සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා
සචිත්තපරියොදපනං එතං බුද්ධාන සාසනං.
(ප්‍රාණවධාදි) සියලු අකුශලකර්‍ම නොකිරීම ද, (ගේ හැර පැවිදි වූ තැන් පටන් රහත් පලයට පැමිණෙන තැන් දක්වා සියලු ලොවි ලොවුතුරා කුසල් ඉපැදැවීම ද, උපදවන ලද කුසලයේ වැඩීම ද, (පංච නීවරණ කෙරෙන්) තමා සිත පිරිසිදු කිරීම ද, යන මේ සියල්ල සියලු බුදුවරයන් ගේ අනුශාසන යි (අවවාද යි).
ඛන්තී පරමං තපො තිතික්ඛා
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
න හි පබ්බජිතො පරූපඝාතී
සමණො හොති පරං විහෙඨයන්තො.
(පරාපකාර පරාපවාද ඉවැසීම යන මේ) අධිවාසනක්‍ෂාන්තිය (අකුශලධර්‍ම තවන හෙයින් මේ ශාසනයෙහි) උතුම් තපසෙක. සියලු බුදු පසේබුදු රහත්හු නිවන (ශාන්තතාප්‍රණීතතාදි සර්‍වාකාරයෙන්) උතුමැ යි කියත්. පරහට හිංසා කරණ සුලු වූයේ (හෙවත් මෙරමා දිවි නසන සුලු වූයේ) පැවිදි නම් නො වෙයි. (පාණීප්‍රහාරාදියෙන්) පරහට වෙහෙස දෙන්නේ ද මහණ නම් නො වන්නේ ය.
අනූපවාදො අනූපඝාතො පාතිමොක්ඛෙ ච සංවරො
මත්තඤ්ඤුතා ච භත්තස්මිං පන්තඤ්ච සයනාසනං
අධිචිත්තෙ ච ආයොගො එතං බුද්ධාන සාසනං.
(ජාත්‍යාදියෙන් පරහට ආක්‍රෝශාදි වශයෙන්) වචසින් උපවාදයක් නොකිරීම ද, (පාණිප්‍රහාරාදි වශයෙන් පරහට) කයින් උපඝාතයක් නොකිරීම ද, පාතිමොක්ඛයෙහි සංවරය ද, (පාමොක් සිල් රැක්ම ද), ආහාරයෙහි මාත්‍රඥතාව ද (හෙවත් අහර පිරියෙස්නෙහිත් පිළිගැන්මෙහිත් වැළැඳීමෙහිත් පරහට දීමෙහිත් පමණ දන්නා බව ද) (නොහොත් දැහැමින් සෙමෙන් උපන් සතර පසය පස්විකා වළඳන බව ද) (ජනවිවික්ත) ප්‍රාන්ත ශයනාසනයෙහි ඇල්ම ද (හෙවත් ගමට දුරු වූ ගැඹුරු වල්හි වූ සෙනස්නෙහි ඇල්ම ද), රූපාරූප අෂ්ටසමාපත්තියෙහි සතතයෙන් යෙදීම ද යන මේ සියල්ල සියලු බුදුවරයන් ගේ අනුශාසන යි (අවවාද යි).
දවසක් ආනන්ද ස්ථවිරයන් වහන්සේ දාවල එකලා ව “අපගේ බුදුරජානන් වහන්සේ විපස්සී ආදී වූ බුදුරජුන් සත් නමකගේ මවු පියන් ගැණ ආයුෂ ගැණ බෝරුක් ගැණ ශ්‍රාවක රැස්වීම් ගැන කරුණු වදාළෝ නමුත්, ඒ බුදුරජුන්ගේ පොහොය කිරීම් ගැණ කිසිත් නො වදාළ සේක, ඒ බුදුරජුන්ගේ පොහොය කිරීම අප බුදුරජුන්ගේ පොහොය කිරීමට වඩා වෙනස් ද? නැත, සම දැ” යි සිතා බුදුරජුන් වෙත ගොස් එය ඇසූහ. උන්වහන්සේ “විපස්සී බුදුරජානන් වහන්සේ සත් අවුරුද්දකට වරක් පොහොය කරණ සේක, එය සත් අවුරුද්දට ම අවවාද වසයෙන් ප්‍රමාණවත් වේ, සිඛී බුදුරජහු හා වෙස්සභූ බුදුරජහු සාවුරුද්දකට වරක් පොහොය කරණ සේක, පොහොය කරණදා උන්වහන්සේලා කරණ ඒ අවවාදය සාවුරුද්දට ම ප්‍රමාණවත් ව සිටියේ ය, කකුසඳ කෝණාගමන බුදුරජහු අවුරුද්දට එක් දවසක් පොහොය කරණ සේක, එය ඒ අවුරුද්දට ම සෑහී සිටියි, කසුප් බුදුරජුන්ගේ පොහොය කිරීම සමසකට එක් වරක් ම වේ, එදා කළ ඒ පොහොය සමසෙහි ම ක්‍රියාත්මක වේ, මෙසේ ඒ ඒ බුදුරජුන්ගේ පොහොය කිරීමෙහි කාලය පිළිබඳ වෙනස මුත් පොහොය කිරීමෙහි වෙනසෙක් නැතැ” යි වදාරා මේ ගාථාවන් වදාළ සේක.
සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා,
සචිත්තපරියොදපනං එතං බුද්ධානසාසනං.
.
ඛන්තී පරමං තපො තිතික්ඛා
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා,
න හි පබ්බජිතො පරූපඝාතී
සමණො හොති පරං විහෙඨයන්තො.
.
අනූපවාදො අනූපඝාතො පාතිමොක්ඛෙ ච සංවරො,
මත්තඤ්ඤුතා ච භත්තස්මිං පන්තංච සයනාසනං,
අධිචිත්තෙ ච ආයොගො එතං බුද්ධාන සාසනත්ති.
සියලු පව් නො කිරීම, කුසල් ඉපදවීම, වැඩීම, සිය සිත පිරිසිදු කිරීම, පව් නො කිරීම, යන මෙය බුදුරජුන්ගේ අනුශාසනා ය.
ඉවසීම නැමැති ක්‍ෂාන්තිය උතුම් තපසෙකි. බුදුරජහු නිවන උතුමැයි කියත්. අනුන් පෙළනුයේ පැවිද්දෙක් නො වේ. අනුන් වෙහෙසන්නේ මහණෙක් නො වේ.
උපවාද නො කීරීම, හිංසා නො කීරීම, ප්‍රාතිමෝක්‍ෂ ශීලයෙහි සංවරය, අහරෙහි පමණ දැනීම, ගමට දුර වන සෙනසුනෙහි ඇලීම අට සමවත්හි නිති යෙදීම යන මේ සියල්ල බුදුරජුන්ගේ අනුශාසනා ය.
සබ්බපාපස්ස අකරණං = සියලු පව් නො කිරීම.
