“ආසිංසෙථෙව පුරිසො” (වෑයම් කරන්නා වූ පුරුෂයා) යන පදයෙන් ඇරඹෙන මෙම ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි, වීර්යය අත්හළ භික්ෂුවක් අරබයා දේශනා කළ සේක. ශාස්තෘන් වහන්සේ ඒ භික්ෂුව කැඳවා, “සැබෑවක්ද භික්ෂුව, ඔබ වීර්යය අත්හැරියේ දැයි” විචාළ සේක. “එසේය ස්වාමීනි” යැයි පිළිතුරු දුන් විට, “මහණ, ඔබ මෙබඳු වූ නිර්වාණගාමී සසුනක පැවිදි වී වීර්යය අත්හළේ මන්ද? පෙර නුවණැත්තෝ රාජ්‍යය පවා අහිමි වූ අවස්ථාවල වීර්යය අත් නොහැර උත්සාහයෙහි පිහිටා, නැති වී ගිය යස ඉසුරු නැවත ලබා ගත්තාහු යැ”යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසතාණන් වහන්සේ රජුගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත්හ. නම් තබන දිනයෙහි උන්වහන්සේට ‘සීලව කුමාර’ යැයි නම් තැබූහ. එතුමා දහසය වන වියේදී ම සියලු ශිල්ප ශාස්ත්‍රයන්හි පරතෙරට පැමිණ, පසු කාලයක පියාගේ ඇවෑමෙන් ‘මහා සීලව’ නමින් රජ වී ධර්මිෂ්ඨ රජෙක් වූයේය. එතුමා නගරයේ දොරටු සතරෙහි සතරක් ද, නගර මධ්‍යයෙහි එකක් ද, තම රජ මැදුර ඉදිරියෙහි එකක් ද වශයෙන් දාන ශාලා සයක් කරවා දුගී මගීන්ට දන් දෙයි; සිල් රකියි; පෙහෙවස් සමාදන් වෙයි. ඉවසීම, මෛත්‍රිය සහ කරුණාවෙන් යුතු රජතුමා තම ඇකෙහි හුන් පුතෙකු සතුටු කරන්නාක් මෙන් සියලු සතුන් සතුටු කරමින් දැහැමෙන් රාජ්‍යය කරයි. එකල එතුමන්ගේ එක් ඇමතියෙක් අන්තඃපුරයෙහි දුසිරිතෙහි හැසිර පසු කාලයෙහි ප්‍රකට විය. සෙසු ඇමතියෝ රජුට මේ බව දැන්වූහ. රජතුමා කරුණු විමසා බලා එය ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන, ඒ ඇමතියා කැඳවා, “බාලය, ඔබ කළේ නොකටයුත්තකි. මගේ රාජ්‍යයෙහි විසීමට ඔබ සුදුසු නොවේ. තමාගේ ධනය ද අඹුදරුවන් ද ගෙන වෙනත් තැනකට යව” යි නියම කොට රටින් පිටුවහල් කළේය. ඔහු කාසී රට ඉක්මවා කොසොල් ජනපදයට ගොස් කොසොල් රජුට සේවය කරමින් ක්‍රමයෙන් රජුගේ අතිශය විශ්වාසවන්තයෙකු බවට පත් විය.
