සප්තවිධ උද්ග්‍රහ කෞශල්යයෝ නම්:-
- වචනයෙන්
- සිතින්
- වර්ණ වශයෙන්
- සණ්ඨාන වශයෙන්
- දිසා වශයෙන්
- අවකාශ වශයෙන්
- පරිච්ඡේද වශයෙන්
යන මේ සත් පරිද්දෙන් කමටහන ඉගෙනීමයි.
1. වචනයෙන් - මේ ප්‍රතික්කුල මනසිකාර කර්මස්ථාන යෙහි වනාහි යමෙක් ත්‍රිපිටකධර වූයේ නමුදු ඔහු විසින් පළමුව වචනයෙන් කීමෙන් ම සජ්ඣායනා කළ යුතු. ඇතමෙකුට වනාහි වචනයෙන් සජ්ඣායනා කරත්ම කමටහන පහළ වේ. මලයවාසී මහාදෙව නම් තෙරුන් සමීපයෙන්, තෙරහු දෙනමක් කමටහන් ඉල්වන ලදුව සාර මසක් මෙයම “කෙසා, ලොමා, නඛා, දන්තා, තචො” යනාදී වශයෙන් පාළිය සජ්ඣායනා කරවයි අවසර ලැබ, ගෞරවයෙන් කමටහන ගෙන, සාරමස සජ්ඣායනා කරන්නාහුම සොවාන් වූහ. එබැවින් දෙතිස් ආකාර පටික්කුල මනසිකාරය වචනයෙන් සජ්ඣායනා කරන්නාහු විසින්, එය තචපඤ්චකාදී වශයෙන් බෙදා, අනුලොම ප්‍රතිලොම වශයෙන් සජ්ඣායනා කටයුතු. එහි පිළිවෙල මෙසේ යි:-
පළමුකොට “කෙසා, ලොමා, නඛා, දන්තා, තචො” යයි අනුලොම වශයෙන් ද, නැවත, “තචො, දන්තා, නඛා, ලොමා, කෙසා”, යයි ප්‍රතිලොම වශයෙන් ද කියයුතු. මෙය මෙසේ කියා ප්‍රගුණ වූ කල්හි වක්කපඤ්චකය ඉගෙන එපරිද්දෙන් ම සජ්ඣායනා කට යුතු.
වක්ක පඤ්චකය- “මංසං, නහාරු, අට්ඨි, අට්ඨිමිඤ්ජා, වක්කං”, යයි අනුලොම වශයෙන් ද, “වක්කං, අට්ඨිමිඤ්ජා, අට්ඨි, නහාරු, මංසං”, යයි ප්‍රතිලොම වශයෙන් ද කිවයුතු. මේ වක්ක පඤ්චකය ප්‍රතිලොම වශයෙන් කියන කල්හි තව පඤ්චකය ද එයට සම්බන්ධ කොට කීම වඩා යෝග්‍ය වේ. එනම්: වක්කං, අට්ඨිමිඤ්ජා, අට්ඨි, නහාරු, මංසං, තචො, දන්තා, නඛා, ලොමා, කෙසා” කියායි.
එයට අනතුරුව, පප්ඵාස, පඤ්චකයද, “හදයං, යකනං, කිලොමකං, පිහකං, පප්ඵාසං”, යයි අනුලොම වශයෙන් කියා නැවත ප්‍රතිලොම වශයෙන් “පප්ඵාසං, පිහකං, කිලොමකං, යකනං, හදයං, වක්කං, අට්ඨිමිඤ්ජා, අට්ඨි, නහාරු, මංසං, තචො, දන්තා, නඛා, ලොමා, කෙසා”, යයි වචනයෙන් කියා ප්‍රගුණ කටයුතු.
ඉක්බිතිව මත්‍ථලුඞ්ග පඤ්චකය ද, අනුලොම වශයෙන් “අන්තං, අන්තගුණං, උදරියං, කරිසං, මත්ථලුඞ්ගං” යයි කියා නැවත ප්‍රතිලොම වශයෙන් “මත්ථලුඞ්ගං, කරිසං, උදරියං, අන්තගුණං, අන්තං, පප්ඵාසං, පිහකං, කිලොමකං, යකනං, හදයං, වක්කං, අට්ඨිමිඤ්ජා, අට්ඨි, නහාරු, මංසං, තචො, දන්තා, නඛා, ලොමා, කෙසා” යයි කියා ප්‍රගුණ කළ යුතු.
මෙසේ තව පඤ්චකය, වක්ක පඤ්චකය, පප්ඵාස පඤ්චය, මත්‍ථලුඞ්ග පඤ්චකය යන සතර පඤ්චක වශයෙන් විසි කොටස් සජ්ඣායනා කොට නැවත මෙද ඡක්කය හා මුත්ත ඡක්කය ද එපරිද්දෙන් ම පිළිවෙලින් සජ්ඣායනා කළ යුතු.
මෙදඡක්කය වනාහි, “පිත්තං, සෙම්හං, පුබ්බො, ලොහිතං, සෙදො, මෙදො”, යයි අනුලොම වශයෙන් ද, නැවත පටිලොම වශයෙන් “මෙදො, සෙදො, ලොහිතං, පුබ්බො, සෙම්හං, පිත්තං, මත්ථලුඞ්ගං; කරිසං, උදරියං, අන්තගුණං, අන්තං, පප්ඵාසං, පිහකං, කිලොමකං, යකනං, හදයං, වක්කං, අට්ඨිමිඤ්ජා අට්ඨි, නහාරු, මංසං, තචො, දන්තා, නඛා, ලොමා, කෙසා” යයි සජ්ඣායනා කොට ප්‍රගුණ කළ යුතු.
ඉක්බිතිව මුත්තඡක්කය ද, අස්සු, වසා, ඛෙලො, සිඞ්ඝාණිකා ලසිකා මුත්තං” යයි අනුලොම වශයෙන් කියා නැවත ප්‍රතිලොම වශයෙන් “මුත්තං, ලසිකා, සිඞ්ඝාණිකා, ඛෙලො, වසා, අස්සු, මෙදො, සෙදො, ලොහිතං, පුබ්බො, සෙම්හං, පිත්තං, මත්ථලුඞ්ගං, කරිසං, උදරියං, අන්තගුණං, අන්තං, පප්ඵාසං, පිහකං, කිලොමකං, යකනං, හදයං, වක්කං, අට්ඨිමිඤ්ජා, අට්ඨි, නහාරු, මංසං, තචො, දන්තා, නඛා, ලොමා, කෙසා”, යයි කියා ප්‍රගුණ කළ යුතු.
මෙසේ සජ්ඣායනා කරණ කල්හි කෙශාදී කොට්ඨාසයන්ගේ වර්ණ නිමිත්තය, සණ්ඨාන නිමිත්තය, දිසා නිමිත්තය, ඕකාස නිමිත්තය, පරිච්ඡෙද නිමිත්තය යනාදී වශයෙන් එකි එකී කොටස් මෙවැන්න යයි සළකා සජ්ඣායනා කටයුතු. මෙසේ කාල ශතසහස්රයකුදු වචනයෙන් සජ්ඣායනා කරත්ම කමටහන් පෙළ පුහුණු වෙයි. අන් අරමුණක සිත නොදුවයි. දෙතිස් කොටස් ප්‍රකට වෙයි.
2. සිතින් - වචනයෙන් දෙතිස් කොටස්හු සජ්ඣායනා කළාක්මෙන් සිතින් ද සිතිය යුතු. වචසින් කරණ සජ්ඣායනාව මනසින් කරණ සජ්ඣායනාවට උපකාරවේ. බොහෝ කලක් සිතින් කමටහන මෙනෙහි කරන්නාහට දෙතිස් කොට්ඨාසයන් මුල පටන් අග දක්වා කිසිතැනක නොපැකිළ නිතරම වැටහෙයි. මනසින් සජ්ඣායනා කිරීම අශුභ ලක්ෂණ ප්‍රතිවෙධයට හෙවත් පිළිකුල් ස්වභාවය වටහා ගැනීමට උපකාර වේ.
- වර්ණ වශයෙන් - කෙස්, ලොම්, නිය, දත් ආදීන්ගේ නීල, රක්ත, ස්වෙතාදි වර්ණ වශයෙන් ද මේ දෙතිස් කොට්ඨාසයන් ව්‍යවස්ථා කොට මෙනෙහි කිරීම වර්ණ වශයෙන් උද්ග්‍රහ කෞශල්‍යය වඩාගැනීම නම් වේ.
- සණ්ඨාන වශයෙන් - කෙසාදීන්ගේ සටහන් ව්‍යවස්ථා කොට හෙවත් නියම කොට දෙතිස් කොට්ඨාශයන් මෙනෙහි කිරීම සණ්ඨාන වශයෙන් උද්ග්‍රහ කෞශල්‍යය ඇතිකර ගැනීම වේ.
- දිසා වශයෙන් - මේ සිරුරෙහි නාභියෙන් උඩ කොටස උපරිම දිසාය හෙවත් මතු දිසාවය. එයින් යට කොටස හෙට්ඨිම දිසාය හෙවත් යට දිසාවය. එහෙයින් දෙතිස් කොට්ඨාසයන් අතුරෙන් මේ මේ කොටස් මේ මේ දිශාවන්හිය යනාදි වශයෙන් නියම කොට, පිරිසිඳ මෙනෙහි කිරීම දිසා වශයෙන් ව්‍යවස්ථා කිරීම නම් වේ.
- අවකාස වශයෙන් - දෙතිස් කොටසුන් අතුරෙන් මේ මේ කොටස් මේ මේ අවකාසයෙහිය යනාදී වශයෙන් සලකා ව්‍යවස්ථා කිරීම අවකාස වශයෙන් මෙනෙහි කිරීම නම් වේ.
- පරිච්ඡේද වශයෙන් - පරිච්ඡේදය දෙවැදෑරුම් වේ. එනම්, සභාග පරිච්ඡේදය සහ විසභාග පරිච්ඡේදය යි. සභාග පරිච්ඡේදය නම් තම තමාගේ කොටසින් ම වන පරිච්ඡේද යයි. අන් කොටසකින් වන පරිච්ඡේදය විසභාග පරිච්ඡේද නම් වේ. මේ කොටස, යටද, මත්තෙහි ද, සරසද, මෙනම් දෙයකින් පිරිසිඳිනා ලද්දේ යයි සැලකීම සභාග වශයෙන් පරිච්ඡේද කිරීම ය. කේශයෝ නම් ලොම් නොවෙති. ලෝමයෝ ද කෙස් නොවෙති, යනාදී වශයෙන් ඒ ඒ කොටස්හු අන් කොටසින් අමිශ්‍ර බැව් හෙවත් නොමුසු බැව් වශයෙන් මෙනෙහි කිරීම විසභාග වශයෙන් දෙතිස් කොට්ඨාශයන්ගේ උද්ග්‍රහ කෞශල්‍යය ලබා ගැනීම නම් වේ.
මෙසේ ආචාර්‍ය්‍යයන් වහන්සේ විසින් වචනයෙන් ද, සිතින් ද, වර්ණ වශයෙන් ද, සණ්ඨාන වශයෙන් ද, දිසා වශයෙන් ද, අවකාස වශයෙන් ද, පරිච්ඡේද වශයෙන් ද මේ දෙතිස් කොට්ඨාසයන් මනාකොට කියාදී, නැවත ද අසුවල් සූත්‍රයෙහි මේ දෙතිස් කොටස්හු ම පිළිකුල් වශයෙන් ද, අසුවල් සූත්‍රයෙහි ධාතු වශයෙන් ද යනාදී ක්‍රමයට භාග්‍යවතුන් වහන්සේ විසින් දක්වන ලද බව කියාදිය යුතු. එනම් මහා සතිපට්ඨාන සූත්‍රයෙහි මේ දෙතිස් ආකාර කමටහන පිළිකුල් වශයෙන් දේශනා කරණ ලදී. මහා හත්ථිපදෝපම සූත්‍රයෙහි ද, රාහුලොවාද සූත්‍රයෙහි ද, පුක්කුසාති සූත්‍රය හා විභඞ්ගප්‍රකරණය සහ ධාතු විභඞ්ග පාලියෙහි ද ධාතු වශයෙන් වදාරණ ලදී. කායගතාසති සූත්‍රයෙහි වනාහි යමක්හට කේශාදීහු වර්ණ වශයෙන් වැටහුණුහු නම් ඒ පුද්ගලයා සඳහා කේසාදීන් කෙරෙහි වර්ණ කසිණාලම්බනික වූ සතර ධ්‍යානයන්ගේ වශයෙන් බෙදා දක්වන ලදී. එම සූත්‍රයෙහි ධාතු වශයෙන් කියන ලද්දේ විදර්ශනා කර්මස්ථානය වේ. පිළිකුල් වශයෙන් වදාරණ ලද්දේ ශමථ කර්මස්ථානය නම් වේ.