කාය වාක් දෙ දොර පහළ වන හටගැනෙන පව් නො කොට, හැරීම මෙයින් අදහස් කරණ ලද්දේ ය. ඒ නම් ආභිසමාචාරික ආදි බ්‍රහ්මචරියක වශයෙන් දෙපරිදි වූ ප්‍රාතිමෝක්‍ෂසංවර - ඉන්‍ද්‍රියසංවර - ආජීවපාරිශුධි - ප්‍රත්‍යය සන්නිශ්‍රිත යන චතුපාරිසුද්ධි සීලය රැකුම ය. සීල සංවරයෙන් සියලු පව් දුරුකීරීම මෙයින් වදාළ සේක. දැවුනු තාක් සිල් ‘සබ්බපාපස්ස අකරණං’ යන මෙහි ඇතුළත් ය. කාය වාක් දෙ දොරෙහි පිරිසිදු බව මින් දන්නේ ය. ශීලකථාව කියන ලදී. ඒ බලන්නේ ය.
කුසලස්ස උපසම්පදා = කුසල් ඉපදවීම, වැඩීම.
ලෞකික - ලෝකෝත්තර - ශමථ - විදර්‍ශනා වශයෙන් පැමිණිය යුතු ලැබිය යුතු කාමාවචරාදී වූ සිවුබිම පිළිබඳ කුසල් ඉපදවීම හා ඉපද වූ කුසල් වැඩීම මින්, ගැණේ. ශමථ විදර්‍ශනාවන් ගෙන් ලැබිය යුත්තේ සමාධිය යි. ඒ සමාධි ප්‍රතිලාභය ‘කුසලස්ස උපසම්පදා’ නම්. “උපසම්පදා ති අභිනික්ඛමන්තො පට්ඨාය යාව අරහත්තමග්ගා කුසලස්ස උප්පාදඤ්චෙ ව උප්පාදිතස්ස ච භාවනා” යනු අටුවා. සමථ නම්, අෂ්ට සමාපත්තීන්හි වූ සිතේ එකඟ බවය. එය විදර්‍ශනා පාදක කොට සිටියේ ය. විදර්‍ශනා නම්, අනිච්චානුපස්සනා - දුක්ඛානුපස්සනා - අනත්තානුපස්සනා - නිබ්බිදානුපස්සනා - විරාගානුපස්සනා - නිරෝධානුපස්සනා - පටිනිස්සග්ගානුපස්සනා යන සත් වැදෑරුම් අනුපස්සනා ය.
සචිත්තපරියොදපනං = සිය සිත පිරිසිදු කිරීම.
සිත පිරිසිදු කිරීම නම්, පංච නීවරණ ධර්‍මයන්ගෙන් සිත නිදහස් කොට ගැණීම ය. පංචනීවරණ නැති කිරීමෙන් සිත පිරිසිදු වේ. ශමථ විදර්‍ශනා මාර්‍ගඵලාවබෝධයෙන් ලැබෙන ප්‍රඥාවෙන් පංච නීවරණයන්ගේ නැසීම සිදු වේ. ශමථ විදර්‍ශනා මාර්‍ග ඵලාවබෝධයක් නැති ව නීවරණය නැසීමෙක් නො වන්නේ ය. කෙලෙස් නසා රහත්ඵලයට පැමිණීම මෙයින් වදාරණ ලද ය. “සචිත්තපරියොදපනන්ති නීවරණෙහි අත්තනො චිත්තස්ස වොදපනං” යනු අටුවා.
සීල බලයෙන් කය - වචන දෙකින් සිදු වන පව් නසා හෙවත් මැනැවින් සිල් රැක, ශමථ - විදර්‍ශනා බලයෙන් චාතුර්භුමික කුශලයන් උපදවා වඩා රහත්ඵලයට පැමිණ සිත පිරිසිදු කළ යුතු ය, යනු මේ ගාථාවේ ප්‍රථම - ද්විතීය - තෘතීය පාදයන්ගෙන් ලැබෙන අර්‍ත්‍ථය යි. ශීල - සමාධි - ප්‍රඥා ශික්‍ෂාත්‍රය ය මෙයින් කියවේ.
එතං බුද්ධාන සාසනං = මේය බුදුවරුන්ගේ අනුශාසනා.
හික්ම විය හැකි ජනයන්ට නිවන් මග පෙන්වා ඔවුන් එහි ගමන් කරවනු පිණිස දෙසූ දේශනාමාර්‍ගය වදාළ ධර්‍ම මාර්‍ගය අවවාදය අනුශාසනා නම්. ශාස්තෘශාසන - සුගතෝවාද - සද්ධර්‍ම බ්‍රහ්මචර්‍ය්‍ය යන නම් ද මේ සඳහා යෙදේ.
ඛන්ති පරමං තපො තිතික්ඛා = ඉවසීම නම් වූ ක්‍ෂාන්තිය උතුම් තපසෙකි.
“ඛනතී ති යා එසා තිතික්ඛා සඞ්ඛාතා ඛන්ති නාම, ඉදං ඉමස්මිං සාසනෙ පරමං උත්තමං තපො” තිතික්ඛා යන නමින් කියන යම් මේ ඉවසීමෙක් වේ ද මේ ය මේ ශාසනයෙහි උතුම් තපස, යනු අටුවා.
ඉවසීම නම් වූ ක්‍ෂාන්තිය, අධිවාසනා ක්‍ෂාන්ති - ධර්‍මනිද්ධ්‍යාන ක්‍ෂාන්ති යි දෙපරිදි ය. පරාවිසින් කියන කරණ තමාට නුරුස්නා දෙය ඉවසීම අධිවාසනා ක්‍ෂාන්ති නම්. ප්‍රතිපදාඥානදර්‍ශන විශුද්ධි කාලයෙහි සංස්කාර ධර්‍මයන් පිළිබද අනිත්‍යභාවධර්‍මයන් ඇති සැටියෙන් දැන ගැණීමෙන් සංස්කාර ධර්‍මයන් අරමුණු කොට උපදනා විදර්‍ශනාඥානය ධර්‍මනිද්ධ්‍යාන ක්‍ෂාන්ති නම් වේ. මෙහි අභිමත අධිවාසනා ක්‍ෂාන්ති ය යි. කොටින් කියතොත් ඉවසීමැ යි කිය යුතු යි.
“තත්‍ථ කතමා ඛන්ති? ඛමනතා අධිවාසනතා අචණ්ඩික්කං අස්සුරොපො අත්තමනතා” යනු එය පැහැදිලි කළ සැටි යි. මේ හැම පදයකින් අධිවාසනා ක්‍ෂාන්තිය කිය වේ. අනුන් විසින් කරන කියන නුරුස්නා දෙයට එකට එක නො කොට පළි නො ගෙණ ඒ හැම එකක් තමන් පිටට ගෙණ විසීම ඇණුම් බැණුම් ආදියෙන් අනුන්ගේ ඇස්හි කඳුලු නො උපදවා නො කිපී විසීම හැම එකක් කෙරෙහි වෛර නැති ව සතුටු සිතින් යුක්ත ව විසීම ඉවසීමය යි ඒ පද සමූහයෙන් වඩ වඩාත් පැහැදිලි කළහ.
