කතාව කියවීමට සහ සිතුවම් චිත්‍ර බැලීමට ගාථාව මත click කරන්න.
14. බුද්ධ වර්‍ගය
14-1 මාගන්දියගේ එඩි බිඳ දැමූ සැටි

යස්ස ජිතං නාවජීයති ජිතමස්ස නො යාති කොචි ලොකෙ

තම්බුද්ධමනන්තගොචරං අපදං කෙන පදෙන නෙස්සථ.

යමක්හු විසින් දිනන ලද රාගාදි ක්ලේශජාතය (නැවත නොඋපදනා බැවින්) නපුරු කොට දිනන ලද්දේ නම් නො වේ ද (හෙවත් නො දිනුවා නම් නො වේ ද), ඒ බුදුහු විසින් (ඒ ඒ මගින් දිනන ලද) ඒ ක්ලේශජාතය ලොවෙහි එක ද ක්ලේශයෙක් ලුහුබැඳ නො යේ ද, (අනන්‍තාලම්බන වූ සර්‍වඥතාඥාන වශයෙන්) අපර්‍ය්‍යන්ත වූ ගෝචර ඇති (තුන් භවයෙහි පරිභ්‍රමණයට කාරණ වූ රාගපදාදීන් අතුරෙන්) එක ද පදයක් නැති ඒ සම්‍යක්සම්බුද්ධයා කවර පදයෙකින් (කවර කරුණෙකින්) ගෙණ යවු ද? (තොප වශයට පමුණුවවු ද?)

යස්ස ජාලිනී විසත්තිකා තණ්හා නත්‍ථි කුහිඤ්චි නෙතවෙ

තං බුද්ධමනන්තගොචරං අපදං කෙන පදෙන නෙස්සථ.

(හිවන වළඳනා අරුතින් දැලක් බඳු වන බැවින්) ජාලිනී නම් වූ, (රූපාදි පංචාලම්බනයෙහි ආසක්ත විෂක්ත වන හෙයින්) විසත්තිකා නම් වූ තෘෂ්ණාවෙක් යමකු කිසි භවයකට පමුණුවන්නට නැත්තේ ද, (සර්‍වඥතාඥාන වශයෙන්) අනන්ත ආලම්බන ඇති භවයෙහි ගමනට කාරණ වූ රාගාදි කිසි ද පයක් නැති ඒ සම්‍යක්සම්බුද්ධයා කවර පදයෙකින් (වශයට) පමුණුවවු ද?

14-2 යමාමහ පෙළහර

යෙ ඣානපසුතා ධිරා නෙක්ඛම්මූපසමෙ රතා

දෙවා’පි තෙසං පිහයන්ති සම්බුද්ධානං සතීමතං.

යම් ප්‍රාඥ කෙනෙක් (ආලම්බනෝපනිධ්‍යාන ලක්‍ෂණොපනිධ්‍යාන වශයෙන් ද්වීප්‍රකාර) ධ්‍යානයෙහි (ආවජ්ජනාදි පංච වශිතාවන්ගේ වශයෙන්) යුක්තප්‍රයුක්තයෝ ද, නෙක්ඛම්ම සංඛ්‍යාත ක්ලේශව්‍යපශමයෙහි (නිවනෙහි) ඇලුනාහු ද, සිහි ඇති, ඒ සම්‍යක්සම්බුද්ධයනට දෙවියෝත් මිනිස්සුත් කැමැති වෙත්. (අපිත්) බුදු වූවෝ නම් යෙහෙකැ සි බුදු බව කැමැති වන්නාහු ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත්.

14-3 ඒරකපත්ත නා රජු

කිච්ඡො මනුස්සපටිලාභො කිච්ඡං මච්චාන ජීවිතං

කිච්ඡං සද්ධම්මසවනං කිච්ඡො බුද්ධානං උප්පාදො.

