ශාස්තෘපර්යෙෂණ සූත්‍ර‍ය

ජරාමරණ භික්ඛවෙ! අජානතා අපස්සතා යථාභූතං ජරාමරණෙ යථාභූතං ඤාණාය සත්ථා පරියෙසිතබ්බො, ජරාමරණසමුදයං අජානතා අපස්සතා යථාභූතං ජරාමරණ සමුදයෙ යථාභූතං ඤාණාය සත්ථා පරියෙසිතබ්බො. ජරාමරණ නිරොධං අජානතා අපස්සතා යථාභූතං ජරාමරණනිරොධෙ යථාභූතං ඤාණාය සත්ථා පරියෙසිතබ්බො. ජරාමරණනිරොධ ගාමිනිං පටිපදං අජානතා අපස්සතා යථාභූතං ජරාමරණ නිරොධගාමිනියා පටිපදාය යථාභූතං ඤාණාය සත්ථා පරිසෙතබ්බො.

තේරුම :-

“මහණෙනි! ජරාමරණය නො දන්නා - නො දක්නා තැනැත්තා විසින් ජරාමරණය හරියට දැන ගැනීම පිණිස අනුශාසකයෙක් සෙවිය යුතු ය. ජරාමරණයේ හේතුව නො දන්නා - නො දක්නා තැනැත්තා විසින් ජරාමරණයේ හේතුව හරියට දැනගැනීම පිණිස අනුශාසකයෙක් සෙවිය යුතු ය. ජරාමරණ නිරෝධය නො දන්නා - නො දක්නා තැනැත්තා විසින් ජරාමරණ නිරෝධය හරියට දැන ගැනීම පිණිස අනුශාසකයෙක් සෙවිය යුතු ය. ජරාමරණ නිරෝධයට යන ප්‍ර‍තිපදාව නො දන්නා - නො දක්නා තැනැත්තා විසින් ජරාමරණ නිරෝධයට යන ප්‍ර‍තිපදාව හරියට දැනගැනීම පිණිස අනුශාසකයෙක් සෙවිය යුතු ය” යනු සූත්‍රයේ තේරුම ය.

මේ සූත්‍රයෙහි දක්වා ඇත්තේ පටිච්චසමුප්පාදයේ අවසානාංගය ය. ජාති භව උපාදානාදි පටිච්චසමුප්පාදාංගයන් පිළිබඳව ද කියන ලද නයින් සලකා ගත යුතු ය. මෙය ප්‍ර‍තීත්‍යසමුත්පාදයත් චතුරාර්‍ය්‍යසත්‍යයත් එක් කොට දේශිත සූත්‍ර‍යකි. මේ සූත්‍රයෙන් උගන්වන්නේ නිවන්මග සෙවීම සඳහා බුදුකෙනකුම සොයා ගැනීම නොව, මාර්ගඵල ලැබිය හැකිවන පරිදි අනුශාසනා කිරීමට දත් බුදු වූ හෝ බුද්ධශ්‍රාවක වූ හෝ අනුශාසකයකු සොයා ගැනීමය. සොයා ගන්නා අනුශාසකයා ගිහියකු වුව ද වරදක් නැත.

ධනය සපයන සැටි, පරෙස්සම් කරන සැටි, පවුල් දියුණු කරන සැටි, ගමරට දියුණු කරන සැටි කියා දෙන අනුශාසකයන්ගෙන් නම් සංසාර දුඃඛයෙන් මිදීමට ලැබිය හැකි ප්‍රයෝජනයක් නැත. සංසාර දුඃඛයෙන් මිදීමට උපකාර ලැබිය හැක්කේ ඉහත දැක් වූ ධර්ම කථික සූත්‍රයෙහි වදාරා ඇති ධර්මකථික ලක්‍ෂණයෙහි පිහිටා දහම් දෙසන අනුශාසකයකුගෙන් පමණෙකි. එබැවින් දුකින් මිදෙනු කැමති පින්වතුන් විසින් එබඳු අනුශාසකයන් සොයා ඔවුන් භජනය කළ යුතු ය.

ධනය සැපයීම්, පවුල් පෝෂණය කිරීම, ගෙවල් තැනීම, දූ දරුවන් හදාවඩා ගැනීම යනාදිය ලෝකයෙහි බුදුසස්න ඇති නැති සැම කාලයේ ම කළ හැකි ය. අති දීර්ඝ වූ අතීත සංසාරයෙහි එක් එක් අයකු විසින් සපයා ඇති ධනය මෙතෙකැ යි කියා කවර ආකාරයකින්වත් ප්‍ර‍මාණ නො කළ හැකි ය. සාදන ලද ගෙවල්, පෝෂණය කළ පවුල්, ඇතිදැඩි කළ දූ දරුවන් මෙතෙකැ යි කියා කවර ආකාරයකින්වත් ප්‍ර‍මාණ නො කළ හැකි ය. ඒ අයට අද ඒ ධනයෙන් ඉතිරිව ඇති දෙයක් නැත. අනාගතයෙහි සපයන ධනයට වන්නේත් සාදන ගෙවල්වලට - ඇති දැඩිකරන දූ දරුවන්ට වන්නේත් ඒ ටිකම ය.

සැපය යි සලකා කොතෙක් කල් කළත් ඉවරයක් නැති ඉතිරියක් නැති ධන සැපයීම් ආදි වැඩ පිළිවෙළෙහි කිසිම හරයක් නැත. එබැවින් ඒවා නුවණැතියන් විසින් උසස් කොට නො සලකනු ලැබේ. සසර දුකින් මිදී නිවනට පැමිණීමට දතමනා ධර්මය දැන ගැනීමට ඉඩ ඇත්තේ බුද්ධෝත්පාද කාලයේ පමණෙකි. එබැවින් මේ බුද්ධෝත්පාද කාලයේ දී ප්‍ර‍තීත්‍යසමුත්පාදාදි ධර්මයන් දැන උගෙන, නො නැසෙන සැපය වූ නිවන් සුවය ලබා ගැනීමට උත්සාහ කෙරෙත්වා!!

මහාචාර්‍ය්‍ය රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිරපාදයන් වහන්සේ විසින් සම්පාදිත පටිච්චසමුප්පාද විවරණය නිමි.

චිරං තිට්ඨතු සද්ධම්මෝ.