ප්‍රථම චතුෂ්කය
- දිඝංවා අස්සසන්තො දිඝං අස්සසාමීති පජානාති දිඝංවා පස්සසන්තො දිඝං පස්සසාමීති පජානාති
- රස්සංවා අස්සසන්තො රස්සං අස්සසාමීති පජානාති රස්සංවා පස්සසන්තො රස්සං පස්සසාමීති පජානාති
- සබ්බකාය පටිසංවෙදි අස්සසිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවෙදි පස්සසිස්සාමීති සික්ඛති
- පස්සම්භයං කාය සංඛාරං අස්සසිස්සාමීති සික්ඛති පස්සම්භයං කාය සංඛාරං පස්සසිස්සාමීති සික්ඛති.
මෙහි සාමාන්‍ය අර්ථය නම්:-
- දීර්ඝකොට ආශ්වාස කරමින් දීර්ඝකොට ආශ්වාස කරමියි දැනගන්නේය. දීර්ඝකොට ප්‍රශ්වාස කරමින් දීර්ඝකොට ප්‍රශ්වාස කරමියි දැනගන්නේය.
- ලුහුඬුකොට ආශ්වාස කරමින් ලුහුඬුකොට ආශ්වාස කරමියි දැනගන්නේය. ලුහුඬුකොට ප්‍රශ්වාස කරමින් ලුහුඬුකොට ප්‍රශ්වාස කරමියි දැනගන්නේය.
- සියලු ආශ්වාස කාය ප්‍රකට කොට දනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙන්නේය. සියලු ප්‍රශ්වාස කාය ප්‍රකට කොට දනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙන්නේය.
- ඖදාරික කාය සංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙන්නේය. ඖදාරික කාය සංස්කාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙන්නේය.
ඒ ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ යම් දිග් ලුහුඬු බවෙක් වෙද්ද එය කාල වශයෙන් දතයුතු. මනුෂ්‍යයන් කෙරෙහි සමහර කෙනෙක් හස්ති, සර්පාදීන් මෙන් කාල වශයෙන් දීර්ඝකොට ආශ්වාස ප්‍රශ්වාස ප්‍රබන්ධයෝ පවත්වත්. සමහර කෙනෙක් බලු ශශ ආදීන් මෙන් භ්රස්වකොට ආශ්වාස ප්‍රශ්වාස ප්‍රබන්ධයෝ පවත්වත්. එහෙයින් ඒ සත්ත්වයන්ගේ කාල වශයෙන් දීර්ඝ වේලාවක් නික්මෙන්නාවූ ද, වදනාවූ ද ඒ ආශ්වාස ප්‍රශ්වාසයෝ දීර්ඝයහ යයි ද, ස්වල්ප කාලයක් නික්මෙන්නාහු ද, වදනාහු ද ඒ ආශ්වාස ප්‍රශ්වාසයෝ භ්රස්වයහ යි ද දතයුත්තාහුය.
මේ යෝගීතෙම නවආකාරයකින් දීර්ඝකොට ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ මම දීර්ඝකොට ආශ්වාස ප්‍රශ්වාස කරමියි දැන ආශ්වාස ප්‍රශ්වාස කළයුතු. එසේ දැනගත් ඔහට දීර්ඝ ආශ්වාස භ්‍රස්ව ආශ්වාස, දීර්ඝ ප්‍රශ්වාස භ්‍රස්ව ප්‍රශ්වාස යන සතරාකාරයෙන් හෝ මතු කියනු ලබන නවආකාරයෙන් එක් ආකාරයෙකින් හෝ කායානුපස්සනා සතිපට්ඨාන භාවනා සමෘද්ධ වන්නේය.
යෝගාවචර තෙම යට කියන ලද පරිදි සුදුසු සෙනසුනෙක්හි පළඟ බැඳ හිඳ උඩුකය ඍජු කොට තබාගෙන, පරිමුඛ කොට සිහිය එළවා ආශ්වාස ප්‍රශ්වාස අරමුණෙහිම සිත පිහිටුවා ගැනීමට උත්සාහ කටයුතු. බුදුරජාණන් වහන්සේ ආදිකර්මිකයාහට කර්මස්ථාන වශයෙන් වදාළේ යට දැක්වූ ප්‍රථම චතුෂ්කය පමණය. සොළසාකාරයෙන් ඉතිරි චතුෂ්ක තුන, මේ ප්‍රථම චතුෂ්කය වැඩීමෙන් ධ්යානලත් පුද්ගලයාහට වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන් වදාළහ. එබැවින් මේ කර්මස්ථානය වඩා ආනාපාන චතුර්ථධ්යානය පදස්ථාන කොට ඇති විදර්ශනායෙන් සිව්පිළිසිඹියා සමග අර්හත්වය ලබනු කැමති ආදිකර්මිකයා විසින් පෙර දක්වන ලද පරිද්දෙන් සිල් පිරිසුදු කර ගැනීම් ආදී වශයෙන් සියලු පූර්වකෘත්යයන් සම්පූර්ණ කොට ආචාර්යවරයෙකු කරා එළඹ, උග්ගහ, පරිපුච්ඡා, උපට්ඨාන, අප්පණා, ලක්ඛණ යන සන්ධි පසින් යුත් කර්මස්ථානය ඉගෙන ගතයුතු. උග්ග්රහය නම් කර්මස්ථාන ග්‍රන්ථය ඉගැන්මයි. පරිපුච්ඡා නම් කමටහන් ග්රන්ථයාගේ අර්ථ විචාරය නොහොත් අර්ථ වශයෙන් සැක තැන් විචාරා උගැනීමයි. උපට්ඨාන නම් කමටහන වැටහීමය. මෙසේ භාවනායෙහි යෙදෙනුවහට මේ කමටහන්හි මෙසේ නිමිත්ත උපදියි යනාදි වශයෙන් උගැනීමය. අර්පණා නම් මේ කර්මස්ථානය වැඩීමෙන් මෙසේ ධ්‍යානය හෙවත් අර්පණාව වන්නේයයි උගෙනීමය. ලක්ඛණ නම් කර්‍මස්ථානයාගේ ස්වභාවයයි. ගණන, අනුබන්ධන, ඵුසන යන මොවුන්ගේ වශයෙන් භාවනාව වඩා ඨපනාවට පැමිණීම ද, එයින් මතුයෙහි ද සල්ලක්ඛණය, විවට්ටනය, පාරිසුද්ධිය, පතිපස්සනය යන ආදී වශයෙන් අට ආකාරයෙන් කමටහන්හුගේ ස්වභාවය සැළකීමය. මෙසේ පඤ්චසන්ධික වශයෙන් කර්මස්ථානය ඉගෙන ගත්තේ නම් තෙමේ ද ආචාරිහු ද වෙහෙසට පත් නොවෙති. එහෙයින් මදක් කියවාගෙන බොහෝ කාලයක් පුහුණු කොට, පස්සන්ධියක් ඇති කමටහන ඉගෙන ආචාරීන් සමීපයෙහි හෝ කියන ලද ප්‍රකාර ඇති අනික් සේනාසනයක හෝ වසමින්, සිඳින ලද කුඩා පළිබෝධයන් ඇතිව, කරණ ලද බත්කිස ඇතිව, අහර වැළඳීමෙන් වන බත්මත ද දුරුකොට, තුණුරුවන් ගුණ සිහි කිරීමෙන් සිත සතුටු කොට, ආචාරීන් කෙරෙන් ගත් සියලු භාවනාවිධි එකක්වත් නොහැර සිහිකොට මේ ආනාපානසති කර්මස්ථානය මෙනෙහි කටයුතු. මේ අට ආකාර ලක්ෂණයන් අතුරෙන් ගණන නම් ගණන් කිරීමය, අනුබන්ධන නම් සිහිය ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ අනුගමනය වශයෙන් ස්මෘතියගේ නිරන්තරයෙන් පැවත්ම ය. ඵුසන නම් ආශ්වාස ප්‍රශ්වාසයන් ගණන්නහුගේ ද ගණනාව හැර, ආශ්වාස ප්‍රශ්වාසයන් ස්මෘතියෙන් බැඳ මෙනෙහි කරන්නා හට යම්සේ අර්පණාව වේ ද එසේ සිහි බඳනාහුගේ නාසිකාග්‍රයෙහි ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ ස්පර්ශ කිරීමය. ඨපනා නම් අර්පණාව හෙවත් සිත මනාකොට අරමුණෙහි පිහිටුවීම ය. සල්ලක්ඛණ නම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් හෙවත් විදර්ශනා වශයෙන් මනාකොට සැළකීම ය. විවට්ටනා නම් ප්රවෘත්ති වශයෙන් ද, නිමිත්ත වශයෙන් ද, විනිවර්තනය කිරීම හෙවත් ආර්‍ය්‍ය මාර්ගයයි. පාරිසුද්ධි නම් සියලු කෙලෙසුන් සර්වප්රකාරයෙන් සන්සිඳුවීම හෙවත් ආර්‍ය්‍ය ඵලයයි. පටිපස්සනා නම් විවට්ටනා පාරිශුද්ධි ආදීන්ගේ වෙන් වෙන් ව බැලීම නම් වූ ප්රත්යවේක්ෂණයයි.
