ඒ ඇමති තෙමේ, “එසේය දේවයන් වහන්ස” යයි පවසා රජතුමාගේ වචනය මුදුනින් පිළිගෙන, ඇමතිවරුන් දහසක් පිරිවරා ගෙන හැට යොදුන් මහා මාර්ගය ගෙවා රජගහ නුවරට ගොස් වේළුවනාරාමයෙහි මහා පිරිසක් පිරිවරා වැඩහිඳ ධර්ම දේශනා කරන බුදුරදුන් දැක, “රජතුමාගේ පණිවිඩය පසෙක තබා මා බණ අසා ගත යුතුය” යයි සිතුවේය. හෙතෙම පිරිස කෙළවර සිට බණ අසා පිරිවර සහිතව රහත් වී, එහි භික්ෂු භාවයෙන් පැවිදිව ආර්ය ජන්මයෙහි උපන් හෙයින්, රජතුමා විසින් කියා එවන ලද පණිවිඩය සැල නොකළේය.
රජතුමාට පණිවිඩයක් හෝ කියා එන කෙනෙකු නැති හෙයින්, රජතුමා නැවතත් අන් ඇමතියෙකු කැඳවා පුරුෂයන් දහසක් සමඟ මංගල වේෂය ගන්වා පෙර සේම උගන්වා යැව්වේය. ඒ ඇමතිවරයා ද බණ අසා රහත් වී පිරිවර සහිතව එහි භික්ෂු භාවයෙන් පැවිදි විය. මෙසේ ගිය ගිය අය නැවත නොඑන හෙයින්, නව වාරයක් නව මහා ඇමතිවරුන් නව දහසක් පිරිස් දී පෙර සේම යැව්වේය. මෙසේ ගිය ගිය ඇමතිවරු පිරිවර සහිතව රහත් වී එහි භික්ෂු භාවයෙන් පැවිදිව, පණිවිඩය පසෙක තබා සසුන් වැද සුව විඳිති.
නැවත රජතුමා බුදුරදුන් හා එකදා උපන් කාළුදායි නම් අග්‍රාමාත්‍යවරයා කැඳවා, “පුත කාළුදායිනි, තොප හා එක කෙළි මඬුල්ලෙහි වැඩුණා වූ, තොප හා ඉතා යහළු වූ මාගේ පුතණුවන් වන සිද්ධාර්ථ කුමාරයන් වෙත, තෙපි දහසක් දෙනා හා සමඟ මංගල වේෂයෙන් ගොස් මාගේ ඇස් දෙකට (බුදුරදුන්ව) දැකගන්නට සලස්වන්නෙහිද?” යයි විචාළේය.
කාළුදායි කියනුයේ, “මහරජාණෙනි, මම ගියෙමි නම් ඔබගේ පුතණුවන් ඔබේ ඇස් ඉදිරියට ගෙනෙන්නෙමි. එහෙත් එක් කොන්දේසියක් ඇත; බුදුරදුන් දුටු විටම බුදුන් කෙරෙහි පැවිදි වෙමි. පැවිදි වන්නට අවසර ලද්දෙම් නම් දැන්ම යමි” යයි කීවේය. රජතුමා කියනුයේ, “පුත, තෙපි මහණ වුවත්, නොවුණත්, මාගේ පුතණුවන් මගේ ඇස් දෙකට දැක ගැනීමට සැලැස්වුවහොත්, මා නොකළ උපකාරයක් නැත” යයි කීහ.
ඉක්බිති කාළුදායි නම් ඇමතිවරයා රජතුමා වැඳ සමුගෙන, ඇමතිවරුන් දහසක් දෙනා සමඟ මංගල වේෂයෙන් ගොස් පිරිස කෙළවර සිට බණ අසා රහත් වී එහි භික්ෂු භාවයෙන් පැවිදි වූහ. ඒ උදායි ස්ථවිරයන් වහන්සේ එතැනට පැමිණ පැවිදිව සත් අට දවසක් ඉක්ම ගිය කල්හි මැදින් මස මැද පොහොය එළඹියේය. ඒ දිනවල උන්වහන්සේ, “දැන් හේමන්ත කාලය පැමිණියේය. එහෙයින් දසබලධාරී වූ බුදුරදුන්ගේ ඥාති සංග්‍රහයට මෙය සුදුසු කල් වන්නේය” යයි දැන, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ පසඟ පිහිටුවා වැඳ ශාස්තෘන් වහන්සේට ඉදිරිපිට දොහොත් මුදුන් දී හිඳ ගමන වර්ණනා කරන සේක:
“අඞ්ගාරිනො දානි දුමා භදන්තෙ,
ඵලෙසිනො ඡදනං විප්පහාය;
තෙ අච්චිමන්තොව පභාසයන්ති,
සමයො මහාවීර අඞ්ගීරසානං …පෙ….”
මේ ආදී ගාථා හැටකින් මාර්ග වර්ණනා කළ කල්හි, බුදුරජාණන් වහන්සේ, “කිමෙක්ද උදායිය, කවර කාරණයක් නිසා ගමන වර්ණනා කරන්නෙහිද?” යයි විචාරා වදාළ කල්හි, උදායි ස්ථවිරයන් වහන්සේ දන්වන සේක්, “ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්ස, දැන් ශුද්ධෝදන රජතුමා ඔබ වහන්සේව දැකීමට කැමතිව මා ඇතුළු වූ දසදහසක් ඇමතිවරුන් දස වාරයක් දූත මෙහෙවර පිණිස එවා, තවමත් ඔබව දැකගත නොහැකිව දුකින් පෙළෙමින් සිටිති. එහෙයින් ශුද්ධෝදන රජතුමා ප්‍රධාන කොට ඇති සියලු බන්ධු සමාගමයට අනුග්‍රහ කොට කිඹුල්වත්පුර නුවරට වැඩම කිරීමට මෙය මනා කාලයයි” කියා ආරාධනා කළ සේක.