“ඛමතීති = ඛන්ති, ඛමනං = ඛන්ති” යනු විවරණ යි. ඉවසානු යි ඛන්ති නම්. ඉවසීම ඛන්ති නම් වා. පාරමීභාවයට යන්නී ද මෝ ය. ඉවසීම මෙහි ලක්‍ෂණ ය. හොඳ නො හොඳ දරා ගැණීම මෙයින් කෙරෙන්නේ ය. අවිරුද්ධභාවය මෙහි වැටහීම ය. ආසන්නය ඇති සැටි දැකීම ය. ඇති සැටි දකින්නාහට ඉවසිය හැකි ය. ඉවසීමෙන් කෙරෙණුයේ හැම හොඳ නො හොඳක් ම තමන් පිට නගා ගැණීම ය. වීර්‍ය්‍යය නිසා මෙය සිදු වන්නේ ය. වීර්‍ය්‍යයය ඇත්තහුට ඒ ඒ සත්ත්‍වයන්ගෙන් හා අවු සුළං ආදියෙන් සිදු වන හැම ගැහටක් ඉවසිය හැකි ය. වීර්‍ය්‍යය ඇත්තහුට ඉවසීම අවශ්‍යයෙන් තිබිය යුතු ය. වීර්‍ය්‍යවත්හුගේ ඉවසීම ම ප්‍රශස්ත ය. උසස් ය. යම් යම් දුබල කම් නිසා කෙරෙණ ඉවසීම නියම ඉවසීමෙක් නො වේ. එය බැරි කම් නිසා නො සිතා නො බලා කෙරෙන්නේ ය. බලවත්හුගේ ඉවසීමය ඉවසීම.
“යො හවෙ බලවා සන්තො දුබ්බලස්ස තිතික්ඛති,
තමානු පරමං ඛන්තිං නිච්චං ඛමති දුබ්බලො”
යනු දන්නේ ය.
“සොරෙක් වෙහි, මෝඩයෙක් වෙහි, ඔටුවෙක් වෙහි, ගොනෙක් වෙහි, කොටළුවෙක් වෙහි, තිරිසනෙක් වෙහි, නැත තට සුගතියෙක්, තා දුගතිය ම කැමැති විය යුතුය” යනාදින් දශ අක්‍රෝශ වස්තුන්ගෙන් ආක්‍රෝශ කරණවිට හා අවූ සුළං මැසි මදුරු සප් සාපවස් ආදියෙන් උපදනා දුක්ඛවේදනා පැමිණිවිට හා ඉවසනු ද උතුමන්ගේ ස්වභාව ය යි.
මේ එක් උතුමකු ඉවසූ සැටි:- ලෝමසනාග මහාතෙරණුවෝ සෑගිරියෙහි පියඟු ගුහාවෙහි පධානඝරයෙහි වැඩ වසන සේක් නවම් මැදින් දෙමස අතර හිම වැටෙන අට දවසෙහි ලෝකන්තරික නරකය සිහි කොට කමටහන් නො හැර එලිමහනෙහි කල් ගෙවූහ. එසේ ම උන්වහන්සේ දැඩි වූ උෂ්ණයද ඉවසූහ. ඝර්‍මකාලයෙහි බතින් පසු කමටහන් මෙනෙහි කරමින් සක්මන් කළහ. ඒ වේලෙහි උන්වහන්සේගේ කිහිලිවලින් ඩහ ගලන්නට වන. ඒ දුටු අත වැස්සකු “ස්වාමීනි! මෙහි හිදිනු මැනැව, මෙතැන සිහිල්” යි දැන් වූ කල්හි ද අවීචි මහා නරකය ගැණ සිහි කොට එහි ම හුන්හ.
මේ තවත් උතුමකු ඉවසූ සැටි:- දවසක් පධානිය මහා තෙරණුවෝ ඛණ්ඩවෙල විහාරයෙහි පධානඝරයෙහි ආර්‍ය්‍යවංශ ප්‍රතිපදාව අසමින් හුන්හ. ඒ වේලෙහි ඝෝර විෂ ඇති සර්‍පයකු විසින් දෂ්ටකරණු ලැබූ උන්වහන්සේ ඒ බව දැන පහන් සිත් ඇති ව ම බණ ඇසූහ. විෂවේගය තද ව ගියේය. ඒ අතර උපසම්පදා වූ තැන් පටන් තම සීලය ගැණ සලකා බැලූ උන්වන්සේට තමන්ගේ සීලයෙහි කිසිත් කිලිටෙක් නැතැ යි දනීමෙන් මහත් ප්‍රීතියෙක් උපන. ඒ හා ම ඇඟ දැවෙමින් තිබූ ඒ විෂවේගය පොළොවට බැස ගියේ ය. එහිදී ම උන්වහන්සේ රහත් වූහ.
මේ තවත් උතුමෙකු ඉවසූ සැටි:- එක් පිණ්ඩපාතික තෙර කෙනකුන් වහන්සේ ගවරවාල අඞ්ගන විහාරයෙහි රෑ බණ අසමින් හුන්හ. ඒ වේලෙහි උන්වහන්සේගේ කෙණ්ඩාමස පොළඟකු විසින් අඬුවකින් ගනු ලබන්නා සේ ඩැහ ගණු ලැබී ය. උන්වහන්සේ බණට අන්තරායයක් නො කොට පොළඟා අල්ලා ථවිකයෙහි බහා විෂවේගය ඉවසා බණ ඇසූහ. එලිවන යාමයෙහි විෂබැසීම ස්‍රෝතාපත්ති ආදී ත්‍රිවිධ මාර්‍ග ඵලයට පැමිණීම බණ හමාර කිරීම යන මේ තුණ එක විට ම සිදු විය. අනතුරුව උන්වහන්සේ පොළඟා මුදා හළහ.
මේ තවත් උතුමෙකු ඉවසූ සැටි:- දවසක් ආර්‍ය්‍යවංශ ප්‍රතිපදාව පිළිබඳ ධර්‍මද්ශනා කරමින් හුන් දීඝභාණක අභය ස්ථවිරයන් වහන්සේට මහා ලාභසත්කාර උපන. එහි සිටි අන් තෙර නමක් ඒ දැක ඉවසනු නො හැකි ව ඇණුම් බැණුම් කරන්නට විය. දවසක් මේ දෙදෙනා වහන්සේ එක් ව මගට බැස ගියහ. ඒ යන අතර ගව්වක් දිගට ම අභය තෙරුන්ට මේ අනෙක් ස්ථවිරයන් වහන්සේ ඇණුම් බැණුම් කළහ. එහෙත් අභය තෙරණුවෝ ඒ කිසිවකින් කෝපයට නො පැමිණියහ. ඒ සියලු ගැරහුම් ඉවසූහ.
මේ තවත් උතුමෙකු ඉවසූ සැටි:- සිතුල්පවු වෙහෙර වැසි පධානිය තෙරුන්ට රෑ භාවනාවෙහි යෙදී සිටියදී උදර වාතයෙක් හට ගැණුනේ ය. රෑ නිදි වැරීමෙන් නැගුනු වාත කෝපය ඉවසනු නො හැකි ව එහාට මෙහාට පෙරළෙමින් හුන් උන්වහන්සේ දුටු අන් තෙර නමක් “ඇවත! පැවිද්දා නම් ඉවසන්නකු විය යුතු ය” යි කී කල්හි පධානීය තෙරණුවෝ සියලු වාත වේදනාවන් මැඩ නිසල ව හොත් හ. බලවත් ව නැගී සිටි වාතය නැබ පටන් පපුව තෙක් පැතිර ලය පළාගෙණ යන සේ පැවැත්තේ ය. ස්ථවිරයන් වහන්සේ වේදනා මැඩ විදසුන් වඩා අනගැමිපලයට පැමිණ පිරිනිවියාහ.
