ආපො ධාතුව
පඨවි, තෙජො, වායො යන භූතත්‍රය වෙත ආබන්‍ධන වශයෙන්, ආලිඞ්ගන වශයෙන්, මැලියමක් සේ අල්වා ගැනීම් වශයෙන් පැමිණේනුයි, බැඳ ගනිනුයි ආප නම්වේ. මෙහි ද්‍රව භාවයම අභිමතය.
ආපො ධාතු තොමෝ අධ්‍යාත්මික හෙවත් ඉන්ද්‍රිය බද්ධ ආපො ධාතුවය, බාහිර හෙවත් අනින්ද්‍රියබද්ධ ආපො ධාතුව යයි විවිධ වේ.
අධ්‍යාත්මික ආපො ධාතුව. යමක් සත්ත්‍ව සන්තානවූවාද, පුද්ගලයන්ට වෙන් වෙන්ව ලැබුනේද, යම් ඒ ආබන්‍ධන ස්වභාවයක් වේද, ආබන්‍ධන ස්වභාවයට ගිය බැවින් ආපො ගත නම් වීද, ආලිඞ්ගන වශයෙන් ස්නේහ නම්වීද, ආලිඞ්ගන බවට ගිය බැවින් ස්නේහගත නම් වීද, අවිනිබ්භොග රූපය බන්‍ධන බවක් වේද, අධ්‍යාත්මිකවූ ශරීරයට අයත් වූවාද, පිතය, සෙමය, සැරවය, ලේය, ඩහදියය, මේද තෙලය, කඳුළුය, වුරුණු තෙලය, කෙළය, සෙම්ය, සොටුය, සඳමිදුළුය, මුත්‍රය යන ප්‍රභේදවත්වූ ආප්ස්වභාවයෙක් වේද. යම් ඒ අන්‍යවූද අධ්‍යාත්මිකවූද, පුද්ගලයන්ට වෙන් වෙන්ව අයත් බැඳීම් ස්වභාවයෙන් ආප නම්වූ තෙත් ගති ඇති, තෙත් ගතියට ගිය රූපයාගේ බන්‍ධන ස්වභාවයවූ අධ්‍යාත්මිකවූ ශරීරයට අයත් දේද යන මෙය අධ්‍යාත්මික ආපො ධාතු නම්.
බාහිර ආපො ධාතුව. යම් බාහිරවූ, බැඳීම ඇති, බැඳීම් ස්වභාවයට ගිය, තෙත් ගතිය ඇති, තෙත් ස්වභාවයට ගිය රූපයාගේ බන්‍ධනත්‍වයට පත්, බාහිරවූ, ශරීරයට අයත් නොවන ආපො ධාතුවක් වේද, මුල් රසය, කඳෙහි රසය, පොත්තේ රසය, කොළ රසය, මල් රසය, ගෙඩි රසය, කිරි, දී, ගිතෙල්, වෙඬරු, මී පැණි, උක් පැණි, බිම හෝ අහසෙහි හෝ ජලයක් ඇද්ද, යම් ඒ අන්‍යවූ, බාහිරවූ, ආප නම්වූ, ආපගතවූ, සිනෙහවූ, සිනෙහගතවූ, රූපයාගේ බන්‍ධනත්‍වයට පත්, ශරීරයට අයත් නොවූ ආපො ධාතුවක් වේද, මෙය බාහිර ආපො ධාතු නම්.
යම් අධ්‍යාත්මිකවූ ආපො ධාතුවක් ඇද්ද, බාහිරවූ ආපො ධාතුවක් ඇද්ද, ඒ දෙකම එක්කොට ගළපා කැටිකොට ගත්තීද, මෝතොමෝ ආපො ධාතුව යයි කියනු ලැබේ.
මෙහි පිත්, සෙම් ආදි වශයෙන් දක්වනලද කොට්ඨාශ යෝද, වර්ණය, සංස්ථානය, දිසාය, අවකාශය, පරිච්ඡේදය යන මොවුන්ගේ වශයෙන් පිරිසිඳ දැන ධාතු වශයෙන් ම මෙනෙහි කටයුත්තාහ.