එවේලෙහි ස්වාමිදරුවෝ, “යහපත උදායිය, මම බන්ධු සංග්‍රහයට යමි. එබැවින් ගමිකවත් පුරවා පිටත්වන ලෙස භික්ෂු සංඝයාට තෝම කියා රැස් කරව” යයි වදාළ කල්හි, උන්වහන්සේ බුදුන් වදාළ බස් මුදුනින් පිළිගෙන, එකෙණෙහි ඒ පුවත භික්ෂු සංඝයාට දන්වා, අංග මගධ දෙරටින් මහණව රහත් වූ දස දහසක් දෙනා වහන්සේ සහ කිඹුල්වත් නුවරින් රජ මෙහෙවර නිසා අවුත් මහණව රහත් වූ දස දහසක් දෙනා වහන්සේ යයි, මෙසේ විසි දහසක් පමණ මහරහතන් වහන්සේලා පිරිවරා රජගහ නුවරින් නික්ම රජගහ නුවර පටන් කිඹුල්වත දක්වා සැට යොදුන් මාර්ගය දින සැටකින් යමි යි සිතා, දිනකට යොදුන බැගින් මහත් ආශ්චර්ය වූ අපරිමිත බුද්ධ විලාසයෙන් වඩින්ට පටන් ගත් සේක.
බුදුරජාණන් වහන්සේ විසි දහසක් මහරහතුන් පිරිවරා කිඹුල්වත්පුරයට වැඩමවීම.
එය දැක කාළුදායි මහතෙරුන් වහන්සේ, බුදුන් නික්මුණු බව රජතුමාට දන්වමියි සිතා ආකාශයෙන් වැඩ රජගෙයි පෙනී සිටි සේක. එකල්හි ශුද්ධෝදන රජතුමා ඒ මහතෙරුන් වහන්සේ දැක පස්වණක් ප්‍රීතියෙන් පිනා ගොස්, පෙරමගට දිව ගොස් තෙරුන් වහන්සේ අතින් පාත්‍රය ගෙන, මහත් අනර්ඝ ආසනයක වඩා හිඳුවා, ආ ගිය තොරතුරු ගැන පිළිසඳර කතා කොට, තමන්ට පිළියෙළ කළ රාජ භෝජනයෙන් පාත්‍රය පුරා තෙරුන් වහන්සේට පිළිගැන්වූ සේක.
ඉක්බිත්තෙන් තෙරුන් වහන්සේ ආසනයෙන් නැගිට වඩින ආකාරයක් දැක්වූ කල්හි රජතෙම, “ස්වාමීනි, වැඩහිඳ දන් වළඳා වදාළ මැනවැ” යයි ආරාධනා කළේය. තෙරුන් වහන්සේ, “මහරජ, බුදුන් සමීපයට ගොස් වළඳන්නෙමි” යි කීවේය. “ස්වාමීනි, දැන් වනාහි මාගේ පුතණුවෝ කොතැන්හි වැඩ වාසය කරන්නාහුදැ?” යි ඇසූ කල්හි තෙරුන් වහන්සේ වදාරණ සේක්, “මහරජ, බුදුහු තොප දක්නා පිණිස විසි දහසක් භික්ෂූන් පිරිවරා වඩින සේකැ” යි දැන්වූ කල්හි ශුද්ධෝදන රජ තෙම ඉතා සතුටුව මෙසේ කීවේය.
“ස්වාමීනි, මේ ආහාරය නුඹ වහන්සේ වළඳා වදාළ මැනවැ” යි කියා ආරාධනා කොට වළඳවා, වැළඳූ ඉක්බිති ඒ පාත්‍රය සෝදා සුවඳ කුඩුවලින් උලා පිරිසිදු කොට, පෙර ගිහිව වසන කල අනුභව කොට පුරුදු අග්‍ර වූ රාජ භෝජනයෙන් පාත්‍රය පුරා, “මාගේ පුතණුවන් මා කෙරෙහි ප්‍රේම ඇත හොත් අනික් දානයක් නො වළඳා මාගෙන්ම යැවූ බත් වළඳන්නට වදාළ මැනවැ” යි කියාත් ආරාධනා කොට, “මේ නුවරට වඩිනා තාක් කල් අතරමගට මගෙන් පිණ්ඩපාත දානය නුඹ වහන්සේම ගෙන යන සේක්වා” යි කියා පාත්‍රය තෙරුන් වහන්සේ අතම තැබූහ.
එකල්හි තෙරුන් වහන්සේ, “මෙතන පටන් ආකාශයෙන් මා යන නියාවත්, පාත්‍රය බුදුන්ට පිළිගන්වන නියාවත්, බුදුන් ඒ බත් වළඳන නියාවත් රජුට පෙනේවා” යි අධිෂ්ඨාන කොට, හුනස්නෙන් පැන නැගී හැමදෙනා බල බලා සිටියදී පාත්‍රය නීල භෘංගරාජයකු (නිල් මැස්සෙකු) සේ පෙරටුව යවා, අහසින්ම වැඩම කොට පාත්‍රය ගෙන බුදුන්ගේ ශ්‍රී හස්තයෙහි තැබූ සේක. බුදුරජාණන් වහන්සේ ද ඒ බත් ම වළඳා වදාළ සේක. මෙම ක්‍රමයෙන් තෙරුන් වහන්සේ ද, දිනපතා බත් පාත්‍රයක් බැගින් එසේම ගෙන ගොස් පිළිගන්වන සේක. බුදුහු ඒ බත් වළඳා වදාරණ සේක්මය.
කාළුදායි තෙරුන් වහන්සේ අහසින් පාත්‍රය ගෙන වැඩමවීම.
වළඳා අවසානයෙහි එම තෙරුන් වහන්සේ දිනපතා රජගෙට ගොස්, “අද බුදුරජතෙම මෙතෙක් තැන් ඉක්මවා වැඩි සේකැ” යි යනාදීන් අනෙක ප්‍රකාර වූ බුදුගුණ ප්‍රතිසංයුක්ත ධාර්මික කතාවන් කිය කියා ශුද්ධෝදන රජ ප්‍රමුඛ වූ සියලු රජ කුලය බුදුන් කෙරෙහි පැහැදවූ සේක. ඒ කාරණයෙන් බුදුරජාණන් වහන්සේ, “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛුනං කුලප්පසාදකානං යදිදං කාළුදායි” යනුවෙන් එතදග්‍ර පාළිය වදාරා, මේ ශාසනයෙහි කුලයන් පහදවන්නා වූ භික්ෂූන් අතුරෙන් කාළුදායි තෙරුන් වහන්සේ අග්‍රස්ථානයේ තබා තනතුරු දුන් සේක.