මෙසේ සත් පරිද්දෙකින් උද්ග්‍රහ කෞශල්‍යය කියාදී ඉක්බිතිව දශවිධ මනස්කාර කෞශල්‍යය ද කියා දියයුතු. දශවිධ මනස්කාර කෞශල්යයෝ නම්:-
- අනුපූර්ව වශයෙන්
- නාතිශීඝ්ර වශයෙන්
- නාතිසනික වශයෙන්
- වික්ෂේප දුරුකිරීම වශයෙන්
- ප්රඥප්ති ඉක්මීම වශයෙන්
- අනුපූර්වමුඤ්චන වශයෙන්
- අර්පණා වශයෙන්
- අධිචිත්තසූත්ර වශයෙන්
- සීතිභාව සූත්‍ර වශයෙන්
- බොජ්ඣඞ්ග කොසල්ල සූත්‍ර වශයෙන් ය.
- අනුපූර්ව වශයෙන් - මේ කමටහන පුහුණු කිරීමට ආරම්භ කළ තැන් පටන් කෙසාදී කොට්ඨාසයන් පිළිවෙලින්, මැදින් එකකුදු නොහැර අනුපූර්ව වශයෙන් මෙනෙහි කළ යුතු. දෙතිස් පෙත්තක් ඇති හිණ මගින් නගින්නා වූ අදක්ෂ පුද්ගල තෙම මැදින් එකක් හැර හැර නගින්නේ නම්, වහා කලාන්තවී වැටෙන්නේ ද, එපරිද්දෙන් ම එක් කොටසකුදු මැදින් හැර සජ්ඣායනා කරන්නාවූ යෝගාවචර තෙමේ ද භාවනා සම්පත්ති වශයෙන් පැමිණිය යුතුවූ භාවනාස්වාදයට නොපැමිණීමෙන්, කලාන්ත සිත් ඇත්තේ, භාවනාවෙන් පිරිහී ලක්ෂණ ප්‍රතිවේධයට නොපැමිණෙන්නේය.
- නාතිශීඝ්ර වශයෙන් - එසේ දෙතිස් ආකාර කමටහන පිළිවෙලින් සජ්ඣායනා කරන්නාවූ පුද්ගලයා විසින් ඉතා ඉක්මන්ව මෙනෙහි නොකට යුතු. යම් සේ තුන් යොදුන් මග පිළිපැද යා යුතු නො යා යුතු මග නොසළකා ශීඝ්‍ර ගමනින් සියක් වරක් හෝ ගමනාගමනය කරන පුරුෂයා හට ද, යා යුතු මග අවසන් වූවත් යායුතු නොයා යුතු මග විචාරාම යා යුතු වේ ද, එපරිද්දෙන් ම දෙතිස් ආකාරයෙන් සීඝ්‍රව මෙනෙහි කරන්නාහට කෙළවරට පැමිණියේ වී නමුත් කමටහන විභූත ව නොවැටහෙන්නේ ය. එහෙයින් දෙතිස් කොටසුන් සජ්ඣායනා කරන කල්හි නාතිශීඝ්ර වශයෙන් මෙනෙහි කළ යුතු.
- නාතිසනික වශයෙන් - නාතිශීඝ්ර වශයෙන් දෙතිස් කොටසුන් යම්සේ මෙනෙහි නොකළ යුතු ද, එපරිද්දෙන් ම ඉතා සෙමෙනුදු මෙනෙහි කටයුතු නොවේ. තුන්යොදුන් මග යනු කැමති පුරුෂයාහට, අතරමග පර්වත තටාකාදියෙහි විසිතුරු බලමින් යෙත් නම්, ඒමග ගෙවා යාමට දෙතුන් දිනක් හෝ ගතවන්නේය. එපරිද්දෙන් ම දෙතිස් කොටසුන් සෙමෙන් මෙනෙහි කරන්නාහට කර්‍මස්ථානයාගේ පර්ය්යව සානයට යාමක් නොවන්නේ ය. පිළිකුල් වශයෙන් වැටහීමක් නොවේ. කමටහන කෙළවරට නොයන බැවින්ම විශේෂාධිගමයට ද ප්‍රත්‍යය නොවන්නේ ය.
- වික්ෂේප දුරුකිරීම් වශයෙන් - භාවනා කර්මස්ථානය හැර පිටත රූපාදී අරමුණෙහි සිත නොහෙලිය යුතු. එක් පියවරකට සීමාවූ හෙවත් ඒකපදික ප්‍රපාත මාර්ගයට පිළිපන් පුරුෂයා තබන පය නොසළකා ඔබිමොබ බලමින් යන්නේ, පියවර වැරදිව තැබීමෙන් ප්‍රපාතයෙන් හෙන්නේය, එපරිද්දෙන් ම පිටත වික්ෂේපය ඇති කල්හි කමටහන පිරිහෙයි, නැසෙයි. එහෙයින් වික්ෂේප දුරු කිරීම් වශයෙන් කමටහන මෙනෙහි කළ යුතු.
- ප්රඥප්ති ඉක්මවීම් වශයෙන් - කෙශය ලොමය යනාදී වශයෙන් පණවන ලද යම් ප්රඥප්තියක් ඇද්ද, ඒ කෙසාදී ප්රඥප්තිය ප්‍රතික්කූල මනසිකාරයෙන් උගුළුවා පිළිකුල් යයි සිත තැබිය යුතු. ප්රඥප්තිය ඉක්මවූ බැවින් ම ඒ ඒ කොටස් පිළිකුල් වශයෙන් ම සිතට වැටහෙති. යම්සේ ජලය දුර්ලභ කාලයක මනුෂ්‍යයෝ අරණ්‍යයෙහි ළිඳක් දැක, එතැන තාල පත්‍රාදිය බැඳීමෙන් යම් සංඥාවක් හෙවත් ලකුණක් කොට, ඒ සළකුණෙන් අවුත් නහද්ද, පැන් බොද්ද, යම් කලෙක මිනිසුන්ගේ නිතර නිතර ගමනාගමනයෙන් ආගිය පාද පහළවේ ද, එකල්හි පූර්වයෙහිදී කළ සළකුණෙන් වැඩක් නොවේ ද, කැමති කැමති කෙණෙහි ගොස් නහන්නාහු ද, පැන් බොන්නාහු ද වෙති. එපරිද්දෙන් ම පූර්වභාගයෙහි කෙශය, ලොමය ආදී ප්රඥප්ති වශයෙන් මෙනෙහි කරන්නාහට පිළිකුල් බව පහළ වෙයි. පසුව භාවනාව වීථිප්රතිපන්න කළ කෙසය, ලොමය යන ප්රඥප්තිය ඉක්මවා ඒ ඒ කොටසුන්ගේ පිළිකුල් ආකාරයෙහි ම භාවනා සිත පිහිටුවිය යුතු. මේ උපමාවෙහි යෝගාවචර තෙම මිනිසුන් වැනිය. කෙසාදී ප්රඥප්තිය තල්පත් ආදියෙන් කළ සළකුණ වැනි ය. දෙතිස් කොට්ඨාශයෝ ලිඳෙහි පැන් වැනිය. යෝගාවචරයාගේ පූර්වභාගයෙහි කේසා, ලෝමා යනාදී ප්රඥප්ති වශයෙන් මෙනෙහි කිරීම, ඒ සළකුණෙන් ගොස් ලිඳෙහි පැන් නැහැම, බිම මෙනි. යෝගාවචරයාගේ මනස්කාර බලයෙන් ප්රඥප්තිය ඉක්ම පිළිකුල් ආකාරයෙහි සිත පිහිටුවා භාවනාවෙහි යෙදීම, නිතර හැසිරීමෙන් ලිඳට මග පහළ වූ කල තල්පත් සළකුණ අත්හැර පා ගමනින් සැදුනු මගින් මිනිසුන් පැමිණ නහන, පානය කරණ කෘත්‍යය වැනිය.
- අනුපූර්ව මුඤ්චන වශයෙන් - මේ දෙතිස් කොටසුන් අතුරෙන් නොවැටහෙන නොවැටහෙන කොටස් අත්හැර වැටහෙන කොටස ගෙණ නැවත නැවත මෙනෙහි කරන්නහු විසින් අර්පණා ඉපදවිය යුතු.
- අර්පණා වශයෙන් - කෙසාදී කොටස් අතුරෙන් එකි එකී කොටස්හි අර්පණා ප්රාප්තවීමය.
- අධිවිත්ත සූත්‍ර වශයෙන් ද,
- සීතිභාව සූත්‍ර වශයෙන් ද,
- බොජ්ඣඞ්ග කොසල්ල සූත්‍ර වශයෙන් ද මනස්කාර කෞශල්‍යය උපදවා ගත යුතු. මෙහි විස්තරය යට කියන ලද කායානුපස්සනා සතිපට්ඨාන විස්තරයෙන් බලා දත යුතු.
මෙසේ මේ සප්තවිධ උද්ග්‍රහ කෞශල්‍ය සඞ්ඛ්‍යාත විධි මනාකොට ඉගෙන, මේ දශවිධ වූ මනස්කාර කෞශල්‍යය සඞ්ඛ්‍යාත විධි මනාකොට සැළකීම් වශයෙන් නිශ්චය කොට ඒ යෝගාවචරයා විසින් කමටහන මනාකොට උගත යුතු. ඉදින් ඒ යෝගීහට ආචාරීන් සමග එක වෙහෙරම විසීම පහසුවී නම් මෙසේ විස්තර වශයෙන් නො කියවා, මතු මත්තෙහි කියවිය යුතු. අන් තැනක වසන්නේ නම් යට කියන ලද පරිදි විස්තර වශයෙන් කියවා කමටහන් පෙළ පුහුණු බවට පමුණුවන්නේ නැවත නැවත වචනයෙන් මනසින් පිරිවහා සියලු ගැටළු තැන් බිඳ, අර්ත්ථ ඉගෙන පඨවි කසිණ භාවනාවෙහි කියන ලද පිළිවෙලින් භාවනාවට නුසුදුසු සෙනසුන් හැර සුදුසු විහාරයක වාසය කරමින් දික් නිය කෙස් කැපීම් ආදී වශයෙන් කුඩා පළිබෝධ දුරු කොට පටික්කූල මනසිකාරයෙහි පරිකර්මය කටයුතු.
මේ යෝගාවචරයා විසින් පළමු කොට කේශයෙහි නිමිත්ත හෙවත් අශුභාකාරය ගත යුතු. කෙස් එකක් හෝ දෙකක් හෝ සිඳගෙන අත්ලෙහි තබා ගෙන පළමු කොට වර්ණය නියම කටයුතු. එසේම කෙස් කැපූ තැන්හි ද, ජලපාත්රයෙහි ද, යාගු පාත්‍රයෙහි ද කෙශයන් ඇත් නම් එයද බැලීම වටී. ඒ කෙශය කාළවර්ණ නම් කලු යයි ද, සෙවත වර්ණ නම් සුදු යයි ද, ඒ දෙකින් මිශ්‍ර නම් අධික වූ වර්ණය වශයෙන් ද මෙනෙහි කටයුතු. එපරිද්දෙන් ම තව පඤ්චකයෙහි දක්වන ලද ලොම්, නිය, දත් සහ සම ද බලන්නහු විසින් පළමු කොට එහි වර්ණ නිමිත්ත ගත යුතු. මෙසේ නිමිත්ත ගෙණ ඒ සියළු කොට්ඨාශයන් වර්ණ, සණ්ඨාන, දිසා, ඕකාස, පරිච්ඡේදයන්ගේ වශයෙන් නිශ්චය කොට, වර්ණය, සටහනය, ගන්ධය, නිශ්‍රය, අවකාශය යන මොවුන්ගේ වශයෙන් පස් ආකාරයකින් පිළිකුල් බව ව්‍යවස්ථා කටයුතු.
පළමු කොට කේශයෝ ප්‍රකෘති වර්ණයෙන් කලුය. අළුත් පෙනල ඇට පැහැ බඳු පැහැ ඇත්තාහ. සටහන් වශයෙන් දික්වූ වටවූ තුලා දන්ඩක් බඳු සටහන් ඇත්තාහ. දිසා වශයෙන් මතු දිසායෙහි හටගත්හ. අවකාශ වශයෙන් දෙපසින් දෙකන් සිළින්ද, ඉදිරිපසින් නළලෙන් ද පිටුපසින් ගලවළුයෙන් ද වට කරන ලදුව හිස් කබල වසා සිටි කෙශයන්ට අවකාශය. පරිච්ඡේද වශයෙන් කෙසයෝ හිසවසා සිටි සමෙහි වී අග පමණ වැද පිහිටියාවූ යට තමාගේ මූල තලයෙන් ද, මතුයෙහි අහසින් ද සරස ඔවු නොවුන් විසින් ද පිරිසිඳුන ලදහ. කෙස්හු දෙදෙනෙක් එක් කෙසක් නොවෙති යනාදී වශයෙන් සැළකීම සභාග පරිච්ඡේද යයි. කෙස්හු ලොම් නොවෙති. ලොම්හු කෙශයෝද නොවෙති. මෙසේ අවශේෂ එක්තිස් කොටසුන් හා මිශ්රනොවූයෙන් කෙස් නම් වෙන ම කොටසෙකැයි සැළකීම විසහාග පරිච්ඡේද යයි.
