14-3 ඒරකපත්ත නා රජු

කිච්ඡො මනුස්සපටිලාභො කිච්ඡං මච්චාන ජීවිතං

කිච්ඡං සද්ධම්මසවනං කිච්ඡො බුද්ධානං උප්පාදො.

මිනිසත්බව පිළිලැබීම නම් (මහත් වෑයමෙන් මහත් කුසලින් පිළිලැබියැ යුතු බැවින්) දුර්‍ලහය. සත්ත්‍වයන්ගේ ජීවිතය (හෙවත් ජීවිකාව) ද (නිරතුරු ගොවිතැන් වෙළෙඳාම් ඈ කොට දිවි පවත්වන බැවිනුත් මඳ කලක් පවත්නා බැවිනුත් කෘච්ඡ්‍ර ය (දුක් ය). දහම් ඇසීම ද (නොයෙක් කප් කෙළ සුවහස්හි දහම් දෙසන්නකු දුලබ හෙයින්) කෘච්ඡ්‍ර ය (දුර්‍ලභ ය) සම්‍යක්සම්බුද්ධවරයන් ගේ ඉපැත්ම ද (මහත් වෑයමින් අභිනීහහාරය සමෘද්ධ වන බැවිනුත් සමෘද්ධාභිනීහාර ඇති මහපුරිසක්හුගේ උපත ද නොයෙක් කප් කෙළ සුවහස්හි දු දුලබ බැවින්) කෘච්ඡ්‍ර ය (දුලබ ය).

ඒරකපත්ත නාරජ තෙමේ කසුප් සම්බුදු රජුන්ගේ ශාසනයෙහි තරුණ උපසපන් මහණෙක් ව සිටියේ දවසක අඟුළකට නැගී ගඟෙහි ගියේය. ඒ යද්දී ඒරුගස් ලැහැබක් දැක එහි එක් කොළයක් අතින් ඇල්ලී ය. ඒ වේලෙහි අඟුළ ද වේගයෙන් ගමන් ගෙණ තුබුනේ ය. එහෙයින් මේ මහණ අල්ලාගෙන සිටි ඒරු කොළය කැඩී අතට ආයේ ය. තමන් පැමිණි ඇවැත සුලු බැවින් ඔහු එය නො දෙසා විසි දහසක් හවුරුදු වන මැද මහණදම් කෙළේ ද මැරෙන්නට ලං ව සිටි කාලයෙහි, ඒරුකොළය බෙල්ලෙහි දැවටී ගියා සේ සිතා ඇවැත් දෙසනු කැමැති වූයේ ද අන් මහණකු නො ලැබ, “සිල් අපිරිසිදු ය” යි විපිළිසර ව මිය ගොස් ඒරුරුක් කඳකින් කළ ඔරුවක් පමණ වූ නාරජෙක් ව උපන්නේ ය. ඔහුගේ නම ද ‘ඒරකපන්ත’ නම් වී ය. ඌ උපන් සැටියේ ම අත්බව බලා “මෙතෙක් කලකුත් මහණදම් කොට මැඩියන් ගොදුරු කොට ගන්නා අහේතුක යෝනියක උපනැ” යි එහිදී ද විපිළිසරට පත් වී ය. පසු දවසෙක මේ නාරජු ගඟදිය මතු පිට පෙණය මහත් කොට තබා තම දුවක වූ නැයින්නක් ඒ මත්තෙහි හිඳුවා ඈ ලවා ගී කියවා, “බුදු කෙනෙකුන් වහන්සේ ලොව උපන් සේක් නම්, මම මේ උපායයෙන් එය දැන ගන්නෙමි” යි ඔහුට අදහසෙක් වී ය. “යමෙක් මාගේ මේ ගීයට පෙරළා ගීයක් කියා නම්, ඔහුට මහත් සම්පතුත් සමග මේ දුව ද දෙන්නෙමි” යි ද සිතා අඩ මසකට වරක් දුව පෙණය මත්තේ තබන්නේ ය. ඕ ද පෙණ ගොබයෙහි සිට නටමින්:

“කිම අදිපති රජ ද? - රජ කෙසේ රදිසුරු වෙ ද? 

