4. දුරාජාන ජාතකය (64)

star_outline

“මාසු නන්‍දි ඉච්ඡති මන්ති” යන මේ ජාතක කතාව බුදුරජාණන් වහන්සේ ජේතවනයෙහි වැඩවසන සමයෙහි එක්තරා උපාසකයෙකු අරභයා දේශනා කළ සේක. සැවැත් නුවර විසූ එක් උපාසකයෙක් තිසරණ පන්සිල්හි පිහිටි, බුද්ධ මාමක, ධම්ම මාමක, සංඝ මාමක අයෙක් විය. නමුත් ඔහුගේ භාර්යාව සිල් නැත්තියකි; පාපී අදහස් ඇත්තියකි. ඈ යම් දවසක කාමයෙහි වරදවා හැසිරෙයි ද, එදිනට සියයක් දී මිලට ගත් දාසියක මෙන් හැසිරෙයි. මිථ්‍යාචාරයෙහි නොයෙදුණු දිනට ගෙදර ස්වාමි දියණිය මෙන් සැඩපරුෂ වන්නීය. උපාසකයාට ඇගේ ස්වභාවය තේරුම් ගත නොහැකි විය. ඇය විසින් පීඩාවට පත් කරන ලද හෙතෙම බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීමට නොගියේය. දිනක් සුවඳ මල් ආදිය රැගෙන බුදුරජාණන් වහන්සේ වෙත ගොස් වැඳ එකත්පස්ව හුන් ඔහුගෙන් බුදුරජාණන් වහන්සේ මෙසේ විමසූහ. “උපාසකය, ඔබ සත් අට දිනක් බුද්ධෝපස්ථානයට නොපැමිණියේ මන්ද?” “ස්වාමීනි, මගේ භාර්යාව එක් දිනක සියයකට මිලට ගත් දාසියක මෙන් වෙයි. තවත් දිනක ගෙයි ස්වාමි දියණිය මෙන් සැඩපරුෂ වෙයි. මම ඇගේ ස්වභාවය තේරුම් ගැනීමට අපොහොසත් වෙමි. ඇය නිසා පීඩාවට පත් මම බුද්ධෝපස්ථානයට නොපැමිණියෙමි.” එවදන් ඇසූ බුදුරජාණන් වහන්සේ, “උපාසකය, මාගමුන්ගේ ස්වභාවය දැන ගැනීම දුෂ්කර යැයි පෙර නුවණැත්තෝ ද පැවසූහ. ඔබ භවයෙහි ගැලී සිටින බැවින් එය තේරුම් ගැනීමට නොහැකි වී යැ”යි වදාරා ඔහු විසින් ආරාධනා කරන ලදුව අතීත කතාව ගෙනහැර දැක්වූ සේක.

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි බෝසතාණෝ දිසාපාමොක් ආචාර්යවරයා වී පන්සියයක් මානවකයන්ට ශිල්ප උගන්වති. එකල පිට දේශයක වෙසෙන බ්‍රාහ්මණ මානවකයෙක් පැමිණ ඔහු වෙතින් ශිල්ප උගන්නේ, එක් ස්ත්‍රියක හා පෙමින් බැඳී, ඇය භාර්යාව කරගෙන එම බරණැස් නුවරම වාසය කරමින් දෙතුන් වරක්ම ගුරු උපස්ථානයට නොගියේය. ඔහුගේ භාර්යාව ද දුසිල් ය; පවිටු අදහස් ඇත්තී ය. මිථ්‍යාචාරයෙහි හැසිරුණු දිනට දාසියක මෙන් වෙයි. එසේ නොකළ දිනට ගෙහිමිය මෙන් සැඩපරුෂ වෙයි. ඔහු ඇගේ ස්වභාවය දැනගත නොහැකිව, ඇය විසින් පීඩාවට පත් කරන ලදුව, අවුල් වූ සිත් ඇත්තේ ගුරු උපස්ථානයට නොගියේය. සත් අට දිනක් ඉක්මවා ගුරුතුමා වෙත පැමිණි මානවකයාගෙන් ආචාර්යවරයා “මානවකය, කුමක් ද, මේ දිනවල නොපෙනී සිටියේ?” යි විමසීය. “ආචාර්යයෙනි, මගේ භාර්යාව එක් දිනක් මා කෙරෙහි කැමැති වන්නීය; ප්‍රිය වන්නීය; දාසියක මෙන් නිහතමානී වන්නීය. එක් දිනක් ගෙහිමිය මෙන් තද ය; සැඩපරුෂ ය. මම ඇගේ ස්වභාවය දැන ගැනීමට නොහැකි වෙමි. ඇය විසින් පීඩාවට පත් කරන ලද මම අවුල් වූ සිත් ඇතිව ඔබවහන්සේට උපස්ථාන කිරීමට නොපැමිණියෙමි” යි හෙතෙම පැවසීය. එවිට ආචාර්යවරයා, “මානවකය, එය එසේමය. ස්ත්‍රීහු අනාචාරයෙහි හැසිරුණු දිනට ස්වාමියාට කීකරු ව සිටිති; දාසියක මෙන් නිහතමානී වෙති. අනාචාරයෙහි නොහැසිරුණු දිනට උඩඟු වී ස්වාමියා ගණන් නොගනිති. මෙසේ ස්ත්‍රීහු නම් අනාචාරී ය, දුස්සීල ය. ඔවුන්ගේ ස්වභාවය දැන ගැනීම දුෂ්කර ය. ඔවුන් කැමති වුවත්, අකමැති වුවත් මධ්‍යස්ථව ම සිටිය යුතු ය” යි පවසා ඔහුට අවවාද වශයෙන් මෙම ගාථාව වදාළහ.

