අභිධර්මාර්ථ ප්‍රදීපිකා

විඥාන ධාතුව

චක්ඛු විඥාන ධාතු, සොත විඥාන ධාතු, ඝාණ විඥාන ධාතු, ජිව්හා විඥාන ධාතු, කාය විඥාන ධාතු, මනො විඥාන ධාතු වශයෙන් විඥාන ධාතු තොමෝ ෂට්විධ වේ.

මෙහි චක්‍ෂුර් විඥාන සඞ්ඛ්‍යාතවූ ධාතුතොම චක්ඛු විඥාන ධාතු නමි. සොත විඥාන සඞ්ඛ්‍යාත ධාතුතොම සොත විඥාන ධාතු නමි. ඝාණ විඥාන සඞ්ඛ්‍යාතවූ ධාතු තොම ඝාණ විඥාන ධාතු නමි. ජිව්හා විඥාන සඞ්ඛ්‍යාතවූ ධාතුතොම ජිව්හා විඥාන ධාතු නමි. කාය විඥාන සඞ්ඛ්‍යාතවූ ධාතුතොම කාය විඥාන ධාතු නමි. මනො විඥාන සඞ්ඛ්‍යාතවූ ධාතුතොම මනො විඥාන ධාතු නමි.

මේ ඡ ධාතූන් පිරිසිඳ දත්කල්හි අටළොස් ධාතූහු පිරිසිඳ දත්තාහුම වෙත්.

පඨවි, තෙජො, වායො ධාතූන් ගැනීමෙන් පොට්ඨබ්බ ධාතු තොමෝ ගන්නා ලද්දීම වේ.

ආපො ධාතු, ආකාශ ධාතූන් ගේ ගැනීමෙන් ධම්ම ධාතු තොමෝ ගන්නා ලද්දීම වේ.

විඥාන ධාතුවගේ ගැනීමෙන් ඒ විඥාන ධාතුවගේ ඉදිරියෙහි පඤ්චද්වාරාවජ්ජන චිත්තයාගේ පැවැත්මද, සන්තීරණ චිත්තයාගේ ඉදිරියෙහි සම්පටිච්ඡන යුග්මයාගේ පැවැත්මද වන හෙයින් පුරෙචාරිකා වශයෙන්ද, භවඞ්ග පච්ඡේදයාගේ පරභාගයෙහි පඤ්චද්වාරාවජ්ජන චිත්තයාගේ පැවැත්මද, විපඤ්ච විඥානයන්ගේ පරභාගයෙහි සම්පටිච්ඡන යුග්මයාගේ පැවැත්මද වන හෙයින් පච්ඡාචාරිකා වශයෙන්ද, මනො ධාතු තොමෝ ගන්නා ලද්දීම වේ.

තවද, චක්‍ෂුර් විඥාන ධාතුවගේ ගැනීමෙන්, ඒ චක්‍ෂුර් විඥාන ධාතුවගේ නිශ්‍රයස්ථාන වූ චක්‍ෂුප්‍රසාද රූප සඞ්ඛ්‍යාත වූ චක්‍ෂුර් ධාතු තොමෝ ද, ආලම්බනය වූ වර්ණායතන සඞ්ඛ්‍යාත වූ රූප ධාතු තොමෝ ද ගන්නා ලද්දාහුම වෙත්.

මේ පිළිවෙලින් සොත විඥාන ධාතු ආදීන්ගේ ගැනීමෙන් ශ්‍රොත්‍ර ධාතු ආදීහු ගන්නා ලද්දාහුම වෙත්.

මේ අටළොස් ධාතූන් අතුරෙන් දසවැදෑරුම් වූ රූප ධාතූන් කරණකොටගෙන රූප සම්මර්‍ශනය වේ. සත්වැදෑරුම් වූ නාම ධාතූන් කරණකොටගෙන නාම හෙවත් අරූප සම්මර්‍ශනය වේ. ධර්‍ම ධාතුව කරණකොටගෙන කිසිවිටෙක රූප සම්මර්‍ශනයද, කිසිවිටෙක අරූප සම්මර්‍ශනයද වේ.

මෙපරිද්දෙන් අටළොස් ධාතූහු, රූපාරූප ධර්‍ම වශයෙන් සම්මර්‍ශනය කිරීම වේ.

නාම රූපය තෙමේ පඤ්චස්කන්‍ධ නම් වේ. ඒ නාමරූපය තෙමේ දුක්ඛ සත්‍යය නමුදු වේ. ඒ නාම රූප සඞ්ඛ්‍යාත වූ දුක්ඛ සත්‍යය ඉපදවීමට හේතුවූ පූර්වභවයෙහි පැවති තෘෂ්ණා තොමෝ සමුදය සත්‍යය නමි. දුක්ඛ සමුදය සත්‍යය සඞ්ඛ්‍යාත වූ උභය සත්‍යයන්ගේ නොපැවැත්ම නිරොධ සත්‍යය නමි. ඒ නිරොධ සත්‍යය අරමුණු කිරීම් වශයෙන් ප්‍රකාරයෙන් දන්නා වූ අෂ්ටාඞ්ගික වූ ආර්‍ය්‍ය මාර්‍ගය තෙම මාර්‍ග සත්‍යය නමි. මෙසේ මේ චතුස්සත්‍ය යයි කියන ලද කමටහන අටළොස් ධාතූන්ගේ වශයෙන් මෙනෙහි කරන්නා වූ භික්‍ෂුව හට අර්‍හන් ඵලය දක්වා මුදුන් පමුණුවා ගත හැකි වේ.