පිත්තය තෙමේ, බද්ධ පිත්තය, අබද්ධ පිත්තය යයි ද්විධ වේ. අබද්ධ පිත්තය තෙමේ ජීවිතෙන්‍ද්‍රිය ය හා පැවැති සියළු සිරුර පැතිරගෙන සිටියේය. බද්ධ පිත්තය තෙමේ පිත්ත කොෂයෙහි හෙවත් පිත්තාශ්‍රයයෙහි සිටියේය.
කැවුම පැතිර සිටියාවූ තෙලෙහි, ඒ තෙල කැවුම පැතිර සිටි කල්හි, කැවුම තෙමේ මා තෙල පැතිරගෙන සිටියේය යි යම්සේ නොදනීද, තෙලද මම කැවුම පැතිරගෙන සිටියෙමියි යම්සේ නොදනීද, එපරිද්දෙන්ම ශරීරය තෙම, මා අබද්ධ පිත්තය තෙමේ පැතිරගෙන සිටියේයයි නොදනී. අබද්ධ පිත්තය තෙමේද මම ශරීරය පැතිරගෙන සිටියෙමියි නොදනී.
වැසි දියෙන් පිරුණාවූ වැටකොළු වසල්ලෙහි, වැටකොළු වසල්ල තෙම, මා කෙරෙහි වැසි දිය සිටියේයයි යම්සේ නො දනීද, වැසිදිය තෙමේද, මම වැටකොළු වසල්ලෙහි සිටි යෙමියි යම්සේ නොදනීද, එපරිද්දෙන්ම පිත්ත කොෂය තෙම, මා කෙරෙහි බද්ධ පිත්තය තෙම සිටියේ යයි නොදනී. බද්ධ පිත්තය තෙමේද, මම පිත්ත කොෂයෙහි සිටියෙමියි නොදනී. මේ අබද්ධ පිත්තය, ශරීරය, බද්ධ පිත්තය, පිත්ත කොෂය යන නම් ලද නිස්සත්ත්ව නිර්ජීව ස්වභාවයෝ ඔවු නොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ. මෙසේ පිත්තය නම් මේ සිරුරෙහි අසම්මිශ්‍ර කොට්ඨාශයකි, චේතනා රහිතය, අව්‍යාකෘතය, ආත්මසූන්‍යය. එහෙයින් නිස්සත්ත්ව වනුය, යූෂ භූතය හෙවත් ද්‍රවත්‍ව වන හෙයින් රස භූතය, ආබන්‍ධන ස්වභාවයෙක් වනුය, එහෙයින් ආපො ධාතුව නම් වන්නේ යයි මෙනෙහි කටයුතු.
සෙම හෙවත් ශ්ලෙස්ම තෙමේ, එක් පාත්‍රයක් පුරාලන පමණ ඇත්තේයි. උදර පටලයෙහි සිටියේයි. මතුයෙහි හටගත් පෙණ පටල ඇති ගවර වළෙක, ඒ ගවර වළ මා කෙරෙහි පෙණ පටල තෙම සිටියේයයි යම්සේ නොදනීද, පෙණ පටල තෙමේද, මම ගවරවළෙහි සිටියෙමියි යම්සේ නොදනීද, එපරිද්දෙන්ම, උදර පටලය තෙම, මා කෙරෙහි ශ්ලෙස්මය තෙමේ සිටියේයයි නොදනී. ශ්ලෙස්මය තෙමේද, මම උදර පටලයෙහි සිටියෙමියි නොදනී. එහෙයින් ශ්ලෙස්ම උදර පටල යන නම් ලද නිස්සත්ත්ව නිර්ජීව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ. මෙසේ ශ්ලෙස්ම නම් සිරුරෙහි අසම්මිශ්‍ර කොටසෙකි, චේතනා රහිතය, අව්‍යාකෘතය, ආත්මසූන්‍යය. එහෙයින් නිස්සත්ත්ව වනුය, ආබන්‍ධන ස්වභාවය ලක්‍ෂණකොට ඇත්තේය. එ හෙයින් ආපො ධාතු නම් වන්නේයයි මෙනෙහි කටයුතු.