දිනක් ඔහු කොසොල් රජුට මෙසේ කීවේය: “දේවයිනි, බරණැස් රාජ්‍යය මීමැස්සන් නැති මී වදයක් වැනිය. රජු ඉතා මෘදු මොළොක් ගුණ ඇත්තෙකි. සුළු හමුදාවක් යොදා වුවද බරණැස් රාජ්‍යය අල්ලා ගත හැකිය.” රජු ඔහුගේ වචනය අසා, “බරණැස් රාජ්‍යය ඉතා විශාලය. මොහු සුළු හමුදාවකින් එය ජය ගත හැකි බව කියයි. මොහු ඔත්තුකරුවකු විය හැකියැ”යි සිතා, “නුඹ ඔත්තුකරුවෙක් දැ”යි ඇසීය. “දේවයිනි, මම ඔත්තුකරුවෙක් නොවෙමි. සත්‍යයම කියමි. ඉදින් මගේ වචනය නොඅදහන්නේ නම්, මිනිසුන් යවා පිටිසර ගමක් විනාශ කරනු මැනවි. එවිට ඒ ගම් පහරන මිනිසුන් අල්ලාගෙන රජු වෙත ගෙන ගිය විට, ඔහු ඔවුන්ට දඬුවම් නොකොට ධනය දී නිදහස් කරන්නේය.” “මොහු ඉතා නිර්භීත ලෙස කතා කරයි, විමසා බලමි” යැයි සිතූ කොසොල් රජු, තමාගේ මිනිසුන් යවා පිටිසර ගමක් විනාශ කරවීය. ගම්වැසියෝ එම කොල්ලකරුවන් අල්ලා බරණැස් රජුට ඉදිරිපත් කළහ. රජු ඔවුන් දැක, “දරුවනි, කුමක් නිසා ගම විනාශ කළහුදැ”යි ඇසීය. “දේවයිනි, ජීවත් වීමට මඟක් නැති නිසා යැ”යි කී විට, “එසේ නම් මා ළඟට නොපැමිණියේ මන්ද? මෙතැන් පටන් එවැනි දේ නොකරන්න” යැයි අවවාද කොට ඔවුන්ට ධනය දී නිදහස් කළේය. ඔවුහු ගොස් කොසොල් රජුට එම පුවත් සැල කළහ. රජු එපමණකින් නොනැවතී රට මැද දනව්වක් ද වැනසීය. ඒ මිනිසුන්ට ද බරණැස් රජු ධනය දී නිදහස් කළේය. එයින් ද නොනැවතුණු හෙතෙම නැවත මිනිසුන් යවා අගනුවර වීදිවල මංකොල්ල කෑවීය. රජු ඔවුන්ට ද ධනය දී නිදහස් කළේය. ඉක්බිති කොසොල් රජ, “මොහු ඉතා දැහැමි රජෙකැ”යි තීරණය කොට බරණැස් රාජ්‍යය අල්ලා ගනු පිණිස බල සෙනග රැගෙන පිටත් විය.
එකල බරණැස් රජුට, මත් වූ ඇතකු ඉදිරියට එන කල්හි පවා ආපසු නොහැරෙන, හිස මත හෙණ පිපිරුණ ද බිය නොවන, සීලව මහරජුගේ කැමැත්ත තිබේ නම් මුළු දඹදිව රාජ්‍යය වුවද යටත් කර ගැනීමට සමත්, පරාජය කළ නොහැකි දක්ෂ යෝධයෝ දහසක් වූහ. ඔවුහු “කොසොල් රජු පැමිණේ යැ”යි අසා රජු වෙත ගොස්, “දේවයිනි, කොසොල් රජ බරණැස් රාජ්‍යය අල්ලා ගැනීමට පැමිණෙයි. අපි ගොස්, ඔවුන් අපගේ රාජ්‍ය සීමාවට ඇතුළු වීමටත් පෙරම පහර දී අල්ලා ගනිමු” යැයි කීහ. රජතුමා, “දරුවනි, මා නිසා අනුන් වෙහෙසට පත්වීමක් අවශ්‍ය නැත. රාජ්‍යය අවශ්‍ය අය රාජ්‍යය ම ගනිත්වා. නොයවු” යැයි පවසා ඔවුන් වැළැක්වීය. කොසොල් රජු රාජ්‍ය සීමාව ඉක්මවා දනව් මැදට පිවිසියේය. ඇමතියෝ නැවතත් රජු වෙත එළැඹ පෙර පරිදිම ඉල්ලීම් කළහ. රජු පෙර පරිදිම ඔවුන් වැළැක්වීය. කොසොල් රජු නගරයට පිටතින් සිට, “රාජ්‍යය දෙනු! නැතිනම් යුද්ධ කරනු!” යැයි සීලව මහරජුට හසුන් යැවීය. රජු ඒ අසා, “මා සමග යුද්ධයක් නැත. රාජ්‍යය ගනු” යනුවෙන් පිළිතුරු යැවීය. නැවතත් ඇමතිවරු රජු වෙත එළැඹ, “දේවයිනි, අපි කොසොල් රජුට අපගේ නුවරට පිවිසෙන්නට ඉඩ නොදෙමු. නුවරින් පිටත දීම ඔවුන්ට පහර දී අල්ලා ගනිමු” යැයි කීහ. රජු පෙර පරිදිම ඔවුන් වළකා සියලු නගර දොරටු විවෘත කරවා, ඇමතීන් දහස සමග මහවාසලෙහි සිහසුන මත වැඩ සිටියේය.
