සුර නර මුනි මනුජයන් විසින් වන්දනා කරනු ලබන්නා වූ සර්වඥයන් වහන්සේ බ්‍රහ්මයාගේ ආරාධනාව පිළිගෙන, බුදු ඇසින් ලොව බලා, “මම කවරෙක් හට ධර්ම දේශනා කරම් ද? මාගේ ධර්මය වහා පිළිගැනීමට කවරෙක් සමත් වේ දෝ හෝ?” යි බැලූ සේක. එවිට ආලාර කාලාමයන් හා උද්දක රාමපුත්‍රයන් කළුරිය කළ බව දැක, කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි අග්‍ර ධර්මය පිළිගැනීමට කරන ලද ප්‍රාර්ථනා ඇති කොණ්ඩඤ්ඤ ආදී පස්වග මහණුන් වහන්සේලා දැක, කාශි පුරයට (බරණැසට) වඩිනා සේක.
එසේ වඩින අතරමගදී උපක නම් ආජීවකයාට වන යහපත දැක, පා ගමනින් වැඩම කර ඔහුට සුදුසු පරිදි අනුකම්පා කොට, අතරමගදී දුටු සියලු දිව්‍ය මනුෂ්‍ය ආදීන් සතුටු කරවමින් දහඅට යොදුනක් මග ගෙවා බරණැස ඉසිපතනාරාමයට වැඩම කළ සේක.
දේවාති දේව වූ සර්වඥයන් වහන්සේ වඩින බව දුටු පස්වග මහණුන් වහන්සේ, “ශ්‍රමණ භවත් ගෞතමයෝ දුෂ්කර ක්‍රියා අතහැර, තමන් රජ කුලෙහි උපන් හෙයින් සැපවත් අය විසින් දෙන ලද රස මසවුලෙන් යුක්ත වූ මධුර ආහාර අනුභව කොට, ශරීර වර්ණය ලබා රන් කඳක් සේ බබළමින්, බුදු විය නොහැකිව දැන් අප වෙත එති. රජ කුලෙහි උපන් හෙයින් හිඳගැනීමට ආසන පමණක් පනවමු. නමුත් වන්දනා මානනාදියක් නොකරමු,” යැයි කතිකා කර ගත්හ.
සතර අපායේ සහ දිව්‍ය ලෝකයේ වෙසෙන සියල්ලන්ගේම අදහස් දකින්නා වූ බුද්ධ ඥාන නමැති කැඩපතින් ස්වාමි දරුවාණෝ ඒ භික්ෂූන්ගේ අදහස දැක, සියලු සත්ත්වයන් කෙරෙහි පතළා වූ මහා කරුණාව ඒ පස්වග මහණුන් කෙරෙහි පැවැත්වූ සේක. එකල්හි සැඩ පහරක අසුවී ගසාගෙන යන වියළි කොළ මෙන්, තම ආසනයන්හි හිඳගෙන සිටීමට නොහැකි වූ ඒ පස්වග මහණුන් වහන්සේලා වහා නැගිට බුදුන්ගේ ශ්‍රී පාද මූලයෙහි වැඳ වැටී, පා සිවුරු අතින් ගෙන, සියලු ආගන්තුක සත්කාරයන් සිදු කළහ.
එහෙත් බුදු බව නොදැන තමන් හා සමාන කෙනෙකුට මෙන් ‘ඇවැත්නි’ (ආවුසෝ) යන වචනයෙන් කතා කරමින් සිටි කල්හි, බුදුරජාණන් වහන්සේ, “මා භික්ඛවේ, තථාගතං නාමෙන ච ආවුසෝවාදෙන ච සමුදාචරථ; අරහං භික්ඛවේ, තථාගතෝ සම්මා සම්බුද්ධෝ” (මහණෙනි, තථාගතයන් වහන්සේට නමින් හෝ ‘ආවුසෝ’ යන වචනයෙන් හෝ කතා නොකරන්න. මහණෙනි, තථාගත තෙම රහත් වන සේක, සම්මා සම්බුද්ධ වන සේක) යනුවෙන් තමන් වහන්සේ සර්වඥ වූ බව හඟවා වදාළ සේක.
