අභිධර්මාර්ථ ප්‍රදීපිකා

තෘතීය චතුෂ්කය

  1. චිත්ත පටිසංවෙදි අස්ස සිස්සාමීති සික්ඛති චිත්ත පටිසංවෙදි පස්ස සිස්සාමීති සික්ඛති
  2. අභිප්පමොදයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති අභිප්පමොදයං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති.
  3. සමාදහං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති සමාදහං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති.
  4. විමොචයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති විමොචයං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති.

මෙහි සාමාන්‍ය අර්ථය නම්:-

  1. සිත මනාකොට දනිමින් ප්‍රකට කර ගනිමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය. සිත මනාකොට දනිමින්, ප්‍රකට කර ගනිමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය.
  2. සිත අභිප්‍රමොද කරමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය. සිත අභිප්‍රමොද කරමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය.
  3. සිත අරමුණෙහි සමකොට පිහිටුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය. සිත අරමුණෙහි සමකොට පිහිටුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය.
  4. සිත නීවරණ ධ්‍යානාඞ්ග ආදියෙන් මුදමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය. සිත නීවරණ ධ්‍යානාඞ්ග ආදියෙන් මුදමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය.

මේ තෘතීය චතුෂ්කය චිත්තානුපස්සනා වශයෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

  1. සිත මනාකොට දනිමින්, ප්‍රකට කර ගනිමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය. සිත මනාකොට දනිමින් ප්‍රකට කර ගනිමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය. මෙහි චිත්ත නම් සතර ධ්‍යාන චිත්තයෝ ය. යෝගාවචර තෙම ප්‍රථම, ද්විතීය, චතුෂ්කයන්ගේ වශයෙන් ආනාපාන සතිය වඩා කායසංස්කාරයන් හා චිත්තසංස්කාරයන් ද සංසිඳුවා ගෙන, ඉක්බිති එසේ කාය-චිත්තසංස්කාරයන් සංසිඳුවා ගැනීමට උපකාර වූ ධ්‍යාන චිත්තයන් ද මනාකොට දැන ආශ්වාස ප්‍රශ්වාස කරමින් හික්මෙන්නේ ය.
  2. සිත අභිප්‍රමොද කරමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය. සිත අභිප්‍රමොද කරමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය.

යෝගාවචර තෙම ධ්‍යාන චිත්තය මනාකොට දැන ඒ ධ්‍යාන චිත්ත සම්ප්‍රයුක්ත ප්‍රීතිසම්බොධ්‍යාඞ්ග වූ ධ්‍යාන ප්‍රීතියෙන් සතුටු වන්නේ හාත්පසින් සතුටු වන්නේ නොහොත් ප්‍රීතිය අරමුණු කොට ඇති විදර්ශනා චිත්තය එම ආලම්බන වූ ප්‍රීතිය විසින් සතුටු කරමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය. මේ අභිප්‍රමොදය, සමාධි වශයෙන් ද, විදර්ශනා වශයෙන් දැයි දෙයාකාරයෙන් ම සිදුවේ. ප්‍රීතිසහගත වූ ප්‍රථම, ද්විතිය යන ධ්‍යාන ද්වයට සමවදනා කෙණෙහි ම තත්සම්ප්‍රයුක්ත ප්‍රීතියෙන් සිත සතුටු කිරීම සමාධි වශයෙන් අභිප්‍රමොද කිරීම නම් වේ. ඒ ප්‍රීති සහගත ධ්‍යානද්වයට සමවැද එයින් නැගී ධ්‍යාන සම්ප්‍රයුක්ත ප්‍රීතිය ක්‍ෂය, ව්‍යය වශයෙන් සම්මර්‍ශනය කිරීම විදර්‍ශනා වශයෙන් සිත අභිප්‍රමොද කිරීම නම් වේ. මෙසේ දෙයාකාරයෙන් සිත අභිප්‍රමොදය කරමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය.

3. සිත අරමුණෙහි සමකොට පිහිටුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය.

සිත අරමුණෙහි සමකොට පිහිටුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය.