මෙහි මෙසේ ඉතා සැකෙවින් කියූ අධිවාසනාක්‍ෂාන්තිය හෙවත් ඉවසීම කුදු මහත් හැම සැපතක් සිදු කරණ බව මේ කියු කෙටි කතාවන්ගෙන් පැහැදිලි ය. එහෙයින් ක්‍ෂාන්තිය මඞ්ගල නම් ද වේ.
“කොධං වධිත්‍වා න කදා සොචති
මක්ඛප්පහානං ඉසයො වණණයන්ති,
සබ්බෙසං වුත්තං ඵරුසං ඛමෙථ
එතං ඛන්තිං උත්තමමාහු සන්තො.
.
භයානි සෙට්ඨස්ස වචො ඛමෙථ
සාරම්භහෙතු පන සාදිසස්ස,
යො චිධ හීනස්ස වචො ඛමෙථ
එතං ඛන්තිං උත්තමමාහු සන්තො”
යනු සරභඞ්ග තාපසයන් සක්දෙව්රජහට කළ එක් ධර්‍ම දේශනා වකි. “ක්‍රෝධය නැසීම් හේතුවෙන් කවදාත් ශෝක නො කර යි, සෘෂීහු අනුන්ගේ ගුණ මකා දැමීමෙන් තොරවීම, අකෘතඥතා යි කියන මක්ඛය පහකිරීම උසස් සේ වර්‍ණනා කෙරෙත්, සියල්ලන් කියු පරුෂ වචන මිනී මරු වචන ඉවසිය යුතු ය, සත්පුරුෂයෝ පැරණි පඬිවරු මේ ඉවසීම උතුම් යැ යි කියත්,
භය හේතුවෙන් ශ්‍රේෂ්ඨයා කියන වදන් ඉවසන්නේ ය, එකට එක කිරීම නිසා සමානයා කියන වදන් ඉවසන්නේ ය. මේ මිනිස් ගණයෙහි යමෙක් ජාතිගෝත්‍රාදියෙන් තමාට වඩා ලාමකයකු පහත් තැන සිටියකු කියන වචන ඉවසා නම්, මේ ඉවසීම උතුම්, යි සත්පුරුෂයෝ කියත්” යනු අරුත්.
පෙර එක් කලෙක දෙවියන් හා අසුරයන් අතර යුද්ධයෙක් හට ගැණුනේ ය. එහි දී දෙවියන්ට ජය අත් විය. දෙවියෝ අසුර සේනාධිපති වූ වේපචිත්ති අසුරයා බැඳ සක්දෙව්රජ වෙත ගෙණ ගියහ. ඒ වේලෙහි ඔහු සක්දෙව්රජුට “තෝ හොරෙක් වෙහි, මෝඩයෙක් වෙහි” යන ඈ ලෙසින් ආක්‍රෝශ කරමින් “ජර සක්ක! තෝ හැමදා දිනන්නෙහි, යම් දවසෙක අපටත් දිනීමෙක් වී නම් එදාට තා බැඳ අසුර භවනයෙහි දොරටුව වෙත නිදි කරවා තළවන්නෙමි” යන ඈ කියමින් ගැරහී ය. සක් දෙව්රජ තෙමේ ඒ කිසිත් ගණනකට නො ගත්තේ ය. එවිට මාතලී රියැදුරු “මෙ තෙමේ මේ ඇණුම් බැණුම්වලට පළි නො ගෙන සිටිනුයේ අසුරයනට බිය නිසා ද, නැත, දුබලකම් නිසා ද, නැත, ඉවසීම නිසා දැයි සිතා සක්දෙව්රජු වෙත ගොස් ඒ ඇසී ය. එකල සක් දෙව් තෙමේ “නාහං භයා න දුබල්‍යා ඛමාමි” මම බියෙන් නො ඉවසමි, දුබල කම නිසා නො ඉවසමි, යි කියා මෙසේ ද කී ය.
“සදත්‍ථපරමා අත්‍ථ ඛන්ත්‍යා භීය්‍යො න විජ්ජති,
යො හවෙ බලවා සන්තො දුබ්බලස්ස තිතික්ඛති,
තමාහු පරමං ඛන්තිං නිච්චං ඛමති දුබ්බලො” යි.
සියලු දේ තමන්ගේ ප්‍රයෝජනය පිණිස පවතී. තමන්ගේ ප්‍රයෝජනය පිණිස පවත්නා ඒ දේ අතුරෙහි ඉවසීම තරම්, ඉවසීමට වඩා උසස් වූ ගුණයෙක් බලයෙක් නැත. යමෙක් බලවත් ව සිට අබලයන් දුබලයන් කියන කරණ හැම එකක් ඉවසා නම් ඒ මය උතුම් ඉවසීම. දුබලයා තමගේ දුබලබව නිසා හැමදා ඉවසන්නේ ය.
බුදුරජානන් වහන්සේ දවසක් භික්‍ෂූන්ට නො ඉවසා කටයුතු කිරීමෙහි වරද දක්වනු පිණිස භික්‍ෂූන් ඉවසීමෙහි යොදනු පිණිස වේදේහිකාවස්තුව දක්වා වදාළ සේක.
මේ ඒ වේදේහිකාවස්තුව:- යටගිය දවස සැවැත් නුවර වේදේහිකා නම් ගැහැණියක් වූ ය, ඕ සුරත ය, පහත් පැවැතුම් ඇත්තී ය, නිවුනීය, යි රට පුරා පැතිර ගියා ය, ඒ ගෙයි වුසූ කාලී නම් දැස්ස “අපගේ ස්වාමි දුවගේ මේ උසස් ප්‍රසිද්ධිය විමසා බලමි” යි දවසක් ඉර උදාවී බොහෝ වේලා ගිය පසු නින්දෙන් නැගී සිටියා ය, එ කල්හි වේදේහිකා තොමෝ “කෙල්ල! බොහෝ වේලා නිදි ගත්තෙහි අපහසු ව කිමැ?” යි ඇසූ ය, ඕ “අපහසුවෙක් නැතැ” යි පිළිතුරු දින, “එසේ නම් මෙතෙක් ඉර නගිනතුරු නිදි ගත්තෙහි කිමැ” යි දැස්සට තරවටු කළා ය. දැස්ස, ස්වාමිදුව වඩාලාත් විමසන්නට සිතා පසුදා වඩාත් දවල් කොට නින්දෙන් නැගී සිටියා ය, එදා ගැහැවිනී කිසිත් නො බැණ තද කෝපයෙන් දොරපොල්ල ගෙණ දැස්සගේ හිසට පහර දුන්නී ය, හිසෙන් ලේ ගලන්නට වන, ඕ ලේ ගලා වැටෙන හිසැති ව අසල ගෙවලට ගොස් “බලන්න, අපගේ ස්වාමිදුවගේ ඉවසීමෙහි හැටි, සුරතභාවය බලන්න, මෙන්න අපගේ ස්වාමිදුවගේ නිවීමැ යි කියා පෑය, එයින් වේදේහිකාව සැඬ ය, රළු ය, දරුණු ය, නො ද ඉවසා” යි රට පුරා මහත් අපකීර්තියක් පැතිර ගියේ ය, වේදේහිකා පිළිබඳ ව පැතිර තුබූ කීර්තියට වඩා මේ අපකීර්තිය දෙතුන් ගුණයෙන් නැගී ගියා ය, යනු.
