චතුර්ථ චතුෂ්කය
- අනිච්චානුපස්සී අස්ස සිස්සාමිති සික්ඛති අනිච්චානුපස්සී පස්ස සිස්සාමිති සික්ඛති.
- විරාගානුපස්සී අස්ස සිස්සාමිති සික්ඛති විරාගානුපස්සී පස්ස සිස්සාමිති සික්ඛති.
- නිරොධානුපස්සී අස්ස සිස්සාමිති සික්ඛති නිරොධානුපස්සී පස්ස සිස්සාමිති සික්ඛති.
- පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමිති සික්ඛති පටිනිස්සග්ගානුපස්සී පස්ස සිස්සාමිති සික්ඛති.
මෙහි අර්ථය නම්:-
- අනිත්‍යය යි දකිමින් ආශ්වාස කරන්නෙම් යි හික්මෙන්නේ ය. අනිත්‍යය යි දකිමින් ප්‍රශ්වාස කරන්නෙම් යි හික්මෙන්නේ ය.
- විරාගය දකිමින් ආශ්වාස කරන්නෙම් යි හික්මෙන්නේ ය. විරාගය දකිමින් ප්‍රශ්වාස කරන්නෙම් යි හික්මෙන්නේ ය.
- නිරොධය දකිමින් ආශ්වාස කරන්නෙම් යි හික්මෙන්නේ ය. නිරොධය දකිමින් ප්‍රශ්වාස කරන්නෙම් යි හික්මෙන්නේ ය.
- පටිනිස්සග්ගය දකිමින් ආශ්වාස කරන්නෙම් යි හික්මෙන්නේ ය. පටිනිස්සග්ගය දකිමින් ප්‍රශ්වාස කරන්නෙම් යි හික්මෙන්නේ ය.
මේ සතර වන චතුෂ්කය ධම්මානු පස්සනා වශයෙන් වදාරණ ලදි.
1. අනිත්‍යයයි දකිමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය.
අනිත්‍යය යි දකිමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය.
මෙහි අනිත්‍යය නම් පඤ්චස්කන්‍ධය යි. ස්කන්‍ධ පඤ්චකය උත්පාද, ව්‍යය, අන්‍යථාත්ත්‍ව යන මෙයින් යුක්ත බැවින් අනිත්‍යය යි කියනු ලැබේ. එහි උත්පාදය නම් ප්‍රත්‍ය සමුප්පන්න ධර්‍මයන්ගේ හේතු ප්‍රත්‍යයයෙන් වන උත්පත්ති යයි. උත්පන්න වූ ඒ ධර්‍මයන්ගේ නිරෝධය හෙවත් විනාශය ව්‍යය නම්. ජරායෙන් වන අන්‍යථාභාවය අන්‍යථාත්ත්‍ව නම්. මේ ත්‍රිවිධ ලක්‍ෂණයන්ගේ ඇතිවීමෙන් ස්කන්‍ධයන් කෙරෙහි යම් අනිත්‍ය සංඥාවක් වේ ද ඒ ලක්‍ෂණත්‍රය අනිත්‍යය නම් වේ. ඉපිද නැතිවීම හෝ උපන්නාවූ ධර්‍ම ඒ උපන් ආකාරයෙන් නො සිට ක්‍ෂණ භඞ්ග වශයෙන් බිඳීයාම අනිත්‍යතාව යයි. අනිත්‍යානුපස්සනා නම් ඒ ක්‍ෂණ භඞ්ග සඞ්ඛ්‍යාත වූ අනිත්‍යතාවගේ වශයෙන් රූපාදී ධර්‍මයන් කෙරෙහි අනිත්‍යයයි බැලීමයි. අනිච්චානුපස්සි නම් ඒ අනිත්‍යානු දර්ශනයෙන් සමන්විත වූ යෝගාවචරයා යි. මෙසේ යෝගාවචර තෙම ප්‍රථම, ද්විතිය, තෘතිය චතුෂ්කයන්ගේ වශයෙන් මේ ආනාපාන සතිය වඩා ඉක්බිති ස්කන්‍ධ පඤ්චකය අනිත්‍ය යයි අනිච්චානු පස්සනායෙන් දකිමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය.
2. විරාගය දකිමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය.
විරාගය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය.
මෙහි විරාගය, ක්‍ෂය විරාගය ය, අත්‍යන්ත විරාගය යි දෙයාකාර වේ. එයින් ක්‍ෂය විරාගය නම් සංස්කාරයන්ගේ ක්‍ෂණ භඞ්ගය හෙවත් ක්‍ෂණික නිරොධ යයි. අත්‍යන්ත විරාගය නම් නිවණයි. විරාගානු පස්සනා නම් ඒ ක්‍ෂය විරාග, අත්‍යන්ත විරාග වශයෙන් පැවති විදර්ශනාව හා මාර්‍ග යයි. එහි ක්‍ෂය විරාග වශයෙන් පැවති විදර්ශනාව ද, අත්‍යන්ත විරාග වශයෙන් පැවති මාර්‍ගය ද කියන ලදී. මෙසේ යෝගාවචර තෙම ක්‍ෂය විරාග, අත්‍යන්ත විරාග වශයෙන් දකිමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙම් යි භික්මෙන්නේ ය.
- නිරොධය දකිමින් ආශ්වාස කරන්නෙම් යි භික්මෙන්නේ ය. නිරොධය දකිමින් ප්‍රශ්වාස කරන්නෙම් යි භික්මෙන්නේ ය.
