කරන භික්ෂුව ධර්මකථිකයකු වශයෙන් ගණන් නො ගත් සේක.
තව ද පොහොසත්වීමේ මාර්ග - දූ දරුවන් දියුණු කිරීමේ මාර්ග යනාදිය සෙවීම පිණිස චතුරසඞ්ඛ්‍ය කල්පලක්‍ෂයක් පෙරුම් පිරුවාය කියත හොත් එය මහ විහිළුවකි. ධන සැපයීම් ආදිය පිළිබඳ නුවණ ලෝකයේ බොහෝ දෙනාට ඇත්තේ ය. ලෝකයාට ඒවා උගැන්වීමට බොහෝ දුක් ගෙන බුදුවන්නට වුවමනාවක් නැත. එසේ ම ලෝකයාට ඒවාට උපදෙස් දීමට බුදුසස්නක් පිහිටවන්නට උවමනාවක් ද නැත. තථාගතයන් වහන්සේ විසින් මේ බුදුසස්න පිහිටුවා තිබෙන්නේ ලෝකයාට නිවන් මඟ දැක්වීමට ය. එබැවින් මේ ශාසනයෙහි පොහොසත්වීම් ආදියට ම දහම් දෙසන තැනැත්තා සමාජ සංවර්ධකයකු වශයෙන් මිස ධර්මකථිකයකු වශයෙන් ගණන් ගැනීමට සුදුසු නැත.
තථාගතයන් වහන්සේ විසින් පවුල් දියුණුකර ගැනීම් ආදිය සඳහා දහම් දෙසන වියතුන් ධම්මකථිකයන් ගේ සංඛ්‍යාවට ඇතුළත් කොට නො වදාළේ මේ කරුණු නිසා ය. ධන සැපයීම් ආදියට උපදෙස් දක්වන බුද්ධ දේශනා ද නැත්තේ නො වේ. ධන සැපයීම් ආදි වැඩවලට උපදෙස් දීම තථාගතයන් වහන්සේ විසින් කර තිබෙන්නේ අප්‍රධාන වශයෙන් කලාතුරකින් පමණකි. තථාගතයන් වහන්සේ ගේ ඒ ධර්ම දේශනය කිරීම ලියන මහත්මයකු ගේ උදලු ගෑමක් සේ දත යුතු ය.
අවිද්‍යා තෘෂ්ණාදි ක්ලේශයන්ගෙන් බොර වී ගිය සිත් ඇති පඤ්චකාමය ම ලොව ඇති උසස් දෙය සැටියට සලකාගෙන පඤ්චකාමය නමැති මඩවගුරෙහි එරී ඉන්නා බොහෝ ජනයාට, මාගන්දිය පිරිවැජියාට මෙන් ප්‍රතීත්‍යසමුත්පාදාදි ගැඹුරු කරුණු පිළිබඳ වූ ද, සංසාරයේ ආදීනවය දක්වන්නා වූ ද, තෘෂ්ණාව දුරු කිරීමේ අනුසස් දක්වන්නා වූ ද, කාමයන්ගෙන් වෙන්වීම උගන්වන්නා වූ ද, ධර්ම දේශනය අප්‍රිය ය. එබැවින් තථාගතයන් වහන්සේ වදාළ ධර්මකථික ලක්‍ෂණයෙහි පිහිටා දහම් දෙසීමත් අද එක්තරා ප්‍රශ්නයක් වී තිබේ.
ධර්මදේශකයා තථාගතයන් වහන්සේ වදාළ ධර්මකථික ලක්‍ෂණයෙහි පිහිටා ප්‍රතීත්‍යසමුත්පාදාදි උසස් ධර්ම දේශනය කරත හොත්, අද ඇතැමෙක් ‘ඔය අභිධර්මවලින් අපට වැඩක් නැත’ කියා දහම්හල්වලින් ද පිට වී යති. එසේ දහම් දෙසන භික්ෂුවට වර්තමාන ලෝකයේ තැනක් නැත. ඒ භික්ෂුවට ආහාර ටිකවත් නිසිසේ නො ලබා මුළුගැන් වී ඉන්නට සිදු වේ. අද රටේ තත්ත්වයක් ලැබිය හැක්කේ - උසස් ධර්ම කථිකයෙක් ය යන කීර්තිය ලැබිය හැක්කේ - මහජනයාගෙන් ගරු බුහුමන් ලැබිය හැක්කේ දහම් දෙසනවාය කියා එක එක්කෙනා ගේ ගුණ වර්ණනා කරන, ඇතමුන්ට ගර්හා කරන ධනය සැපයීමේ - ධනය ආරක්‍ෂා කිරීමේ උපදෙස් දේශනය කරන, අසන්නවුන්ට විනෝදය ඇතිවන දේ එකතු කොට දේශනය කරන දේශකයන්ට ය.
හොඳ බණක් කියා මිනිසුන් පැහැදවිය නො හෙන බැවින් අද බොහෝ ධර්මකථිකයෝ ද ඒ මග ගෙන සිටිති. එයින් බෞද්ධයෝ ධර්මය නො හඳුනන ධර්මරසය නො ලබන පිරිසක් වී සිටිති. සමාජ සංවර්ධනයට අවශ්‍ය වූ දුශ්චරිතයන්ගෙන් දුරුවන සැටි හා සුචරිත වර්ධනයට හේතුවන බෞද්ධ සිරිත්-විරිත්, ගති-පැවතුම් පිළිබඳව දේශනා කරන අතර, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මකථික ලක්‍ෂණයෙහි පිහිටා ප්‍රතීත්‍යසමුත්පාදාදි උසස් ධර්ම දේශනා කිරීමෙන් බෞද්ධ ලෝකයාට ධර්ම රසය ලබාදීමට දේශකයන් වහන්සේලා උත්සාහ කෙරෙත්වා! බෞද්ධයෝ ද එබඳු ගැඹුරුධර්ම ප්‍රිය කරන්නෝ වෙත්වා!
පොහොසත් වන සැටි - පවුල පාලනය කරගන්නා සැටි - පවුල දියුණු කරගන්නා සැටි - දැනගැනීමට ම නම් බොහෝ දුර සිට බොහෝ වියදම් දරා බොහෝ වෙහෙසී ධර්මකතිකයකු පමුණුවා ගන්නට වුවමනා නැත. ඒවා ගැන දන්නෝ රටේ බොහෝ ය. බුද්ධාගමෙන් බලාපොරොත්තු විය යුත්තේ සසර දුකින් මිදීමේ ක්‍රමයක් සොයා ගැනීම ය. බුදුරජාණන් වහන්සේ විසින් වදාරා ඇත්තේ පොහොසත්වන සැටි - පවුල පාලනය කරගන්නා සැටි - උගන්වන අනුශාසකයකු සොයා ගැනීමට නොව, සසර දුකින් එතරවීමේ මඟ පෙන්වන අනුශාසකයකු සොයා ගැනීමට ය. ඒ බව මතු දැක්වෙන ශාස්තෘපර්‍යෙෂණ සූත්‍රයෙන් දත යුතු ය.