ආනාපාන සතිය වඩන පිළිවෙළ
සතර අනුපස්සනාවන් කෙරෙහි සතර චතුස්කයන්ගේ වශයෙන් මෙසේ සොළොස් තැනක් හෙවත් සොළොස් අවකාශයක් ඇති මේ ආනාපාන සති කර්මස්ථාන භාවනාව සමෘද්ධවන්නේ අන්‍ය තීර්ත්ථකයන්ගේ නා නා ප්‍රකාර වාද ලබ්ධීන් පිළිනොගත් මේ බුද්ධ ශාසනයට ඇතුළත් වූ සම්පූර්ණ ශ්‍රමණ කරණ ධර්මයන් ඇත්තාවූ භික්ෂුවට ය. ආනාපාන සති කර්මස්ථානය වඩනු කැමති ඒ භික්ෂුව විසින් පළමුකොට ආනාපාන සති සමාධි භාවනාවට අනුරූප වූ අරණ්‍ය සේනාසනයක් හෝ වෘක්ෂමූල සෙනසුනක් හෝ ශූන්‍යාගාර සෙනසුනක් හෝ සොයාගත යුතු. බොහෝ කලක් රූපාදී අරමුණෙහි විසුරුණු සිත ආනාපාන සති සමාධි අරමුණට නො කැමැතිවෙයි. කුළුගොන් යෙදූ රථයක් මෙන් නොමගටම දුවයි. යම්සේ ගොපලු තෙම, කුළුදෙනගේ කිරි සියල්ලම බී වැඩුණු දුර්දම වූ හෙවත් නොදැමුණු කුළුවසු පැටවා, දමනය කරණු කැමතිවූයේ, දෙන කෙරෙන් පහකොට එකත්පස්හි මහත් ස්ථම්භයක් හිඳුවා ඒ ස්ථම්භයෙහි යොතකින් බැඳ තබන්නේ ය. ඒ වස්සා ද ඔබින් ඔබ සැලී පලායනු නොහැකිවූයේ තමා බැඳිසිටි ඒ ටැඹ මුලම හිඳිනේ හෝ හෝනේ හෝ වේ. එපරිද්දෙන් ම මේ මහණහු විසින් ද බොහෝ කලක් රූපාරම්මණාදීන් නිසා උපදනා වූ ආස්වාද සඞ්ඛ්‍යාත රසපානයෙන් වැඩුණු නොදැමුණු සිත්හු දමනය කරනු කැමැත්තහු විසින් රූපාදී අරමුණෙන් පහකොට අරණ්‍යයට හෝ සූන්‍යාගාරයට හෝ ප්‍රවේශ කොට එහි ආශ්වාස ප්‍රශ්වාස නැමැති ස්ථම්භයෙහි, ස්මෘති නමැති යොතින් බැන්ද යුතු. එසේ බැඳි කල්හි ඒ යෝගීහුගේ ඒ සිත ඔබින් ඔබ සැලී ද, ප්‍රව්‍රජ්‍යාවෙන් පූර්වයෙහි අනාදිමත් සසර පුරුදු අරමුණු නො ලබන්නේ සිහි නමැති යොත සිඳගෙන පලා යාමට පොහොසත් නොවූයේ එම ආශ්වාස ප්‍රශ්වාස ආලම්බනයට උපචාර, අර්පනා වශයෙන් එළඹ හිඳුනේ වෙයි, හෝනේ ද වෙයි.
