අභිධර්මාර්ථ ප්‍රදීපිකා

පඨවි ධාතුව

පඨවි ධාතු — ප්‍රකෘති පොළොව මෙන් පිහිටවූ ධාතුව පඨවි ධාතු නම්. සහජාත රූපයන්ගේ පිහිටීමට ආධාර වන ධාතුවයි.

පඨවි ධාතු තොමෝ අධ්‍යාත්මික පඨවි ධාතුය, බාහිර පඨවි ධාතුය ය යි විධ වේ.

මේ අධ්‍යාත්මික බාහිර පෘථිවි ධාතුන් අතුරෙන් අධ්‍යාත් මික පෘථිවි ධාතුව යනු සත්ත්‍වයන්ගේ සන්තානයෙහි අන්තර්ගත වූ හෙවත් ඉන්ද්‍රිය බද්ධ වූ, තම තමන් සතු වූ අධ්‍යාත්මික පෘථිවි ධාතු තොමෝ යි.

බාහිර පෘථිවි ධාතුව යනු සංස්කාරයන්ගේ සන්තාන යෙහි අන්තර්ගත වූ අනින්‍ද්‍රිය බද්ධ වූ හෙවත් ඉන්‍ද්‍රියයන් හා අසම්බන්‍ධි වූ පෘථිවි ධාතු තොමෝ යි.

අධ්‍යාත්මික පඨවි ධාතුව - යමක් සත්ත්‍ව සන්තාන ගතවූවාද, පුද්ගලයන්ට වෙන් වෙන්ව ලැබුනේද, කක්ඛල හෙවත් තදවූවාද, ඛරිගත හෙවත් රළුවූවාද, කක්ඛලත්ත හෙවත් කර්‍කශ බවට පත්වූවාද, කක්ඛලභාව හෙවත් කර්‍කශ ස්වභාවය වේද, අජ්ඣත්ත උපාදින්න හෙවත් සත්ත්‍ව සන්තාන පර්‍ය්‍යාපන්න වූ ආත්මභාව සඞ්ඛ්‍යාත වූ ශරීරයෙහි පිහිටියා වූ, කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදයමාංශය, අක්මාව, දලබුව, බඩදිව, පපුමස, බඩවැල, කුඩා බඩවැල, නොපැසුණු අහර, පැසුණු අහර ආදී ශරීරයට අයත් වූ ද යම් ඒ අන්‍ය වූ, තමා අයත් වූ, සත්ත්‍වයන්ට වෙන් වෙන් වශයෙන් අයත් වූ, කර්‍කශ වූ, රළු වූ, කර්‍කශ බවට පත්වූ කර්‍කශ ස්වභාවය ඇති අධ්‍යාත්මික ශරීරයට අයත් පඨවි ධාතුවක් ඇද්ද, මේ තොමෝ අධ්‍යාත්මික පඨවි ධාතුවය යි කියනු ලැබේ.

ශරීරයෙහි පිහිටියා වූ රූපය තෙමේ කම්ම සමුට්ඨාන හෙවත් කර්‍මය හේතුකොට ගෙන උපන් රූපයය එසේ කර්‍මය හේතුකොට ගෙන නූපන් රූපය යයි විධ වේ. මාගේ ආත්මභාවය ය යි ආකර්‍ෂණය කරනු ලැබීමය, මාගේ ආත්ම භාවය ය යි ග්‍රහණය කරනු ලැබීමය, මාගේ ආත්ම භාවය ය යි පරාමර්‍ශනය කරනු ලැබීමය යන මොවුන්ගේ වශයෙන් ශරීරස්ථ වූ ඒ රූප සියල්ලම උපාදින්න රූප නම් වේ.

බාහිර පඨවි ධාතුව - යමක් සත්ත්‍ව සන්තානයෙන් බාහිර වූවාද, කර්‍කශ වූවාද, රළු වූවාද, කර්‍කශ බවට පත් වූවාද, කර්‍කශ ස්වභාවය වේද, ශරීරයට අයත් නොවූවාද, එනම් - අයො හෙවත් යකඩය, ලොහය, තිපු හෙවත් සුදු ඊයම්ය, සීසං හෙවත් කළු ඊයම්ය, සජ්ඣු හෙවත් රිදීය, මුත්තා හෙවත් මුතුය, මණී හෙවත් මැණික්ය, චේළුරිය හෙවත් වෛදූර්‍ය්‍යය, සංඛ හෙවත් සක්ය, සිලා හෙවත් සියලු ගල් වර්‍ගය, පවාල හෙවත් පබළුය, රජතය, ජාතරූප හෙවත් ස්වර්‍ණය, ලෝහිතංක හෙවත් රතු මැණික්ය, මසාරගල්ල හෙවත් කබර මාණික්‍යය, තිණ හෙවත් තෘණය, කට්ඨ හෙවත් දරය, සක්ඛර හෙවත් කැටගල්ය, කඨල හෙවත් මැටි බඳුන් කැබලිය, භූමි හෙවත් පෘථිවියය, පාසාණ හෙවත් සත්රියන් වට ඇති ඇත් බඳ පමණට නොපැමිණි ගල්ය, පබ්බත හෙවත් පාසාණයට වඩා විශාලවූ පර්‍වතය යනාදිය ද, යම් ඒ අන්‍යවූ හෙවත් පුද්ගල සන්තානයට අයත් නොවූ හෙවත් ශරීරගත නොවූ කර්‍කශ රළුවූ කර්‍කශ බවට පත්වූ, කර්‍කශ ස්වභාවය වූ, ශරීරයට අයත් නොවූ පඨවි ධාතුවක් ඇද්ද, ඕතොමෝ බාහිර පඨවි ධාතු නම්.

