“යන්නු ගිජ්ඣො යොජනසතං” (ගිජු ලිහිණියා යොදුන් සියයක්) යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සමයෙහි මවට උපස්ථාන කරන එක් භික්‍ෂුවක් මුල් කරගෙන දේශනා කළ සේක. මේ පුවත සාම ජාතකයෙහි (ජාතක අංක 540) මතු සඳහන් වන්නේය. බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂුව අමතා, “ඇත්තද මහණ? ඔබ ගිහියන් පෝෂණය කරන්නෙහිදැයි” විමසා, “එසේය ස්වාමීනි” යි කී කල්හි, “ඒ කවුරුන්දැයි” විමසා, “ස්වාමීනි! මගේ මව්පියන්” යයි කී කල්හි, “යහපත යහපතැ” යි සාධුකාර දී, “මහණෙනි! ඒ භික්‍ෂුවට දොස් නොකියව්. පෙර නුවණ ඇති අය ගුණ වශයෙන් සලකා, ඤාතීන් නොවන අයට පවා උපකාර කළාහුය. මව්පියන්ට උපකාර කිරීම මොහුට භාර දෙයකැ” යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ ගිජුලිහිණියන් වෙසෙන පර්වතයෙහි ගිජුලිහිණි යෝනියෙහි ඉපද මව්පියන් පෝෂණය කරති. ඉක්බිති එක් කාලයකදී මහත් සුළං කුණාටුවක් ඇති විය. ගිජුලිහිණියෝ සුළං කුණාටුව විඳ දරා ගන්නට නොහැකි වූවාහු, සීතලට බියෙන් බරණැසට ගොස් පවුරු අසලද දිය අගල් අසලද සීතලෙන් ගැහි ගැහී සිටියෝය. බරණැස් සිටුතුමා නගරයෙන් නික්මී ජලස්නානය සඳහා යන්නේ, ඒ ගිජුලිහිණියන් වෙහෙස වී සිටිනු දැක, එක්තරා නොතෙමෙන තැනකට ඔවුන් එක්රැස් කරවා, ගිනි දල්වා, මැරුණු ගවයන් දමන සොහොනට මිනිසුන් යවා ගව මස් ගෙන්වා උන්ට දී ආරක්‍ෂාව සැලසුවේය. ගිජුලිහිණියෝ සුළං කුණාටුව සංසිඳුනුවිට නිරෝගී සිරුර ඇතිව පර්වතයටම ගියහ. ඔවුහු එහිම රැස්වී මෙසේ සාකච්ඡා කළහ: “බරණැස් සිටුතුමා විසින් අපට බොහෝ උපකාර කරන ලදි. උදව් කළ තැනැත්තාට ප්‍රති උපකාරයක් කිරීම වටියි. ඒ නිසා මෙතැන් පටන් නුඹලා අතරින් යමෙක් යම්කිසි වස්ත්‍රයක් හෝ ආභරණයක් හෝ ලබයිද, ඔහු විසින් එය බරණැස් සිටුතුමාගේ මාළිගයේ ඉහළ මිදුලෙහි (ආකාශ අංගනයෙහි) දැමිය යුතුයි.”
මෙතැන් පටන් ගිජුලිහිණියෝ අව්වෙහි වේලෙන මිනිසුන්ගේ වස්ත්‍රාභරණ ගැන ප්‍රමාදයක් බලා, මස් වැදලි වහා ඩැහැගෙන යන්නා සේ වහා රැගෙන ගොස් බරණැස් සිටුතුමාගේ අහස් මිදුලේ හෙළති. සිටුතුමා ගිජුලිහිණියන් ගෙන දමන ඒවා ආභරණ බව දැන, ඒ සියල්ලම වෙන වෙනම තැබුවේය. “ගිජු ලිහිණියෝ නගරය මංපහරන්නෝය” යි මිනිස්සු රජුට කීවාහුය. රජතුමා “පළමුකොට එක් ගිජු ලිහිණියෙකු අල්ලා ගනිව්; එවිට සියල්ල ගෙන්වා ගන්නෙමි” යි සිතා ඒ ඒ තැන මළපුඩු ද උල් ද ඇටවීය. මව්පියන්ට උපස්ථාන කරන ගිජුලිහිණියා මළපුඩුවෙහි බැඳුනේය. ඌ අල්ලාගෙන “රජුට පෙන්වන්නෙමු” යි ගෙන යති. බරණැස් සිටුතුමා රජුට උපස්ථානයට