ගණන - ආදිකර්මිකයා විසින් පළමුකොට මේ කමටහන ගණනින් මෙනෙහි කටයුතු. ගණන් කරන කල්හි ද පසෙකින් අඩුව ද නො ගිණිය යුතු. එක, තුන, පස යනාදී වශයෙන් ද අතර ගණන නො කැඩිය යුතු. පසෙකින් අඩුව ගණන් තබන්නාහට සම්බාධ වූ අවකාශයෙහි චිත්තෝත් පාදය චඤ්චලවේ. ඉඩ මද ගාලෙහි ගෙරිමුල මෙනි. දසයකින් මත්තට ගණන පමුණුවන්නහුට ගණනෙහි ම සිත බැඳෙයි. කමටහනෙහි නොරැඳෙයි. ගණන අතරෙහි කඩකරන්නාහට කමටහන මුදුන් පැමිණියේදෝ හෝ නොපැමිණියේදෝ හෝයි සිත චංචල බවට පත් වේ. එහෙයින් මේ දෝෂයන් දුරු කොට ගිණිය යුතු. ගණන් කරන්නහු විසින් ද පළමු කොට දන්ධගණනින් හෙවත් වී මනිනවුන්ගේ ගණනින් ගිණිය යුතු. වී මනින තැනැත්තේ වී වලින් නැළිය පුරා එකයි කියා මල්ලට දමයි. නැවත නැළිය පුරවන්නේ කුණුරොඩු ආදියක් දුටුයේ නම් එය ඉවත දමමින් එකයි එකයි කියන්නේ ය. දෙවෙනි වරට නැළිය සඟලින් පුරවා මල්ලට දමන්නේ දෙකයි දෙකයි කියන්නේ ය. මේ ආදී ක්‍රමයෙන් මල්ලට දමන වී නැළියම ගණන් කරන්නේ ය. එපරිද්දෙන් ම යෝගාවචරයා විසින් ද ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ වැටහුණු ආශ්වාස ප්‍රශ්වාසයන් පමණක් ම ගණියි. නොවැටහුණු ආශ්වාස ප්‍රශ්වාසයන් නොගනියි. මෙසේ බොහෝ කාලයක් වැටහෙන වැටහෙන ආශ්වාස ප්‍රශ්වාසයන් එකයි, දෙකයි, තුනයි යනාදී වශයෙන් දසය දක්වා ගණන් කරන යෝගාවචරයාහට නික්මෙන්නාවූ ද ඇතුළට වදනාවූ ද ආශ්වාස ප්‍රශ්වාසයන් ප්රකටව වැටහෙත්. ඉක්බිති යෝගාවචරයා මෙකී දන්ධ ගණන හැර ශීඝ්‍ර ගණන වූ ගොපල්ලන්ගේ ගිණීමෙන් ආශ්වාස ප්‍රශ්වාසයන් ගණන් කරන්නේ ය. දක්ෂවූ ගොපල්ලා ගල්කැට ඉනතබාගෙන රැහැන් කෙවිටි ගෙන උදෑසනින් ගාලට ගොස් ගවයන් පිටට පහරදී නැගිටුවා, දොරටු කණුව මත නැග දොරටුවට පැමිණි ගවයන් එකයි, දෙකයි යනාදී වශයෙන් ගල්කැට දමා ගණින්නේ ය. මුළු රාත්‍රියෙහිම අවකාශ මද ගාලෙහි තද වෙමින් සිටි ගවයෝ දොරටුවෙන් නික්මෙන්නාහු ඔවුනොවුන් ඇඟ ගටමින් වෙළි වෙළි වහා පිටවෙත්. එපරිද්දෙන් ම යෝගාවචර තෙමේ ද වහා වහා ගණන් කරන්නේ ආශ්වාස ප්‍රශ්වාසයන් වෙන් වශයෙන් නොසළකා නාසිකාග්‍රයට පැමිණෙන ආශ්වාස ප්‍රශ්වාසයන් ම එක, දෙක, තුන, සතර යනාදී වශයෙන් දසය දක්වා වහ වහා ගණන් කරන්නේ ය. මෙසේ කමටහන ගණන පිළිබඳ වූ කල්හි ගණන බලයෙන් ම සිත එකඟවේ. සැඩවතුරේ රිටේ බලයෙන් නැව නවත්වන්නාක් මෙනි. මෙසේ ආශ්වාස ප්‍රශ්වාස අරමුණු කරන්නාවූ යෝගාවචර තෙම ඇතුළට වදනා වාතයත් සමඟ සිත ද ඇතුළට නොගෙනිය යුතු. පිටතට නික්මෙන වාතය හා සමග ද සිත පිට නොකළ යුතු. එසේ කළහොත් බාහිර අරමුණෙහි සිත රැඳිය හැකි බැවින් ඔහු විසින් නාසිකාග්රයෙහිදී ම ආශ්වාස ප්‍රශ්වාසයන් පිහිටුවා ගෙන මෙනෙහි කළ යුතු.
මෙසේ ගණන් කරමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නා වූ පුද්ගලයා විසින් ගණන් කිරීමක් නැතිව ආශ්වාස ප්‍රශ්වාස යන්හි සිත පිහිටුවා ගත හැකි වන තාක් කල් ආශ්වාස ප්‍රශ්වාසයන් ගණන් කරමින් ම භාවනා කටයුතු.