මෙසේ යම් අධ්‍යාත්මික පඨවි ධාතුවක් ඇද්ද, බාහිර පඨවි ධාතුවක් ඇද්ද, ඒ දෙකම එක්කොට ගළපා, කැටිකොට ගත්තීද, ඕතොමෝ පඨවි ධාතුව යයි කියනු ලැබේ.

අධ්‍යාත්මික බාහිර පඨවි ධාතුන් අතුරෙන් අධ්‍යාත්ම සන්තානය හෙවත් තම තමන්ගේ ආත්ම භාවය අයත් කොට පවත්නාවූ කර්‍කශ ස්වභාවය, කෙශා ලොමාදීන්ගේ වශයෙන් උපාදින්න පඨවි ධාතුව යයි දක්වා වදාළ සේක.

මේ කෙස්හු නම්, ආත්ම භාවය ආධාරකොට පවත්නාහ. උපාදින්නය හෙවත් මාගේ ආත්ම භාවය ය යි දැඩිකොට ගන්නා ලදයහ. ශරීරස්ථයහ, හෙවත් සිරුරෙහි පිහිටියහ. කර්‍කශ ස්වභාව ලක්‍ෂණකොට ඇත්තාහ, මේ සිරුරෙහි ලොමාදීවූ ඉතිරි කොට්ඨාසයන් කෙරෙන් වෙන්වූ හෙවත් අසම්මිශ්‍රවූ පෘථිවිධාතු කොටසෙක, සත්ත්‍ව පුද්ගලාදි භාවයෙන් ශුන්‍යවූ පෘථිවි ධාතු කොට්ඨාස මාත්‍රයෙක්මය, ලොමාදීවූ අනිකුදු කොටසෙහි අසම්මිශ්‍රවූ පෘථිවි ධාතුමය යනාදි වශයෙන් භාග්‍යවතුන් වහන්සේ ධාතු මනසිකාරය දක්වා වදාළ සේක. මේ ධාතු මනසිකාරයෙහි වනාහි භාවනා කර්මය කොට වීර්‍ය්‍යය යොදා, විදර්ශනා වඩා, උත්තමාර්ථය හෙවත් අර්හත් ඵලයට පැමිණෙනු කැමති මහණහු විසින් පළමුකොට චතුපාරිශුද්ධි ශීලය පිරිසිදු කළ යුතුය. සිල්වත් මහණහට කර්මස්ථාන භාවනාව සමෘද්ධවන හෙයිනි. මෙසේ පිරිසිදුවූ සිල් ඇති මහණහු විසින් චතුපාරිශුද්ධි ශීලයෙහි මනාකොට පිහිටා ආවාසාදිවූ පූර්‍වපරිරෝධයන් සිඳ හළ යුතුය. ඉක්බිතිව දික්වූ කෙස් ආදීවූ අපර පරිරෝධයන්ද දුරුකටයුතුය. මෙසේ සිඳ පියනලද පළිබෝධ ඇති මහණහු විසින් ධාතු මනසිකාර කර්මස්ථානය උගෙනගත යුතු.

ධාතු මනසිකාර කර්මස්ථානය උගන්වන්නාවූ ආචාර්‍ය්‍යයන් වහන්සේ විසින්ද සත්වැදෑරුම්වූ උද්ග්‍රහණ කෞශල්‍යයද දස වැදෑරුම් වූ මනස්කාර කෞශල්‍යයද ඇස්විය යුතුයි අත වැස්සහු විසින්ද ආචාර්‍ය්‍යයන් වහන්සේගේ සමීපයෙහි නොයෙක්වර හැදෑරීම කොට, ගැටළු තැන් රහිත වූවක්හුද, අභ්‍යාස වූවක්හුද කොට කමටහන වැඩිය යුතුයි. තවද ඒ මහණහු විසින් අත්‍යාසන්තතා, අතිදූරතාදීවූ අටළොස් සෙනසුන් දොසින් දුරුව, පසඟින් යුක්තවූ සෙනස්නෙහි වැස, තමනුත් කර්මස්ථානාභියොගීන්ට කරුණුවූ අල්පාබාධය, අසාඨ්‍යය, ශ්‍රද්ධාවය, වීර්‍ය්‍යය, ප්‍රඥාවය යන පඤ්ච පධානියඞ්ගයෙන් සමන්විතව, පිණ්ඩපාත පරිභෝගයෙන් පසු කාලයෙහි කමටහන මෙනෙහි කටයුතු.

කමටහන මෙනෙහි කරන්නා වූ මහණහු විසින් වර්ණය, සංස්ථානය, දිශාය, අවකාශය, පරිච්ඡේදය යන මොවුන්ගේ වශයෙන් කෙශාදි කොට්ඨාසයන් අතුරෙන් එක් එක් කොටස මෙනෙහි කොට, අවසානයෙහි ධාතු මනසිකාර වශයෙන් මෙසේ ද මෙනෙහි කටයුතු.

මේ කෙස්හු නම් හිස් කබල වසා සිටි සමෙහි හට ගත්හ. ඒ සම් අතුරෙන් තුඹස මතුපිට ඉළුප්තණ හටගත් කල්හි, තුඹස් මත තෙමේ, මා කෙරෙහි ඉළුප්තණ හට ගත්හ යි යම්සේ නොදනී ද, ඉළුප්තණ ද, අපි තුඹස මතුපිට හටගතුම්හ යි යම්සේ නොදනිත් ද, එපරිද්දෙන්ම හිස් කබල වසා සිටි සම තෙමේ, මා කෙරෙහි කෙස්හු හටගත්හයි නොදනී කෙස්හුද අපි ඉස්කබල වසාසිටි සම්හි හටගතුම් හයි නොදනිත්. කෙස්හුය, හිස් කබල වසා සිටි සමැ යි යන නම් ලද ඒ නිස්සත්ත්‍ව නිජ්ජීව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ. මෙසේ කෙස්හු නම් සිරුරෙහි අසම්මිශ්‍ර වූ කොටසෙක, චෙතනා රහිතය, අව්‍යාකෘතය, ආත්ම ශූන්‍යය එහෙයින් නිස්සත්ත්‍ව වනුය, දැඩිබව ලක්‍ෂණ කොට ඇත්තේ ය, එහෙයින් පෘථිවි ධාතු නම් වන්නේය යි කියා මෙනෙහි කටයුතු.

