ආයතන
ආයතනයෝ දොළොසෙකි. එනම්:-
- චක්ඛායතනය
- රූපායතනය
- සොතායතනය
- ශබ්දායතනය
- ඝාණායතනය
- ගන්ධායතනය
- ජිව්හායතනය
- රසායතනය
- කායායතනය
- පොට්ඨබ්බායතනය
- මනායතනය
- ධම්මායතනය
මේ දොළොස් ආයතනයෝ පදාර්ථ වශයෙන්ද, ලක්ෂණ වශයෙන්ද, පරිච්ඡේද වශයෙන්ද, ක්‍රම වශයෙන්ද, සංක්ෂේප වශයෙන්ද, විස්තර වශයෙන්ද දැක්ක යුතු හෙවත් දෘෂ්ටව්ය වශයෙන්ද දතයුත්තාහ.
ආයතනයන්ගේ පදාර්ථ:-
- චක්ඛායතනය: යම් ප්‍රසාද රූපයෙක් තෙම නොහොත් යම් ධර්ම සමූහයෙක් තෙම රූපාලම්බනය රසාස්වාදනයක්හු මෙන් කෙරේද, නොහොත් ප්රකාශවූවක්හු මෙන් කෙරේද එහෙයින් ඒ ප්‍රසාද රූපය තෙම නොහොත් ඒ ධර්ම සමූහය තෙම චක්ෂුස් නම් වේ. රූපාලම්බනය රස විඳීමක්හු මෙන් කෙරෙයි. ප්රකාශවූවක්හු මෙන්ද කෙරෙයි යන අර්ථය වේ.
- රූපායතනය: යම් විකාර රූපයෙක් හෙවත් විකෘතිමත් වර්ණසංස්ථාන සඞ්ඛ්යාතවූ යම් රූපාලම්බනයෙක් තෙම ප්‍රකාශ කෙරේද හෙවත් අභිප්‍රාය හඟවාද, ඒ විකාර රූපය තෙම රූප නම් වේ. වර්ණ විකෘතියට පැමිණෙන්නා වූ වර්ණායතනය තෙමේ හෘදයඞ්ගම භාවය ප්‍රකාශ කෙරෙයි හෙවත් ශරීරවත් කොට දක්වයි යන අර්ථය වේ.
- සොතායතනය: යම් ප්‍රසාද රූපයෙක් තෙම ශබ්දා ලම්බනය ශ්‍රවණය කෙරේද එහෙයින් ඒ ප්‍රසාද රූපය තෙම ශ්‍රෝත්‍ර නම් වේ.
4. ශබ්දායතනය: යම් රාවයක් තමහට කාරණවූ ප්‍රත්‍යයන් විසින් ශ්‍රෝත්‍ර විඤ්ඤාණයෙන් දැනගතයුතු බවට පමුණුවනු ලැබේද, ඒ හෙයින් ඒ රාවය තෙම ශබ්ද නම් වේ පමුණුවනු ලැබෙයි යන අර්ථය වේ.
5. ඝාණායතනය: යම් ප්‍රසාද රූපයෙක් ඝාණවිඤ්ඤාණය නිශ්‍රය ස්ථාන කොට ගෙන ගන්‍ධාලම්බනය ආඝ්‍රාණය කෙරේද, එහෙයින් ඒ ප්‍රසාද රූපය තෙම ඝ්‍රාණ නම් වේ.
6. ගන්ධායතනය: යම් අරමුණක් තමාගේ නිශ්රයස්ථානය ප්‍රකාශ කෙරේද, එහෙයින් ඒ අරමුණ ගන්ධ නම් වේ. තමාගේ නිශ්රයභූතවූ ද්‍රව්‍යය ප්‍රකාශ කෙරෙයි යන අර්ථය වේ.
7. ජිව්හායතනය: යම් ප්‍රසාද රූපයෙක් ජිව්හා විඥානය නිශ්රයස්ථාන කොට ගෙන ජීවිතෙන්ද්‍රියය නොහොත් ජීවිතෙන්ද්රියට නිමිත්තවූ රසාලම්බනය ආව්හනය කෙරේද, හෙවත් කැඳවාද, ඒ ප්‍රසාද රූපය තෙම ජිව්හා නම් වේ.
8. රසායතනය: යම් අරමුණක් සත්ත්වයෝ ආස්වාදනය කෙරෙත්ද, එහෙයින් ඒ අරමුණ රස නම් වේ. ආස්වාදනය කෙරෙත් යන අර්ථය වේ.
9. කායායතනය: යම් ප්‍රසාද රූප කායයෙක් තෙම නින්දිතවූ සාශ්‍රව ධර්මයන්ගේ ප්රවෘත්ති කාරණය වේද, එහෙයින් ඒ ප්‍රසාද රූපකාය තෙමේ කාය නම් වේ. ආය නම් උත්පත්ති ස්ථානය මෙන් ගන්නා ලද ප්රවෘත්ති කාරණයයි.