කෙලෙස ද විරජ වනුයේ? - කියැ වේ බල්හු කෙලෙසින්?”

යි මෙසේ ගයයි. දඹදිව් වැස්සෝ මෙය අසා “නැයින්න අල්ලා ගණිමු” යි තම තමන් උගත් ලෙසින් උන් කී ගීයට පෙරළා ගී කියති. එහෙත් ඒ ගී ඇයගේ ගේ සිත් නො ගතු. අඩමසකට වරක් පෙණ ගොබෙහි සිට මෙසේ ගායනා කරණ ඇයට එක් බුද්ධාන්තරයෙක් ඉක්ම ගියේ ය.

මෙ දවස අපගේ බුදුරජානන් වහන්සේ ලොව පහළ වූ සේක. දවසක් උන්වහන්සේ අලුයම ලොව බලා වදාරණ සේක් ඒරකපත්තයා හා උත්තරමාණවකයා දැක නැවැත ඔවුනට කුමක් වන්නේ දැ යි බලා වදාළ සේක. එකල්හි “අද ඒරකපත්ත තම දුව පෙණගොබ මතුයෙහි හිඳුවා නටවන දවස ය, උත්තර මාණවක මා දෙන ගීය ගන්නේ ම සෝවන් වන්නේ ය, නැවැත ඒ ගීය ගෙණ ඔහු නාරජු වෙත යන්නේ ය, නාරජු එය අසා බුදුන් ලොව උපන් බව දැන මා වෙත එනු ඇත, එහි දී මම ඔහු ලං කොට මහාසමාගමයෙහි ධර්‍ම දේශනාවක් කරන්නෙමි, ඒ අවසන්හි සුවාසූදහසක් දෙන සෝවන් වන්නාහ” යි දුටහ.

ඉක්බිති බුදුරජානන් වහන්සේ බරණැසට නො දුරෙහි එක් මහරි ගසක් මුල වැඩ හුන් සේක. දඹදිව් වැස්සෝ ද ගී සපයා ගෙණ එහි රැස් වූහ. බුදුරජානන් වහන්සේ නො දුරෙහි යන උත්තර දැක “උත්තර!” යි ඇමතූහ. හේ ද “කිම ස්වාමීනි!” යි ඇසී ය. “මෙහි එව” යි වදාළ කල්හි වෙත ගොස් වැඳ සිටියහු අතින් “කොහි යෙහි?” යි විචාළ සේක. “ඒරකපත්තගේ දූ ගී ගයන තැනට” යි කී කල්හි “ඒ ගීයට පිළිතුරු ගීයක් තනා ගත්තෙහි?” යි ඇසූහ. “එසේ ය, ස්වාමීනි!” යි කී විට “එය කියව” යි වදාළ සේක. හේ ද තමන් දන්නා ලෙසින් තැනූ ඒ ගීය බුදුරජුන් ඉදිරියෙහි කියා පෑයේ ය. බුදුරජානන් වහන්සේ “උත්තර! මේ ගීය ඒ ගීයට පිළිතුරක් නො වේ, මම තට පිළිතුරු ගීයක් තනා දෙමි, එය ගෙණ යව” යි වදාළ කල්හි “එසේ ය, ස්වාමීනි!” යි කී කල්හි බුදුරජානන් වහන්සේ “උත්තර! නැයින්න ගී ගයන විට තෝ ද,

“යමෙක් සදොරට අදි - පති වේ ද හේ රජ වේ,

ඇලෙනුයේ නම් සදොරෙහි - රදිසුරු නම් ද හේ ම ය.

සදොරෙහි නො ඇලුනේ - විරජ නම් වේ ඒ මෙහි,

ඇලෙනුයේ අඳබල් යී - කියැ වේ ලෝ දනන් මැද”

යන මේ ගීය ගයන්නැ” යි වදාළ සේක.