ලොම්හු සිරුර වසා සිටි සම්හි හටගත්හ. පැරණි වූ ගම් පියෙස්හි හීතණ හටගත් කල්හි, පැරණි ගම් පියෙස් තෙම මා කෙරෙහි හීතණ හටගත්හ යි යම්සේ නොදනී ද, හීතණ ද, අපි පැරණි ගම් පියෙස්හි හටගතුම්හ යි යම්සේ නො දනිත් ද, එපරිද්දෙන්ම, සිරුර වසා සිටි සම තෙමේ මා කෙරෙහි ලොම්හු හටගත්හ යි නොදනී. ලොම්හුද අපි සිරුර වසා සිටි සමෙහි හටගතුම්හ යි නො දනිති ලොම, ශරීර චර්ම යන නම් ලද ඒ නිස්සත්ත්‍ව නිජ්ජීව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ. මෙසේ ලොම්හු නම් මේ සිරුරෙහි අසම්මිශ්‍ර වූ කොටසෙකි, චෙතනා රහිතය, අව්‍යාකෘතය, ආත්ම ශූන්‍යය, එහෙයින් නිස්සත්ත්‍ව වනුය, දැඩි බව ලක්‍ෂණ කොට ඇත්තේය, එහෙයින් පෘථිවි ධාතු නම් වන්නේයයි මෙනෙහි කටයුතු.

විසි නියපොත්තෝ අත් පා ඇඟිලි අග හට ගත්හ බාලදරුවන් දඬු අග මිනි ඇට අමුනාගෙන කෙළනා කල්හි දඬු කඩහු අප අග්හි මිනි ඇට තුබූහයි යම්සේ නො දනිත් ද, මිනි ඇටද අපි දඬුකඩ අග තුබුම්හ යි යම්සේ නොදනිත් ද, එපරිද්දෙන්ම, අත් පා ඇඟිලිහු අපගේ ඇඟෙහි විසි නියපොත්තෝ හටගත්හයි නොදනිති. විසි නියපොත්තෝ ද, අපි අත්පා ඇඟිලි අග හටගතුම්හයි නොදනිති. විසි නියපොතු, ඇඟිලි අග් යන නම් ලද නිස්සත්ත්ව නිජ්ජිව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ. මෙසේ විසි නියපොත්තෝ නම් මේ සිරුරෙහි අසම්මිශ්‍ර කොටසෙකි, චේතනා රහිතය, අව්‍යාකෘතය, ආත්ම ශූන්‍යය. එහෙයින් නිස්සත්ත්ව වනුය, දැඩි බව ලක්‍ෂණ කොට ඇත්තේය, එහෙයින් පෘථිවි ධාතු නම් වන්නේය යි මෙනෙහි කටයුතු.

දෙතිස් දත්හු — උඩුයටි හකු ඇට දෙක් හි හටගත්හ. ගල්වඩුවන් විසින් ගල්වනු වල කිසි ලහටුවෙකින් බැඳ සිටුවූ ස්ථම්භයන් කෙරෙහි ගල්වනුහු අප කෙරෙහි ස්ථම්භයෝ පිහිටියහයි යම්සේ නොදනිත් ද, ස්ථම්භයෝ ද, අපි ගල්වනුවල පිහිටියම්හයි යම්සේ නොදනිද් ද, එපරිද්දෙන්ම හනු ඇට දෙකද අප කෙරෙහි දෙතිස් දත්හු හටගත්හයි නොදනිති. දෙතිස් දත්හුද, අපි හනු ඇට දෙක්හි හටගතුම්හයි නොදනිති. දෙතිස් දත් දෙහනු ඇට යන නම් ලද ඒ නිස්සත්ත්ව නිජ්ජිව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ. මෙසේ දෙතිස් දත්හු නම් මේ සිරුරෙහි අසම්මිශ්‍ර කොටසෙකි, චේතනා රහිතය, අව්‍යාකෘතය, ආත්ම ශූන්‍යය, එහෙයින් නිස්සත්ත්ව වනුය, දැඩිබව ලක්‍ෂණ කොට ඇත්තේය, එහෙයින් පෘථිවිධාතු නම් වන්නේය යි මෙනෙහි කටයුතු.

තව නම් ලද සිවිතෙමේ මුළු සිරුර හාත්පස වැළඳගෙන, වසාගෙන සිටියේ ය. අළුත් ගෙරි සමින් වළඳනාලද මහා වීණාවෙහි මහා වීණා තොමෝ, මම අළුත් ගෙරි සමින් වළඳනා ලදිමියි යම්සේ නොදනීද, අළුත් ගෙරිසම් තෙමේ ද, මා විසින් මහා වීණා තොමෝ වළඳනා ලදැයි යම්සේ නොදනීද, එපරිද්දෙන්ම ශරීරය තෙම මම සිවීහු විසින් වළඳන ලදිමියි නොදනී. සිවි තෙමේ ද, මාවිසින් සිරුර වළඳන ලදැයි නොදනී. සිවි ශරීර යන නම් ලද ඒ නිස්සත්ත්ව නිජ්ජිව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ. මෙසේ සිවීහු නම්, මේ සිරුරෙහි අසම්මිශ්‍ර කොටසෙකි. චේතනා රහිතය, අව්‍යාකෘතය, ආත්ම ශූන්‍යය, එහෙයින් නිස්සත්ත්වචනුය. දැඩිබව ලක්‍ෂණ කොට ඇත්තේ ය, එහෙයින් පෘථිවිධාතු නම් වන්නේය යි මෙනෙහි කටයුතු.