තවද මේ කෙශයෝ වර්ණ වශයෙන් ද පිළිකුල්ය. සටහන් වශයෙන් ද පිළිකුල්ය. එසේම ගන්ධ වශයෙන් ද, ආශ්‍රය වශයෙන් ද අවකාශ වශයෙන් ද පිළිකුල් ය. යහපත් වූ කැඳ පාත්‍රයක හෝ බත් පාත්‍රයක හෝ කෙස් පැහැ වැනි කිසිවක් දැක මේ හිසකෙස් මිශ්රය, ඉවත් කරවයි පිළිකුල් කෙරෙති. මෙසේ කෙස්හු වර්ණ වශයෙන් පිළිකුල්හ. රාත්‍රි කාලයෙහි අනුභව කරණ කල්හි වරා කෙන්දක් හෝ නියඳ කෙන්දක් හෝ සැපුණ හොත් මෙය කෙස් මිශ්රයයි ඉවත් කරයි. පිළිකුල් කරයි. තෙල්ගැල්වීම් මල්පැලදීම්, සුවඳ දුම් කැවීම් ආදියෙන් තොරවූ කෙශයන්ගේ ගන්ධය අතිශයින් ම පිළිකුල් වේ. එයටත් වඩා ගින්නෙහි කෙශයන්ගේ ගඳ පිළිකුල් වේ. කෙස්හු වර්ණ සණ්ඨාන වශයෙන් පිළිකුල් නොවූවත් ගන්ධ වශයෙන් නම් පිළිකුල් ම ය. ළදරු කුමරුවාගේ වර්වස කසාවන් පැහැය, කසාය පිණ්ඩයක සටහනය. කසළ ගොඩ දමන ලද ඉදුමුණු කලු බල්ලාගේ සිරුර තල්පතකට බඳු පැහැය. වට කොට හළ සදා නිමවූ මිහිඟු බෙරයකට බඳුවූ සටහන් ඇත්තේය. උගේ දළ ද දැසමන් කැකුළු වැනියයි වර්වස් පිඩද, බලු සිරුරද වර්ණ සණ්ඨාන වශයෙන් පිළිකුල් නොවේ. නමුත් ගන්ධ වශයෙන් වනාහි පිළිකුල් මැයි. යම්සේ අසූචිස්ථානයෙහි ගම්වැසියන්ගේ මළ මූත්‍ර ආදිය වැඟීමෙන් හටගත්, පිසිය යුතු පළා, සුවිත් හෙවත් පිරිසුදු බව කැමති නගර වාසීන්ට පිළිකුල් වෙද්ද, අනුභවයට සුදුසු නොවෙද්ද, එපරිද්දෙන්ම කෙශයෝ ද, ලේ, සැරව, මළ, මූත්‍ර, පිත්, සෙම් ආදීන්ගේ වැඟීමෙන් උපන් හෙයින් පිළිකුල්හ. මෙසේ ආශ්‍රය වශයෙන් ද පිළිකුල් ය. තවද මේ කෙසයෝ නම් අසූචි ගොඩෙක හටගත් පුස් මෙන් එක්තිස් කුණප කොටසෙහිම හටගත්හ. සොභොන කසළගොඩ ආදී තන්හි හටගත් පළා මෙන්, අගල් ආදියෙහි හටගත් පියුම්, මහනෙල් ආදී මල් මෙන් ද, අපිරිසුදු තන්හි හටගත් බැවින් අතිශයින්ම පිළිකුල්ය. මෙසේ කෙසයෝ අවකාශ වශයෙන් ද පිළිකුල් ය. මෙපරිද්දෙන් ම සියලු දෙතිස් කුණප කොට්ඨාශයන්ගේ ද, වර්ණ, සණ්ඨාන, ගන්ධ, නිශ්‍රය, අවකාශ යන මොවුන්ගේ වශයෙන් පස්පරිද්දෙකින් පිළිකුල් බව නිශ්චය කටයුතු.
එසේම ලොම්හු ප්‍රකෘති වර්ණයෙන් කෙශයන් මෙන් සෙසු වර්ණයෙන් නුමුසු එක්වන් කලු පැහැ නොවෙති. කළු පිඟුවන් වර්ණ ඇත්තාහු වෙති. සටහන් වශයෙන් නැමුණු අග ඇත්තාහු වෙති. තල්මුල් බඳු සටහන් ඇත්තාහ. දිසා වශයෙන් උඩ යට යන දෙදිසායෙහි ම පිහිටියාහු වෙති. අවකාශ වශයෙන් කෙසයන් පිහිටි තැන් ද, අත් පතුල් ද හැර බොහෝ අවශේෂ සිරුර වසා සිටි සමෙහි හටගන්නාහු වෙති. පරිච්ඡේද වශයෙන් වනාහි සිරුර වසා සිටි සම්හි ලෙහෙඬිලි පමණක් වැද සිටියාවූ, යට තමාගේ මුලතලයෙන් ද, උඩ අහසින් ද, සරස ඔවුනොවුන්ගෙන් ද පිරිසිඳිනා ලද්දාහු වෙති. ලොමයෝ දෙදෙනෙක් එක් ලොමයක් නොවෙතියි සභාග පරිච්ඡේද වශයෙන් ද, ලොමයෝ කෙස් නොවෙති. කෙශයෝ ලොම්හු නොවෙති. අවශේෂ එක්තිස් කොටස් හා අමිශ්‍රය. ලෝමයෝ නම් වෙනම කොටසෙකැයි විසභාග පරිච්ඡේද වශයෙන් නිශ්චය කටයුතු.
නඛා හෙවත් නිය නම් විසිනියපොත්තට නමෙකි, සියළුම නියපොතු වර්ණ වශයෙන් සුදුය. සටහන් වශයෙන් මසුන්ගේ කොරපොතු බඳු සටහන් ඇත්තාහ. දිශා වශයෙන් පය නියපොත්තේ යට දිශාවෙහිය. අත නියපොතු මතු දිශායෙහිය. අවකාශ වශයෙන් ඇඟිලි අග පිහිටියාහුය. පරිච්ඡේද වශයෙන් නියෙහි දෙපස හා මුල යන තුන් දිශායෙහි ඇඟිලි කෙළවර මසින් ද, ඇතුළත ඇඟිලි පිට මසින් ද, පිට හා අග, අහසින් ද, සරස ඔවුනොවුන් විසින් ද පිරිසිඳිනා ලද්දාහුය. නියපොතු දෙකක් එක් නියපොත්තක් නො වේය. එය අන්‍ය කොටස් හා අමිශ්‍රය. නියපොතු නම් වෙනම කොටසෙකැයි සභාග විසභාග, වශයෙන් ද විසිනියපොතුම නිශ්චය කටයුතු.
දන්ත හෙවත් දත් යනු සම්පූර්ණ දත් ඇත්තහුගේ වශයෙන් දෙතිස් දත්හුය. වර්ණ වශයෙන් සුදුය. සටහන් වශයෙන් නොයෙක් සටහන් ඇත්තාහුය. යට දත්පෙළේ මැද දත් සතර, මැටි පිඬෙක පිළිවෙලින් තබන ලද ලබු ඇට බඳු සටහන් ඇත්තාහ. ඔවුන්ගේ දෙපස එකි එකී දත් එක් මුලක් ඇත්තේය. ඉද්දමල් කැකුළකට බඳු සටහන් ඇත්තාහ. එයට ඉක්බිති එක එක දතක් මුල් දෙකක් සහ අග් දෙකක් සහිත වේ. ගැල් ධුරයෙහි අවුළුවන වහල් දඬුවට බඳු සටහන් ඇත්තේය. එයට ඉක්බිති දෙදත් හි, මුල් තුන තුන ඇත්තාහ. එසේ ම අග්තුනක් ද ඇත්තාහ. එයට ඉක්බිති දෙදත්හු සතර සතර මුල් හා සතර සතර අග් ද ඇත්තාහු වෙති. යට දත් මෙන් ම උඩ දත් ද එසේ ම ය. දිශා වශයෙන් මතුදිසායෙහි හට ගත්තාහු වෙති. අවකාශ වශයෙන් හනු ඇට දෙක්හි පිහිටියාහු වෙති. පරිච්ඡේද වශයෙන් යට හනු ඇට පිහිටියාවූ තමාගේ මූලතලයෙන් ද මතුයෙහි අහසින් ද, සරස ඔවුනොවුන්ගෙන් ද පිරිසිඳුනා ලද්දාහු වෙති. දත් දෙකක් එක් දතක් නොවේය. දත්හු අන්‍යවූ එක්තිස් කොටස්හු නොවෙති. වෙනම කොටසෙකැයි මෙසේ පිරිසිඳ දත යුතු.
තච හෙවත් සම සියලු සිරුර වසා සිටි සමයි. ඒ සම මතුයෙහි කළු, ශ්‍යාම, රන් ආදී වර්ණවත් සිවියක් ඇත. ඒ සිවිය සියලු සිරුරින් ගලවා පිඬුකර ගතහොත් දෙබර ඇටක් පමණ වේ. වර්ණ වශයෙන් ඒ සම සුදුය. ගිනිසිළුවකින් හෝ ආයුධයෙන් හෝ පිට සිවිය පහරණ කල්හිම ඒ ශ්වේත වර්ණය ප්‍රකට වේ. සටහන් වශයෙන් සිරුරෙහි සටහන ම වේ. විස්තර වශයෙන් වනාහි පය ඇඟිලිවල සම පටපණු කොෂයකට සමානය. පිටිපත්ලෙහි සම පුටබද්ධඋපාහන හෙවත් පිටිපතුල වසා සිටිනට සැදූ පාවහනක් බඳුය. ජඞ්ඝ හෙවත් සීන් කකුළෙහි සම බත වැසූ තල්පතකට බඳු සටහන් ඇත්තේ ය. කළවෙහි සම සහල්වලින් පුරවන ලද දික් පසුම්බියක් සමානය. ආනි සදයෙහි සම දියපිරූ පෙරහන්කඩකට බඳු සටහන් ඇත්තේය. පිට සම පුවරුවක එබූ සමකට බඳු සටහන් ඇත්තේය. බඩ සම වීණා දෙණ සැදූ සමකට බඳු සටහන් ඇත්තේය. ලෙහි සම බොහෝසේ සතරැස් සටහන් ඇත්තේය. දෙ අත සම හියවුරෙහි එබූ සමකට බඳු සටහන් ඇත්තේය. පිටි අත්ලෙහි සම කරකොපුවක් හෝ පණා වැස්මකට බඳු සටහන් ඇත්තේය. අත් ඇඟිලියෙහි සම යතුරු මිටියකට බඳු සටහන් ඇත්තේය. ග්‍රීවයෙහි සම ග්‍රීවා හැට්ටයක් බඳු සටහන් ඇත්තේය. මුහුණෙහි සම කුඩා මහත් සිදුරු ඇති ඩෙබර සැලකට බඳු සටහන් ඇත්තේය. හිස සම පාත්රථවිකයක් බඳු සටහන් ඇත්තේය.
සම අරමුණු කරමින් භාවනා කරන යෝගාවචරයා විසින් උඩුතොල පටන්ගෙන උඩුමුඛයෙහි නුවණ මෙහෙයවා පළමු කොට මුහුණ වැළඳ සිටි සම ව්‍යවස්ථා කටයුතු. ඉක්බිති නළල් ඇට සම ද, ව්‍යවස්ථා කටයුතු. අනතුරුව හිසඇටය ද හිස සමට ද අතුරෙන් නුවණ මෙහෙයවා, ඇට හා සමඟ සම ඒකාබද්ධ බව නොසලකා හිස සම ව නිශ්චය කටයුතු. ඉක්බිති පිටිකර සම ද අනුලොම ප්‍රතිලොම වශයෙන් දකුණත සම ද, එපරිද්දෙන් ම වමත සම ද, ඉක්බිති පිට සම ද, අනුලොම ප්‍රතිලොම වශයෙන් දකුණු පය සම ද, එසේම වම් පය සම ද, ඉක්බිතිව වස්තියෙහි සමය, බඩ සමය, ලෙහි සමය, උගුරෙහි සමය, යට හනුයෙහි සමය, යටිතොල සමය යන ඒ ඒ දෙස්හි පිහිටි සම පිළිවෙලින් ව්‍යවස්ථා කටයුතු. මෙසේ ඕලාරික ඕලාරික වූ සම හෙවත් මහත් මහත් වූ සම පරිග්‍රහ කරන්නාහට ඇතුළුමුවෙහි සම ආදී සියුම් සම ද ප්‍රකට වේ. දිශා වශයෙන් යට උඩ යන දෙදිසාවෙහි ම වේ. අවකාශ වශයෙන් සියලු සිරුර වැළඳගෙන සිටියේය. පරිච්ඡේද වශයෙන් යට පිහිටි තෙලෙන් ද, මතුයෙහි අහසින්ද පිරිසිඳුනා ලද්දේ වේ. ඒ ඒ තන්හි සම එකක් ම නොවේ. සම, අන්‍යවූ එක්තිස් කොටසුන්ට අයත් නොවූ වෙනම කොටසකැයි නියම කටයුතු.