10. පොට්ඨබ්බායතනය: යම් රූපයෙක් පහස්නා ලැබේද, එහෙයින් ඒ රූපය තෙම පොට්ඨබ්බ නම්.
11. මනායතනය: යම් නාම ධර්මයෙක් අරමුණ දනිද, එහෙයින් ඒ නාම ධර්මය තෙම මනස් නම්.
12. ධම්මායතනය: යම් ස්වභාව ධර්ම කෙනෙක් තමාගේ ධර්මභාව සඞ්ඛ්‍යාත සාධාරණ ලක්ෂණය දරත්ද, එහෙයින් ඒ ස්වභාව ධර්මයෝ තුමූ ධර්ම නම්.
සාමාන්‍ය වශයෙන් වනාහි, ප්රයත්නය කරන හෙයින්ද, විස්තරවූ නොහොත් ඒ ඒ ද්වාරාලම්බනයන්හි ප්රවෘත්තවූ චිත්ත චෛතසික ධර්මයන් විස්තර කරන හෙයින්ද, දීර්ඝවූ සංසාර දුක්ඛයට පමුණුවන හෙයින්ද, ආයතන නම් වේ.
චක්ෂුරූපාදීන්හි ඒ ඒ ද්වාරාලම්බනයන් ඇති චිත්ත චෛතසික ධර්මයෝ, ස්වකීය ස්වකීයවූ ආලම්බන රසාස්වාදය පෙරදැරිකොට ඇති කෘත්‍ය වශයෙන් ප්රයත්න කෙරෙත් වැර කෙරෙත්.
එමෙන්ම විස්තරවූ නොහොත් ඒ ඒ ද්වාරාලම්බනයන්හි ප්රවෘත්තවූ චිත්ත චෛතසික ධර්මයන්, ඒ ද්වාදසායතනයෝ ප්‍රසාරණය කෙරෙත් හෙවත් ප්රකටවූවන් කෙරෙත්.
එසේම අප්‍රකාශවූ පූර්වාවධිය ඇති හෙවත් අනවරාග්රවූ සංසාරයෙහි ප්රවෘත්තවූ ඉතාම දික්වූ මේ සසර දුක යම් තාක් කල් නොනවතීද, ඒ තාක් කල් ඒ ද්වාදසායතනයෝ සසර දුකට පමුණුවත්මය. සසර දුක් පවත්වත්මය.
තවද නිවාසස්ථානාර්ත්ථයෙන්ද, නිශ්රයස්ථානාර්ත්ථයෙන්ද, සන්නිපාතස්ථානාර්ත්ථයෙන්ද, උත්පත්තිදෙශාර්ත්ථයෙන්ද, කාරණවූ හෙවත් හේතුවූ අර්ත්ථයෙන්ද, ආයතන නම්වේ.
චක්ෂුප්රසාද රූපාලම්බනාදීන්හි චිත්ත චෛතසිකවූ ඒ ඒ ධර්මයෝ ඒ ඒ ද්වාරාලම්බනයන් අයත් පැවතුම් ඇති හෙයින් චක්ෂුරාදීහු ඒ චිත්ත චෛතසිකයන්ගේ නිවාසස්ථාන නම් වේ.
චක්ෂුරාදීන් කෙරෙහි ඒ චිත්ත චෛතසිකයෝ තුමූ ඒ චක්ෂුප්රසාදාදීන් නිශ්‍රයකොට ප්‍රවෘත්ත බැවින්ද, ඒ රූපාදී ආලම්බනයන් අරමුණුකොට පවත්නා බැවින්ද ඒ චිත්ත චෛතසිකයන්ගේ නිශ්රයස්ථාන හෙවත් පිහිටන තැනවේ.
චක්ෂුරාදීහු, ඒ ඒ චක්ෂුප්රසාදාදියෙහි නිශ්‍රයවූ චාරාලම්බන යන්ගේ වශයෙන් සන්නිපාතය වන හෙවත් රැස්වන හෙයින් ඒ චිත්ත චෛතසිකයන්ගේ සන්නිපාතස්ථානය හෙවත් රැස්ව ලැග්නා තැන ද වේ.
එසේම චක්ෂුරාදීහු ඒ චක්ෂුප්රසාදාදීන් නිශ්‍රය ආලම්බන යන් කොට ප්රවෘත්තභාවයෙන් ඒ චක්ෂුප්රසාදාදියෙහිම උපදනා හෙයින්, ඒ චිත්ත චෛතසිකයන්ගේ උත්පත්ති දෙශය නම් වේ.
චක්ෂුරාදීහු, ඒ චක්ෂුරාදීන්ගේ නොවීමෙහි ඒ චිත්ත චෛතසිකයන් නොවන හෙයින් ඒ චිත්ත චෛතසිකයන්ට කාරණ හෙවත් හේතුද වේ.