පූයා නම් ලද සැරව තෙමේ නිබඳ අවකාස තැන් නැත්තේය. යම් යම් අවකාශයෙක්හිම කණු, කටු, ආයුධ, ගිනිදැල් යනාදීන් පහළවූ ශරීර ප්‍රදේශයෙහි ලෙහෙ රැස්ව පැසේද, ගඩපොළ ආදීහු හෝ උපදිද්ද, ඒ ඒ අවකාශයෙහිම සිටින්නේය. පොරොව පහරාදීන් පහර වශයෙන් වෑහෙන් නාවූ මැලියම් ඇති වෘක්‍ෂයෙහි, වෘක්‍ෂයාගේ පොරෝ පහර ලද ප්‍රදේශයෝ, අප කෙරෙහි මැලියම් තොමෝ සිටියේයයි යම්සේ නොදනීද, මැලියම් තෙමේද මම වෘක්‍ෂයාගේ පොරො පහර ලත් ප්‍රදේශයෙහි සිටියෙමියි යම්සේ නොදනීද, එ පරිද්දෙන්ම, ශරීරයාගේ කණු කටු ආදීන් පහළවූ ප්‍රදේශයෝ අප කෙරෙහි සැරව සිටියේයයි නොදනිති. සැරවද, මම ඒ ඒ ශරීර ප්‍රදේශයන්හි සිටියෙමි නොදනී. ඒ සැරව ප්‍රහාර ලද පෙදෙස් යන නම් ලද නිස්සත්ත්ව නිර්ජීව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ. මෙසේ සැරව නම් මේ සිරුරෙහි අසම්මිශ්‍ර කොටසෙකි. චේතනා රහිතය, අව්‍යාකෘතය, ආත්ම ශූන්‍යය. එහෙයින් නිස්සත්ත්ව වනුය. ආබන්‍ධන ස්වභාවය ලක්‍ෂණකොට ඇත්තේය, එහෙයින් ආපො ධාතුව නම් වන්නේ යයි මෙනෙහි කටයුතු.
ලොහිතය වනාහි සංසරණ ලොහිතය හෙවත් විසිර පවත්නා ලොහිතය, සන්නිචිත ලොහිතය හෙවත් රැස්ව සිටිනා ලොහිතය යයි ද්විවිධ වේ. සංසරණ ලොහිතය තෙමේ අබද්ධ පිත්තය මෙන් මුළු සිරුර පැතිර සිටියේය. සන්නිචිත ලොහිතය තෙමේ එක් පාත්‍රයක් පිරෙණ පමණ වී වකුගඩුය, හදවතය, අක්මාය, පපු මසය යන කොට්ඨාසයන් තෙත් ගන්වමින් සිටියේය. මොවුන් අතුරෙන් සංසරණ ලොහිතය තෙම අබද්ධ පිත්තයට කී නියායෙන් දතයුතු. සන්නිචිත හෙවත් නොවිසර පවත්නා ලොහිතය වනාහි දැදුරුකබලෙක සිටියාවූ ජලය, කබල යට භාගයෙහි සිටියාවූ මැටි කැට තෙමන කල්හි, මැටි කැටහු අපි ජලය විසින් තෙමනු ලබන්නෝව සිටගතුම්හයි යම්සේ නොදනිද්ද, ජලය තෙමේද මම මැටි කැට තෙමමියි යම්සේ නොදනීද, එපරිද්දෙන්ම, වකුගඩු ආදීහු හෝ මා කෙරෙහි ලෙහෙ සිටියේය යි ද, අපව තෙමමින් සිටියේ යයි ද නොදනිති. ලෙහෙද, මම වකුගඩු ආදීන් තෙමමින් සිටයෙමියි නොදනී. මෙසේ සංසරණ ලොහිතය, සන්නිචිත ලොහිතය යන නම් ලද නිස්සත්ත්ව නිර්ජීව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ, චේතනා රහිතය, අව්‍යාකෘතය, ආත්ම ශූන්‍යය. එහෙයින් නිස්සත්ත්ව වනුය, ආබන්‍ධන ස්වභාව ලක්‍ෂණකොට ඇත්තේය, එහෙයින් ආපො ධාතු නම් වන්නේයයි මෙනෙහි කටයුතු.
