2. වණ්ණුපථ ජාතකය

star_outline
වර්තමාන කථාව: වීර්යය අත්හළ භික්ෂුව

තවද එක් සමයක බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, භාවනා කිරීමේ වීර්යය අත්හළ භික්ෂූන් වහන්සේ නමක් අරබයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසේද යත්?

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වසන කල්හි, එම නුවර වසන්නා වූ එක් කුල පුත්‍රයෙක් ජේතවනාරාමයට ගොස් බුදුන්ගේ බණ අසා, තෙරුවන් කෙරෙහි පැහැදුණු සිත් ඇතිව, කාමයෙහි ඇති දෝෂ ද පැවිද්දෙහි ඇති අනුසස් ද අසා මහණ වී උපසම්පදා විය. උන්වහන්සේ පස් වසරක් ඇතුළත උභය මාතෘකාවන් කටපාඩම් කොට, ශික්ෂා පද ඉගෙන, භාවනා මාර්ගයන් ඉගෙන, සර්වඥයන් වහන්සේ සමීපයෙහිදී තමන් වහන්සේට රුචි වූ කමටහනක් ගෙන, හුදකලාව වාසය කිරීමට කැමතිව වනයට වැද, වනයෙහි ශ්‍රද්ධාවත් උපාසකවරුන් විසින් කරවා පිළිගන්වන ලද පන්සලක වස් විසූ සේක.

වස් කාලය වූ තුන් මස මුළුල්ලෙහි මාර්ග ඵල උපදවා ගැනීමට උත්සාහ කරන උන්වහන්සේ, “විදර්ශනා ආලෝකයක් වේවා, ප්‍රතිභාග නිමිත්තක් වේවා” උපදවා ගත නොහැකිව මෙසේ සිතූ සේක.

“සර්වඥයන් වහන්සේ විසින් පුද්ගලයෝ සතර දෙනෙක් වදාරන ලදහ. ඔවුන් සතර දෙනා අතුරෙන් මා ‘පදපරම’ (මෙම ආත්මයේදී මාර්ග ඵල ලැබීමට පින් මදි අයෙක්) වීමට කරුණු යෙදී ඇත්තේය. මට මේ ආත්ම භාවයෙහි මාර්ගයක්වත් ඵලයක්වත් නැතැයි සිතමි. එසේ හෙයින් මේ වනයෙහි වාසය කරමින් කුමක් කෙරෙම් ද? සර්වඥයන් වහන්සේ සමීපයට ගොස් රූපාග්‍රප්‍රාප්ත වූ බුදුන්ගේ ශරීර ශෝභාව බල බලා, මිහිරි වූ බණ අසමින් විසුවෙම් නම් යහපත් වන්නේය” යි සිතා නැවත ජේතවනාරාමයට වැඩි සේක.

එකල්හි උන්වහන්සේ දැක සතුටු වූ හිතවත් භික්ෂූහු මෙසේ කීවෝය.

“ඇවැත්නි, තෙපි ලොව්තුරා බුදුන්ගෙන් කමටහන් ගෙන මහණ දම් පුරමියි ගිවිස, දැන් වනයෙන් අවුත් සමූහයා සමඟ ඇලී වාසය කරන්නේ කිමෙක්ද? තොපගේ පැවිදි කෘත්‍යය මුදුන් පැමිණියේද? නැවත උපතක් නැති වන පරිදි අර්හත් ඵල ඥානය අවබෝධ කළේදැ?” යි ඇසූහ.

“ඇවැත්නි, මම මාර්ගයක්වත් නොලැබීම නිසා අභව්‍ය පුද්ගලයෙක් විය යුතු යැයි සිතා වීර්යය අත්හැර ආවෙමි” යි ඒ භික්ෂුව කී සේක.

එකල්හි භික්ෂූන් වහන්සේලා කියන සේක්, “ඇවැත්නි, දැඩි වීර්යය ඇති සර්වඥයන් වහන්සේගේ ශාසනයෙහි මහණ වී භාවනා කොට මාර්ග ඵල ඉපදවීමෙහි වීර්යය අත්හැරියෙහිය. තොප විසින් නොකළ යුත්තක්ම කරන ලදී. අප හා කැටිව එව, සර්වඥයන් වහන්සේ සමීපයට යමු” යි කියා ඒ භික්ෂුව කැඳවාගෙන බුදුන් සමීපයට ගිය සේක.

සර්වඥයන් වහන්සේ භික්ෂූන් දැක, “මහණෙනි, තෙපි මේ භික්ෂුව අකමැත්තෙන් මෙන් කැඳවාගෙන කුමක් පිණිස ආවහුද? මොහු විසින් කවර අපරාධයක් කරන ලද්දේදැ?” යි විචාරා වදාළ සේක.