දෙවෙනි ෂට්කයෙහිද, ධාතූහු සදෙනෙකු වදාරන ලදී. එනම් - සුඛ ධාතු, දුක්ඛ ධාතු, සොමනස්ස ධාතු, දොමනස්ස ධාතු, උපෙක්ඛා ධාතු, අවිජ්ජා ධාතු යන සදෙනය.

සුඛ ධාතුව - යම් කායිකවූ සැප විඳගැන්මක් ඇද්ද, කායික සුඛයක් ඇද්ද, කායස්පර්‍ශයෙන් ඇතිවූ, විඳියයුතු, සැප විඳගැන්මක් සුඛයක් ඇද්ද, කය හා ස්පර්‍ශයෙන් හටගත් සැප විඳීම් ඇත්තාවූ සුඛ වේදනාවක් ඇද්ද, මෝතොමෝ සුඛ ධාතු යයි කියනු ලැබේ.

දුක්ඛ ධාතුව - යම් කායිකවූ සැප විඳ නොගැන්මක් ඇද්ද කායිකවූ දුකක් ඇද්ද, කායස්පර්‍ශයෙන් හටගත් සැප නොවිඳීමක් විඳියයුතු දුකක් ඇද්ද, කායස්පර්‍ශයෙන් හටගත් සැප විඳීම් නැත්තාවූ දුක්වූ වේදනාවක් ඇද්ද, මෝතොමෝ දුක්ඛ ධාතු යයි කියනු ලැබේ.

සෝමනස්ස ධාතුව - යම් චෛතසිකවූ සැප විඳගැන්මක් ඇද්ද චෛතසිකවූ සුඛයක් ඇද්ද, චිත්තස්පර්‍ශයෙන් හටගත් සැප විඳගැන්මක්, විඳියයුතු සැපයක් වේද, චිත්තස්පර්‍ශයෙන් හටගත් සැප විඳීම් ඇති සැපවූ වේදනාවක් ඇද්ද, මෝතොමෝ සෝමනස්ස ධාතු යයි කියනු ලැබේ.

දෝමනස්ස ධාතුව - යම් චෛතසික සැප නොවිඳගැන්මක් ඇද්ද, චෛතසිකවූ දුකක් ඇද්ද, චිත්තස්පර්‍ශයෙන් හටගත් සැප විඳීම් නැති, විඳියයුතුවූ, දුක්වූ, වේදනාවක් ඇද්ද, මෙය දෝමනස්ස ධාතුව යයි කියනු ලැබේ.

උපෙක්ඛා ධාතුව - යම් වූ වේදනාවක් සාත නොවූයේ වේද, අසාත නොවූයේ වේද, චිත්තස්පර්‍ශයෙන් හටගත් විඳිය යුතු සැප නොවූයේ ද, දුක් නොවූයේද, චිත්තස්පර්‍ශයෙන් හටගත් සැප නොවන, දුක් නොවන වේදනාවක් ඇද්ද, මෙය උපෙක්ඛා ධාතුව යයි කියනු ලැබේ.

අවිජ්ජා ධාතුව - යම් නොදැන්මක්, නොදැක්මක්, අනභිසමයක්, අවබෝධ නොකිරීමක්, මනාව අවබෝධ නොකිරීමක්, ප්‍රතිවේධ නොකිරීමක්, එක්තැන් නොකිරීමක්, වටකොට නොගැන්මක්, මනාව නොබැලීමක්, ප්‍රත්‍යවෙක්‍ෂා නොකිරීමක්, ප්‍රත්‍යක්‍ෂ නොකිරීම් කර්‍මයක් මෝඩ බවක්, බාල බවක්, නොවීමසීමක්, මෝහයක්, පමෝහයක්, සම්මෝහයක්, අවිජ්ජාවක්, අවිජ්ජොඝයක්, අවිජ්ජායෝගයක්, අවිජ්ජානුසයක්, අවිද්‍යාවගේ මතුවීමක් අවිද්‍යා අගුලක්, අකුසල මූලයක් ඇද්ද, මෝතොමෝ අවිජ්ජා ධාතු යයි කියනු ලැබේ.

මේ දෙවෙනි ෂට්කයෙහි, සුඛ ධාතු දුක්ඛ ධාතු යන දෙදෙන, කායප්‍රසාදයම වස්තුකොට ඇත්තාවූ, සුඛ වෙදනා, දුක්ඛ වෙදනා දෙදෙනය. එය ප්‍රතිපක්‍ෂ ධර්‍ම වශයෙන් යුග්මයක් කොට දක්වන ලදී. සුඛ වෙදනාව, දුක්ඛ වෙදනාවට ප්‍රතිපක්‍ෂවූ ස්වභාවයකි. දුක්ඛ වෙදනාවද, සුඛ වෙදනාවට ප්‍රතිපක්‍ෂවූ ස්වභාවයකි. යම් පමණ වූ ශරීරස්ථානයෙක් සුඛ වෙදනාව විසින් ස්ඵරණය කරන ලදද, එපමණවූ ශරීරස්ථානය දුක්ඛ වෙදනාව ස්ඵරණය කෙරෙයි. යම් පමණ වූ ශරීරස්ථානයක් දුක්ඛ වෙදනාව විසින් ස්ඵරණය කරණ ලදද එපමණවූ ශරීරස්ථානය සුඛ වෙදනාව ස්ඵරණය කෙරෙයි.