මෙසේ හැට දවසක් වැඩ වෙසක් මස මැදි පොහෝදා බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට පැමිණි සේක. එකල්හි එක්ලක්ෂ හැට දහසක් පමණ වූ ශාක්‍ය රජ දරුවෝ, “අපගේ නෑ උතුමාණන් දක්නට ලදුම්හ” යි සතුටින් රැස්ව, විසි දහසක් රහතුන් වහන්සේ හා අප භාග්‍යවතුන් වහන්සේට විසීමට විවේක ස්ථානයක්ම විය යුතු බැවින්, “කවර නම් තැනක් සුදුසු දෝ හෝ” යි පරීක්ෂා කරන්නාහු, “නිග්‍රෝධ නම් ශාක්‍ය රජ්ජුරුවන්ගේ උයන ඉතා රම්‍යය. එහි විහාරයක් කළමනාය” යි මන්ත්‍රණය කොට, ඒ හැම ශාක්‍ය රජදරුවෝ අභිමානය බලවත් හෙයින් මෙසේ වූ කතිකාවක් කළාහුය.
“සිද්ධාර්ථ කුමාරයෝ තමන්ට බුදු බව ලැබුණත් අපට අපගේ බාල මලණුවන්ය, බෑණනුවන්ය, මුණුබුරාණෝය. එහෙයින් හැමදෙනාම වඳින්ට නොහැකි වම්හ. සෙසු ලෝකයෙහි මහලු රජ දරුවෝ ද දැන් උන් වඳිත්මය. මිනිසුන් තබා දෙවියෝ දක්වාත් උන් වඳිත්මය. එසේ ඇති කල අපි නොවැඳ සිටිය හොත් ලොව මහත් අයසකුදු උපදනේය. අහෝ! මෙයට අපි කුමක් කරමෝදැයි” කතිකා කරන්නාහුය. ඔවුන් අතුරෙන් සමහර කෙනෙක් කියන්නාහු, “අපි මෙයට උපායක් දනිමු. අපගේ සියලුම ළදරු කුමාරයන් ඉදිරියෙහි සිටුවා, ඔවුන් හැම වඳින කල්හි අපි ද වඳින්නවුන් මෙන් ඔවුන්ගේ පිටුපස ලැස්ව ම හිඳ ගනිමු. එවිට මේ අපගේ අඩුපාඩුව කිසිවෙක් නොදක්නේ ය” යි කීහ.
ඒ අසා හැම ශාක්‍ය රජ දරුවෝම එකඟව, “මේ උපාය අනෙකෙකුට නොහඟවා රැක්ක යුතුය” යි සම්මත කොට ගෙන, බුදුන් වඩිනා මග යොදුනක් පමණ තැන් අලංකාර කරවා, වැඩීමට පෙර ගමන් කරන්නාහු, සියලු අලංකාරයෙන් ශෝභමාන වූ සොළොස් හැවිරිදි සිටු කුමාරයන් හා සිටු කුමාරිකාවන් ද, එසේම සොළොස් හැවිරිදි ශාක්‍ය කුමරුවන් හා ශාක්‍ය කුමාරිකාවන් ද, පන්සියය පන්සියය බැගින් සුවඳ මල් ධජ පතාක දී නානාවිධ පූජා භාණ්ඩ ගත් අත් ඇතිව පෙළින් පෙළ යන සේ සලස්වා, තුමූ හැමදෙන නිග්‍රෝධ ශාක්‍යයන්ගේ උයන්හි සියලු ප්‍රාසාද, කූටාගාර, මණ්ඩප ශාලා, රාත්‍රි ස්ථාන, දිවා ස්ථානාදීන් මනාව අලංකාර කොට, විහාරය කරවා, සිවුදෑ ගඳ සම්මිශ්‍ර නීලවර්ණ ගොමයෙන් උළා, ගඳපස්මල් විසුරුවා, සුදු වියන් බඳවා, සුවඳ මල් දම් ආදියෙන් අලංකෘත කොට, ඒ උයන ද ශක්‍රයාගේ නන්දනෝද්‍යානය සේ සරහා නිමි කල්හි, ඒ හැම රජදරුවෝ තමන්ගේ පිරිවර සමග බුදුන් වඩනා පෙරමගට ගොස් සම්බුදුරජාණන් වහන්සේ වැඩම කරවා ගෙන නිග්‍රෝධාරාමයට පැමිණ, සරහා පිළියෙළ කරන ලද ඒ විහාරය පිළිගැන්වූවාහුය.
ලෝකස්වාමී වූ බුදුරජාණන් වහන්සේ එහි විසි දහසක් රහතන් වහන්සේ පිරිවරා බුද්ධාසන මස්තකයෙහි වැඩ උන් සේක. බුදුගුණ නොදත් අභිමානයෙන් ඒ හැම ශාක්‍ය රජදරුවෝ ළදරු කුමරුවන් ළඟට කැඳවා, “දරුවෙනි, තෙපි අපට පෙරටුව සිට සිද්ධාර්ථ කුමාරයන් වැඩමවා, අපි තොප හැමට පසුවලා නොහඟවා වඳිමු. මේ වග කාටත් නොදන්වන්න” යි උගන්වාලූහ. එබස් අසා බුදුන්ට බාල වූ රජ කුමරුවෝ පෙරටුව සිට බුදුන් වැඳ, මහලු නෑයන්ට අවකාශ නොදීම දහස් ගණනෙක් ඉදිරිපිට සිට ගත්හ.