එකල්හි භික්ෂූන් වහන්සේලා මෙසේ දැන්වූ සේක. “ස්වාමීනී, මේ මහණ මෙබඳු නෛර්යාණික (නිවන් මගට පමුණුවන) ශාසනයෙහි මහණ වී මහණ දම් පුරන්නේ වීර්යය අත්හැර ආයේය” යි දැන්වූ සේක.

එකල්හි සර්වඥයන් වහන්සේ, “සැබෑද! මහණ, තා වීර්යය අත්හැරියෙහිද?” යි වදාරා, “සැබෑව, ස්වාමීනි” යි දැන්වූ කල්හි මෙසේ වදාළ සේක.

“කිමෙක්ද? මහණ, තෝ මෙබඳු ශාසනයේ මහණ වී අල්පේච්ඡ සේක, සන්තුෂ්ට සේක, කුලයන්හි හා ගණයාගේ නොඇලෙන සේක, වඩන ලද වීර්යය ඇති සේකැයි මෙසේ තමා ප්‍රසිද්ධ නොකොට, ‘මේ මහණ හරණ ලද වීර්යය ඇත්තේය’ යි කුමක් පිණිස ප්‍රකාශ කරවූයෙහිද? මහණ, තෝ පෙර වීර්යවන්ත වූයේ නොවේද? තා එක තැනැත්තෙකු වූ කල්හි කළ වීර්යය නිසා මරුකතරකදී පන්සියයක් ගැල්වල සිටි ඒ මිනිසුන් හා ගොනුන් පැන් ලබා සුව සේවායට පැමිණියෝ නොවේද? දැන් තෝ කවර කාරණයකින් වීර්යය අත්හැරියෙහි දැයි” වදාළ සේක.

එකල්හි ඒ මහණ මේ වචන මාත්‍රයෙන්ම සිතට දිරිය ලද්දේ විය.

ඒ කථාව අසා භික්ෂූන් වහන්සේ බුදුන්ට යාච්ඤා කරන සේක්, “ස්වාමීනි, දැන් මේ භික්ෂුව විසින් වීර්යය අත්හළ බව අප සැමට ප්‍රකාශය. එහෙත් අතීතයෙහි මොහු තනි පුද්ගලයෙකු වශයෙන් කළ වීර්යය නිසා මරු කතරකදී ගොනුන් හා මිනිසුන් පැන් ලබා සුව සේවායට පැමිණි බව භවාන්තරයෙන් වැසී ඇති හෙයින් අපට අප්‍රකාශය. නුඹ වහන්සේගේ සර්වඥතා ඥානයටම එය ප්‍රකාශය. අපටත් ඒ කාරණය ප්‍රකාශ කොට වදාළ මැනවැ” යි ආරාධනා කළ සේක.

එකල්හි සර්වඥයන් වහන්සේ, “එසේ වී නම් මහණෙනි, අසව්” යයි කියා ඒ භික්ෂූන්ට සිහි උපදවා භවාන්තරයෙන් සැඟවුණා වූ කාරණය ප්‍රකාශ කොට වදාළ සේක.

අතීත කථාව: වණ්‌ණුපථ ජාතකය

යටගිය දවස කසී රට බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍යය කරන කල්හි, අප මහා බෝධිසත්වයන් වහන්සේ සාත්තුනායක කුලයෙහි පිළිසිඳගෙන, වැඩිවිය පැමිණ පන්සියයක් ගැලින් වෙළඳාම් කොට ඇවිදින්නාහුය. මෙසේ වෙළඳාම් කොට ඇවිදින්නා වූ මහා බෝධිසත්ත්වයෝ එක් කලෙක මරු කතරකට (කාන්තාරයකට) පැමිණියාහුය.

ඒ වාලුකා කාන්තාරයෙහි වැලි ඉතා සියුම් වන්නේය. මිටින් ගත් වැලි මිටේ රඳා නොසිටින්නේය. හිරු නැගි වේලාවේ පටන් කිහිරි අඟුරු රැසක් මෙන් කකියන්නේය. පයින් වැලි මැඩගෙන යා නොහැකිය. එසේ හෙයින් ඒ වාලුකා කාන්තාරයෙහි යන්නා වූ සත්ත්වයෝ දර, පැන්, තෙල්, සහල් ආදිය ගැලින් රැගෙන රාත්‍රියෙහි ගොස්, අරුණ නැගෙන වේලෙහි ගැල් මුදා ගැල් වට වලල්ලක් සේ සිටුවා, මුදුනෙහි කොළ මඬු ඉදිකොට, වේලාසනින්ම කා බී, හැකිලී මණ්ඩප ඡායාවෙහි හිඳ දවස් යවා, ඉර බැස ගිය කල්හි රාත්‍රියෙහි භෝජන අනුභව කොට, බිම සිසිල් වී ගිය කල්හි ගැල් යොදාගෙන යන්නාහුය. එය සමුද්‍ර යාත්‍රාවක් හා සමාන වූ ගමනක් වන්නේය. ඒ ගැල් පදවාගෙන යන ප්‍රධාන පුරුෂ තෙමේ ‘ගොඩබිම් නියමුවාය’ යි නම් ලැබීමට සුදුසු වන්නේය. එසේ හෙයින් ඔහු තරු සලකුණෙන් ගැල් සාත්තුව පදවාගෙන යන්නේය.

