අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ද්විතීය චතුෂ්කය

  1. පීතිපටිසංවෙදී අස්ස සිස්සාමීති සික්ඛති පීතිපටිසංවෙදී පස්ස සිස්සාමීති සික්ඛති
  2. සුඛ පටිසංවෙදී අස්ස සිස්සාමීති සික්ඛති සුඛ පටිසංවෙදී පස්ස සිස්සාමීති සික්ඛති
  3. චිත්ත සංඛාර පටිසංවෙදී අස්ස සිස්සාමීති සික්ඛති චිත්ත සංඛාර පටිසංවෙදී පස්ස සිස්සාමීති සික්ඛති
  4. පස්සම්භයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම්භයං චිත්ත සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති.

මෙහි සාමාන්‍ය අර්ථය නම්:-

  1. ප්‍රීතිය දනිමින්, ප්‍රකට කර ගනිමින් ආශ්වාස කරන්නෙම් යි හික්මෙන්නේ ය. ප්‍රීතිය දනිමින්, ප්‍රකට කර ගනිමින් ප්‍රශ්වාස කරන්නෙම් යි හික්මෙන්නේ ය.
  2. සුඛය දනිමින්, ප්‍රකටකර ගනිමින් ආශ්වාස කරන්නෙම් යි හික්මෙන්නේ ය. සුඛය දනිමින්, ප්‍රකටකර ගනිමින් ප්‍රශ්වාස කරන්නෙම් යි හික්මෙන්නේ ය.
  3. චිත්ත සංස්කාරයන් දනිමින්, ප්‍රකට කර ගනිමින් ආශ්වාස කරන්නෙම් යි හික්මෙන්නේ ය. චිත්ත සංස්කාරයන් දනිමින්, ප්‍රකට කර ගනිමින් ප්‍රශ්වාස කරන්නෙම් යි හික්මෙන්නේ ය.
  4. ඖදාරික චිත්ත සංස්කාරයන් සංසිඳුවමින් ආශ්වාස කරන්නෙම්යි හික්මෙන්නේ ය. ඖදාරික චිත්ත සංස්කාරයන් සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙම්යි හික්මෙන්නේ ය.

මේ ආනාපානසති භාවනායෙහි ද්විතිය, තෘතිය, චතුර්‍ත්‍ථ චතුෂ්කයෝ වනාහී, ප්‍රථම චතුෂ්කයාගේ වශයෙන් භාවනා කොට ලබාගත් ධ්‍යාන ඇති යෝගාවචරයාහට වෙදනා, චිත්ත, ධම්මානුපස්සනා වශයෙන් දේශනා කරන ලද බව දත යුතු. ධ්‍යාන නැත්තාහට ඒ චතුෂ්ක තුන වැඩිය නො හැකිවේ.

  1. ප්‍රීතිය දනිමින් ප්‍රකට කර ගනිමින් ආශ්වාස කරන්නෙම්යි හික්මෙන්නේ ය. ප්‍රීතිය දනිමින්, ප්‍රකටකර ගනිමින් ප්‍රශ්වාස කරන්නෙම් යි හික්මෙන්නේ ය.

මෙහි ප්‍රීතිය නම් ප්‍රථමධ්‍යාන, ද්විතියධ්‍යාන යන ධ්‍යාන දෙක්හි ධ්‍යානාඞ්ග වශයෙන් ඇතිවූ ප්‍රීති නම් වූ ධ්‍යානාඞ්ග යයි. මේ ප්‍රීතිය දැනීම හා ප්‍රකටකර ගැනීම දෙයාකාරයකින් සිදුවේ. එනම් ආරම්මණ වශයෙන් හා අසම්මෝහ වශයෙන් යන දෙයාකාරයෙනි.

යෝගාවචර තෙම, සප්‍රීතික වූ ප්‍රථමධ්‍යානයට හා ද්විතියධ්‍යානයට ද පිළිවෙලින් සමවැදී, ඒ සමාපත්තික්‍ෂණයේ දී ම, ධ්‍යාන ලැබීමෙන් ආරම්මණ වශයෙන් ඒ ධ්‍යානයටම ඇතුළත් වූ ප්‍රීතිය ද දන්නේ වේ. යම්සේ සර්පයන් සොයන්නාවූ පුරුෂ තෙම ඒ සර්පයා වසන තුඹස දුටු කල්හි සර්පයා ද දක්නාලදම වේද, මන්ත්‍ර බලයෙන් ඒ සර්පයා අල්වා ගන්නට පිළිවන් වන හෙයින් සර්පයා ගන්නාලද්දේ ම වේ ද, එපරිද්දෙන් ම ප්‍රීතියට ආසන්න වූ ආලම්බනය දත් කල්හි ප්‍රීතිය ද දක්නා ලදම වේ. ස්වලක්ෂණ හෙවත් සාමාන්‍ය ලක්ෂණ වශයෙන් ප්‍රීතිය දන්නා ලද්දේ ද වේ. මෙය ආරම්මණය වශයෙන් ප්‍රීතිය දැනීමය.

