“න තං ජිතං සාධු ජිතං” (ඒ ජයග්‍රහණය යහපත් ජයග්‍රහණයක් නොවේ) යන මේ ජාතක දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සමයෙහි චිත්තහත්ථසාරිපුත්ත තෙරුන් අරභයා වදාළ සේක. උන්වහන්සේ සැවැත් නුවර එක් කුල පුත්‍රයෙකි. එක් දිනක් සී සාමින් සිට ආපසු එන අතරතුර විහාරයට ගොස්, එක් තෙරනමක් සතු පාත්‍රයෙන් සිනිඳු වූ, මියුරු වූ, ප්‍රණීත ආහාර ලැබ මෙසේ සිතුවේය: “අපි රෑ දවල් දෙකෙහි තමන්ගේ අතින් ම නොයෙක් කර්මාන්ත කළත් මෙබඳු මිහිරි ආහාරයක් නොලබමු. මා ද මහණ විය යුතුය”. හෙතෙම පැවිදි වී මසක් හෝ අඩ මසක් ගිය තැන නුනුවණින් මෙනෙහි කරන්නේ, ක්ලේශයන්ට වසඟ වී සිවුරු හැර ගියේය. නැවතත් ගිහි ජීවිතයේ ආහාර සොයා ගැනීමෙන් වෙහෙසට පත්ව විහාරයට අවුත් පැවිදි වී අභිධර්මය ඉගෙන ගත්තේය. මේ ආකාරයෙන් සය වරක් සිවුරු හැර ගොස් නැවත පැවිදි විය. ඉක්බිති සත්වන වර පැවිදි වූ පසු සප්ත ප්‍රකරණයන්හි (අභිධර්මයේ) කෙළ පැමිණියේ වී, බොහෝ භික්ෂූන්ට ධර්මය උගන්වමින් විදසුන් වඩා රහත් බවට පැමිණියේය. එකල්හි උන්වහන්සේගේ යහළු භික්ෂූහු “ඇවැත්නි චිත්තහත්ථ, කිමද දැන් ඔබ පෙර මෙන් මෙකල කෙලෙස් වැඩෙන්නේ නැද්ද?” යයි විහිළු කළහ. “ඇවැත්නි, මෙතැන් පටන් මම ගිහි වීමට නුසුදුස්සෙමි” යි උන්වහන්සේ පිළිතුරු දුන්හ.
මෙසේ ඒ තෙරුන් රහත් බවට පැමිණි කල්හි දම් සභාවෙහි මෙබඳු කථාවක් උපන්නේය: “ඇවැත්නි, මෙබඳු රහත් වීමට තරම් හේතු සම්පත් තිබියදීත් ආයුෂ්මත් චිත්තහත්ථසාරිපුත්ත තෙරණුවෝ සය වරක් සිවුරු හැර ගියහ. අනේ! පුහුදුන් බව නම් මහත් දෝෂයකි”. ශාස්තෲන් වහන්සේ එතැනට වැඩමවා “මහණෙනි, කවර නම් කථාවකින් යුතුව මේ දැන් රැස්ව සිටියහුදැ” යි විචාරා, “මේ නම් කථාවෙනැ” යි පැවසූ කල්හි, “මහණෙනි, පුහුදුන් සිත නම් වහා වෙනස් වන සුළුය (ලහුකං), පාලනය කර ගැනීමට අපහසුය (දුන්නිග්ගහං), අරමුණු වශයෙන් ගොස් ඇලෙයි. එක් වරක් ඇලුණු දෙය වහා අතහැරීම කළ නොහැකි වේ. මෙබඳු සිත දමනය කර ගැනීම යහපත්ය. දමනය කරගත් ඒ සිත සැප එළවයි” යැයි වදාළ සේක.