සෝමනස්ස ධාතු, දෝමනස්ස ධාතු යන දෙදෙනද සුඛ ධාතු, දුක්ඛ ධාතු යුග්මය මෙනි.

නාම ධර්‍ම සඞ්ඛ්‍යාතවූ සුඛ දුක්ඛ වෙදනාවන්ගේ ශරීරස්ඵරණයෙක් නැත නමුත් චිත්ත සමුට්ඨාන ඍතුනුගේ ශරීරස්ඵරණයෙක් ඇත්තේය. එබැවින් ඍතුහුගේ ශරීරස්ඵරණයට මූල කාරණා භාවයෙන් සුඛ දුක්ඛ වෙදනාවන්ගේ ස්ඵරණ භාවය දතයුතු. සෝමනස්ස දෝමනස්ස යන්ගේ ශරීරස්ඵරණ භාවයද එසේමය.

උපෙක්ඛා ධාතු, අවිජ්ජා ධාතු යන ධාතු යුග්මය සමාන වශයෙන් යුග්මයක් කොට දේශනා කරන ලදි. උපෙක්ඛා ධාතුව වෙදනාවකි. අවිජ්ජා ධාතුව මෝහ යයි. මේ දෙදෙනම අප්‍රකට භාවයෙන් හෙවත් නොවැටහෙන බැවින් සමාන වන්නේය.

මෙහි සුඛ ධාතු, දුක්ඛ ධාතු දෙදෙනාගේ ගැනීමෙන් ඒ සුඛ ධාතු, දුක්ඛ ධාතු දෙදෙනා හා සම්ප්‍රයෝග ලක්‍ෂණ වශයෙන් යුක්තවූ කාය විඥාන ධාතු තොමෝ ද, සුඛ ධාතු, දුක්ඛ ධාතු දෙදෙනාගේ නිශ්‍රයස්ථානවූ කායප්‍රසාද සඞ්ඛ්‍යාතවූ කාය ධාතු තොමෝද, ඒ ධාතු දෙදෙනාගේ ආලම්බනයවූ ඉෂ්ටානිෂ්ට භූතත්‍රය සඞ්ඛ්‍යාතවූ පොට්ඨබ්බ ධාතු තොමෝද, ගන්නා ලද්දාහු වෙත්.

සෝමනස්ස ධාතු, දෝමනස්ස ධාතූන් දෙදෙනාගේ ගැනීමෙන් ඒ හා සම්ප්‍රයෝග ලක්‍ෂණයෙන් යුක්තවූ මනෝ විඤ්ඤාණ ධාතු තොමෝ ගන්නා ලද්දී වේ.

අවිජ්ජා ධාතුවගේ ගැනීමෙන් ධම්ම ධාතු තොමෝ ගන්නා ලද්දී වේ.

උපෙක්ඛා ධාතුවගේ ගැනීමෙන් චක්‍ෂුර් විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ඝාණ විඥාන ධාතු, ජිව්හා විඥාන ධාතු, මනෝ ධාතු යන මොව්හුද, ඒ විඥාන ධාතූන්ගේම වස්තු ආලම්බනවූ චක්ඛු ධාතු, රූප ධාතු යනාදීහුද ගන්නා ලද්දාහු වෙත්. මේ නයින් අටළොසක්වූද ධාතූහු ගන්නා ලද්දාහුම වෙත්.

තෙවැනි ෂට්කයෙහිද ධාතූහු සදෙනකු වදාරන ලදී. එනම්- කාම ධාතු, ව්‍යාපාද ධාතු, විහිංසා ධාතු, නෙක්ඛම්ම ධාතු, අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු යන සදෙනය.

කාම ධාතුව - යම්බඳුවූ කාමය හා යෙදීම ඇති තර්‍කයක්, විතර්‍කයක්, සිතීමක්, අප්පනාවක්, ව්‍යප්පනාවක්, චිත්තයාගේ ඉදිරිපත් කිරීමක්, වැරදි කල්පනාවක් වේද එතොමෝ කාම ධාතුව යයි කියනු ලැබේ. යටින් අවීචි නිරය කෙළවර කොට ඇති, මතු වශයෙන් පරනිම්මිත වසවර්ති දෙවියන් කෙළවර කොට ඇති, යම්බඳු මේ අතරෙහි හැසිරෙන, එහි ඇතුළත්වූ ස්කන්‍ධ, ධාතු, ආයතනයෝද, රූප වේදනා, සංඥා, සඞ්ඛාර, විඤ්ඤාණ යන මොව්හුද කාම ධාතුව නම් වේ.