කොසොල් රජු මහත් බල සෙනග පිරිවරා බරණැස් නුවරට පිවිසියේය. එක ද සතුරකු හෝ නුදුටු ඔහු රජ මැදුරට ගොස්, විවෘත දොරවල් ඇති මැදුරෙහි අලංකාර අසුනෙහි ඇමතියන් පිරිවරා හිඳගෙන සිටි නිදොස් වූ සීලව මහරජුන් සහ දහසක් ඇමතියන් අල්ලාගෙන තම සේනාවට මෙසේ අණ කළේය. “යවු! මේ රජුත් ඇමතියනුත් පිටිතල හයා තදින් බැඳ, අමු සොහොනට ගෙන ගොස් ගෙල පමණක් ඉතිරි වන සේ වළවල් හාරා, එකකුවත් අතක් පවා එසවිය නොහැකි වන පරිදි පස් දමා තද කර වළ දමවු. රාත්‍රියෙහි හිවලුන් අවුත් මොවුන්ට කළ යුතු දෙය කරාවි.” මිනිස්සු රජුගේ අණ අසා රජුත් ඇමතියනුත් පිටිතල හයා බැඳ රැගෙන ගියහ. එකල්හි ද සීලව මහරජතුමා සතුරු රජුට අබමල් රේණුවක තරම්වත් වෛරයක් නොකළේය. ඇමතියන් ද මෙසේ බැඳගෙන යන කල්හි ඒ දහසින් එකකුවත් රජුගේ වචනය ඉක්මවීමට ඉදිරිපත් නොවීය. සීලව රජුගේ පිරිස එතරම් මනාව හික්මුණු පිරිසක් වූහ. ඉක්බිති රාජ පුරුෂයෝ සීලව රජු ඇතුළු පිරිස අමු සොහොනට ගෙන ගොස්, ගෙල පමණක් ඉතිරි වන සේ වළවල් හාරා, සීලව රජු මැද ද දෙපසෙහි සෙසු ඇමතියන් ද සිටින සේ වළවල්වලට බස්වා, පස් දමා තද වන සේ කොටා පිටත්ව ගියහ. සීලව රජ ඇමතියන් අමතා, “දරුවනි, සතුරු රජු කෙරෙහි කෝප නොවී මෛත්‍රිය ම වැඩුව මැනවැ”යි අවවාද කළේය.
මධ්‍යම රාත්‍රියෙහි “මිනී මස් කන්නෙමු”යි සිතා හිවල්ලු පැමිණියහ. ඔවුන් දැක රජු සහ ඇමතියෝ එක්වර ම ශබ්ද කළහ. හිවල්ලු බිය වී පලා ගියහ. ඔවුහු ආපසු හැරී බලන්නාහු, පසුපසින් කිසිවකු නොඑනු දැක නැවතත් පැමිණියහ. එවර ද පෙර සේම පිරිස මහා ශබ්ද කළහ. මෙසේ තෙවරක් පලා ගොස් නැවත බලන්නාහු, ඔවුන් එකකුවත් තමන් පසුපස නොඑන බව දැන, “මොවුන් වධයට පත් කර වළ දමා ඇතැ”යි සිතා නිර්භීත වූහ. නැවත මිනිසුන් ශබ්ද කළ ද හිවල්ලු පලා නොගියහ. හිවලුන්ගේ නායකයා රජු වෙත ළඟා විය. සෙසු හිවල්ලු සෙසු ඇමතියන් වෙත ගියහ. උපාය දක්ෂ රජතුමා ඔහු ළඟට පැමිණි බව දැන, ඩැහැ ගැනීමට ඉඩ දෙන්නාක් මෙන් ගෙල ඔසවා, හිවලා ගෙල ඩැහැගන්නවාත් සමග ම ඌව තම හකු ඇටයෙන් තද කර, යන්ත්‍රයකට හසු කළාක් මෙන් තදින් අල්ලා ගත්තේය. ඇතකුගේ කායික බලය ඇති රජු විසින් හකු ඇටයෙන් තද කර ගෙලෙන් අල්ලාගත් හිවලා, තමා මුදා ගැනීමට නොහැකිව මරණ බියෙන් මහ හඬින් කෑගැසීය. සෙසු