ඉක්බිති ඇසළ මස පුර පසළොස්වක පොහෝ දිනයෙහි උත්තරාසල නැකතින්, දෙතිස් මහා පූර්ව නිමිති පහළ වෙමින් තිබියදී, සියලු බුදුවරුන්ගේ චාරිත්‍ර ධර්මයක් වූ මංගල ධර්ම දේශනාව පිණිස වැඩ උන් කල්හි, දස දහසක් සක්වළ දිව්‍ය බ්‍රහ්මයෝ, “අපගේ ස්වාමීන්ගේ දහම් අමා වතුරෙහි අප සැම ගිලී, සංසාර දුක් නමැති මහ ගින්න නිවා ගනිමු; උන්වහන්සේගේ දහම් අමා රස බොන්නට යමු,” යැයි කියා දිව මල් ආදිය ගෙන වහා අවුත්, සක්වළ ගල කෙළවර කොට අකනිටා බඹ ලොව දක්වා, බට ලීයක් තුළ පුරවන ලද රන් කුඩු සමූහයක් සේ ඉතා සියුම් වෙස් මවාගෙන ඉඩක් නොමැතිව සිට ගත්හ.
එකල්හි බුදුන් වැඩ සිටි බුද්ධාසනයේ පටන් බ්‍රහ්මාණ්ඩය දක්වා බුදුන්ගේ සිරසින් පැන නැගි බුදු රැස් කඳටම අවකාශ විය. ‘දෙව් විමනක් වේවා, දෙවි බඹ කෙනෙක් වේවා’ එදා බුදුහුගේ සිරසින් නැගි බුදු රැස් කඳෙහි නොගැටුණේය (සියල්ල බුදු රැසින් වැසී ගියේය). ඉක්බිති බුදුන්ගේ සිරසට පිදූ සඳ මඬුලු සේ දස දහසක් මහා බ්‍රහ්මයෝ ද, දස දහසක් ශ්වේත ඡත්‍ර (සේසත්) එකිනෙකට ඉහළින් තබා සිට ගත්හ. දස දහසක් ශක්‍රයෝ බුදුන්ගේ යස රැස් උරා බොන්නවුන් සේ දස දහසක් ජයතුරා සංඛ (හක් ගෙඩි) මුව තබාගෙන එකවිටම පිඹින්ට පටන් ගත්හ. දස දහසක් සුයාම දෙවියෝ දස දහසක් චාමර සලති. දස දහසක් සන්තුෂිත දෙවියෝ දස දහසක් මිණි තල්වැට සලති. සෙසු දෙවියෝ රන් තොරණ, රිදී තොරණ ආදී දිව්‍ය පූජා භාණ්ඩ ගෙන පූජා කරන්නට පටන් ගත්හ.
එකල දෙවියන්ගේ පූජා ඝෝෂාවෙන් බ්‍රහ්මාණ්ඩය දක්වා වැදගත් මුහුදු ඝෝෂාවක් සේ එකම නාදයක් විය. එදා දෙවියන්ගේ මෙම කලබලය සංසිඳුවන්නට අන් කිසි සත්ත්වයෙක් නොවීය. බුදුන් වටා සිටි දස දහසක් ශක්‍රයෝ, ඒ තමන් කළ මනා ධූරය හෙයින්, දස දහසක් දකුණට කැරකුණු හක්ගෙඩි පිට මැදට තද කරගෙන, විසි දහසක් අත් ඔසවා එකවිට අත්පොළසන් දී, “හෝ! හෝ! බණ පිරිස සංසිඳුව!” යැයි කියා තුන් ලොව වෙවුලවා ඝෝෂා කළාහ. ඒ වේලෙහි ඒ ශක්‍ර ඝෝෂාව අසා, තුන් ලොව පුරා සිටි දෙවි බඹ පිරිස රළ නැති මුහුදක් සේ නිශ්ශබ්ද වූහ.
