තෙජො ධාතුව
නිශීත භාවය හෙවත් ශරීර සන්තාපාදි වශයෙන් පැවති තීක්‍ෂණ භාවය තෙජො හෙවත් තේජස් නම්.
මේ තෙජො ධාතුව ද පඨවි ආදීන් මෙන් අධ්‍යාත්මික හෙවත් ඉන්‍ද්‍රිය බද්ධ තෙජො ධාතුවය, බාහිර හෙවත් අනින්‍ද්‍රිය බද්ධ තෙජො ධාතුව යයි ද්විධ වේ.
අධ්‍යාත්මික තෙජො ධාතුව යම් අධ්‍යාත්මිකවූ ද, ඒ ඒ පුද්ගලයන්ට වෙන් වෙන්ව අයත්වූද, තියුණු බවක්, තියුණු බවට ගිය බැවින් තෙජොගත බවක්, උෂ්ණ බවක්, උණුසුම් බවට ගිය බැවින් උෂ්ණ ගත බවක්, දැඩි උණුසුම් බවක්, දැඩි උණුසුම් බවට ගිය හෙයින් උණුසුම් ගත බවක් වේද, අධ්‍යාත්මික වූ, ශරීරයට අයත් තෙජො ධාතුවක් වේද, එනම් කිපීම් හේතුවෙන් මේ රූපකාය තෙම වැඩියක් තැවේද, ජ්වර රෝගාදියෙන් හටගත් දැඩි තැවුල් ඇත්තේවේද, යම් තෙජො ධාතුවක් කිපීමෙන් මේ රූපකාය තෙම පැරණි වේද හෙවත් දිරීමට යේද, චක්‍ෂුරාදී ඉන්‍ද්‍රියයන්ගේ අපරිපූර්‍ණ භාවයට හෙවත් විකල බවට ද, බෙලහීන බවට ද, ඇඟ රැලිවැටීම්, කෙස් ලොම් පැසීම් ආදි භාවයට ද පැමිණේද, යම් තෙජො ධාතුවක් කිපීමෙන් මේ රූප කාය තෙමේ වැඩියක් දැවේද, නොහොත් කිපියාවූ යම් තෙජො ධාතුවක් විසින් මේ රූප කාය තෙමේ වැඩියක් දවනු ලැබේද, ඒ දැවෙන්නාවූ හෝ දවනු ලබන්නාවූ පුද්ගල තෙමේත් දැවෙමි, දැවෙමියි නොහොත් දනු ලබම් දනු ලබමියි හඬමින් හෝ වැලපෙමින් සිය වරක් හුණුකොට දියෙහි බහා උපුටාගත් ඝෘතයක් ජලය මෙන් අත්‍යන්ත ශීතලවූ රත්සඳුනක් යනාදීවූ ආලෙපන ද්‍රව්‍යයක්, තල්වැට පවනක් පතාද, යම් තෙජො ධාතුවක් හේතුකොට අනුභව කළාවූ බත් ආදි අහර හෝ පානය කළාවූ අඹ පැණි ආදිවූ අහර හෝ කන ලද්දාවූ කැවුම් ආදි අහර හෝ ඉදුනු අඹ, මීපැණි, උක්පැණි ආදි රස බලන හෙවත් ආස්වාදිත අහර හෝ මනාව පැසවීම් බවට පැමිණේද, රස, ශ්‍රෝණිත, මේදස්, මාංස, ස්නායු, අස්ථි, අස්ථිමිඤ්ජා වශයෙන් සප්තධාතු භාවයෙන් වෙන්වීමට යේද, මේ අධ්‍යාත්මික තෙජො ධාතුව නම්.
තවද, යම් ඒ අන්‍යවූද, සත්ත්‍ව සන්තානගතවූද, ඒ ඒ පුද්ගලයන්ට වෙන් වෙන්ව අයත් උණුසුම්වූ, උණුසුම් භාවයට ගියාවූ, දැඩි උණුසුම් ඇති, දැඩි උණුසුම් බවට ගියාවූ කර්‍මයෙන් හටගත් තෙජො ධාතුවක් වේද, මෙයද අධ්‍යාත්මික තෙජො ධාතුවයි කියනු ලැබේ.
බාහිර තෙජො ධාතුව. යමක් බාහිරවූ, උණුසුම්වූ, උණුසුම් ස්වභාවයට ගියාවූ, දැඩි උණුසුම් ඇති, දැඩි උණුසුම් බවට ගියාවූ, කර්‍මයෙන් හට නොගත් තෙජො ධාතුවක් වේද, එනම් දරවලින් ඇතිවන ගින්නය. කැලිකසල රැස් කොට දවන ලද්දාවූ ගින්නය, තෘණවලින් ඇතිවන ගින්නය, ගෝමවලින් ඇතිවන ගින්නය, ධාන්‍ය පොතුවලින් ඇතිවන ගින්නය, හෙනවලින් ඇතිවන ගින්නය, ගිනි දැල්වලින් හෝ ගිනි අඟුරුවලින් හෝ ඇතිවන තැවීමය, ඉර අච්චෙන් ඇතිවන තැවීමය, දර ගොඩක් එකතුවූ තැන ඇතිවන තැවීමය යනාදි තෙජො ධාතුවද, යම් ඒ අන්‍යවූද, බාහිරවූ උණුසුම්වූ, උණුසුම් බවට ගියාවූ, කර්‍මයෙන් හට නොගත් උණුසුමක් ඇද්ද, මෙයද බාහිර තෙජො ධාතුව යයි කියනු ලැබේ.
මෙසේ අධ්‍යාත්මික තෙජො ධාතු හෙවත් ඉන්‍ද්‍රිය බද්ධ තෙජො ධාතුවත්, බාහිර තෙජො ධාතු හෙවත් අනින්‍ද්‍රියබද්ධ තෙජො ධාතුවත් යන දෙකම තීක්‍ෂණ ස්වභාවය ලක්‍ෂණ කොට ඇති හෙයින් එකම තෙජො ධාතුව යයි දක්වා වදාරණ ලදී.
තෙජො ධාතු මනසිකාරය. යම් තෙජසකින් හෙවත් කිපියාවූ යම් තෙජො ධාතු හෙතුවකින් වැඩියක් තැවේද, මේ තෙජස, මේ ශරීරයෙහි පඨවි ධාතු ආදීන් කෙරෙන් වෙන්වූ හෙවත් අසම්මිශ්‍රවූ කොටසෙක චේතනා රහිත වන්නේය, අව්‍යාකෘත රාශියෙහි ඇතුළත්ය, ආත්ම ශූන්‍ය වනුය. එහෙයින්ම නිස්සත්ත්ව වනුය, පැසවීම් ස්වභාවය ලක්‍ෂණකොට ඇත්තේය, එහෙයින් තෙජො ධාතු නම් වන්නේයයි මෙනෙහි කටයුතු.