වායො ධාතු
වේගවත් ගති වශයෙන් නොහොත් සමුදීරණ වශයෙන් හෙවත් වියලෙන, සැලෙන භාවයන් වායු නම් වේ. මේ වායො ධාතුවද, අධ්‍යාත්මික වායො ධාතු හෙවත් ඉන්ද්රියබද්ධ වායො ධාතුවය, බාහිර වායො ධාතු හෙවත් අනින්ද්රිය බද්ධ වායො ධාතුව යයි විධ වේ.
අධ්‍යාත්මික වායො ධාතුව. යම් අධ්‍යාත්මික වූ පුද්ගලයන්ට වෙන් වෙන්ව අයත් වූ වායුව වූ ද, වේගවත් ගති භාවයට නොහොත් වියලෙන සැලෙන බවට පැමිණි බැවීන් වායොගත වූ ද, අවිනිබ්භොග රූපයාගේ තද බවට පත් වූ අධ්‍යාත්මික රූපය පිළිබඳ කර්මයෙන් හටගත් වායො ධාතුව, එනම් වමන, ඉක්කා ආදියගේ පැවැත්ම කරන්නා වූ උඩට නංගා වූ උද්ධඞ්ගමා වාතයෝය, මලමුත්රාදීන් පහකරන්නා වූ යට බලා බස්නා වූ අධොගමා වාතයෝය, අන්ත්‍ර පටලයන්ගේ පිටත්හි වූ කුච්ඡිසයා වාතයෝය, අන්ත්‍ර පටලයන්ගේ මධ්යාභ්යන්තර සඞ්ඛ්‍යාත කෝෂ්ඨය හෙවත් ඇතුල් කුස මැද පෙදෙස ඇසුරු කළ කොට්ඨාසයා වාතයෝය, නහරවැල් අනුසරින් මුළු සිරුරෙහි කුදු මහත් අවයවයන් පැතිර පවත්නා වූ වක් කිරීම් දික් කිරීම් ආදිය උපදවන්නා වූ අඞ්ගමඞ්ගානුසාරිනො වාතයෝය, සන්ධින්ගේ ඝටනයන් කතුරකින් කපන්නාවුන් මෙන් පැවති සත්ථක වාතයෝය, කර කැන්නෙන් පලන්නාක් මෙන් ළය පලන්නා වූ ඛුරකා වාතයෝය, හදය මාංසයම උපුටන්නා වූ උප්පලකා වාතයෝය, ඇතුළට වදනා නාසා වාතය නම් වූ අස්සාස වාතයෝය, පිටට නික්මෙන නාසාවාත නම් වූ පස්සාස වාතයෝය, යන මේ වාතයෝ ද, මෙසේ අන්‍ය වූ ද, යම් අධ්‍යාත්මික වූ පුද්ගලයන්ට වෙන් වෙන්ව අයත් වායුව වූ, වායුස්වභාවයට ගියා වූ තද බවට පත් වූ, අධ්‍යාත්මික රූපය පිළිබඳ කර්මයෙන් හටගත් වායුවක් වේ ද, මේතොමෝ අධ්‍යාත්මික වායො ධාතුව යයි කියනු ලැබේ.
බාහිර වායො ධාතුව. යම් බාහිර වූ, අනින්‍ද්‍රියබද්ධ වූ, වායුව වූ, වායු ස්වභාවයට ගියා වූ, තද බවට පත් වූ, බාහිර රූපය පිළිබඳ වූ කර්මයෙන් හටනොගත්තා වූ වායුවක් වේ ද, එනම්, පෙරදිගින් හමන්නා වූ පුරත්ථිමා වාතයෝය, බටහිරින් හමන්නා වූ පච්ඡිමා වාතයෝය, උතුරුදිගින් හමන්නා වූ උත්තරා වාතයෝය, දකුණුදිගින් හමන්නා වූ දක්ඛිණා වාතයෝය, ධූලි සහිත වූ හෙයින් සරජ වාතයෝය, ධූලි රහිතවූ හෙයින් පිරිසිදුවූ අරජ වාත- යෝය, ශීත සෘතු හේතුවෙන් හටගන්නාවූ සිහිල් වළාවන් අතරෙහි වූ සීත වාතයෝය, ඝර්ම සෘතු හේතුවෙන් හට ගන්නාවූ උෂ්ණ වළාවන් අතරෙහිවූ උෂ්ණ වාතයෝය, මඳවූ හෙවත් දුබලවූ තුනීවූ පරිත්තා වාතයෝය, බලවත්වූ හෙවත් ඉමහත් වූ අධිමත්තා වාතයෝය, කළු වළාවන් අතරෙහි හටගන්නාවූ කාළ වාතයෝය, යොදුනකින් උඩ හමන්නාවූ වේරම්භ වාතයෝය, යටත් පිරිසෙයින් මැස්සකුගේ නමුත් පියාපත් සැලීමෙන් හටගත්තාවූ පක්ඛ වාතයෝය, ගුරුළන්ගේ පියාපත් ගැසීමෙන් හටගත්තාවූ සුපණ්ණ වාතයෝය, තල් අතු ආදියෙන් නැංගාවූ තාලපණ්ණ වාතයෝය, විජිනිපතෙකින් නැංගාවූ විධූපන වාතයෝය, යනාදිවූ වාතයෝද යම් ඒ අන්‍යවූ ද, බාහිර වූ, වායුව වූ, වායුස්වභාවයට ගියාවූ, තද බවට පත්වූ, බාහිර රූපය පිළිබඳ වූ, කර්මයෙන් හට නොගත් යම් වායුවක් වේද, මෝතොමෝ බාහිර වායො ධාතුව ය යි කියනු ලැබේ.
යම් අධ්‍යාත්මික වායො ධාතුවක් ඇද්ද, යම් බාහිර වායො ධාතුවක් ඇද්ද, ඒ දෙකම එක්කොට ගළපා කැටි කොට ගත්තීද, මෝතොමෝ වායො ධාතුව ය යි වදාරන ලදී.
වායො ධාතු මනසිකාරය - මේ ශාසනයෙහි සසර බිය දක්නා පුද්ගල තෙමේ, උද්ධඞ්ගම වාතාදි ප්‍රභෙද ඇති වායො ධාතූන්, උද්ධඞ්ගම වාතාදීන්ගේ වශයෙන් පිරිසිඳ දැන, උඩට නැංගාවූ වාතයෝ නම් මේ සිරුරෙහි අධොගමාදිවූ සෙසු වාතයන් කෙරෙන් වෙන්වූ හෙවත් අසම්මිශ්රවූ කොටසෙක, චේතනා රහිතය, අව්‍යාකෘතය, ආත්ම ශූන්‍යය. එහෙයින් නිස්සත්ත්ව වනුය, අවිනිබ්භොග රූපයන්ගේ ස්ථම්භන ස්වභාවයක් වන්නේය. එහෙයින් වායො ධාතු නම් වන්නේයයි මෙනෙහි කටයුතු.