පුණ්ණ ස්ථවිරයන් වහන්සේ බුදුරජුන් ඉදිරියෙහි “සුණා පරන්ත දනවු වැස්සෝ මට ආක්‍රෝශ කළෝ නම්, පරිභව කළෝ නම් අතින් පයින් දඬුයෙන් මුගුරෙන් පහර දුන්නෝ නම්, කඩුයෙන් පිහියෙන් කිණිස්සෙන් හෙල්ලෙන් තෝමරයෙන් ඇන්නෝ නම්, දිවි තොර කළෝ නම්, ඒ හැම එකෙක මම් කිසිත් කතා නැති ව එකට එක නො කොට සිටිමි” යි කී කල්හි බුදුරජානන් වහන්සේ පුණ්ණ තෙරුන්ගේ ඉවසීමට පසසා එහි ගොස් වසන්නට පුරණ තෙරුන්ට අවසර දුන් ස්ක.
“පඤ්චිමෙ භික්ඛවෙ! ආනිසංසා ඛන්තියා. කතමෙ පඤ්ච? බහුනො ජනස්ස පියො හොති මනාපො, න වෙරබහුලො හොති, න වජ්ජබහුලො හොති, අසම්මුළ්හො කාලං කරොති, කායස්ස හෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති” ඉවසන්නේ දෙව්මිනිස් හැම කෙනෙක්හට ප්‍රිය වේ. හැම කෙනෙකුන්ගේ මන වඩන්නේ වේ. ක්‍රෝධ නැත්තේ වේ. සිහි ඇති ව කලුරිය කරන්නේ ය. මරණින් මතු දෙව්ලොව උපදින්නේ ය. ඛන්තිවාදී - මහාකපි - මහිස - ධම්මපාල - රාජෝවාද - ඡද්දන්ත - භූරිදත්ත ජාතකාදිය බැලිය යුතු ය.
පරමං = උතුම්.
“පරං පච්චනීකං මාරෙතීති, පකට්ඨභාවෙ රමතීති වා, පරති අත්තනො උත්තමභාවං පාලෙති පූරෙතීති වා = පරමං” යනු නිරුක්ති. සතුරන් නසා නුයි පරම. උසස් තැන ඇලේ නුයි පරම. තමන්ගේ උතුම්බව රකිනු යි පරම.
තපො = තපස්. කෙලෙස් තැවීම.
තප තපස් = යනු ප්‍රධාන විසින් කුශලශීලයෙහි ද අප්‍රධාන විසින් රුළ්හී විසින් අකුශල ශීලයෙහි ද වැටේ. “ තපා දයො එත්‍ථ මුඛ්‍යවසෙන කුසලසීලෙ, වත්තන්ති, රුළ්හීවසෙන අකුසලසීලෙ” යනු ආචාර්‍ය්‍යයවචන යි.
ආගම ධර්‍මයෙහි ආයේ කුශලශීලයෙහි ය. කුශලශීල නම් පව් නසන කෙලෙස් මඩින ස්වභාව ශක්තිය යි. ඉවසීමෙන් කෙලෙස් මැඩිය හැකි බැවින් ඉවසීම තපසැ යි වදාළ සේක. “කිලෙසෙ තාපෙතීති = තපො, තපො නාම පාපතාපනකො ධමෙමා, පාපකෙ ධමෙම තපතීති = තපො” යනු එහි නැගී සිටියේ ය.
අකුසල් සිත් ඇතියේ නිරයාදියෙහි වැටී තැවෙන්නේ ය. පැසෙන්නේ ය. අකුසල් විසින්, අකුසල් කළේ නිරයාදියෙහිලා තවනු ලබන්නේ ය. බැහැරියන් අත පවත්නා තපස්කම් කුසල් සිල් නො වේ. “නිරයාදිසු තාපෙතීති = තපො” යනු අකුශල ශීලයෙහි නැගී සිටියේ එහෙයිනි.
තවද තප හෝ තපස් යනු “ඛන්තීපරමං තපො තිතික්ඛා” යි කියු ඉවසීමෙහි ද “ තපො කරිස්සාමි පහාය කාමෙ” යන මෙහි හා “දානං සීලං පරිච්චාගං අජ්ජවං මජ්ජවං තපං” යන මෙහි කියූ පෙහෙවස් කම්හි ද “ සමග්ගානං තපො සුඛො” යන මෙහි බුදු වදන් ඉගෙණීමෙහි ද දුහඟ පිරීමෙහි ද පැවිද්දෙහි ද ආයේය. තවද ඉන්‍ද්‍රියසංවරය හා වීර්‍ය්‍යය තප යන්නෙන් ගන්නා බව “ තපො නාම අභිජ්ඣා දොමනස්සාදීනං තපනතො ඉන්‍ද්‍රියසංවරො ච, කොසජ්ජස්ස තපනතො විරියං තපො නාම” යන අර්‍ත්‍ථ කථා පාඨයන්ගෙන් පැහැදිලි වේ. “ තපො ච බ්‍රහ්මචරියඤ්ච” යනු එහිලා දන්නේ ය. තවද තප ශබ්දය ධර්‍ම ව්‍රත යන අරුත්හි වැටේ ය යි කෝෂයෝ කියත්. “ තපො ධම්මෙ වතෙ චෙව” යනු කෝෂ යි.
බැහැරියන් අත ද තපස් ඇත්තේ ය. “ යෙ චාපි ලොකෙ අමරා බහූ තපා” යන සුත්තනිපාත කථායෙන් එය පැහැදිලිවන බැවින් තපස, ශාසනික - බාහිර වශයෙන් දෙපරිදි වන්නේ ය. එහි ඉවසීම - පෙහෙවස් රැකීම - බුදුවදන් ඉගෙණීම - දුහඟ පිරීම - පැවිද්ද - ඉඳුරන් සංවර කිරීම - වීර්‍ය්‍යය යන මෙතෙක් ධර්‍ම ශාසනික තපස් යි ගතයුතු ය. මෙසේ ගත් කල්හි තපස් යන මෙයින් ශීල -සමාධි - ප්‍රඥා සඞ්ඛ්‍යාත ශික්‍ෂාත්‍රය ම ගැණුනේ වේ. ඒ මේ තපස් ධ්‍යානාදී වූ හැම උසස් ගුණයක් ලබා දෙන බැවින් බුදුරජානන් වහන්සේ තපස මඞ්ගල සූත්‍රයෙහිලා ද දෙසූහ.
බාහිරක වශයෙන් තපසැ යි ගැනෙනුයේ බුදුරජුන් විසින් ආත්මක්ලමථු යි බැහැර කළ කෂ්ටව්‍රතසමූහය යි.
