ප්‍ර‍තීත්‍යසමුත්පාද සූත්‍ර‍ය

(නිදානවග්ග සංයුත්ත කාලාරක්ඛත්තියවග්ග)

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ “අවිජ්ජා පච්චයා සංඛාරා” යනාදීන් පටිච්චසමුප්පාදය දේශනය කළ සේක. එකල්හි එක් භික්ෂුවක් “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස! ජරාමරණය යනු කුමක් ද? මේ ජරා මරණය කාගේදැ” යි විචාළේ ය. එකල්හි තථාතයන් වහන්සේ “මහණ! තාගේ ප්‍ර‍ශ්නය හොඳ නැතය” යි වදාරා මෙසේ වදාළ සේක.

“කතමං ජරාමරණං කස්ස ච පනිදං ජරාමරණන්ති ඉති වා භික්ඛු යො වදෙය්‍ය, අඤ්ඤං ජරාමරණං අඤ්ඤස්ස ච පනිදං ජරාමරණන්ති ඉති වා භික්ඛු යො වදෙය්‍ය, උභයමෙතං එකත්ථං, ඛ්‍යඤ්ජනමෙව නානං. තං ජීවං තං සරීරන්ති වා දිට්ඨියා සති බ්‍ර‍හ්මචරියවාසො න හොති, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා භික්ඛු දිට්ඨියා සති බ්‍ර‍හ්මචරියවාසො න හොති, එතෙ තෙ භික්ඛු උභෝ අන්තෙ අනුපගම්ම මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති ජාතිපච්චයා ජරාමරණන්ති.”

එහි තේරුම මෙසේ ය:- “මහණ! ජරාමරණය කවරේද? මේ ජරාමරණය කාගේ දැයි යමෙක් කියා ද, මහණ! ජරා මරණය අනිකෙක, මේ ජරා මරණය අන්කෙනකු ගේ ය යි යමෙක් කියා ද, ඒ දෙකම අර්ථ වශයෙන් එකම ය. වෙනස් වන්නේ වචනය පමණ ය. ආත්මයත් එය ය, ජීවිතයත් එය ය යන දෘෂ්ටිය ඇති කල්හි බඹසර විසීම සිදු නො වන්නේ ය. ආත්මය අනිකෙක, ජීවිතය අනිකෙක යන දෘෂ්ටිය ඇති කල්හි ද බඹසර විසීම සිදු නො වේ ය. මහණ! තථාගත තෙමේ ඒ අන්ත දෙකට ම නො ගොස් ජාතිය නිසා ජරා මරණය වේය” යි දහම් දෙසන්නේ ය.

ඒ භික්ෂුව විසින් ඇසූ ජරා මරණය කුමක් ද? මේ ජරා මරණය කාගේ ද? යන මේ ප්‍ර‍ශ්න දෙකින් “ජරා මරණය කුමක් ද?” යන ප්‍ර‍ශ්නය වනාහි නො ඇසිය යුතු නො මනා ප්‍ර‍ශ්නයක් නො වේ. තථාගතයන් වහන්සේ ඒ ප්‍ර‍ශ්නය ප්‍ර‍තික්ෂේප කරන ලද්දේ එයට එකතු කර ඇති “ජරා මරණය කාගේ ද” යන දෙවෙනි ප්‍ර‍ශ්නය නිසා ය. ධර්ම පරම්පරාව මිස පරමාර්ථ වශයෙන් පුද්ගලයකු නැති බැවින් “ජරා මරණය කාගේ ද” යන ප්‍ර‍ශ්නය නො ඇසිය යුතු ප්‍ර‍ශ්නයෙකි. “ජරා මරණය කුමක් ද? ඒ ජරා මරණය කාගේ ද” යන මේ කීමත් “ජරා මරණය අනිකක, ඒ ජරා මරණය අනිකකුගේ ය” යන මේ කීමත් අර්ථයෙන් එකම ය යි තථාගතයන් වහන්සේ විසින් වදාරන ලදුයේ ඒ දෙකින් ම පරමාර්ථ වශයෙන් නැති පුද්ගලයා කියැවෙන හෙයිනි.

බඹසර විසීමය යනු ලෝකෝත්තර මාර්ගයට පැමිණෙනු පිණිස කළ යුතු දේ කිරීම ය. ආත්මයත් ශරීරයත් එකය යන දෘෂ්ටිය ඇති තැනැත්තේ ජීවය යි සලකන ආත්මය නැසෙන කල්හි ශරීරය නැසේ ය, ශරීරය නැසෙන කල්හි ආත්මය නැසේය යි ගන්නේ ය. ඒ දෘෂ්ටියේ සැටියට ම මරණින් සත්ත්වයා කෙළවර වේ. උච්ඡේද දෘෂ්ටිය ය කියනුයේ ඒ දෘෂ්ටියට ය. සංස්කාරයෝ ම උපදිත් ය, සංස්කාරයෝ ම නිරුද්ධ වෙත්ය යි ගැනීම ශාසනික සම්‍යක් දෘෂ්ටිය ය. ලෝකෝත්තරමාර්ග චිත්තය වනාහි සංසාරය යි කියනු ලබන උපදිමින් බිඳෙමින් පවත්නා නාමරූප ධර්ම පරම්පරාව නිරෝධයට පමුණුවන සිඳ දමන ධර්මයකි. ඉබේම මරණින් ඒ සංස්කාර ධර්ම පරම්පරාව සිඳෙනවා නම්, මතු ඉපදීමක් නො වෙනවා නම් ලෝකෝත්තර මාර්ග භාවනාවෙන් පලක් නැත. ආත්මය ශරීරය යන දෙක ම එකය යන දෘෂ්ටිය ඇති කල්හි බඹසර වස් විසීම හෙවත් මාර්ග භාවනාව සිදු නො වේ ය යි වදාළේ එහෙයිනි.