මංස හෙවත් මස නම් නවසියයක් (900) පමණවූ මාංශ පෙශීහුය. ඒ සියල්ලම වර්ණ වශයෙන් රක්ත වර්ණය. කැහැල මල් බඳුය. සටහන් වශයෙන් ජඞ්ඝාවෙහි පිංඩි මාංසය තල්පත වැසූ බත්මුලකට බඳු සටහන් ඇත්තේය. කළවා මාංසය ඇඹරුම්ගලේ දූගල බඳුය. ආනිසද මාංසය මැටිපිඩෙන් කළ ලිපෙක කෙළවරට බඳු සටහන් ඇත්තේය. පිට මස පැදුරෙහි වනා වියළා නගා ගත් තල් ගුළි පටලයක් බඳු ය. දෙපරාළ පතු ඇට පිහිටි මස පෙතැලි රූකුසෙක තුනී කොට ඇලවූ මැටියකට බඳු සටහන් ඇත්තේය. තනයෙහි මස සිටගෙන බිමහෙළූ මැටිපිඬකට බඳු සටහන් ඇත්තේය. බාහු දෙකෙහි මාංසය දෙගුණ කොට තුබූ සමගැසූ මහ මීයෙකු බඳු සටහන් ඇත්තේය. මෙසේ මහත් මහත් වූ, ඕලාරික මාංශ පෙශී පරිග්‍රහ කරන්නාහට විළුම් මස් ආදී සියුම් මාංසයෝ ද ප්‍රකට වෙති. දිශා වශයෙන් වනාහි උඩ යට දෙදිසාවෙහි ම වූයේය. අවකාශ වශයෙන් තුන් සියයකට වැඩි පමණ ඇට වසා සිටි. පරිච්ඡේද වශයෙන් වනාහි යට ඇට සැකිල්ලෙහි පිහිටි තලයෙන් ද, මතුයෙහි සමින් ද, සරස ඔවුනොවුන් විසින් ද පිරිසිඳුනා ලද්දාහු වෙති. මාංස දෙකක් එක් මාංසයක් නොවෙති. මාංසය වෙනම කොටසෙකැයි නියම කට යුතු.
නහාරු හෙවත් නහර නම් නවසියයක් (900) පමණ වූ නහරවැල් ය. වර්ණ වශයෙන් වනාහි සියලු නහරවැල්හු ම ස්වෙත වර්ණය. සටහන් වශයෙන් නොයෙක් සටහන් ඇත්තාහ. උගුරෙහි මතුභාගයෙහි පටන් පස්මහා නහරයෝ ශරීරය වැළඳගනිමින් පෙරපසින් බස්නාහ. පස්මහා නහර කෙනෙක් පිටිපසින් බස්නාහ. පස්මහා නහර කෙනෙක් දකුණැළයෙන් බටහ. පස්දෙනෙක් වමැළයෙන් බටහ. දකුණත වෙළමින් අතට පෙරපසින් පස්දෙනෙක් බටහ. පිටිපසින් පස්දෙනෙක් බටහ. වමත වෙළමින් එසේම පස්දෙන පස්දෙන බැගින් බටහ. දකුණු පය වෙළමින් පාදයාගේ පෙරපසින් පස්දෙනෙක් බටහ. පිටිපසින් පස්දෙනෙක් බටහ. වම් පය වෙළමින් ද එසේම පස්දෙන පස්දෙන බැගින් බටහ. මෙසේ ශරීරාධාරක නම් වූ මහ නහර සැටක් කය වළඳමින් බටහ. කණ්ඩරයහයි කියනු ලබන්නේ ද මේ සැට නහරයන්ට ය. ඒ සියලු නහරයෝ කැණහිල්ල මල් කැකුළකට බඳු සටහන් ඇත්තාහ. ඒ ඒ පෙදෙස්හි පැතිර සිටි ඒ මහ නහරට වඩා සියුම් වූ සෙසු නහරහු වනාහි හූ රෙද්දකට බඳු සටහන් ඇත්තාහ. ඔවුන්ටත් වඩා සියුම් වූ සෙසු නහරහු කිඳි නුහුලකට බඳු සටහන් ඇත්තාහ. ඔවුන්ටත් වඩා සියුම් වූ සෙසු නහරහු මහ වීණාතත් බඳු සටහන් ඇත්තාහ. සෙසු ඔවුන්ටත් වඩා සියුම් වූ නහරහු මහානුලකට බඳු සටහන් ඇත්තාහ. අතුල්පිට, පතුල්පිට නහරහු කුරුළු පාදයට බඳු සටහන් ඇත්තාහ. හිසනහරහු බාල දරුවන්ගේ හිස් දළකට බඳු සටහන් ඇත්තාහ. පිටනහර අව්වෙහි වනන ලද තෙත් දැළකට බඳු සටහන් ඇත්තාහ. සෙසු ඒ ඒ අඞ්ග ප්රත්යඞ්ගානුගත වූ නහරහු ශරීරයෙහි බහාලූ දැල්සැට්ටයකට බඳු සටහන් ඇත්තාහ. දිශා වශයෙන් වනාහි උඩයට දෙ දිසාවෙහි ම හටගත්හ. අවකාශ වශයෙන් සියලු සිරුරෙහි ඇට වැළඳගෙන සිටියහ. පරිච්ඡෙද වශයෙන් යට තුන්සියයක් අස්ථින්ගේ මතුයෙහි පිහිටි තෙලෙන් ද, මත්තෙහි මස හා සම පැහැර සිටි ප්‍රදේශයෙන් ද සරස ඔවුනොවුන් විසින් ද, පිරිසිඳුනා ලද්දාහු වෙත්. නහරයෝ දෙදෙනෙක් එක් නහරයක් නොවෙති. දෙතිස් කොටස් අතුරෙන් නහරයෝ වෙනම කොටසකැයි නියම කටයුතු.
අට්ඨි හෙවත් ඇට නම් දෙතිස් (32) දත් ඇට හැර අවශේෂ වූ අත ඇට සූසැටෙක (64). පය ඇට සූසැටෙක (64). මාංසනිශ්රිත මොළොක් ඇට සූසැටෙක (64). විළුම් ඇට දෙකෙක. එකී එකී පාදයෙහි ගොප් ඇට දෙකෙක. ඡඞ්ඝා ඇට හෙවත් සිහින් කකුළෙහි ඇට දෙකෙක. එක් දණ ඇටෙක. එක් කළවා ඇටෙක. කටියෙහි ඇට දෙකෙක. පිටිකටුයෙහි ඇට අටළොසෙක (18). පරාළ ඇට (ඉළඇට) සූවිස්සෙක (24). ළෙහි ඇට තුදුසෙක (14). හදඇට එකෙක. අකු ඇට දෙකෙක. පතු ඇට දෙකෙක. බාහු ඇට දෙකෙක. අග්‍ර බාහුවෙහි ඇට දෙකෙක. උගුරෙහි ඇට සතෙක. හනු ඇට දෙකෙක. එක් නාසා ඇටෙක. ඇස් ඇට දෙකෙක. කන් ඇට දෙකෙක. එක් නළල් ඇටෙක. එක් මුදුන් ඇටෙක. හිස්කබල් ඇට නවයකැයි මෙසේ මේ ආදීවූ තුන්සියයක් පමණවූ ඇටය. ඒ සියලු අස්ථිහු වර්ණ වශයෙන් සුදුය. සටහන් වශයෙන් නොයෙක් සටහන් ඇත්තාහ. ඔවුන් අතුරෙන් පය ඇඟිල්ලෙහි අගපුරුකෙහි ඇට හිඟිනි ඇට බඳු සටහන් ඇත්තාහ. මැදපුරුකෙහි ඇට පනා ඇට බඳු සටහන් ඇත්තාහ. මුල්පුරුකෙහි ඇට පණා බෙරෙට බඳු සටහන් ඇත්තාහ. පිටිපත්ලෙහි ඇට තැළු කැනහිල්ල අල රැසකට බඳු සටහන් ඇත්තාහ. විළුම් ඇට එකැටි තල්ගෙඩියක ලොඳ බඳු සටහන් ඇත්තාහ. ගොප් ඇට එක්කොට බැඳි කෙළනා ගෝලයකට බඳු සටහන් ඇත්තාහ. ඡඞ්ඝා ඇට, ගොප් ඇට පිහිටි තැන පතුනොහළ හිඳිබඩකට බඳු සටහන් ඇත්තාහ. සීන් කකුළෙහි කුඩා ඇට දරුවන් කෙළන කුඩා දුනු දඬුකට බඳු සටහන් ඇත්තාහ. මහත් ඇට වැහැරගිය සර්ප පිටකට බඳු සටහන් ඇත්තාහ. දණ ඇට එක් අතෙකින් විරුණු පෙණපිඩක් බඳු සටහන් ඇත්තේය. ඒ දණ ඇට, සීන් කකුළෙහි ඇට වැද සිටි තැන ඉතා උල්වූ අග ඇති ගව අගකට බඳු සටහන් ඇත්තේය. කළව ඇටය නපුරුකොට සැසි වෑ පොරෝ දඬුවකට බඳු සටහන් ඇත්තේය. එය කටි ඇටෙහි පිහිටි තැන ක්‍රීඩා ගෝලයකට බඳු සටහන් ඇත්තේය. ඒ කළවා ඇටින් කටී ඇට පිහිටන ලද තැන මුහුණින් කැපූ මනා දොඹගෙඩියක් බඳු සටහන් ඇත්තේය. කටියෙහි ඇට දෙක ඒකාබද්ධ ව සිටියාහු කුඹල් උඳුනක් බඳු සටහන් ඇත්තාහ. ඒ ඇට දෙක වෙන්වෙන් ව කඹුරන්ගේ යකුළෙහි බැඳි වළලු බඳු සටහන් ඇත්තාහ. කෙළවරෙහි පිහිටි අනිසඳයෙහි ඇට අධොමුඛකොට ගත් සර්පපෙණකට බඳු සටහන් ඇත්තාහ. සත්තැනක කුඩා මහත් සිදුරු ඇත්තාහ. පිටිකටුවෙහි ඇට ඇතුළතින් මතු මතුයෙහි හකුළුවා තුබූ තුඹපතකට බඳු සටහන් ඇත්තාහ. පිටතින් හිඳිපත් වැලකට බඳු සටහන් ඇත්තාහ. ඒ පිටිකටු අතරතුරෙහි කියත්දත් බඳුවූ දෙතුන් කටුකෙනෙක් වෙත්. සූවිසි පරාළ ඇටෙහි (ඉල ඇට) නොපිරිහුන් ඇට නොපිරිහුන් දහකැති බඳු සටහන් ඇත්තාහ. පිරිහුනු ඇට පිරිහුන් දහකැති බඳු සටහන් ඇත්තාහ. ඒ සියලු ඉලඇට හැළිකුකුළකුගේ විදහාගත් පියාවට බඳු සටහන් ඇත්තාහ. ළෙහි ඇට තුදුස දිරාගිය රථ පඤ්ජරයකට බඳු සටහන් ඇත්තාහ. හදය ඇට හැඳි පෙළොත්තක් බඳු සටහන් ඇත්තාහ. අකු ඇට අත් වෑ දඬුවකට බඳු සටහන් ඇත්තාහ. පතු ඇට එක් අතකින් ගෙවුණු හෙළදිව සීදැල්ලකට බඳු සටහන් ඇත්තාහ. බාහු ඇට කැඩපත් මිටකට බඳු සටහන් ඇත්තාහ. අග්රබාහුවෙහි ඇට නිමුල් තල් කඳ දෙකකට බඳු සටහන් ඇත්තාහ. අත්කර ඇට, එක්කොට අලවා තුබූ හැකුළුණු තුඹපතකට බඳු සටහන් ඇත්තාහ. පිටඅත්ලෙහි ඇට තැළූ කැනභිල්ල අලරැසකට බඳු සටහන් ඇත්තාහ. අත ඇඟිල්ලෙහි මුලපුරුකෙහි ඇට පණා බෙරකට බඳු සටහන් ඇත්තාහ. මැද පුරුකෙහි ඇට නොපිරිහුන් පණා ඇට බඳු සටහන් ඇත්තාහ. අග පුරුකෙහි ඇට හිඟිනි ඇට බඳු සටහන් ඇත්තාහ. උගුරෙහි ඇට සත දඬුවක පිළිවෙලින් අමුණා තුබූ වටකොට කැපූ හුණකිළිල් මඳකට බඳු සටහන් ඇත්තාහ. යටි හනු ඇට කඹුරන්ගේ යකුළක බැඳි වලල්ලක් බඳු සටහන් ඇත්තාහ. මතු හනු ඇට උක්දඬුසස්නා සැතකට බඳු සටහන් ඇත්තාහ. ඇස්වළ, නාසාවළ ඇට, ලොඳහල ලා තල් ඇටකට බඳු සටහන් ඇත්තාහ. නළල ඇට යට බලා තුබූ සක්තලු කබලකට බඳු සටහන් ඇත්තාහ. කන්සිළු ඇට කරනැවැමියන්ගේ කරකොපුවකට බඳු සටහන් ඇත්තාහ. නළලය, කන්සිළුය යන මොවුන්ගේ මතුයෙහි පට බඳනා තැන ඇටය තෙල තුබූ කඩපටකට බඳු සටහන් ඇත්තේය. මුදුන් ඇටය මුහුණින් කැපූ ඇද පොල්ගෙඩියක් බඳු සටහන් ඇත්තේය. හිස ඇට, වසා තිබූ දිරාගිය ලබුකබලකට බඳු සටහන් ඇත්තාහ. දිසා වශයෙන් වනාහි උඩයට දෙදිසාවෙහි ම වූහ. අවකාශ වශයෙන් සියලු සිරුරෙහි ම සිටියාහ. විශේෂයෙන් වනාහි හිසෙහි ඇට උගුරු ඇටෙහි පිහිටියාහ. උගුරෙහි ඇට පිටකටු ඇටෙහි පිහිටියහ. පිටකටු ඇට කටී ඇටයෙහි පිහිටියහ. කටියෙහි ඇට කළවා ඇටෙහි පිහිටියහ. කළවෙහි ඇට දණ ඇටෙහි පිහිටියහ. දණ ඇට ජඞ්ඝා ඇටෙහි පිහිටියහ. ජඞ්ඝා ඇට ගොප් ඇටෙහි පිහිටියහ. ගොප් ඇට පිටිපතුල් ඇටෙහි පිහිටියහ. පරිච්ඡෙද වශයෙන් වනාහි ඇතුළ ඇට මිදුලින් ද මත්තෙහි මසින් ද, අග ද මුල ද ඔවුනොවුන් විසින් පිරිසිඳුනා ලද්දාහු වෙති. ඇට දෙකක් එක් ඇටයක් නොවෙති. ඇට නම් වෙන්වූ ම කොටසෙකැයි නියම කටයුතු.
