9. ආනාපානසතිය
භාග්‍යවතුන් වහන්සේ ආනාපාන සති කර්මස්ථානයට ප්‍රශංසා කරනසේක් “මහණෙනි, නිර්වාණ භූමියට අවතරණ තීර්ත්ථවූ යම් යම් කසිණධ්යාන, අශුභධ්‍යාන කෙනෙක් වෙද්ද, හුදෙක් ඔහුම ශාන්තාදී ගුණයෙන් යුක්තයෝ නොවෙති. මේ ආනාපානසති සමාධිය ද ශාන්තාදී ගුණයුක්තය යි” බුදුන්වහන්සේ තමන්ට ප්රත්යක්ෂ වූ සමාධිය ද, දේශනානුභාවයෙන් ඒ ධර්‍මප්‍රතිග්‍රාහක භික්ෂූන්ට ආසන්න ප්රත්යක්ෂ කරණුවෝ “අයම්පි ඛො භික්ඛවෙ ආනාපානසති සමාධි භාවිතො බහුලීකතො සන්තො වෙව පණීතො ච අසෙචනකොච සුඛොච විහාරො උප්පන්නුප්පන්නෙව පාපකෙ අකුසලෙ ධම්මෙ ඨානසො අන්තරධාපෙති වූපසමෙතී” යනාදී වශයෙන් මේ ආනාපානසති සමාධිය භාවිතා කරන ලද්දේ බහුලීකෘත කරන ලද්දේ, ශාන්තද, ප්‍රණීතද, අසෙචනකද, සුඛවිහරණද වන්නේය. උපන් උපන් ළාමක අකුසල ධර්මයන් ඇසිල්ලකින් අතුරුදහන් කරන්නේ ය, සන්සිඳුවන්නේ ය” යනාදි වශයෙන් මේ ධ්‍යානයෙහි යෙදිය යුතුය, පිළිපැද්ද යුතුයැයි ධ්‍යානයෙහි අභිරුචිය උපදවනු සඳහා, උත්සාහ කරනු සඳහා මෙසේ ප්‍රශංසා කොට වදාළසේක.
මෙහි ආනාපාන සති සමාධිය නම් ආශ්වාස-ප්‍රශ්වාස දීර්ඝ හ්‍රස්වාදි විශේෂ හා සමඟ පිරිසිඳගන්නාවූ ස්මෘතිය හා සම්ප්‍රයුක්තවූ සමාධියයි. ආනාපාන ස්මෘතියෙහි සමාධිය හෝ ආනාපානසති සමාධි නම් වේ. භාවිතා කිරීම නම් උපදවන ලද වඩන ලද හෙවත් ප්රගුණභාවයට පත්කරන ලදය යනු අර්ථයි. බහුලීකෘත කිරීම නම් බොහෝ කොට පැවැත්වීම හෙවත් ආවර්ජනාදින්ගේ වශයෙන් වසීභාවයට පැමිණ, කැමති කැමති කෙණෙහි සමවැදීමෙන් නැවත නැවත පවත්වනු ලැබීමය. මෙසේ උපදවන ලද, වඩනලද නැවත නැවත පවත්වන ලද ආනාපානසති සමාධිය ශාන්ත ද වෙයි. ප්‍රණීත ද වෙයි. අශුභ කර්මස්ථාන ශාන්ත ප්‍රණීත වන්නේ ප්‍රතිවෙධ වශයෙන් පමණෙකි. ආරම්මණ වශයෙන් ඖදාරික බැවින් ද, පිළිකුල් බැවින් ද ශාන්ත ප්‍රණීත නොවේ. මේ ආනාපාන සතිය වනාහි සියලු ආකාරයෙන් ම ශාන්තප්‍රණීත වේ ම ය. ආරම්මණය පරම සුඛුම බවට පැමිණ ශාන්තවේ. ශාන්තවූ, සන්හුන්වූ, අරමුණෙහි පවත්නා ධර්මය ද ශාන්ත වේ. ව්යුප ශාන්ත ද වේ. නිර්වෘත ද වේ. ප්‍රතිවෙධ සඞ්ඛ්‍යාත අඞ්ග ශාන්ත තත්ත්වයෙන් ද ශාන්ත වේ. එසේම ආලම්බන ප්‍රණීත භාවයෙන් ප්‍රණීත ද වේ. ආතෘප්තිකර වේ. ප්‍රතිවෙධ සඞ්ඛ්‍යාත අඞ්ග ප්‍රණීත තත්ත්වයෙන් ද ප්‍රණීත වේ. අතෘප්තිකර වේ. එහෙයින් ශාන්ත