එහෙයින් යථොක්තවූ අර්ත්ථයෙන් යම් රූපයෙක් චක්ෂුප්රසාදයත් වී ද, චක්ෂුස් සඞ්ඛ්‍යාත රූපය තෙම ආයතනයක්ද වේ. එහෙයින් චක්ඛායතන නම් වේ. මෙසේ ද්වාදසායතනයන්ගේ අර්ත්ථ හා ආයතන භාවය දතයුතු.
ආයතනයන්ගේ ලක්ෂණාදිය රූප කාණ්ඩයෙහි දක්වන ලද පරිද්දෙන් දතයුතු.
පරිච්ඡේද වශයෙන් ආයතනයෝ දොළොසකි. චක්ෂුරාදීහුද ධර්මයෝමැයි. එසේ ඒ චක්ෂුරාදීන්ගේ ධර්මභාවය ඇති කල්හි භාග්‍යවතුන් වහන්සේ විසිත් ආයතනයෝ දොළොසක් කොට වදාරනලදී. මෙසේ දෙශනා කරන ලද්දේ ෂඩ්විධ විඤ්ඤාණ කායයාගේ උත්පත්තිද්වාරාලම්බනයන් පිරිසිඳීම් හේතුකොට ගෙනය. චක්ෂුර්විඥානය කරණකොට ගෙන හැඳිනගත යුතුවූ වීථියෙහි ඇතුළත්වූ චිත්ත සමූහයාගේ චක්ඛායතනයම උත්පත්තිද්වාරයයි. රූපායතනයම ආලම්බනයයි. මෙසේම සොතායතනාදීහු සොතායතනාදී වීථින්හි ඇතුළත් වූ චිත්ත සමූහයාගේ උත්පත්තිද්වාරයෝයි. ශබ්දාලම්බනාදීහු ආලම්බනයෝයි. සවැනිවූ විඥාන කායයාගේ හෙවත් මනායතනයාගේ චනාහි භවාඞ්ග චිත්ත යයි කියනලද මනායතනයාගේ එක් කොටසෙක්ම උත්පත්තිචාරයයි. චක්ඛුවිඤ්ඤාණාදීන්ට අරමුණුවීම් වශයෙන් සාධාරණ නොවූ ධර්මායතනය තෙමේද අරමුණ වේ.
මෙකී පරිද්දෙන් ෂඩ්විධ විඥාන සමූහයන්ගේ උත්පත්තිචාරාලම්බනයන් පිරිසිඳීම් වශයෙන් දොළොස් ආයතන කෙනෙක් වදාරන ලදී.
ක්රමාදී වශයෙන් උත්පත්ති ක්රමාදීන් අතුරෙන් දේශනා ක්‍රමය විස්තර කරණු ලැබේ.
ආත්මභාවය පිළිබඳව පවත්නා වූ හෙවත් අධ්‍යාත්මික ආයතනයන් අතුරෙන් සනිදස්සන සප්පටිඝ රූපයම අරමුණුකොට පවත්නා බැවින් නොහොත් සනිදර්ශන සප්‍රතිඝ රූපයාගේ ගැටීමට ස්ථාන වන හෙයින් චක්ඛායතනයම ප්‍රකටවේද, එහෙයින් පළමුකොට චක්ඛායතනය වදාළ සේක. ඒ චක්ඛායතනයට අනතුරුව අනිදස්සන සප්පටිඝ රූපයන් අරමුණු කොට පවත්නාවූ නොහොත් අනිදර්‍ශන සප්‍රතිඝ රූපයන්ගේ ගැටීමට ස්ථානවූ සොතායතනාදීහු වදාළාහ.
තවද, දර්ශන ශ්රවණාදීන්ට හේතු භාවයෙන් ඉමහත් උපකාර ඇති බැවින් අධ්‍යාත්මික ආයතනයන් අතුරෙන් චක්ඛායතන, සොතායතනයන් පළමුකොට දේශනා කරණලදහ ඊට ඉක්බිතිව ඝාණායතන, ජිව්හායතන කායායතන පිළිවෙලින් දේශනා කරණලදහ. චක්ඛායතනය මුල්කොට ඇති පස් ආයතනයන්ගේම ගොචර විෂයකොට ඇති බැවින් මනායතනය අවසානයෙහි දේශනා කරන ලදහ.
චක්ෂුරාදීන්ට ගොදුරුවූ අරමුණු බැවින් චක්ඛායතනාදී අධ්‍යාත්මික ආයතනයන්ට අනතුරුව බාහිර ආයතනයන් අතුරෙන් රූපායතනාදීහු දේශනාකරන ලදහ. චක්ෂුප්රසාදයත්, රූපාලම්බනයත් නිසා චක්ඛුවිඤ්ඤාණය තෙම උපදනේය. මෙසේ සොතප්රසාදයත් ශබ්දාලම්බනයත් නිසා සොත විඤ්ඤාණයද, ඝාණප්රසාදයත් ගන්ධායතනයත් නිසා ඝාණ විඤ්ඤාණයද, ජිව්හාප්රසාදයත් රසාලම්බනයත් නිසා ජිව්හා විඤ්ඤාණයද, කායප්රසාදයත්, පොට්ඨබ්බාලම්බනයත් නිසා කාය විඤ්ඤාණයද, මනසත් ධර්මාලම්බනයත් නිසා මනො විඥානයද උපදී.