සෙදො හෙවත් ඩහදිය තෙමේ, වහ්නි සන්තාපාදි කාලයන්හි කෙශකූපච්ඡිද්‍ර, ලොම කූපච්ඡිද්‍රයන් පුරා සිටින්නේද වේමය. වැගිරෙන්නේද වේමය. දියෙන් උඩට මතුකළ මාත්‍රය ඇති නෙළුඹුදෑළිකලප්, ඇඹුලදෑළිකලප්හි නෙළුඹුදෑළි ආදී කලප් සිදුරු අප කෙරෙන් ජලය වෑහෙන්නේ යයි යම්සේ නොදනිද්ද, එකී කලප් සිදුරුවලින් වෑහෙන්නාවූ ජලයද, මම නෙළුඹුදෑළි ඈ කලප් සිදුරු වලින් වෑහෙමියි යම්සේ නොදනිද, එපරිද්දෙන්ම, කේශකූප, ලෝමකූපච්ඡිද්‍රයෝ අප කෙරෙන් ඩහදිය වෑහෙන්නේයයි නොදනිති. ඩහදිය තෙමේද, මම කේශකූප, ලෝමකූපච්ඡිද්‍රයෙන් වෑහෙමියි නොදනි. ඩහදිය කේශකූප, ලෝමකූප විවර යන නම් ලද නිස්සත්ත්ව නිර්ජීව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ. චේතනා රහිතය, අව්‍යාකෘතය, ආත්ම ශූන්‍යය. එහෙයින් නිස්සත්ත්‍ව චතුය, ආබන්‍ධන ස්වභාවය ලක්‍ෂණකොට ඇත්තේය, එහෙයින් ආපො ධාතුව නම් වන්නේය යි මෙනෙහි කටයුතු.
මේද තෙල තෙමේ, ස්ථුල ශරීර ඇත්තහුගේ මුළු සිරුරෙහි පැතිරද, කෘශ ශරීර ඇත්තහුගේ කෙණ්ඩා මස් පිඬු ආදීන් ඇසුරුකොට ගෙන සිටියාවූ ස්ථබ්ධ ස්නේහය හෙවත් පැසුනු තෙලයි. පිළිකඩකින් වසනලද මස් රැසෙහි, මස්රැස තෙමේ මා ඇසුරුකොට පිළිකඩ සිටියාහයි යම්සේ නොදනිද්ද, පිළිකඩද, මම මස් රැස ඇසුරුකොට සිටියෙමැයි යම්සේ නොදනිද, එපරිද්දෙන්ම, මුළු සිරුර කෙරෙහි මාංසය තෙමේ, මා ඇසුරුකොට මේද තෙල සිටියේයයි නොදනී මේද තෙල ද මම මුළු සිරුරෙහි මාංසය ඇසුරුකොට සිටියෙමියි නොදනී මෙසේ මේද තෙල ය, ශරීරය, මාංසය යන නම් ලද නිස්සත්ත්ව නිර්ජීව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම්, විමසීම්, නැත්තාහ. චේතනා රහිතය, අව්‍යාකෘතය, ආත්ම ශූන්‍යය. එහෙයින් නිස්සත්ත්‍ව චතුය, ආබන්‍ධන ස්වභාවය ලක්‍ෂණකොට ඇත්තේය, එහෙයින් ආපො ධාතු නම් වන්නේය යි මෙනෙහි කටයුතු.