එකෙණෙහි දෙලක්ෂ සතළිස් දහසක් යොදුන් ඝනකම ඇති බොල් මහ පොළොව සාධුකාර දුන් මහී නාදය (පොළොවේ හඬ) හා සමඟ තමන් වහන්සේගේ ශ්‍රී මුඛ පද්මය විවෘත කොට, පිටවන වචනයෙන් සියලු බණ පිරිස දිව්‍ය සුවඳ පිඩක් සේ සුවඳවත් කරවමින්:
“ද්වේ මේ භික්ඛවේ, අන්තා පබ්බජිතේන න සේවිතබ්බා. යෝ චායං කාමේසු කාමසුඛල්ලිකානුයෝගෝ හීනෝ ගම්මෝ පෝථුජ්ජනිකෝ අනරියෝ අනත්ථසංහිතෝ, යෝ චායං අත්තකිලමථානුයෝගෝ...”
යනාදී වශයෙන් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව (ධම්මචක්කප්පවත්තන සූත්‍රය) සිදු කළ සේක. එකෙණෙහි පස්දෙනා වහන්සේට වැඩිමහළු වූ කොණ්ඩඤ්ඤ නම් මහා තෙරුන් වහන්සේ දහසක් ක්‍රමවලින් අලංකෘත වූ සෝවාන් මාර්ගයට පිවිස නිවන් පුර දුටු සේක. තවද තුන් අසංඛ්‍යයක් දෙවියන් හා දහඅට කෝටියක් බ්‍රහ්මයන් නිවන් දුටුවාහුය.
ඉසිපතනාරාමයේදී පස්වග තවුසන්ට හා දෙවිවරුන්ට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම
මෙසේ දම්සක් පවත්වා දෙවි බඹුන්ට සමු දී යවා, එමදා රාත්‍රියේ තරු පිරිවරා ගත් සඳක් සේ ඒ පස්වග මහණුන් සමඟ එහිම වැඩ සිට, දෙවෙනි දා උදෑසන සතර දෙනා වහන්සේ පිණ්ඩපාතය පිණිස යවා, භද්දිය නම් මහා තෙරුන් වහන්සේට බණ වදාරා සෝවාන් කරවූ සේක. තුන්වෙනි දා උදෑසන ඔබ ඇතුළු වූ අනික් සතර දෙනා වහන්සේ පිණ්ඩපාතය පිණිස යවා, වප්ප නම් තෙරුන් වහන්සේට බණ වදාරා සෝවාන් කරවූ සේක. සතර වෙනි දා උදෑසන ඔබ ඇතුළු වූ සතර දෙනා වහන්සේ පිණ්ඩපාතය පිණිස යවා, මහානාම නම් තෙරුන් වහන්සේට බණ වදාරා සෝවාන් කරවූ සේක. පස්වෙනි දා උදෑසන ඔබ ඇතුළු වූ සතර දෙනා වහන්සේ පිණ්ඩපාතය පිණිස යවා, අස්සජි නම් මහා තෙරුන් වහන්සේට බණ වදාරා සෝවාන් කරවූ සේක.
ඉන්පසු විසේනිය දවසේ (පසළොස්වක පෝ දිනට පසු පස්වන දිනය) පස්දෙනා වහන්සේට ‘අනන්ත ලක්ඛණ’ නම් සූත්‍රය දේශනා කොට, සියලු දෙනාම එකවිටම රහත් බවට පත් කරවා ගෙන, එතැන් පටන් පංච මහා ශාඛාවෙන් බබළන කප් රුකක් සේ, පස්වග රහතුන් හා සමඟ එම විහාරයේම වාසය කළ සේක.
