ආනාපාන සති භාවනායෙහි අනුසස්
මේ ආනාපාන සතිය මහත්ඵල මහානිසංස වේ.
- විතර්ක සිඳලීම - මේ ආනාපාන සති සමාධිය ශාන්ත, ප්‍රණීත, අසේවනක, සුඛවිහාර හෙයින් සමාධියට අන්තරායකර වූ කාමවිතර්කාදීන්ගේ වශයෙන් සිත ඔබින් ඔබ දිවීම වළකා, සිත ආනාපාන අරමුණට අභිමුඛ කෙරේ.
- මාර්ගඵල පිරීමට මුල්වීම - ආනාපාන සතිය වැඩීමෙන් කායානුපස්සනාදී වූ සතර සතිපට්ඨානය සම්පූර්ණ කෙරේ. බෝධ්‍යාඞ්ග භාවනාවන් නැතිව සතිපට්ඨාන භාවනාවගේ සම්පූර්ණවීමක් නොවන හෙයින් සප්ත බෝධ්යාඞ්ගයන් ද වඩන ලද්දේ වේ. බෝධ්‍යාඞ්ග භාවනායෙන් විද්‍යා විමුක්තින් මුදුන්පත් වන හෙයින් විද්‍යා විමුක්ති හෙවත් මාර්ගඵල ද පුරන්නේ ය.
- චරිමක ආශ්වාස ප්‍රශ්වාස දැනගැන්ම - චරිමක ආශ්වාස ප්‍රශ්වාස නම් අවසාන වූ ආශ්වාස ප්‍රශ්වාසයෝ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් “රාහුලය ආනාපාන සතිය මෙසේ භාවිතා කරන ලද්දේ චරිමක ආශ්වාස ප්‍රශ්වාස පවා දැනගෙනම නිරුද්ධවෙත්. නොදැනී නිරුද්ධ නොවෙයි” යයි වදාළ හෙයින්, මේ ආනාපාන සතිය මනාකොට වඩන ලද පුද්ගල තෙමේ, මරණය පැමිණි අවස්ථාවෙහි දී අවසාන වශයෙන් ඇති වන ආශ්වාස ප්‍රශ්වාසයන් පවා දැනීමෙන් ම නිරුද්ධ වන්නේ යයි දක්වන ලදී. මේ චරිමකයෝ තුන් දෙනෙකි. එනම්:-
- භව චරිමක
- ධ්‍යාන චරිමක
- චුති චරිමක යන තුන ය.
- භව චරිමක - ආශ්වාස ප්‍රශ්වාසයෝ ඇත්තේ කාමභවයෙහි ය. රූපාරූප භවයන්හි ආශ්වාස ප්‍රශ්වාසයෝ නැත්තාහ. හීනවූ කාමභවයෙහි පවත්නා ආශ්වාස ප්‍රශ්වාසයෝ භව චරිමක නම් වෙති.
- ඣාන චරිමක- ධ්‍යානයන් අතුරෙන් ප්‍රථම, ද්විතිය, තෘතිය ධ්‍යාන අවස්ථාවන්හි ආශ්වාස ප්‍රශ්වාසයෝ ඇත්තාහ. චතුර්ත්ථධ්යානයන්හි දී ආශ්වාස ප්‍රශ්වාස නැත. එහෙයින් ප්‍රථම, ද්විතිය, තෘතිය යන ධ්යානත්රයෙහි ආශ්වාස ප්‍රශ්වාසයෝ ඣාන චරිමක ය.
