9. අරක ජාතකය (169)

star_outline

යො වෙ මෙත්තෙන චිත්තෙන (යමෙක් ඒකාන්තයෙන් ම මෛත්‍රී සහගත සිතින්) යන මේ ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සමයෙහි මෙත්ත සූත්‍රය මුල් කරගෙන දේශනා කළ සේක. එක් සමයෙක්හි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා, “මහණෙනි! ආදරයෙන් සෙවුනා ලද, භාවිතා කරන ලද, බහුල වශයෙන් වඩනා ලද, යානාවක් මෙන් කරන ලද, වස්තුවක් (නිවසක්) මෙන් කරන ලද, එළඹ සිටියා වූ, පුරුදු කරන ලද, මනා ව පටන් ගන්නා ලද, මෛත්‍රී චෙතොවිමුක්තියේ (මෛත්‍රී භාවනාවේ) ආනිසංස එකොළහක් කැමති විය යුතු යි (බලාපොරොත්තු විය හැක). කවර එකොළහක් ද යත්:

  1. සැප සේ නිදයි,
  2. සැප සේ පුබුදියි,
  3. නපුරු සිහින නො දකියි,
  4. මිනිසුන්ට ප්‍රිය වෙයි,
  5. අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි,
  6. දෙවියෝ රකිති,
  7. (මෛත්‍රී භාවනාව වඩන පුද්ගලයාගේ සිරුරෙහි) ගිනි හෝ විෂ හෝ ආයුධ හෝ නො වදියි,
  8. වහා සිත සමාධිගත වෙයි,
  9. මුහුණ පැහැපත් වෙයි,
  10. සිහි මුළා නො වී කාලක්‍රියා කෙරෙයි,
  11. (රහත් ඵලය) අවබෝධ කළ නො හැකි වී නම් (මරණින් මතු) බඹලොව උපදියි.

මහණෙනි, ආදරයෙන් සෙවුනා ලද... (පෙ)... මෛත්‍රී චේතෝවිමුක්තියේ මේ එකොළොස් වැදෑරුම් ආනිසංස බලාපොරොත්තු විය යුතු ය”යි වදාළ සේක (අ· නි· 11.15). මේ කරුණු එකොළහෙන් යුත් මෛත්‍රී භාවනාව වර්ණනා කොට වදාරා, “මහණෙනි! භික්ෂුව විසින් සියලු සත්ත්වයන් කෙරෙහි සීමා සහිත වශයෙන් හා සීමා රහිත (අප්පමාණ) වශයෙන් මෛත්‍රිය වැඩිය යුතු ය. හිතවතාට ද හිතවත්කම පැතිරවිය යුතු යි. අහිතවතාට ද හිතවත්කම පැතිරවිය යුතු යි. මධ්‍යස්ථ තැනැත්තාට ද හිතවත්කම පැතිරවිය යුතු යි. මෙසේ සියලු සත්ත්වයන් කෙරෙහි ‘ඔදිස්සක’ (සීමා සහිත) හා ‘අනොදිස්සක’ (සීමා රහිත) වශයෙන් මෛත්‍රිය වැඩිය යුතු ය. ඒ වාගේ ම කරුණාව, මුදිතාව, උපේක්ෂාව වැඩිය යුතු ය. සිව් බඹ විහරණයෙහි ම ක්‍රියා කළ යුත්තේ ම ය. මෙසේ කරන තැනැත්තා මාර්ගයක් හෝ ඵලයක් හෝ නො ලැබුවත් බඹලොව පිහිට කොට ඇත්තේ වෙයි (බඹලොව උපදියි). පුරාණයේ නුවණ ඇති අය ද සත් වසක් මෛත්‍රී භාවනාව වඩා සංවට්ට විවට්ට කල්ප හතක් බඹලොවෙහි ම විසුවාහු ය”යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතයේ එක් කල්පයක බෝධිසත්ත්වයන් වහන්සේ එක් බමුණු කුලයක ඉපදී, වැඩිවියට පත් වූවාහු කාම සැප හැර දමා තවුස් පැවිද්දෙන් පැවිදි ව, සිව් බඹ විහරණ ලැබූ ‘අරක’ නම් ශාස්තෘවරයා වී හිමවත් ප්‍රදේශයේ වාසය කළ සේක. එතුමාට මහත් වූ පිරිවරක් සිටියේ ය. හෙතෙම වනාහි සෘෂි සමූහයාට අවවාද දෙමින්, “පැවිද්දන් විසින් මෛත්‍රී භාවනාව වැඩිය යුතු ය. කරුණා මුදිතා උපේක්ෂා භාවනාවන් වැඩිය යුතු ය. අර්පණා ධ්‍යානයට පත් මේ මෛත්‍රී සිත බඹලොව උපත සාදා දෙන්නේ ය”යි මෛත්‍රී භාවනාවේ ආනිසංස ප්‍රකාශ කරන්නේ, මෙම ගාථාවන් වදාළ සේක:

Story Illustration අරක ශාස්තෘන් වහන්සේ තාපසවරුන්ට බ්‍රහ්ම විහාර ධර්ම දේශනා කිරීම

“යමෙක් ඒකාන්තයෙන් ම මෛත්‍රී සහගත සිතින් මුළු ලොවට ම අනුකම්පා කෙරේ ද; උඩින් ද යටින් ද සරසින් ද සියලු ආකාරයෙන් අප්‍රමාණ ව (මෙත් සිත පතුරුවයි ද);”

“පිරිපුන් වූ මනා ව වැඩූ අප්‍රමාණ හිතකාමී සිතක් වේ ද, යම් ප්‍රමාණ කළ (කාමාවචර) කර්මයක් වේ ද, එය එහි ඉතිරි නො වේ.”