අස්සු හෙවත් කඳුලු තෙමේ, යම් කලෙක උපන්නේද, එකල්හි ඇස් වළ තැන් පුරා සිටින්නේ හෝ වැගිරෙන්නේ හෝ වේ. දියෙන් පිරුණා වූ තරුණ තල් ඇට වළ තන්හි, ඒ වළ තැන්හු අප කෙරෙහි දිය සිටියේය යි යම්සේ නොදනී ද, තල් දිය තෙමේ ද, මම තරුණ තල් ඇට වළ තැන්හි සිටියෙමියි යම්සේ නොදනී ද, එපරිද්දෙන්ම ඇස් වළ තැන්හු අප කෙරෙහි කඳුලු තෙමේ සිටියේය යි නොදනිති. කඳුළු තෙමේද මම ඇස් වළ තැන්හි සිටියෙමියි නොදනී. ඒ කඳුලු අක්‍ෂිකූප යයි නම් ලද නිස්සත්ත්ව නිර්ජීව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ, චේතනා රහිතය, අව්‍යාකෘතය, ආත්ම ශූන්‍යය, එහෙයින් නිස්සත්ත්ව වනුය, ආබන්‍ධන ස්වභාවය ලක්‍ෂණ කොට ඇත්තේය. එහෙයින් ආපො ධාතු නම් වන්නේ යයි මෙනෙහි කටයුතු.
වසා හෙවත් වුරුණු තෙල වනාහි අතුල්ය, අත්පිටුය, පතුල්ය, පාපිටුය, නාස්පුටය, නලල් තලය, උරහිසය යන තන්හි සිටියාවූ වුරුණු තෙලයි. වත්කළ තෙල් ඇති නිවුහුළු කැඳෙහි නිවුහුළු කැඳ තෙමේ මා තෙල් වැතිරගෙන සිටියේයයි යම්සේ නොදනී ද, තෙල ද, මම නිවුහුළු කැඳ වැතිරගෙන සිටියෙමියි යම්සේ නොදනී ද, එපරිද්දෙන්ම, හස්ත තලාදී ප්‍රදේශය තෙමේ මා වුරුණු තෙල වැතිරගෙන සිටියාහයි නො දනී. වුරුණු ද, මම හස්ත තලාදීවූ ප්‍රදේශයන් වැතිරගෙන සිටියෙමියි නොදනී. වුරුණු තෙලය, හස්ත තලාදීහුය යන නම් ලද නිස්සත්ත්ව නිර්ජීව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ. චේතනා රහිතය. අව්‍යාකෘතය, ආත්ම ශූන්‍යය. එහෙයින් නිස්සත්ත්ව වනුය, ආබන්‍ධන ස්වභාවය ලක්‍ෂණකොට ඇත්තේය, එහෙයින් ආපො ධාතුව වන්නේයයි මෙනෙහි කටයුතු.
කෙළ තෙමේ, එබඳුවූ කෙළ ඉපදීමට කරුණක් ඇති කල්හි දෙකොපුල් ඇතුල්තල පසින් බැසගෙන දිවෙහි සිටියේය නොසිඳී දිය උනන්නාවූ ගංතෙර කැනූ ලිඳෙහි ලින් පත්ල තෙමේ මා කෙරෙහි ජලය සිටුනේයයි යම්සේ නොදනී ද, ජලය තෙමේද මම ලින් පත්ලෙහි සිටුනෙමියි යම්සේ නොදනීද, එපරිද්දෙන්ම දිවමතු කෙළ, මා කෙරෙහි දෙකොපුල්, ඇතුල්තල පසින් බැසගෙන කෙළ සිටියේය යි නොදනී. කෙළ තෙමේ ද, මම දෙකොපුල් ඇතුල් තල පසින් බැසගෙන සිටියෙමියි නොදනී. කෙළ, දිව යන නම් ලද නිස්සත්ත්ව නිර්ජීව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ. චෙතනා රහිතය, අව්‍යාකෘතය, ආත්මශූන්‍යය. එහෙයින් නිස්සත්ත්ව වනුය, ආබන්‍ධන ස්වභාවය ලක්‍ෂණකොට ඇත්තේය. එහෙයින් ආපො ධාතුව නම් වන්නේ යයි මෙනෙහි කටයුතු.
