අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ආකාශ ධාතුව

ආකාශ ධාතුව - අප්පටිඝට්ටනාර්ථය හෙවත් පැකිලීමක් නැතිහෙයින් විලෙඛනය නොකරනු ලැබේනුයි නොලිය හැක්කේනුයි හෝ ආකාශ නම් වේ.

මේ ආකාශ ධාතු තොමෝ ද අධ්‍යාත්මික හෙවත් ඉන්‍ද්‍රිය බද්ධ ආකාශ ධාතුවය, බාහිර හෙවත් අනින්‍ද්‍රිය බද්ධ ආකාශ ධාතුව ය යි ද්විධ වේ.

අධ්‍යාත්මික ආකාශ ධාතුව - යම් අධ්‍යාත්මික වූ පුද්ගලයන්ට වෙන් වෙන්ව අයත් වූ, ආකාශ වූ, විලෙඛනය නොකළහැකි බවට ගිය බැවින් ආකාශගත වූ, හිස්ව අවහිර නොවන බැවින් අඝ වූ, නොගැටෙන බවට ගිය බැවින් අඝගත නම් වූ, සිදුරු බැවින් විවර වූ, ඡිද්‍රභාවයට ගිය බැවින් විවර ගත නම් වූ, මස් ලේ වලින් නොගැටුනා වූ, අධ්‍යාත්මිකව කර්මයෙන් උපන් ආකාශ ධාතුව - එනම්, කන් සිදුර, නාස් සිදුර, මුඛයෙහි දොරටුව, යමකින් කන දේද, බොනදේද, කඩා කන දේද, රස බලනදේද, පිහිටා සිටීද, යම් චීවරයකින් කන දේද, බොන දේද, කඩා කන දේද, රස බලන දේද, පැසවීමට, කසල බවට පැමිණියේව අධෝභාගයෙන් නික්මේද, යම් ඒ අන්‍ය වූ ද, අධ්‍යාත්මික වූ, පුද්ගලයන්ට වෙන් වෙන්ව අයත් ආකාශ වූ, ආකාශගත වූ, අඝ වූ, අඝගත වූ, විවර වූ, විවරගත වූ, මස් ලේවලින් අසම්පූර්ණ වූ අධ්‍යාත්මික වූ කර්මයෙන් උපන් ආකාශයක් ඇද්ද, මේ තොමෝ අධ්‍යාත්මික ආකාශ ධාතුව යයි කියනු ලැබේ.

බාහිර ආකාශ ධාතුව - යම් බාහිර වූ, ආකාශ වූ, ආකාශ ගත වූ, අඝ වූ, අඝගත වූ, විවර වූ, විවරගත වූ, සතර මහා භූතයන් විසින් ස්පර්ශ නොවූ, බාහිර වූ, කර්මයෙන් නූපන් බිතු සිදුර, කවුළු සිදුර, යනාදි වූ යම් ආකාශ කුහරයෙක් වේද, යම් ආකාශයක් පරිකර්ම කරන්නාහට චතුෂ්ක පඤ්චමධ්‍යානයෝ උපදිද්ද, ඒ මේ ආකාශ කුහරයද බාහිර ආකාශ ධාතුව ය යි කියනු ලැබේ.

යම් අධ්‍යාත්මික ආකාශ ධාතුවක් ඇද්ද, යම් බාහිර ආකාශ ධාතුවක් ඇද්ද, ඒ දෙකම එක් කොට ගළපා, කැටි කොට ගන්නීද, මෝතොමෝ ආකාශ ධාතුව යයි වදාරන ලදී.