යනුවෙන් මෙම ගාථාවන් වදාළ සේක.

(ගාථාවේ අර්ථය නම්): යමෙක් ඒකාන්තයෙන් ම අප්‍රමාණ වූ මෙත් සිතින් උඩින් ද යටින් ද සරසින් ද, සර්ව ප්‍රකාරයෙන් සියලු ලෝවැසියන් කෙරෙහි අනුකම්පා කෙරේ ද;

පිරිපුන් වූ, මනා ව වැඩූ, අප්‍රමාණ කොට සියලු සතුන් වෙත පැතිර වූ මෛත්‍රී ධ්‍යාන සිතක් වේ ද, ප්‍රමාණ කොට (සීමා සහිත ව) කරන ලද යම් කාමාවචර කර්මයක් වේ ද, ඒ කාමාවචර කර්මය ඒ (රූපාවචර) ධ්‍යාන සිත තුළ (විපාක දීම් වශයෙන්) ඉතිරි නො වේ.

එහි යො වෙ මෙත්තෙන චිත්තෙන සබ්බලොකානුකම්පති යනු, ක්ෂත්‍රිය ආදීන් කෙරෙහි හෝ මහණ බමුණන් කෙරෙහි හෝ යම් කිසිවෙක් අර්පණා ධ්‍යානයට පැමිණි මෛත්‍රී සිතින්, සියලු සත්ත්ව ලෝකයට අනුකම්පා කරයි යන අර්ථයි. උද්ධං යනු පොළොවේ සිට නේවසඤ්ඤානාසඤ්ඤායතන බඹලොව දක්වා ය. අධො යනු පොළොවෙන් යට උසුපත් (උස්සද) මහානිරය දක්වා ය. තිරියං යනු මිනිස් ලොවෙහි ද යම් පමණ සක්වලවල් ඇත් ද, ඒ සියලු තන්හි උපන්නා වූ සියලු සත්ත්වයෝ අවෛරී වෙත්වා, නිදුක් වෙත්වා, උවදුරු නැත්තෝ වෙත්වා, සැපවත් ව ජීවිත පරිහරණය කරත්වායි කියා, මෙසේ වඩන ලද මෛත්‍රී සිතින් යන අර්ථයි. අප්පමාණෙන යනු, අප්‍රමාණ සත්ත්වයන් පිළිබඳ ව අප්‍රමාණ අරමුණු ඇති බැවින් ‘අප්පමාණෙන’ නාම වේ. සබ්බසො යනු, සියලු ආකාරයෙන් උඩ, යට, සරස වශයෙන් මෙසේ සියලු සුගති දුගති වශයෙන් ය යන අර්ථයි.

අප්පමාණං හිතං චිත්තං යනු, අප්‍රමාණ කොට වඩන ලද, සියලු සත්ත්වයන් කෙරෙහි හිතවත් වූ සිතයි. පරිපුණ්ණං යනු පිරිපුන් (අඩුවක් නැති) බවයි. සුභාවිතං යනු මනා ව වඩන ලද යන්නයි. මෙය අර්පණා (ධ්‍යාන) සිතට නමකි. යං පමාණකතං කම්මං යනු, “අප්පමාණං අප්පමාණාරම්මණං” යැයි මෙසේ අරමුණු තුනක් වශයෙන් ද, වසීභාවයට පැමිණීම් වශයෙන් ද, නොවඩා (සිහිකොට) කළ ස්වල්ප වූ කාමාවචර කර්මයයි. න තං තත්‍රාවසිස්සති යනු, ඒ කාමාවචර නම් වූ කුඩා කර්මය, “අප්පමාණං හිතං චිත්තං” යන සංඛ්‍යාවට ගිය රූපාවචර කර්මය ඇතුළෙහි ඉතිරි නො වේ. යම් සේ මහ ජල පහරකින් යට වී ගිය සුළු වතුරක්, ඒ මහ ජල පහර ඇතුළෙහි ම (එය හා එක්ව ගසාගෙන යනවා මිස) ඉතිරි නො වේ ද, නො පවතී ද, මහ ජල පහර ම ඒ සුළු වතුර යටපත් කරගෙන සිටී ද; එසේ ම ස්වල්ප වූ ඒ කාමාවචර කර්මය, ඒ මහග්ගත කර්මය ඇතුළෙහි විපාක දීමට ඉඩක් නො ලැබීම නිසා ඉතිරි නො වේ, නො පවතී. තමාගේ විපාකය දීමට ඉදිරිපත් වීමට නො හැකි වෙයි. මහග්ගත කර්මය ම එය යටපත් කොට විපාක දෙයි.

මෙසේ බෝධිසත්ත්වයන් වහන්සේ අතවැසියන්ට මෛත්‍රී භාවනාවේ ආනිසංස දේශනා කොට, නො පිරිහුණු ධ්‍යාන ඇත්තේ බඹලොව ඉපිද, සංවර්ත විවර්ත කල්ප හතක් මුළුල්ලේ මෙම ලෝකයට නැවත නො පැමිණි සේක.

බුදුරජාණන් වහන්සේ මෙම ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. “එකල තාපස පිරිස වූයේ දැන් මේ බුදු පිරිස යි. අරක ශාස්තෘවරයා වනාහි මම ම වූයෙමි”යි වදාළ සේක.

නව වැනි අරක ජාතක වර්ණනාව යි.