“යස්මිං මනො නිවිසතී” (යමකු කෙරෙහි සිත පිහිටයි ද) යන මේ ජාතක දේශනාව බුදුරජාණන් වහන්සේ සාකේත නුවර ඇසුරු කොට අඳුන් වනයෙහි වැඩවසන සමයෙහි එක්තරා බමුණකු අරබයා දේශනා කරන ලදී. බුදුරජාණන් වහන්සේ මහා භික්ෂු සංඝයා පිරිවරා සාකේත නුවරට පිණ්ඩපාතය සඳහා පිවිසෙන කල්හි, සාකේත නුවර වැසි එක්තරා මහලු බමුණෙක් නුවරින් පිටතට යන්නේ, නගර දොරටුව අතරදී දසබලයන් වහන්සේව දැක, පාමුල වැටී, වළලුකරින් තදින් අල්ලාගෙන, “දරුව, මව්පියන් මහලු වී දුබල වූ කල්හි පුතුන් විසින් බලාගත යුත්තේ නොවේ ද? කුමක් නිසා මෙතෙක් කලක් අපට තමන්ව නොදැක්වූවෙහි ද? මා විසින් නම් අද ඔබව දකින ලද්දේය. ඔබේ මව දැකීමට එනු මැනවැ”යි කියා ශාස්තෘන් වහන්සේව කැඳවාගෙන තමන්ගේ නිවසට ගියේය. ශාස්තෘන් වහන්සේ එහි ගොස් භික්ෂු සංඝයා සමඟ පැනවූ අසුනෙහි වැඩහුන් සේක. බැමිණිය ද පැමිණ ශාස්තෘන් වහන්සේගේ පාමුල වැටී, “දරුව, මෙතෙක් කල් කොහි ගියෙහිද? මහලු මව්පියන්ට උපස්ථාන කළ යුතු නොවේ දැ”යි වැළපුණාය. ඇය පුතුන් සහ දූවරුන් ලවා ද “එන්න, සොහොයුරා වඳින්නැ”යි කියමින් බුදුන් වැන්දවූවාය. ඒ දෙදෙනාම සතුටු සිතින් මහා දානයක් දුන්හ. ශාස්තෘන් වහන්සේ බත් කිස නිමවා ඒ ජනයා දෙදෙනාට ජරා සූත්‍රය (සු.නි. 810 ආදිය) දේශනා කළ සේක. සූත්‍ර දේශනාව අවසානයෙහි දෙදෙනාම අනාගාමී ඵලයෙහි පිහිටියහ. ශාස්තෘන් වහන්සේ ආසනයෙන් නැඟිට අඳුන් වනයටම වැඩම කළ සේක.
මහලු බමුණා නුවර දොරටුව අබියසදී බුදුරජාණන් වහන්සේගේ දෙපය අල්වාගෙන හඬා වැටීම.
භික්ෂූන් වහන්සේලා ධම්ම සභාවෙහි රැස්ව කථාවක් ඉපදවූහ. “ඇවැත්නි, තථාගතයන් වහන්සේගේ පියා සුද්ධෝදන බවත්, මව මහාමායාව බවත් බමුණා දනී. එසේ දැන දැනත් බැමිණිය සමඟ එක්ව තථාගතයන් වහන්සේට ‘අපගේ පුත්‍රයා’ යැයි කියයි. ශාස්තෘන් වහන්සේ ද එය ඉවසති. ඊට හේතුව කිම ද?” ශාස්තෘන් වහන්සේ ඔවුන්ගේ කථාව අසා, “මහණෙනි, ඒ දෙදෙනා ම තමන්ගේ පුත්‍රයාට ම ‘පුත්‍රයා’ යැයි කියති” යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
“මහණෙනි, මේ බමුණා අතීතයෙහි අඛණ්ඩව ජාති පන්සියයක් මගේ පියා විය. ජාති පන්සියයක් සුළුපියා (බාප්පා) විය. ජාති පන්සියයක් මහපියා (ලොකු තාත්තා) විය. මේ බැමිණිය ද අඛණ්ඩවම ජාති පන්සියයක් මව වූවාය. ජාති පන්සියයක් සුළුමව (පුංචි අම්මා) වූවාය. ජාති පන්සියයක් මහමව (ලොකු අම්මා) වූවාය. මෙසේ මම එක්දහස් පන්සියයක් ආත්මභාවයන්හි මේ බමුණා අතෙහි වැඩුණෙමි. එක්දහස් පන්සියයක් ආත්මභාවයන්හි බැමිණිය අතෙහි වැඩුණෙමි”යි ආත්මභාව තුන්දහසක් ගැන කියා, අභිසම්බුද්ධ වී (බුද්ධත්වයට පත්ව) මෙම ගාථාව වදාළ සේක:
“යමකු කෙරෙහි සිත පිහිටා ද, යමකු කෙරෙහි සිත පහදී ද, පෙර නුදුටු විරූ ඒ පුරුෂයා කෙරෙහි ඒකාන්තයෙන් විශ්වාසය තබන්නේය.”
එහි අර්ථය මෙසේය: “යස්මිං මනො නිවිසතී” යනු, යම් පුද්ගලයකු දුටු පමණින්ම සිත පිහිටයි ද; “චිත්තඤ්චාපි පසීදතී” යනු, යමකු දුටු පමණින් සිත පහදී ද, මෘදු වේ ද; “අදිට්ඨපුබ්බකෙ පොසෙ” යනු, සාමාන්‍යයෙන් එම අත්බැව්හි දී මින් පෙර නුදුටු පුද්ගලයා කෙරෙහි ද; “කාමං තස්මිම්පි විස්සසෙ” යනු, පෙර භවයන්හි ඇති වූ හිතවත්කම නිසාම ඒ පුද්ගලයා කෙරෙහි ඒකාන්තයෙන්ම විශ්වාසය තබන්නේය, හිතවත් බවට පත්වන්නේය යන අර්ථයි.
මෙසේ ශාස්තෘන් වහන්සේ මෙම ධර්ම දේශනාව ගෙනහැර දක්වා, පූර්වාපර සන්ධි ගළපා ජාතකය සමාප්ත කළ සේක: “එකල බමුණා සහ බැමිණිය වූයේ මේ යුවළමය. පුත්‍රයා වූයේ මම ම ය.”
අටවැනි වූ සාකේත ජාතක වර්ණනාවයි.