ව්‍යාපාද ධාතුව යම්බඳු වූ, ව්‍යාපාදය හා යෙදීම ඇති තර්‍කයක්, විතර්‍කයක්, සිතීමක්, අප්පනාවක්, ව්‍යප්පනාවක්, චිත්තයාගේ ඉදිරිපත් කිරීමක්, වැරදි කල්පනාවක් වේද, මෝතොමෝ ව්‍යාපාද ධාතුව යයි කියනු ලැබේ. ආඝාත වස්තුන් කෙරෙහි චිත්තයාගේ ක්‍රෝධයක් ඇද්ද, විශේෂ ක්‍රෝධයක්, කිපීම් බවක්, ප්‍රති වීරුද්ධත්‍වයක්, කෝපයක්, ප්‍රකෝපයක්, සම්ප්‍රකෝපයක්, ද්වේෂයක්, දූෂණයක්, විශේෂයෙන් දූෂණවීමක්, කෝපයට පත්වීමක්, චිත්ත දූෂණයක්, ක්‍රෝධයක්, කිපීමක්, කිපුණු බවක්, දෝසයක්, දුස්සනාවක්, දුස්සිත බවක්, ව්‍යාපත්තියක්, ව්‍යාපජ්ජනාවක්, විරෝධයක්, පටි විරෝධයක්, චණ්ඩ ගතියක්, ක්‍රෝධයෙන් අස්සුරෝපයක්, සිතෙහි නොසතුටු බවක් ඇද්ද, එයද ව්‍යාපාද ධාතුව නම් වේ.

විහිංසා ධාතුව යම්බඳු වූ විහිංසාව හා යුක්ත වූ තර්‍කයක්, විතර්‍කයක්, සිතීමක්, අප්පනාවක්, ව්‍යප්පනාවක්, චිත්තයාගේ ඉදිරිපත් කිරීමක්, වැරදි කල්පනාවක් වේද, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අතින් හෝ ගල් කැටවලින් හෝ දණ්ඩෙන් හෝ ආයුධයෙන් හෝ රැහැණෙන් හෝ, අනික් වෙනින් දෙයකින් හෝ සත්ත්‍වයන්ට හිංසා පීඩා කෙරේද, යම්බඳු වූ දුක් ඉපදවීමක්, බලවත් දුක් ඉපදවීමක්, හිංසාවක්, බලවත් හිංසාවක්, ගැටීමක්, බලවත් ගැටීමක්, අනුන් විනාශ කිරීමක් ඇද්ද, එයද විහිංසා ධාතුව නම් වේ.

නේක්ඛම්ම ධාතුව. කාමයන්ගෙන් වෙන්වීම හා යුක්ත වූ තර්‍කයක්, විතර්‍කයක්, සිතීමක්, අප්පනාවක්, ව්‍යප්පනාවක්, චිත්තයාගේ ඉදිරිපත් කිරීමක්, නිවැරදි කල්පනාවක් වේද, මෝතොමෝ නේක්ඛම්ම ධාතුව යයි කියනු ලැබේ. සියළුම කුසල ධර්‍මයෝ නේක්ඛම්ම ධාතු නම් වෙත්.

අව්‍යාපාද ධාතුව. අව්‍යාපාදය හා යුක්ත වූ තර්‍කයක් විතර්‍කයක්, සිතීමක්, අප්පනාවක්, ව්‍යප්පනාවක්, චිත්තයාගේ ඉදිරිපත් කිරීමක්, නිවැරදි කල්පනාවක් වේද, මෝතොමෝ අව්‍යාපාද ධාතුව යයි කියනු ලැබේ. යම්බඳු වූ සත්ත්‍වයන් කෙරෙහි මෛත්‍රිය, මෛත්‍රී ආකාරය, මෛත්‍රී කිරීම් බව, මෛත්‍රිය කරණකොටගෙන සිත ව්‍යාපාදයෙන් මිදීමක් වේද, මෙයද අව්‍යාපාද ධාතු නම් වේ.

අවිහිංසා ධාතුව. අවිහිංසාව හා යුක්ත වූ තර්‍කයක්, විතර්‍කයක්, සිතීමක්, අප්පනාවක්, ව්‍යප්පනාවක්, චිත්තයාගේ ඉදිරිපත් කිරීමක්, නිවැරදි කල්පනාවක් වේද, මේතොමෝ අවිහිංසා ධාතුව යයි කියනු ලැබේ. යම්බඳු වූ සත්ත්‍වයන් කෙරෙහි කරුණාවක්, කරුණා ආකාරයක්, කරුණා කිරීම් බවක්, කරුණාව කරණකොටගෙන සිත හිංසාවෙන් මිදීමක් වේද, මෙයද අවිහිංසා ධාතුව නම් වේ.

මෙහි කාම ධාතුව වස්තුකාම, ක්ලේශකාම වශයෙන් දෙදෙනෙකි. ක්ලේශ කාමය සඳහා කාමරාග සඞ්ඛ්‍යාත කාමය පිළිබඳ වූ ධාතු තොමෝ කාමධාතු නම් වේ මෙය කාම විතර්‍කයාගේ නාමයකි. වස්තුකාමය සඳහා වස්තු කාමයම ස්වභාවධාරණාර්ථයෙන් ධාතු වූවා කාමධාතු නම් වේ. මෙය කාමාවචර ධර්‍මයන්ගේ නාමයකි.