ඉක්බිති ශුද්ධෝදන රජතුමා ප්‍රමුඛ මහලු නෑයෝ තමන් වහන්සේ නොවැඳ හුන් හෙයින්, පස් පැහැයෙන් බැබළෙන නෙත්‍ර උන්මීලනය කොට (ඇස් හැර) ඥාති ගණයා දෙස බලා ඔවුන්ගේ අදහස් දැන, “මොවුන් මෝහයෙන් වැඩිමහලු හෙයිනුත් බුදු බල නොදත් හෙයිනුත් මා නොවඳින්නාහුය. පූර්ව බුදුවරයෝ නෑයන්ගෙන් කෙසේ වැඳුම් ලද්දාහු දැ?” යි බලනුවෝ, “ලොව අද්භූත වූ බුදු බල ප්‍රකාශ කොට යමක ප්‍රාතිහාර්යය දක්වා මුළු ලොව විස්මයට පත් කොට නෑයන්ගෙන් වැඳුම් ලද්දාහුය” යි දැන, “ඒ මාගේ වංශ චාරිත්‍රය කිරීමෙන් නෑයන්ගෙන් වැඳුම් ලබමි” යි සිතා වදාරා, අභිඥාපාදක චතුර්ථධ්‍යානයට සමවැද දස දහසක් සක්වළ පූර්ව චක්‍රවාලයෙහි පටන් පශ්චිම චක්‍රවාලය දක්වා අතිශයින් ශෝභමාන වූ රුවන් සක්මනක් මවා, අහස් කුසට පැන නැගී ඝන රන් මෙරක් සේ සවණක් රැසින් දිලිහි දිලිහී, ඒ රුවන් සක්මනට නැගී, තමන් වහන්සේට අභිමානයෙන් නොවැඳ හුන් නෑයන්ගේ හිස් මුදුනෙහි පය පස් වගුරුවන්නා සේ එහි සක්මන් කරන්ට පටන් ගෙන, ශරීරයෙහි ඒ ඒ තැනින් ගිනිකඳ දිය කඳ හරින්ට පටන් ගත් සේක. මෙහි විස්තර වනාහි මහා පූජාවලියෙන් ද, ශ්‍රී සද්ධර්මාවවාද සංග්‍රහයෙන් ද බලා දැනගත යුත්තේයි.
බුදුරජාණන් වහන්සේ අහසෙහි රුවන් සක්මනක යමක මහා ප්‍රාතිහාර්යය දැක්වීම.
මෙසේ මාගේ ස්වාමි දරුවෝ, “තමන් නො වඳිති” යි මාන්නයෙන් හුන් ඥාති ගණයා මධ්‍යයෙහි ආකාශයට පැන නැගී ඒ රුවන් සක්මනේදී මහත් වූ යමක ප්‍රාතිහාර්යය දක්වා, දම්සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේගේ ආරාධනාවෙන් බුද්ධ වංශය, අනාගත වංශය යන දේශනා කොට නිමවා, නෑයන්ගේ මානය බිඳ ආකාශයෙන් බසින පුන්සඳක් සේ බැස පළමුව වැඩ උන් බුද්ධාසන මස්තකයෙහි වැඩ උන් සේක.
ඒ ආශ්චර්යය දුටු ශුද්ධෝදන රජතුමා පුතණුවන් වහන්සේගේ ශ්‍රී පාද මූලයට ගොස් සැලකළ සේක. “මම නුඹ වහන්සේ උපන් දා කාල දේවල නම් සෘෂිවරයාගේ නළල් මැද නුඹගේ තෙල සිරිපතුල් දෙක පෙනී ගිය දා ප්‍රාතිහාර්යය දැක සතුටුව, එම දා මේ පතුල් දෙක නළල් මැද තබා වැන්දෙමි. ඒ මාගේ පළමුවෙනි වැඳීමය. තවද නුඹ පස් මසක් වයසැති කල වප්මගුල් කරන දා දඹ ගස මුලදී කළා වූ ප්‍රාතිහාර්යය දැක සතුටුව එම දාත් මේ ශ්‍රී පතුල් දෙක වැන්දෙමි. ඒ මාගේ දෙවෙනි වැඳීමය. අද මා වැනි සතෙකු තබා දිව්‍ය බ්‍රහ්මයනුත් නුදුටු නොඇසූ විරූ ප්‍රාතිහාර්යය දැක සතුටුව, බුදුන්ගේ ශ්‍රී පාදෙක හිස් මුදුනේ තබාගෙන මේ තුන්වැනි වරටත් වඳිමි” යයි කිය කියා ඒ ශුද්ධෝදන රජතුමා සිටගත නොහී මුලින් සිඳ හෙලූ රන් රූපයක් සේ බුදුන්ගේ පාමුල වැඳ පෙරළී ගියහ.
රජතුමා වැඳි කල එක්ලක්ෂ හැට දහසක් ශාක්‍ය රජ දරුවෝ වැඳ පෙරළී ගියහ. එක රජෙකුත් බුදුන් නොවැඳ සිටීමට සමර්ථ නොවූයේය. එකෙණෙහි ශක්‍ර දේවේන්ද්‍රයෝ පොකුරු වැස්සක් වස්වා පූජා කළහ. ඒ පොකුරු වැස්සෙහි තඹවන් දිය පොළොවෙහි දිවෙයි. එයින් තෙමෙනු කැමැත්තෝ තෙමෙති. නොතෙමෙනු කැමැත්තෝ නො තෙමෙති. ඒ ආශ්චර්යය දැක විසි දහසක් භික්ෂූහු, “බුදුන්ගේ බන්ධු සමාගමයෙහි වට පොකුරු වැස්සක මහිමයක් බලව” යි ස්තුති පූජා කළ සේක.
සාමිදරුවෝ ඒ අත්ථොත්පත්තියෙහි, “මහණෙනි, දැන් මතු නොවෙයි, පෙරත් මාගේ බන්ධු සමාගමයෙහි පොකුරු වැසි වැටුණේ ම වේදැ” යි වදාරා දහසක් ගාථාවෙන් ප්‍රතිමණ්ඩිත වූ මහා වෙස්සන්තර ජාතකය ගෙනහැර දක්වා ධර්ම දේශනා කොට වදාළ සේක. එවේලෙහි බොහෝ ප්‍රාණීහු සෝවාන් ආදී මාර්ග ඵලයට පැමිණියාහ. ඉක්බිත්තෙන් ශාක්‍ය රජ දරුවෝ බුදුන් වැඳ ප්‍රදක්ෂිණා කොට බුදුන්ට ස්තූති කොට ගියාහුය. ඔවුන් අතුරෙන් එක රජෙක් වේවා, රාජාමාත්‍යයෙක් වේවා, බුදුන් හෙට දවසට දානයට පවරා ගිය කෙනෙක් නැත්තාහුය.