එකල්හි සුජාතා නම් සිටු දියණිය වැදූ, බරණැස යස නම් සිටු පුත්‍රයා එක් දවසක් නින්දෙන් පිබිද, එහි නින්දට වැටී සිටි නාටක ස්ත්‍රීන්ගේ විකාර රූපී ස්වභාවය දැක, සසර පිළිබඳ කළකිරී, යහනින් නැගිට රුවන් මිරිවැඩි සඟල පය ලාගෙන, ප්‍රාසාදයෙන් බැස නගරයෙන් නික්ම ඉසිපතනාරාමය සමීපයෙන් ගමන් කළේය. ඒ වේලෙහි ස්වාමි දරුවෝ ඔහුගේ පෙර පින් බලය (හේතු සම්පත්) දැක, ඔහු වෙත බුදු රැස් කඳක් යවා, “යසය, මෙහි එව!” යැයි වදාළ සේක.
ඒ සිටු පුත්‍රයා බුදුන්ගේ ශබ්දය අසා සතුටු වී, බුදුන් වෙත දිව ගොස් පසඟ පිහිටුවා වැඳ, එකත්පසෙක හිඳ බුදුන්ගෙන් බණ අසා එකෙණෙහිම සෝවාන් වී, දෙවෙනි දා රහත් වී, එහි භික්ෂු භාවයෙන් පැවිදි වූයේය. නැවත එම යස නම් ස්වාමීන්ගේ ගිහි යහළුවෝ පනස් හතර දෙනෙක් තම යහළුවා මහණ වූ බව අසා, බුදුන් වෙත ගොස් බුදුන්ගෙන් බණ අසා රහත් වී, එහි භික්ෂු භාවයෙන් මහණ වූ සේක. මෙසේ ලෝකයෙහි බුදුන් හා සමඟ හැට එක් නමක් මහා රහතන් වහන්සේලා පහළ වූ කල්හි, ස්වාමි දරුවෝ වප් මස මැදි පොහෝදා වස් පවාරණය කොට, හැට නමක් වූ මහා රහතන් වහන්සේලා ළඟට කැඳවා:
“චරථ භික්ඛවේ චාරිකං...” (මහණෙනි, චාරිකාවේ හැසිරෙන්න) යනාදියෙන් අවවාද කොට, “සත්ත්වයන් බුද්ධ දර්ශනයෙහි ලෝභ කරවන්න” (සත්ත්වයන්ට බුදුන් දැකීමට ආශාව ඇති කරවන්න) යැයි වදාරා, හැට දෙනා වහන්සේ හැට මාර්ගයකින් යවා, තමන් වහන්සේ තනිවම උරුවෙල් දනව්වට වඩින අතරමග, කප්පාසිත නම් වනයෙහි එක්තරා රුකක් මුලට වැඩ සිටි සේක.
එකල කොසොල් රට භද්දවග්ගිය නමින් ප්‍රසිද්ධ වූ රජ කුමරුවෝ තිස් දෙනෙක් එම වනයෙහි ක්‍රීඩා පිණිස ඇවිදින්නාහු, සවණක් රැසින් බබළමින් වැඩ සිටි බුදුන් දැක එකත්පසෙක හිඳ ගත්හ. ඒ වේලෙහි බුදුහු ඒ රජ කුමරුවන්ට ගැළපෙන බණ වදාරා, සතර මග සතර ඵලයෙහි පිහිටුවා, එහි භික්ෂු භාවයෙන් මහණ කොට, “මහණෙනි, තොපි තිස් දෙනා තිස් මාර්ගයකින් ගොස් බුදු රුවන්, දම් රුවන්, සඟ රුවන් ලොව පහළ වූ බව කියා ලොවට වැඩ කරන්න” යැයි වදාරා ඒ තිස් දෙනා වහන්සේ තිස් මගකින් යැවූ සේක.