බුදුරජානන් වහන්සේ ඔහුට මෙය උගන්වා නැවැත “උත්තර! තා මේ ගීය ගැයූ විට මේ ගීයට පිළිතුරු විසින් ඇය ද ගීයක් ගයනු ඇත, ඒ මෙසේ ය:

“කුමකින් ගෙණ යනු - ලැබේ දෝ අඳබල් දන,

නුවණැති දෙනේ කෙලෙසින් - පා කොට හරි දෝ හෝ?

කෙසේ නම් යෙදුමෙන් - බියරහිත දැ යි එපුරිස්,

මවිසින් ඇසූ මේ පැණ - ඔබ දැන් කියනු මැනැවී”

යනු.

එවිට තෝ ඇය ඉදිරියෙහි,

“කම් ඈ දියපහර - විසින් ගෙණ යැවෙ අඳබල්,

නුවණැති දෙනේ වැරයෙන් - කම් ඈ දියපහර ඒ.

හැරලා සිටී සැම - බෙවෙහි යෙදුමෙන් වෙන් වූ,

පුරිස් බියරහිතැ යි - කිය වේ මෙලොව මිදුනු”

යන මේ ගීය ද ගයව” යි මෙසේ ගීය උගන්වා ලූ සේක.

උත්තර තෙමේ මේ පිළිතුරු ගීය උගන්නේ ම සෝවන් වූයේ ය. සෝවන් වූ හෙතෙමේ ඒ ගීය උගෙණ ගොස්. “එම්බා! නැයින්න! මා තාගේ ගීයට පිළිතුරු විසින් ගීයක් පිළියෙළ කර ගෙණ ආමි, එය ගයන්නට මට මදක් ඉඩ දෙන්නැ” යි කියා තදබද වී සිටි මිනිසුන් අතරින් උරයෙන් උර හපා යන්තමකින් එහි ලං විය. ඒ වේලෙහි නැයින්න පියාගේ පෙණ ගොබෙහි සිට නට නටා “කිම අදිපති රජද?” යන මේ ගීය ගැයූ ය. උත්තර එයට පිළිතුරු විසින් “ යමෙක් සදොරට අදිපති වේද?” යන මෙය ගැයී ය. නැවැත නැයිනිය “ කුමකින් ගෙණ යනු ලැබේ දෝ?” යන ගීය ගැයූ. උත්තර “ කම් ඈ දියපහර විසින් ගෙන යැවෙ අඳබල්” යනුවෙන් පිළිතුරු දින. නාරජ තෙමේ එය අසා බුදු රජුන් උපන් බව දැන “මා මේ බුද්ධාන්තරයක් මුළුල්ලෙහි මෙබඳු පදයෙක් නම් නො අසන ලද ය, එකතින් බුදුරජානන් වහන්සේ ලොව උපන්හ” යි සතුටුව නගුටින් දියට ගැසී ය. එයින් මහාරැළ නැගී දෙතෙර ඉවුරු බිදී ගියේ ය. එතෙර එක්සිය සතළිස් රියනක් තැන්හි හා මෙතෙර එක්සිය සතළිස් රියන් තැන්හි සිටි මිනිස්සු දියෙහි ගැලී ගියහ. නාරජ තෙමේ ඒ සියලු මිනිසුන් පෙණගොබෙහි ලා ඔසවා ගොඩට පැමිණ වී ය.