නග්නව විසීම, නැගී සිට මලමු පහකිරීම, බත් කා අතලොවීම, බත් කෑ බඳුන ලොවීම, මලපහරා අතින් පිසදැමීම, එනු වහන්සැ යි දෙන බත, සිට වහන්සැ යි දෙන බත, පළමු කොට එළවා දෙන බත, පවරා දෙන බත, සැළි මුවෙන් නගා දෙන බත, පැස්මුවෙන් නගා දෙන බත, එලිපත අතර කොට දෙන බත, මොහලක් අතර කොට දෙන බත, වළඳන දෙදෙනකු අතරින් එකකු නැගිට දෙන බත, ගැබිනියක දෙන බත, පුරුෂයන් අතරට ගිය තැනැත්තියක දෙන බත, සමාදන් කොට දෙන බත, බල්ලකු බලා සිටියදී දෙන බත, මැස්සන් සමූහ සමූහ ව හැසිරෙණ තැන දෙන බත යන මෙබත් නො පිළිගැණිම, සොවීරකය නො පිළිගැණීම, එක් ගෙයකින් සිඟා එක් බත් පිඩකින්, ගෙවල් දෙකකින් සිඟා දෙ පිඬකින්, ගෙවල් සතෙකින් සිඟා සත් පිඬකින්, එක් බත් තැටියෙකින්, බත් තැටි දෙකකින්, බත් තැටි තුණකින්, බත් තැටි සතෙකින් යැපීම, දවසට වරක්, දවසට දෙවරක්, දවසට තෙවරක්, දවසට සත්වරක් කෑමැයි මෙසේ දින වාර විසින් බුදීම, අමු පලා - බොඩහමු - හුරුහැල් - සම් කැබැලි - ගස් මැලියම් - කුඩු - දමුබත් - තලමුරු - තණ - ගොම - අසුචි අනුභව කිරීම, වනමුල්ගෙඩි ආහාර කොට ගැණීම, සණ වැහැරී - මුසුවැහැරි - මළමිනී ඔතා දැමූ රෙදිකඩ - පොළොවැ ලූ කඩරෙදි - රුක්සුඹුළුයෙන් කළ වැහැරී - අඳුන්මුවසම – කුර සහිත දිවිසම් - කුසතණ වැහැරි - වාවැහැරි - පෝරුවැහැරි - මිනිස් කෙසින් කළ කමිබිලි - අස්වල් ආදියෙන් කළ කම්බිලි - බකමුණු පියාපතින් කළ වැහැරි දැරීම, කෙස් රැවුළු ගැලවීම, උඩුකූරුව සිටීම, අසුන් පිළිකෙව් කිරීම, උලෙළුයෙන් හිඳීම, උලෙළුයෙන් යෑම, කටු ඇති රියෙහි හිඳීම හා නිදීම, පුවරුයෙහි උස් බිමෙහි එක් ඇලයෙන් හොවිම, දූලිවැකුණු සිරුරු ඇති ව විසීම එලිමහනෙහි විසීම, ඇල්දිය නො බීම, උදය - මද්දහන - සැන්දෑව යන තුන් කල්හි පව් සෝදා හැරීමටැ යි ගඟදියෙහි ගැලීම, ගිනි පිදීම, එළුවකු සේ ගොනකු සේ බල්ලකු සේ කෑම බීම නිදීම, අඩ දැණි ව හිඳීම, බිම හොවීම, උණුසුම්හි අව්ව සෙවීම, වැසිකල්හි රුක් මුල් සෙවීම යනාදිය ඒ කෂ්ටව්‍රතයන්ගෙන් සමහරකි.
බැහැරියෝ නන් වැදෑරුම් කයතැවුම් සිත්තැවුම් සංසාර විමුක්තිය පිණිස වූ තපස් යි පිළි ගත්හ. “ද්වෙමෙ භික්ඛවෙ! අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා” යි බුදුරජුන් විසින් නො සෙවිය යුතු ය, හළ යුතුය, නිවන් පිණිස නො පවතින්නේ ය යි වදාළ අන්ත දෙකින් එකෙක් වනුයේ බාහිරකයන්ගේ මේ ආත්මක්ලමථු නම් තපසැ යි දතයුතු ය.
මේ වනාහි ඒ තපස නො වේ. මෙහි ආයේ ශාසනිකතපස නම් වූ ශික්‍ෂාත්‍රයසඞ්ගෘහිත ශාසනධර්‍මය යි දැන එහි පිළිපැදිය යුතු ය.
තිතික්ඛා යනු ද ක්‍ෂාන්තියට නමෙකි. “ තිතික්ඛා ඛන්ති බමනං” යනු කෝෂයි. “ තිතික්ඛනං ඛමනං තිතික්ඛා” යනු නිරුක්තියි.
නිබ්බානං පරමං වජන්ති බුද්ධා = බුදුවරයෝ නිවන උතුමැ යි කියත්.
බුදු - සම්බුදු - මහරහත්හු තෘෂ්ණාවෙන් නික්මුනු තෘෂ්ණාව හා කොහෙත් නො ගෑවුනු මගපලසිත්වලට අරමුණු වන නිබ්බුතිය නිවුනුගතිය සන්සිඳුනු ස්වභාවය උතුමැයි කියත්. ඒ එසේ කිය යුතු ය. භවත්‍රයයෙහි කිසිත් තැනෙක සන්සිදීමෙක් නැත. භවත්‍රයය ම තෘෂ්ණාවෙන් පීඩිත ය දුක්ඛිත ය. භවය දිගින් දිගට නැගී යනුයේ ද තෘෂ්ණාව නිසා ම ය. තෘෂ්ණාව නැසුනු කල්හි භවය ද නැසුනේ ය. එයින් සියලු දුක් හමාර වූයේ ය. දුක් හමාරවීමෙන් සන්සිඳුනේය. සන්සිඳීම, තෘෂ්ණාවෙන් තොරබැවින් තෘෂ්ණාවෙන් නික්මුණු බැවින් ස්කන්‍ධ හා අසම්මිශ්‍ර බැවින් නිවනැයි හඳුන්වනු ලැබේ. විස්තර මතු එන්නේ ය.
න හි පබ්බජිතො පරූපඝාතී = පණ නසනසුලු වූයේ පැවිද්දෙක් නො වේ.
මෙහි වූ න, හි, යනු නිපාතයි. පැවිද්ද ඇත්තේ හෝ ශ්‍රේෂ්ඨ භාවයට ගියේ හෝ පබ්බජිත නම්. [1]
අන්හු දිවි ගලවනසුලු වූයේ අන්හු දිවි නසනසුලු වූයේ අන්හු නසනසුලු වූයේ පරූපඝාතී නම්. “පාණි ආදීහි පරං උපහනන්තො = පරූපඝාතී” යනු විවෘතයි. ‘පාණි ආදීහි’ යන මෙහි ආදිශබ්දයෙන් සතකු මරන්නට හැකි හැම උපකරණයෙක් ම ගැනේ. සතුන් නැසීමෙහි යෙදෙන කොයියම් එකෙකින් නමුත් කොයි ලෙසකින් නමුත් අන් සතකු නසනුයේ පැවිද්දෙක් නම් නො වේ.
සමණො හොති පරං විහෙඨයන්තො = මෙරමා වෙහෙසනසුලු වූයේ මහණක් නො වේ.
ගාථාවෙහි තෘතීයපාදයෙහි එන න, හි යනු මෙහි ද ‘හොති’ යන ක්‍රියාපදය හා එක්වන බැවින් ‘මහණෙක් නො වේ’ යි අරුත් එන්නේ ය. අත්පා ඈ යමෙකින් අනුනට වෙහෙස කරන්නේ මහණ ලකුණු නැති බැවින් මහණ නම් නො වේ. “සමිතත්තා හි පාපානං සමණොති පවුච්චති” යි මහණ ලකුණු කිහ. පව් සන්සිඳවූබවය මහණ ලකුණු.