අනුබන්ධන- නම් ගණන් කිරීම නවත්වා සිහියෙන් යුක්ත ව නිතර ආශ්වාස ප්රශ්වාසයන්ට අනුව යාම ය, හෙවත් උපන් උපන් ආශ්වාස ප්‍රශ්වාසයන් අරමුණු කිරීම් වශයෙන් සතිය නැවත නැවත පැවැත්ම ය. ඒ අනුගමනය ද ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ ආදිය, මධ්‍යය, අවසානය අනුව යාම් වශයෙන් නොකළ යුතුය. පිටතට නික්මෙන වාතය ශරීරයේ නාභි ප්‍රදේශයෙන් නික්මෙන හෙයින් නාභිය ආදිය වශයෙන් ද, හදය ප්‍රදේශය මධ්‍යය වශයෙන් ද, නාසිකාග්‍රය අවසානය වශයෙන් ද සලකනු ලැබේ. ඇතුළට වදනා වාතයාගේ ආදිය නාසිකාග්‍රය ද, මධ්‍යය හදය ප්‍රදේශය ද, අවසානය නාභිය වශයෙන් ද සැලකිය යුතු. ඒ අනුව සිත ගිය හොත් සිත වික්‍ෂේපව, කර්මස්ථාන මනස්කාරය චලනය වෙයි. එහෙයින් ආශ්වාස ප්‍රශ්වාසයන් අරමුණු කරන සිත ඒ ආශ්වාස ප්‍රශ්වාසයන් අනුව ඇතුළට හෝ පිටතට නොයායුතු. එසේ නොකොට ඵුසන වශයෙන් ද ඨපන වශයෙන් ද මෙනෙහි කටයුතු.
අනුබන්ධන වශයෙන් ආශ්වාස ප්‍රශ්වාසයන් අනුව සිත තබන්නහුගේ නාසා අග ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ පැහැරීම ඵුසන නම්. එම අරමුණෙහි සිත මනාකොට පිහිටුවීම ඨපන නම්. එහෙයින් ඵුසන ඨපන වශයෙන් වෙනම මෙනෙහි කිරීමක් නැත. ගණන අනුබන්ධන වශයෙන් මෙනෙහි කරන කල්හි ඵුසන ඨපන වශයෙන් ද මෙනෙහි කිරීම වේ. එය පැහැදිලි කිරීම් වශයෙන් පඞ්ගුලොප- මාව ය, දොවාරිකොපමාව ය, කකචොපමාව ය යන උපමා දක්වන ලදී.
මව් පුතු දෙදෙන නැගි දෝලාව පදවන පිළුතෙම දෝලාව මූල හුන්නේ යන්නා වූ ද එන්නා වූ ද දෝලාවෙහි දෙකෙළවර හා මැද දක්නේ ද, ඒ දෙකෙළවර සහ මැද ද දක්නා පිණිස වෙහෙසීමක් නොකරන්නේ ද, එපරිද්දෙන් ම මහණ තෙම උපනිබන්‍ධන නමැති ස්ථම්භමූලයෙහි හෙවත් නාසිකාග්‍රයෙහි සිහියෙන් සිට ආශ්වාස ප්‍රශ්වාස නමැති දෝලාව මෙනෙහි කොට පිටතට නික්මෙන්නා වූ ද ඇතුළට වදනා වූ ද වාතය අනුව නොගොස් ස්පර්ශ වන්නා වූ ස්ථානයෙහි දී ම අරමුණු කොට එහිම සිත මනාකොට පිහිටුවා ගනියි. ඒ සඳහා අමුතු උත්සාහයක් ද නොකරන්නේ ය. මෙය පඞ්ගුලොපමාව ය.
නගර දොරටුව රැක බලා ගන්නා දොරටුපල් තෙම නුවර ඇතුළත හෝ පිටත සිටින මිනිසුන් වෙත නොගොස් දොරටුවට පැමිණි පිරිසම විමසන්නාක් මෙන් මහණ තෙමේ ද ඇතුළට වන් වාතය ද පිටතට ගිය වාතය ද අනුව නොගොස් නාසිකාග්‍ර නමැති දොරටුව ස්පර්ශ කළ ආශ්වාස ප්රශ්වාසයෝම අරමුණු කොට එහි ම සිත පිහිටුවා ගන්නේ ය. මෙය දොවාරිකොපමාව නමි.
වඩුතෙම සමබිමක තිබූ රුක් කඳක් කියතකින් ඉරන කල්හි ඔබිමොබ යන කියත් දත්හි නොව කියත් දැති වදනා තැනම ඔහුගේ සිහිය රඳා පවතී. හැම කියත් දත්ම එහි ස්පර්ශ කෙරෙන බැවින් ඔබිමොබ යන කියත් දත් පිළිබඳ ඔහුගේ මෙනෙහි කිරීමක් නැත. නමුත් ඔහුගේ රුක් කඳ ඉරීමේ ප්‍රයෝගය ද, කඳ ඉරීම ද, කඳ දෙකඩව යාම ද පෙනේ. ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරන්නා වූ යෝගාවචරයා ද එමෙනි. මෙහි සමබිම තුබූ රුක් කඳ මෙන් නැහැ අඟ ගත් උපනිබන්‍ධන නිමිත්ත ද, කියත් දැති මෙන් ඇතුළත පිටත යන එන ආශ්වාස ප්‍රශ්වාසයන් ද, කඳ ඉරන වඩුවාගේ සිහිය කියත් දැති වදනා තැන පවත්නාක් මෙන් යෝගීහුගේ සිහිය නාසා අග නිමිත්තයෙහි පැවැත් ම ද, ඔබිමොබ යන කියත් දැති පිළිබඳ මෙනෙහි කිරීමක් නැත්තාක් මෙන්, ඇතුළත වදනා පිටත නික්මෙන ආශ්වාස ප්‍රශ්වාසයන් මෙනෙහි නොකිරීම ද යන එන හැම කියත් දත් පිළිබඳ දැනීම ඇති බව මෙන් යන එන හැම ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳ දැනීම ඇති බව ද, රුක් කඳ ඉරීමේ වීර්‍ය්‍යය ඇති බව මෙන් කාය චිත්තයාගේ භාවනා කර්මයට යෝග්‍යවන බව ද, කඳ ඉරීම් ක්‍රියාව සිද්ධවන්නාක් මෙන් යෝගීහුගේ කෙලෙස් ප්රහාණය හා විතර්ක ව්යුපසමය ද, කඳ දෙකඩව යාම මෙන් සංයෝජන ප්රහාණය හා සප්තානුශයන්ගේ පහවීම ද දත යුතු. මෙසේ වූ කල්හි උපනිබන්‍ධන, ආශ්වාස, ප්‍රශ්වාස යන ධර්ම තුන එක සිතකට අරමුණු නොවනු නමුත් ඒ ධර්ම තුන එක සිතින් නොදන්නේ ද නොවේ. සිත වික්ෂේපයට ද නොයයි. ප්‍රධාන සඞ්ඛ්‍යාත වීර්‍ය්‍යය ද පෙනෙයි. භාවනානුයෝගය ද සිද්ධ වේ. සමාධි නම් වූ ලෞකික විශේෂයට හා ආර්‍ය්‍ය මාර්ගඵල නම් වූ ලෝකෝත්තර විශේෂයට ද පැමිණේ. මේ කකචෝපමාව නම්.