අප මහා බෝසතාණෝ ද එකල්හි මෙම ක්‍රමයෙන් මරු කතර යන්නාහු, හැට යොදුනකට එකක් අඩු වූ එකුන් සැට යොදුනක් ගොස්, “දැන් එක් රාත්‍රියකින්ම මරු කතර ගෙවා ක්ෂේම භූමියට පැමිණිය හැකිය” යි කිය හැකි අවස්ථාවෙහි, සවස බත් අනුභව කොට, සියලු දර පැන් නිමවා, ගැල් යොදාගෙන නික්මුණාහුය.

නියාමක පුරුෂයාණෝ (නියමුවා) ඉදිරියේ යන ගැලෙහි දික් සඟලා පුටුවක් අතුරවාගෙන, ආකාශයෙහි තරු සලකුණු බලමින්, “ගැල් මෙසේ පදව, මෙසේ පදව” යි කිය කියා වැතිර සිටි තැනැත්තෝය. බොහෝ කලක් නොනිදා සිටි බැවින් නින්දෙන් මිරිකී ඔහුට නිදන්නට පටන් ගත්තේය. එකල්හි ගොනුන් කරකැවී ආපසු හැරී ගිය බව නොදන්නා ඔහු නිදා සිටියදී, ගැල් අදින ගොනුන් සකල රාත්‍රියෙහිම ගමන් කොට පළමු දවස් ලැග සිටි තැනටම පැමිණියාහුය.

සාත්තුනායක තෙමේ අරුණ නැගෙන වේලෙහි පිබිද, නැකැත් තරු බලා, “ගැල් රඳව!” යි කීයේය. මෙසේ කියා ගැල් කරකවා පිළිවෙළින් සිටුවමින් සිටියදීම අරුණ නැංගේය.

“මනුෂ්‍යයෝ කියන්නාහු, මේ අපගේ කඳවුරු බැඳ උන් තැනය. අපගේ දර පැනුත් නිම වී ගියේය. දැන් අපි විනාශ වුණෙමු දැයි” කියා ගැල් මුදා ගැල් වට වලල්ලෙහි සිටුවා, මුදුනේ මණ්ඩපයක් කොට තම තමන්ගේ ගැල් යට ශෝකයෙන් යුතුව උන්නාහුය.

එවේලෙහි මහා බෝසතාණෝ, “මා වීර්යය අත්හැරියහොත් සියල්ලෝම නසිති” යි සිතා, උදෑසන සිසිල් වේලෙහිම ඇවිදින තැනැත්තෝ, එක් ඊතණ පඳුරක් දැක, “මේ තණ පඳුරට දිය උරමින් වැඩුණේ විය යුතුය” යි සිතා, උදැල්ලක් ගෙන්වාගෙන ඒ ඊතණ පඳුර තිබූ තැන කනින්ට පටන්ගෙන සැට රියනක් පමණ තැන කැණවූහ. මෙතෙක් තැන් කැණ “නැවතත් පල්ලේ කනිමු” යි උදළු එලන්නා වූ මනුෂ්‍යයන්ගේ උදළු යට ගල් තලාවක මත වැදෙන්නට පටන්ගත් කල්හි, හැමදෙනාම වීර්යය සිඳී ගියහ.

බෝධිසත්ත්වයෝ වනාහි “මේ ගල් තලාවෙන් යට පැන් විය යුතුය” යි සිතා ළිඳට බැස ගල් තලාව මත සිට නැමී, තමා දිය ගලා යන හඬ පරීක්ෂා කරන්නෝ, ගල් තලාව යටින් දිය යන හඬ අසා ළිඳෙන් ගොඩනැඟී තමන්ගේ අතවැසි පුරුෂයා හට මෙසේ කීවෝය.