මෙසේ ලෝකයෙහි අනූ එක් නමක් රහතුන් ඇති වූ කල්හි, අප භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් නම් දනව්වට වැඩම කොට, නේරංජනා නම් ගංගා තීරයෙහි වසන උරුවෙල කාශ්‍යපය, ගයා කාශ්‍යපය, නදී කාශ්‍යපය යන තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ කොට ඇති දහසක් ජටිලයන්ට තුන් දහස් පන්සියයක් ප්‍රාතිහාර්ය පා, නැවත ඒ ජටිලයන්ගේ චරිත ස්වභාවය බලා බණ වදාරා සෝවාන් කරවා, එහි භික්ෂු භාවයෙන් මහණ කරවා ගත් සේක. පසුව ගයාශීර්ෂයට ගෙන ගොස්, එහිදී ‘ආදිත්ත පරියාය සූත්‍ර’ දේශනාවෙන් බණ කියා ඒ දහසක් දෙනා වහන්සේ අර්හත් ඵලයට පමුණුවා වදාළ සේක. ඉන්පසු ඒ උරුවෙල කාශ්‍යප ආදී දහසක් රහතුන් පිරිවරා, බිම්බිසාර රජුට දුන් පොරොන්දුවෙන් නිදහස් වනු පිණිස, රජගහ නුවර යෂ්ටිවන නම් වූ තල් උයනට වැඩම කොට, එක් රුකක් මුල සවණක් රැසින් බබළමින් දහසක් මහා රහතුන් පිරිවරා වැඩ උන් සේක.
එකල බිම්බිසාර රජතුමා තමන් විසින් දෙන ලද උයනට බුදුන් වහන්සේ ඇතුළු වී වැඩ සිටින බව උයන්පල්ලාගෙන් අසා, එක්ලක්ෂ විසි දහසක් බ්‍රාහ්මණ ගෘහපතීන් විසින් පිරිවරා ගනු ලැබ, වහා අවුත් බුදුන් දැක පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොස්, පසඟ පිහිටුවා වැඳ එකත්පස්ව වාඩි වූහ. ඉක්බිති ඒ බ්‍රාහ්මණ ගෘහපතීහු, “කිමෙක් ද? ශ්‍රමණ භවත් ගෞතමයෝ උරුවෙල කාශ්‍යපයන් නිසා (ඔහුගේ ගෝලයෙකු වී) වෙසෙත් ද? නොහොත් උරුවෙල කාශ්‍යපයෝ ශ්‍රමණ භවත් ගෞතමයන් නිසා වෙසෙත් දැ?” යි සැක සිතුවාහුය.
බුදුරජාණන් වහන්සේ ඔවුන් සිතූ සිත් දැන මහ තෙරුන්ගේ මුහුණ බලා, “උරුවෙල කාශ්‍යපය, තාගේ පිරිසගේ සැක තෝම දුරු කරව” යැයි වදාළ සේක. එකෙණෙහි උරුවෙල කාශ්‍යප නම් මහ තෙරුන් වහන්සේ අසුනෙන් පැන නැඟී, බුදුන් වෙත ගොස් ශ්‍රී පාදය වැඳ අවසර ඉල්ලාගෙන, චතුර්ථ ධ්‍යානයට සමවැදී අහසට පැන නැගී නොයෙක් ඍද්ධි ප්‍රාතිහාර්ය දක්වා, අහසින් බැස නැවතත් දෙ තලයක, තුන් තලයක යනාදී වශයෙන් සත් තලයක් (තල් ගස් හතක්) පමණ උස අහසට පෙර සේම පැන නැගී, එයින් බැස බුදුන් වැඳ සිට මෙසේ කීවේය:
“එම්බා අඥාන සත්ත්වයෙනි, මාගේ ස්වාමි දරුවන් මා හා සමාන කොට නොසිතන්න. මාගේ ස්වාමි දරුවන් නිසා මම සංසාර සාගරයෙන් ගොඩ නැඟුණෙමි. බුදුහු මට මව වැනි සේක, පියා වැනි සේක, ගුරුවරයා සේක, ස්වාමි දරුවා සේක,” යනාදී වශයෙන් අප්‍රමාණ බුදු ගුණ එම සෙනඟට ඇසෙන සේ කිය කියා බුදුන් වැඳ එකත්පස්ව වැඩ සිටි සේක.