ආත්මය අනිකෙක, ශරීරය අනිකෙකැ යි ගන්නා තැනැත්තේ ශරීරය මෙහි ම විනාශ වන්නේ ය, එහෙත් ආත්මය නො මැරෙන්නේ ය, ශරීරය නැසුණු කල්හි එය තුළ පවත්නා ආත්මය, පක්‍ෂියකු කූඩුවකින් ඉගිළ යන්නාක් මෙන් ශරීරයෙන් පිට වී යන්නේ ය යි ගනී. ශාශ්වතදෘෂ්ටිය කියනුයේ ඒ දෘෂ්ටියට ය.

මේ ලෝකෝත්තර මාර්ග චිත්තය වනාහි සකල සංස්කාරයන් ම නිරෝධයට පමුණුවමින් සංසාර ප්‍ර‍වෘත්තියේ නැවැත්වීම කරමින් උපදනා ධර්මයකි. නිත්‍ය වූ නො නැසෙන්නා වූ එකම සංස්කාරයකුදු ඇති නම් සංසාර ප්‍ර‍වෘත්තිය සිඳලිය නො හේ. සංසාර ප්‍ර‍වෘත්තිය නැවැත්විය නො හෙන කල්හි ලෝකෝත්තර මාර්ග භාවනාවෙන් පලක් නැත. ආත්මය හෙවත් ජීවය අනිකක, ශරීරය අනිකකැ” යි ගන්නා දෘෂ්ටිය ඇති කල්හි බඹසරවස් විසීම (මාර්ගභාවනාව) සිදු නො වන්නේය යි වදාළේ එහෙයිනි.

තථාගතයන් වහන්සේ සත්ත්වයා දිරන්නේ ය, මැරෙන්නේ ය යි ද නො වදාරන්නාහ. නො දිරන්නේ ය නො මැරෙන්නේ ය යි ද නො වදාරාන්නාහ. ඒ අන්ත දෙකට ම නො ගොස් උන් වහන්සේ ජාතිය නිසා ජරා මරණය වන බව පමණක් වදාරන්නාහ.

මෙසේ තථාගතයන් වහන්සේ ඒ භික්ෂුවට පිළිතුරු දුන්පසු ඒ භික්ෂුව එපමණකින් නො නැවතී “ජාතිය කුමක් ද? මේ ජාතිය කවරෙකුගේ දැ” යි නැවත ද විචාළේය. තථාගතයන් වහන්සේ එයට ද පළමු පැනයට සේම පිළිතුරු දුන් සේක. ඒ භික්ෂුව එපමණකින් නො නැවතී පටිච්චසමුප්පාදාංග සියල්ලම ගැන එසේ ම ප්‍ර‍ශ්න කෙළේ ය. තථාගතයන් වහන්සේ ද පළමු ප්‍ර‍ශ්නයන්ට පිළිතුරු දුන් අයුරින් ඒ සියල්ලට ම පිළිතුරු දුන් සේක. අවසාන ප්‍ර‍ශ්නයට තථාගතයන් වහන්සේ දුන් පිළිතුර මෙසේය.

කතමෙ සංඛාරා? කස්ස ච පනීමෙ සංඛාරාති? ඉති වා භික්ඛු යො වදෙය්‍ය, අඤ්ඤෙ සංඛාරා අඤ්ඤස්ස ච පනි මෙ සංඛාරාති ඉති වා භික්ඛු යො වදෙය්‍ය, උභයමෙතං එකත්ථං, බ්‍යඤ්ජනමෙව නානං තං ජීවං තා සරීරන්ති වා භික්ඛු දිට්ඨියා සති බ්‍ර‍හ්මචරියවාසො න හොති. අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා භික්ඛු දිට්ඨියා සති බ්‍ර‍හ්ම චරියවාසො න හොති. එතෙ තෙ භික්ඛු උභො අන්තෙ අනුපගම්ම මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති අවිජ්ජා පච්චයා සංඛාරාති.

ඉක්බිති අවිද්‍යාව ගේ නිරවශේෂ නිරෝධයෙන් “ජරාමරණය කවරේ ද? ඒ ජරාමරණය කාගේ ද? ජරාමරණය අනිකෙක, ඒ ජරාමරණය අනිකකුගේ ය, ආත්මයත් ශරීරයත් එක ය, ආත්මය අනිකෙක, ශරීරය අනිකෙක” යනාදි සකල දෘෂ්ටීහු මතු කිසි කලෙක නූපදනා පරිදි නිරුද්ධ වන්නාහ යි වදාළ සේක.