“පාලනය කිරීමට අපහසු වූ, ඉක්මන් ගමන් ඇති (වහා වෙනස් වන), කැමති තැනක එල්බ ගන්නා වූ සිත දමනය කිරීම යහපත් ය. දමනය කළ සිත සැප එළවන්නේය.” (ධම්මපදය 35)
“මේ සිත පාලනය කිරීම අපහසු නිසා, පෙර පඬිවරු එක් කුඩා උදැල්ලක් නිසා එය අත්හැරීමට නොහැකිව, ලෝභය හේතුවෙන් සය වරක් උපැවිදි වී, සත්වන වර පැවිදි වූ කල්හි ධ්‍යාන උපදවා ඒ ලෝභය යටපත් කළහ” යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝධිසත්වයෝ පලා විකුණන කුලයක ඉපිද වැඩිවියට පැමිණියහ. මොහුට ‘කුද්දාල පණ්ඩිත’ (උදැල්ල පණ්ඩිතයා) යැයි නමක් විය. හෙතෙම උදැල්ලකින් පොළොව සකස් කොට පලා, ලබු, කොමඩු, පුහුල්, කැකිරි ආදිය වපුරා ඒවා විකිණීමෙන් දුගී ජීවිතයක් ගත කළේය. ඔහුට ඒ උදැල්ල හැර වෙනත් ධනයක් නොවීය. එක් දිනක් ඔහු “මට ගිහි ගෙයි විසීමෙන් කවර ප්‍රයෝජනයක් ද? ගිහි ගෙයින් නික්මී පැවිදි වන්නෙමි” යි සිතුවේය. ඉක්බිති එක් දවසක් උදැල්ල සැඟවුණු තැනක තබා ඉසි පැවිද්දෙන් පැවිදි වී, නැවත ඒ උදැල්ල සිහි වී තෘෂ්ණාව නැති කර ගැනීමට නොහැකිව, ඒ මොට වී ගිය උදැල්ල නිසා සිවුරු හැර ගියේය. මෙසේ දෙවැනි තෙවැනි වාර වශයෙන් හය වරක් ඒ උදැල්ල සඟවා තබා පැවිදි වූයේ ද, නැවත සිවුරු හැරියේ ද විය.
සත්වන වාරයේදී මෙසේ සිතිය: “මම මේ මොට උදැල්ල නිසා නැවත නැවත සිවුරු හැර ගියෙමි. දැන් මම එය මහා ගඟට වීසි කර පැවිදි වන්නෙමි”. ගං ඉවුරට ගොස් “ඉදින් ඒ උදැල්ල වැටුණු තැන මා දුටුවොත්, නැවත අවුත් ගොඩ ගැනීමට ආශාවක් ඇති විය හැකිය” යි සිතා, ඒ උදැල්ල මිටෙන් ගෙන ඇත් බල ඇති ශක්තිසම්පන්න හෙතෙම, හිසට උඩින් තුන් වරක් කරකවා ඇස් පියාගෙන ගඟ මැදට වීසි කොට “මා දිනුවා! මා දිනුවා!” යි තුන් වරක් සිංහ නාද කළේය. ඒ මොහොතේ බරණැස් රජු කැරැල්ලක් සංසිඳුවා ආපසු පැමිණියේ, ගඟෙන් දිය නා සියලු ආභරණයෙන් සැරසී ඇතා පිටින් යන්නේ, බෝධිසත්වයන්ගේ ඒ ශබ්දය අසා “මේ පුරුෂයා ‘මා දිනුවා, මා දිනුවා’ යැයි කියයි. මොහු විසින් දිනන ලද්දේ කවුරුන් ද? ඔහු කැඳවනු” යි අණ කළේය. ඔහු කැඳවා, “පින්වත් පුරුෂය, මම වනාහි යුද්ධය දිනාගෙන දැන් ජය ග්‍රහණය කොට එමි. ඔබ විසින් කවුරුන් දිනන ලද්දේදැ” යි විචාළේය. බෝධිසත්වයෝ, “මහරජ, ඔබ විසින් සංග්‍රාම සියයක්, දහසක්, ලක්ෂයක් දිනුවත් එය නියම දිනීමක් නොවේ. මන්ද කෙළෙස් නොදිනන ලද බැවිනි. මම වනාහි මගේ සිත ඇතුළත වූ ලෝභය යටපත් කරමින් කෙළෙස් දිනුවෙමි” යි පවසමින් ම මහා ගඟ දෙස බලා ආපෝ කසිණය අරමුණු කොට ධ්‍යාන උපදවා, ධ්‍යාන බලයෙන් අහසෙහි හිඳ රජුට දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:
කුද්දාල පණ්ඩිතයන් උදැල්ල ගඟට වීසි කරන අයුරු
“යම් ජයග්‍රහණයක් (සතුරන් විසින්) නැවත පරාජය කරනු ලබයි ද, ඒ ජයග්‍රහණය යහපත් ජයග්‍රහණයක් නොවේ. යම් ජයග්‍රහණයක් (සතුරන් විසින්) නැවත පරාජය කරනු නොලබයි ද, ඒ ජයග්‍රහණය ම යහපත් ජයග්‍රහණයක් වේ.”