ආඝාත වස්තූන් කරුණුකොට ඇති නොහොත් ව්‍යාපාදය පිළිබඳ වූ ධාතු තොමෝ ව්‍යාපාද ධාතු නම් මෙය ව්‍යාපාද විතර්‍කයාගේ නාමයකි. සතුරන්ගේ විපත්තියට කාරණාවූ ව්‍යාපාද සඞ්ඛ්‍යාත මෙයම ධාතුවූවා, ව්‍යාපාද ධාතු නම් වේ. මෙය පටිඝයාගේ නාමයකි.

විහිංසාව හා සංයුක්ත වූ නොහොත් විහිංසාව පිළිබඳ වූ ධාතු තොමෝ විහිංසා ධාතු නම් වේ මෙය විහිංසා විතර්‍කයාගේ නාමයකි. විහිංසා තොමෝම ධාතු වූවා, විහිංසා ධාතු නම් වේ. මෙය පර සත්ත්‍ව විහිංසාවට කාරණාවූ ද්වේෂයාගේ නාමයකි. යම් ධර්‍ම ජාතියක් කරණකොට ගෙන සත්ත්‍වයෝ, සත්ත්‍වයන් නසනු කැමැති වෙත්ද, සත්ත්‍වයන් වෙහෙසීම වේද, එය විහිංසා නම් වේ පරසත්ත්‍ව හිංසාවට නමෙකි. ඒ විහිංසාව පර සත්ත්‍වයන්ට හිංසා කිරීම ලක්‍ෂණ කොට ඇත්තීය. නොහොත් කරුණාවට ප්‍රතිපක්‍ෂවූ ලක්‍ෂණ ඇත්තීය. අන්‍යයන්ගේ සිත් සතන්හි තැති ගැනුම් ඇතිකරවන කෘත්‍ය ඇත්තීය, නොහොත් තම සිත් සතන්හි අනුකම්පාව නස්නා කෘත්‍යය ඇත්තීය. දුකට කරුණුව එළඹ සිටින්නීය, නොහොත් දුක් වේදනාවගේ ඇතිවීමම ඵලයකොට ඇත්තීය. පටිඝය ආසන්න කාරණාකොට ඇත්තීය.

ලෝභය කෙරෙන් නික්ම ගිය බැවින් අලෝභය තෙම නෙක්ඛම්මය යයි කියනු ලැබේ. එසේම නීවරණයන් කෙරෙන් නික්ම ගිය බැවින්, ප්‍රථම ධ්‍යානය නෙක්ඛම්මය යයි කියනු ලැබේ. සියලු අකුසල්හු කෙරෙන් නික්ම ගිය බැවින් සියලු කුසලය නෙක්ඛම්මය යයි කියනු ලැබේ. නෙක්ඛම්මය හා යුක්තවූ ධාතු තොමෝ නෙක්ඛම්ම ධාතු නම් වේ. මෙය නෙක්ඛම්ම සංකප්පයාගේ හෙවත් නෛෂක්‍රම්‍ය විතර්‍කයාගේ නාමයකි. නෙක්ඛම්මයම ධාතුවූවා, නෙක්ඛම්ම ධාතු නම්වේ. මෙය සියළුම කුසලයාගේ නාමයකි.

අව්‍යාපාද සඞ්ඛ්‍යාතවූ අද්වේෂය හා යුක්තවූ ධාතු තොමෝ අව්‍යාපාද ධාතු නමි. මෙය අව්‍යාපාද විතර්‍කයාගේ නාමයකි. අව්‍යාපාද සඞ්ඛ්‍යාතවූ අද්වේෂයම ධාතුවූවා අව්‍යාපාද ධාතු නමි. මෙය මෛත්‍රියගේ නාමයයි.

අවිහිංසා සඞ්ඛ්‍යාත කරුණාව හා යුක්තවූ ධාතු තොමෝ අවිහිංසා ධාතු නමි. මෙය අවිහිංසා විතර්‍කයාගේ නාමයයි. අවිහිංසා සඞ්ඛ්‍යාතවූ කරුණාවම ධාතුවූවා, අවිහිංසා ධාතු නම් වේ. මෙය කරුණාවගේ නාමයයි.

අභිධර්‍ම භාජනීයයෙහි ස්වරූප වශයෙන් ම සියලුම ධාතූන් දක්වා වදාරන්නාවූ භාග්‍යවතුන් වහන්සේ, චක්ඛු ධාතු, රූප ධාතු, චක්ඛු විඥාන ධාතු යනාදි වශයෙන් අටළොස් ධාතූන් දක්වා වදාළ සේක.

වචනාර්ථ වශයෙන් වනාහි, යම් ප්‍රසාද රූපයෙක්, රූපය ආස්වාදය කරන්නාක් මෙන් වේද, එහෙයින් ඒ ප්‍රසාද රූපය තෙම චක්‍ෂුස් නම්. යම් ආලම්බන රූපයෙක් හෘදයඞ්ගත බව හෙවත් ළෙහි වන් බව ප්‍රකාශ කෙරේද, එහෙයින් ඒ ආලම්බන රූපය තෙමේ රූප නම් චක්‍ෂුසයාගේ විඥානය තෙමේ චක්‍ෂුර් විඥාන නම්.