හිවල්ලු ඔහුගේ මරණීය හඬ අසා, “නායකයා ව එක් පුරුෂයකු විසින් අල්ලා ගන්නා ලද්දේය, අපටත් එසේම වේවි” යැයි සිතා, ඇමතීන් වෙත ළං විය නොහැකිව මරණ බියෙන් තැතිගෙන පලා ගියහ. රජු හකු ඇටයෙන් තද කොට ගත් හිවලා ඒ මේ අතට දඟලන විට පස් බුරුල් විය. ඒ හිවලා ද මරණ බියෙන් බියපත් ව රජුගේ සිරුරේ ඉහළ කොටස පා සතරින් හාරද්දී පස් ඉවත් විය. පස් බුරුල් වූ බව දැනගත් රජතුමා හිවලා අතහැර, තමාගේ ඇත් බල ඇති ශක්ති සම්පන්න ශරීරය ඒ මේ අත හරවමින්, දෙඅත් ඔසවා වළෙහි මුවවිටට වාරු ගෙන, සුළඟින් දෙකඩ වූ වලාකුළක් මෙන් පොළොවෙන් උඩට මතු වී පිටතට පැමිණියේය. ඉන්පසු ඇමතියන් අස්වසා, පස් ඉවත් කොට ඔවුන් සියල්ලන් ගොඩගෙන, පිරිවරාගෙන අමු සොහොනෙහි සිටියේය.
මරණ බිය පරදා හිවලාගේ ග්‍රහණයෙන් මිදී සොහොනෙන් නැගී සිටි මහා සීලව රජතුමා
ඒ වෙලාවෙහි මිනිස්සු මළ සිරුරක් අමු සොහොනට ගෙනවිත්, යකුන් දෙදෙනෙකුට අයත් සීමා මායිම් අතරට දැමූහ. ඒ යකුන් දෙදෙනා මළ සිරුර බෙදා ගැනීමට නොහැකිව, “අපට මෙය බෙදා ගැනීමට නොහැකිය. මේ සීලව රජු දැහැමිය; ඔහු අපට මෙය බෙදා දෙනු ඇත. ඔහු ළඟට යමු” යි කතිකා කොට, මළ සිරුර පාදයෙන් ඇදගෙන රජු වෙත ගොස්, “දේවයිනි, මෙය අපට බෙදා දෙනු මැනවැ”යි ඉල්ලා සිටියහ. “පින්වත් යකුනි, මම මෙය ඔබට බෙදා දෙමි. එහෙත් මම අපිරිසිදු වී සිටිමි. පළමු කොට ස්නානය කළ යුතු වෙමි.” එවිට යකුන් දෙදෙනා සතුරු රජුට පිළියෙල කළ සුවඳවත් ජලය තමන්ගේ ආනුභාවයෙන් ගෙනවුත් රජුට නෑම සඳහා දුන්හ. ඉන්පසු ඔවුහු සතුරු රජුට හැඳ පැළඳ ගැනීමට සකසා තිබූ ඇඳුම් සහ ගන්ධ විලවුන් ගෙනවුත් දුන්හ. සුවඳ ආලේප කොට සිටි රජුට සිව් ජාතියක සුවඳ ඇති කරඬුවක් ද, රන් කරඬුවක තැබූ නානා විධ මල් ද ගෙනවුත් දුන්හ. මල් පැළඳ සිටි කල්හි, “තවත් කුමක් කළ යුතුදැ”යි යක්කු විමසූහ. රජ තමාට කුසගිනි බව හැඟවීය. ඔවුහු ගොස් සතුරු රජුට සකසා තිබූ විවිධ අග්‍ර රසයෙන් යුත් භෝජන ගෙන ආහ. රජතුමා ස්නානය කොට පවිත්‍ර ව, සුවඳ ගල්වා, නානා අග්‍ර රස බොජුන් වැළඳීය. අනතුරුව යක්ෂයෝ සතුරු රජුට තැබූ සුවඳවත් කළ පැන් කෙණ්ඩිය හා බොන රන් බඳුන ද ගෙන ආහ. පැන් පානය කොට, මුව දොවා අත් සෝදා ගත් රජුට, සතුරු රජු සඳහා සකසා තිබූ පස් පලාවකින් යුතු