මග්ගජින - මග්ගදෙසි - මග්ගජීවි - මග්ගදූසී යි මහණෝ සිවු දෙනෙකි.
“චතුරො සමණා න පඤ්චමත්‍ථි
තෙ තෙ ආවීකරොමි සක්ඛිපුට්ඨො,
මග්ගජිනො මග්ගදෙසකො ච,
මග්ග ජීවති යො ච මග්ගදූසී”
යනු, බුදුරජානන් වහන්සේ එහිලා වදාළ සේක.
මේ මග්ගජින සමණ:
“යො තිණණකථංකථො විසල්ලො
නිබ්බානාභිරතො අනනුගිද්ධො,
ලොකස්ස සදෙවකස්ස නෙතා
තාදිං මග්ගජිනං වදන්ති බුද්ධා”
මුළුමනින් සැකයෙන් එතෙර වූයේ රාගාදී වූ කෙලෙස්හුල් නැත්තේ නිවනෙහි ඇලුනේ කිසිවක ගිජු නො වූයේ දෙවියන් සහිත ලෝකය සසරින් එතෙරට පමුණුවන්නේ අෂ්ට ලෝක ධර්‍මයෙන් වෙනසකට නො පත් වූයේ ය. ඒ නම්, මාගේ තිලෝගුරු සම්මා සම්බුදුරජානන් වහන්සේ ය.
මේ මග්ගදෙසී සමණ:
“පරමං පරමන්ති යොධඤත්‍වා
අක්ඛාති විභජති ඉධෙව ධම්මං,
තං කඞ්ඛාච්ඡිදං මුනිං අනෙජං
දුතියං භික්ඛුනමාහු මදෙසිං”
මේ සසුනෙහි යමෙක් පරම නම් වූ නිවන පරමය යි ප්‍රත්‍යවේක්‍ෂා ඥානයෙන් දැන සප්තත්‍රිංශත් බෝධිපාක්‍ෂික ධර්‍ම මෙහිම ය, මෙයින් පිටත් ඒ නැතැයි තමන් දත් හෙයින් අනුනට කියා ද, බෙදා දක්වා ද, අනුන්ගේ සැක නසා ද, තෘෂ්ණා නැත්තේ ද, හේ ය. ඒ නම් රහතුන් වහන්සේ ය.
මේ මග්ගජීවි සමණ:
“යො ධම්මපදෙ සුදෙසිතෙ
මග්ගෙ ජීවති සඤ්ඤතො සතීමා,
අනවජ්ජපදානි සෙවමානො
තතියං භික්ඛූනමාහු මග්ගජීවිං”
අන්ත දෙකින් එක් අන්තයකටත් නො බැස දෙසූ බැවින් හෝ ආශයානුරූප ව සතිපට්ඨානාදි වූ නොයෙක් අයුරින් දෙසූ බැවින් හෝ මොනවට දෙසූ නිවනට පද වූ අවසන් නො කළ මගකිස ඇති ව මාර්‍ගයෙහි ජීවත් වනුයේ සීලසංයමයෙන් සංයත වුයේ සිහි ඇත්තේ නිරවද්‍යපදසඞ්ඛ්‍යාත සප්තත්‍රිංශත් බෝධිපාක්‍ෂිකධර්‍මයන් සේවනය කරණුයේ ය. ශෛක්‍ෂ්‍යතෙමේ ය. සිල්වත් පෘථග්ජන තෙමේ ය.
මේ මග්ගදූසි මහණ:
“ඡදනං කත්‍වාන සුබ්බතානං
පක්ඛන්‍දී කුලදූසකො පගබ්භො,
මායාවී අසඤ්ඤතො පලාසො
පතිරූපෙන චරං සමග්ගදූසී”
බුදු - පසේබුදු - මහරහතුන් වහන්සේගේ වෙස් ගෙණ මහණවෙස් දරා “මමත් මහණෙක්මි” යි සඟමැදට පැන සිටියේ “මෙතෙක් වස් ඇති මහණහු විසින් මේ ගතයුතු ය” යි ලාභයක් බෙදන කල්හි “මම මෙතෙක් වස් ඇතියෙම්” යි සඟමැදට පැන ලාභ පැහැර ගෙණ කුලදූෂණය කරණුයේ කයින් වචනයෙන් සිතින් හැඩි දැඩි වූයේ මායාබසින් මායාක්‍රියායෙන් අන්හු රවටනුයේ නො මහණ ව මහණවෙසින් පෙණී සිටිනුයේ ය. මෙතෙමේ තමන්ගේ ලෝකෝත්තර මාර්‍ගයත් පරාගේ සුගති මාර්‍ගයත් දූෂණය කරන්නේ ය. දුශ්ශිල තෙමේ ය. ව්‍යවහාරමාත්‍රයෙන් මහණ ය.
අනුපවාදො = උපවාද නො කිරීම (ද).
“ උපවදනං = උපවාදො” “ජාතිගෝත්‍රාදීගේ වශයෙන් අනුනට ආක්‍රෝශ කිරීම අගුණ කීම ගැරහීම උපවාද නම්. එබදු බැණවැදීමක් නො කරණු අනුපවාද නම්. අනුන් ලවා උපවාද නො කිරීම ද මෙහි ම වැටේ. “ අනූපවාදොති අනුපවාදනඤ්චෙව අනූපවාදිනං ච” යනු අටුවා.
අනූපඝාතො = නො පැහැරීම. හිංසා නො කිරීම.
“උපහනනං = උපඝාතො” අතින් පයින් දඬුයෙන් මුගුරෙන් අවියෙන් මෙරමාහට පැහැරීම ගැසීම හිංසා කිරීම උපඝාත නමි. එබදු පැහැරීමක් නො කරණු අනූපඝාත නමි. අන්හු ලවා නො පහරවනු ද මෙහි ම ඇතුළති. “අනූපඝාතොති අනූපඝාතනඤ්චෙව අනූපඝාතාපනං ච” යනු අටුවා.
නියම මහණක්හට අන්හට උපවාදයක් උපඝාතයක් තමන් කරණු තබා අන්හුලවාත් කරවනු නො යෙදෙයි. මහණ නම් කයින් වචනයෙන් සිතින් හොදට ම ඇතිතරමට සන්සිදුනේ ය. එසේ කරණුත් කරවනුත් නො හැකි එහෙයිනි.
පාතිමොක්ඛෙ ච සංවරො = ප්‍රාතිමෝක්‍ෂයෙහි සංවරය ද.
ප්‍රධානශීලය ප්‍රාතිමෝක්‍ෂයංවරය යි. සප්තාපත්තිස්කන්‍ධයට නො පැමිණ ශික්‍ෂාපද සම්පූර්‍ණයෙන් රැකීමෙන් කායවාගද්වාරයන් රැකුම ප්‍රාතිමෝක්‍ෂ සංවරය යි. [2]
මත්තඤ්ඤුතා ච භත්තස්මිං = බතෙහි (අහරෙහි) පමණ දැනීම ද.