- චුති චරිමක- යම් ආශ්වාස ප්‍රශ්වාස කෙනෙක් චුති චිත්තයෙන් යට සොළොස් වන සිත හා සමග ඉපද, චුති චිත්තය හා සමග නිරුද්ධ වෙද්ද, මේ ආශ්වාස ප්‍රශ්වාසයෝ චුති චරිමක නම් වෙත්. මෙහි දී අදහස් කරනු ලබන්නේ චුති චරිමක යයි. මෙසේ වනුයේ පෘථජ්ජනයාහට ය. රහතන් වහන්සේට වනාහි සිත් ශාන්තව වැටෙන හෙයින්, ආශ්වාස ප්‍රශ්වාසයෝ චුති චිත්තයෙන් පෙරව ම නිරුද්ධ වෙති යි කියන ලදී. මේ ආනාපාන කර්මස්ථානයෙහි යෙදුනු යෝගීහට ආනාපාන සඞ්ඛ්‍යාත අරමුණ මනාකොට පරිග්‍රහ කළ බැවින් චුති චිත්තයට පෙරටුව සොළොස් වන චිත්තයාගේ උත්පාද ක්ෂණයෙහි ඒ ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ උත්පාදය ආවර්ජනා කරණුවහට උත්පාදය ද පහළවෙයි. ඒ ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ ස්ථිතිය ආවර්ජනා කරණුවහට ස්ථිතිය ද පහළ වෙයි. ඔවුන්ගේ භඞ්ගය බලනුවහට භඞ්ගය ද ප්‍රකට වෙයි. මේ කමටහන හැර අන්‍ය කමටහනක් භාවනා කොට රහත් බවට පැමිණි භික්ෂුහට ජීවිතය පවත්නා කාලය පිරිසිඳ දැනීම හෝ නො දැනීම විය හැකි. මේ ෂොඩශ වස්තුක වූ ආනාපාන සතිය භාවනා කොට අර්හත්ත්වයට පැමිණියහට ජීවිත කාලාවධිය පිරිසිඳුනා ලද්දේම වේ. හෙතෙම දැන් මෙතෙක් කල් මාගේ ආයුසංස්කාරයෝ පවත්නාහ. මෙයින් මතුයෙහි නො පවත්නාහයි දැන තමන්ගේ ස්වභාවයෙන් ම සිරුරු පිළිදැග්ම, හැඳීම්, පෙරවීම් ආදී වූ සියලු කටයුතු නිමවා ඇස් පියන්නේ ය.
පෙර සිතුල්පහු වෙහෙර විසූ දෙබෑ තෙරුන් අතුරෙන් එක් තෙර නමක් පුරපසලොස්වක දින ප්රාතිමෝක්ෂය දෙසා භික්ෂු සඞ්ඝයා පිරිවරා, තමන් වැඩවසන තැනට ගොස් සක්මන් මලුයෙහි සිට සඳපහන බලා, තමන්ගේ ආයුසංස්කාරය සළකා, පෙර අඩමස සවස් වේලෙහි හාත්පසින් නමන ලද ක්ෂීරධාරා බඳු වූ අහස් තලය ද, රිදීපටක් බඳු වැලිතලා ඇති භූමිභාගය ද දැක, මේ කාලය ද, ප්‍රදේශය ද රම්‍ය ය, මාගේ අදහස වැනිය, කෙතෙක් කල් මේ දුක්ඛ භාරය ඉසිලිය යුතුදෝ හෝයි සිතනුයේ, භික්ෂු සඞ්ඝයා අමතා “තොප විසින් කෙසේ පිරිනිවන් පානා භික්ෂූහු දක්නා ලද විරූදැ”යි ඇසූ සේක. ඔවුන් අතුරෙන් සමහර කෙනෙක්, අප විසින් අසුන්හි හිඳම පිරිනිවන් පානාහු දක්නා ලද විරූහු යයි ද, සමහර කෙනෙක් අප විසින් අහස පලක් බැඳ හිඳම පිරිනිවන් පානාහු දක්නා ලද විරූහයි ද කීහු. එකල්හි මේ තෙරුන් වහන්සේ, දැන් මම තොපට සක්මන් කෙරෙමින් ම පිරිනිවන් පානාක්හු දක්වමි යි කියා, සක්මන හරහ ඉරක් ඇඳ, මම මේ සක්මන් කෙළවරින් අනික් කෙළවරට ගොස් එයින් හැරී විත් මේ රේඛාවට පැමිණ ම පිරිනිවන් පාමි යි කියා සක්මනට බැස අනික් කෙළවරට ගොස් හැරී එන්නේ එක් පයෙකින් රේඛාව ඇක්ම ගත් කෙණෙහි ම පිරිනිවියේ ය. ආනාපාන සති භාවනාව මෙසේ මහත්ඵල මහානිශංස බව දත යුතු.