අට්ඨිමිඤ්ජ හෙවත් ඇටමිදුලු නම් ඒ ඒ අස්තීන්ගේ ඇතුළත්හි වූ මිදුළුය. වර්ණ වශයෙන් සුදුය. සටහන් වශයෙන් මහත් මහත් ඇට ඇතුළේ මිදුළු හුණනළ බහාලූ හිවූ මහා වේවැල් බඩට බඳු සටහන් ඇත්තේය. කුඩා වූ ද ඉතා කුඩා වූ ද අස්ථින්ගේ ඇතුළෙහි මිදුළු සීන් හුණු පුරුකෙහි බහාලන ලද හිවූ සිහින් වේවැල් බඩකට බඳු සටහන් ඇත්තේය. දිසා වශයෙන් උඩයට දෙදිසා වෙහිම වූයේය. අවකාශ වශයෙන් අස්ථින්ගේ ඇතුළත්හි පිහිටියේය. පරිච්ඡෙද වශයෙන් ඇට ඇතුළු තලයෙන් පිරිසිඳින ලදහ. ඇටමිදුළු වනාහි දෙතිස් කොටසුන් අතුරෙන් වෙනම කොටසෙකැයි පිරිසිඳිය යුතු.
වක්ක හෙවත් වකුගඩු නම් එක්ව බැඳී සිටි මස්පිඬු දෙකෙකි. වර්ණ වශයෙන් මඳ රත්පැහැ ඇත්තේය. එරබඳු ඇට සමාන වර්ණය වේ. සටහන් වශයෙන් වනාහි බාල දරුවන්ගේ එකටබැඳි ක්රීඩාගොලු දෙකකට බඳු සටහන් ඇත්තේය. එක නටුවෙහි හටගත් අඹගෙඩි දෙකකට බඳු සටහන් ඇත්තේය. දිසා වශයෙන් උඩ දිසාවෙහි පිහිටියේය. අවකාශ වශයෙන් ගලවළයෙන් නික්ම එක් මුලක් ඇතිව මදක් තැන් ගොස් දෙකක්ව බෙදුනාවූ දළ නහරින් බැඳි හදයමාංසය පිරිවරා සිටියේය. පරිච්ඡේද වශයෙන් සියලු අතින් ම වකුගඩු කෙළවරින් පිරිසිඳින ලදය. මෙය වෙන් වූ ම කොටසෙකැයි පිරිසිඳිය යුතු.
හදය නම් හෘදයමාංසයයි. වර්ණ වශයෙන් රත්පියුම් පෙත්තක පිටත බඳු පැහැ ඇත්තේය. සටහන් වශයෙන් පිටත පෙතිහැර යට බලාගත් පියුම් කැකුළකට බඳු සටහන් ඇත්තේය. පිටතින් සිළුටුව ඇතුළත වැටකොලු ගෙඩියක ඇතුළත බඳු සටහන් ඇත්තේය. නුවණැත්තන්ට මඳක් විදහී සිටී, නුවණ මඳවුන්ට හැකිළම සිටී. ඇතුළත දොඹ ඇටක් පිහිටන පමණ වළක් ඇති වේ. යම් වළෙක අඩපතක් පමණ ලෙහෙ සිටී ද, යම් ලෙහෙයක් නිසා මනෝධාතු, මනෝවිඤ්ඤාණ ධාතු යන දෙදෙන පවතිත් ද, එලෙහෙ සහිතවූ වළ, හදය මාංස පිණ්ඩය ඇතුළත පිහිටා ඇත. ඒ මේ ලෙහෙය රාග චරිතයාහට රත් වෙයි. ද්වේෂ චරිතයාහට කළු වෙයි. මෝහ චරිතයාහට මස් සේදූ ජලය බඳු වර්ණ වෙයි, විතර්ක චරිතයාහට කොල්ලු යුෂ බඳු වර්ණ වෙයි. ශ්‍රද්ධා චරිතයාහට කිණිහිරි මලකට බඳු පැහැ ඇති වෙයි. ප්‍රඥා චරිතයාහට ප්‍රසන්නය, විශේෂයෙන් ප්‍රසන්නය, නොකැළඹුණේය, පඬුවන් වූයේය, පිරිසුදු වූයේය, ඔපදැමූ ජාතිරංග මාණික්‍යයක් මෙන් ප්‍රභාමත් වූ යේයයි වැටහේ. රාග චරිතාදීන්ගේ හදවත ඇසුරු කළ ලෙය රක්ත වර්ණ වන්නේ භවාඞ්ග සිත් පවත්නා කල්හිය. සෙසු සිත් පවත්නා කල්හි ඒ ඒ සිතට සුදුසු සුදුසු පරිද්දෙන් වර්ණය වෙනස්වේ. රාග චරිතයාහට සොම්නස් වෙදනා පවත්නා කල්හි රක්ත වර්ණය වේ. දොම්නස් වෙදනා පවත්නා කල්හි කළු වෙයි. උපෙක්ෂා වෙදනා පවත්නා කල්හි පහන් තලතෙල් පැහැය වෙයි. සොම්නස් හා උපෙක්ෂා වෙදනාවන්හි ද කුසලාකුසල වශයෙන් ද වෙනස් වේ. ද්වේෂ චරිතාදීන්ට ද එසේ ම ය. දිසා වශයෙන් වනාහි මතු දිසාවෙහි පිහිටියේය. අවකාශ වශයෙන් සිරුර ඇතුළත දෙතන මැද පිහිටියේය. හදය නම් වෙන්වූ ම කොටසෙකැයි ද නිශ්චය කටයුතු.
යකන හෙවත් අක්මා නම් එක්ව බැඳිසිටි මංසපටල දෙකෙකි. වර්ණ වශයෙන් අක්මාව රක්ත වර්ණය. පඬුවන් ස්වභාව ඇත්තේය. ඉතා රතු නොවූ කුමුදු මලෙක පෙතිපිටට බඳු වර්ණ ඇත්තේය. සටහන් වශයෙන් මූලදී එක්ව තිබෙයි අගදී දෙකක් ම වෙයි. කොබෝලීල පතකට බඳු සටහන් ඇත්තේය. නුවණ මඳ වූවන්ට මහත්වූ එකක්ම වෙයි. ප්‍රඥාවන්තයන්ට කුඩාවූ දෙකෙක් හෝ තුනෙක් වෙයි. දිසා වශයෙන් මතු දිසාවෙහි පිහිටියේය. අවකාශ වශයෙන් දෙතන මැද, ඇතුළත දකුණුභාගයෙහි පිහිටියේය. පරිච්ඡේද වශයෙන් අක්මා කෙළවරින්ම පරිච්ඡින්නය. අක්මාව වෙන්වූ ම කොටසෙකැයි ද නියම කටයුතු.
කිලොමක හෙවත් දලබුව නම් පටිච්ඡන්න දලබුව හෙවත් සැඟවී සිටි දලබුවය, අපටිච්ඡන්න දලබුව හෙවත් නොසැඟවී සිටි දලබුවය යයි විප්‍රකාර වූ වසා වැළඳගෙණ සිටිනා මසයි. ඒ විප්‍රකාර දලබුවම වර්ණ වශයෙන් සුදුය. දුහුල්කඩකට බඳු වර්ණ ඇත්තේය. සටහන් වශයෙන් තමාගේ අවකාශයට බඳු සටහන් ඇත්තේය. දිසා වශයෙන් පටිච්ඡන්න කිලොමකය මතු දිසාවෙහිය. අපටිච්ඡන්න කිලොමකය දෙදිසාවෙහි ම පිහිටියේය. අවකාශ වශයෙන් පටිච්ඡන්න කිලොමකය හදවත ද වකුගඩුව ද වසාගෙන සිටියේය. අපටිච්ඡන්න කිලොමකය සියලු සිරුර සමින් යට මාංසය වැළඳගෙන සිටියේය. පරිච්ඡෙද වශයෙන් යට මසින් ද, මතුයෙහි සමින් ද, සරස කිලොමක භාගයෙන් ද පිරිසිඳුනා ලදී. කිලොමකය වෙන්වූ ම කොටසෙකැයි ද නියම කටයුතු.
පිහක නම් බඩදිව මාංසයයි. එය වර්ණ වශයෙන් නිල් නික මලකට බඳු වර්ණ ඇත්තේය. සටහන් වශයෙන් සත් අඟුල් පමණ වෙයි. බන්ධනයක් නැත්තේය. කලු වස්සෙකුගේ දිවකට බඳු සටහන් ඇත්තේය. දිසා වශයෙන් මතු දිසායෙහි පිහිටියේය. අවකාශ වශයෙන් හදවතට වම් භාගයෙහි උදරපටලයාගේ මතුභාගය නිසා සිටියේය. මෙය ආවුධ පහරකින් පිටත නික්මුණු කල්හි ඒකාන්තයෙන් ම මරණය සිදුවේ. පරිච්ඡෙද වශයෙන් පිහක භාගයෙන් පිරිසිඳින ලදී. එය අසම්මිශ්රවූ වෙන්වූ ම කොටසෙකැයි නිශ්චය කටයුතු.
පප්ඵාස නම් දෙතුන් මස්කඩක්ව බෙදුණු පපු මාංසයයි. වර්ණ වශයෙන් රක්ත වර්ණය. ඉතා විලිකුන් නොවූ දිඹුල් ඵලයකට බඳු වර්ණ ඇත්තේය. සටහන් වශයෙන් නොසම කොට කැඩූ මහා කැවුමකට බඳු සටහන් ඇත්තේය. ඇතුළෙහි කා බිව් දෙයක් නැති කල්හි නැංගාවූ කර්මජ තේජො උෂ්ණයෙන් පහරණ ලද හෙයින් සපා හෙළූ පිදුරු සපයක් මෙන් නිරස වෙයි. ඕජස් නැති වෙයි. දිසා වශයෙන් මතු දිසාවෙහි පිහිටියේය. අවකාශ වශයෙන් ශරීරය ඇතුළත දෙතන අතර හදවත හා අක්මාව මත්තෙහි වසාගෙන එල්බෙමින් සිටියේය. පරිච්ඡෙද වශයෙන් පප්ඵාස භාගයෙන්ම පිරිසිඳුනා ලදී. එය අන්‍යවූ කොටසුන් හා අමිශ්රවූ වෙන්වූ ම කොටසෙකැයි නියම කට යුතු.