නැවැත උත්තර වෙත ගොස් “හිමියෙනි! බුදුරජහු කොහි දැ?” යි ඇසී ය. “උන්වහන්සේ අර පෙණෙන ගසමුලැ” යි හේ කී ය. “ස්වාමීනි! එනු මැනැවි, එහි යන්නටැ” යි උත්තර සමග එහි ගියේ ය. මහාජන තෙමේ ද ඔවුන් හා ම නික්ම ගතු. නාරජ බුදුරජුන් වෙත ගොස් සවණක් රැස් අතරට වැදී බුදුරජුන් වැඳ අඬ අඬා සිටියේ ය. එකල්හි බුදුරජානන් වහන්සේ “නාරජ! කුමක් නිසා හඬහු දැ?” යි අසා වදාළ සේක. “ස්වාමිනී, මම ඔබවහන්සේ වැනි බුදුවරයකුගේ ශ්‍රාවකයෙක් ව අවුරුදු විසිදහසක් මහණකම් කෙළෙමි, එහෙත් ඒ මහණකම මා සසරින් එතෙර කරන්නට පොහොසත් නො වී ය, ඒ මහණකම ඵල රහිත වී ය, ඉතා කුඩා ඒරුක්කොළයක් මා අතින් කැඩී ගියෙන් මම මේ අහේතුක ප්‍රතිසන්‍ධිය ගෙණ බඩගා ඇවිදුනා තැන උපන්මි, බුද්ධාන්තරයක් මුළුල්ලෙහි ම මිනිසත්බවක් නො ලැබීමි, බණක් නො ද ඇසීමි, ඔබ වහන්සේ වැනි බුදුවරයකු දැක ගත නුහුනෙමි” යි නාරජු කී විට, නැවත බුදුරජානන් වහන්සේ “මහරජ! මිනිසත්බව සුලබ නො වේ, ඒ ලැබීම ඉතා අපහසු ය, මිනිසත්බව ලැබීම බොහෝ කලකින් මහත් පිණකින් වන්නේ ය, බණදහමක් ඇසීම ද ඒ තරම් ම අපහසු ය, බුදුවරයකුගේ ලෝ පහළවීම ද එසේ ම කලාතුරකින් වන්නේ ය, මේ තුණ එකවර සිදුවීම තරම් අපහසු සිදුවීමෙන් මේ ලෝකයෙහි නැත්තේය” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.

කිච්ඡො මනුස්සපටිලාභො කිචාඡං මච්චාන ජීවිතං,

කිච්ඡං සද්ධම්මසවණං කිච්ඡො බුද්ධානං උප්පාදොති.

මිනිසත්බව ලැබීම දුෂ්කර ය. සත්ත්‍වයන්ගේ ජීවිතය දුක් ය. බණ දහම් ඇසීම දුර්‍ලභ ය. බුදුවරුන්ගේ ඉපදීම දුර්‍ලභ ය.

කිච්ඡො මනුස්සපටිලාභො = මිනිසත්බව ලැබීම අපහසු ය.

සහේතුක කාමාවචර කුසල් මේ, යි යට කියන ලදී. දව රෑ දෙක්හි අතර නො තබා රූපරසාදී වූ පස්කම්රසයෙන් ඇස්, කන්, නාස් ඈ ඉඳුරන් පිනවීම ම බලාපොරොත්තුවෙන් දවස් යවන පව් අදහස්වලින් ගහන වූ පුහුදුනට මැරෙන්නා වූ කාලයෙහි සහේතුක කාමාවචර කුසලයක් සිතට නගා ගැණුම පහසු නො වේ. එය කෙතරම් අපහසු ද? යත්: කණ කැස්බකුට වියසිදුරෙන් අහස දැකීමට ද වඩා අපහසු ය. “ සෙය්‍යථාපි භික්ඛවෙ! පුරිසො එකචඡිග්ගලං යුගං මහාසමුද්දෙ පක්ඛිපෙය්‍ය. තමෙනං පුරත්‍ථිමො වාතො පච්ඡිමෙන සංහරෙය්‍ය, පචඡිමෙ වාතො පුරත්‍ථිමෙන සංහරෙය්‍ය, උත්තරො වාතො දක්ඛිණෙන සංහරෙය්‍ය, දක්ඛිණො වාතො උත්තරෙන සංහරෙය්‍ය, තත්‍රස්ස කාණො කච්ඡපො, සො වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන සකිං උම්මුජ්ජෙය්‍ය, තං කිම්මඤ්ඤථ භික්ඛවෙ! අපි නු සො කාණො, කච්ඡපො අමුස්මිං එකච්ඡිග්ගලෙ යුගෙ ගීවං පවෙසෙය්‍ය, යදි නූන භන්තෙ කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චෙය්‍යනාති, ඛිප්පතරං ඛො සො භික්ඛවෙ! කාණො කච්ඡපො අමුස්මිං එකච්ඡිග්ගලේ යුගෙ ගීවං පවෙසෙය්‍ය, තතො දුල්ලභතරාහං භික්ඛවෙ! මනුස්සත්තං වදාමි. සකිං විනිපාතගතෙන බාලෙන” යනු මිනිස්බව දුලබ බව වදාළ එක් දේශනාවකි. මහා මුහුදෙහි බහන ලද, පෙර පැසුළු දකුණු උතුරු දිසාවන්ගෙන් හමන වාතය විසින් ඒ මේ අත ගෙන යන එක් සිදුරක් ඇති වියදණ්ඩක් වේ ද මුහුදෙහි වසන හවුරුදු සියයකට වරක් හිස ඔසවා බලන කණකැස්බෑවකු ඒ වියදඩු සිදුරෙහි මොන ලෙසකින් නමුත් ගෙල ඇතුල් කිරීම බොහෝ දිගුකලක් ගොස් කවදා හෝ සිදුවිය හැකි වුවත් මිනිසත්බවෙන් ගැලවී අපායයට ගිය අඥ මනුෂ්‍යයා නැවැත මිනිස්කමක් ලබනු ඉතා අපහසු ය යනු එහි කෙටි තේරුම ය.