සංක්ෂෙප වශයෙන් වනාහි මනායතනය සහ ධර්මායතනයේ එක් කොට්ඨාශයක් නාම ධර්ම වශයෙන්ද, එයින් අන්‍යවූ හෙවත් දොළොස් ආයතනයන් අතුරෙන් මනායතනය සහ නාම ධර්මයන්ට ඇතුළත් ධම්මායතන කොටසත් හැර ඉතිරි ආයතනයන් රූප වශයෙන්ද සංග්‍රහ කරනු ලැබේ. මෙසේ මේ දොළොස් ආයතනයෝ නාමරූප මාත්‍රයක්ම වේ.
විස්තර වශයෙන් වනාහි, චක්ඛායතනය තෙම ජාති වශයෙන් චක්ෂුප්රසාද සඞ්ඛ්‍යාත රූපමාත්රයක්මය. කර්මාදී ප්‍රත්‍යය නිරයාදී ගතිය, ක්ෂත්රිය, බ්රාහ්මණාදීවූ ද හස්ති අශ්වාදී වූද නිකාය, ඒ ඒ සත්ත්වයාගේ සන්තති යයි කියන ලද පුද්ගලය යන මොවුන්ගේ ප්‍රභේද වශයෙන් අප්‍රමාණ වූ ප්‍රභේද ඇත්තේ වේ.
සොතායතන, ඝාණායතන, ජිව්හායතන, කායා- යතන යන ආයතනයෝ සතරදෙනද චක්ඛායතනය මෙනි.
මනායතනය තෙම, ත්‍රෛභූමික කුසලාකුසල විපාක ක්‍රියා චිත්තයන්ගේ ප්‍රභේදයෙන් එක් අසූවක් ප්‍රභේද ඇත්තේ වේ. මෙහිදී ලොකොත්තර සිත් අට හෙවත් ලොකොත්තරවූ ආයතනයන් ඇතුළත් නොකොට ත්‍රෛභූමික කුසලාදි චිත්තයන්ම ගෙන දක්වන ලද බව දතයුතු. එසේම නිශ්‍රය වස්තු ප්රතිපදාදී භේද වශයෙන් අප්‍රමාණවූ ප්‍රභේද ඇත්තේවේ.
රූප, ගන්ධ, රසායතනයෝ තුමූ සමුට්ඨාන ප්‍රභේද වශයෙන් හෙවත් උත්පත්ති හේතූන්ගේ වශයෙන් ප්‍රභේද සතරක් ඇත්තාහ. ශබ්දායතන යෙහි ප්‍රභේද දෙකෙකි සභාග විසභාග වශයෙන් නොහොත් නීලාදිය නීලාදියට සභාගය, පීතාදියට විසභාගය යන මොවුන්ගේ ප්‍රභේද වශයෙන් වනාහි සියළු ආයතනයෝම අප්‍රමාණවූ ප්‍රභේද ඇත්තාහ.
පොට්ඨබ්බායතනය තෙම පඨවි ධාතු තෙජො ධාතු වායො ධාතු වශයෙන් භේදත්රයක් ඇත්තේය සමුට්ඨාන වශයෙන් හෙවත් උත්පත්ති හේතූ වශයෙන් ප්‍රභේද සතරෙකි. සභාග විසභාග වශයෙන් නොයෙක් ප්‍රභේද ඇත්තේය.
ධර්මායතනය තෙම ත්‍රෛභූමික ධර්මාලම්බනයාගේ වශයෙන් නොයෙක් ප්‍රභේද ඇත්තේය.
සියළුම ආයතනයෝ: දැක්කයුතු ආකාරයෙන් වනාහි අනාගමන හෙවත් නොයීම් වශයෙන්ද, අනිග්ගමන හෙවත් නොයෑම් වශයෙන්ද දත යුත්තාහ.
යම් හෙයකින් ඒ ආයතනයෝ ඉපදීමෙන් පූර්වයෙහි කිසි තැනෙකින් නොඑද්ද, භඞ්ගයෙන් මත්තෙහි කිසි තැනෙක්හි නොයත්ද, ඉපදීමෙන් පූර්වයෙහි නොලත් ස්වභාවය ඇත්තාහු වෙද්ද, භඞ්ගයෙන් මත්තෙහි හාත් පසින් බිඳිනු ස්වභාවය ඇත්තාහු වෙද්ද, පූර්ව කොට්ඨාසයන්ගේ මධ්‍යයෙහි ප්‍රත්‍යයන් අයත් පැවතුම් ඇති බැවින් තමා වශයෙහි පැවැත්ම නැත්තාහුව පවතිත්ද, එහෙයින් අනාගමන හෙවත් නොයීම් වශයෙන්ද, අනිග්ගමන හෙවත් නොයෑම් වශයෙන්ද දැක්ක යුත්තාහ.