අන්ත නම් පුරුෂයාහට දෙතිස්රියනක් පමණ ඇති, ස්ත්‍රීහට අටවිසි රියනක් පමණ ඇති, එක්විසි තැනෙක නැමුණාවූ අතුණු වැටියයි. වර්ණ වශයෙන් සුදුය. වැලි මිශ්‍රකොටගත් සුදු හුණු බදාමයක් බඳු වර්ණ ඇත්තේය. සටහන් වශයෙන් ලෙහෙ දෙණෙක නමා තිබූ හිස සුන් කළ සර්ප සිරුරකට බඳු සටහන් ඇත්තේය. දිසා වශයෙන් උඩ යට දෙදිසා වෙහිම පිහිටියේය. අවකාශ වශයෙන් මත්තෙහි ගළවළුයෙහි ද යට කරීසමාර්ගය හෙවත් ගුදපියස කෙළවර කොට ඇති ශරීරාභ්‍යන්තරයෙහි පිහිටියේය. පරිච්ඡේද වශයෙන් අන්ත භාගයෙ පිරිසිඳුනා ලදී. අන්ත නම් අසම්මිශ්රවූ වෙන්වූ ම කොටසෙකැයි නියම කටයුතු.
අන්තගුණ නම් අතුණු නැමුණුතන්හි බැඳගෙන සිටිනා අතුණුබහන් ය. එය වර්ණ වශයෙන් සුදුය. හෙල්මැලි මූලකට බඳු වර්ණ ඇත්තේය. සටහන් වශයෙන් ද හෙල්මැලි මූලක් බඳු සටහන් ඇත්තේය. දිසා වශයෙන් උඩ යට දෙදිසාවෙහිම පිහිටියේය. උදළු පොරෝ ආදියෙන් වැඩ කරන්නවුන්ගේ අතුණුවැටි, ගිලිය නොදී එක්කොට බැඳගෙන යන්ත්‍ර අදනා කල යන්ත්‍ර පෝරුව බැඳගෙන සිටින යන්ත්‍ර සූත්‍රය මෙන් පාපිස්නා බිස්සෙහි දරණ මඬුල්ල, අතර ගිලිය නොදී සිටින බාන් වෙළූ රොද්දක් මෙන්, එක්විසි අතුණුවැටි අතුරෙහි සිටියේය. පරිච්ඡේද වශයෙන් අන්තගුණ භාගයෙන් ම පිරිසිඳුනා ලදී. අතුණු බහන් නම් අන් කොටසුන් හා අසම්මිශ්රවූ, වෙන්වූ ම කොටසෙකැයි නියම කටයුතු.
උදරිය නම් උදරයෙහි වූ අසිත නම් වූ වළඳනා ලද බත් ආදිය ය, පීත නම් වූ බොන ලද අඹ පැන් ආදිය ය, ඛායිත නම් වූ කන ලද පිටියෙන් කළ කැවුම් ආදිය ය, සායිත නම් වූ ආස්වාද කරණ ලද අඹ මීපැණි ආදිය ය යන දෙයයි, වර්ණ වශයෙන් වැළඳූ අහරට බඳු පැහැ ඇත්තේ ය. සටහන් වශයෙන් පෙරහන සිවිල කොට බැඳි සහලට බඳු සටහන් ඇත්තේ ය. දිසා වශයෙන් උඩ යට දෙදිසාවෙහිම පිහිටියේ ය. අවකාශ වශයෙන් උදරයෙහි පිහිටියේ ය. උදරය නම් දෙඅතින් පෙළන ලද තෙත් සළුවෙහි මැද නැගි බුබුලක් බඳු වූ අන්ත්‍ර පටලයයි. පිටතින් සිළුටුය. ඇතුළ කුණුමස් කසළ වැසූ කිලුටු පොරෝනා කඩෙක පුප් වැනි ය. කුණුවහිය කොස් කටුවෙක ඇතුළත වැන්නයි ද කියන්නට වටී. ඒ උදරයෙහි තක්කොටක නම් පණුවෝය, ගණ්ඩුප්පාදක නම් පණුවෝය, තාලහිරක නම් වූ තල්හිරට බඳු පණුවෝය, සූචීමුඛකා නම් වූ හිඳිකටු වැනි තුඩු ඇති පණුවෝය, පටතත්තුකා නම් වූ පටහු වැනි පණුවෝ ය. සුත්තකා නම් වූ හු වැනි පණුවෝය යනාදී වූ දෙතිස්කුලයෙක පණුවෝ ආකුලව්යාකුලව මුළු මුළුව හැසිරෙති. ආහාර පාන නොලත් කල්හි පැනනැගී හඬන්නාහු, හදය මාංස පහරති. ආහාර පාන වළඳන කල්හි ද උඩුමුඛව පළමුකොට වැළඳූ දෙතුන් ආලොපයක් යුහුව යුහුව පැහැරගෙන කති. එය ඒ පණුවන්ට සූතිඝරයක් හෙවත් වදන තිඹිරි ගෙයද වෙයි. වැසි කිළිය ද වෙයි. ගිලන්හල ද වෙයි. සොහොන ද වෙයි. චණ්ඩාල ගම්දොර වූ ගවර වළකට ග්‍රීෂ්ම කාලයෙහි දළ පොද ඇති වැසි වස්නා කල්හි දියෙන් ගෙනයන ලද සිරුරු මලය, සම් ඇට නහරකඩය, කෙළය, මුකුණුය, ලෙහෙය යනාදී වූ නොයෙක් කුණු එකතුවී මඩදියෙන් ගැළලී, දෙතුන් දවසක් ඇවෑමෙන් හටගත්තා වූ පණු කැලන් ඇතිවූයේ, සූර්ය්යාරශ්මි සන්තාප වේගයෙන් කකියන ලද්දේ, මතු මතුයෙහි පෙණ බුබුලු නගිමින් ඉතා නිල් පැහැ ඇති, ඉතා දුගඳ, පිළිකුල්ව නො එළබෙන්නට නොදක්නට සුදුසු බවට පැමිණ සිටියේ ද හිඹිනට ද, ආස්වාද කරන්නට ද. නො සුදුසු වූයේ ද වෙයි. නානාවිධ වූ ආහාරපානාදිය දත් නමැති මොහොලින් සුණු කරන ලද්දේ, දිව් නමැති දතින් පෙරළන ලද්දේ, අගදිව තුනී කෙළින් හා මුල්දිව බොල් කෙළින් වළඳනා ලද්දේ, එකෙණෙහි ම පහවූ වර්ණ, ගන්ධ, රස යනාදී සම්පත් ඇත්තේ, රෙදි වියන්නන්ගේ නානු සේ ද, බල්ලන් නගාලූවක් සේ ද වැ, පිත්, සෙම්, වායුවෙන් වළඳනා ලදු ව ජඨරාග්නි සන්තාප වේගයෙන් කකියන ලද්දේ, පණුවන් විසින් ආකුලව මතුමත්තෙහි පෙණ බුබුලු නගමින් ඉතා කුණුගඳ පිළිකුල් බවට පැමිණ සිටීද, යමෙක් එය අසාද ආහාර පානාදියෙහි පිළිකුල් බව පිහිටා ද, උදරය එවැන්නක් යයි නුවණැසින් බලන්නාහට වැටහෙන්නේ මැයි. උදරයෙහි පතිත වූ ආහාරපානාදිය පස් ආකාරයකට බෙදෙයි. එක් භාගයක් පණුවෝ කති. එක් භාගයක් ජඨරාග්නියෙන් දැවෙයි. එක් භාගයක් මුත්‍ර බවට පැමිණෙයි. එක් භාගයක් සිරුර මල බවට පැමිණෙයි. එක් භාගයක් රස බවට පැමිණ ලෙහෙ මස් ආදීන් වඩවයි. පරිච්ඡෙද වශයෙන් වනාහි උදර පටලයෙන් ද, උදරිය නම් වූ නොපැසුණු අහර භාගයෙන් ද පිරිසිදුනා ලදී. උදරිය නම් අසම්මිශ්‍ර වූ, වෙන්වූ ම කොටසෙකැයි ද නියම කටයුතු.
කරීස නම් වර්චසයි. වර්ණ වශයෙන් බොහෝ සේ වැළඳූ අහරට බඳු වර්ණ ඇත්තේම වේ. සටහන් වශයෙන් අවකාශයට බඳු සටහන් ඇත්තේ වේ. දිසා වශයෙන් යට දිසාවෙහි පිහිටියේය. අවකාශ වශයෙන් පක්‍වාසයෙහි පිහිටියේය. පක්වාසය නම් යට නාභියෙහි හා පිටකටුවෙහි මූලය යන මොවුන්ගේ අතුරෙහි අතුණු කෙළවර, උසින් අට අඟුලක් පමණ වූ හුණ නළක් වැනිවූයේය. යම්සේ උස්වූ භූමි ප්‍රදේශයෙහි හුණු වැසි දිය ගලාගෙන විත් වට භූමි ප්‍රදේශය පුරාසිටී ද, එපරිද්දෙන් ම යම්කිසි ආමාශයෙහි පතිත වූ බත් පැන් ආදියක් ඇද්ද එය උදරාග්නියෙන් පෙණ නැගි නැගී පැසුණේ ඇඹරුම් ගලෙන් අඹරණ ලද්දක් මෙන් සිලිටු බවට පැමිණ අතුණු සිදුරෙන් ගලාබැස, හුණු නළෙක බහාලන ලද පඬුවන් මැටියක් මෙන් රැස්ව සිටී. පරිච්ඡෙද වශයෙන් පක්වාසය පටලයෙන් ද කරීසභාගයෙන් ද පිරිසිදුනා ලදය. කරීසය නම් අසම්මිශ්‍ර වූ වෙන් වූ ම කොටසෙකැයි නියම කටයුතු.
මත්‍ථලුඞ්ග නම් හිස්කබල් අතුරෙහි සිටි මිදුළු රැසයි. එය වර්ණ වශයෙන් සුදුය. නයි හතු පිඩක් බඳු වර්ණ ඇත්තේ ය. දී බවට නොපැමිණි පැතුරුණු කිරකට බඳු පැහැ ඇත්තේ ය යි දු කියන්නට වටී. සටහන් වශයෙන් වනාහි අවකාශයට බඳු සටහන් ඇත්තේ ය. දිසා වශයෙන් උපරිම දිසාවෙහි පිහිටියේ ය. අවකාශ වශයෙන් හිස් කබල් ඇතුළෙහි සතර ගෙත්තම් මග නිසා එක්කොට තුබූ සතර පිටිපිඬක් මෙන් එක්ව සිටියේය. පරිච්ඡෙද වශයෙන් හිස්කබල් අතුරෙහි ඇතුළත තලයෙන් ද, හිස්මොළ භාගයෙන් ද පිරිසිඳුනා ලදහ. මත්‍ථලුඞ්ගය අසම්මිශ්‍ර වූ වෙනම කොටසෙකැයි ද නිශ්චය කටයුතු.
පිත්ත නම් බඩ පිතය, අබඩ පිත යයි දෙවැදෑරුම් වූ පිතය. එයින් බඩ පිත, වර්ණ වශයෙන් බොල්මී තෙලකට බඳු වර්ණ ඇත්තේ ය. අබඩ පිත මැලවුණු රණවරා මල් බඳු වර්ණ ඇත්තේ ය. සටහන් වශයෙන් ඒ දෙපිත ම ස්වකීය අවකාශ ස්ථානය බඳු ය. දිසා වශයෙන් අබඩ පිත, කේශය, ලෝමය, නිය ය, දත් ය යන මස්රහිත තැන් හා දැලි වියලි සම් ද හැර දියෙහි පැතිරෙන තෙල් බිඳක් මෙන් සෙසු සිරුර පැතිර සිටියේ ය. අබඩ පිත කිපුණු කල්හි ඇස් කසාවන් වෙති. හිසකරකැවිල්ල ඇතිවේ. ශරීරය කම්පාවෙයි. කැසීම ඇතිවේ. බඩ පිත හදවත හා පපු අතුරෙහි අක්මා මාංසය නිසා පිහිටියා වූ මහ වැටකොලු වසල්ලක් බඳු වූ පිත් කොශයෙහි පිහිටියේ ය. බඩ පිත කිපුණු කල සත්ත්වයෝ උමතුවෙති. සිහි විපර්‍ය්‍යාස වෙති. හිරි - ඔතප් දෙක හැර නො කටයුතුදේ කෙරෙති. නො බිණිය යුතු දෙය බෙණෙති. නොසිතිය හැකි දෙය සිතති. පරිච්ඡෙද වශයෙන් වනාහි පිත්ත භාගයෙන් පිරිසිඳුනා ලදහ. පිත නම් අසම්මිශ්‍ර වූ වෙනම කොටසෙකැයි ද නිශ්චය කටයුතු.