මෙසේ ආනාපානසති භාවනාව බුදුරජාණන් වහන්සේ විසින් දෙසන ලද ආකාරයෙන් ම යමෙක් ශෝඩෂවිධ ක්‍රමයෙන් පුරුදු කොට මනා කොට වඩන්නේ නම් හෙතෙම, වලාකුලින් මිදුණු චන්ද්‍රයා යම්සේ අඳුරු දුරු කොට ආලෝකය පතුරුවා ද එමෙන් ම අවිද්‍යා වලායෙන් මිදී රහත් මග නුවණ නැමති චන්ද්‍රා ලෝකයෙන් ක්ලේශාන්ධකාරය දුරු කොට තමාගේ සකන්ධ ලෝකය ආලෝක කරන්නේ යයි වදාරන ලදී. මේ කකචෝපමාවෙන් ආශ්වාස ප්‍රශ්වාසයන් ආ ගිය වශයෙන් මෙනෙහි නො කළ යුතු බව දත යුතු.
මෙසේ මේ කර්මටහන මෙනෙහි කරන්නා වූ කිසියෝගාවචරයෙකුහට නොබෝ කලකින් ම ප්‍රතිභාග නිමිත්ත උපදී. චිතර්කාදී අවශේෂ ධ්‍යානාඞ්ගයන් ගෙන් යුත් අර්පණා නම් වූ ඨපනාව ද සිද්ධ වේ. කිසිවෙකුහට ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ නිරුද්ධ වීමෙන් කාය විද්ධා සංසිදී යාමෙන් කයත් සිතත් සැහැල්ලුවී ශරීරය අහසට නැගෙන ආකාරයට ද පැමිණේ. ආශ්වාස ප්‍රශ්වාසයන් අරමුණු කොට මෙසේ භාවනා කරන්නා වූ යෝගාවචරයාහට ක්‍රමයෙන් ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් නිරුද්ධව ගිය කල්හි සියුම් වූ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තයන් අරමුණු කොට ඇති සිත පවතී. ඒ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තයන් ද නිරුද්ධව ගිය කල්හි එයටත් වඩා සියුම් වූ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තයන් අරමුණු කොට සිත පවතී. අන්‍ය කමටහන් වඩන කල්හි නිමිත්ත ක්‍රමක්‍රමයෙන් විභූත බවට පත් වේ. මේ ආනාපාන සති කමටහන එසේ නොව නිමිත්ත ඉතා සියුම් බවට ම පැමිණේ නො වැටහෙන ආකාරයට ද පැමිණේ. එසේ නො වැටහෙන ආකාරයට පැමිණිය හොත් යෝගාවචර තෙම තමාගේ නිමිත්ත නැතිව ගියේ යයි සිතා නැගිට නොයායුතු. එතැනම හිඳ තමා කලින් ඵුසන වශයෙන් නාසිකාග්රයෙහිදී අරමුණු ගත් බව මෙනෙහි කොට එහිදි ම නැවතත් නිමිත්ත ගන්නට උත්සාහ කටයුතු. ආශ්වාස ප්‍රශ්වාසය ඇති නැති බව මෙනෙහි කරන්නා වූ පුද්ගල තෙමේ මෙසේ සැළකිය යුතු. මේ ආශ්වාස ප්‍රශ්වාසයෝ කොහි ඇද්ද, නැද්ද, කවරක් හට ඇත් ද, කවරක් හට නැද්ද, මව්කුස වසන්නවුන් හට ද, දියෙහි ගිලුනු වුන් හට ද, අසංඥිතලයෙහි වසන අසංඥින් හට ද, මළවුන්ට ද, චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්න වුන්හට ද, රූපාරූප භවයෙහි උපන්නවුන් හට ද, නිරෝධසමාපත්තියට සමවන්න වුන් හට ද ආශ්වාස ප්‍රශ්වාසයෝ නැත්තාහ. මම හිඳින්නේ එවැනි අවස්ථාවක් ලබාගෙන නො වෙයි. එහෙයින් මට ආශ්වාස ප්‍රශ්වාසයන් තිබිය යුතු ය. ආශ්වාස ප්‍රශ්වාසයෝ නම් නාසාපුටයෙන් ම ඇතුළ්ව පිටවන්නේ ය. එතැන්හිදී ම ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත අල්වා ගත යුතු යයි මහා නුවණින් මෙනෙහි කළ යුතු ම ය. භාග්‍යවතුන් වහන්සේ ද “මහණෙනී, සිහි නැත්තහුට නුවණ නැත්තහුට ආනාපාන සති භාවනාව නොකියමි”, යයි වදාළේත් එහෙයිනි. මේ ආනාපාන සති භාවනාව ඉතා ගරු ය. බුදු පසේබුදු මහරහතන් ආදි මහා සත්ත්වයන්ට ම මෙනෙහි කිරීමට තැන්ය. එය ලාමක ද නොවේ. ලාමක සත්ත්වයන් විසින් සෙව්නා ලද්දේ ද නොවෙයි. මෙනෙහි කළ තරමින් ම ශාන්ත ද වෙයි, සියුම් ද වෙයි. සීසානා ගොවිතෙම සීසා වෙහෙසුනු කල්හි ගොනුන් මුදාහැර සෙවන ඇති රුකක් මුල මදක් සැතපෙයි. ගොන්නු ද වේගයෙන් ගොස් කැලයෙහි වැද තණ අනුභව කොට සවස පැන් බොන තොටට ගොස් පැන් බී එහි ලැග සිටී. නුවණැති ගොවියා ද නැවත සීසානා කැමැතිවන්නේ, ගොනුන්ගේ පියවර අනුව කැලයට නොගොස් ගොනුන් මේ වේලෙහි අසුවල් තැන පැන් බී ලැග ඇතැයි සිතා එතැනට ගොස් ගොනුන් අල්වා බැඳ ගෙනවිත් සීසානේ ය. එපරිද්දෙන් ම නුවණ ඇති යෝගාවචර තෙමේ ද කලින් නිමිත්ත ගත් තැන වූ නාසිකාග්‍රයෙහි ම නිමිත්ත සොයා ගන්නේ ය. මෙසේ සිහිය මෙහෙයවා භාවනා කරන්නාවූ යෝගාවචරයාහට නොබෝ කලකින් ම උද්ග්‍රහ නිමිත්ත හා ප්‍රතිභාග නිමිත්ත ද වැටහෙන්නේ ය. නිමිත්ත වැටහෙන කල්හි ද, හැමදෙනා හට ම නිමිත්ත එකසේ නොව නා නා විධව වැටහෙන්නේ ය, එසේ නානාවිධව වැටහෙන්නේ සංඥා නානත්ත්වය හා ප්‍රඥා නානත්ත්වය හේතුකොටගෙනය. කිසිවෙකුහට සුවපහස් උපදවමින් කපු පූළුන් පෙදසේ ද, වාතධාරාසේ ද වැටහෙයි. කිසිවෙකුහට තරු රැසක් සේ ද, මැණික් ගුළී සේද, මුතු ඇට සේද යනාදි වශයෙන් වැටහෙති.
මෙහි ආශ්වාසය අරමුණු කොට ඇති සිත අනිකෙකි. ප්රශ්වාසලම්බන සිත අනිකෙකි. නිමිත්ත අරමුණු කොට ඇති සිත අනිකෙකි. මේ ධර්ම තුන නැත්තහුගේ කර්මස්ථානය අර්පණාවට හෝ උපචාරයට නො පැමිණේ. ඒ ධර්ම තුන ඇත්තහුගේ ම සිත උපචාරයට සහ අර්පණාවට ද පැමිණේ.