බුලත් විටක් ගෙනවුත් දුන්හ. එය කා සිටි කල්හි, “වෙන කුමක් කරමුදැ”යි ඇසූ විට, “තොප ගොස් සතුරු රජුගේ හිස ළඟ තබා ඇති මංගල කඩුව ගෙන එව” යි රජු කීය. යක්ෂයෝ එය ද ගෙනවුත් දුන්හ. රජතුමා කඩුව ගෙන ඒ මළ මිනිය සෘජුව තබවා, හිස මැදින් කඩුවෙන් ගසා දෙපලු කොට යකුන් දෙදෙනාට සම ව බෙදා දුන්නේය. එසේ දී කඩුව සෝදා සන්නද්ධ ව සිටියේය. යක්ෂයෝ මිනී මස් කා කුස පුරවාගෙන සතුටු සිතින්, “මහරජතුමනි, ඔබට වෙනත් කුමක් කර දෙමුදැ”යි විමසූහ. “එසේ නම් ඔබගේ ආනුභාවයෙන් මා ව සතුරු රජුගේ සිරියහන් ගැබටත්, මේ ඇමතියන් ව ඔවුන්ගේ නිවෙස්වලටත් ඇරලවූ මැනව.” යක්ෂයෝ “මැනවි දේවයිනි” යි සතුටින් පිළිගෙන එසේ කළහ.
එකල සතුරු රජු සිරියහන් ගැබෙහි අලංකාර යහනෙහි සැතපී නිදයි. සීලව රජු, සිහි නැතිව නිදන සතුරු රජුගේ උදරයට කඩු තලයෙන් තට්ටු කළේය. ඔහු බිය වී අවදි ව, පහන් එළියෙන් සීලව රජු හඳුනාගෙන, යහනෙන් නැඟිට සිහි එළවාගෙන සිට රජුගෙන් මෙසේ ඇසීය. “මහරජ, මෙබඳු රාත්‍රියක රැකවල් යොදා දොරවල් වසා ඇති මැදුරෙහි, ආරක්ෂක පුරුෂයන්ගෙන් තොර නොවූ මෙතැනට, කඩුව ද දරාගෙන රාජාභරණයෙන් සැරසී මේ යහන් ගැබට ඔබ කෙසේ නම් පැමිණියේද?” එවිට සීලව රජතුමා තමා එහි පැමිණි ආකාරය සියල්ල විස්තරාත්මකව කීවේය. ඒ ඇසූ සතුරු රජු සංවේගයට පත් සිත් ඇති ව, “මහරජතුමනි, මම මිනිසකුව ඉපිදත් ඔබතුමන්ගේ ගුණ නොදත්තෙමි. එහෙත් අන්‍යන්ගේ මස් ලේ කන, ඉතා රළු දරුණු යකුන් පවා ඔබගේ ගුණ හඳුනාගෙන ඇත. රජතුමනි, මම මින් ඉදිරියට මෙබඳු සිල්වත් ඔබ වැනි උතුමෙකුට ද්‍රෝහී නොවන්නෙමි” යි කඩුව අතට ගෙන දිවුරා, සීලව රජුගෙන් සමාව ගෙන, එතුමාව මහා සයනයෙහි සැතපවීය. ඔහු කුඩා ඇඳක සැතපුණේය. රාත්‍රිය ගෙවී හිරු උදා වූ කල්හි බෙර හසුරුවා සියලු බල සෙනග ද, ඇමති, බමුණු, ගෘහපතියන් ද රැස් කරවා, ඔවුන් ඉදිරියෙහි අහසෙහි පුන්සඳ ඔසවා තබන්නාක් මෙන් සීලව රජුගේ ගුණ වර්ණනා කළේය. පිරිස මැද දී ම නැවත රජුගෙන් සමාව ඉල්ලා රාජ්‍යය නැවත භාර දුන්නේය. “මහරජ, මින් පසු ඔබට ඇතිවන සතුරු බිය මට භාරය. මා විසින් ආරක්ෂා කරනු ලබන රාජ්‍යය ඔබ වහන්සේ කරගෙන යනු මැනවැ”යි කියා, කේලාම් කී පුරුෂයාට දඬුවම් නියම කොට, තමාගේ බල සෙනග රැගෙන තම රටට ම ගියේය.