මාංසය තෙමේ ඇටසැකිළි රැස අලෙව්කොට සිටියේ ය. මහ මැටි පිඬෙන් අලෙව් දුන් බිත්තියෙක්හි, බිත්තිතොමෝ මම මහා මැටි පිඬින් අලෙව්දෙන ලදිමියි යම් සේ නොදනී ද, මහා මැටිපිඬු ද, මා විසින් මහා බිතුතොමෝ අලෙව් දෙනලදැයි යම්සේ නොදනී ද, එපරිද්දෙන් ම ඇටසැකිළි රැස තෙමේ මම නවසියයක් (900) මාංස පෙශින් සම්බන්‍ධ වූ ප්‍රභේද ඇති මසින් අලෙව් දෙන ලදිමැයි නොදනී. මාංසය තෙමේ ද, මා විසින් ඇටසැකිළි රැස අලෙව් දෙන ලදැයි නොදනී. මස්, ඇට සැකිළි රැස යන නම් ලද ඒ නිස්සත්ත්ව නිර්ජීව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ. මෙසේ මාංසය නම් මේ සිරුරෙහි අසම්මිශ්‍ර කොටසෙකි, චේතනා රහිතය, අව්‍යාකෘතය, ආත්ම ශූන්‍යය, එහෙයින් නිස්සත්ත්ව චනුය, දැඩි බව ලක්‍ෂණ කොට ඇත්තේය, එහෙයින් පෘථිවි ධාතු නම් වන්නේ යයි මෙනෙහි කටයුතු.

ශිරා ස්නායු සංඛ්‍යාත වූ නහරවැල්හු, ශරීරය තුළ ඇට වෙළා ගනිමින් සිටියහ. වැලින් වෙළන ලද කුටිකා බිත්ති දඬුහි බිත්ති දඬුහු අපි වැලින් වෙළන ලදුම්හයි යම්සේ නොදනිද් ද, වැල්හුද, අප විසින් බිත්ති දඬු වෙළන ලදහ යි යම් සේ නොදනිද්ද එපරිද්දෙන්ම අස්ථිහු අපි නහර වැලින් වෙළනලදුම්හ යි නො දනිති. නහර වැල්ද, අප විසින් ඇට වෙළන ලදහයි නොදනිති. නහර, ඇට යන නම් ලද ඒ නිස්සත්ත්ව නිර්ජීව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ. මෙසේ නහර වැල්හු නම් මේ සිරුරෙහි අසම්මිශ්‍ර කොටසෙකි, චේතනා රහිතය, අව්‍යාකෘතය, ආත්ම ශූන්‍යය. එහෙයින් නිස්සත්ත්ව චනුය, දැඩිබව ලක්‍ෂණකොට ඇත්තේය, එහෙයින් පෘථිවි ධාතු නම් වන්නේ යයි මෙනෙහි කටයුතු.

අස්ථින් අතුරෙන් විළුම් ඇට තෙම ගොප් ඇට ඔසවා සිටියේය. ගොප් ඇට තෙම ජඞ්ඝට්ඨිය ඔසවා සිටියේය. දහ ඇට කලවා ඇට ඔසවා සිටියේය. කලවා ඇට තෙම කටී ඇට ඔසවා සිටියේය. කටී ඇට තෙම පිට කටු ඇට ඔසවා සිටියේය. පිට කටු ඇට තෙම ග්‍රීවා ඇට ඔසවා සිටියේය. ගළවළු ඇට තෙම හිස් කබලු ඇට ඔසවා සිටියේය. හිස්කබලු ඇට තෙමේ ගළවළු ඇට මත්තෙහි පිහිටියේය. ගළවළු ඇට තෙමේ පිටිකටු ඇට මත්තෙහි පිහිටියේය. පිටිකටු ඇට තෙමේ කටී ඇට මත්තෙහි පිහිටියේය. කටී ඇට තෙමේ කලවා ඇට මත්තෙහි පිහිටියේය. කලවා ඇට තෙමේ දහ ඇට මත්තෙහි පිහිටියේය. ජඞ්ඝට්ඨි තෙමේ ගොප් ඇට මත්තෙහි පිහිටියේය. ගොප් ඇට තෙමේ විළුඹැට මත්තෙහි පිහිටියේය. උළු, දර ගොම ඈ ගොඩවල් අතුරෙන් යට යට සිටි උළු, දර, ගොම ඈ ගොඩවල් අපි මතු මත්තෙහි සිටි උළු දර ගොම ගොඩවල් ඔසවා සිටගතුම්හයි යම්සේ නොදනිද්ද, මතු මත්තෙහි සිටි උළු, දර, ගොම ඈ ගොඩවල් අපි යට යට සිටි උළු, දර, ගොම ගොඩවල්හි පිහිටියම්හයි යම්සේ නොදනිද්ද, එපරිද්දෙන්ම විළුඹැට තෙම මම ගොප් ඇට ඔසවා සිටියෙමියි නොදනී. ගොප් ඇට තෙමේ ද මම ජඞ්ඝට්ඨිය ඔසවා සිටියෙමියි නොදනී. මෙසේ යට යට සිටි ඇට මතු මත්තෙහි පිහිටි ඇට, යට යට පිහිටි ඇට මත්තෙහි සිටියම්හයි නොදනී. ඇට සංඛ්‍යාතවූ ඒ නිස්සත්ත්ව නිජ්ජීව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ. මෙසේ අස්ථිහු නම් මේ සිරුරෙහි අසම්මිශ්‍ර කොටසෙකි. චේතනා රහිතය, අව්‍යාකෘතය, ආත්ම ශූන්‍යය, එහෙයින් නිස්සත්ත්ව වනුය, දැඩිබව ලක්‍ෂණ කොට ඇත්තේය. එහෙයින් පෘථිවිධාතු නම් වන්නේ යයි මෙනෙහි කටයුතු.