පූර්ව වූ සියළු බුදුවරයන් වහන්සේලාගේ ද, සමහර ප්රත්යෙක බුද්ධ, බුද්ධශ්‍රාවකයන් වහන්සේලාගේ ද විශේෂාධි ගමයට හා අන්‍ය කර්මස්ථානයෙන් අධිගත විශේෂ ඇත්තවුන්ගේ දිට්ඨධම්ම සුඛවිහාරයට ද කාරණ වූ මේ ආනාපාන සති කර්මස්ථානය ස්ත්‍රී, පුරුෂ, හස්ති, අශ්වාදීන්ගේ ශබ්දයෙන් ආකුල වූ ග්‍රාමාන්තය නොහැර වැඩීමට පහසු නොවෙයි. සෙසු කමටහන්, අරමුණු ප්‍රකට බැවින් ග්‍රාමාන්ත සේනාසනයන්හිද ආලම්බන බලයෙන් ම වැඩියහැකි වේ. මේ කර්මස්ථානාලම්බනය සියුම් බැවින් වැඩීමට නොහැකි වේ. එහෙයින් ග්‍රාමය ඇසුරු නොකළ ආරණ්‍යයෙහිම වැඩීමට පහසු වේ. යෝගාවචරයා විසින් මේ කමටහන පරිග්‍රහ කොට ආනාපාන චතුර්ථ, ධ්‍යානය නිපදවා එම ධ්‍යානය පාදක කොට අග්‍ර ඵලය වූ අර්හත්ත්වයට පැමිණෙනු පිණිස අගාමක අරණ්‍ය සෙනසුන සුදුසු බව භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. භාග්‍යවතුන් වහන්සේ යෝගීහට නිවාසස්ථානෝපදේශක බැවින් වස්තුවිද්යාචාර්ය්යයකු වැනි ය. වස්තුවිද්යාචාර්ය්ය තෙම නුවරට සුදුසු භූමිය දැක, මනාකොට ම පරීක්ෂාකොට මෙහි නුවරක් තනවයි උපදේශ කෙරේ ද, සුවසේ නුවර නිමි කල්හි, රජකුලයෙන් මහත් සත්කාර ලබා ද, එපරිද්දෙන් ම යෝගාවචරයාහට සුදුසු සෙනසුන් පරීක්ෂා කොට මෙහි කමටහන් යෙදිය යුතුය යි උපදේශ කෙරෙයි. ඉක්බිති ඒ කමටහනෙහි යෙදුණු යෝගීහු විසින් ක්‍රමයෙන් අර්හත්ත්වයට පැමිණි කල්හි මෙසේ භාවනා කරනුවහට විශේෂ ප්රතිලාභ වේ යයි දැන කී බැවින් ඒකාන්තයෙන් ම භාග්‍යවත් සම්බුද්ධ යයි මහත් සත්කාර ලැබෙයි. තවද මේ යෝගාවචර තෙම ආරණ්‍යයෙහි එකලාව වැස අභිමතාර්ථය සිදුකරගන්නා හෙයින් දිවියෙකු වැනිය. මහ දිවි රජතෙම වනයෙහි තෘණගහනයක් හෝ පර්වත ගහනයක් හෝ නිසා සැඟවී සිට වල් මී, ගොන්, සූකර ආදී වූ මෘගයන් අල්වාගනී ද, එ පරිද්දෙන් ම මේ මහණ ද අරණ්‍ය, වෘක්ෂමූලාදියෙහි කමටහන් හි යෙදෙන්නේ භාවනා ක්‍රමයෙන් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි අර්හත් යනසතර මඟ ද, ආර්‍ය්‍ය ඵල ද ලබාගණියි දත යුතු. මේ කියන ලද්දේ විවේක සුඛයෙන් යුත් අරණ්‍ය සේනාසනයයි. මේ භාවනාවට සුදුසු අන්‍ය සෙනසුනක් නම් වෘක්ෂමූලයයි. ජනශූන්‍ය තැනෙක්හි පිහිටි විවේකය ඇති වෘක්ෂමූලය ද ආනාපානසති සමාධි වැඩීමට සුදුසු ය. අරණ්‍යය හා වෘක්ෂමූලය මෙන්ම ශූන්‍යාගාරය ද මේ භාවනාවට සුදුසු සෙනසුනකි. ශූන්‍යාගාරය නම් ජනශූන්‍ය විවේක ගෘහයයි. අරණ්‍ය, වෘක්ෂමූල හැර සෙසු පර්වත කුහර, ගිරිගුහා, සුසාන, වන පත්ථ, අබ්භෝකාස, පලාලපුඤ්ජ යන සප්තවිධ සේනාසන ශූන්‍යාගාර වශයෙන් සලකනු ලැබේ.
