සෝවාන් වීමෙහි පටන් පිරිනිවීම දක්වා ස්ථාන පසක දී ආර්‍ය්‍ය ශ්‍රාවකයා ලබන නිවන නිරෝධ ස්වභාවයෙන් ද දුඃඛ ස්වභාවයෙන් ද එකක් ම වන්නේ ය. ඒකාන්ත වශයෙන් නිවන එකක් ම වූයේ නමුත් සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් පුද්ගලයන් සර්වාකාරයෙන් දුකින් මිදී නැති බැවින් පිරිනිවීම තෙක් ස්කන්ධ පවත්නා බැවින් ඔවුන්ගේ නිවනට ඉතිරිව තිබෙන ස්කන්ධයන් නිමිත්ත කොට ‘සෝපාදීශේෂ නිර්වාණය’ යි ද පරිනිර්වාණයෙන් පසු ලබන නිවනට ඉතිරි ස්කන්ධ කිසිවක් නැති බව නිමිත්ත කොට ‘අනුපාදිශේෂ නිර්වාණය’ යි ද කියනු ලැබේ.
“ද්වෙ ඉමා චක්ඛුමා පකාසිතා
නිබ්බාන ධාතු අනිස්සිතෙන තාදිනා
එකාහි ධාතු ඉධ දිට්ඨධම්මිකා
සඋපාදිසෙසා භව නෙත්ති සංඛයා
අනුපාදිසෙසා පන සම්පරායිකා
යම්හී නිරුජ්ඣන්ති භවානි සබ්බසො”
“පසැස් ඇත්තා වූ තෘෂ්ණා දෘෂ්ටීන් කරණකොට ස්කන්ධයන් ඇසුරු නො කරන්නා වූ තාදී ගුණයෙන් යුක්ත වූ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙකක් වූ මේ නිර්වාණ ධාතූහු ප්‍රකාශිත ය. සත්ත්වයා භවයෙන් භවයට ගෙන යන්නා වූ තෘෂ්ණාවන්ගේ ක්ෂයවීම වූ ‘සඋපාදීශේෂ’ නම් වූ එක් නිර්වාණ ධාතුවක් මේ ප්‍රත්‍යක්ෂ ආත්ම භාවයෙහි ම වූවාය. යම් නිර්වාණ ධාතුවෙක්හි සර්වාකාරයෙන් භවයෝ නිරුද්ධ වෙත් ද? ‘අනුපාදීශේෂ’ නම් වූ ඒ නිර්වාණ ධාතුව ස්කන්ධ භේදයෙන් හෙවත් මරණයෙන් පසුව වූවාය” යනු මෙහි තේරුමයි. නිර්වාණයාගේ සෝපාදිශේෂ අනුපාදිශේෂ භේදය පිළිබඳව මතභේද ඇත ද ග්‍රන්ථය දික්වන බැවින් මෙහි නො දක්වනු ලැබේ.