සෙම්හ නම් ශරීරය තුළ පාත්‍රයක් පුරාලන පමණ වූ සෙමය. වර්ණ වශයෙන් ස්වේත වර්ණ ඇත්තේය. කෑලිය කොළ මිරිකු දියක් බඳු වර්ණ ඇත්තේ ය. සටහන් වශයෙන් තමා සිටින අවකාශය බඳු සටහන් ඇත්තේය. දිසා වශයෙන් උඩ දිසායෙහි පිහිටියේ ය. අවකාශ වශයෙන් උදර පටලයෙහි පිහිටියේ ය. ආහාර පාන වළඳනා කල කැට කැබිලිති වැටීමෙන් දිය සෙවෙල් දෙබේ කොට බෙදී නැවත පැතිර ගෙන සිටීද, එපරිද්දෙන් ම බත් පැන් ආදිය වැටුණු කල්හි සිඳී දෙකක් ව නැවත පැතිරගෙන සිටී. සෙම මඳවූ කල්හි පැසුණු ගඩක් මෙන් ද, කුණුවූ කුකුළු බිජුවටක් මෙන් ද, උදරය ඉතා පිළිකුල්වූ කුණුගඳ වෙයි. එයින් නැංගාවූ ගඳින් ද, තැලිද, මුඛය ද දුර්ගන්ධ වූයේ කුණුවූයේ, කුණපයක් බඳුවෙයි. ඒ මිනිස් තෙම පවා පහව, දුගඳ වහන්නේ යයි කිවයුතු බවට ද පැමිණේ. සෙම වැඩී බොල් බවට පැමිණියේ වැසිකිළියෙහි පියන් පෝරුවක් මෙන් උදරපටලයාගේ ඇතුළෙහිම කුණුගඳ ඔබාගෙන සිටී. පරිච්ඡෙද වශයෙන් වනාහි සෙම්භාගයෙන් පිරිසිඳුනා ලද්දේ ය. සෙම නම් අසම්මිශ්රවූ වෙනම කොටසෙකැයි නියම කටයුතු.
පුබ්බ නම් සැරවයි. ජීවමාන ශරීරයෙහි සැරව වර්ණ වශයෙන් පඬුවත් පතට බඳු පැහැ ඇත්තේ ය. මළ සිරුරෙහි වනාහි කුණුවූ බොල්නියඹු කැඳක් බඳු පැහැ ඇත්තේ ය. සටහන් වශයෙන් වනාහි පිහිටි අවකාශ ස්ථානය බඳු සටහන් ඇත්තේ ය. දිසා වශයෙන් උඩයට දෙදිසාවෙහි ම වේ. අවකාශ වශයෙන් වනාහි නිබඳ තැනෙක් නැත. යම් යම් තැනෙක වනාහි කුණු කටු ආයුධ අග්නි ජ්වාලාදීන් පහරණ ලද ශරීර ප්‍රදේශයෙහි ලෙහෙ රැස්ව පැසේද, ගඩපොළ ආදීහු හෝ උපදීද, සැරව ඒ ඒ තැන සිටී. පරිච්ඡෙද වශයෙන් පූයා භාගයෙන් පිරිසිඳුනා ලදහ. සැරව නම් අසම්මිශ්රවූ, වෙන්වූ ම කොටසෙකැයි නියම කටයුතු.
ලොහිතය නම් සන්නිචිත ලෝහිතය හෙවත් රැස්ව සිටිනා ලෙහෙය, සංසරණ ලෝහිතය හෙවත් විසිර පවත්නා ලෙහෙය යයි දෙවැදෑරුම් වූ ලෙහෙය වේ. එයින් රැස්ව සිටිනා ලෙහෙය කකාළ බොල් ලාහරෙසෙහි පැහැ බඳු වර්ණ ඇත්තේ ය. විසිර පවත්නා ලෙහෙ ප්‍රසන්න ලාහරෙසෙහි පැහැ බඳු වර්ණ ඇත්තේ ය. සටහන් වශයෙන් ලෙහෙය තමන් සිටිනා ස්ථානය බඳු සටහන් ඇත්තේ ය. දිසා වශයෙන් සන්නිචිත ලෙහෙය උඩ දිශායෙහි ද, සංසරණ ලෙහෙය උඩයට යන දෙදිසාවෙහි ම පිහිටියේ ය. අවකාශ වශයෙන් වනාහි සංසරණ ලෝහිතය කෙස් ලොම් නිය දත්හි මස් නැති තැන් හා වියලුණු සමද හැර ධමනි ජාලානුසාරයෙන් සියලු උපාදින්න ශරීරයෙහි පැතිර පවත්නේ ය. සන්නිචිත ලෝහිතය අක්මාව පිහිටි තැනට මතු භාගය පුරා එක් පාත්‍රයක් පිරෙන පමණ හදවත ය, යකුය, පපුවය යන මොවුන්ගේ මත්තෙහි මදක් මදක් වැහෙමින් වකු, හදය, යකුන, පපු යන මොවුන් තෙමමින් සිටියේය. ඒ රුධිරය වකු හදය ආදීන් නොතෙමෙන කල්හි සත්ත්වයෝ පිපාසා ඇති වන්නාහු ය. පරිච්ඡෙද වශයෙන් වනාහි ලෝහිත භාගයෙන් පිරිසිඳිනා ලදහ. ලෙහෙය නම් අසම්මිශ්‍ර වූ වෙනම කොටසෙකැයි විනිශ්චය කටයුතු.
සේද නම් ලෝමකූපාදියෙන් වැහෙන ආපෝ ධාතුවයි. වර්ණ වශයෙන් ප්‍රසන්න වූ තලතෙලට බඳු පැහැ ඇත්තේ ය. සටහන් වශයෙන් පිහිටි තැන් බඳු ය. දිශා වශයෙන් දෙදිශාවෙහි ම පිහිටියේය. අවකාශ වශයෙන් ලෙහෙයට මෙන් නිබඳ පිහිටි අවකාශ ස්ථානයක් නැත. ගින්නෙන් වන තැවුලිය හිරුරැසින් වන තැවුලිය, උෂ්ණ වලාහකාදිය හේතු කොට ඇති සෘතුවිකාරය යන මේ ආදීන්ගේ කූප විවරයෙන් හා ලොමකූප විවරයෙන් වැහෙන්නේ ය. එහෙයින් ඒ ස්වේදයාගේ සටහන් ද කෙස ලොමකූප විවරයන්ගේ වශයෙන් ම මෙනෙහි කළ යුතු. පරිච්ඡෙද වශයෙන් ස්වේද භාගයෙන් පරිච්ඡින්නය ස්වේදය නම් අසම්මිශ්‍ර වූ වෙනම කොටසෙකැයි නියම කටයුතු.
මෙද නම් පැසුණු නොහොත් මිදුණු තෙලයි. වර්ණ වශයෙන් වනාහි පැළූ කහ ගැටෙක පැහැ බඳු වර්ණ ඇත්තේය, සටහන් වශයෙන් ස්ථූල සිරුර ඇත්තහුගේ සම හා මස් අතුරෙහි තබන ලද කසාවන් දුහුල් රෙදි කඩකට බඳු සටහන ඇත්තේ ය. කෘශ වූ ශරීර ඇත්තහුගේ ජඞ්ඝා මාංසය, කළවා මාංසය, පිටකටුව ඇසුරු කළ පිටමස, උදර මාංසය යන මාංසයන් නිසා දෙතුන් පට-
කොට තිබූ කසාවත් පැහැ ඇති දුහුල් රෙදිකඩකට බඳු
සටහන් ඇත්තේ ය. දිශා වශයෙන් උඩයට දෙදිසාවෙහිම
පිහිටියේ ය. අවකාශ වශයෙන් ස්ථුල ශරීර ඇත්තහුගේ මුළු සිරුර පැතිර සිටියේ ය. කෘශ ශරීර ඇත්තහුගේ ජඞ්ඝාමාංසාදින් නිසා සිටියේ ය. මේ මෙදය තෛල සංග්‍රහයට ගියේ වී නමුත් ඉතා පිළිකූල් ය. එහෙයින් හිස ගානා පිණිස හෝ නාසා තෛලයක් වශයෙන් හෝ නොගනිත්. පරිච්ඡේද වශයෙන් යට මසින් ද මතුයෙහි සමින් ද, සරස මෙද භාගයෙන් ද පිරිසිඳුනා ලදී. මෙදය අසම්මිශ්රවූ වෙනම කොටසෙකැයි නිශ්චය කටයුතු.
අස්සු හෙවත් කඳුලු නම් ඇසින් වැගිරෙන ආපෝ ධාතුවයි. වර්ණ වශයෙන් පහන් තලතෙලකට බඳු පැහැ ඇත්තේ ය. සටහන් වශයෙන් පිහිටි අවකාශ ස්ථානය බඳු සටහන් ඇත්තේ ය. දිසා වශයෙන් උඩ දිසායෙහි පිහිටියේ ය. අවකාශ වශයෙන් ඇස වළ පිහිටියේ ය. මේ කඳුලු පිත්ත කොශයෙහි සිටින පිත්තය මෙන් දෙඇස්වළ හැමකල්හිම රැස්ව නොසිටී. යම් කලෙක සත්ත්වයෝ උපන් සොම්නස් ඇතිව මහාසිනාසෙද්ද, උපන් දොම්නස් ඇතිව වලපිද්ද, හඬද්ද, එබඳුවූ ම කාලයෙක්හි ශරීරයට නොසැපවූ ඉන් හුණුවූ හෝ ඉතා කුළු අහරක් වළඳද්ද, යම් කලෙක ඒ සතුන්ගේ ඇස් ධූමය, දූලිය, වැලිය යන මේ ආදියෙන් පහරණු ලබද්ද, එකල මේ සොම්නස, දොම්නස, විසමාහාර, විසම ඍතු යනාදිය ඇතිවීමෙන් ඇස්වළ පුරා කඳුළු සිටී, නැතහොත් වැගිරෙයි. මේ කඳුලු අරමුණු කොට භාවනා කරණ යෝගාවචරයා විසින් ඇස්වළ පුරා සිටි කඳුළු ම ගෙන භාවනා කටයුතු. පරිච්ඡේද වශයෙන් වනාහී කඳුළුවලින් ම පිරිසිඳුනා ලද්දේ ය. කඳුළු නම් අසම්මිශ්‍ර වූ වෙන ම කොටසෙකැයි නිශ්චය කටයුතු.
වසා නම් වුරුණු තෙලයි. එය වර්ණ වශයෙන් පොල්තෙලට බඳු වර්ණ ඇත්තීය. හුණු කැඳ වත්කළ තෙලට බඳු පැහැ ඇත්තීයයි කියන්නට ද වටී. සටහන් වශයෙන් නගන කල පහන් දිය පිට විසිර භ්‍රමණය වන තෙල් බිඳට බඳු සටහන් ඇත්තීය. දිසා වශයෙන් උඩ යට දෙදිසායෙහිම පිහිටියේ ය. අවකාශ වශයෙන් බොහෝසේ අත්ලය, අත්පිටය, පත්ලය, පාපිටය, දෙනාසාපුටය, නළලය, අංශකූටය යන තන්හි සිටියාය. මේ වසා තොමෝ හස්ත තලාදී අවකාශයන්හි හැම කල්හිම විලිනව සිටින්නි නොවේ. යම්කලෙක වනාහි අග්නි සන්තාපය, සූර්ය්ය සන්තාපය, පිටත්හි වන විසභාග සෘතුය, ඇතුලෙහි වන විසභාග ධාතුය යන මෙයින් ඒ හස්ත තලාදී ප්‍රදේශයෝ උෂ්ණ වූ කල නගන කල පහන් දිය මතුයෙහි පැතිරෙන තෙලක් මෙන් ඔබ්මොබ හැසිරෙති. පරිච්ඡේද වශයෙන් වසායෙන්ම පරිච්ඡින්නය. වසා නම් අසම්මිශ්‍ර වූ වෙන ම කොටසෙකැයි නියම කටයුතු.
ඛෙළ නම් ඇතුළු මුවෙහි පෙණමුසුවූ ආපෝ ධාතුවයි. එය වර්ණ වශයෙන් සුදු පෙණට බඳු වර්ණ ඇත්තේය. සටහන් වශයෙන් අවකාශ ස්ථානයට බඳු සටහන් ඇත්තේය. දිසා වශයෙන් මතු දිසායෙහි පිහිටියේය. අවකාශ වශයෙන් දෙකපොල් පෙදෙසින් බැස දිවෙහි පිහිටියේය. එසේත් නිතර එහි සිටියේම නොවේ. ඇඹුල් ආදි අහරක් දුටුවිට හෝ සිහිකළ විට හෝ උෂ්ණ, තික්ත, කටුක ලවන, ඇඹුල යනාදීන් අතුරෙන් යම් කිසිවක් මුවතුළ තුබූ විට හෝ හෘදය ක්ලාන්ත වූ විට හෝ යම් කිසිවක් නිසා පිළිකුල් බව උපන් විට හෝ මේ ඛෙළය ඉපිද දෙකපොලින් බැස දිවෙහි පිහිටයි. දිව අග පිහිටි කෙළ තුනීය. දිව මුල්හි පිහිටි කෙළ ඝනය. මුවෙහි තබන ලද හබලපෙති සහල් ආදීවූ හෝ උෂ්ණාදීවූ හෝ යම් කිසි රස ඇති අහරක් හෝ ගංවැල්ලෙහි කණින ලද ළිඳක දිය මෙන් අවසන් නොවම තෙමා ලන්නට සමර්ථය. පරිච්ඡේද වශයෙන් වනාහි ඛෙළයෙන්ම පරිච්ඡින්නය. කෙළ නම් අසම්මිශ්රවූ අන්‍යවූ ම කොටසෙකැයි නිශ්චය කටයුතු.