“දරුව, තොප අවීර්යය වුවහොත් අපි සියල්ලෝම නසින්නෙමු. එසේ හෙයින් තෙපි අවීර්යය නොවී, පසුබට නොවී, වීර්ය වඩා, මේ යකඩ කුළු ගෙඩිය ගෙන ළිඳට බැස මේ ගල් තලාව මත කුළු පහර ගණනක් එල්ල කරව” යි කීවෝය.

ඒ අසා අතවැසි පුරුෂයා මහා බෝසතාණන්ගේ වචනය පිළිගෙන, අන් හැම දෙන වීර්යය අත්හැර දමා සිටි කල්හි, තෙමේ වීර්ය නොහැර ළිඳට බැස ගල් තලාව මත යකඩ කුළු පහර ගණනක් එල්ල කළේය. එකල්හි ගල් තලාව මැදින් බිඳී, යට වැටී, නොකඩවා පවත්නා වූ ජල ප්‍රවාහය ඉස්මතු කරගෙන සිටියේය. තරුණ තල් කඳක් තරම් වූ දිය කඳක් උඩට පැන නැංගේය.

Story Illustration මහ බෝසතාණන්ගේ අනුශාසනාවෙන් අතවැසි පුරුෂයා ගල බිඳ ජලය ලබා ගැනීම.

එකල්හි සියලු මනුෂ්‍යයෝ පැන් බී, ජල ස්නානය කොට, ඉතිරිව තිබූ ගැල් රෝද ආදිය පළා දර කොට, කැඳ බත් ආදිය පිස අනුභව කොට, ගොනුන්ට පැන් පොවා තණ ආදිය කවාගෙන, ඉර බැස යන වේලෙහි ළිඳ සමීපයෙහි ධජයක් බැඳ මරු කතර ගෙවා තමන් විසින් කැමති වන ලද්දා වූ ස්ථානයටම ගියාහුය.

ඒ මනුෂ්‍යයෝ තමන් අභිමත ස්ථානයෙහි දී බඩු විකුණා, එකට දෙක හා එකට හතර නියායෙන් දෙගුණ සිව්ගුණ ලාභ ලබා, තමන් මුලින් විසූ ස්ථානයටම පෙරලා ආවාහුය. ඒ හැම මනුෂ්‍යයෝ එහි වසන්නාහු ආයු ඇති තාක් සිට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියාහුය. මහා බෝසතාණෝ ද දානාදී වූ පින්කම් කොට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියාහුය.

ජාතක සමාදානය

තිලෝගුරු සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදාරා, තවද මත්තෙහි ඒ භික්ෂූන් වහන්සේට ධර්ම දේශනා කරන සේක් මෙසේ වදාළහ.

“යම් සේ වෙළෙන්දෝ කුසීත නොවී මරු කතර ළිං කැන පැන් ලද්දාහුද, එපරිද්දෙන්ම මේ සර්වඥ ශාසනයෙහි මහණ වී නොකුසීතව වීර්යය කරන්නා වූ නුවණැති මහණ තෙමේ ධ්‍යාන විමෝක්ෂ මාර්ග ඵලාදී වූ ප්‍රභේද ඇති හෘදය සැනසීම ලබන්නේය. මහණ, තෝ පෙර පැන් පමණක් ලබා ගැනීම පිණිස වීර්යය කොට, දැන් මෙබඳු වූ නෛර්යාණික ශාසනයෙහි මහණ වී මාර්ග ඵලයට පැමිණීමෙහි කවර කාරණයකින් වීර්යය අත්හැරියෙහිදැ” යි මෙසේ නැවතත් ධර්ම දේශනා කොට, දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ගය යි කියන ලද චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට වදාළ සේක.

චතුරාර්ය සත්‍යය ධර්ම දේශනාවගේ කෙළවර පසුබට වීර්යය ඇති භික්ෂූන් වහන්සේ අර්හත් ඵලයෙහි පිහිටි සේක.

ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ අතීත කථාවත් වර්තමාන කථාවත් දෙක එක කොට අනුසන්ධි ගළපා මේ වණ්‌ණුපථ ජාතකය නිමවා වදාළ සේක.

“එසමයෙහි නොපසුබට වීර්යය ඇතිව ගල් තලාව බිඳ මහජනයාට පැන් දුන් අතවැසි පුරුෂයා නම් දැන් මේ පසුබට වීර්යය ඇති මහණ වන්නේය. එසමයෙහි මරු කතර ගියා වූ සෙසු පිරිස නම් දැන් මේ බුදු පිරිස් වන්නාහ. එසමයෙහි සාත්තුනායක පුත්‍රයා නම් දැන් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම ම වෙදැ” යි තමන් වහන්සේ දක්වා වදාළ සේක.