ඇට මිදුළු තෙමේ ඒ ඒ අස්ථින්ගේ අභ්‍යන්තරයෙහි සිටියේය. හුණ පුරුක් ආදීන්ගේ ඇතුළෙහි බහාලූ හිවු වේ බඩ ආදියෙහි, හුණපුරුක් ආදීහු අප කෙරෙහි හිවු වේබඩ ආදීහු බහාලූහයි යම්සේ නොදනිද්ද, හිවු වේබඩ ආදීහු ද අපි හුනපුරුක් ආදීන්හි සිටගතුම්හයි යම්සේ නොදනිද්ද, එපරිද්දෙන්ම අස්ථිහු අපගේ ඇතුළෙහි ඇට මිදුළු තෙමේ සිටියේයයි නොදනිත් ඇට මිදුළු තෙමේද, මම අස්ථීන්ගේ ඇතුළෙහි සිටියෙම්හයි නොදනී. ඇට මිදුළු ඇට යයි නම් ලද ඒ නිස්සත්ත්‍ව නිජ්ජීව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ. මෙසේ ඇට මිදුළු නම් මේ සිරුරෙහි අසම්මිශ්‍ර කොටසෙකි, චේතනාරහිතය, අව්‍යාකෘතය, ආත්ම ශූන්‍යය, එහෙයින් නිස්සත්ව වනුය, දැඩි බව ලක්‍ෂණ කොට ඇත්තේය, එහෙයින් පෘථිවි ධාතු නම් වන්නේයයි මෙනෙහි කටයුතු.

වකුගඩු තෙමේ, ගළ වලළුවෙන් නිකුත් වූ එක් මුලක් ඇත්තාවූ නොහොත් එක් මුලක් විසින් මදතැන් ගොස් දෙකක්ව බෙදුනාවූ මහා නහරින් බැඳි හෘදය මාංසය පරික්‍ෂෙප කොට සිටියේය එක් නටුවෙක්හි පිහිටි අඹ ඵල දෙකෙහි නටුව තෙමේ මා විසින් අඹ ඵල දෙක පිළිබඳ කොට ගතැයි යම්සේ නොදනී ද, අඹ ඵල දෙකද, මම නැටියෙන් පිළිබඳ කොට ගතිමැයි යම්සේ නොදනීද, එපරිද්දෙන්ම මහා නහර වැල මා විසින් වකුගඩු බඳිනලදැයි නොදනී. වකුගඩු තෙමේද, මම මහ නහරින් බඳින ලදිමැයි නොදනී. ඒ වකුගඩු මහා නහරය යන නම් ලද නිස්සත්ත්‍ව නිජ්ජීව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ. මෙසේ වකුගඩු නම් මේ සිරුරෙහි අසම්මිශ්‍ර කොටසෙකි. චේතනා රහිතය, අව්‍යාකෘතය, ආත්මශූන්‍යය, එහෙයින් නිස්සත්ත්‍ව වනුය, දැඩිබව ලක්‍ෂණ කොට ඇත්තේය, එහෙයින් පෘථිවි ධාතු නම් වන්නේ යයි මෙනෙහි කටයුතු.

හෘදය මාංසය තෙමේ සිරුරෙහි ලෙහි ඇට මැදිරියේ මැද ඇසුරුකොට සිටියේය. දිරාපත් රිය මැදිරියක් නිසා තබාලූ මස් පිඩෙහි ඒ දිරාපත් රිය මැදිරිය තොමෝ මා ඇසුරුකොට මස්පිඩ තබන ලදැයි යම්සේ නොදනීද මස්පිඩද මම දිරාපත් රිය මැදිරි මැද ඇසුරුකොට සිටියෙමියි යම්සේ නොදනීද එපරිද්දෙන්ම ලෙහි ඇට මැදිරි අභ්‍යන්තරය තෙම මා ඇසුරු කොට හෘදය මාංසය තෙම සිටියේයයි නොදනී. හෘදය මාංසය තෙමේද මම ළෙහි ඇට මැදිරි මැද ඇසුරු කොට සිටියෙම් යි නොදනී. ඒ හදයමාංස ළෙහි ඇට මැදිරි යයි නම් ලද නිස්සත්ත්ව නිර්ජීව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ. මෙසේ හෘදය මාංසය නම් මේ සිරුරෙහි අසම්මිශ්‍ර කොටසෙකි, චේතනා රහිතය අව්‍යාකෘතය, ආත්ම සූන්‍යය. එහෙයින් නිස්සත්ත්ව වනුය, දැඩිබව ලක්‍ෂණකොට ඇත්තේය, එහෙයින් පෘථිවි ධාතු නම් වන්නේයයි මෙනෙහි කටයුතු.