මහාමුහුදෙහි වසන හවුරුදු සියදහසකට වරක් දියෙන් හිස නගන කණ කැස්බකුට සිදුර මැදින් දෙකට කැඩුනු වාතයෙන් මුහුදෙහි ඒ මේ අත පා වී යන වියදණ්ඩ එක් තැන් ව පෙර තුබූසේ සිටි කල්හි එම වියසිදුරෙන් අහස දැක්ක හැකි වුවත්, පව්කම් කොට අපායයෙහි උපන්නකුට මිනිස්බව ලැබීම නම් හවුරුදු සියදහසකිනුදු නො වන්නේ ය. “මහන්තෙන හි වායාමෙන මහන්තෙන කුසලෙන ලද්ධබ්බත්ත මනුස්සත්තපටිලාහෝ කිච්ඡො දුල්ලභො” යනු අටුවා ය.

“අවෙකල්ලමනුස්සත්තං බුද්ධාදිච්චාභිමණ්ඩිතං,

 සුදුල්ලභතරං තං හි ඛණො නිබබාණසිද්ධියා”

විසෙස විසින් බුද්ධෝත්පාදයෙක ඇස් කන් නාස් ඈ ඉඳුරන්ගේ විකලබවක් නැති ගොළු බිහිරි බැව් ඈ නැති මිනිසත් බවක් ලැබීම කියනු බැරි තරම් අපහසු ය. ඒ මිනිසත් බව ම ය, නිවන්ලැබීමට කරුණු වනුයේ.

“හේතුදුක්කරතො චෙව සාරතො ච මහග්ඝතො,

මහාසාරං ව රතනං මනුස්සත්තං සුදුල්ලභං”

මේ මිනිසත්බව ලැබුම අපහසු වනුයේ එය ලැබීමට කරුණු වන පින් කිරීම අපහසු බැවිනුත් මිනිසත්බව තමා දිව්‍ය බ්‍රහ්මාදී වූ අන් හැම උසස් අත්බවකට ම වඩා, උසස් බැවිනුත් මහඟු බැවිනුත්ය. මහාසාර රත්නයක් සේ එය ලබනු අපහසු ය.

කිච්ඡං මච්චානජීවිතං = සත්ත්‍වයන්ගේ ජීවිතය දුක් ය.

කිච්ඡ යනු දුකට නමෙකි. යම් ස්වභාවයෙන් තෙමේ සැපැ යි ගැණෙන ස්වභාවය විසුරුවා හරීද ඒ කිව්ඡ නම්. දුකට නමෙකැ යි කීයේ එහෙයිනි.