සාමිදරුවෝ එදා රෑ නිග්‍රෝධාරාමයෙහි දවස් යවා අරුණෝද්ගමන වේලෙහි මහා කරුණා සමාපත්තියෙන් නැගිට, සුරක්ත වූ දෙපට සිවුරු හැඳ, මතුපිට පටි දා බැඳ, නිග්‍රෝධ ඵල සමාන වර්ණ වූ (ඉදුණු නුග ගෙඩි පැහැති) සුගත් මහ පාත්‍ර සිවුරු පොරවා, පාත්‍රය අතින් ගෙන විසිදහසක් මහ රහතුන් පිරිවරා අනන්ත අපරිමාණ ප්‍රාතිහාර්යය දක්වමින් ගෙපිළිවෙළින් පිඬු සිඟන්නට පටන් ගත් සේක. එකල්හි ආරාධනා කිරීමය, පාත්‍රය ගැනීමය යනාදී ව්‍යවහාර දන්නන් නැති හෙයින් හැම මනුෂ්‍යයෝම බුදුන් දැක විස්මයට පත්ව බල බලාම සිටිති. බත් සැන්දක් ගෙන එන ලෙසක්වත් නොදනිති.
ඒ වේලෙහි දෙමහල්, තුන්මහල්, පස්මහල්, සත් මහල් මහා ප්‍රාසාදවල බිසෝවරුන් හා කුලස්ත්‍රී සමූහයෝ සී මැදුරු කවුළුවලින් බලන්නට පටන් ගත්තාහ. එකෙණෙහි රාහුල කුමාරයාණන් වහන්සේට මව වූ යශෝධරා දේවිය “බුදුහු දොරින් දොර පිඬු සිඟිති” යයි අසා, “සිද්ධාර්ථ කුමාරයෝ පෙර මෙම නුවර රථයකට පැන නැගී, සූ සැටක් ආභරණ පැලඳ, රුවන් රැසින් දිළිසෙන අනර්ඝ වූ ඔටුන්නක් හිස පැලඳ, ලක්ෂයක් අගනා මුතුහරක් උරමඬල පුරා ගෙන, ලක්ෂ ගණන් ඇමැති නළු පිරිස් පිරිවරාගෙන, ශක්‍ර දේවේන්ද්‍ර ලීලාවෙන් රාජ්‍ය ශ්‍රී විඳ ඇවිද්දාහුය. ඒ මාගේ ස්වාමිදරුවාණෝ කෙස් වැටි දැලි රැවුලු කපා, ශරීරය වසා රත් සිවුරක් පෙරවා, මැටි පාත්‍රයක් අතින් ගෙන, මෙම නුවරම මෙම ජාතියෙහි දොර දොර සිඟමින් සිටියෝලු. උන් මහණ වන්නට ගිය දාම මා නොමැරී ජීවත් වූ හෙයින් මෙබඳු ලාමක වූ, කනට අමිහිරි වූ, සිතට අමනොඥ වූ, හදවත හුණු කරන්නා වූ තෙපුලක් ඇසීමි. කිමෙක් දෝ හෝ, ඒ සිද්ධාර්ථ කුමාරයන් දුටු යම් කෙනෙක් උන්ගේ මහත් වූ ආනුභාවම කියති. උන්ගේ සිඟමනුත් ඉතාම රිසියේ යයි කියති. ඒ වෙස උන්ට ඔබීදෝ නොහොබීදෝ, අද මා බැලුව මැනවැ” යි සිතා සත්බුමු පායෙහි සිංහ පඤ්ජරයෙහි දොර හැර කර දිගු කොට බැලුවාය.
ඈ බුදුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හා අසූ අනුව්‍යංජනයෙන් යුක්ත වූ, සියලඟින් දිවෙන බුදුරැස් කඳින් දිලිහි දිලිහී විසිදහසක් රහතුන් පිරිවරා සිඟා වඩනා වූ බුදුරජාණන් වහන්සේ දැක, දොහොත් මුදුනේ තබාගෙන තුන් වරක් සාධුකාර දී ප්‍රීතියෙන් පිනා මත්ව, “අහෝ! සිද්ධාර්ථ කුමාරයෙනි, එදා මැදියම් රෑ මා වැනි පක්‍ෂපාත ස්ත්‍රියකටත් නොකියා, රාහුලයන් වැනි එක්වන් ප්‍රතනු කෙනෙකුන් දැක උන් අතගා සිඹ සනහා නොගෙන, සොරාම එකලාව පලා ගියේ මෙසේ වූ ආශ්චර්යවත් ගමනකට ද? පෙර නුඹගේ ඓශ්චර්ය රාජ්‍යයට වඩා දැන් නුඹගේ සිඟන රාජ්‍යයම මට ඉතා රිසිය” යි කීය:
යශෝධරා දේවිය සිංහ පඤ්ජරයෙන් බුදුරදුන් දෙස බලා සිටීම.
“සිනිද්ධනීලමුදුකුඤ්චිතකෙසො,
සූරියනිම්මලතලාභිනලාටො;
යුත්තතුඞ්ගමුදුකායතනාසො,
රංසිජාලවිතතො නරසීහො.”
යනාදීන් නරසීහ ගාථා අටකින් බුදුන්ගේ රූප වර්ණනා කොට ශුද්ධෝදන රජතුමා වෙත පැමිණ වැඳ, “සාමීනි, සත් අවුරුද්දකින් මේ නුවරට ආ නුඹ පුතණුවන් සිද්ධාර්ථ කුමාරයන්ට එක දවසකුත් නොසිඟා බත් දීලිය නොහැකි නේද? දැන් ඔහු දොරින් දොර පිඬු සිඟමින් සිටියෝය. නුඹ සේ වූ දරුවන්ට දැඩි කෙනෙක් නැත. නුඹ ගෙයි හිඳ කුමක් කරන්නෙහි දැ” යි යනාදීන් මාමණ්ඩිය රජුට දොස් දෙඩූහ.