එවේලෙහි මහ පිරිස ඒ මහා තෙරුන් කළ ප්‍රාතිහාර්යය දැක සතුටු වී, “බුදුහු මහානුභාව ඇති සේක. මිථ්‍යා දෘෂ්ටි ගෙන ‘අපි රහතුන් වන්නෙමු’ යැයි කියා බොහෝ කලක් ඇවිද්දා වූ උරුවෙල කාශ්‍යපයන්ගේ දෘෂ්ටි බිඳ විශේෂයෙන්ම දමනය කළ සේකැ” යි ස්තුති කළහ. එකල ස්වාමි දරුවෝ, “උපාසකවරුනි, මොහු දැන් මතු දමනය කළෙම් නොවෙමි. පෙරත් මොහු දමනය කර අපාය මුඛයෙන් ගලවා ගත්තෙමි,” යැයි වදාරා මහා මේඝයක් ඉවත් කර සඳ මඬලක් පාන්නා සේ ‘මහා නාරද කාශ්‍යප ජාතකය’ ගෙනහැර දක්වා, අවසානයේ චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කළ සේක.
මහා නාරද කාශ්‍යප ජාතකය වනාහි පන්සිය පණස් ජාතක ධර්මයන් අතරෙන් පළමු කොට වදාළ ජාතකය යැයි කියනු ලැබේ. මේ ජාතක ධර්ම දේශනාවේ කෙළවර බිම්බිසාර රජතුමා එකොළොස් නහුතයක් (110,000 ක්) බ්‍රාහ්මණ ගෘහපති ඇමතියන් හා සමඟ සෝවාන් ඵලයෙහි පිහිටියාහුය. නහුතයක් (10,000 ක්) පමණ බමුණු ගැහැවියෝ තිසරණ සහිත සීලයෙහි පිහිටියාහ. (මෙහි නහුත ශබ්දය බුද්ධ දේශනාවෙහි දස දහසට වැටෙන හෙයින්, එක්ලක්ෂ විසි දහසක් පමණ මනුෂ්‍යයෝ මේ ධර්ම දේශනාවෙන් සංසාර සාගරයෙන් ගොඩනැඟුණාහු යැයි දත යුතුයි). ඉක්බිති රජතුමා බුදුන් වැඳ පසුදින දානයට ආරාධනා කර, පැදකුණු කොට නුවරට ගියේය.
දෙවෙනි දා උදෑසන ඇතුළු නුවර හා පිටත නුවර බුදුන් දුටු සහ නොදුටු දහඅට කෝටියක් පමණ මනුෂ්‍යයෝ බුදුන් දකිනු පිණිස රජගහ නුවරින් නික්ම, අලුයම් වේලෙහි පටන් බුදුන් වැඩ සිටි උයනට යන තුන් ගව්වක් පමණ මාර්ගයෙහි හිඩැසක් නැතිව සිට ගත්හ. උයනෙහි ද ඉඩක් නැති විය. එදා බුදුන් ප්‍රමුඛ සංඝයාට පිණ්ඩපාතයේ වැඩීමට ඉඩක් නැති හෙයින්, බුදුන්ගේ පුණ්‍යානුභාවයෙන් සක් දෙවි රජුගේ පාණ්ඩුකම්බල ශෛලාසනය උණු විය. එකෙණෙහි ශක්‍ර දේවේන්ද්‍ර තෙම, ‘කිමෙක් දෝ හෝ’ යි පරීක්ෂා කරනුයේ, තමන් උපේක්ෂා වුවහොත් එදා බුදුන් බත් නොමැතිව (සුන් බත්) සිටින්නේ යැයි දැන ගත්තේය.