මේ ක්‍රමයෙන් සොත ධාතු, ශබ්ද ධාතු, සොත විඥාන ධාතු, ඝාණ ධාතු, ගන්‍ධ ධාතු, ඝාණ විඥාන ධාතු, ජිව්හා ධාතු, රස ධාතු, ජිව්හා විඥාන ධාතු, කාය ධාතු, පොට්ඨබ්බ ධාතු, කාය විඥාන ධාතු, මනො ධාතු, ධම්ම ධාතු, මනො විඥාන ධාතුන්ගේ වචනාර්ථ දතයුතු

ලක්‍ෂණාදි වශයෙන් වනාහි චක්‍ෂුරාදින්ගේ විස්තරය යට දක්වන ලදි

ක්‍රම වශයෙන් වනාහි, දේශනා ක්‍රමය, හේතුඵල ධර්මයන්ගේ පරිපාටිය නිශ්චය කිරීම් වශයෙන් දක්වන ලදි චක්‍ෂුර් ධාතු රූප ධාතු යන මේ දෙදෙනාගේ එක්කොට ගැනීම හේතු නම්. චක්‍ෂුර් විඥාන ධාතුව යනු ඵලය වේ. මේ ක්‍රමයෙන් සොතාදිවූ සියලුම ධාතුන් දතයුතු.

තවද, සුත්‍ර අභිධර්‍ම දේශනා පාඨයන්හි, ආභා ධාතුය, සුභ ධාතුය, ආකාසානඤ්චායතන ධාතුය, විඤ්ඤාණඤ්චා යතන ධාතුය, ආකිඤ්චඤ්ඤායතන ධාතුය, නෙවසඤ්ඤා නාසඤ්ඤායතන ධාතුය, සඤ්ඤා වෙදයිත නිරොධ ධාතුය, කාම ධාතුය, ව්‍යාපාද ධාතුය, විහිංසා ධාතුය, නෙක්ඛම්ම ධාතුය, අව්‍යාපාද ධාතුය, අවිහිංසා ධාතුය, සුඛ ධාතුය, දුක්ඛ ධාතුය, සොමනස්ස ධාතුය, දොමනස්ස ධාතුය, උපෙක්ඛා ධාතුය, අවිජ්ජා ධාතුය, ආරම්භ ධාතුය, නික්කම ධාතුය, පරක්කම ධාතුය, හීන ධාතුය, මජ්ඣිම ධාතුය, පණීත ධාතුය, පඨවි ධාතුය, ආපො ධාතුය, තෙජො ධාතුය, වායො ධාතුය, ආකාශ ධාතුය, විඤ්ඤාණ ධාතුය, සඞ්ඛත ධාතුය, අසඞ්ඛත ධාතුය, අනෙක ධාතුය, නානා ධාතු ලොකය යනාදී වශයෙන් පන්තිසක් (35) පමණ ධාතූහු දක්වා තිබේ මේ සියලු පන්තිස් ධාතූහුම ඒ අටළොස් ධාතුන්හි ඇතුළක් වේ.

චන්‍ද්‍රභා සුර්‍ය්‍යාභාදී භාස්වර වර්‍ණ සඞ්ඛ්‍යාත ආභා ධාතු තොමෝ රූප ධාතුවෙහිම ඇතුළත් වේ. රාගයාගේ වස්තු භාවයෙන් ආකාර ග්‍රාහ්‍යයවූ සුභ නිමිත්ත සඞ්ඛ්‍යාත සුභ ධාතු තොමෝ රූපාදි ආලම්බනයන් පිළිබඳ වන්නීය. එහෙයින් සුභ නිමිත්ත සුභ ධාතු නමි. කුසල විපාක චිත්තොත්පාදයන්ට අරමුණු වන හෙයින් මේ සුභ ධාතු තොමෝ රූපාදි මාත්‍රයක්මය. අකාසානඤ්චායතනාදි ධාතු සමූහයෙහි චිත්ත තෙමේ මනොවිඥාන ධාතු නමි. අවශෙෂවූ සහජාත ධර්‍මයෝ තුමු ධම්ම ධාතු නමි. සඤ්ඤාවේදයිත නිරොධ ධාතු තොමෝ වනාහි පරමාර්‍ත්‍ථ වශයෙන් නැත. එය මනොවිඥාන ධාතු, ධර්‍ම ධාතු යන ධාතුවයාගේ නිරුද්ධ කිරීම් මාත්‍රයක්මය.

තවද, කාමධාතු තොමෝ ධර්‍මධාතු මාත්‍රයෙක්ම වේ. යට අවිචි නිරයත්, උඩ පරනිර්මිත වසවර්ති දෙව්ලොවත් ඇතුළත් කොට මේ අතරෙහි පවත්නාවූද, හැසිරෙන්නාවූද, ඇතුළත්වූද යම් ස්කන්‍ධ ධාතු, ආයතන කෙනෙක් ඇද්ද, යම් රූප, වේදනා, සංඥා, සඞ්ඛාර, විඤ්ඤාණයෙක් වේද, මේ ධර්‍ම සමූහය තෙම කාම ධාතු යයි කියනු ලැබේ. නේක්ඛම්ම ධාතු තොමෝ ධර්‍ම ධාතුව මැයි. සියලුම කුසල ධර්‍මයෝ නේක්ඛම්ම ධාතු නමි.

