අචේලකාශ්‍යප සූත්‍ර‍ය

(නිදානවග්ග සංයුක්තයේ ආහාර වර්ගයෙන්)

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සේක්, රජගහ නුවර පිඬු සිඟා වැඩි සේක. අචේලකාශ්‍යප නමැති තීර්ථකයෙක් දුරදී ම තථාගතයන් වහන්සේ වැඩම කරනු දැක, උන්වහන්සේ කරා එළඹ, පිළිසඳර කථා කොට එකත්පසෙක සිට, “පින්වත් ගෞතමයන් වහන්ස! පැනයක් විචාරීමට අවසර දුන මැනව” යි කී ය. එකල්හි තථාගතයන් වහන්සේ “කාශ්‍යපය! පිඬුසිඟා වඩනා මේ වේලාව ප්‍ර‍ශ්න ඇසීමට අවස්ථාව නො වේ ය” යි වදාළ සේක. අචේලකාශ්‍යප එපමණකින් නො නැවතී දෙවනුවත් තෙවනුවත් ප්‍ර‍ශ්න ඇසීමට අවසර ඉල්ලා සිටියේ ය. තථාගතයන් වහන්සේ ඔහුගේ ඉල්ලීම ප්‍ර‍තික්ෂේප කළ සේක.

කාශ්‍යප එයින් ද නො නැවතී “පින්වත් ගෞතමයන් වහන්ස! නුඹ වහන්සේ ගෙන් බොහෝ ප්‍ර‍ශ්න ඇසීමේ අදහසක් නැත ය” යි කීය. එකල්හි තථාගතයන් වහන්සේ “කාශ්‍යපය! නුඹ කැමති කරුණක් අසව” යි වදාළ සේක. ඉන්පසු අචේලකාශ්‍යපයන් හා තථාගතයන් වහන්සේ අතර වූ කථාව මෙසේ ය.

පින්වත් ගෞතමයාණෙනි, මේ දුක තමා ම ඇති කර ගන්නා දෙයක් ද? කාශ්‍යපය! එසේ නො කියව! දුක තමා ම ඇතිකර ගන්නේ ය යි නො කිය යුතු ය.

පින්වත් ගෞතමයාණෙනි! එසේ නම් මේ දුක අනුන් විසින් ඇති කරනු ලබනවා ද? කාශ්‍යප! එසේ නො කියනු. දුක අනුන් විසින් ඇති කරනු ලබන්නේ ය යි නො කිය යුතු ය.

පින්වත් ගෞතමයාණෙනි! එසේ නම් මේ දුක තමා විසිනුත් අනුන් විසිනුත් ඇති කරන්නේ ද? කාශ්‍යපය! එසේ නො කියව. දුක තමා විසිනුත් අනුන් විසිනුත් ඇති කරන්නකැයි නො කිය යුතු ය.

පින්වත් ගෞතමයාණනි, එසේ නම් මේ දුක කාගේවත් සංවිධානයක් නැතිව ඉබේ ම ඇති වේ ද? කාශ්‍යපය! එසේ නො කියනු. දුක ඉබේ ම ඇති වන්නේ ය යි නො කිය යුතු ය.

පින්වත් ගෞතමයාණෙනි! දුකය කියා දෙයක් ඇත්තේම නැති ද? කාශ්‍යප? දුක නැත්තේ නො වේ. දුක ඇත්තේ ය.

පින්වත් ගෞතමයෝ දුක නො දනිත් ද? නො දකිත් ද? කාශ්‍යපය! මම දුක නො දන්නෙම් නො වෙමි. නො දක්නෙම් නො වෙමි. මම දුක දනිමි. දුක දකිමි.

අචේලකාශ්‍යප එක්තරා නග්න පැවිද්දෙකි. ආත්ම වාදියෙකි. ඔහු ගේ ඉල්ලීමට තථාගතයන් වහන්සේ එකවරට ම අවසර නො දී දෙතුන් වරක් ඉල්ලන තුරු බලා සිටියේ උන්වහන්සේ ගේ දේශනය ඔහු ලවා ගෞරවයෙන් ඇස්වීම පිණිස ය. මේ තීර්ථකයෝ ඇසූ සැටියේ ම කියුව හොත් ඒ ගැන ගරු නො කරති. සැලකිල්ලක් නො දක්වති. පමා කොට අගය වැඩි කොට කියන කල්හි ඔවුහු එයට සැලකිල්ලෙන් ඇහුන් කන් දෙති. අචේලකාශ්‍යප ඒ ප්‍ර‍ශ්න ඇසූයේ ආත්ම දෘෂ්ටියෙහි පිහිටා ය.

බුද්ධ කාලයේ දී දඹදිව සත්ත්වයා ගැනත් ලෝකය ගැනත් නා නා මත දැරූ නා නා දෘෂ්ටි ගත් බොහෝ ශ්‍ර‍මණයෝ වූහ. ඇතමෙක් දුක මම ය කියා පුද්ගලයා ය සත්ත්වයා ය කියා සලකන ආත්මය විසින් ම ඇති කරන දෙයකැ යි ගත්හ. ඇතමෙක් මැවුම්කාර දෙවිවරුන් විසින් ඇති කරන ලද්දකැ යි ගත්හ. ඇතමෙක් තමා ය අනුන් ය යන දෙපක්‍ෂය විසින් ම ඇති කරන්නක් ය යි ගත්හ. ඇතමෙක් කාගේවත් සංවිධානයක් නැතිව ඉබේම ඇතිවන දෙයක් ලෙස පිළිගත්හ. අචේලකාශ්‍යප මේ ප්‍ර‍ශ්න ඇසීම කෙළේ බුදුන් වහන්සේ ගේ ලබ්ධිය දැන ගැනීම පිණිස ය.