සීලව මහරජතුමා ද සිව් බරණින් සැරසී, ධවල ඡත්‍රය යට පනවන ලද සිංහාසනයෙහි හිඳ, තමාගේ මහත් වූ රාජ්‍ය සම්පත්තිය දෙස බලා මෙසේ සිතුවේය: “මා වීර්යය නොකළේ නම් මේ මහා සම්පත ද, දහසක් ඇමතියන්ගේ ජීවිත ද යන කිසිවක් රැකගත නොහැකි වනු ඇත. වීර්යය නිසාම නැති වී ගිය මේ මහා සම්පත මම නැවත ලැබුවෙමි. දහසක් ඇමතියන්ට ජීවිත දානය ද දුනිමි. එනිසා ඒකාන්තයෙන් බලාපොරොත්තු අත් නොහැර වීර්යය ම කළ යුතුය. උත්සාහ කළ අයගේ අරමුණු මේ ආකාරයෙන් සඵල වේ.” මෙසේ සිතා එතුමා ප්‍රීති වාක්‍ය වශයෙන් මෙම ගාථාව ප්‍රකාශ කළේය.
“පුරුෂ තෙමේ (දියුණුව) අපේක්ෂා කරන්නේමය; නුවණැත්තා උකටලී නොවන්නේය. මා යම් සේ කැමති වී ද එසේ ම (මාගේ අදහස) සිදුවිය. (නැවත රාජ්‍යශ්‍රීයට පැමිණි) මාගේ ඒ ස්වභාවය මම දකිමි.”
එහි අර්ථය මෙසේය: “ආසිංසෙථෙව”: මා වීර්යය ඇරඹුවහොත් මේ දුකින් මිදෙන්නෙමි යි සිතා තමාගේ වීර්යය බලය පිළිබඳ විශ්වාසයෙන් යුතුව බලාපොරොත්තු ඇති කරගත යුතුමය. “න නිබ්බින්දෙය්ය පණ්ඩිතො”: උපායෙහි දක්ෂ නුවණැත්තා සුදුසු තැන වීර්යය කරමින්, ‘මම මේ උත්සාහයෙහි ප්‍රතිඵලය නොලබමි’ යි පසුතැවිලි නොවිය යුතුය; උත්සාහය පිළිබඳ බලාපොරොත්තුව අත් නොහැරිය යුතුය. “පස්සාමි වොහං අත්තානං”: මෙහි ‘වො’ යනු නිපාතයකි. මම අද මා දෙසම බලා සතුටු වෙමි. “යථා ඉච්ඡිං තථා අහූ”: මම වළෙහි ගිලී සිටියදී පවා ඒ දුකින් මිදී නැවත තමාට අයත් රාජ්‍යය ලබා ගැනීමට කැමති වීමි. මම දැන් ඒ සම්පතට පැමිණි මා දෙස බලමි. යම් සේ මම මුලින් පැතූවෙම් ද, ඒ අයුරින් ම එය ඉටු විය. මෙසේ බෝසතාණන් වහන්සේ, “අහෝ පින්වත්නි, සිල්වතුන්ගේ වීර්යයෙහි ඵලය නම් ඉටු වන්නේමය” යි මේ ගාථාවෙන් උදන් අනා, දිවි ඇති තාක් පින්කම් කොට කම් වූ පරිදි මිය ගියහ.
බුදුරජාණන් වහන්සේ මේ ජාතක ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කළ සේක. චතුරාර්ය සත්‍ය දේශනාව අවසානයේ වීර්යය අත්හළ භික්ෂුව රහත් ඵලයෙහි පිහිටියේය. බුදුරජාණන් වහන්සේ පූර්වාපර සන්ධි ගළපා ජාතකය නිමවා වදාළ සේක: “එකල දුෂ්ට ඇමතියා නම් දැන් දේවදත්ත ය. ඇමතියන් දහස දැන් බුදු පිරිස ය. එදා මහා සීලව මහරජ වී උපන්නේ දැන් ලොව්තුරා බුදු වූ මම ම වෙමි.”
පළමුවන මහාසීලව ජාතක වර්ණනාව නිමි.