ව්‍යාපාද ධාතු, විහිංසා ධාතු, අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු, සුඛ ධාතු, දුක්ඛ ධාතු, සෝමනස්ස ධාතු, දෝමනස්ස ධාතු, උපෙක්ඛා ධාතු, අවිජ්ජා ධාතු, ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු යන මොවුහු ධර්‍ම ධාතු තොමෝ මැයි. හෙවත් ධර්‍ම ධාතුවෙහිම ඇතුළත් වෙත්. හීන ධාතු, මජ්ඣිම ධාතු, පණීත ධාතූහු අටළොස් ධාතු මාත්‍රයෙක්මය. ලාමකවූ චක්‍ෂුරාදීහු හීන ධාතු නමි. මධ්‍යමවූ චක්‍ෂුරාදීහු මජ්ඣිම ධාතු නම් ප්‍රණීතවූ චක්‍ෂුරාදීහු ප්‍රණීත ධාතු නමි. තවත් ක්‍රමයෙකින් අකුසල්වූ ධර්‍ම ධාතු, මනෝ විඥාන ධාතූහු හීන ධාතු නමි. ලෞකිකවූ කුසල අව්‍යාකෘත වූ උභය ධර්‍ම ධාතු මනෝ විඥාන ධාතූහුද චක්‍ෂූර් ධාතු ආදිහුද මධ්‍යම ධාතු නමි. ලොකොත්තරවූ ධර්‍ම ධාතු මනෝ විඥාන ධාතූහු වනාහි ප්‍රණීත ධාතු නමි.

පඨවි, තේජො, වායො යන ධාතූහු තුන් දෙන පොට්ඨබ්බ ධාතු තොමෝයි. ආපො ධාතු, ආකාශ ධාතු යන දෙදෙන ධර්‍ම ධාතුවෙහිම ඇතුළත්ය. විඤ්ඤාණ ධාතු තොමෝ චක්‍ෂූර් විඥානාදී වූ සප්ත විඥාන ධාතුන්ගේ සඞ්ග්‍රහ යෙක්මය. ධම්ම ධාතුයෙහි එක් කොටසක් හා ඉතිරි සොළොස් ධාතූහුද සඞ්ඛත ධාතු නමි. අසඞ්ඛත ධාතු තොමෝ වනාහි ධර්‍ම ධාතුවෙන් එක් දේශයක්මය. අනේක ධාතු ලොක තෙමේ වනාහි අටළොස් වැදෑරුම් ධාතුන්ගේ ප්‍රභේද මාත්‍රයෙක්මය. මෙසේ මේ සියලුම ධාතුන්, අටළොස් ධාතුන්හි ඇතුළත් වන බැවින් ධාතූහු අටළොසක් කොට වදාරන ලදී.

තවද, ආලම්බන විජානන ස්වභාව ඇත්තාවූ විඥානයෙහි ජීව සංඥා ඇත්තාවූ පුද්ගලයන්ගේ සංඥා විපර්‍ය්‍යාසය ප්‍රහීණ කිරීම පිණිස ධාතූහු අටළොසක්ම වදාළහ. චක්ඛු විඥාන, සොත විඥාන, ඝාණ විඥාන, ජිව්හා විඥාන, කාය විඥාන යන විඥාන ධාතූහුද මනෝ ධාතුය, මනෝ විඥාන ධාතුය යන මොවුන්ගේ ප්‍රභේද වශයෙන් ඒ විඥානයාගේ අනේකත්‍වයද චක්‍ෂු ප්‍රසාද රූපාලම්බනාදී වූ ප්‍රත්‍යයන් අයත් පැවතුම් ඇති බැවින් අනිත්‍ය භාවයද ප්‍රකාශ කොට, දීර්‍ඝ කාලයක් මුළුල්ලෙහි සන්තානයෙහි ප්‍රවෘත්ත වූ ජීවයෙක යන සංඥාව සමූලඝාතනය කරණු කැමැති හෙයින් මෙසේ වදාළ බව දතයුතු. සංඛ්‍යා වශයෙන් වනාහි චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, කාය, රූප, ශබ්ද, ගන්‍ධ, රස යන ධාතූහු එක් එක් ධර්‍මයෙක කියා ව්‍යවහාරයට යෙත්.

පොට්ඨබ්බ ධාතු තොමෝ පඨවි, තේජො, වායො යන මොවුන්ගේ වශයෙන් ධර්‍මයෝ තුනෙකැයි ව්‍යවහාරයට යේ.

චක්‍ෂුර් විඥාන ධාතු තොමෝ කුසල විපාක අකුසල විපාකයන්ගේ වශයෙන් ධර්‍මයෝ දෙදෙනෙකි.

සොත, ඝාන, ජිව්හා, කාය විඥාන ධාතූහු ඒ චක්‍ෂුර්විඥාන ධාතුව මෙන් ධර්‍මයෝ දෙදෙනෙක් වෙති.

මනොධාතු තොමෝ, පඤ්චද්වාරාවජ්ජන, කුසල විපාකසම්පටිච්ඡන අකුසල විපාක සම්පටිච්ඡනයන්ගේ වශයෙන් ධර්‍මයෝ තිදෙනෙකි.

ධම්මධාතු තොමෝ, වෙදනා, සංඥා, සංස්කාර යන ත්‍රිවිධ නාමස්කන්‍ධයන්ගේද, සොළොස්විධවූ සුඛුම රූප යන්ගේද අසංඛත ධාතුවගේ ද වශයෙන් විංශති (20) ධර්‍ම කෙනෙකි.