තවද ආයතනයෝ, චිත්ත ව්‍යාපාර රහිතයන් වශයෙන්ද සපරිස්පන්දක්රියා භාවයෙන් උත්සාහ නොකිරීම් වශයෙන්ද දතයුත්තාහ.
චක්ඛුප්‍රසාද රූපාලම්බනාදීන්, අපගේ එක්වීමක් ඇති කල්හි විඥානයෙක් නම් උපදනේද, ඒ ඉපදීම විස්මය කැයි මෙසේ සිතීමක් නොවේ.
එසේම ඒ ආයතනයෝ විඥානොත්පත්තිය පිණිස චක්ෂු ද්වාරාදී ද්වාරභාවයෙන් හෝ චක්ඛුවස්තු ආදි වස්තු භාවයෙන් හෝ රූපාලම්බනාදී ආලම්බන භාවයෙන් හෝ පරිස්පන්දනාදී වශයෙන් නොගැටෙත්, හෙවත් වැර නො කෙරෙත්, උත්සාහ බවට නොපැමිණෙත්.
ඒකාන්තයෙන්ම චක්ඛුරූපාදීන්ගේ එක්වීමක් ඇති කල්හි චක්ෂුර් විඥානාදීහු යම් හෙයකින් හටගනිද්ද, මේ චක්ෂුර් විඥානාදීන්ගේ උත්පත්තිය තොමෝ ධර්මස්වභාවයෙන්ම ලැබේ. එහෙයින් සපරිස්පන්දක්රියා භාවයෙන් උත්සාහ නොකිරීම් වශයෙන්ද, චින්තනක්රියා භාවයෙන් ව්‍යාපාර රහිත වශයෙන්ද දතයුත්තාහ.
අධ්‍යාත්මික ආයතනයෝ මනුෂ්‍ය වාසයෙන් සුන්යවූ ගමක්හු මෙන් දත යුත්තාහ. නිත්‍ය, සුභ, සුඛ ආත්මාදි භාවයෙන් වියුක්ත බැවිනි.
බාහිර ආයතනයෝ ගම් පහරණ සොරුන් මෙන් දත යුත්තාහ. අධ්‍යාත්මික ආයතනයෙන් පැහැර ගැන්ම කරන බැවිනි.
තවද අධ්‍යාත්මික ආයතනයෝ සර්පාදි ප්‍රාණීන් සදෙනෙකු මෙන් දතයුත්තාහ.
බාහිර ආයතනයෝ ඒ ප්‍රාණීන්ගේ ගොදුරු මෙන් දත යුත්තාහ.
තවද ඒ ද්වාදසායතනයන්ගේ විශේෂයෙන් දර්ශනය කටයුතුවූ ආකාරයද දතයුතු.
චක්ඛුප්රසාදය ඉපිද හෝ පැවත නැතිවත හෙයින් නොහොත් ඉපදීමෙන් මත්තෙහි නොපැවත බිඳෙන හෙයින් අනිත්‍ය යයි විදර්ශනා ඥානයෙන් විශේෂයෙන් දක්නට සුදුසුය.
එසේම උත්පාද භඞ්ගවත් හෙයින්ද, උත්පාද භඞ්ග යන්ම අවසන් කොට ඇති හෙයින්ද, විපරිණාම භාවය හෙවත් ප්‍රකෘති ස්වභාවය පියන හෙයින්ද, තාවකාලීන හෙයින්ද, නිත්‍යත්වය ප්‍රතික්ෂේප කරන හෙයින්ද යන මේ හේතුන් කරණකොට ගෙන චක්ෂුසය අනිත්‍ය නම් වේ.
ඒ චක්ෂුසම, නිත්‍ය පීඩා කරන හෙයින් දුක්ඛ නම්. යම් හෙයකින්. උපන්නාවූ ඒ චක්ෂුප්රසාදය තෙම ස්ථිති සඞ්ඛ්‍යාත භඞ්ගාභිමුඛ අවස්ථාවට පැමිණේද, ස්ථිති සඞ්ඛ්‍යාත භඞ්ගාභිමුඛ අවස්ථාවෙහිදී, උපන්නා වූ ඒ චක්ෂුප්රසාදය තෙම ජරාව කරණකොට ගෙන ක්ලාන්ත වේද, ජරාවට පැමිණ ඒකාන්තයෙන් බිඳේද, එහෙයින් නිත්‍යයෙන් පීඩා කරණ හෙයින්ද, නො ඉවසිය හැකි හෙයින්ද, දුකට කරුණු වන හෙයින්ද, සුඛයට ප්රතිපක්ෂ වන හෙයින්ද, යන මේ හේතුන් කරණකොටගෙන දුක්ඛ නම්.