වහාම තරුණ වූ සේවකයෙකුගේ (අභියුක්ත) වෙස් මවාගෙන, ‘සෝළුලියක්’ (රෙදි කැබැල්ලක් හෝ පොල්ලක්) අතින් ගෙන, තුණුරුවන් ගුණ අරභයා ස්තුති වචන කියමින් බුදුන් ඉදිරියෙහි සිටගෙන, තමාගේ ශක්‍රානුභාවයෙන් තුන් ගව්වක් පමණ තැන හාත්පසින් පිරී සිටි ඒ සා මහත් පිරිස දෙබෑ කොට, පිරිස පලවා හරිමින් (මාර්ගය පාදමින්) නික්මුණේය. එකල මනුෂ්‍යයෝ මේ තරුණ පුරුෂයාගේ වික්‍රමාන්විත රූප ශ්‍රී දැක, “මෙවැනි තරුණ පුරුෂයකු මෙතෙක් දවස් මේ නුවර නොදුටු විරූ වෙමු. තොපි කොයි සිට ආ කෙනෙක් දැ?” යි විමසූහ. එකල ශක්‍රයා, “යෝ ධීරෝ සබ්බධී දන්තෝ...” යනාදියෙන්, “මම තුන් ලොව මුදුන් පත් බුදුන්ගේ එක්තරා සේවකයෙක්මි” යි කීහ. එකල බුදුරජාණන් වහන්සේ ශක්‍රයා විසින් ඉඩ සාදා දුන් ඒ මාර්ගයට පැමිණ, දහසක් පමණ රහතුන් පිරිවරා රජගහ නුවරට ඇතුළු වූ සේක.
රජතුමා බුදුන් ප්‍රමුඛ මහා සඟ පිරිසට මහ දන් දී, “ස්වාමීනි, මෙතැන් පටන් ජීවිතාන්තය දක්වා තුණුරුවන් විනා (තුණුරුවන් හැර වෙනත් සරණක) වාසය කළ නොහැක. සිතූ යම් විටෙක දැක වැඳගන්නා කැමැත්තෙමි. යෂ්ටිවන උද්‍යානය ඉතා දුරය. මගේ වේළුවනය ඉතා ළඟය. යාම් ඊම් පහසුය (ගමනාගමන සම්පන්නය). බුදුන්ට සුදුසු සෙනසුනක් හෙයින් පිළිගත මැනවැ,” යි රන් කෙණ්ඩියෙන් බුදුන්ගේ ශ්‍රී හස්තයට පැන් වත් කොට ඒ වේළුවනාරාමය පිළිගැන්වූ සේක.
බිම්බිසාර රජතුමා විසින් වේළුවනාරාමය බුදුරජාණන් වහන්සේට පූජා කිරීම
එකෙණෙහි ‘බුදු සසුන මුල් බැස ගත්තේය’ යැයි මිහිකත ගුගුරා පැන නැංගේය. දඹදිව් තලයෙහි පොළොව ගුගුරුවා පිළිගත්තා වූ විහාරයක් මේ හැර නැත්මය. මෙම ශ්‍රී ලංකාද්වීපයෙහි මහමෙව්නා උයන හැර පොළොව ගුගුරුවා පිළිගත් අනික් විහාරයක් නැත්මය. බුදුන් වේළුවනාරාමය පිළිගෙන රජුට අනුමෝදනා කොට, හුනස්නෙන් පැන නැගී භික්ෂු සංඝයා පිරිවරා වේළුවනාරාමයට වැඩි සේක.