මිනිසත්බව පිළිලැබීම නම් (මහත් වෑයමෙන් මහත් කුසලින් පිළිලැබියැ යුතු බැවින්) දුර්‍ලහය. සත්ත්‍වයන්ගේ ජීවිතය (හෙවත් ජීවිකාව) ද (නිරතුරු ගොවිතැන් වෙළෙඳාම් ඈ කොට දිවි පවත්වන බැවිනුත් මඳ කලක් පවත්නා බැවිනුත් කෘච්ඡ්‍ර ය (දුක් ය). දහම් ඇසීම ද (නොයෙක් කප් කෙළ සුවහස්හි දහම් දෙසන්නකු දුලබ හෙයින්) කෘච්ඡ්‍ර ය (දුර්‍ලභ ය) සම්‍යක්සම්බුද්ධවරයන් ගේ ඉපැත්ම ද (මහත් වෑයමින් අභිනීහහාරය සමෘද්ධ වන බැවිනුත් සමෘද්ධාභිනීහාර ඇති මහපුරිසක්හුගේ උපත ද නොයෙක් කප් කෙළ සුවහස්හි දු දුලබ බැවින්) කෘච්ඡ්‍ර ය (දුලබ ය).

14-4 ආනන්ද මහාතෙරුන් ඇසූ ප්‍රශ්නයෙක්

සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා

සචිත්තපරියොදපනං එතං බුද්ධාන සාසනං.

(ප්‍රාණවධාදි) සියලු අකුශලකර්‍ම නොකිරීම ද, (ගේ හැර පැවිදි වූ තැන් පටන් රහත් පලයට පැමිණෙන තැන් දක්වා සියලු ලොවි ලොවුතුරා කුසල් ඉපැදැවීම ද, උපදවන ලද කුසලයේ වැඩීම ද, (පංච නීවරණ කෙරෙන්) තමා සිත පිරිසිදු කිරීම ද, යන මේ සියල්ල සියලු බුදුවරයන් ගේ අනුශාසන යි (අවවාද යි).

ඛන්තී පරමං තපො තිතික්ඛා

නිබ්බාණං පරමං වදන්ති බුද්ධා

න හි පබ්බජිතො පරූපඝාතී

සමණො හොති පරං විහෙඨයන්තො.

(පරාපකාර පරාපවාද ඉවැසීම යන මේ) අධිවාසනක්‍ෂාන්තිය (අකුශලධර්‍ම තවන හෙයින් මේ ශාසනයෙහි) උතුම් තපසෙක. සියලු බුදු පසේබුදු රහත්හු නිවන (ශාන්තතාප්‍රණීතතාදි සර්‍වාකාරයෙන්) උතුමැ යි කියත්. පරහට හිංසා කරණ සුලු වූයේ (හෙවත් මෙරමා දිවි නසන සුලු වූයේ) පැවිදි නම් නො වෙයි. (පාණීප්‍රහාරාදියෙන්) පරහට වෙහෙස දෙන්නේ ද මහණ නම් නො වන්නේ ය.

අනූපවාදො අනූපඝාතො පාතිමොක්ඛෙ ච සංවරො

මත්තඤ්ඤුතා ච භත්තස්මිං පන්තඤ්ච සයනාසනං

අධිචිත්තෙ ච ආයොගො එතං බුද්ධාන සාසනං.

(ජාත්‍යාදියෙන් පරහට ආක්‍රෝශාදි වශයෙන්) වචසින් උපවාදයක් නොකිරීම ද, (පාණිප්‍රහාරාදි වශයෙන් පරහට) කයින් උපඝාතයක් නොකිරීම ද, පාතිමොක්ඛයෙහි සංවරය ද, (පාමොක් සිල් රැක්ම ද), ආහාරයෙහි මාත්‍රඥතාව ද (හෙවත් අහර පිරියෙස්නෙහිත් පිළිගැන්මෙහිත් වැළැඳීමෙහිත් පරහට දීමෙහිත් පමණ දන්නා බව ද) (නොහොත් දැහැමින් සෙමෙන් උපන් සතර පසය පස්විකා වළඳන බව ද) (ජනවිවික්ත) ප්‍රාන්ත ශයනාසනයෙහි ඇල්ම ද (හෙවත් ගමට දුරු වූ ගැඹුරු වල්හි වූ සෙනස්නෙහි ඇල්ම ද), රූපාරූප අෂ්ටසමාපත්තියෙහි සතතයෙන් යෙදීම ද යන මේ සියල්ල සියලු බුදුවරයන් ගේ අනුශාසන යි (අවවාද යි).

14-5 සසුනෙහි නො ඇලුනු මහණෙක්

න කහාපණවස්සෙන තිත්ති කාමෙසු විජ්ජති

අප්පස්සාදා දුඛා කාමා ඉති විඤ්ඤාය පණ්ඩිතො.