එසේම සප්‍රීතික වූ ප්‍රථම, ද්විතිය ධ්‍යානයන්ට පිළිවෙලින් සමවැද, එයින් නැගී ධ්‍යාන සම්ප්‍රයුත්ත වූ ප්‍රීතිය, ක්ෂය වශයෙන් ද, ව්‍යය වශයෙන් ද සම්මර්ශනය කරන්නා වූ යෝගාවචරයා විසින් තියුණු වූ ඒ විදර්ශනා ඥානයෙන් ප්‍රීතිය ද දක්නා කෙණෙහි ප්‍රීතියගේ ස්වලක්ෂණයන්, ප්‍රතිවේධ කිරීමෙන් යම් බඳු වූ සාමාන්‍ය, විශේෂ ලක්ෂණයෙක් වේ ද, ඒ ලක්ෂණය දත් කල්හි ඒ ධර්මය ද ඇති සැටියෙන්, අසම්මෝහ වශයෙන් දන්නාලද්දේ ම වේ. මෙසේ ආවර්ජනා කරන්නාහට, විදර්ශනා ඥානයෙන් තිලකුණු ආරෝපණය කොට ප්‍රීතිය දන්නාහට, දක්නාහට, ප්‍රත්‍යවේක්ෂා කරන්නාහට, ප්‍රීතියෙහි විදර්ශනා චිත්තය පිහිටුවන්නාහට, ශ්‍රද්ධායෙන් අදහන්නාහට, වීර්‍ය්‍යය ගන්නාහට, සිහිය එළවන්නාහට, සිත එකඟ කරන්නාහට, විදර්ශනාඥානයෙන් මනාව දක්නාහට, ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන වශයෙන් අභිඥෙය්‍ය හෙවත් ඥාතපරිඥායෙන් දතයුත්ත ද, පරිඤ්ඤෙය්‍ය හෙවත් තිලකුණු වශයෙන් තීරණ පරිඥායෙන් දතයුත්ත ද, පහාතව්‍ය හෙවත් තදඞ්ග සමුච්ඡෙද වශයෙන් පහ කළ යුත්ත ද, භාවිතව්‍ය හෙවත් වැඩිය යුතු වූ මාර්ගය ද, සාක්ෂාත්කරණීය හෙවත් සාක්ෂාත් කටයුතු වූ නිවන හා ඵලය ද සාක්ෂාත් කරන්නහු විසින් මාර්ගක්ෂණයෙහි දී යථා ස්වභාවය වසා සිටින මෝහය නසා පවත්නා වූ නුවණින් කැමති කැමති කල්හි දැනගන්නට සමත්වන හෙයින් අසම්මෝහ වශයෙන් ප්‍රීතිය ද දන්නාලද්දේ ම වෙයි.

මෙසේ යෝගාවචර තෙම ධ්‍යානසම්ප්‍රයුක්ත ප්‍රීතිය දනිමින්, ප්‍රකට කරගනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙන්නේ ය.

2. සුඛය දනිමින්, ප්‍රකට කර ගනිමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය.

සුඛය දනිමින්, ප්‍රකට කර ගනිමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය.

මෙහි සුඛය නම් ප්‍රථම, ද්විතිය, තෘතිය ධ්‍යාන සම්ප්‍රයුක්ත සුඛ නම් වූ ධ්‍යානාඞ්ග යයි. එය කායික සුඛය, චෛතසික සුඛය යන දෙවැදෑරුම් වූ සුඛය වේ. මේ සුඛය ද, යට කියන ලද ප්‍රීතිය මෙන් සුඛසහගත ත්‍රිවිධ ධ්‍යානයට සමවැදීමේදී ම ආරම්මණ වශයෙන් ද, ඒ ධ්‍යානයෙන් නැගී, ධ්‍යාන සම්ප්‍රයුක්ත සුඛය, ක්‍ෂය, ව්‍යය වශයෙන් සම්මර්‍ශනය කරන කල්හි විදර්‍ශනා ක්‍ෂණයෙහි ලක්‍ෂණ ප්‍රතිවේධ වශයෙන් අසම්මොහ වශයෙන් ද දන්නේ ද වේ, ප්‍රකටකර ගැනීම ද වේ. මෙසේ යෝගාවචර තෙම සුඛය දනිමින්, ප්‍රකටකර ගනිමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ ය.