යන්නේ, ඒ මිනිසුන් ගිජුලිහිණියා රැගෙන යනු දැක, “මේ ගිජුලිහිණියාට බාධා නොකරත්වා” යි සිතා ඔවුන් සමග ගියේය. ඔවුහු ගිජුලිහිණියා රජුට දැක්වූහ. එවිට රජතුමා ගිජු ලිහිණියාගෙන්, “නුඹලා නගරයේ මංපැහැරීම් කරමින් වස්ත්‍රාදිය පැහැර ගන්නෙහිදැ?” යි විමසීය. “එසේය මහරජ!” “ඒවා කවරෙකුට දෙන ලදද?” “බරණැස් සිටුතුමාටයි.” “ඒ කුමක් නිසාද?” “මොහු විසින් අපගේ ජීවිතය බේරා දෙන ලදි. උදව් කළ අයෙකුට ප්‍රතිඋපකාර කිරීම වටියි. ඒ නිසා දුන්නෙමි.” ඉක්බිති රජතුමා “ගිජුලිහිණියෝ වනාහි යොදුන් සියයක් ඈතක සිටත් මළමිනී (ගොදුරු) දකිත්. එසේ නම් කුමක් නිසා නුඹ තමන්ට අටවන ලද උගුල (පුඩුව) නොදැක්කෙහිදැ?” යි විමසමින් මෙම පළමු ගාථාව වදාළේය:
“ගිජු ලිහිණියා යොදුන් සියයක් ඈත සිට වුවද කුණපයන් (මළ මිනී) දකියි. එසේ නම් දැලටත් මළපුඩුවටත් හසුවීමට තරම් ළංව සිටියදීත් කුමක් හෙයින් එය නොදැක්කෙහිද?”
රජතුමා විසින් බෝධිසත්ව වූ ගිජුලිහිණියාගෙන් කරුණු විමසන අයුරු
එහි යං යනු නිපාත මාත්‍රයකි. නූ යනු නාමාර්ථයේ නිපාතයකි. ගිජ්ඣො යොජනසතං යනු ගිජුලිහිණියා යොදුන් සියයක් ඉක්මවා සිටියේය යන්නයි. කුණපානි අවෙක්ඛති යනු කුණප දකින්නේය යන අර්ථයි. ආසජ්ජාපි යනු ඉතා ළංව, පැමිණ, යන අර්ථයි. එනම් නුඹ තමන් සඳහා අටවන ලද දැලට ද, පුඩුවට ද හසුවීත් කුමක් නිසා න බුජ්ඣසි (අවබෝධ කර නොගන්නෙහි ද?) යැයි විචාළේය.
ගිජුලිහිණියා රජතුමාගේ බස් අසා දෙවන ගාථාව ප්‍රකාශ කළේය:
“යම් කලක සත්වයාට ජීවිත විනාශය ළඟා වේද, පිරිහීම ඇති වේද, එකල්හි ඔහු මරු දැලටද මළපුඩුවටද පැමිණියත් ඒ විනාශය නොදකී.”
එහි පරාභවො යනු විනාශයයි. පොසො යනු සත්ත්වයායි.
ගිජුලිහිණියාගේ කථාව අසා රජතුමා සිටාණන්ගෙන්, “ඇත්තද මහ සිටුතුමනි? ගිජුලිහිණියන් විසින් තොපගේ නිවසට වස්ත්‍රාදිය ගෙනෙන ලදදැ?” යි විමසීය. “ඇත්තයි දේවයන් වහන්ස!” “ඒවා කොහිද?” “දේවයන් වහන්ස! මා විසින් ඒ සියල්ල වෙන වෙනම තබා ඇත. යමක් යමෙකුට අයිති නම් එය ඔහුට දෙමි. මේ ගිජුලිහිණියා මුදාහරිනු මැනව.” රජතුමා ගිජුලිහිණියා මුදා හැරියේය. මහ සිටුතුමා ද ඒ බඩු භාණ්ඩ සියල්ල අයිතිකරුවන්ට ලබා දුන්නේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාව අවසානයෙහි මවට උපස්ථාන කළ භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. “එකල රජතුමා වූයේ දැන් මේ ආනන්ද තෙරුන්ය. බරණැස් සිටුතුමා වූයේ සැරියුත් තෙරුන්ය. මව් පෝෂණය කළ ගිජුලිහිණියා වනාහි මම ම වූයෙමි” යි වදාළ සේක.
සිව්වන වූ ගිජ්ඣ ජාතක වර්ණනාව නිමියේය.