කහවණු වැස්සෙනුදු (අහස බලා අත පොළාපු කල්හි දොළොස් යොත්නක් තන්හි හිනක් පමණ වස්නා සත් රුවන් වැස්සෙනුදු) වස්තුකාම ක්ලේශකාමයෙහි තෘප්තියෙක් නො වේ. වස්තුකාමක්ලේශකාමයෝ (සිහිනෙන් පූ පැනක් මෙන්) අස්වාද රහිතයහ. බොහෝ දුක් ඇත්තාහ. නුවණැති මහණ තෙම (කාමයෝ ආස්වාද රහිතයහ. බොහෝ දුක් ඇත්තාහ යි) මෙසේ දැන,

අපි දිබ්බෙසු කාමෙසු රතිං සො නාධිගච්ඡති

තණ්හක්ඛයරතො හොති සම්මාසම්බුද්ධසාවකො.

(මානුෂක කාමයන් තබා) දිව්‍ය වූ පංචකාමයෙහි ද ඒ නුවණැති මහණ තෙම ඇල්මකට නො පැමිණෙන්නේ ය. සම්‍යක්සම්බුද්ධශ්‍රාවක තෙම (තෘෂ්ණාවගේ ක්‍ෂයාන්තයෙහි උපන් හෙයින් තෘෂ්ණාක්‍ෂය නම් වූ) රහත්පලෙහි ද (තෘෂ්ණක්‍ෂයට නිමිති වූ හෙයින් තෘෂ්ණාක්‍ෂය නම් වූ) නිර්‍වාණයෙහි ද ඇලෙන්නේ ය. (එය පතමින් කැමැති වැ වසන්නේ ය)

14-6 අග්ගිදත්ත පුරෝහිතයා

බහූ වෙ සරණං යන්ති පබ්බතානි වනානි ච

ආරාමරුක්ඛචෙත්‍යානි මනුස්සා භයතජ්ජිතා.

(රාජභයාදි) බියෙන් තැති ගත් බොහෝ මිනිස්සු (ඉසිගිලි වේපුල්ල ආදි) පර්‍වතයන් ද (සුභගවන මහාවන ගෝසිංගසාලවනාදි) වනයන් ද, (වේළුවන ජිවකම්බවනාදි) ආරාමයන් ද ඒකාන්තයෙන් සරණ යන්නාහ. (සරණ කොට සලකන්නාහ.)

නෙතං ඛො සරණං ඛෙමං නෙතං සරණමුත්තමං

නෙතං සරණමාගම්ම සබ්බදුක්ඛා පමුච්චති.

මෙ කී සියලු ශරණය නිරූපද්‍රව (නිර්‍භය) නො වෙයි. මෙ කී ශරණය (මේ නිසා එක ද සතක්හු ජාතිජරාමරණයෙන් නොමිදෙන බැවින්) උතුම් ද නො වෙයි. මෙ කී (පර්‍වතාදි) ශරණයට පැමිණ සියලු දුකින් (කිසි කලෙකත්) නො මිදෙන්නේ ය.

යො ච බුද්ධඤ්ච ධම්මඤ්ච සඞ්ඝඤ්ච සරණං ගතො

චත්තාරි අරියසච්චානි සම්මප්පඤ්ඤාය පස්සති.

යමෙක් සම්‍යක්සම්බුද්ධයන් ද සද්ධර්‍මය ද අෂ්ටාර්‍ය්‍යපුද්ගල සඞ්ඝයා ද සරණ ගියේ වේ නම් (සරණ යැ යි දත්තේ වේ නම්), සතර ආර්‍ය සත්‍යයන් මනා කොට විදර්‍ශනාඥාන ඇසින් දක්නේ වේ නම්,

දුක්ඛං දුක්ඛසමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං

අරියඤ්චට්ඨඞ්ගිකං මග්ගං දුක්ඛූපසමගාමිනං.