මනොවිඥානධාතු තොමෝ අවශෙෂවූ කුසලචිත්ත, අකුසලචිත්ත, අව්‍යාකෘත චිත්තයන් ගේ වශයෙන් සැත්තෑසයක් (76) ධර්‍ම කෙනෙක් වේ.

විශේෂ වශයෙන් වනාහි මේ අටළොස් ධාතූන් අතුරෙහි චක්‍ෂුර්ධාතු තොමෝ බෙරතලයක් මෙන් දත යුත්තීය. රූපධාතු තොමෝ කඩිප්පුව හෙවත් දණ්ඩ මෙන් දතයුත්තීය. චක්‍ෂුර් විඥාන ධාතු තොමෝ ශබ්දය මෙන් දත යුත්තීය.

එපරිද්දෙන්ම, චක්‍ෂුර් ධාතු තොමෝ දර්පණ තලය මෙන්ද, රූපධාතු තොමෝ මුහුණ මෙන්ද, චක්‍ෂුර් විඥාන ධාතු තොමෝ මුව සටහන මෙන්ද දත යුත්තීය.

එසේම චක්‍ෂුර් ධාතු තොමෝ උක්තල මෙන්ද, රූප ධාතු තොමෝ යන්ත්‍ර චක්‍රයාගේ යෂ්ටිය මෙන්ද, චක්‍ෂුර් විඥාන ධාතු තොමෝ උක්රස තෙලයන් මෙන්ද දත යුත්තීය.

එමෙන්ම, චක්‍ෂුර් ධාතු තොමෝ යට ගිනිගාන දඬුකඩ මෙන්ද, රූප ධාතු තොමෝ උඩ ගිනිගාන දඬුකඩ මෙන්ද, චක්‍ෂුර් විඥාන ධාතු තොමෝ අග්නිය මෙන්ද දතයුත්තීය.

සොත ධාතු ආදීන්හිද මෙකී නය බඳු නය ඇත්තේය

මනො ධාතු තොමෝ ලැබෙන පරිද්දෙන් චක්‍ෂුර් විඥාන ධාතු ආදීන්ගේ පෙරගමන් ගත්තකු මෙන්ද, පසු ගමන් ගත්තකු මෙන්ද දතයුත්තීය.

ධම්ම ධාතුවෙහි, වෙදනාස්කන්‍ධය තෙමේ ශල්‍යයක්හු මෙන්ද, හුලක් මෙන්ද දතයුතු. සංඥාස්කන්‍ධ, සංස්කාර ස්කන්‍ධයෝ තුමූ වෙදනා සංඛ්‍යාත ශල්‍ය ශුලයන් හා යෙදීම් හේතුවෙන් ගිලන් බැව්හු මෙන් දතයුත්තාහ.

පෘථග්ජනයන්ගේ සංඥාතොමෝ ආශා විනාශ දුක්ඛය උපදවන හෙවත් රික්‍ෂා හස්ත මුෂ්ටිය මෙන් දත යුත්තීය. වරදවා අරමුණු ගන්නා හෙයින්, හෙවත් ඇති සැටි නිමිති නොගන්නා හෙයින් වන මුවකු මෙන්ද දතයුත්තීය.

සංස්කාරයෝ තුමූ ප්‍රතිසන්‍ධියෙහි බහාලන හෙයින් සහළගුරු වළෙක්හි බහාලන්නාවූ පුරුෂයෙක්හු මෙන්ද, පිළිසිඳගැනීම යයි කියනලද ජාති දුක්ඛයෙන් ලුහුබැඳ පවත්නා හෙයින්, රාජපුරුෂයන් විසින් ලුහුබැඳ ගන්නාලද සොරුන් මෙන්ද, සියලු අනර්‍ත්‍ථය ඵලවන්නාවූ ස්කන්‍ධ පටි පාටියගේ හේතුව වන හෙයින් විෂ වෘක්‍ෂ බීජයන් මෙන්ද, දත යුත්තාහ.

රූපය තෙමේ නානාප්‍රකාර උපද්‍රවයන්ට නිමිත්ත වන හෙයින් බුරචක්‍රයක් මෙන් දතයුතු

අසඞ්ඛත වූ නිර්‍වාණ ධාතු තොමෝ වනාහි අමෘත හෙවත් මරණ රහිත වශයෙන්ද, ශාන්ත වශයෙන්ද, ක්‍ෂේම හෙවත් නිර්භය වශයෙන් ද දත යුත්තීය.

මනොවිඥාන ධාතු තොමෝ තමා විසින් ගත් අරමුණු මුදාද, අන් අරමුණක් ගෙනම පවත්නා හෙයින්, කැලෑ වඳුරකු මෙන්ද, දමනය නොකළ හැකි හෙයින් නැහැඹු අසකු මෙන්ද, යම්කිසි අරමුණෙක්හි සිත්සේ හැසිරෙන හෙයින් අහසට දමාලූ දඬු කඩක් මෙන්ද, ලොභ ද්වෙෂාදී නානාප්‍රකාර ක්ලෙශයන් හා යුක්තවන හෙයින් නැටුම් ගත් නළුවකු මෙන්ද දත යුත්තීය.