මේ සූත්‍රයෙහි දුක යනුවෙන් අදහස් කරන්නේ දුඃඛ වේදනාව නොව සංසාර දුඃඛය ය. පඤ්චස්කන්ධය ය. තමන් වහන්සේ ප්‍ර‍කාශ කරන කරුණ සැමට ම තේරෙන පරිදි අවබෝධ වන පරිදි දහම් දෙසන තථාගතයන් වහන්සේ අචේලකාශ්‍යපට තේරුම් ගත නො හෙන පරිදි කාරණය ඔහුට හොඳට ම අවුල් වන පරිදි ඔහු ගේ ප්‍ර‍ශ්නවලට පිළිතුරු දී වදාළේ ඔහු මෙල්ල කරනු පිණිස ය.

අචේලකාශ්‍යපට තථාගතයන් වහන්සේ වදාළ හෙයින් කිසිවක් අල්ලාගත නො හී ඔහු මෙල්ල විය. පළමු මෙන් “ගෞතමය! ගෞතමය!” කියා තථාගතයන් වහන්සේට කථා කළ අචේලකාශ්‍යප හොඳටම මෙල්ල වී “ආචික්ඛතු මෙ භන්තේ! භගවා දුක්ඛං, දෙසෙතු මෙ භන්තෙ භගවා” යි ඉතා ගෞරවයෙන් ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මා හට දුක දේශනය කරන සේක්වා! යි ආරාධනා කෙළේ ය. බුදුන්වහන්සේ ඔහුට මෙසේ ධර්ම දේශනා කළ සේක.

සෝ කරෝති සෝ පටිසංවේදයතීති ඛෝ කස්සප! ආදිතෝ සතෝ සයං කතං දුක්ඛන්ති ඉති ඉදං වදං සස්සතං ඒතං පරේති. අඤ්ඤෝ කරෝති අඤ්ඤෝ පටිසංවේදියතීති ඛෝ කස්සප! වේදනාභිතුන්නස්ස සතෝ පරං කතං දුක්ඛන්ති ඉති ඉදං වදං උච්ඡේදං ඒතං පරේති. ඒතේ තේ කස්සප! උභෝ අන්තේ අනුපගම්ම මජ්ඣෙන තථාගතෝ ධම්මං දේසේති, අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාරපච්චයා විඤ්ඤාණං -පෙ- ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති. අවිජ්ජායත්වේව අසේසවිරාග නිරෝධා සංඛාර නිරෝධෝ. සංඛාරනිරෝධා විඤ්ඤාණනිරෝධෝ -පෙ- ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හෝතීති.

“කාශ්‍යපය! කරන තැනැත්තේ ම විපාකය විඳීය කියා පළමුකොට ගත් කල්හි සංසාර දුඃඛය තමා විසින් ම ඇති කරන ලද්දකැ යි කියමින් පසුව ශාශ්වත දෘෂ්ටියට එළඹෙන්නේ ය. කාශ්‍යපය! අනිකෙක් කෙරේය අනිකෙක් එහි විපාකය විඳීය කියා පළමු කොට ගත් කල්හි පසුව කළ තැනැත්තේ මරණයෙන් සිඳී යන්නේ ය. අනිකෙක් විපාක විඳින්නේ ය යන උච්ඡේද දෘෂ්ටියට එළඹෙන්නේ ය. එය හා යුක්ත වන වේදනාවෙන් මඩනා ලද තැනැත්තේ සංසාර දුක්ඛය අනුන් ඇතිකරන ලද්දක් ය යි කියමින් උච්ඡේදයට බැසගන්නේ ය.

කාශ්‍යපය! තථාගත තෙමේ ඒ අන්ත දෙකට ම නො ගොස් මෙසේ ධර්මය දේශනය කෙරේ. කෙසේද යත්? අවිද්‍යාව නිසා සංස්කාරයෝ වෙති, සංස්කාරයන් නිසා විඥානය ඇති වේ. -පෙ- මෙසේ මේ දුඃඛස්කන්ධයාගේ හටගැනීම වේ. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරෝධය වේ. සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය වේ. -පෙ- මෙසේ මේ සත්ත්ව පුද්ගල භාවයක් නැති දුඃඛස්කන්ධයා ගේ නිරෝධය වේ. මෙසේ තථාගත තෙමේ දහම් දෙසන්නේ ය යි වදාළ සේක. තථාගතයන් වහන්සේ ගේ ප්‍ර‍තීත්‍යසමුත්පාද දේශනය ඇසීමෙන් අචේලකාශ්‍යප ගේ දෘෂ්ටිය බිඳී ගියේ ය. හෙතෙමේ බුදු සස්නෙහි පැහැදී පැවිද්ද ලබා පසු කලෙක සියලු කෙලෙසුන් නසා රහත් විය.