මෙසේ ප්‍රතිභාග නිමිත්ත වැටහුණු කල්හි යෝගාවචරයා විසින් ආචාරීන් සමීපයට ගොස් මට මෙබඳු දෙයක් වැටහෙන්නේ යයි කිව යුතු. ආචාරීන් විසින් එය නිමිත්ත යයි කියා හෝ නොවේය කියා හෝ නො කියා, ඇවත, භාවනායෙහි යෙදුනහුහට එසේ වන්නේ යයි කියා නැවත නැවත එය මෙනෙහි කරවයි කිව යුතු. එය නිමිත්ත යයි කී කල්හි දුෂ්කර වූ නිමිත්ත ලබන ලදැයි එයින් නිමාවට පැමිණේ. නිමිත්ත නොවේ යයි කී කල්හි මෙතෙක් කල් භාවනාවෙහි යෙදුණු නමුත් නිමිත්ත වත් පහළ නොවී යයි සිතා එහි ආසා කඩවී පසු බැසීමට පැමිණෙන්නේ ය.
ඒ යෝගීහට, ප්‍රතිභාග නිමිත්ත වැටහීමෙහි පටන් නීවරණ ධර්මයන් විෂ්කම්භිත වන්නේ ය. ක්ලේශයන් ද සංසිඳෙන්නේ ය. සිත උපචාර සමාධි වශයෙන් සමාහිත ද වේ. මෙතැන් සිට ඔහු විසින් ඒ නිමිත්ත වර්ණ වශයෙන් හෝ ලක්ෂණ වශයෙන් හෝ මෙනෙහි නොකළ යුතු. එය සක්විති ගැබක් මෙන් රැකගත යුතු. එසේ රැක ඒ නිමිත්ත නැවත නැවත මෙනෙහි කිරීමෙන් වැඩීමෙන් දශවිධ අර්පණා කෞශල්‍යය ද සැපයිය යුතු. වීර්‍ය්‍යය සමත්ත්වය ද යෙදිය යුතු. මෙසේ ව්‍යායාම කරන්නා වූ ඒ යෝගාවචරයාහට පඨවි කසිණයෙහි කී ක්‍රමයෙන් ඒ නිමිත්තෙහි ම චතුෂ්ක පඤ්චක ධ්‍යානයන් උපදිත්. මෙසේ උපදවා ගන්නා ලද චතුෂ්ක පඤ්චක ධ්‍යානයන් ඇති ඔහු ඉදින් කායානුපස්සනාවෙහි සල්ලක්ඛණා විවට්ටනා ආදි වශයෙන් කමටහන් වඩා පාරිශුද්ධියට පැමිණෙනු කැමතිවී නම්, ඒ චතුෂ්ක පඤ්චකධ්යානයන් අතුරෙන් එක් ධ්‍යානයක් පඤ්චවශීතායෙන් ප්‍රගුණ කොට විදර්ශනාවට පටන් ගන්නේ ය. ධ්‍යානයට සමවන් හෙතෙම ධ්‍යානයෙන් නැගි මේ ආශ්වාස ප්‍රශ්වාස සමුදාය නම් කරජකාය හා සිත යයි දැනගන්නේ ය. ආශ්වාස ප්‍රශ්වාසයන් චිත්ත සමුට්ඨාන වන නමුත් ශරීරය හැර නො පවත්නා බැවින් කරජකාය යයි ද, උපාදින්න කය හා ඒකාබද්ධව නො පවත්නා ආශ්වාස ප්‍රශ්වාසයන් චිත්ත ප්‍රත්‍යය උතුසමුට්ඨාන වන්නේ නමුත් චිත්ත ප්‍රත්‍යයයෙන් ම වන බැවින් සිත යයි ද කියනු ලැබේ. කඹුරු හම සුළං ගන්වන කල්හි සම ද, පුරුෂයාගේ ව්‍යායාමය ද නිසා වාතය හැසිරේ ද, එපරිද්දෙන් ම කරජකය ද, සිත ද නිසා ආශ්වාස ප්‍රශ්වාසයෝ හැසිරෙතියි බලා, මේ ආශ්වාස ප්‍රශ්වාස හා කය ද රූපය යයි ද, සිත හා තත්සම්ප්‍රයුක්ත ධර්ම අරූප හෙවත් නාම යයි ද නියමකර ගන්නේ ය. එසේ මේ ආශ්වාස ප්රශ්වාසාදීන් නාමරූප වශයෙන් ව්‍යවස්ථා කොට, ඒ නාම රූපයන්ගේ අවිද්‍යාදී ප්‍රත්‍යයයන් ඇති බව දැක, අතීතාදී තුන්කල්හිම ඒ නාම රූපයන්ගේ පැවැත්ම පිළිබඳ වූ සැකය දුරු කොට, කලාප සම්මර්ශනාදි වශයෙන් අනිත්‍යාදී තිලකුණට නගා, උදයව්යානුදර්ශනයට පුර්වභාගයෙහි උපන්නා වූ ඕභාසාදී දශවිධ විදර්ශනොපක්ලේශයන් අමාර්ගය යයි හැර, උපක්ලේශයන් කෙරෙන් මිදී, ප්‍රතිපදා ඥානය මාර්ගය යයි නියම කොට දැන, සංස්කාරයන් ගේ උදය හැර භඞ්ගයම බලා භඞ්ගානුදර්ශනා ඥානයට පැමිණ, නිතර භඞ්ගය බැලීමෙන් භය වශයෙන් වැටහී ගිය සියලු සංස්කාරයන් කෙරෙහි ආදීනවානුපස්සනාව පෙරටු කොට ඇති නිබ්බිදානුපස්සනාවෙන් කලකිරීමට පැමිණ, මුඤ්චිතුකම්යතාඥානය, පටිසඞ්ඛානු පස්සනා ඥානය, සඞ්ඛාරුපෙක්ඛා ඥානය, අනුලොම ඥානය යන මේ ඥානයන්ගේ කෙළවර උපන් ගොත්රභූ ඥානයට අනතුරුව උපන් මාර්ග ඥානයෙන් විරාගය කරණුයේ, මිදෙනුයේ යථා ක්‍රමයෙන් සතර ආර්‍ය්‍ය මාර්ගයට පැමිණ, අර්හත් ඵලයෙහි පිහිටා, මග්ග, ඵල, නිර්වාණ, ප්‍රහීණ ක්ලේශ, අවශිෂ්ට ක්ලේශාදීන්ගේ වශයෙන් එකුන් විසි ප්‍රභේද වූ ප්රත්යවේක්ෂා ඥානයාගේ කෙළවරට පැමිණියේ දෙවියන් සහිත ලෝකයාගේ අග්රදක්ෂිණෙය්ය බවට සුදුසු වන්නේ ය.
මෙසේ භාවනා විධි සියල්ලත් එයින් ඵල ලබන සැටිත් මනාව ඉගෙන ශ්‍රද්ධාව උපදවාගෙන භාවනා ආරම්භ කළ යුතු.
- දීර්ඝ කොට ආශ්වාස කරන්නේ දීර්ඝ කොට ආශ්වාස කරමියි ද, දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නේ දීර්ඝ කොට ප්‍රශ්වාස කරමියි ද දැන ආශ්වාස ප්‍රශ්වාස කටයුතු.
