අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ධාතු

ධාතුහු අටළොසකි. මේ අටළොස් ධාතුහු සුත්‍රාන්තභාජනියයෙහි ත්‍රිවිධ ෂට්කයන්ගේ වශයෙන් දේශනාකොට තිබේ. ඒ ත්‍රිවිධ ෂට්කයන් අතුරෙන් පළමු ෂට්කය නම්, පඨවි ධාතු, ආපො ධාතු, තෙජො ධාතු, වායො ධාතු, ආකාශ ධාතු විඥාන ධාතු යන සය වේ.

දෙවෙනි ෂට්කය නම්, සුඛ ධාතු, දුක්ඛ ධාතු, සොමනස්ස ධාතු, දොමනස්ස ධාතු, උපෙක්ඛා ධාතු, අවිද්‍යා ධාතු යන ධාතු සය වේ.

තුන්වන ෂට්කය නම්, කාම ධාතු, ව්‍යාපාද ධාතු, විහිංසා ධාතු, නෙක්ඛම්ම ධාතු, අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු, යන ධාතු සය වේ.

අභිධර්ම භාජනියයෙහි වනාහි මේ අටළොස් ධාතුහු

  1. චක්ඛු ධාතු
  2. රූප ධාතු
  3. චක්ඛුවිඤ්ඤාණ ධාතු
  4. සොත ධාතු
  5. සද්ද ධාතු
  6. සොතවිඤ්ඤාණ ධාතු
  7. ඝාණ ධාතු
  8. ගන්‍ධ ධාතු
  9. ඝාණ විඤ්ඤාණ ධාතු
  10. ජිව්හා ධාතු
  11. රස ධාතු
  12. ජිව්හා විඤ්ඤාණ ධාතු
  13. කාය ධාතු
  14. පොට්ඨබ්බ ධාතු
  15. කාය විඤ්ඤාණ ධාතු
  16. මනො ධාතු
  17. ධම්ම ධාතු
  18. මනො විඤ්ඤාණ ධාතු වශයෙන් වදාරණ ලදි.

මෙයින් පළමුකොට ත්‍රිවිධ ෂට්කයන් වශයෙන් සුත්‍රාන්ත භාජනීයයෙහි වදාරන ලද ධාතූහු විස්තර කරනු ලැබේ.

ධාතු ශබ්දයාගේ අර්ථය නම් ස්වභාව සඞ්ඛ්‍යාත අර්ථය වේ. ස්වභාවය නම් ශුන්‍ය බවයි. ශුන්‍යභාවාර්ථය නම් නිස්සත්ත්‍ව නිජ්ජීව සඞ්ඛ්‍යාත අර්ථය වේ. මෙසේ ස්වභාව වූද ශුන්‍යත්‍ව වූද, නිස්සත්ත්‍ව නිජ්ජීව වූද ධර්මයෝ ධාතු නම්.

තවද, සම්භව වූ පරිද්දෙන් අනෙකප්‍රකාරවූ සංසාර දුක්ඛය විධානය කරන හෙයින් ද,

බර ගෙන යන්නවුන් විසින් බර මෙන් සත්ත්‍වයන් විසින් උසුලනු ලැබෙත්ය යන අර්ථයෙන් ද,

තමා වශයෙහි නොපවත්නා හෙයින් ද,

දුක්ඛ විධානය පමණක්ම වන හෙයින් ද,

සසර දුක නැවත නැවත කරනු ලබන හෙයින් ද,

සිද්ධ කරන ලද සංසාර දුක්ඛය මොවුන් කෙරෙහි තබනු ලැබේය යන අර්ථයෙන් ද,

ඥෙය්‍ය අවයව වූවාහු වන හෙයින් ද, ධාතු නම් වේ.