එබස් ඇසූ රජතුමා කඳුළු පිරුණු ඇස් ඇතිව, ඉතා මහත් වූ ලජ්ජා ඇතිව බුදුන් කරා දිවගොස් වැඳ, “ස්වාමීන් වහන්ස, මට මේසා මහත් පරිභවයක් කුමක් නිසා කොට වදාළ සේක්ද? අද මුළු දඹදිව සියලු සෙනග ආවේ වී නමුදු, පැන් නොවකා සුවඳ හැල් සහලේ කිරිබත් දෙත් නමුදු පොහොසත්මි. මෙතෙක් රහතන් හා නුඹ වහන්සේට බත් දීලිය නොහැකි ය යි සිතූ සේක් දැ” යි කීහ. එවේලෙහි සාමිදරුවෝ වදාරණ සේක්, “මහරජ, මේ මාගේ වංශයෙහි සිරිතක්මය” යි වදාළ සේක.
එබසට රජතුමා කියන සේක්, “පුතණුවන් වහන්ස, නුඹ වහන්සේගේ වංශය නම් මහා සම්මතාදී ශුද්ධ සූර්ය වංශය නම් වන්නේය. ඒ වංශයෙහි තුන් ලක්ෂ සූතිස් දහස් පන්සිය එකානූවක් මා ඇතුළු වූ රජුන් අතුරෙන් නුඹ සේ සිඟා කෑ එක රජෙක් නැත. එහෙයින් වංශ චාරිත්‍ර යෙකැයි මාගේ වංශයට කුමක් නිසා පරිභව කරන්නේදැ” යි කීහ.
එකෙණෙහි සාමිදරුවෝ, “මහරජ ඔබගේ මේ මහාසම්මත වංශයයි. මාගේ දීපංකරාදී බුද්ධ වංශයෙහි හැම බුදුහුම කුලගම ගෙපිළිවෙළින් සිඟුවාහුමය” යි තමන් වහන්සේගේ සද්ධර්ම නමැති නිධානයෙන් “උත්තිට්ඨෙ නප්පමජෙය්‍ය” යනාදී ගාථාව වදාළ සේක. ඒ ගාථාවෙහි කෙළවර රජතුමා සකෘදාගාමීව, බුදුන් අතින් පාත්‍රය ගෙන විසි දහසක් රහතන් හා බුදුන් රජගෙට වඩා ගෙන ගොස් මධුර වූ ආහාරයෙන් දන් වැළඳවූහ.
වළඳා අවසානයෙහි යශෝධරාව හැර සෙසු නාටක ස්ත්‍රීන් දිව අවුත් බුදුන් වැඳ එකත්පස්ව සිටි කල්හි, ශුද්ධෝදන රජතුමා ලේලියට, “පුතණ්ඩ, තෙපිත් බුදුන් දැක වැඳ ශෝක සංසිඳුවා ගනු මැනව” යි කියා යවූහ. එකල්හි යශෝධරා දේවි සිතනුයේ, “සිද්ධාර්ථ කුමාරයෝ ඉතා දැඩිය, මට නොකියා තපසට ගියහ. උන් මා කෙරෙහි සැබෑ ගුණයක් ඇති සේක් නම් ඔහු මාගේ ගෙට එති. ආ කල වඳින්නෙමි වේදැ” යි කියා නොගියහ. ශුද්ධෝදන රජතුමා එපවත් බුදුන්ට සැලකළ කල්හි බුදුහු බුද්ධාසනයෙන් නැගිට, “මහරජාණෙනි, මම යශෝධරා දේවියගේ ගෙට යමි. ඔබ පාත්‍රය ගන්න” යි රජතුමා අතට පාත්‍රය දී, රජතුමා පළමු කොටලා තමන් වහන්සේ සැරියුත් මුගලන් දෙනම හා සමග පස්සෙහි වඩනා සේක්, “මහණෙනි, රාගාදී කෙලෙස් මුහුදු පීනා ගොඩ දැක සිටියෙමි. යශෝධරාව එසේ නොවේ යැයි ඈ සිත් සේ වැඳ ශෝක නිවාගන්නා තුරු කිසිවෙක් නොවළක්වන්න” යි වදාරා දේවියගේ ශ්‍රී යහන් ගබඩාවට වැඩ පනවන ලද බුද්ධාසනයෙහි වැඩ උන් සේක.
යශෝධරා දේවී “මුන්වහන්සේ ලොවුතුරා බුදුහු වේදැ” යි සිහි එළවාගත නොහී, බුදුන්ගේ ශ්‍රී පාදය අල්වාගෙන හඬ හඬා ශෝක සංසිඳුවා, ලජ්ජා ඇතිව “මා කළේ කුමක් දෝ හෝ” යි භය ඇතිව එකත්පස්හි හුන් සේක.
යශෝධරා දේවිය බුදුරදුන්ගේ පාමුල වැඳ වැටීම.
ඉක්බිත්තෙන් ශුද්ධෝදන රජතුමා කියන සේක්, “මාගේ ලේලියෝ මහත් වූ ගුණ ඇත්තීය. ඉතා සුශික්ෂිතයහ. නුඹ වහන්සේ ස්වහස්තයෙන් හිසකෙස් වැටිය කපා දැමූ බව අසා, ඇය ද අඳුන් රැසක් වැනි වූ තමන්ගේ හිසකේ වැටිය තමා සිය අතින්ම කපා දැමුවාය. මෙසේම නුඹ වහන්සේගේ ස්වභාව වූ එකිනෙක අසා, කසී සළු නොහැඳ කහ පැහැති රෙදිම හැන්දාය. මේ සත් අවුරුද්ද ඇතුළත රෑ කන බතක රස නොදන්නීය. රන් බඳුන් හැර මැටි බඳුන් වල ම ආහාර අනුභව කළාය. උසසුන් මහ අසුන්වල නොසැතපුණාය. මල් සුවඳ නොපැලැන්දීය. නුඹ වහන්සේ මහණ වූ බව අසා බොහෝ රජදරුවන් විසින්, ‘යශෝධරාව අපි රකිමු’ යි කියා බොහෝ පඬුරු එවූ කල, කැමති වීම තබා තමාගෙන් වචනයක් පමණකුත් නොදී නුඹ වහන්සේට පක්‍ෂපාතවම විසූය. මේ ආදී නොයෙක් ගුණයෙන් යුත් මාගේ ලේලියෝය” යයි කීහ.
