5. පඤ්චාවුධ ජාතකය (55)

star_outline

“යො අලීනෙන චිත්තෙන” (නොපසුබට සිතින් යුක්ත වූ යමෙක් වෙයිද) යන මේ ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සමයෙහි, වීර්යය අත්හළ භික්ෂුවක් අරබයා දේශනා කළ සේක. උන්වහන්සේ ඒ භික්ෂුව අමතා, “මහණ, ඔබ වීර්යය අත්හළ බව සත්‍යදැ”යි විමසා, “එසේය ස්වාමීනි” යි පැවසූ කල්හි, “මහණ, පෙර නුවණැත්තෝ වීර්යය කළ යුතු තැන වීර්යය කොට රාජ්‍ය සම්පත්තියට පත්වූහ” යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝධිසත්වයෝ ඒ රජුගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත්හ. ඔහුට නම් තබන දිනයෙහි බමුණන් එකසිය අට දෙනෙකුට කැමති දේ දී සතප්පවා කුමරුගේ ලක්‍ෂණ විචාළහ. ලක්‍ෂණ ශාස්ත්‍රයෙහි දක්‍ෂ බමුණෝ ලක්‍ෂණ සම්පත්තිය දැක, “මහරජ, කුමාරයා පින්වත්ය. ඔබගේ ඇවෑමෙන් රාජ්‍යයට පත්වන්නේය. පඤ්ච ආයුධ කර්මයෙහි ප්‍රසිද්ධව දඹදිව අග්‍ර පුරුෂයා වන්නේය” යි ප්‍රකාශ කළහ. රජු බමුණන්ගේ වචන අසා කුමරුට නම් තබන්නේ “පඤ්චායුධ කුමාරයා” යයි නම් තැබීය. පිය රජතුමා සොළොස් වියට පත් කුමරු අමතා, “දරුව, ශිල්ප උගනුව” යි කීය. “පියාණෙනි, කා ළඟ උගනිම්ද?” යි ඇසූ විට, “දරුව, ගන්ධාර රට තක්සලා නුවරට යව. එහි දිසාපාමොක් ඇදුරුතුමා ළඟ ශිල්ප උගනුව” යි පවසා ගුරු පඬුරු සඳහා දහසක් දී පිටත් කළේය. කුමාරයා එහි ගොස් ශිල්ප ඉගෙන, ආචාර්යවරයා විසින් දෙන ලද පඤ්චායුධ කුලකය ගෙන, ආචාර්යවරයා වැඳ, තක්සලා නුවරින් නික්ම පඤ්චායුධයෙන් සැරසී බරණැස් නුවරට යන මගට පිවිසියේය.

ඔහු අතරමගදී සිලෙසලෝම (ඇලෙන ලොම් ඇති) නම් යක්ෂයෙකු විසින් අරක් ගත් වනයකට පැමිණියේය. වන මුව දොර සිටි මිනිස්සු ඔහුව දැක, “පින්වත් තරුණය, මේ වනයට ඇතුළු නොවනු මැනව. මෙහි සිලෙසලෝම නම් යක්ෂයෙකු ඇත. ඔහු දුටු දුටු මිනිසුන් මරා දමයි” යැයි පවසා වැළැක්වූහ. එහෙත් බෝධිසත්වයෝ තමා ගැන විශ්වාසය තබා නිර්භීත කේසර සිංහයෙකු මෙන් වනයට ඇතුළු වූහ. ඔහු වන මැදට පැමිණි විට, ඒ යක්ෂයා තල් ගසක් පමණ උසට මැවී, කුළුගෙයක් පමණ හිසක් සහ පාත්‍ර පමණ විශාල ඇස් ඇතිව, නෙළුම් අල වැනි දළ දෙකක් මවාගෙන, සුදු පැහැති මුහුණින් සහ ලප ඇති බඩින් යුතුව, නිල් පැහැති අත් පා ඇතිව බෝධිසත්වයන්ට පෙනී සිටියේය. “කොහි යන්නෙහිද? නවතින්න, ඔබ මගේ ගොදුරක් වෙයි” යි යක්ෂයා කීය. එවිට බෝධිසත්වයෝ, “යක්ෂය, මම මා ගැන විශ්වාසය තබාම මෙහි පැමිණියෙමි. ඔබ ප්‍රමාද නොවී මා වෙත පැමිණිය යුතුය. විෂ පෙවූ මේ ඊතලයෙන් විද ඔබව මෙතැනම බිම හෙළමි” යි තර්ජනය කර, හලාහල විෂ පෙවූ ඊතලයක් විදින ලදී. එය යක්ෂයාගේ ලොම්වලම ඇලිණි. මෙසේ එකක් පසුපස එකක් වශයෙන් ඊතල පනහක් විදින ලදී. ඒ සියල්ල ඔහුගේ ලොම්වල ඇලිණි. යක්ෂයා ඒ සියලු ඊතල ගසා දමා තමාගේ පාමුලම හෙළා බෝධිසත්වයන් වෙත ළඟා විය.

