“කතමඤ්ච භික්ඛවෙ, දුක්ඛ නිරෝධං, අරියසච්චං? යො තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො ඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛනිරෝධං අරියසච්චං”
මෙය තථාගතයන් වහන්සේ විසින් දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය වදාළ දේශනාවකි. එහි තේරුම “මහණෙනි! දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය කවරේද යත්? දුක් ඉපදීමේ හේතුව වූ ඒ තෘෂ්ණාවගේ ආර්‍ය්‍ය මාර්ග හේතු කොට වන්නා වූ යම් නිරවශේෂ නිරෝධයක් වේ ද ඒ තෘෂ්ණාව නසා ලීම් වශයෙන් කරන්නා වූ යම් දුරු කිරීමෙක් වේ ද, නැවත නූපදනා පරිද්දෙන් කරන්නා වූ යම් දුරු කිරීමෙක් වේ ද, ඒ තෘෂ්ණා බන්ධනයෙන් යම් මිදීමක් වේ ද, යම් නො ඇල්මක් වේ ද, මහණෙනි! මෙය දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය යි කියනු ලැබේය” යි යනුයි.
මේ දේශනාවෙන් දුක් ඉපදීමේ හේතුව වූ තෘෂ්ණාව ගේ නිරවශේෂ නිරෝධය, මතු නූපදනා පරිද්දෙන් වන නිරෝධය, දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය බව දක්වන ලද්දේ ය. උපන් සංස්කාරයන්ගේ බිඳීමට හෙවත් අභාවයට පැමිණීමට ද නිරෝධය යි කියති. තෘෂ්ණාව ද සංස්කාරයන්ට අයත් දෙය්ක වූ බැවින් එයට ද ඒ නිරෝධය ඇත. මේ නිරෝධ සත්‍ය කථාවෙහි ගනු ලබන නිරෝධය එය නො ව, මතු උපදිය හැකි තෘෂ්ණාවන් නූපදීම වූ නිරෝධයයි. එයට නිරවශේෂ නිරෝධය යි ද, අනුත්පාද නිරෝධය යි ද, නිරවශේෂ ප්‍රහාණය යි ද කියනු ලැබේ. යමකුට වස්තුව ගැනත්, අඹු දරුවන් ගැනත්, තමන්ගේ ශරීරය හා ජීවිතය ගැනත්, ඉන්ද්‍රියන්ට විෂය වන රූප ශබ්දාදිය ගැනත් තෘෂ්ණාවක් කවර ආකාරයකින් වත් නූපදී නම්, දෙවඟනක් බඳු තරුණියක හා එක යහනක කලක් විසුවත් කාමරාගය නූපදී නම් ඔහුට ඇති ඒ තෘෂ්ණාව නූපදනා ස්වභාවය, තෘෂ්ණාවගේ නිරවශේෂ නිරෝධය යි දත යුතු.
තෘෂ්ණාව නිරුද්ධ වුවද පඤ්චස්කන්ධය පවතී නම් සත්ත්වයා දුකින් නො මිදුණේ ය. පඤ්චස්කන්ධය නිරුද්ධ වුවහොත් එහි සුළු කොටසක් වූ තෘෂ්ණාව පැවතියේ ද එය බලවත් දුකක් නො වේ. දුකින් පීඩිත තැනැත්තාහට වුවමනා ප්‍රධාන දෙය පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛයාගේ නිරෝධය ය. දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය වදාරන්නා වූ තථාගතයන් වහන්සේ තෘෂ්ණාවෙන් අන්‍ය වූ ක්ලේශයන් හා ස්කන්ධයන් නො ගෙන තෘෂ්ණාව වූ එක් ධර්මයක් පමණක් ගෙන, එහි නිරෝධයාගේ වශයෙන් දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය වදාරන ලදුයේ දුක් නැති කර ගත හැකි ආකාරයත් සමග ම දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය දක්වනු සඳහා ය. තෘෂ්ණා සංඛ්‍යාත දුඃඛෝත්පාදක හේතුව තිබියදී ඵලය වූ දුඃඛය නැති කළ නො හැකිය. මහත් ආයාශයෙන් යම්කිසි දුක් කොටසක් නැති කෙළේ ද හේතුව පවත්නා බැවින් නැවත දුක් එන්නේ ම ය. තෘෂ්ණාව වූ දුඃඛ හේතුව නැති කළ හොත් එයින් ම දුක් කෙළවර වන්නේ ය. එබැවින් දුක නැති කිරීමේ නො වරදින ක්‍රමය තෘෂ්ණාව වූ දුඃඛ හේතුව නැති කිරීම ම ය. තෘෂ්ණා නිරෝධයාගේ වශයෙන් දුඃඛ නිරෝධය දැක් වූ කල්හි, දුක් නැති කර ගැනීමේ නො වරදින ක්‍රමයත් සමග දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය දක්වන ලද්දේ වන්නේය.
තව ද මතු ඵල හට ගන්නා වූ ගසක් කපා විනාශ කළ කල්හි ඒ ගසෙහි මතු හට ගන්නට තිබෙන්නා වූ ගෙඩිවල විනාශය නො හට ගැනීම, අභාවප්‍රාප්තිය ගසේ විනාශය හා බැඳී සිදුවන්නාක් මෙන්, ගසේ විනාශයෙන් වෙන් නො කළ හැකිවාක් මෙන්, තෘෂ්ණා හේතුවෙන් වන සකල දුඃඛස්කන්ධයාගේ ම නිරෝධය තෘෂ්ණා නිරෝධය සමග ම සිදුවන්නේ ය. එය තෘෂ්ණා නිරෝධය හා බැඳී පවත්නේ ය. තෘෂ්ණා නිරෝධයෙන් වෙන් නො කළ හැක්කේ ය. එබැවින් එකක් වූ තෘෂ්ණාවගේ පමණක් නො ව සකල දුඃඛයාගේ නිරෝධය නිරෝධාර්‍ය්‍ය සත්‍යය බව දත යුතු ය.