සත්ත්‍වපර්‍ය්‍යාය නාම අතුරෙහි මූලපදය මච්ච යනුයි. මැරෙණ ස්වභාවය ඇතතේ මච්චු නම්. ජීවිතෙන්ද්‍රිය දරණ හැම එකකු කෙරෙහි ම විශේෂයක් නො තබා මෙය නගිතත්, මෙහිලා මිනිසා කෙරෙහි ම ඒ නැගී සිටියේ ය.

ජීවිත නම් පණදැරීම ය. ජීවත්වීම ය. ආයුෂය යි ද කියනු ලැබේ. එය දුක් වනුයේ නිතොර සීසෑම් වෙණඳාම් ඈ කොට මහත් ආයාශයෙන් රැකිය යුතු බැවිනුත් එසේ කළ ද ඉතා ටික කලක් ම පවත්නා බැවිනුත් ය.

සත්ත්‍ව තෙමේ හැම කම්කටොල්ලට මුණ දෙනුයේ ජීවිතය නිසාම ය. සතුන් මරනුයේ සොරකම් කරණුයේ දැහැමි නො දැහැමි වෙණඳාම් කරණුයේ අවුවැසි නො බලා වෙහෙස වනුයේ වනදුර්‍ග ගිරිදුර්‍ග ජලදුර්‍ග පර්‍වතදුර්‍ග ගෙවා නො රට යනුයේ ජීවිතය නිසා ම ය. දුවන්නේ පනින්නේ ජීවිතය නිසා ම ය.

සතත්‍වයන් පිළිබඳ වූ ඒ මේ ජීවිතය ආශ්වාස ප්‍රශ්වාස දෙකින් බැඳී සිටියේ ඔවුන් සම ව පවත්නා කල්හි ම පවතී. ඒ එසේම ය. යම් ලෙසකින් නැහැයෙන් පිටතට නිකුත් වූ වාතය ඇතුළට නො ගත් කල්හි ද ඇතුළත්හි වූ නාසිකා වාතය පිටතට නො නික්මුනු කල්හි ද ජීවිතය නැසී යන්නේ ය.

ඉරියවු සම ව පැවැත්ම ද ජීවිතයාගේ පැවැත්මට කරුණු ය. යම්ලෙසකින් සිවු ඉරියව්වෙන් එකෙකුත් වැඩි ව පැවැත්නේ නම් ජීවිතය නැසී යන්නේ ය.

ශීතෝෂ්ණයන්ගේ සම ව පැවැත්ම ද ජීවිතයාගේ පැවැත්මට කරුණු ය. අධික ශීතයෙනුත් අධික උෂ්ණයෙනුත් ජීවිතය නැසී යන්නේ ය. ශීතෝෂ්ණ දෙකෙනුදු ජීවිතය බැඳී සිටියේ ය.

සතර මහා භූතයන්ගේ සම ව පැවැත්ම ද ජීවිතයාගේ පැවැත්මට කරුණු ය. ශරීරගත පෘථිවීධාත්‍වාදීන් කෙරෙහි එකතු අනෙකකුට වඩා නැගී සිටි කල්හි ජීවිතය නැසී යන්නේ ය. මෙසේ ජීවිතය, සතර මහා භූතයන්ගෙනුදු තම පැවැත්මෙහි රුකුල් ලබා සිටියි.

මේ හැම එකක් සම ව සිටිය ද වැඩි කලක් ජීවිතය පවතින්නේ නම් අවුරුදු සියයකට අඩු ව හෝ මදක් වැඩි ව පවතින්නේ ය. එහෙත් කිනම් ක්‍ෂණයක කිනම් මොහොතක කිනම් පැයෙක ජීවිතය නැසේ දැ යි නො කියැකි ය.