තමාගේ වශයෙහි නොපවත්නා අර්ත්ථයෙන්ද, නොහොත් වශයෙහි පැවැත්ම තමහට නැත්තාවූ අර්ත්ථයෙන්ද අනාත්ම නම්. උපන්නාවූ ඒ චක්ෂුප්රසාදය තෙම ස්ථිති සඞ්ඛ්‍යාත භඞ්ගාභිමුඛ අවස්ථාවට නොපැමිණේවා, ස්ථිති සඞ්ඛ්‍යාත භඞ්ගාභිමුඛ අවස්ථාවට පැමිණියාවූ ඒ චක්ෂුප්රසාදය තෙම ජරාවට නොපැමිණේවා, ජරාවට පැමිණියා වූ ඒ චක්ෂුප්රසාදය තෙම නොබිඳේවා යනාදි වශයෙන් මේ තුන් තැන්හි කිසි පුද්ගලයක්හුගේ වශයෙහි පවත්නා බවෙක් නැත. යම් හෙයකින් ඒ තමා වශයෙහි පවත්නා ආකාරයෙන් ශුන්‍ය වේද, හෙවත් හිස්වේද එහෙයින් ශුන්‍ය වශයෙන් හෙවත් වශයෙහි පවත්නා ආකාර ශුන්‍ය වශයෙන්ද අස්වාමික හෙවත් අහිමි වශයෙන්ද සිය කැමැත්තක් කරගැන්ම නුපුළුවන් වශයෙන්ද නොහොත් සිය කැමැත්තක් කරගැන්ම තමහට නොමැති වශයෙන්ද ආත්මයට ප්රතිපක්ෂ වශයෙන්ද හෙවත් අනාත්ම වශයෙන්ද යන මේ හේතුන් කරණකොට ගෙන අනාත්ම නම්.
එසේම විනාශයට පැමිණීම් වශයෙනුදු පූර්වාපර වශයෙනුදු භවාන්තරයකින් භවාන්තරයෙක්හි උත්පත්ති කිරීම් වශයෙනුදු ප්‍රකෘති භාවය පියන හෙයිනුදු විපරිණාම ධර්ම නම්. මේ විපරිණාම ධර්ම යන වචනය අනිත්‍යය යන පදයාගේ පර්‍ය්‍යාය වචනයකි.
රූපාදීන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, විපරිණාම ස්වභාවයන් මේ නයින්ම දතයුතු.
තවද, චක්ෂුප්රසාදය හැර ඉතිරි ත්‍රෛභූමික ධර්මයෝ අනිත්‍ය නම් වෙති. චක්ෂුස නම් නොවේ. චක්ෂුප්රසාදය තෙම වනාහි චක්‍ෂුසද වේ. අනිත්‍යයද වේ. එපරිද්දෙන්ම චක්ෂුස කෙරෙන් අන්‍යවූ ත්‍රෛභූමික ධර්මයෝ දුක් නම් වෙත්. චක්ෂුස නම් නොවේ. චක්ෂුප්රසාදය තෙම චක්ෂුස වේ. දුකද වේ. චක්ෂුස කෙරෙන් අන්‍යවූ ත්‍රෛභූමික ධර්මයෝ අනාත්ම නම් වෙත්. චක්ෂුස නම් නොවේ. චක්ෂුප්රසාදය තෙම වනාහි චක්ෂුද වේ. අනාත්මද වේ, රූපාදීන්හිද මේ නයම වේ.
විදසුන් වැඩීම් වශයෙන් ආයතනයන් දේශනා කරන් නාවූ භාග්‍යවතුන් වහන්සේ දොළොස් ආයතනයන්ගේ අනාත්ම ලක්ෂණය දක්වනසේක් අනිත්‍ය පදය කරණ කොට ගෙන හෝ දක්වා වදාරණ සේක. එසේම දුක්ඛ පදය කරණ කොටගෙන හෝ අනිත්‍ය දුක්ඛ දෙපදයන් කරණ කොටගෙන හෝ දක්වා වදාරණ සේක.
චක්ෂුප්රසාද සඞ්ඛ්‍යාත වූ ඇස මාගේ ආත්මය ය යි යම් පුද්ගලයෙක් කියා නම් ඒ පුද්ගලයාගේ ඒ කීම නොවටී. කවර හෙයින්දයත්? චක්ෂුසයාගේ ඉපදීමද බිඳීමද පෙණෙන හෙයිනි. මෙසේ අනිත්‍ය ලක්ෂණයෙන් අනාත්ම ලක්ෂණය දක්වා වදාළ සේක.