“ ද්වීහි කාරණෙහි මත්තං ජානෙය්‍ය පටිග්ගහණතො වා පරිභොගතො වා” පිළිගැණුම පැළඳුම යන දෙකරුණෙන් බතෙහි පමණ දන්නේ ය. දෙන්නහු ටිකක් දෙන කල්හි කුලයනට අනුකම්පා පිණිස කුලයන් රැකීම පිණිස ටිකක් පිළිගැණීම, වැඩියක් දෙන කල්හි කය පොහොනා පමණට පිළිගැණීම පිළිගැණීමෙහි පමණ දැනීම ය.
ශීතෝෂ්ණාදීන් වළකාලනු පිණිස සිවුරු, සිරුරෙහි පැවැත්ම පිණිස. වෙහෙස නසනු පිණිස බඹසරට අනුග්‍රහ පිණිස අහර, උතුවිඩා දුරුකරනු පිණිස එකඟබවෙහි ඇලීම පිණිස සෙනසුන්, රෝ උවදුරු නසනු පිණිස ගිලන්පස නුවණින් සලකා පරිභෝග කිරීම පරිභෝගයෙහි පමණ දැනීම ය. [3]
පන්තං ච සයනාසනං = ගමට දුර වනසෙනස්හි ඇලීම ද.
ග්‍රාමාන්තය ඉක්මවා ගිය නො සානු ලබන නො වපුරණු ලබන මිනිස් හැසිරීම් නැති ගැටීම් රහිත වූ තැන පන්තැයි කියනු ලැබේ. වනයෙහි ඉතාදුර පිහිටි, මිනිසුන්ගේ යාම් ඊම් නැති බිහිසුණු ලොමු ඩැහැ ගන්වන තැන් ය. නිදනා තැන් සයන යි. හඳිනා තැන් ආසන යි. “ සයන්ති එත්‍ථාති සයනං, ආසන්ති එත්‍ථාති ආසනං” යනු වාක්‍යයි.
අධිචිත්තෙ ච ආයොගො = අෂ්ටසමාපත්තියෙහි නිතියෙදීම.
රුවාරූ අට සමවත් අධිචිත්ත නම්. එයට පැමිණෙනු පිණිස භාවනාවක එක්වන් යෙදුමය ආයොග. අටුවාවෙහි එය මෙසේ කීහ. “අට්ඨනං සමාපත්තීනං අධිගමාය භාවනායොගො” යි. රූප සමාපත්ති සතර හා අරූපසමාපත්ති සතර හා අෂ්ටසමාපත්ති. [4]
මෙහි අන්ලෙසෙක් ද වේ. ඒ මෙසේ දන්නේය. කිසිවක්හට සිත තැවෙන පෑරෙණ බිඳෙන රළු බස් නො බිණීම අනුපවාද. මෙයින් ගැණෙන්නේ වාචසික ශීලය යි. කයින් කිසිත් පරහිංසාවක් නො කිරීම අනුපඝාත. මෙයින් කායික ශීලය ගැණේ. මේ දෙක ම බුදුරජුන්ගේ සසුන පිළිබඳ වේ. “ පාතිමොක්ඛෙ ච සංවරො” යනු වදාළෝ. එහෙයිනි. අනුපවාදය හා අනුපඝාතය හා යන දෙක ම පාතිමොක්ඛ සංවරය යනු එහි අරුති. පාතිමොක්ඛසංවර නම්, අනුපවාදය හා අනුපඝාතය හා යන දෙකැයි කී සේ ය.
උපසපන් බවට පැමිණීමට හැම සුදුසුකමක් ඇත්තහු කෙරෙහි එයට පැමිණෙන වේලෙහි පාතිමොක්ඛසංවරය. පිහිටනු ලැබේ. එය සම්මතයෙන් වන්නේ ය. සම්මතයෙන් පසු උපවාද - උපඝාතයන්ගේ නො කිරීම් විසින් සංවරය සිදු වේ. එසේ සිදුවන ඒ සංවරය අනුපවාදත් අනුපඝාතත් නමි. ප්‍රාතිමෝක්‍ෂයෙන් සිදු කළ යුතු අනුපවාද - අනුපඝාතයෝ ප්‍රාතිමෝක්‍ෂසංවරයෙහි ඇතුළත් වූ අනුපවාද - අනුපඝාතයෝ ය. සංවර යන මෙයින් සති - ඤාණ - ඛන්ති - විරිය සංවර ගණු ලැබේ. මේ සතර ප්‍රාතිමෝක්‍ෂයෙහි සාධන වේ.
පරියෙසන - පටිග්ගහන - පරිභෝග - විස්සජ්ජන යන මේ ක්‍රියාවන්ගේ වශයෙන් භෝජනයෙහි පමණ දැනීම වන්නේ ය. භාවනාවට සුදුසු, වන රුක්මුල් ඈ තැන් විවිත්තසේනාසන නම්. සියලු සිත්වලට අධික ව උත්තම ව සිටි බැවින් අධිචිත්ත නම් වූ අර්‍හත්ඵල චිත්තයන් උපදවනු පිණිස ශමථවිදර්‍ශනා භාවනාවන්ගේ වශයෙන් එක්වන් යෙදීම “ අධිචිත්තෙ ච ආයොගො” යන මෙයින් වදාළ සේක. ඒය, අන් ලෙසක් ද ඇත්තේ ය යි කීයේ.
එතං බුද්ධානසාසනං = මේ බුදුරජුන්ගේ අනුශාසනා ය.
මෙරමාහට නො බැණීම, මෙරමා නො පෙළීම, පාතිමොක්ඛ සංවරය, බතෙහි පමණ දැනීම, වනසෙනසුන්හි ඇලීම, අටසම වත්හි යෙදීම යන මේ සියල්ල බුදුරජුන්ගේ අනුශාසනා ය. යමෙකින් අනුශාසනා කරනු ලැබේ නම් ඕ සාසන නමි.
“ආණායමාගමෙ ලෙඛෙ සාසනං අනුසාසනෙ” යනු කෝෂ යි. ආඥා - ආගම - හසුන්පත් - අනුශාසනා යන අරුත්හි වැටෙන සාසන ශබ්දය මෙහි අනුශාසනාවෙහි වැටුනේ ය.
කොටින් ‘අනුපවාද’ යන්නෙන් වාචසිකශීලයත් ‘අනුපඝාත’ යන්නෙන් කායික ශීලයත් ‘පාතිමොක්ඛෙ ච සංවරො’ යන්නෙන් ප්‍රාතිමෝක්‍ෂ ශීලය හා ඉන්‍ද්‍රිය සංවර ශීලයත් ‘මත්තඤ්ඤුතා ච භත්තස්මිං’ යන්නෙන් ආජීවපාරිශුද්ධිශීලය හා ප්‍රත්‍යය සන්නිශ්‍රිත ශීලයත් ‘පන්තං ච සයනාසනං’ යන්නෙන් සත්ප්‍රාය සෙනාසනත් ‘අධිචිත්ත ච ආයොගො’ යන්නෙන් අට සමවතත් යන මේ ගුණ ධර්‍ම මතු වන්නේ ය. මෙසේ මේ දේශනාවෙන් ත්‍රිවිධ ශික්‍ෂාව වදාරණ ලද්දේ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය.
ආනන්දස්ථවිර ප්‍රශ්න වස්තුව නිමි.