බෝධිසත්වයෝ නැවතත් යක්ෂයාව බිය ගන්වා කඩුව ඇද පහර දුන්හ. අඟල් තිස්තුනක් දිගැති කඩුව යක්ෂයාගේ ලොම්වලම ඇලිණි. ඉන්පසු හෙල්ලෙන් පහර දුන්හ. එයද ලොම්වලම ඇලිණි. එය ඇලුනු බව දැන මුගුරෙන් පහර දුන්හ. එයද ලොම්වලම ඇලිණි. එය ඇලුනු බව දැන, “එම්බා යක්ෂය, මා පඤ්චායුධ කුමාරයා බව ඔබ මීට පෙර අසා නැද්ද? මා ඔබ අරක් ගත් මේ වනයට ඇතුළු වූයේ දුනු ඊ ආදිය විශ්වාස කරගෙන නොවේ. මා ගැනම විශ්වාසය තබාගෙනයි පැමිණියේ. අද මම ඔබව පොඩි කර කුඩුපට්ටම් කරමි” යි හඬ නගා, තමා ගැන විශ්වාසයෙන් දකුණු අතින් යක්ෂයාට පහර දුන්නේය. අත ලොම්වල ඇලිණි. වම් අතින් පහර දුන්නේය. එයද ඇලිණි. දකුණු පයෙන් පහර දුන්නේය, එයද ඇලිණි. වම් පයෙන් පහර දුන්නේය, එයද ඇලිණි. “හිසින් ගසා ඔබව කුඩුපට්ටම් කරමි” යි සිතා හිසින් පහර දුන්නේය. හිසද ලොම්වලම ඇලිණි. මෙසේ ස්ථාන පහකින් බැඳී එල්ලී සිටියද ඔහු නි‍ර්භය විය; දීන නොවීය.

Story Illustration සිලේසලෝම යක්ෂයාගේ ඇඟෙහි ඇලී සිටින පඤ්චායුධ කුමාරයා

යක්ෂයා මෙසේ සිතීය. “මේ තෙමේ නාම මාත්‍රයෙන් පුරුෂයෙක් නොව පුරුෂ සිංහයෙකි; ආජානීය පුරුෂයෙකි. මා වැනි යක්ෂයෙකුට හසුවීත් මොහුට බියක් තැතිගැනීමක් ඇති නොවේ. මම මේ මාර්ගයේ මිනිසුන් මරද්දී මීට පෙර මෙබඳු එකම පුරුෂයෙකුවත් දැක නැත. මොහු බිය නොවන්නේ කුමක් නිසාද?” ඔහු බෝධිසත්වයන්ව කා දැමීමට නොහැකිව, “මානවකය, ඔබ මරණ බියක් ඇති කර නොගන්නේ ඇයිදැ”යි විමසීය. “යක්ෂය, මම කුමකට බිය වෙම්ද? එක් ආත්ම භාවයකදී එක් මරණයක් නියත වශයෙන්ම සිදුවේ. ඒ හැරත් මගේ කුස තුළ ‘වජිරායුධයක්’ (දියමන්ති ආයුධයක්) ඇත. ඉදින් ඔබ මා අනුභව කළහොත්, ඒ ආයුධය දිරවීමට ඔබට නොහැකි වනු ඇත. එය ඔබගේ බඩවැල් කැබලිවලට කපා ඔබව මරණයට පත් කරනු ඇත. එවිට අපි දෙදෙනාම විනාශ වන්නෙමු. මේ කාරණය නිසා මම බිය නොවෙමි.” (මෙහිදී බෝධිසත්වයෝ තමා තුළ පැවති ඥානය නමැති ආයුධය අරමුණු කරගෙන මෙය පැවසූහ). එය අසා යක්ෂයා මෙසේ සිතීය. “මේ මානවකයා සත්‍යයක්ම කියයි. මේ පුරුෂ සිංහයාගේ ශරීරයෙන් මුං ඇටයක් තරම් මස් කැබැල්ලක්වත් මගේ කුස තුළ දිරවීමට නොහැකි වනු ඇත. මොහු මුදා හරිමි.” මෙසේ මරණ බියෙන් තැති ගත් යක්ෂයා බෝධිසත්වයන් මුදා හැර, “මානවකය, ඔබ පුරුෂ සිංහයෙකි. මම ඔබගේ මස් නොකමි. අද රාහු මුවින් මිදුණු සඳ මෙන් මගේ අතින් මිදී, ඔබේ නෑ මිතුරන් සතුටු කරමින් යන්න” යැයි කීය.