රූපයද අනාත්මය ය. මේ රූපය ආත්මයක් වන්නේ නම් ආබාධ සඞ්ඛ්‍යාත වූ දුක්ඛය පිණිස නොවන්නේය. ආත්ම ලබ්ධි ගත රූපයෙහි මාගේ රූපය තෙම මෙපරිද්දෙන් වේවා මෙපරිද්දෙන් නොවේවා යි මෙසේ වශයෙහි පැවැත්මක් ලැබිය යුතු වන්නේමය. යම් හෙයකින් රූපය තෙම අනාත්ම වේද, එහෙයින් රූපය තෙම ආබාධ සඞ්ඛ්‍යාත දුක්ඛය පිණිස ගිලන් බව පිණිස වන්නේය. ආත්ම ලබ්ධිගත් රූපයෙහි මාගේ රූපය තෙම මෙයාකාරයෙන් නොවේවා යි මෙසේ වශයෙහි පැවැත්මක් නොලැබිය හැක්කේය. මෙසේ දුක්ඛ ලක්ෂණයෙන් අනාත්ම ලක්ෂණය දක්වා වදාළ සේක.
මේ රූපය අනිත්‍යය. යම් රූපයෙක් අනිත්‍ය වේද, ඒ රූපය තෙම දුක්ඛය හෙවත් නිතර පීඩා කරන සුළුය. යම් රූපයෙක් දුක්ඛවේද, ඒ රූපය තෙම අනාත්මය ය, ආත්මයෙක් නොවන්නේය. මේ රූපය තෙම මාගේ ධනය නොවේ. මේ ධර්මය තෙම මම නොවෙමි. මේ රූප ධර්මය තෙම මාගේ ආත්මය නොවේ. මෙපරිද්දෙන් නැවත නැවත නුවණැසින් දක්නට සුදුසුය. මෙසේ අනිත්‍ය දුක්ඛ දෙපදයන් කරණකොටගෙන නොහොත් අනිත්‍ය ලක්ෂණ දුක්ඛ ලක්ෂණයන් කරණකොට ගෙන අනාත්ම ලක්ෂණය දක්වා වදාළ සේක. අනිත්‍ය දුක්ඛ ලක්ෂණයන් ප්‍රකට බැවින් මෙසේ දක්වා වදාළ බව දතයුතු. අනාත්ම ලක්ෂණය අප්‍රකටය. එහෙයින් අන්ධකාරය, ප්රකටව නොවැටහේ. දුකසේ පිරිසිඳීම කටයුතුය. දුකසේ දැක්විය යුතුය. දුකසේ පැණවිය යුතුය. අනිත්‍ය දුක්ඛ ලක්ෂණයෝ බුදුවරු නැතත් මනාසේ වැටහෙත්. අනාත්ම ලක්ෂණය බුද්ධොත් පාදයකින් තොරව නො වැටහේ. මහත්වූ ඍද්ධි ඇත්තා වූ, මහත්වූ ආනුභාව ඇත්තාවූ සරභඞ්ග ශාස්තෘන් ප්රමුඛ කොට ඇති තාපස පරිබ්‍රාජකයෝද අනිත්‍යය දුක්ඛය යයි කීහ. ඉදින් ඔවුහු අනාත්මය යයි කියන්ට සමර්ත්ථවීනම් මාර්ගඵල ප්‍රතිවේධය වන්නේමය. අනාත්ම ලක්ෂණ පැණවීම් නොහොත් අනාත්ම ලක්ෂණයාගේ අවබෝධය කරවීම සර්වඥ බුද්ධවූවක්හු කෙරෙන් අන්‍යවූ කිසිවකුට විෂය නොවේ. සර්වඥ වූ බුදුවරයන්ටම විෂය වේ.
අනිත්‍ය ලක්ෂණය තෙම, ත්‍රෛභූමික සංස්කාරයන්ගේ උදයව්‍යය ස්වභාවයන් මෙනෙහි නොකිරීම හේතු කොට ගෙන ප්‍රතිවේධය නොකිරීම හේතුකොට ගෙන සන්තති වශයෙන් ප්‍රතිච්ඡන්න වූ හෙයින්ද නොවැටහේ.
දුක්ඛ ලක්ෂණය තෙම, නිත්‍යයෙන් පීඩාකරන බව, මෙනෙහි නොකිරීම හේතුකොට ගෙන, ප්‍රතිවේධය නොකිරීම හේතුකොට ගෙන ඉරියව්වලින් වැසුනු හෙයින් ද නොවැටහේ.
අනාත්ම ලක්ෂණය තෙම, නානා ධාතුන්ගේ වශයෙන් වෙන් වෙන්කොට මෙනෙහි නොකිරීම හේතුකොට ගෙන ප්‍රතිවේධය නොකිරීම හේතුකොට ගෙන සන්තති වශයෙන් ප්‍රතිච්ඡන්න වූ හෙයින්ද නොවැටහේ.
උදයව්‍යය සඞ්ඛ්‍යාත ඉපදීම් බිඳීම් මෙනෙහි කොට නුවණැසින් සන්තතියගේ ප්‍රකෘති භාවය බිඳ බැලු කල්හි අනිත්‍ය ලක්ෂණය තෙම අවිපරීත ස්වභාවයෙන් වැටහේ.