මේ වස්තු දෙක්හි වේදනානුපස්සනාව දක්වන ලද බව දත යුතු. පීති පටිසංවෙදී යන පදයෙන් ප්‍රීතිශීර්‍ෂයෙන් ද සුඛ පටිසංවෙදී යන පදයෙන් ස්වරූප වශයෙන් ද වේදනාව දක්වන ලදී.

3. චිත්ත සංස්කාරයන් දනිමින්, ප්‍රකට කර ගනිමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය.

චිත්ත සංස්කාරයන් දනිමින්, ප්‍රකට කර ගනිමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය.

මෙහි චිත්තසංස්කාරයෝ නම් වේදනාස්කන්‍ධය හා සංඥාස්කන්‍ධයයි. එය සතර ධ්‍යානාඞ්ගයන්ගේ වශයෙන් ම චිත්තසංඛාර පටිසංවෙදී වන්නේ ය. සංඥා ද, වේදනා ද යන මේ ධර්‍මයෝ චිත්තයෙහි ම වන හෙයින් චිත්තප්‍රතිබද්ධයහ. එ හෙයින් සංඥාසම්ප්‍රයුක්ත වූ වේදනාව දක්වන ලද බව දත යුතු.

යෝගාවචර තෙම ඉදින් ආශ්වාස ප්‍රශ්වාසයන් දීර්‍ඝ, හ්‍රස්ව වශයෙන් දැන ආශ්වාස ප්‍රශ්වාස කරමින්, ඖදාරික ඖදාරික ආශ්වාස ප්‍රශ්වාස නම් වූ කාය සංස්කාරයන් සංසිඳුවමින් නීවරණ ධර්‍මයන් විෂ්කම්භනය කොට සතර රූපාවචර ධ්‍යානයන් උපදවාගෙන, ඒ ධ්‍යානයන්හි අන්තර්ගත ප්‍රීති සහ සුඛ නම් වූ ධ්‍යානාඞ්ගයන් ආරම්මණ වශයෙන් හා අසම්මොහ වශයෙන් ද දැන ආශ්වාස ප්‍රශ්වාස කොට, ඉක්බිති ඒ ධ්‍යාන චිත්තයෙහි ම වූ සංඥා සම්ප්‍රයුක්ත වූ වේදනාව ද දැන, මෙනෙහි කොට ආශ්වාස ප්‍රශ්වාස කරමින් හික්මෙන්නේ ය. එහෙයින් චිත්තසංස්කාර නම් වූ සංඥා සම්ප්‍රයුක්ත වේදනාව ද දනිමින්, ප්‍රකට කර ගනිමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙන්නේ යයි කියන ලදී.

4. ඖදාරික චිත්ත සංස්කාරයන් සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය.

ඖදාරික චිත්ත සංස්කාරයන් සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය.

යෝගාවචර තෙම සංඥාස්කන්‍ධය සහිත වූ වේදනා ස්කන්‍ධය දනිමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ, යට කාය සංස්කාරයන්ගේ සංසිඳුවීම වන පරිද්දෙන්, යට යට ධ්‍යානයන්හිදීට වඩා මතු මතු ධ්‍යානයන්හිදී ක්‍රමයෙන් මේ චිත්ත සංස්කාරයන් ද සංසිඳුවමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ ය. ප්‍රථමධ්‍යානයෙහිදී චිත්ත සංස්කාරයෝ ඖදාරික ය. ද්විතීයධ්‍යානයෙහිදී සියුම් ය. ද්විතීයධ්‍යානයෙහිදී චිත්තසංස්කාරයෝ ඖදාරික ය. තෘතීයධ්‍යානයෙහිදී සියුම් ය. තෘතීයධ්‍යානයෙහිදී ඖදාරික ය. චතුර්‍ත්‍ථධ්‍යානයෙහිදී සියුම් ය. විදර්‍ශනා ක්‍රමයෙහිදී ද කායසංස්කාරයන්ට කී පරිද්දෙන් ම දතයුතු.

මෙසේ මේ ද්විතීය චතුෂ්කය වේදනානුපස්සනා වශයෙන් වදාරණ ලදී.