සිඞ්ඝාණිකා නම් සොටුය. මේ මුකුණු නම් හිස්මුලින් වැගිරෙන අසූචියෙක. වර්ණ වශයෙන් ළා තල් ලොඳකට බඳු පැහැ ඇත්තේය. සටහන් වශයෙන් අවකාශ ස්ථානයට බඳු සටහන් ඇත්තීය. දිසා වශයෙන් මතු දිසායෙහි පිහිටියාය. අවකාශ වශයෙන් නාසාපුටයෙහි පුරා සිටී. මේ මුකුණු නාසාපුටයෙහි හැම කල්හි රැස්ව පිහිටියේ නොවෙයි. යම්සේ පුරුෂයෙක් තෙම නෙළුම් පතෙක දී බැඳ යට කටුවෙකින් විදී ද එවිට ඒ සිදුරෙන් දී බැසයන්නේ ද, එපරිද්දෙන් ම යම් කලෙක සත්ත්වයෝ වැලපෙද්ද, හඬද් ද, විසභාග ආහාර, ඍතු ආදියෙන් හෝ ධාතු කිපි කල හෝ හිස තුළින් කුණු සෙම් බවට පැමිණ හිස්මුලින් ගලා තලු මස්තක සිදුරින් බැස නාසාපුටයන් පුරාගෙණ සිටී. නැතහොත් වැගිරෙයි. මුකුණු අරමුණු කොට භාවනා කරණ යෝගීහු විසින් නාසාපුටයන් පුරා සිටි සොටු වශයෙන් ම සළකා පරිග්‍රහ කටයුතු. පරිච්ඡේද වශයෙන් වනාහි සිඞ්ඝාණිකා භාගයෙන් ම පිරිසිඳිනා ලද්දීය. සොටු නම් අසම්මිශ්රවූ අන්‍ය කොටසෙකැයි නියම කටයුතු.
ලසිකා හෙවත් සඳමිදුලු නම් ශරීර සන්ධීන්ගේ ඇතුළත පවත්නා බෙලසුල් කුණුය. වර්ණ වශයෙන් කිණිහිරි ලාටුවකට බඳු පැහැ ඇත්තීය. සටහන් වශයෙන් අවකාශ ස්ථානයට බඳු සටහන් ඇත්තීය. දිසා වශයෙන් දෙදිසායෙහි ම පිහිටියේය. අවකාශ වශයෙන් සන්ධීන්ගේ තෙල්ලීම් කෘත්‍යය සිඬකරමින් එක්සිය අසූවක් සන්ධීන්ගේ ඇතුළෙහි සිටී. යම් කෙනෙක්හට සඳමිදුලු මඳ වේද ඔහු නැගි සිටින විට ද, හිඳින කල ද, යන එන විට ද, අතපය හකුළුවන විට ද, දිග් කරන විට ද, අස්ථිහු කට කට යන ශබ්දය කෙරෙති. අසුරු ගසන්නෙකුසේ හැසිරෙති. යොදුනක් දෙකක් පමණ වූ මග ගිය විට වායෝ ධාතුව කිපෙයි. ශරීරයට දුක්ඛ වේදනා උපදිත්. යමෙක්හට සඳමිදුලු බොහෝ වී නම් ඕහට නැගීසිටීම, බැස හිඳීම් ආදිය ඇතිකල්හි අස්ථිහු කට කට යන ශබ්දය නොකෙරෙයි. දුරමගද ගියහට වායෝ ධාතුව නො කිපෙයි. ශරීරයෙහි දුක්ඛ වේදනාවෝ ද නූපදිත් පරිච්ඡෙද වශයෙන් වනාහි සඳමිදුලු භාගයෙන් ම පිරිසිඳුනා ලදය. සඳමිදුලු නම් අසම්මිශ්රවූ වෙන ම කොටසෙකැයි නිශ්චය කටයුතු.
මුත්තං හෙවත් මූත්‍ර නම් වර්ණ වශයෙන් උඳුගැරූ දියට බඳු වර්ණ ඇත්තේය. සටහන් වශයෙන් මුහුණින් නමා තුබූ කළය ඇතුළෙහි සිටි දියට බඳු සටහන් ඇත්තේය. දිසා වශයෙන් යට දිසායෙහි පිහිටියේය. අවකාශ වශයෙන් වස්තියෙහි ඇතුළත්හිම පිහිටියේය. වස්තියට වස්තිපුටයයි ද කියනු ලැබේ. යම්සේ ඉඳුල් දිය ගර්භමලාදීන් දමන දියසුන් ගවරවළ ඔබන ලද මුවනැති සිලිදිය වදනා කළයෙහි ගවරවළ දිය උනාවදී ද, ඒකළයෙහි දියවදනා මගෙක් නොපෙනේ ද එපරිද්දෙන් ම සිරුරින් උනා මූත්‍රා වදී ඔහුගේ වදනා මග නොපෙනේ. නික්මෙන මග ප්රකටය. යම් වස්තිපුටයක් මූත්‍රයෙන් පිරුණු කල්හි පස්සාව කෘත්‍යය හෙවත් මූත්‍ර කරමියි අදහස පහළවෙයි. පරිච්ඡෙද වශයෙන් වනාහි වස්තියෙහි ඇතුළතින් ද, මූත්‍ර භාගයෙන් ද පිරිසිඳනා ලදහ. මූත්‍ර නම් අසම්මිශ්රවූ වෙනම කොටසෙකැයි නිශ්චය කටයුතු.
මෙසේ කෙස් ආදී දෙතිස් කොටසුන් වර්ණ, සණ්ඨාන දිසා, අවකාශ, පරිච්ඡෙද යන මොවුන්ගේ වශයෙන් නිශ්චය කොට පිළිවෙලින් ඉතා ශීඝ්‍ර නොවය යනාදී වශයෙන් වර්ණ, සණ්ඨාන, ගන්ධ, ආශය, අවකාශය යන මොවුන්ගේ වශයෙන් පස්පරිද්දෙකින් පිළිකුල්යයි මෙනෙහි කරන්නාවූ යෝගාවචරයාහට කෙශාදී ප්රඥප්ති ඉක්මවීම් වශයෙන් පවත්නා භාවනාව කෙළවර, ඇස් ඇති පුරුෂයාහට දෙතිස් වර්ණයක් ඇති කුසුමයන්ගේ එකහුයකින් බැඳී මල්දම බලන කල්හි සියලු පුෂ්පයෝ පසු පෙරට නොව එකවරට මෙන් පහළ වෙද්ද, එපරිද්දෙන් මේ කයෙහි කෙශයෝ ඇත යනාදී වශයෙන් කය බලනුවහට වර්ණාදීන්ගේ වශයෙන් නියමිත වූ පිළිකුල් ආකාරයෙන් වැටහුණු ඒ සියලු කොටස් එකවට මෙන් ප්‍රකට වෙත්.
ඉදින් ඔහු පරසන්තානයෙහි ද මනස්කාරය එළවා නම් මේ සිරුර යම්සේ පිළිකුල් ද එසේම ඒ සිරුර ද පිළිකුල් යයි වැටහෙන්නේ ම ය. යම්සේ තමාගේ කොටස් ද, අනුන්ගේ කයෙහි සියලු කෙසාදී කොටසුන් ද පිළිකුල් වශයෙන් ප්රකටව වැටහුණු කල්හි ඇවිදුනාවූ මිනිස් තිරිසන් ආදීහු සත්ත්වාකාරය හැර කුණප කොටස් රාශි වශයෙන් ම වැටහෙත්. ඔවුන් විසින් වළඳන ලබන ආහාරපාන ආදිය ද කුණප කොට්ඨාස රාශියෙහි බහාලන ලද දැයක් මෙන් වැටහේ. ඉක්බිති ඒ යෝගීහට අනුපූර්වමුඤ්චනාදී වශයෙන් පිළිකුල්හ, පිළිකුල්හයි නැවත නැවත තමාගේ කයෙහි කෙශාදී කොටසුන් මෙනෙහි කරණුවහට පිළිවෙලින් අර්පණා උපදී. යම් කලෙක ශ්‍රද්ධාදී ඉන්ද්රියයෝ සමව, සුවිශදව පවතිද් ද එසමයෙහි අශ්රද්ධාදීන්ගේ දුරුවීමෙන් අතීශයවත්ව බලප්රාප්තවූ ධර්මයෙන් උපත්ථම්භ ලදින් විතර්කාදී ධ්‍යානාඞ්ගයෝ පටුතරව පහළවෙති. ඔවුන්ට ඉඳුරා ප්රතිපක්ෂ බැවින් නීවරණයන් කෙලෙසුන් හා සමග විෂ්කම්භිත වෙති. උපචාරසමාධියෙන් සිත සමාහිත වෙයි. යෝගීතෙම එම නිමිත්තම සේවනය කරනුයේ, වඩනුයේ, බහුල කරනුයේ අර්පණාවට ද පැමිණෙන්නේ ය.
එහි කෙශාදීන්ගේ වර්ණ, සණ්ඨාන, දිසා, ඕකාශ, පිරිසිඳීම් වශයෙන් වැටහීම උග්ගහ නිමිත්ත නම්. හැම ආකාරයෙන් ම පිළිකුල් වශයෙන් ම වැටහීම ප්‍රතිභාග නිමිත්ත නම් එය ආසේවනය කරනුහට, වඩනු හට අශුභ කමටහන්හි මෙන් ප්‍රථමධ්‍යාන වශයෙන් අර්පණාව උපදී. ඒ අර්පණාතොමෝ යමක්හට එකම කොටසෙක පහළවේ ද, එක කොටසෙක හෝ අර්පණාවට පැමිණ නැවත අනික් කොටසෙක පරිකර්මය නොකෙරේ ද, ඒ යෝගීහට එකම අර්පණාව උපදී. යමක්හට වනාහි නොයෙක් කොටස්හු පහළ වෙද්ද, එක් කොටසෙක ධ්‍යානයට පැමිණ නැවත අනික් කොටසෙහිදු යෝගය කෙරේ ද, යෝගීහට මල්ලක නම් තෙරුන්ට මෙන් කොටස් ගණනින් ප්රථමධ්යානයෝ උපදිත්. ඒ තෙරණුවෝ දීඝභාණක අභය නම් තෙරුන් අත් ගෙණ ඇවැත්වූ අභය මේ පැන උගණැයි කියා මේ කාරණය කීයේය. මල්ලක නම් ස්ථවිර තෙම දෙතිස් කොටසුන් කෙරෙහි දෙතිසක් වූ ප්රථමධ්යානයන් ලද්දේය. ඉදින් රාත්‍රියෙහි එක් ධ්‍යානයකට ද, දහවල් එක් ධ්‍යානයකට ද සමවදී නම් නැවත මුල් ධ්‍යානයට පැමිණෙන්නේ අඩමසක් ඉක්මීමෙන් ය. ඉදින් දවස දවස එක් ධ්‍යානයකට සමවදී නම් නැවත මුල් ධ්‍යානයට පැමිණෙන්නේ මසක් ගතවීමෙන්ය. මෙසේ ප්රථමධ්යානයන්ගේ වශයෙන් සිද්ධවන්නාවූ මේ කමටහන වර්ණ සණ්ඨානාදීන් කෙරෙහි ස්මෘති බලයෙන් ම සිද්ධ වන බැවින් කායගතාසති යයි කියනු ලැබේ.
මේ කායගතාසතියෙහි යෙදුණු මහණ තෙම අරණ්‍ය සේනාසනයන්හි ද, අධිකුසලයෙහි ද නො ඇල්ම නම්වූ අරතිය ද, පඤ්චකාම ගුණයෙහි රතිය ද මැඩලන්නේ ය. අරති රතීහු ඔහු මැඩලන්නට අසමර්ත්ථවේ. ඔහු උපන් උපන් අරති රතීහු මැඩලමින් වසන්නේ ය. එසේම භය භෙරව මැඩලන්නේ ය. භය භෙරවයෝ ඔහු නොමඩිත්. ඔහු උපන් උපන් භය භෙරවයන් මැඩලමින් වසන්නේ ය. ශීතය ද, උෂ්ණය ද, සමව ඉවසන්නේ ය. කෙශාදීන්ගේ වර්ණ භේදය ගෙන භාවනා කිරීමෙන් සතර ධ්‍යානයන් ලබන්නේ වේ. ෂට්අභිඥාවන් ද ප්‍රතිවේධය කරන්නේ ය.
එබැවින් නුවණැත්තෝ මෙබඳු නොයෙක් අනුසස් ඇති මේ කායගතාසතියෙහි යෙදෙන්නාහ.