“යථා නදී ච පන්ථො ච” යන මේ ජාතක දේශනය බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවසන සමයෙහි, එබඳුම (භාර්යාව ගැන කලකිරුණු) උපාසකයෙකු අරබයා දේශනා කළ සේක. ඔහු තම බිරිඳගේ හැසිරීම පරීක්ෂා කරද්දී ඇයගේ දුසිල්වත් බව දැනගෙන, සිතේ ඇති වූ ව්‍යාකූලත්වය නිසා දින හත අටක් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීමට නොපැමිණියේය. එක් දිනක් ඔහු විහාරයට ගොස් බුදුරජාණන් වහන්සේ වැඳ උන් කල්හි, “කුමක් හෙයින් දින හත අටක් නොපැමිණියෙහි දැ”යි ඇසූ විට, “ස්වාමීනි, මාගේ භාර්යාව දුසිල්වත්ය. ඇය පිළිබඳව ඇති වූ සිත් අවුල නිසා නොපැමිණියෙමි”යි කීවේය. එවිට ශාස්තෘන් වහන්සේ, “උපාසකය, ස්ත්‍රීන් කෙරෙහි ‘මොවුහු අනාචාර ඇත්තියෝය’යි කෝප නොවී මධ්‍යස්ථව සිටීම වටී. පෙරත් පණ්ඩිතවරු ඒ බව කීහ. එහෙත් ඔබ භවාන්තරයෙන් (සංසාර පුරුද්දෙන්) වැසී ගිය හෙයින් එම කරුණ නොදකියි” යැයි වදාරා, ඔහු විසින් ආරාධනා කරන ලදුව අතීත කතාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන සමයේ බෝධිසත්වයෝ පෙර පරිද්දෙන්ම දිසාපාමොක් ආචාර්යවරයා වූහ. එකල ඔහුගේ අතවැසියා භාර්යාවගේ දොස් දැක, සිතේ අවුල නිසා දින කිහිපයක් නොපැමිණ, එක් දිනක් ආචාර්යවරයා විසින් විමසන ලදුව එම කරුණ දැනුම් දුන්නේය. ඉක්බිති ආචාර්යවරයා, “දරුව, ස්ත්‍රීන් නම් සියල්ලන්ට සාධාරණය (පොදුය). ඔවුන් කෙරෙහි ‘මොවුහු දුසිල්වත්ය’ කියා පණ්ඩිතයෝ කෝප නොවෙති”යි පවසා, අවවාද වශයෙන් මෙම ගාථාව පැවසීය.
මහ බෝසතාණන් අතැවැසියාට අවවාද දෙන අයුරු
“යම් සේ ගංගාව ද, මහමඟ ද, සුරා සැල ද, තානායම (සභාව) ද, පැන් තාලිය ද යන මේ සියල්ල (හැම දෙනාටම) පොදු වෙත් ද, එසේම ලෝකයෙහි ස්ත්‍රීහු ද (හැම දෙනාටම) පොදුය. (එබැවින්) පණ්ඩිතයෝ ඔවුන් කෙරෙහි කෝප නොවෙති.”
එහි “යථා නදී” යනු, යම් සේ නොයෙක් තොටවල් ඇති ගංගාව නෑම සඳහා පැමිණෙන සැඩොල් ආදීන්ටත් ක්ෂත්‍රිය ආදීන්ටත් (එක සේ) සාධාරණ (පොදු) වේ ද, එහි කිසිවකුට “නෑමට ඉඩ නැතැ”යි කීමක් නැත්තේ ය. “පන්ථො” යනු, යම් සේ මහමඟ ද සියල්ලන්ටම සාධාරණ වේ ද, කිසිවකුට එයින් යාමට ඉඩ නොලැබෙන්නේ නොවේ ද. “පානාගාර” යනු, සුරා සැල ද සියල්ලන්ටම සාධාරණ වේ, යම් කෙනෙක් බීමට කැමති ද ඒ සෑම කෙනෙක්ම එහි පිවිසෙති. “සභා” යනු, පින් කැමති අය විසින් ඒ ඒ තැන්හි මිනිසුන්ගේ නවාතැන් පිණිස කරවන ලද ශාලාව ද සාධාරණ වේ, එහි කිසිවකුට පිවිසීමට ඉඩ නොලැබෙන්නේ නැත. “පපා” යනු, මහමඟ පැන් කළ තබා කරවන ලද පැන් තාලිය ද සියල්ලන්ට සාධාරණ වේ, එහි කිසිවකුට පැන් බීමට ඉඩ නොලැබෙන්නේ නැත. “එවං ලොකිත්ථියො නාම” යනු, දරුව, එසේම මේ ලෝකයෙහි ස්ත්‍රීහු ද සියල්ලන්ට සාධාරණ (පොදු)මය. ඒ සාධාරණ බව නිසාම ඔවුහු ගංගාව, මහමඟ, සුරා සැල, තානායම සහ පැන් තාලිය යන මේවාට සමාන වෙති. එබැවින් “නාසං කුජ්ඣන්ති පණ්ඩිතා”, මේ ස්ත්‍රීන්ගේ පහත් බව, අනාචාර බව, දුසිල්වත් බව හා සියල්ලන්ට සාධාරණ බව සිතා නුවණැති දක්ෂ බුද්ධිමත්හු කෝප නොවෙති යනුයි.
මෙසේ බෝධිසත්වයෝ අතවැසියාට අවවාද දුන්හ. ඔහු ඒ අවවාදය අසා (කෝපය හැර) මධ්‍යස්ථ විය. ඔහුගේ භාර්යාව ද “ආචාර්යවරයා මා ගැන දැනගෙන ඇතැ”යි සිතා එතැන් පටන් පව්කම් නොකළාය. (වර්තමාන කතාවේ) ඒ උපාසකයාගේ භාර්යාව ද “ශාස්තෘන් වහන්සේ මා ගැන දැනගෙන ඇතැ”යි සිතා එතැන් පටන් පව්කම් නොකළාය.
ශාස්තෘන් වහන්සේ මෙම ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කළ සේක. සත්‍ය දේශනාව අවසානයේ උපාසක තෙමේ සෝවාන් ඵලයෙහි පිහිටියේය. ශාස්තෘන් වහන්සේ ද පූර්වාපර සන්ධි ගළපා ජාතකය සමාප්ත කළ සේක. “එකල අඹුසැමියෝ දැන් මේ අඹුසැමියෝම ය. ආචාර්ය බ්‍රාහ්මණයා වූයේ නම් මම ම වෙමි.”
පස්වැනි වූ අනභිරති ජාතක වර්ණනාවයි.