(ත්‍රෛභූමිකවෘත්තසංඛ්‍යාත) දුඃඛසත්‍යත් ඒ දුක උපදවන තෘෂණාසංඛ්‍යාත) සමුදයසත්‍යයත් ඒ දුඃඛයාගේ ඉක්මීමට කාරණ වු (නිර්‍වාණසංඛ්‍යාත) නිරෝධසත්‍යයත් (දුක්ඛනිරෝධයට පමුණුවන උතුම් වූ අෂ්ටාඞ්ගිකමාර්‍ග සංඛ්‍යාත) මාර්‍ගසත්‍යයත් මනා කොට නුවණැසින් දක්නේ වේ නම්,

එතං ඛො සරණං ඛෙමං එතං සරණමුත්තමං

එතං සරණමාගම්ම සබ්බදුක්ඛා පමුච්චති.

(රත්නත්‍රයය ශරණ යෑම ය, චතුරාර්‍ය්‍යසත්‍යයන් මොනොවට දැක්ම ය යන) මේ ශරණය ම නිර්‍භය ය. මේ ශරණය ම (සියලු දුකින් මිදීමට කරුණු වූ හෙයින්) උතුම් ය. මේ ශරණයට පැමිණ සත්ත්‍ව තෙම සියලු සසරදුකින් මිදෙන්නේ ය.

14-7 ආනන්ද මහාස්ථවිරයන් වහන්සේගේ ප්‍රශ්නය

දුල්ලභො පුරිසාජඤ්ඤො න සො සබ්බත්‍ථ ජායති

යත්‍ථ සො ජායති ධීරො තං කුලං සුඛමෙධති.

පුරුෂාජානේය (හෙවත් උත්තම පුරුෂ) තෙම දුර්‍ලභ ය. හෙ තෙම හැම තැන්හි ම උපදෙන් නො වෙයි. ඒ ප්‍රාඥ තෙම යම් කුලයෙක උපදනේ ද, ඒ කුලය සුවයට පැමිණෙන්නේ ය. (සැපතින් වැඩෙන්නේ ය.)

14-8 බොහෝ භික්‍ෂූන් එක්ව කළ කථාවක්

සුඛො බුද්ධානං උප්පාදො සුඛා සද්ධම්මදෙසනා

සුඛා සඞ්ඝස්ස සාමග්ගී සමග්ගානං තපො සුඛො.

සම්‍යක්සම්බුද්ධවරයන්ගේ ඉපැද්ම සුවයට කාරණ ය. සද්ධර්‍මදේශනාව ද සුවයට කාරණ ය. ඝඞ්ඝයා ගේ සමග බව ද (එක් සිත් බව ද) සුවයට කාරණ ය. සමග වූ භික්‍ෂූන් ගේ තපස ද (බුඞවචනය උගන්නට ද ධූතාංග පරිහරණයට ද මහණදම් රක්නට ද පිළිවන් හෙයින්) සුවට කාරණ ය.

14-9 රන් සෑයෙක්

පූජාරහෙ පූජයතො බුද්ධෙ යදි ව සාවකෙ

පපඤ්චසමතික්කන්තෙ තිණ්ණසොකපරිද්දවෙ.

(ආමිස ප්‍රතිපත්ති දෙකින්) පිදීමට සුදුසු වූ, (තෘෂ්ණා දෘෂ්ටි මාන යන තුන්) ප්‍රපංචයන් මොනොවට ඉක්මියා වූ, ඉක්ම ගිය ශෝක පරිද්‍රව ඇති (හෙවත් ශෝකපරිද්‍රව දුඃඛයෙන් එතෙර ට ගියා වූ) බුදු පසේබුදුන් ද නොහොත් බුදුසව්වන් ද වන්‍දනමානනාදියෙන් සිවු පසයෙනුත් යමෙක් පුදා ද,

තෙ තාදිසෙ පූජයතො නිබ්බුතෙ අකුතොභයෙ

න සක්කා පුඤ්ඤං සඞ්ඛාතුං ඉමෙත්තමපි කෙනචි.

රාගාදි කෙලෙස්ගිනි නිවීමෙන් නිවුනු සිත් ඇති, කිසි බියෙකින් වත් අරමුණෙකින් වත් උවදුරක් නැත්තා වූ, එ බඳු (හෙවත් මෙකී ගුණෙන් යුත්) ඒ බුදු පසේබුදු සව්වන් (දිවමන් කල්හි ද පිරිනිවි කල්හි ද) පුදන්නහුගේ පින්කම් මේ මෙතෙකැ යි ගණින්නට කිසි පුද්ගලයකු විසිනුදු නො පිළිවනි.