“මේ ස්ත්‍රිය මා කැමැති වෙයි කියා හෝ මා නො කැමැති වෙයි කියා හෝ ශෝක නො වන්න. ස්ත්‍රීන්ගේ ස්වභාවය දත නො හැකිය. ජලයෙහි මත්ස්‍යයාගේ ගමන මෙනි.”

එහි ‘මා සු නන්දි ඉච්ඡති මං’ යන්නෙහි ‘සු’ යනු නිපාතයකි. “මේ ස්ත්‍රිය මා කැමති ය, පතයි, මට ආදරය කරයි” කියා සතුටු නොවිය යුතුය. ‘මා සු සොචි න මිච්ඡති’ යනු “මේ ස්ත්‍රිය මා කැමති නැතැ” යි කියා ශෝක නොකළ යුතුය යන්නයි. ඇය කැමති වන විට සතුටක් ද, අකමැති වන විට ශෝකයක් ද ඇති කර නොගෙන මධ්‍යස්ථ ව සිටිය යුතු බව මින් දක්වයි. ‘ථීනං භාවො දුරාජානො’ යනු ස්ත්‍රීන්ගේ ස්වභාවය ස්ත්‍රී මායාවන්ගෙන් වැසී ඇති බැවින් දැන ගැනීමට අපහසු බවයි. ඒ කෙසේ ද යත්? ‘මච්ඡස්සෙවොදකෙ ගතං’ යනු යම් සේ මත්ස්‍යයාගේ ගමන ජලයෙන් වැසී ඇති බැවින් දැන ගැනීමට අපහසු ද එසේ ය. එම නිසාම මත්ස්‍යයෝ කෙවුලන් පැමිණි විට ජලයෙන් ගමන් මඟ වසා පලා යති; තමන් අල්ලා ගැනීමට ඉඩ නොදෙති. එලෙසම ස්ත්‍රීහු ද මහත් වූ දුසිරිතක් කොට “අපි එවැනි දේ නොකරමු” යි තමන් කළ ක්‍රියාව ස්ත්‍රී මායාවෙන් වසා ස්වාමිවරුන් රවටති. මෙසේ මේ ස්ත්‍රීහු පාපී අදහස් ඇත්තෝ ය; දැන ගැනීමට අපහසු ස්වභාව ඇත්තෝ ය. ඔවුන් කෙරෙහි මධ්‍යස්ථ වූයේම සැපවත් වේ.

මෙසේ බෝසතාණන් වහන්සේ අතවැසියාට අවවාද දුන්හ. එතැන් පටන් ඔහු තම භාර්යාව කෙරෙහි මධ්‍යස්ථ විය. ඔහුගේ භාර්යාව ද, “මගේ දුස්සීලභාවය ආචාර්යවරයා විසින් දැන ගන්නා ලද්දේය” යි සිතා එතැන් පටන් අනාචාරයෙහි නොහැසිරුණාය. ඒ උපාසකයාගේ භාර්යාව ද, “බුදුරජාණන් වහන්සේ විසින් මගේ දුරාචාරය දැන ගන්නා ලද්දේය” යි සිතා එතැන් පටන් පව්කම් නොකළාය.

Story Illustration බෝධිසත්ව ආචාර්යවරයා මාණවකයාට ස්ත්‍රී ස්වභාවය ගැන අවවාද කරන අයුරු.

බුදුරජාණන් වහන්සේ මෙම ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කළ සේක. සත්‍ය දේශනාව අවසානයෙහි උපාසක තෙමේ සෝවාන් ඵලයෙහි පිහිටියේය. ශාස්තෘන් වහන්සේ පූර්වාපර සන්ධි ගළපා ජාතකය සමාධාන කළ සේක. “එකල අඹුසැමියන් වූයේ දැන් මේ අඹුසැමියන් ම ය. එදා ආචාර්යවරයා වූයේ මම ම වෙමි.”

දුරාජාන ජාතක වර්ණනාව සිව්වැන්නයි.