ද, ප්‍රණීත ද වේ යයි කියන ලදී. අසේචනක නම් ශාන්ත ප්‍රණීත භාවය පිණිස කිසි සේචනයක්, වත්කිරීමක් නැති බවය. අසේචනක බැවින් ම අනාසිත්තකය. අනා- සිත්තක බැවින් ම අව්යාකිණ්ණය හෙවත් පරිකර්මාදීන් හා අසම්මිශ්රය. අසම්මිශ්‍ර හෙයින් ම පාටියෙක්කය හෙවත් වෙන් ය. ආවේණිකය හෙවත් අසාධාරණය. සියල්ල ස්වභාවයෙන් ම ශාන්තය. ශාන්තභාවයට නිමිත්ත වූ පරිකර්මයක් හෝ නැත්තේ ය. උපචාරයෙන් හෝ ශාන්ත භාවයක් වුවමනා නොවේ. සෙසු ධ්‍යානයන්ගේ ශාන්ත භාවය උපචාරක්ෂණයේදී නීවරණ විෂ්කම්භනයෙන් හා මතුයෙහි අඞ්ගයන්ගේ පහළ වීමෙන් ද සිද්ධවන්නේ ය. මෙහිදී එවැන්නක් නැත. මෙය ආදියෙහි පටන්ම ශාන්තප්‍රණීත වේ. තවද මේ ආනාපානසති සමාධිය සුඛවිහාරද වෙයි. සමවත් කෙණෙහි කායික චෛතසික සුඛ ප්‍රතිලාභයට කාරණා වන බැවින් සුඛවිහාර ද වේ යයි දත යුතු. ත්‍රික චතුෂ්ක ධ්‍යාන වශයෙන් හෝ උපෙක්ෂාවගේ ශාන්ත බැවින් හෝ සුඛස්වභාවය වන හෙයින් සියලු ධ්‍යානයන්ගේ වශයෙන් හෝ සුඛප්රතිලාභයට කාරණවෙයි. ධ්‍යාන චිත්ත සමුට්ඨාන ප්‍රණීත රූපයෙන් ස්පර්ශ කරන ලද ශරීර ඇති බැවින් කායික සුඛ ප්‍රතිලාභයට කාරණ වෙයි. උපනුපන් ලාමක අකුසල ධර්මයෝ නම් ධ්‍යානයෙන් විෂ්කම්භිත නුවූ, හීනවූ, අවිද්‍යායෙන් වූ පාපධර්මයෝ ය. එය තමාගේ ප්රවෘත්තික්ෂණයේදී ම අන්තර්ධාන කෙරේ. විශේෂයෙන් ම ව්‍යුපසමනය කෙරේ හෙවත් සන්සිඳුවයි. මේ සමාධිය පූර්වභාගයෙහි පටන් නා නා විතර්ක ව්යුපසමය කෙරෙයි.
තවද මේ කමටහන තීක්‍ෂණප්‍රඥා ඇති ඥානොත්තර- යාහටය. ඥානොත්තරයාගේ ක්ලේශ ප්‍රහාණිය සෙස්සන්ගේ ක්ලේශ ප්රහාණියට වඩා සාතිශය වේ. ශ්‍රද්ධා විමුක්තයහට වඩා දෘෂ්ටිප්රාප්තයා ගේ ක්ලේශ ප්‍රහාණිය මෙනි. එහෙයින් නිමීත්ත පහළ වූ ක්ෂණයෙහිම අඞ්ග ප්රාදුර්භාවය වන හෙයින් ඇසිල්ලෙකින්ම ප්රතිපක්ෂ ධර්මයන් අතුරුදහන් කරන්නේ යයි ද සන්සිඳුවන්නේ යයි ද කියන ලදී. ශාසනිකයන්ගේ ධ්‍යාන භාවනාව බොහෝසෙයින් ම නිබ්බේධභාගී ය. බුදුරජාණන් වහන්සේට වනාහි එකාන්තයෙන් ම නිබ්බේධභාගීය වේ. මේ ආනාපාන සති කමටහන වඩා සියලු සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා සම්‍යක් සම්බොධියට පැමිණෙති. තවද මේ කමටහන වඩන යෝගි තෙම අනුක්රමයෙන් ආර්‍ය්‍ය මාර්ගයාගේ වෘද්ධියට පැමිණියේ කෙලෙසුන් සමුච්ඡේදය කෙරෙයි, සන්සිඳුවයි.