එවේලෙහි සාමිදරුවෝ වදාරණ සේක්, “ඈ රහ වන ජාතියෙහි තොප වැනි මාමණ්ඩිය රජෙකු විසින් කරන ලද ආරක්ෂා ඇතිව මට පක්‍ෂපාතීව විසීම ආශ්චර්යය නොවෙයි. පෙර මා සඳකිඳුරුව උපන් කල මා කෙරෙහි ප්‍රේමයෙන් මාගේ ජීවිත දානය කළේත් මේ යශෝධරා දේවීමය” යි කියා චන්දකින්නර ජාතකයෙන් බණ වදාළ සේක. එවේලෙහි යශෝධරා දේවියගේ ශෝකය ද සංසිඳුනේය. ඉක්බිත්තෙන් සාමිදරුවෝ බුද්ධාසනයෙන් නැගී නිග්‍රෝධාරාමයට වැඩි සේක.
දෙවන දා උදෑසන තමන් වහන්සේගේ කුඩා මව වූ මහා ප්‍රජාපතී දේවියගේ පුත් නන්ද කුමාරයන්ගේ සිරිබඳන මගුල (රාජාභිෂේකය), ගෙවදින මගුල, ජනපද කල්‍යාණි නම් රාජ කුමාරිකාව සරණ ගෙනෙන මගුල (විවාහය) යන තුන් මගුලම එකදා පැමිණි හෙයින්, නන්ද කුමාරයන්ගේ මගුල් මාලිගාවට වැඩ පනවන ලද බුද්ධාසන මස්තකයෙහි වැඩ හිඳ බණ වදාරා, නන්ද කුමාරයන් මහණ කරවනු කැමතිව ඔහු අතට පාත්‍රය දී හුනස්නෙන් නැගී ඔහු සමඟ විහාරයට යනු කැමැතිව නික්මුණු සේක.
එකල ජනපද කල්‍යාණි නන්ද කුමාරයන් යන්නා දැක, තමා වසන පායෙහි මතු මහල් තලයෙහි සී මැදුරු කවුළුවෙහි දොර හැර, පුන්සඳ මඬලක් වැනි වූ මුඛ මණ්ඩලය සී මැදුරු කවුළුවෙන් පිටතට දමා කුමාරයාගේ මුහුණ බලා, “හිමියාණෙනි, ඔබ නොරඳා වහා එන්න” යි කීවාය. ඒ වචන අසා කුමාරයාගේ ලය කම්පිතව බුදුන් කෙරෙහි ආදරයෙන් “පාත්‍රය ගත මැනවැ” යි කිය නොහී, නොකැමතිව වෙහෙරටම ගියහ. ඉක්බිත්තෙන් නන්ද කුමාරයන් ළඟට කැඳවා, “නන්දය, සත් දවසින් ලැබෙන චක්‍රවර්ති රාජ්‍යය හැර මා වැනියන් මහණ වූ කල, තා වැනියන්ට ගිහි ගෙයින් කවර ප්‍රයෝජනයක්ද? දැන්ම මහණ වන්න” යි වදාළ සේක. නන්ද කුමාරයෝ මුවෙන් නොබැන ජනපද කල්‍යාණිය සිත සිතා සිටියේය. බුදුහු, “නන්දයා මුවෙන් නොබැණ සිටි හෙයින් ඉවසූයේය” යි සිතා, සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ලවා ඔහු නොකැමතිව සිටියදීම හිසකෙස් බහවා මහණ කරවූ සේක. මෙසේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩි තුන්වෙනි දා නන්ද කුමාරයන් මහණ කරවා, සත්වෙනි දා විසිදහසක් රහතන් පිරිවරා සවණක් රැසින් දිලිහි දිලිහී පිය රජුගේ ගෙට වළඳන්ට වැඩි සේක.
නන්ද කුමරු ජනපද කල්‍යාණිය දෙස ආපසු හැරී බලමින් බුදුරදුන් පසුපස යෑම.
එකල යශෝධරා දේවී රාහුල කුමාරයන් ළඟට කැඳවා, “පුත රාහුලයෙනි, තොපගේ පියාණන් වහන්සේගේ සතර මහා නිධානයක් ඇත. උන්වහන්සේ මහණ වූ තැන් පටන් ඒ සතර මහ නිධානය කොතැනක බවත් දන්නෝ නැත. තවද ඔබගේ චක්‍රවර්ති රාජ්‍යය හා සත්රුවනකුත් ඇත. පියා සතු සම්පත් දරුවන්ට හිමි වේදැ” යි කියලා, “තෝ පියාණන් කරා ගොස් සතර මහ නිධානය හා චක්‍රවර්ති රාජ්‍යය ඉල්ලා ගන්න” යි කීහ.
එකල රාහුල කුමාරයෝ මුතුන් රජ්ජුරුවන් අඳුනන නුමුත් පියාණන් කවුරුද බවත් නොදන්නා හෙයින්, “අම්ම, පියාණෝ කවුරුදැ” යි ඇසූහ. යශෝධරා දේවි පුතණුවන් වඩාගෙන, සී මැදුරු කවුළුවෙහි දොර හැර, රාජ වීථියෙහි රන් කඳක් සේ සවණක් රැසින් දිලිහි දිලිහී වඩනා බුදුන් පුතණුවන්ට අත දිගු කර පෙන්වා, “සක්‍ය කුමාරවරො සුඛුමාලො” යනාදීන් නරසීහ ගාථා උගන්වා, සත්බුමු පායෙහි සිට මහලට බැස පුතණුවන් යවා, නැවත තුමූ උඩුමහලට නැගී සිංහ පඤ්ජරයෙන් බල බලා නොපෙනී සිටියහ.