අක්මා නම්වූ එකාබද්ධ මාංස පටල යුග්මය තෙමේ ශරීරාභ්‍යන්තරයෙහි දෙතනයන්ගේ ඇතුළෙහි දකුණු පස ඇසුරුකොට සිටියේය. සැළි කබලු පසෙක්හි මස් පිඬු යුවළක් ලග්න වූ කල්හි, ඒ සැලි කබලු පස තෙමේ මා කෙරෙහි මාංස පිණ්ඩ යුග්මය තෙම ලග්න වනැයි යම් සේ නොදනීද, මාංස පිණ්ඩ යුග්මය තෙමේද, මම සැළිකබලු පසෙහි ලග්න වූයෙමියි යම්සේ නොදනීද, එපරිද්දෙන්ම දෙතනයන්ගේ ඇතුළෙහි දකුණු පස තෙම, මා ඇසුරු කොට අක්මාව සිටියේයයි නොදනී. අක්මා නම්වූ මාංසපිණ්ඩ යුග්මය තෙමේද මම දෙතනයන්ගේ ඇතුළෙහි දකුණු පස ඇසුරුකොට සිටියෙම්යි නොදනී අක්මාව තන දකුණු පසය යන නම් ලද ඒ නිස්සත්ත්ව නිර්ජීව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ. මෙසේ අක්මාව නම් මේ සිරුරෙහි අසම්මිශ්‍ර කොටසෙකි, චේතනා රහිතය, අව්‍යාකෘතය, ආත්ම සූන්‍යය, එහෙයින් නිස්සත්ත්වවනුය, දැඩිබව ලක්‍ෂණකොට ඇත්තේය, එහෙයින් පෘථිවි ධාතුව නම් වන්නේයයි මෙනෙහි කටයුතු.

දෙදලබු අතුරෙන් සැඟවී සිටි දලබු තෙම හදවතද, වකුගඬුද, පිරිවරා සිටියේය. නොසැඟවී සිටි දලබු තෙම සිරුර තුළ සමින් යට මාංසය වැළඳගෙන සිටියේය. මාංසය කඩ රෙද්දකින් වැසූ කල්හි මාංසය තෙම මම කඩරෙද්දකින් වෙළනලදයෙමියි යම්සේ නොදනීද, එපරිද්දෙන්ම වකුගඩු හදවත්හුද මාංසය තෙමේ මම නොපිළිසන් දලබු වෙන් වසනලදිමැයි නොදනී. පිළිසන් දළබු තෙමේද මා විසින් වකුගඩු හදවත්හුද පිරිවන ලදහයි නොදනී. නො පිළිසන් දලබු තෙමේද මා විසින් සිරුර මාංසයද වසන ලදැයි නොදනී. මෙසේ දලබු වකුගඩු හදවත සිරුරු මස යන නම් ලද ඒ නිස්සත්ත්‍ව නිර්ජීව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ. මෙසේ දෙදලබු නම් මේ සිරුරෙහි අසම්මිශ්‍ර කොටසෙකි, චේතනා රහිතය, අව්‍යාකෘතය, ආත්ම සූන්‍යය. එහෙයින් නිස්සත්ත්‍ව වනුය, දැඩි බව ලක්‍ෂණ කොට ඇත්තේය, එහෙයින් පෘථිවි ධාතුව නම් වන්නේය යි මෙනෙහි කටයුතු.

බඩදිව තෙම හදවතට වම්පසෙහි උදරපටලයාගේ මතු භාගය නිසා සිටියේය කොටුවෙක මතු භාගය ඇසුරු කොට තිබූ ගොම පිඬෙහි, කොටුවෙහි මතු භාගය තෙමේ මා ඇසුරුකොට ගොමපිඬ සිටියාහ යි යම්සේ නොදනී ද, ගොම පිඬ ද මම කොටුවෙහි මතුභාගය ඇසුරුකොට සිටියෙමියි යම්සේ නොදනිද, එපරිද්දෙන්ම උදර පටලයාගේ මතු භාගයතෙම මා ඇසුරුකොට බඩදිව සිටියේය යි නොදනී, බඩදිව ද, මම උදර පටලයාගේ මතුභාගය ඇසුරුකොට සිටියෙමියි නොදනී. බඩදිව උදරපටලයාගේ මතුභාගය යන නම් ලද ඒ නිස්සත්ත්‍ව නිර්ජීව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහිකිරීම් විමසීම් නැත්තාහ. මෙසේ බඩදිව නම් සිරුරෙහි අසම්මිශ්‍ර කොටසෙකි, චේතනා රහිතය, අව්‍යාකෘතය, ආත්ම සූන්‍යය. එහෙයින් නිස්සත්ත්‍ව වනුය, දැඩිබව ලක්‍ෂණකොට ඇත්තේය, එහෙයින් පෘථිවි ධාතුව නම් වන්නේ යයි මෙනෙහි කටයුතු.

පපුමස තෙම සිරුර තුළ දෙතනයන්ගේ මධ්‍යයෙහි හදවත ද, අක්මාව ද මත්තෙහි වසාගෙන එල්බෙමින් සිටියේය දිරුණු කොටුව ඇතුළෙහි එල්බෙන්නාවූ ලිහිණි කැදැල්ලෙහි, දිරුණු කොටුව අභ්‍යන්තර තෙමේ මා කෙරෙහි ලිහිණි කැදැල්ල තෙම එල්බෙමින් සිටියේය යි යම්සේ නොදනීද, ලිහිණි කැදලි තෙමේ ද, මම දිරුණු කොටුව ඇතුළෙහි එල්බෙමින් සිටියෙමියි යම්සේ නොදනීද, එපරිද්දෙන්ම ශරීරාභ්‍යන්තරය තෙම මා කෙරෙහි පපු මස එල්බෙමින් සිටියේයයි නොදනී. පපු මස තෙමේද මම මෙබඳුවූ ශරීරාභ්‍යන්තරයෙහි එල්බෙමින් සිටියෙමියි නොදනී. ඒ පපු මස, ශරීරාභ්‍යන්තරයෙහි දෙතන මැද යයි කියන ලද නිස්සත්ත්ව නිර්ජීව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ. මෙසේ පපු මස නම් මේ සිරුරෙහි අසම්මිශ්‍ර කොටසෙකි. චෙතනා රහිතය, අව්‍යාකෘතය, ආත්මශූන්‍යය, එහෙයින් නිස්සත්ත්ව වනුය, දැඩි බව ලක්‍ෂණ කොට ඇත්තේය, එහෙයින් පෘථිවි ධාතුව නම් වන්නේය යි මෙනෙහි කටයුතු.