එහි අර්ථය මෙසේය: “න තං ජිතං සාධු ජිතං, යං ජිතං අවජීයති” යනු, යම් හෙයකින් සතුරන් පරාජය කොට රට දිනා ගත්තද, නැවත ඒ සතුරන් විසින් තමා පරාජය කරනු ලබයි නම්, ඒ දිනීම යහපත් දිනීමක් නොවේ. මක්නිසාද යත්, නැවත පරාජය විය හැකි හෙයිනි. තවත් අයුරකින් කිවහොත්, යමෙක් සතුරන් හා යුද්ධ කොට ලබන ලද ජයග්‍රහණය, නැවත ඒ සතුරන් විසින් පරාජය කරනු ලබයි නම් එය යහපත් නොවේ, ශෝභන නොවේ. “තං ඛො ජිතං සාධු ජිතං, යං ජිතං නාවජීයති” යනු, සතුරන් මැඩපවත්වා යම් ජයක් ලැබූයේ ද, නැවත ඔවුන් විසින් පරාජය කරනු නොලැබේ ද, හෙවත් එක් වරක් ලැබූ ජය නැවත පරාජයක් බවට පත් නොවේ ද, ඒ දිනීම යහපත් දිනීමකි; එය සාර්ථක ජයග්‍රහණයකි. මක්නිසාද යත් නැවත පරාජය නොවන හෙයිනි. “එහෙයින් මහරජ, ඔබ සිය වරක්, දහස් වරක්, ලක්ෂ වාරයක් යුද්ධ දිනුව ද ‘සංග්‍රාම යෝධයකු’ නම් නොවේ. ඊට හේතුව කුමක්ද? තමාගේ කෙලෙස් සතුරන් නොදිනූ බැවිනි. යමෙක් එක් වරක් හෝ තමාගේ සිත ඇතුළත ඇති කෙලෙස් දිනයි ද, ඔහු උසස්ම සංග්‍රාම යෝධයා යැයි” අහසෙහි හිඳගෙනම බුදු ලීලාවෙන් රජුට දහම් දෙසුවේය. මෙහි උසස් රණ ශූරත්වය වනාහි:
“යමෙක් යුද්ධයේදී මිනිසුන් දසලක්ෂයක් (දහසින් ගුණ කළ දහසක්) ජය ගනී ද, (ඊට වඩා) යමෙක් තමාගේ එකම සිත ජය ගනී ද, හෙතෙම සංග්‍රාම දිනූවන් අතර උත්තමයා වෙයි.” (ධම්මපදය 103)
මේ සූත්‍රය ඊට සාධකයි.
රජු දහම් අසමින් සිටියදී ම තදංග වශයෙන් (තාවකාලිකව) කෙළෙස් ප්‍රහීණ වී සිත පැවිද්දට නැඹුරු විය. රාජකීය සේනාවගේ ද එසේ ම කෙළෙස් ප්‍රහීණ විය. රජතුමා “දැන් ඔබ වහන්සේ කොහි වැඩම කරන්නේදැ” යි බෝධිසත්වයන්ගෙන් විචාළේය. “මහරජ, මම හිමවතට ගොස් තවුස් පැවිද්දෙන් පැවිදි වන්නෙමි” යි කීය. “එසේ නම් මම ද පැවිදි වන්නෙමි” යි පවසා රජු බෝධිසත්වයන් සමග නික්මුණේය. බල සේනාව ද, බමුණු ගැහැවියෝ ද, වෙනත් ශ්‍රේණිවල පිරිස් ද, එහි රැස්ව සිටි මුළු මහජනකාය ද රජු සමග ම නික්මුණහ. “අපගේ රජතුමා කුද්දාල පණ්ඩිතයන්ගේ දහම් අසා පැවිදි වීමට සේනාව සමග නික්මුණේලු, ඉතින් අප මෙහි කුමක් කරමුදැ” යි සිතා දොළොස් යොදුනක් වූ බරණැස් නුවර සියලු වැසියෝ ද නික්මුණහ. මුළු පිරිස දොළොස් යොදුනක් දිග විය. බෝධිසත්වයෝ ඒ පිරිස කැටුව හිමවතට පිවිසියහ.