එකල රාහුල කුමාරයෝ “බුදුන් පියාණෝය” යි අසා සතුටුව බුදුන් කරා ගොස්, බුදුන්ගේ සිවුරු කොණ අල්වාගෙන මුහුණ බලා, “මහණ, මම නුඹගේ දරුවෙක්ලු. නුඹ මාගේ පියෙක්ලු. නුඹ මා උපන් දවස් මා දුරදී දැක මා කරා නොවැද සොරාම ගියේලු. එසේ නුඹ දැඩි වුවත් තොපගේ සතර මහ නිධානය හා චක්‍රවර්ති රාජ්‍යය මට දුන මැනව” යි බොළඳ තෙපුල් කීහ. එකල බුදුහු රාහුල කුමාරයන්ගේ ඇඟිල්ල ශ්‍රී හස්තයෙන් අල්වාගෙන, “වරෙව දරුව, දායාද දෙන්නමෝ වේදැ” යි රජගෙට වැඩ දන් වළදා බුද්ධාසනයෙන් පැන නැගී නික්මුණු සේක.
රාහුල කුමරු දායාද ඉල්ලා බුදුරදුන් පසුපස යෑම.
රාහුල කුමාරයෝ බුදුන්ගේ සිවුරු කොණ ගැවී ගැවී දායාද ලෝභයෙන් නික්මුනාහ. බුදුන් “රාහුලය, තෝ සිටුව” යි කියාත් නොවදාරණ සේක. රාහුල කුමාරයන් නවතාලන කිසි කෙනෙක් නැත්තාහුමය. එකල යශෝධරා දේවි බුදුන් හා කැටිව යන පුතණුවන් සිංහ පඤ්ජරයෙන් බලා දැක, “කිමෙක්දෝ හෝ, නන්ද කුමරුවා සේම මාගේ පුතණුවන් ගෙන ගොස් මහණ කරවා ගන්නා උපායක්දෝ හෝ, දායාද තබා මාගේ පුතණුවන් ලද්දොත් මැනවැ” යි සිත සිතා හඬමින් සිටියාහුය.
බුදුහු රාහුල කුමාරයන් වෙහෙරට ගෙන ගොස් සැරියුත් මහ තෙරුන් වහන්සේ කැඳවා, “ශාරිපුත්‍රය, මේ රාහුලයා මා අතින් දායාදය ඉල්ලයි. මොහුට නොනස්නා දායාද සම්පතක් දෙනු කැමැත්තෙමි. දෙන ධනයක් මගෙන්ම දීලනු කැමැත්තෙමි. මා බෝ මැඩදී ලද්දා වූ සප්තවිධ වූ ආර්ය ධනය මොහුට දුන මැනව. එසේ හෙයින් දැන්ම මොහු මහණ කරවාලව” යි වදාළ සේක. එවේලෙහි රාහුල කුමාරයෝ උත්තරයක් නොකියාම, “මාගේ පියාණන් වහන්සේ අද මට දායාදයක් දෙන සේක් වනැ” යි සිත සිතා සතුටු සතුටුවම සිටි සේක. දම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ රාහුල කුමාරයන්ගේ හිස කෙස් බහවා මහණ කළ සේක.
“ශුද්ධෝදන රජතුමා, මුණුබුරාණන් මහණ කළහ” යි අසා මහත් වූ ශෝක ඇතිව බුදුන් කරා දිව ගොස්, “සර්වඥයන් වහන්ස, නුඹ වහන්සේ සොරාම ගොස් මට නොකියා මහණ වූ සේක. මාගේ කුඩා පුතණුවන් වන නන්ද කුමාරයනුත් උදුරාගෙන මහණ කොට ගත් සේක. මාම වඩාගත් මාගේ මුණුබුරු රාහුල කුමාරයන් මහණ කළ සේ නොයෙදේ” යනාදීන් බුදුන්ට මැසිවිලි කීහ. එකල බුදුහු රජුට බණ වදාරා ශෝක සංසිඳුවා වදාළ කල්හි රජතුමා, “මාගේ පුතණුවන් වහන්ස, අද මට උපන්නා වූ දරු ශෝකය, දරුවන් ඇති සියලු දෙමාපියන්ට නොවනු කැමැත්තෙමි. එසේ හෙයින්, ‘මව්පියන් අනු නොදන්වා මහණ කිරීම නොහැක්කේය’ යි යන ශික්ෂා පදයකින් වරක් මට දුන මැනවැ” යි ආරාධනා කළහ. බුදුරජාණන් වහන්සේ එසේ ශික්ෂා පදයක් පනවා වදාරා රජු සතුටු කොට සමුදී රජගෙට යවා වදාළ සේක.
මෙසේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩි සත්වෙනි දා රාහුල කුමාරයන් මහණ කරවා, අටවැනි දා භික්ෂු සංඝයා පිරිවරා රජගෙට වැඩ පනවන ලද බුද්ධාසන මස්තකයෙහි වැඩ උන් සේක. එකල ශුද්ධෝදන රජතුමා, “සාමීනි, නුඹ වහන්සේ දුෂ්කර ක්‍රියා කරන සමයෙහි එක්තරා දේවතා දුවක් රාත්‍රියෙහි අවුදින් මට කියන්නී, ‘රජතුමනි, තොප පුතණුවෝ සිද්ධාර්ථ කුමාරයෝ බත් නැතිව වියලී සක්මන් කෙළවර වැටී මළහ’ යි ඈ කී බස් අසා, මම ‘මාගේ පුතණුවෝ ලොවුතුරා බුදුව මුත් නොමියෙති’ යි කීයෙමි” යි කීහ.
බුදුහු ඒ වචන අසා, “මහරජ, දැන් මා බුදුවන ජාතියෙහි තොප රහත් වන ජාතියෙහි ‘මා මළහ’ යි කී බස් නොපිළිගත්තේ ආශ්චර්යය නොවෙයි. පෙරත් නොපිළිගත්තෝම වේදැ” යි මේ අත්ථොත්පත්ති කොට ගෙන මහා ධර්මපාල ජාතකයෙන් බණ වදාළ සේක. එකල්හි රජතුමා අනාගාමී ඵලයෙහි පිහිටියාහ. ශුද්ධෝදන රජතුමා වනාහි පළමුව බුදුහු සිඟා වැඩී දා වීථියේදී වදාළ ගාථා දෙක අසා සෝවාන් සෙදගැමි (සකෘදාගාමී) වූහ. මේ ධර්මපාල ජාතකය අසා අනාගාමී වූහ. පසුව පිරිනිවන් පාන දා දළ පුඩු සේසතින් යහනේ වැදහෙව අමා මහ නිවන් දුටුවාහුය යි දත යුතු.