අතුණු තෙමේ ගළවළුව පටන්ගෙන මල මග අවසන් කොට ඇති ශරීරාභ්‍යන්තරයෙහි සිටියේය. රුධිරය ලූ දෙනක නමනමා තුබූ හිස්සුන් ගරවිල් සිරුරෙහි, රුධිරය ලූ දෙණ මා කෙරෙහි ගරවිල් සිරුර සිටියේය යි යම්සේ නොදනී ද, ගරවිල් සිරුර තෙමේ ද, මම රුධිරය ලූ දෙණෙහි සිටියෙමි යි යම්සේ නොදනී ද, එපරිද්දෙන්ම ශරීරාභ්‍යන්තරයතෙම මා කෙරෙහි බඩවැල සිටියේය යි නොදනී. අතුණුද මම ශරීරාභ්‍යන්තරයෙහි සිටියෙමියි නොදනී. අතුණු වැටිය ශරීරාභ්‍යන්තරය යන නම් ලද නිස්සත්ත්ව නිර්ජීව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ. මෙසේ අතුණු නම් මේ සිරුරෙහි අසම්මිශ්‍ර කොටසෙකි, චෙතනා රහිතය, අව්‍යාකෘතය, ආත්ම ශූන්‍යය. එහෙයින් නිස්සත්ත්ව වනුය, දැඩි බව ලක්‍ෂණ කොට ඇත්තේය, එහෙයින් පෘථිවි ධාතුව නම් වන්නේය යි මෙනෙහි කටයුතු.

අතුණු බහණ තෙමේ අතුණු වැටිය හෙවත් බඩවැල අතරෙහි එක්විසි තැනෙක්හි නැමුණු නැමුණු අතුණු මඬුල් බැඳ සිටියේය. පා පිස්නා බිස්සෙහි බාන්දරණ මඬුල්ල අතර ගෙත්තම් කොට සිටියාවූ රැහැන්හි, පා පිස්නා බිස්සෙහි බාන්දරණ මඬුල් තෙම, රැහැන්හු මා හිවගෙන සිටියහයි යම්සේ නොදනීද, රැහැන්හුද අපි පා පිස්නා බිස්සෙහි බාන් දරණ මඬුල්ල හිවගෙන සිටගතුම්හයි යම්සේ නොදනීද, එපරිද්දෙන්ම, අතුණු තෙම මා අතුණු බහන බැඳගෙන සිටියේය යි නොදනී. අතුණු බහන තෙමේද, මම අතුණු වැටිය බැඳ සිටියෙමියි නොදනී. අතුණු, අතුණු බහන් යන නම් ලද ඒ නිස්සත්ත්‍ව නිර්ජීව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ. මෙසේ අතුණු බහන නම් මේ සිරුරෙහි අසම්මිශ්‍ර කොටසෙකි, චේතනා රහිතය අව්‍යාකෘතය, ආත්ම සූන්‍යය එහෙයින් නිස්සත්ත්‍ව වනුය, දැඩි බව ලක්‍ෂණකොට ඇත්තේය, එහෙයින් පෘථිවි ධාතුව නම් වන්නේය යි මෙනෙහි කටයුතු.

උදරිය තෙමේ උදරයෙහි හෙවත් ආමාශයෙහි සිටියාවූ බත් ඈ වලදනා ලද්දය, අඹ පැණි ඈ බොන ලද්දය, කැවුම් ඈ කන ලද්දය, මිපැණි ඈ ආස්වාදනය කරන ලද්දය යන මෙයයි එසේ වුව, වලදනා ලද අමු අහරකුත් ඇත. බොනලද අමු අහරකුත් ඇත. කන ලද අමු අහරකුත් ඇත. අස්වාදිත අමු අහරකුත් ඇත. ඒ උදරිය, උදර හෙවත් නොපැසූ අහරය, ආමාශය අතුරෙන් බලු බත් කන භොරුවෙහි තුබූ බලු වමනයෙහි, බලු බත් කන භොරුව මා කෙරෙහි බලු වමනය තෙම සිටියේය යි යම්සේ නොදනීද, බලු වමනය තෙම මම බලු බත් කන භොරුවෙහි සිටියෙමි යි යම්සේ නොදනීද, එපරිද්දෙන්ම, උදරය නොහොත් ආමාශය තෙම මා කෙරෙහි උදරිය නම් ලද අමු අහර තෙම සිටියේය යි නොදනී. උදරිය නම් ලද අමු අහර තෙමේද, මම උදරයෙහි නොහොත් ආමාශයෙහි සිටියෙමියි නොදනී. උදරිය, උදරය යන නම් ලද මේ නිස්සත්ත්‍ව නිර්ජීව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ. මෙසේ උදරිය හෙවත් නොපැසුණු අහර නම් මේ සිරුරෙහි අසම්මිශ්‍ර කොටසෙකි. චෙතනා රහිතය. අව්‍යාකෘතය, ආත්ම ශූන්‍යය. එහෙයින් නිස්සත්ත්‍ව වනුය, දැඩි බව ලක්‍ෂණ කොට ඇත්තේය, එහෙයින් පෘථිවි ධාතුව නම් වන්නේය යි මෙනෙහි කටයුතු.