මෙසේ සිහියෙන් යුක්තව ආශ්වාස ප්‍රශ්වාස කරන්නා වූ පුද්ගල තෙම දීර්ඝ ආශ්වාසය දීර්ඝ වේලාවක් ආශ්වාස කරයි. දීර්ඝ ප්‍රශ්වාසය දීර්ඝ වේලාවක් ප්‍රශ්වාස කරයි. දීර්ඝ ආශ්වාස ප්‍රශ්වාස දීර්ඝ වේලාවක් ආශ්වාස ප්‍රශ්වාස කරයි. මෙසේ ත්‍රිවිධාකාරයෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන කල්හි ඒ යෝගීහට කත්තුකම්‍යතා කුසලච්ඡන්දය උපදී. එනම් පෙරට වඩා අතිශයින් භාවනා කරනු කැමති බවයි. මෙසේ කත්තුකම්‍යතා කුසලච්ඡන්දය ඇති වූ කල්හි ඒ භාවනා බලයෙන් ම ආශ්වාස ප්‍රශ්වාසයෝ පෙරට වඩා සූක්ෂම බවට පැමිණේ. ඉදින් ඔහු කත්තුකම්‍යතා ඡන්ද වශයෙන් දීර්ඝ වූ ආශ්වාස දීර්ඝ වේලාවක් ආශ්වාස කරයි. දීර්ඝ වූ ප්‍රශ්වාසය දීර්ඝ වේලාවක් ප්‍රශ්වාස කරයි. දීර්ඝ වූ ආශ්වාස ප්‍රශ්වාස දීර්ඝ වේලාවක් ආශ්වාස ප්‍රශ්වාස කරයි. මෙසේ කත්තුකම්‍යතා කුසලච්ඡන්ද වශයෙන් තුන් පරිද්දෙකින් ආශ්වාස ප්‍රශ්වාස කරන කල්හි ඒ ආශ්වාස ප්‍රශ්වාසයන් ඉතාමත් සූක්‍ෂමතර වන බැවින් ද, අරමුණ ඉතා සාන්ත වන බැවින් ද, කමටහන වීථි ප්‍රතිපන්න බැවින් ද ඒ යෝගීහට තරුණප්‍රීතිය නම් වූ ප්‍රමෝදය උපදින්නේ ය. මෙසේ ප්‍රමෝදය උපන් කල්හි ප්‍රමෝද වශයෙන් පෙරටත් වඩා අතිශයින් සියුම් වූ දීර්ඝ ආශ්වාසය දීර්ඝ වේලාවක් ආශ්වාස කරයි. දීර්ඝ වූ ප්‍රශ්වාසය දීර්ඝ වේලාවක් ප්‍රශ්වාස කරයි. දීර්ඝ වූ ආශ්වාස ප්‍රශ්වාස දීර්ඝ වේලාවක් ආශ්වාස ප්‍රශ්වාස කරයි.
මෙසේ ආශ්වාස ප්‍රශ්වාස කිරීම, ස්වභාව වශයෙන් තුන් ආකාරයෙක, කත්තුකම්‍යතා ඡන්ද වශයෙන් තුන් ආකාරයෙක, ප්‍රමෝදය වශයෙන් තුන් ආකාරයෙකැයි නවආකාරයකින් පරිකම් කටයුතු.
මෙසේ නවආකාරයෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන කල්හි අනුක්රමයෙන් ආශ්වාස ප්‍රශ්වාසයන් අතිශයින් ම සියුම් බවට පැමිණීමෙන් නො වැටහෙන කල්හි, සෙවිය යුතු ආකාරයට පැමිණි ඒ ආශ්වාස ප්‍රශ්වාසයන් කෙරෙන් සිත පෙරළෙයි. තත්‍රමජ්ඣත්තතා නම් වූ උපෙක්ෂාව පිහිටයි. මේ උපෙක්ෂාව, භාවනා බලයෙන් ආශ්වාස ප්‍රශ්වාසයන් සූක්‍ෂමතර බවට පැමිණි කල්හි එහි ප්‍රතිභාග නිමිත්ත ඉපිද ප්‍රකෘති ආශ්වාස ප්‍රශ්වාසයන් කෙරෙන් සිත පෙරළී, ප්‍රතිභාග නිමිත්තෙහි උපචාර අර්පණා සමාධි ඉපිද, නැවත ධ්‍යානය පිණිස ව්‍යාපාරයක් නැති බැවින් අජ්ඣුපෙක්ෂණය වශයෙන් පිහිටන්නේ ය. මෙකී නවාකාරයෙන් පැවති දීර්ඝාකාර ආශ්වාස ප්‍රශ්වාසයෝ කාය නම් වෙත්. ආශ්වාස ප්‍රශ්වාසයන් නිසා උපන් නිමිත්ත ද ආශ්වාස ප්‍රශ්වාස යන නම ලබන්නේ ය. ඒ ආශ්වාස ප්‍රශ්වාස අරමුණට එළඹ සිටිනා සිහිය උපට්ඨාන නම් වේ. සමථ වශයෙන් නිමිත්තයාගේ අනුපස්සනාව ද, විපස්සනා වශයෙන් ආශ්වාස ප්‍රශ්වාසයන් හා එයට නිශ්‍රය වූ කාය යද, රූපය යයි ද, සිත හා තත්සම්ප්‍රයුක්ත ධර්මයන් අරූප හෙවත් නාම යයි ද ව්‍යවස්ථා කොට නාමරූපයන්ගේ යම් අනුපස්සනාවක් වේ ද එය අනුපස්සනා හෙවත් යථාභූතාවබොධඥාන නම් වේ. මේ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තාලම්බණ කාය ය උපට්ඨාන නම් වේ. සතිය නොවේ. ඒ අරමුණ සිහි කරන හෙයින් ද, අරමුණෙහි එළඹ සිටිනා හෙයින් ද, ස්මෘතිය උපට්ඨාන ද වෙයි. සතිය ද වෙයි. එහෙයින් මෙයට කායෙ කායානු පස්සනා සතිපට්ඨාන භාවනා යයි කියනු ලැබේ. නොහොත්- කාය යෙහි මම ය, මාගේ ය, ස්ත්‍රිය, පුරුෂය යයි ගතයුතු කිසිවක් නැති බැවින් ද, එවැන්නක් නොබලා කාය මාත්රයාගේ ම අනුපස්සනාව කායානුපස්සනා නම් වේ. ඒ කායානුපස්සනා හා තත්සම්ප්‍රයුක්ත ස්මෘතිය උපට්ඨාන වී සතිපට්ඨාන නම් වේ. ඒ කායානුපස්සනා සතිපට්ඨානයාගේ වැඩීම කායානුපස්සනා සතිපට්ඨාන භාවනා නම් වේ.
- ලුහුඬු කොට ආශ්වාස කරන්නේ ලුහුඬු කොට ආශ්වාස කරමියි ද, ලුහුඬු කොට ප්‍රශ්වාස කරන්නේ ලුහුඬු කොට ප්‍රශ්වාස කරමියි ද දැන ආශ්වාස ප්‍රශ්වාස කටයුතු.