ඉක්බිති බෝධිසත්වයෝ යක්ෂයාට මෙසේ කීහ. “යක්ෂය, මම යන්නෙමි. එහෙත් ඔබ පෙරත් අකුසල් කොට රුදුරු වූ, ලේ තැවරුණු අත් ඇති, අනුන්ගේ මස් ලේ අනුභව කරන යක්ෂයෙකු වී උපන්නෙහිය. දැනුත් ඔබ අකුසල්ම කළහොත් අන්ධකාරයෙන් අන්ධකාරයටම යන්නෙහිය. මා දුටු මොහොතේ පටන් ඔබට අකුසල් කළ නොහැක. ප්‍රාණඝාත කර්මය නිරය, තිරිසන් යෝනිය, ප්‍රේත විෂය සහ අසුර කාය යන සතර අපායේ උපත ලබා දෙයි. මිනිසුන් අතර උපන් විට අඩු ආයුෂ ලැබීමට හේතු වේ.” මේ ආදී ක්‍රමයෙන් පස් පව්වල ආදීනව සහ පන්සිල්වල අනුසස් දේශනා කර, නොයෙක් කරුණු ගෙනහැර දක්වා යක්ෂයා බිය ගන්වා, දමනය කොට, පන්සිල්හි පිහිටුවා, එම වනයෙහිම බිලි පූජා ලබන දේවතාවෙකු බවට පත් කළේය. පසුව ඔහුට අප්‍රමාදීව වසන ලෙස අවවාද කොට වනයෙන් පිටත් වී, වන මුවදොර සිටි මිනිසුන්ට ඒ බව දන්වා, පඤ්චායුධයෙන් සැරසී බරණැස් නුවරට ගොස් මව්පියන් දැක ගත්තේය. පසු කාලයෙහි රාජ්‍යයට පත්ව දැහැමින් රාජ්‍යය කරමින් දානාදී පින්කම් කොට කම් වූ පරිදි මිය ගියේය.

බුදුරජාණන් වහන්සේ ද මේ ජාතක ධර්ම දේශනාව ගෙනහැර දක්වා, පූර්ව අපර සන්ධි ගළපා, අභිසම්බුද්ධ වූ සේක්, මේ ගාථාව වදාළහ.

“නිවන සඳහා යොමු වූ උදාර අදහස් ඇති යම් මිනිසෙක්, නොපසුබට සිතින් යුතුව යෝගක්‌ෂේම නම් වූ නිවනට පැමිණීම සඳහා කුසල ධර්මයන් වඩයි ද, හෙතෙම පිළිවෙළින් සියලු සසර බැමි (සංයෝජන) ක්ෂය කිරීම (රහත් ඵලය) ලබා ගනී.”

එහි පිණ්ඩාර්ථය (කැටිකොට ගත් අරුත) මෙසේය: යම් පුරුෂයෙක් ‘අලීනෙන’ හෙවත් නොපසුබට, හැකිලීමක් නැති සිතින් යුතුව, ස්වභාවයෙන්ම වීර්යයවන්ත වූයේ, උදාර අදහස් ඇත්තේ වී, නිවැරදි යන අරුතින් ‘කුසල’ නම් වූ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ‘භාවෙති’ හෙවත් වඩයි ද; නොහැකුලුණු සිතින් විදර්ශනා වඩා ද; සිව් වැදෑරුම් යෝගයන්ගෙන් නිර්භය වූ නිවනට පැමිණීම සඳහා සියලු සංස්කාර ධර්මයන් ‘අනිත්‍ය, දුක්ඛ, අනාත්ම’ යන ත්‍රිලක්ෂණයට නඟා බලවත් විදර්ශනාව මගින් බෝධිපාක්ෂික ධර්ම වඩයි ද; හෙතෙම ‘අනුපුබ්බෙන’ හෙවත් පිළිවෙළින් එක සංයෝජනයක්වත් ඉතිරි නොකොට, සියලු සංයෝජන ක්ෂය කරන සිව්වැනි මාර්ග ඥානය (අරහත් මාර්ගය) කෙළවර උපන් බැවින් ‘සබ්බ සංයෝජනක්ඛය’ නම් වූ රහත් භාවයට පැමිණෙන්නේය.

මෙසේ බුදුරජාණන් වහන්සේ රහත් බව පරම කොට ගෙන ධර්ම දේශනාව අවසන් කර චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කළ සේක. සත්‍ය දේශනාව කෙළවර ඒ භික්ෂුව රහත් භාවයට පත්විය. ශාස්තෲන් වහන්සේ පූර්ව අපර සන්ධි ගළපා ජාතකය නිම කළ සේක: “එකල යක්ෂයා වූයේ දැන් මේ අංගුලිමාල තෙරුන්ය. පඤ්චායුධ කුමාරයා වූයේ මම ම වෙමි.”

පස්වන පඤ්චාවුධ ජාතක වර්ණනාව නිමි.