කරීෂ හෙවත් වර්චස් නම් ලද පක්වාහාර තෙමේ පැසවූ ආහාරයාගේ ආශ්‍රයස්ථානයයි කියන ලද අට අඟලක් පමණැති හුණ නලකඩක් වැනිවූ අතුණුවැටි කෙළවර සිටියේය. හුණ නලෙහි මැඩ බහන ලද්දාවූ සිනිඳු පඬුවන් මැටිටෙහි හුණ නල තෙමේ මා කෙරෙහි පඬුවන් මැටි තොමෝ සිටියාහයි යම්සේ නොදනීද පඬුවන් මැටි තොමේද මම හුණ නලෙහි සිටියෙමියි යම්සේ නොදනීද එපරිද්දෙන්ම පක්වාශය තෙමේ මා කෙරෙහි වර්චස් නම්වූ පක්වාහාරය තෙම සිටියේයයි නොදනී. වර්චස් නම්වූ පක්වාහාරය තෙමේද, මම පක්වාශයෙහි සිටියෙමියි නොදනී. ඒ වර්චස් පක්වාශය යන නම් ලද නිස්සත්ත්‍ව නිර්ජීව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ, මෙසේ කරීෂ හෙවත් වර්චස් නම් මේ සිරුරෙහි අසම්මිශ්‍ර කොටසෙකි. චෙතනා රහිතය, අව්‍යාකෘතය, ආත්ම ශූන්‍යය. එහෙයින් නිස්සත්ත්‍ව වනුය, දැඩි බව ලක්‍ෂණකොට ඇත්තේය, එහෙයින් පෘථිවි ධාතුව නම් වන්නේ යයි මෙනෙහි කටයුතු.

මත්‍ථලුඞ්ග හෙවත් මස්තිෂ්ක තෙමේ හිස්කබල් අතුරෙහි සිටියේය. පැරණිවූ ලබු කබලෙක්හි බහාලූ පිටි පිඬෙහි ලබු කබල් තෙම මා කෙරෙහි පිටි පිඬ සිටියාහයි යම්සේ නො දනීද, පිටි පිඬද, මම ලබු කබලෙහි සිටිමියි යම්සේ නො දනීද, එපරිද්දෙන්ම හිස් කබල් තෙම මා කෙරෙහි මස්තිෂ්කය තෙම සිටියේ යයි නොදනී. මස්තිෂ්කය තෙමේද මම හිස් කබල තුළ සිටියෙමි නොදනී. මේ මස්තිෂ්ක හිස් කබල තුළ යන නම් ලද නිස්සත්ත්‍ව නිර්ජීව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ. මෙසේ මත්‍ථලුඞ්ගය නම් සිරුරෙහි අසම්මිශ්‍ර කොටසෙකි. චෙතනා රහිතය. අව්‍යාකෘතය, ආත්ම සූන්‍යය, එහෙයින් නිස්සත්ත්‍ව වනුය, දැඩි බව ලක්‍ෂණකොට ඇත්තේය. එහෙයින් පෘථිවි ධාතුව නම් වන්නේය යි මෙනෙහි කටයුතු.

බාහිර පෘථිවි ධාතුව නම් අනින්ද්‍රියබද්ධවූ පෘථිවි ධාතුවය. එහි යකඩ හෙවත් අයො යනු කෘෂ්ණ ලෝහයයි.

ලෝහය වනාහි චතුර්විධ වේ. ජාතිලෝහ හෙවත් ප්‍රකෘති ලෝහ, විජාති ලෝහ හෙවත් ප්‍රකෘති ලෝහයෙන් භින්නවූ ලෝහය, කෘත්‍රිම ලෝහ හෙවත් ලෝහ වර්ග මිශ්‍ර කිරීමෙන් තනාගත් ලෝහය, පිසාච ලෝහ යන සතරය.

ඔවුන් අතුරෙන් කෘෂ්ණ ලෝහ හෙවත් යකඩය, රජතය, ස්වර්ණය, සුදු ඊයම්ය, කළු ඊයම්ය, තඹය, වෛකන්ත ලෝහ හෙවත් වානේය යන මේ සත් වර්ගය ජාති ලෝහ නම් වේ. ලෝහ සමානවූද, ජාති ලෝහයෙන් භින්නවූද ලෝහ ජාති විජාති ලෝහ නම් වේ. සුදු තඹ හෙවත් සුදු ඊයම්, තඹ මිශ්‍රකොට කරන ලද කංස ලෝහ හෙවත් ස්වේත ලෝහය (ලෝකඩ), කළු ඊයම්, තඹ මිශ්‍ර කොට කරන ලද වට්ටලෝහ හෙවත් වෙට්ට පිත්තලය, මුඩුලෝ තඹ මිශ්‍රකොට කරන ලද ආර කුටය යන මේ ලෝහ විශේෂ තිදෙන කෘත්‍රිම ලෝහ නම් මොරක්ඛ නම් ලෝහය, පුථුක නම් ලෝහය, මලිනක නම් ලෝහය, චපලක නම් වූ ලෝහය සෙලක නම් වූ ලෝහය, ආටක නම් වූ ලෝහය, භල්ලක නම් වූ ලෝහය, දුසිලෝහ නම් වූ ලෝහය යන මේ ලෝහ විශේෂ අට දෙන පිසාච ලෝහ නම් වේ.

මෙසේ අධ්‍යාත්මික පෘථිවි ධාතු හෙවත් ඉන්ද්‍රිය බද්ධ පෘථිවි ධාතුවත් බාහිර පෘථිවි ධාතු හෙවත් අනින්ද්‍රියබද්ධ පෘථිවි ධාතුවත් යන දෙකම කර්‍කශ ස්වභාව ලක්‍ෂණකොට ඇති හෙයින් එකම පඨවි ධාතුය යයි දක්වා වදාරන ලදි.