යට කියන ලද ආකාරයෙන් සිහියෙන් යුක්තව ආශ්වාස ප්‍රශ්වාස කරන්නා වූ පුද්ගල තෙම ලුහුඬු ආශ්වාසය ඇති වූ කල්හි, ලුහුඬු ආශ්වාසය ස්වල්ප වේලාවක් ආශ්වාස කරයි. ලුහුඬු ප්‍රශ්වාසය ස්වල්ප වේලාවක් ප්‍රශ්වාස කරයි. ලුහුඬු ආශ්වාස ප්‍රශ්වාසය ස්වල්ප වේලාවක් ආශ්වාස ප්‍රශ්වාස කරයි. මෙසේ ත්‍රිවිධාකාරයෙන් ලුහුඬු ආශ්වාස ප්‍රශ්වාසයන් දැන ආශ්වාස ප්‍රශ්වාස කරන කල්හි ඔහට කත්තුකම්‍යතා කුශලච්ඡන්දය ඉපිද, කත්තුකම්යතාච්ඡන්ද වශයෙන් ද යට කී ත්‍රිවිධාකාරයෙන් ලුහුඬු ආශ්වාස ප්‍රශ්වාස ස්වල්ප වේලාවක් කරන්නේ ය. මෙසේ ඉතා සියුම් බවට පැමිණි කල්හි ප්‍රමොදය උපදී. ඉක්බිති හෙතෙම ප්‍රමොදය වශයෙන් ද ත්‍රිවිධාකාරයෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ ය. මෙසේ දීර්ඝ ආශ්වාස ප්‍රශ්වාසයන් මෙන් හ්‍රස්ව හෙවත් ලුහුඬු ආශ්වාස ප්‍රශ්වාසයන් අරමුණු කොට භාවනා කරන කල්හි තත්‍රමජ්ඣත්තතා නම් වූ උපෙක්ෂාව ඉපිද, ඒ ප්‍රතිභාග නිමිත්තෙහි උපචාර අර්පණා සමාධිය ලබන්නේ ය. මෙසේ ද කායානුපස්සනා සතිපට්ඨාන භාවනාව වඩන්නේ ය.
මෙසේ මේ යෝගීතෙම දීර්ඝකාල වශයෙන් හා ස්වල්ප කාල වශයෙන් ද ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ, නවආකාර වශයෙන් ආශ්වාස ප්‍රශ්වාසයන් දන්නේ ය. මෙසේ දන්නා වූ ඒ යෝගාවචර භික්ෂූහට-
“දීඝො රස්සොව අස්සාසො - පස්සාසොපි ච තාදිසො
චත්තාරො වණ්ණං වත්තන්ති -
නාසිකග්ගෙව භික්ඛුනො”
යයි කියන ලද පරිදි, දීර්ඝ වූ ආශ්වාසය, හ්‍රස්ව වූ ආශ්වාසය, දීර්ඝ වූ ප්‍රශ්වාසය, හ්‍රස්ව වූ ප්‍රශ්වාසය යන සතර ආකාරයෝ යෝගාවචර භික්ෂූහුගේ නාසිකාග්‍රයෙහි පවතිත්.
3. සියලු ආශ්වාස කාය ප්‍රකට කොට දනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙන්නේ ය.
සියලු ප්‍රශ්වාස කාය ප්‍රකට කොට දනිමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය.
යට දක්වන ලද පරිද්දෙන් සියලු දීඝවූ ද හ්රස්වවූ ද ආශ්වාස ප්‍රශ්වාසයන් නැහැ අගදී නිමිත්ත ගෙන එහි සිත පිහිටුවා භාවනා කරන්නා වූ යෝගාවචර තෙම, සියලුම ආශ්වාස කායයාගේ ආදි, මධ්‍ය, පරියෝසාන වශයෙන් ප්‍රකට කොට දනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙන්නේ ය. එමෙන් ම සියලු ප්‍රශ්වාසකායයාගේ ද ආදි, මධ්‍ය, පරියෝසාන වශයෙන් ප්‍රකට කොට දනිමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය. මෙසේ ඒ යෝගී තෙම ඥානවිප්‍රයුක්ත සිතින් නොව ඥාන සම්ප්‍රයුක්ත සිතින් ම ආශ්වාස ප්‍රශ්වාස දැන හික්මිය යුතු බව දක්වන ලදී. ඇතැම් භික්ෂුවක්හට කලාප වශයෙන් සුණු විසුණු වූ ආශ්වාස ප්‍රශ්වාස කායයෙහි ස්මෘතිය ද ඥානය ද එළවා භාවනා කරන කල්හි ආදිය ප්‍රකට වන්නේ ය. මධ්‍යය සහ අවශානය ද ප්‍රකට නොවේ. හෙතෙම ආදිය ම ප්‍රකට කොට, පිරිසිඳ දැනගන්නට සමත් වේ. මධ්‍යය සහ අවශානය ද දැනගන්නට සමත් නොවන හෙයින් ඒ මධ්‍ය අවශාන දෙක්හි වෙහෙසට පත් වේ. එමෙන් ම ඇතැම් භික්ෂුවක්හට මධ්‍යය ප්‍රකට වේ. ආදිය සහ අවශානය ප්‍රකට නොවේ. හෙතෙම මධ්‍යය ප්‍රකට කොට දැනගන්නට සමත් වේ. ආදිය හා අවශානය ප්‍රකට නොවීමෙන් වෙහෙසට පත් වේ. ඇතැම් පුද්ගලයෙකුහට අවශානය ප්‍රකට වේ. ඕහට ආදිය සහ මධ්‍යය ප්‍රකට නොවීමෙන් ඒ දෙක්හි වෙහෙසට පත් වේ. ඇතැම් භික්ෂුවක් හට ආදිය, මධ්‍යය, අවශානය යන තුන් තැනම, ස්මෘතිය හා ඥානය ද එළවා භාවනා කිරීමෙන් ප්‍රකට වේ. හෙතෙම සියලුම ආශ්වාස ප්‍රශ්වාස කායයන් ප්‍රකට කොට දැනීමට සමත් හෙයින් කිසි තැනක වෙහෙසට පත්නොවී හික්මෙන්නේ ය, ගැටෙන්නේ ය, වෑයම් කරන්නේ ය. මෙසේ ආනාපාන සතිය වඩන්නහුගේ ස්මෘති වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත වූ යම් සංවරයක් ඇද්ද, එය ඔහුගේ අධිශීල ශික්ෂාය. යම් සමාධියක් ඇද්ද, එය ඔහුගේ අධිචිත්ත ශික්ෂාය. යම් ප්‍රඥාවෙක් වේ ද එය ඔහුගේ අධිප්‍රඥා ශික්ෂාය. මේ තුන් ශික්ෂාවන්ගේ වශයෙන් ඒ ආශ්වාස ප්‍රශ්වාස අරමුණෙහි පවත්නා වූ ස්මෘතියෙන් හා භාවනා මනස්කාරයෙන් හික්මෙන්නේ ය. එකී කුසල ධර්මයන් ආසේවනය කරන්නේ ය, වඩන්නේ ය, නැවත නැවත පැවැත්වීමෙන් බහුලීකෘත කරන්නේ ය.
පළමු ක්‍රම දෙකින් දීර්ඝ වූ ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ ද හුස්ව වූ ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ ද වර්තමාන කාල වශයෙන් අරමුණු කොට සිත පිහිටුවා ගැනීම වදාරන ලදී. මේ තුන් වන වස්තුවෙන් ඒ ආශ්වාස ප්‍රශ්වාස ආරම්මණයන් හි ඥානසම්ප්‍රයුක්ත සිත් උපදවා ගැනීම්-වශයෙන් යෝග කටයුතු බව වදාරන ලදී.
- ඖදාරික කාය සංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය.
ඖදාරික කාය සංස්කාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය.
කායසංස්කාර නම් ආශ්වාස ප්රශ්වාසයි. මේ ආශ්වාස ප්‍රශ්වාසයෝ චිත්තසමුට්ඨාන වුව ද කරජකාය පිළිබඳව පවත්නා හෙයින් කායසංස්කාර යයි කියනු ලැබේ. පස්සම්භනය නම් ව්‍යුපසමනය හෙවත් සංසිඳුවීම ය. එවැනි සංසිඳුවීමක් නැති කල්හි උපදනා ස්ථූල ආශ්වාස ප්‍රශ්වාසයෝ ඖදාරික කායසංස්කාර නම් වෙත්. මේ ඖදාරික කායසංස්කාරයන් ප්‍රයෝග සම්පත්තියෙන්, නැවත නැවත නූපදනාසේ සංසිඳුවමින් හික්මීම, මෙයින් අදහස් කරන ලදී.