නිත්‍ය බාධන ස්වභාවය හෙවත් නිතර පෙළෙන බව මෙනෙහි කොට ඊර්ය්යා පථය ඉගුළූ කල්හි දුක්ඛ ලක්ෂණය අවිපරීත ස්වභාව වශයෙන් වැටහේ.
නානා ධාතුන් නුවණැසින් වෙන් වෙන් වශයෙන් බෙදා ඝනවිනිබ්භෝගය කළ කල්හි අනාත්ම ලක්ෂණය අවිපරීත ස්වභාව වශයෙන් වැටහේ.
මෙසේ ස්කන්ධ පඤ්චකය උදයව්‍යය හෙවත් ඉපදීම් බිඳීම් වශයෙන් වෙනස්වන බැවින් අනිත්‍යය, නිතර පෙළෙන බැවින් දුක්ඛය, දුක්වන හෙයින් අනාත්මද වේ.
විදර්ශනා වඩන්නා වූ පුද්ගලයන්ට උපකාර වනු පිණිස භාග්‍යවතුන් වහන්සේ මෙසේ චක්ඛායතන රූපායතනාදි පිළිවෙලින් චාර ආලම්බන යුග්ම වශයෙන් වදාළ සේක. අභිධම්ම දේශනයෙහි වනාහි ඒ දොළොස් වැදෑරුම් වූ ආයතනයන් අධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන වශයෙන් අසම්මිශ්‍රව දැක්වීම පිණිස චක්ඛායතන සොතායතන යනාදිය වදාළ සේක. මේ දෙශනා ක්රමයෙහි චක්ඛායතනාදීන්ගේ විස්තරය යටකී නයින්ම දතයුතු. විශේෂයෙන් ධර්මායතනයාගේ විස්තරය දක්වනු ලැබේ.
වෙදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය යන ස්කන්ධත්රය හෙවත් දෙපනස් චෛතසික සමූහයද, අනිදස්සන අප්පටිඝ රූප හෙවත් සොළොස් වැදෑරුම් සූක්ෂම රූප සමූහයද නිර්වාණ සඞ්ඛ්‍යාත අසඞ්ඛත ධාතුවද යන එකුන් සැත්තැ (69) ධර්මයෝ ධර්මායතනය නම් වේ. මෙම එකුන් සැත්තැ ධර්මයන් අතුරෙන් දෙපනස් චෛතසික ධර්මයන්ද සූක්ෂම රූප සොළොස්ද යට දක්වන ලදී.
අසඞ්ඛත ධාතු යනු අසංස්කෘත ස්වභාවවූ හෙවත් කර්මාදි ජනක ප්‍රත්‍යයන් විසින් නොසකස් කළ ප්‍රකෘති බැව් ඇත්තාවූ නිර්වාණ ධාතුවයි. අසඞ්ඛත ධාතුව වදාරන්නාවූ භාග්‍යවතුන් වහන්සේ රාගක්ඛය, දොසක්ඛය, මොහක්ඛය යයි වදාළ සේක. මේ අසඞ්ඛත ධාතුවෙහි රාගය තෙම ක්ෂයවේද එහෙයින් ඒ අසඞ්ඛත ධාතු තොමෝ රාගක්ඛය නමි. නිර්වාණයට පැමිණ හෙවත් නිවණ අරමුණුකොට රාගය ක්ෂය කරන්නේය යන අර්ථයි. එමෙන්ම නිවණ අරමුණුකොට ද්වේෂය ක්ෂය වේද, එහෙයින් ඒ නිර්වාණයම දොසක්ෂය නමුදුවේ. එසේම නිවණ අරමුණුකොට මෝහය ක්ෂය වේද එහෙයින් ඒ නිර්වාණයම මොහක්ෂය නමුදු වේ. රාගක්ඛය දොසක්ෂය මොහක්ෂය යන නම් තුනම නිර්වාණයාගේම අන්වර්ථ නම්හුය.
අවිද්‍යාවද, තෘෂ්ණාවද යන ධර්මය, නිර්වාණය අරමුණු කොට උපදින්නාවූ මාර්ගඥානයෙහි ක්ෂය වන්නාහ. එහිම බිඳෙන්නාහ. ඒ නිර්වාණයෙහි රූපාලම්බනාදිවූ කිසි ධර්ම ජාතයෙක් හෙවත් රූපාදිවූ කිසි ස්කන්ධයෙක් කිසි කලෙකත් නැත.
චාදසායතනයන් අතුරෙන් චක්ඛායතන, සොතායතන ඝාණායතන, ජිව්හායතන, කායායතන, රූපායතන, ශබ්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ඨබ්බායතන යන දස ආයතනයෝ කාමාවචරයහ. ආයතනයන් දෙදෙනෙක් හෙවත් මනායතන, ධර්මායතන යන දෙදෙන චාතුර්භූමිකයහ. ලෞකික ලොකොත්තර මිශ්‍රයහ.