එසමයෙහි වනාහි නිවන් සොයමින් හැසිරෙන්නා වූ ශාරීපුත්‍ර සහ මෞද්ගල්‍යායන යන පරිබ්‍රාජකයන් දෙදෙනා අතුරෙන්, ශාරීපුත්‍ර නම් පරිබ්‍රාජක තෙම රජගහ නුවර පිණ්ඩපාතය පිණිස හැසිරෙමින් සිටි අස්සජි නම් තෙරුන් වහන්සේ දැක, උන්වහන්සේගේ ඉරියව් පැවැත්මෙහි පැහැදී උන්වහන්සේ වෙත ගොස්, උන්වහන්සේගෙන් “යේ ධම්මා හේතුප්පභවා...” යනාදී ගාථාවෙන් බණ අසා සෝවාන් ඵලයෙහි පිහිටියේය. පසුව තමාගේ යහළු මෞද්ගල්‍යායන පරිබ්‍රාජකයා හට ද එම ගාථාවෙන් බණ කී කල්හි ඔහු ද සෝවාන් ඵලයෙහි පිහිටියේය.
එකල්හි එම දෙදෙනා තමන්ගේ ගුරුවරයා වූ සංජය පරිබ්‍රාජකයා අත්හැර තමන්ගේ පිරිසත් සමඟ බුදුන් සමීපයට ගොස් මහණ වූවාහුය. මුගලන් මහ තෙරුන් වහන්සේ මහණ වී සත් දවසකින් මගධ රට කල්ලවාල නම් ගමේදී බුදුන් විසින් දුන්නා වූ ධාතු කර්මස්ථානය අසා රහත් වූ සේක. සැරියුත් මහ තෙරුන් වහන්සේ ද, මහණ වී පසළොස් දවසකින් ශාරීපුත්‍රයන්ගේ බෑනනුවන් වූ දීඝනඛ නම් පරිබ්‍රාජකයන්ට රජගහ නුවර සූකරඛත (හූරු කළ) නම් ලෙනෙහි දී බුදුන් විසින් දේශනා කළ ‘වේදනා පරිග්‍රහ’ නම් සූත්‍ර දේශනාව අසා රහත් වූ සේක.
එම දා සවස ශ්‍රාවක ගණයා රැස් කොට එම දෙදෙනා වහන්සේට අග්‍ර ශ්‍රාවක තනතුරු දී, දෙසිය පණසක් මහ රහතුන් හා සමඟ වැඩ හිඳ, නවම් මස මැදි පොහෝ දවස්හි සියලු බුදුවරයන්ගේ චාරිත්‍ර ධර්මයක් වූ, “සබ්බ පාපස්ස අකරණං...” (සියලු පව් නොකිරීම) යනාදී ගාථා රත්නයෙන් (ඕවාද ප්‍රාතිමෝක්ෂ) ධර්ම දේශනා කළ සේක.
මෙසේ ත්‍රිභුවන චූඩා මාණික්‍යය වූ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩ වාසය කර වදාරන කල්හි, සුද්ධෝදන රජතුමා, “මාගේ පුතණුවන් වූ සිද්ධාර්ථ කුමාරයෝ සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට ලොව්තුරු බුදු වී, පවත්වන ලද ධර්ම චක්‍ර ඇතිව රජගහ නුවර නිසා වේළුවනාරාමයෙහි වාසය කරති,” යැයි අසා එක්තරා අමාත්‍යයෙක් කැඳවා; “පින්වත, තොපි දහසක් ඇමතියන් පිරිවරා රජගහ නුවර වේළුවනාරාමයට ගොස් බුදුන් දැක වැඳ මාගේ වචනයෙන් මෙසේ කියව: ‘ස්වාමීන් වහන්ස, නුඹ වහන්සේගේ පියා වූ සුද්ධෝදන රජ තෙම නුඹ වහන්සේ දකිනු කැමතිය,’ යැයි කියා මාගේ පුත්‍රයාණන් වහන්සේ වැඩමවා ගෙන එව,” යැයි කීවේය.