මේ කර්මස්ථාන භාවනාව ආරම්භ කිරීමට පෙර ඉරියව් නොසන්සුන් බැවින් ද, කිලිටි වූ සිතින් උපදනා වූ ප්රණිත නොවූ රූප ඇති බැවින් ද ශරීරය පරිදාහ සහිතය නොහොත් ඖදාරික ය. නිතර කෙලෙස් උපදනා හෙයින් සිත ද ඖදාරික ය. මේ කායචිත්තයන්ගේ ඖදාරික බව නොසංසිඳුන කල්හි, ඒ ඖදාරික කායචිත්තයන් නිසා පවත්නා ආශ්වාස ප්‍රශ්වාසයෝ ද ඖදාරික වෙත්. බොහෝවිට බලවත් වේ. ආශ්වාස ප්රශ්වාසයන්ට නාසිකාව නොපොහොනා කල්හි මුඛයෙන් ද ආශ්වාස ප්‍රශ්වාස පවත්වමින් සිටි. යම් කලෙක්හි මේ යෝගීතෙම, පළඟ බැඳ උඩුකය ඍජු කොට පිහිටුවා හිඳීමෙන් ශරීරය ද, භාවනාරම්මණයෙහි පෙරටු කොට සිත පිහිටුවා ගැනීමෙන් සිත ද, යන කායචිත්ත දෙදෙනාගේ පරිග්‍රහය ඇති කරගත් කල්හි, ඒ කාය චිත්ත දෙදෙනා ශාන්ත ද වෙත්, අතිශයින් ශාන්ත ද වෙත්. අන් අරමුණු නොගන්නා හෙයින්, නොහොත් වික්ෂේප නොවන හෙයින් කමටහන මෙනෙහි කරන්නා වූ සිත ද ශාන්ත වෙයි. ශාන්ත වූ සිතින් උපදනා චිත්තජ රූපයෝ ද ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා වශයෙන් මෘදු මොළොක් කර්මණ්ය බවට පත්ව ශාන්ත වෙති. කාය චිත්ත දෙදෙනා ශාන්ත බවට පත්වූ කල්හි ආශ්වාස ප්‍රශ්වාසයෝ ද ශාන්ත ව සියුම් ව පවතිත්. ආශ්වාස ප්‍රශ්වාසයෝ ඇද්දෝ නැද්දෝයි සෙවීමට තරම් සියුම් බවට පැමිණෙති.
යම්සේ පුරුෂයෙක් වේගයෙන් හෝ දුවවිත්, පර්වතයෙන් හෝ බැස, මහා බරක් හෝ හිසින් බහා තබා සිටි කල්හි, ඔහුගේ ආශ්වාස ප්‍රශ්වාසයෝ ඖදාරික වෙද්ද, නාසිකායෙන් පමණක් ආශ්වාස ප්‍රශ්වාස කිරීමට නො හැකිවූයේ මුඛයෙන් ද ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ ද, ඒ පරිශ්රමය නොහොත් විඩාව දුරු කොට නහා, පැන් බී, තෙත් රෙදිකඩක් ළෙහි තබාගෙන සිහිල් සෙවනෙහි හුන්නේ, ඔහුගේ ඒ ආශ්වාස ප්‍රශ්වාසයෝ සියුම් ව ඇද්දෝ නෑද්දෝ යි සෙවිය යුතු බවට පැමිණෙන්නේ ද, යෝගීහට ද ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුන කල්හි එසේම ය.
අපරිගෘහිත කාලයට වඩා පරිගෘහිත කාලයෙහි ආශ්වාස ප්‍රශ්වාසයෝ සියුම් ය.
පරිගෘහිත කාලයට වඩා ප්රථමධ්යානොපචාරයෙහි දී ආශ්වාස ප්‍රශ්වාසයෝ සියුම් ය.
ප්රථමධ්යානොපචාරයෙහිදීට වඩා ප්‍රථමධ්‍යානයෙහි දී ආශ්වාස ප්‍රශ්වාසයෝ සියුම්ය.
ප්රථමධ්යානයෙහිදීට වඩා ද්විතියධ්යානොපචාරයෙහි දී ආශ්වාස ප්‍රශ්වාසයෝ සියුම් ය.
ද්විතියධ්යානොපචාරයෙහිදීට වඩා ද්විතියධ්යානයෙහිදී ආශ්වාස ප්‍රශ්වාසයෝ සියුම් ය.
ද්විතියධ්යානයෙහිදීට වඩා තෘතියධ්යානොපචාරයේදී ආශ්වාස ප්‍රශ්වාසයෝ සියුම් ය.
තෘතියධ්යානොපචාරයට වඩා තෘතියධ්යානයෙහිදී ආශ්වාස ප්‍රශ්වාසයෝ සියුම් ය.
තෘතියධ්යානයෙහිදීට වඩා චතුර්ත්ථධ්යානොපචාරයෙහිදී ආශ්වාස ප්‍රශ්වාසයෝ සියුම් ය.
චතුර්ත්ථධ්යානොපචාරයෙහිදීට වඩා චතුර්ත්ථධ්යානයෙහිදී ආශ්වාස ප්‍රශ්වාසයෝ අතිසියුම්ව නැතැයි කිවයුතු බවට පැමිණෙන්නේ ය.
මේ කියන ලද්දේ සමථ භාවනාවගේ වශයෙනි. විදර්ශනායෙහි දී අපරිගෘහිත කාලයෙහි හෙවත් කමටහන් නොගත් කල්හි පැවති කායසංස්කාර නම් වූ ආශ්වාස ප්‍රශ්වාසයෝ ඖදාරික ය. සතර මහා භූතයන් පරිගෘහිත කාලයෙහි කායසංස්කාරය සියුම් ය. සතර මහා භූතයන් පරිගෘහිත කාලයෙහිදීට වඩා උපාදාය රූප පරිගෘහිත කල්හි කායසංස්කාරයෝ සියුම් ය. එයටත් වඩා සකල රූප පරිගෘහිත කාලයෙහි කායසංස්කාරයෝ සියුම් ය. එය ද ඖදාරික ය. අරූප පරිගෘහිත කල්හි එයටත් වඩා සියුම් ය. අරූප පරිගෘහිත කාලයට වඩා රූපාරූප පරිගෘහිත කාලයෙහි සියුම් ය. එයටත් වඩා ප්‍රත්‍යය පරිගෘහිත කාලයෙහි කායසංස්කාරයෝ සියුම් ය. එයටත් වඩා සප්‍රත්‍යය නාම-රූප පරිගෘහිත කාලයෙහි දී සියුම් ය. එය ද ඖදාරික ය. එයටත් වඩා උදයව්යයානුදර්ශනාදී වශයෙන් ලක්‍ෂණාරම්මණික විදර්ශනායෙහි සියුම් ය. එය ද දුර්වල විදර්ශනායෙහි දී ඖදාරිකය, බලවත් විදර්ශනාවෙහි දී සියුම් ය. මෙසේ පූර්ව පූර්ව කායසංස්කාර පශ්චිම පශ්චිමයෙන් සන්සිඳෙන්නේ ය.