මෙසේ ඒ භික්ෂූහට ග්රීෂ්මාදි ඍතු ත්‍රයට අනුකූල වූ ද, ශ්ලෙෂ්මාදි ධාතු ත්‍රයට හා මොහාදී චරිතත්රයට අනුකූල වූ ද සෙනසුන් දක්වන ලදී. ග්‍රීෂ්ම කාලයෙහි ශීතල බැවින් අරණ්‍ය සෙනසුන අනුකූල වේ. ශරත් කාලයෙහි විවරණ බැවින් වෘක්ෂමූල සෙනසුන අනුකූල වේ. වැසිකල්හි වැසිවරණ බැවින් ශූන්‍යාගාරය අනුකූල වේ. ප්‍රකෘතියෙන් ම සෙම අධිකයාහට අරණ්‍යය ද, පිත අධිකයාහට වෘක්ෂ මූලය ද, වාතය අධිකයාහට ශුන්‍යාගාරය ද අනුකූල වෙති. එසේම මොහ චරිතයාහට අරණ්‍යය ද, ද්වේෂ චරිතයාහට වෘක්ෂමූලය ද, රාග චරිතයාහට ශූන්‍යාගාරය ද අනුකූල වෙති. ඉක්බිති යෝගාවචර තෙම මෙසේ ලබාගත් සෙනසුනක, හිඳීම්, සිටීම්, සයනයකිරීම්, සක්මන් කිරීම් යන ඉරියව් අතුරෙන් හිඳීම භාවනාවට සුදුසු බව සළකා, හිඳ භාවනා කිරීමට පිළියෙල වියයුතු. සයනය කුසිත පක්ෂයෙහි ද, සිටීම හා සක්මන් කිරීම උඩච්ච පක්ෂයෙහි ද, වැටෙන බැවින් ඒ ඉරියව් තුන හැර අලීනවූ ද, අනෞද්ධත්යවූ ද හිඳීම සුදුසු බව දක්වන ලදී. මෙසේ හිඳින්නාවූ යෝගාවචර තෙම පළඟ බැඳ උඩුකය ඍජු කොට තබා හිඳ පරිමුඛ කොට ස්මෘතිය තැබීමෙන් අරමුණ මෙනෙහි කළයුතු. පළඟ බැඳ හිඳීමෙන් දැඩි බව ද, උපරිම කය ඍජුකොට තැබීමෙන් ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ පැවැත්මට සුව බව ද, පරිමුඛ කොට ස්මෘතිය තිබීමෙන් ආලම්බනයාගේ පරිග්‍රහයට උපාය ද දක්වන ලදී. හාත්පසින් ඌරුබද්ධාසනය බැඳ හෙවත් එරම්ණිය ගොතා උඩුකය ඍජුකොට හිඳින කල්හි අටළොස් පිටකටුයෙහි ඇට කෙළවර එකක්මතු එකක් තිබෙනාසේ පිළිවෙලින් පිහිටා සිටී. එවිට සම්මස් නහරාදීහු නොනැමෙති. ඒ සම් මස් නහාරාදීන්ගේ නැමීම හේතු කොට ගෙන කෙණෙහි කෙණෙහි යම් වේදනාවක් උපදිනු ලබන්නේ නම් මේ හිඳීමෙන් ඒ වේදනාවෝ හට නොගනිත්. ඒ වේදනාවන් නූපදනා කල්හි සිත එකඟ වේ. කමටහන පහ නො වේ. කර්මස්ථාන වීථිය වෘද්ධියට ද, මහත් බවට ද පැමිණෙයි.
ඒ යෝගාවචර තෙමේ යට කී ක්‍රමයෙන් හිඳ, ස්මෘතිය ද එළවා ඒ ස්මෘතිය නොහරිමින්, සිහියෙන් යුක්තව ම ආශ්වාස කෙරේ. මොහුගේ ස්මෘති රහිත වූ කිසි ආශ්වාස ප්‍රවෘත්තියක් නැත්තේ ය. ප්‍රශ්වාස කරන්නේ ද එසේම ස්මෘතිය නොහරිමින් ම, සිහියෙන් යුක්තව ම ප්‍රශ්වාස කරන්නේ ය. එහෙයින් ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙහි දී සතොකාරීවම ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ යයි කියනු ලැබේ.
විනය අටුවායෙහි ආශ්වාස නම් පිට වන වාතය යයි ද ප්‍රශ්වාසය නම් ඇතුළ් වන වාතය යයි ද කියන ලදී. සියලුම ගර්භසෙය්යක සත්ත්වයෝ මව් කුසින් බිහිවන කල්හි, පළමුකොට ඇතුළත තුබුණු වාතය පිටතට නික්මේ. පසුව පිටත වාතය සියුම් වූ රජස් ගෙන ඇතුළට පිවිස තල්ලේ හැපී නවතී. සූත්‍ර අටුවායෙහි වනාහි ඇතුළට පිවිසෙන වාතය ආශ්වාසය යයි ද පිටත නික්මෙන වාතය ප්‍රශ්වාසය යයි ද දක්වන ලදී. මේ භාවනා ක්‍රමයේදී සූත්‍ර අටුවා අනුව සැලකීම වටී.
සොළසාකාර වූ හෙවත් චතුෂ්ක සතරකින් යුක්තවූ මේ ආනාපානසති භාවනා ක්රමයෙහි පළමුවන චතුෂ්කය විස්තර කරනු ලැබේ.