සිත සමාහිත කරගැනීම හෙවත් අරමුණෙහි සමකොට පිහිටුවා ගැනීම සමාධි වශයෙන් හා විදර්‍ශනා වශයෙන් දැයි යන දෙයාකාරයෙන් ම සිදු වේ. ප්‍රථම ධ්‍යානාදීන්ගේ වශයෙන් අරමුණෙහි සිත සමකොට තබන්නේ නොහොත් මදකුදු ලීන පක්‍ෂයට ද, උඩච්ච පක්‍ෂයට ද නොගොස්, අඩුවැඩි නොව, ඉන්‍ද්‍රිය සමත්ත්‍වයට හෙවත් ඉන්‍ද්‍රියයන්ගේ සමබවට පැමිණීමෙන් විසම නොව, සමව සිත පවත්වා ගැනීම සමාධි වශයෙන් සමාහිත කරගැනීම නම් වේ. ඒ ධ්‍යානයන්ට සමවැද එයින් නැගී ධ්‍යාන සම්ප්‍රයුක්ත වූ ප්‍රීතිය, ක්‍ෂය, ව්‍යය වශයෙන් සම්මර්‍ශනය කරණුවහට විදර්‍ශනාක්‍ෂණයෙහි දී අනිත්‍යාදී ලක්‍ෂණ ප්‍රතිවෙධ කිරීමෙන් ක්‍ෂණික සමාධිය උපදී. මෙසේ උපන්නාවූ ක්‍ෂණික සමාධි වශයෙන් ද අරමුණෙහි සිත සමකොට තබන්නේ විදර්‍ශනා වශයෙන් සිත අරමුණෙහි සමකොට පිහිටුවා ගැනීම නම් වේ. මෙසේ ද යෝගාවචර තෙම අරමුණෙහි මනාකොට සිත පිහිටුවමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය.

  1. සිත නීවරණ ධ්‍යානාඞ්ගාදියෙන් මුදමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය.

සිත නීවරණ ධ්‍යානාඞ්ගාදියෙන් මුදමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය.

යෝගාවචර තෙම ප්‍රථම ධ්‍යානයට සමවැදීමේදී සිත විෂ්කම්භන විමුක්ති වශයෙන් නීවරණයන් කෙරෙන් මිදෙන්නේ, වෙන්කරන්නේ, වෙසෙසින් වෙන් කරන්නේ, නීවරණයන් දුරු කරන්නේ ය. ද්විතිය ධ්‍යානයෙන් සිත විතක්ක - විචාරයන් කෙරෙන් මුදන්නේ ය. තෘතියධ්‍යානයෙන් සිත ප්‍රීතිය කෙරෙන් මුදන්නේ ය. චතුර්‍ත්‍ථ ධ්‍යානයෙන් සුඛ - දුක්ඛයන් කෙරෙන් සිත මුදන්නේ ය, වෙසෙසින් මුදන්නේ ය. තවද ඒ ධ්‍යානයන්ට සමවැද, එයින් නැගී ධ්‍යානසම්ප්‍රයුක්ත චිත්තය ක්‍ෂය, ව්‍යය වශයෙන් සම්මර්ශනය කරන කල්හි ඒ යෝගී තෙම අනිත්‍යතාවයාගේ කෙළවර වූ භඞ්ගය දක්නා භඞ්ගානුපස්සනා ක්‍ෂණයෙහි චිත්තමුඛයෙන් සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් දකී. මෙසේ හෙතෙම ත්‍රෛභූමික ධර්‍මයන්ගේ අනිත්‍යතාවය දක්නා අනිත්‍යානුපස්සනාවෙන් ප්‍රත්‍යසමුප්පන්න ධර්‍මයන් කෙරෙහි නිත්‍යයහ, ශාශ්වතයහ යි පැවති මිථ්‍යා සංඥාවෙන් හෙවත් මිථ්‍යා දෘෂ්ටියෙන් සිත මුදාගන්නේ ය. එසේ ම දුක්ඛානුපස්සනායෙන් සුඛසංඥායෙන් ද, අනත්තානුපස්ස- නායෙන් ආත්ම සංඥායෙන් ද, සංස්කාරයන් කෙරෙහි නිර්වේදකාරයෙන් නිබ්බිදානුපස්සනායෙන් නන්‍දි නම් වූ සප්‍රීතික තෘෂ්ණායෙන් ද, සංස්කාරයන් කෙරෙහි විරජ්ජනා කාරයෙන් පැවති විරාගානුපස්සනායෙන් රාගයා කෙරෙන් ද, සංස්කාරයන්ගේ නිරෝධය බලන්නා වූ නිරොධානුපස්සනායෙන් සමුදයෙන් ද, පටිනිස්සජ්ජනාකාරයෙන් පවත්නා වූ පටිනිස්සග්ගානුපස්සනායෙන් ආදානයෙන් හෙවත් අනිත්‍යාදී ග්‍රහණයෙන් හෝ ප්‍රතිසන්‍ධිග්‍රහණයෙන් හෝ සිත මුදමින් ආශ්වාස ප්‍රශ්වාස කරමින් හික්මෙන්නේ ය. මෙසේ හෙයින් මේ තෘතිය චතුෂ්කය චිත්තානු පස්සනා වශයෙන් දක් වන ලද බව දත යුතු.