සිඞ්ඝාණිකා හෙවත් මුකුණු, යම් කලෙක හටගනීද, එකල්හි නාස්පුටයෙහි පුරා සිටින්නේ හෝ වැතිරෙන්නේ හෝ වේ. කුණුවූ දියෙන් පිරුණාවූ, බොල්ලෙහි (සිප්පි) බොල්ලා මා කෙරෙහි කුණුවූ දිය සිටියේ යයි යම්සේ නො දනීද, කුණුවූ දියද, මම බොල්ලෙහි සිටියෙමියි යම්සේ නො දනීද, එපරිද්දෙන්ම, නාස්පුටයෝ අප කෙරෙහි මුකුණු (සොටු) සිටියාහයි නොදනිත්, මුකුණුද මම නාස්පුටයන්හි සිටි යෙමියි නොදනී. මුකුණුය, නාස්පුටය යන නම් ලද නිස්සත්ත්ව නිර්ජීව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ, චෙතනා රහිතය, අව්‍යාකෘතය, ආත්ම ශූන්‍යය. එහෙයින් නිස්සත්ත්ව වනුය, ආබන්‍ධන ස්වභාවය ලක්‍ෂණකොට ඇත්තේය, එහෙයින් ආපො ධාතුව නම් වන්නේයයි මෙනෙහි කටයුතු.
ලසිකා හෙවත් සඳමිදුළු තොමෝ අස්ථි සන්ධීන්ගේ අභ්‍යඞ්ග කෘත්‍යය සාදමින් එක්සිය අසූවක් (180) සන්ධීන්හි සිටි යාය. තෙල් ගැල්වූ ගැල් අකුරෙහි ගැල් අකුර තෙමේ මා තෙල් ගල්වා සිටියේයයි යම්සේ නොදනීද, තෙලද, මම ගැල් අකුර අභ්‍යඞ්ගකොට සිටියෙමියි යම්සේ නොදනීද, එපරිද්දෙන්ම, එක්සිය අසූවක් සන්ධීහු සඳමිදුළු තොමෝ අප අභ්‍යඞ්ගකොට සිටියාහයි නොදනිත්. සඳමිදුළු තොමෝද මම එක්සිය අසූවක් සන්ධීන් අභ්‍යඞ්ගකොට සිටියෙමැයි නොදනී. මේ සඳමිදුළුය, අස්ථි සන්ධීහුය යන නම් ලද නිස්සත්ත්ව නිර්ජීව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ, චේතනා රහිතය, අව්‍යාකෘතය, ආත්මශූන්‍යය එහෙයින් නිස්සත්ත්ව වනුය, ආබන්‍ධන ස්වභාවය ලක්‍ෂණ කොට ඇත්තේය, එහෙයින් ආපො ධාතු නම් වන්නේ ය යි මෙනෙහි කටයුතු.
මූත්‍ර තෙමේ මූත්‍රාශය නම්වූ වස්තිපුටයාගේ ඇතුළෙහි සිටියේය. ගවර වළෙහි බහාලූ, මුව සිදුර නැති රචණඝට නම්වූ හඬනගන කලයෙහි, රචණඝටය තෙම, මා කෙරෙහි ගවරවළ දිය සිටියේයයි යම්සේ නොදනීද, ගවරවළ දියද මම රචණඝටයෙහි සිටියෙමියි යම්සේ නොදනීද, එපරිද්දෙන්ම මූත්‍රාශය තෙමේ මා කෙරෙහි මූත්‍ර තෙම සිටියේයයි නොදනී. මූත්‍ර තෙමේද, මම මූත්‍රාශයෙහි සිටියෙමි යයි නොදනී. මේ මූත්‍ර, මූත්‍රාශය යන නම් ලද නිස්සත්ත්ව නිර්ජීව ස්වභාවයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම් විමසීම් නැත්තාහ, චේතනා රහිතය, අව්‍යාකෘතය, ආත්ම ශූන්‍යය. එහෙයින් නිස්සත්ත්ව වනුය, ආබන්‍ධන ස්වභාවය ලක්‍ෂණ කොට ඇත්තේය, එහෙයින් ආපො ධාතු නම් වන්නේ යයි මෙනෙහි කටයුතු.