එකෙණෙහි ශක්‍ර දේවේන්ද්‍රයාගේ ආසනය උණුසුම් විය. ඔහු කරුණු විමසා බලන්නේ, කුද්දාල පණ්ඩිතයන් මහාභිනිෂ්ක්‍රමණය කළ බව දැක, “මහත් ජන සමූහයක් එක්ව සිටින නිසා ඔවුනට වාසස්ථාන ලැබිය යුතුය” යි සිතා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා අමතා, “දරුව, කුද්දාල පණ්ඩිතයෝ මහාභිනිෂ්ක්‍රමණය කළහ. ඔහුට වාසස්ථාන අවශ්‍යය. ඔබ හිමාල වනයට ගොස් සමතලා බිම් පෙදෙසක දිගින් තිස් යොදුනක් ද, පළලින් පසළොස් යොදුනක් ද වූ අසපුවක් මවව” යි නියෝග කළේය. ඔහු “යහපති දේවයිනි” යි පිළිගෙන ගොස් එසේ කළේය. (මෙහි දැක්වූයේ සංක්ෂේපයකි. විස්තරය හත්ථිපාල ජාතකයේ මතු සඳහන් වනු ඇත. මේ කතා දෙකම එකම ආකාරය). විශ්වකර්මයා ද අසපුවෙහි පන්සල් මවා, රුදුරු ශබ්ද ඇති සිවුපාවුන් ද පක්ෂීන් ද අමනුෂ්‍යයන් ද පලවා හැර, ඒ ඒ දිශාවලින් යා හැකි මං මාවත් මවා තමාගේ වාසස්ථානයට ම ගියේය. කුද්දාල පණ්ඩිතයෝ ද ඒ පිරිස ගෙන හිමවතට පිවිස, ශක්‍රයා විසින් දෙන ලද, විශ්වකර්මයා විසින් මවන ලද අසපුවට ගොස් එහි වූ පැවිදි පිරිකර ගෙන පළමුව තමා පැවිදි වී, පසුව පිරිස පැවිදි කරවා අසපුව බෙදා දුන්හ. රජවරු සත් දෙනෙක් රාජ්‍යයන් අත්හැරියහ. තිස් යොදුන් අසපුව පිරී ගියේය. කුද්දාල පණ්ඩිතයෝ සෙසු කසිණ පරිකර්ම කොට බ්‍රහ්මවිහාර භාවනා වඩා පිරිසට කමටහන් කියා දුන්හ. සියල්ලෝ සමාපත්ති ලාභීන් වී බ්‍රහ්මවිහාර වඩා බ්‍රහ්ම ලෝකයෙහි උපන්හ. යමෙක් ඔවුන්ට උපස්ථාන කළාහු ද, ඔවුහු දෙව්ලොව උපන්හ.
බුදුරජාණන් වහන්සේ, “මහණෙනි, මෙසේ මේ සිත කෙළෙස් වශයෙන් ඇලුණු විට මුදා හැරීමට අපහසු වෙයි. උපන්නා වූ ලෝභ ධර්මයන් දුරු කිරීම අපහසුය. මෙබඳු වූ පණ්ඩිතයන් ද (කෙලෙස් නිසා) අනුවණයන් බවට පත් කරති” යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කළ සේක. සත්‍ය දේශනාව අවසානයේ සමහරෙක් සෝවාන් වූහ, සමහරෙක් සකෘදාගාමී වූහ, සමහරෙක් අනාගාමී වූහ, සමහරෙක් රහත් භාවයට පැමිණියහ. ශාස්තෲන් වහන්සේ පූර්වාපර සන්ධි ගළපා ජාතකය නිමවා වදාළ සේක: “එකල රජතුමා වූයේ දැන් මේ ආනන්ද තෙරුන්ය. පිරිස වූයේ බුදු පිරිසයි. කුද්දාල පණ්ඩිතයා වූයේ මම ම වෙමි.”
කුද්දාල ජාතක වර්ණනාව දසවැන්නයි.
සත්වන ඉත්ථි වර්ගයයි.
එහි උද්දානය (ජාතක නාමාවලිය) මෙසේය:
අසාතමන්ත, අණ්ඩභූත, තක්කපණ්ඩිත, දුරාජාන, අනභිරති, මුදුලක්ඛණ, උච්ඡංග, සාකේත, විසවන්ත සහ කුද්දාලක යන මේවායි.