මෙහි නිරොධය ද, ක්‍ෂය නිරොධ ය, අත්‍යන්ත නිරොධ ය යි ද්විධ වේ. ක්‍ෂය නිරොධය නම් සංස්කාරයන්ගේ ක්‍ෂණ භඞ්ගය හෙවත් ක්‍ෂණික නිරොධ යයි. අත්‍යන්ත නිරොධය නම් නිවණයි. ක්‍ෂය නිරොධයෙන් විදර්ශනාව ද, අත්‍යන්ත නිරොධයෙන් මාර්‍ගය ද කියන ලදී. මෙසේ යෝගාවචර තෙම ක්‍ෂය නිරොධ, අත්‍යන්ත නිරොධ වශයෙන් දකිමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙම් යි භික්මෙන්නේ ය.
- පටිනිස්සග්ගය දකිමින් ආශ්වාස කරන්නෙම් යි භික්මෙන්නේ ය. පටිනිස්සග්ගය දකිමින් ප්‍රශ්වාස කරන්නෙම් යි භික්මෙන්නේ ය.
පටිනිස්සග්ග නම් හැරපීම යි, දුරුකිරීම් වශයෙන් හැරපීම යි, හෙවත් පැන අරමුණු වශයෙන් අල්ලාගැනීමෙන් හැරපීම යි. මෙය විදර්ශනාඥානයෙන් හා මාර්‍ග ඥානයෙන් ද සිදුකරනු ලැබේ. මේ පටිනිස්සග්ග ය, පරිච්චාග පටිනිස්සග්ග, පක්ඛන්‍දන පටිනිස්සග්ග යයි දෙවැදෑරුම් වේ. ඒ දෙවැදෑරුම් පටිනිස්සග්ගය අනුව බැලීම පටිනිස්සග්ගානු පස්සනා නම් වේ. විදර්ශනාවට හා මාර්‍ගයට ද නමෙකි. පහ කළ යුතු ධර්මයන්ගේ තදඞ්ග ප්‍රහාණ වශයෙන් හෝ සමුච්ඡේද ප්‍රහාණ වශයෙන් හෝ පරිච්චජනය හෙවත් හැරපීම, දුරුකිරීම පරිච්චාග පටිනිස්සග්ග නම් වේ. විදර්ශනාව තදඞ්ග ප්‍රහාණ වශයෙන් ස්කන්ධාභිසංස්කාරයන් හා සමග ක්ලේශයන් පරිත්‍යාග කෙරේ, දුරුකෙරේ. අනිත්‍යානු පස්සනාව තදඞ්ග ප්‍රහාණ වශයෙන් නිත්‍ය සංඥාව දුරුකරන්නී, නිත්‍ය යයි ගැනීම් වශයෙන් පැවති ක්ලේශයන් හා තත්මූලක අභිසංස්කාරයන් ද, ඒ දෙකින් ම අනාගතයෙහි උපදනා විපාක ස්කන්‍ධයන් ද දුරුකෙරේ. දුක්ඛානුපස්සනාව හා අනත්තානුපස්සනාව ද සුඛ සංඥා, ආත්ම සංඥා ආදීන් ද එසේම දුරුකෙරෙත්. සඞ්ඛත ධර්මයන්ගේ අනිත්‍යාදී දොස් දැකීමෙන්, එබඳු දොස් නැති නිර්වාණයෙහි නිම්න භාවයෙන් බැසගැනීම් වශයෙන් පක්ඛන්‍දනය හෙවත් පැන වදනාකාරයෙන් පැවති විදර්ශනාව, පක්ඛන්‍දන පටිනිස්සග්ගානු පස්සනා නම් වේ. මෙය තදඞ්ග වශයෙන් කෙලෙස් දුරුකරන විදර්ශනාවගේ පටිනිස්සග්ග යයි. මාර්ගය ද, සමුච්ඡේද ප්‍රහාණ වශයෙන් ස්කන්ධාභිසංස්කාරයන් හා සමග කෙලෙස් දුරුකරන කල්හි අවිපාක ධර්මතා පාදනයෙන් අභිසංස්කාරයෝ ද, අනුත්පත්තියට සුදුසු වන බැවින් තත්මූලක වූ විපාක ස්කන්ධයෝ ද දුරුකෙළේ නම් වෙත්. නිවණ අරමුණු කිරීම් වශයෙන් නිවණෙහි පැන වදනාකාරයෙන් පවත්නා මාර්ගය පක්ඛන්‍දන පටිනිස්සග්ගානු පස්සනා නම් වේ. විදර්ශනා ඥානය, මාර්ග ඥානය යන දෙකම පූර්ව පූර්ව ඥානයට අනුව දක්නා හෙයින් අනුපස්සනා නම් වේ. මාර්ග ඥානය ද, ගොත්‍රභූ ඥානයට පසුව නිර්වාණය දක්නා හෙයින් අනුපස්සනා නම් වේ යයි කියනු ලැබේ.
මේ සතර වන චතුෂ්කය සුද්ධ විපස්සනා වශයෙන් ම කියන ලදි පූර්ව වූ චතුෂ්ක තුන සමථ විදර්ශනා වශයෙන් දේශනා කරන ලද බව දත යුතු. මෙසේ සතර චතුෂ්කයන්ගේ වශයෙන් ෂොඩශ වස්තුක වූ ආනාපාන සති භාවනාව දත යුතු.