ජීවිතය පවතින්නේ ඉතා මදකලෙකි. රියසක පෙරළෙතත් නැවතී තිබෙතත් නිම්වලල්ලෙහි එක් පෙදෙසකින් ම පවත්නා සේ සත්ත්‍ව ජීවිතය පරමාර්‍ත්‍ථ වශයෙන් එක් චිත්තවීථියක් පවත්නා තාක් පවතින්නේ ය. චිත්තක්‍ෂණ සතළොසකින් පමණ වන එක් චිත්තවීථියක් සිඳී ගිය කල්හි සත්ත්‍ව තෙමේ මළේ ය, නිරුද්ධ වූයේ ය යි කියනු ලැබේ. ඒ එසේම ය. අතීත චිත්තක්‍ෂණයෙහි ජීවත් වූ සත්ත්‍වයා වර්‍තමාන චිත්තක්‍ෂණයට ද වර්‍තමාන චිත්තක්‍ෂණයෙහි ජීවත් වන සත්ත්‍වයා වර්‍තමාන චිත්තක්‍ෂණයට ද නො ද පැමිණෙන්නේ ය. එක් චිත්තක්‍ෂණයෙක පැවැති රූපධර්‍ම අන්‍ය චිත්තක්‍ෂණයකට නො ගොස් නිරුද්ධ වෙමින් පරම්පරා, වශයෙන් දිගින් දිගට යන්නේ ය. මෙසේ සත්ත්‍වජීවිතය මඳ කලකින් නැසෙන බැවින් හා පවත්නා චිත්තක්‍ෂණය මද බැවින් හා ඉතා ටික කලක් ම පවතී.

කිච්ඡං සද්ධම්මසවණං = බණදහම් ඇසීම ලැබිය නො හැකි ය. දුක සේ ලැබිය යුතු ය.

බුදුරජානන් වහන්සේගේ අදහස් ලෙස දහම් දෙසන්නකු කප් කෙළ සිය දහස් ගණනිනුදු ලබා ගන්නට නො හැකි බැවින් බණ දහම් ඇසීම දුර්‍ලභය යි වදාළ සේක. තත්වපූර්‍ණ ධර්‍ම දේශකයා පරමාර්‍ත්‍ථ ධර්‍මය මැනැවින් දත් ලාභ කීර්ති ප්‍රශංසාවෙහි මඳ වූ ද බලාපොරොත්තු නැති පාට්‍යර්‍ත්‍ථකථා ටීකාවනට එකඟව ස්වල්පමාත්‍රයකුත් ඉන් නො බැහැර ව න්‍යයානුකූල ව උපමා උපමෙය පදාර්‍ත්‍ථයන් ගළපා අනුනට ධර්‍මාර්‍ත්‍ථයන් වටහා දීමෙහි සමර්‍ත්‍ථයකු විය යුතු ය. විශේෂ විසින් ධර්‍මදේශක නම් අභිධර්‍මය දත් තැනැතේ ය. “ ආභිධම්මිකාභික්ඛුයෙව කිර ධම්මකථිකා නාම, අවසෙසා ධම්මං කථෙන්තාපි න ධම්මකථිකා. කස්මා? තෙ හි ධම්මං කථෙන්තා කමන්තරං විපාකනත්තරං රූපාරූප පරිච්ඡෙදං ධම්මන්තරං ආලොළෙත්‍වා කථෙන්ති. ආභිධම්මිකා පන ධම්මත්තරං අනාලොළෙන්ති. තස්මා ආභිධම්මිකො භික්ඛු ධම්මං කථෙතු වා මා වා පුච්ඡිතකාලෙ පන පඤ්හං කථෙන්ති” යනු ආගම බැවිනි.

අභිධර්‍මය දත් භික්ෂූහු ධර්‍මකථිකයෝ වෙති. සෙස්සෝ බණ කියන්නෝ ද ධර්‍මකථිකයෝ නො වෙත්. ඔවුහු බණ කියන්නේ කර්‍මාන්තර, විපාකාන්තර, රූපාරූප පරිච්ඡෙද ධර්‍මාන්තර ආලොළනය කොට ධර්‍ම දේශනා කරත්. අභිධර්‍මය දත්තෝ ධර්‍මාන්තරය ආලොළනය නො කොට ධර්‍මදේශනා කරත්. අභිධර්‍මය දත් භික්‍ෂු තෙමේ බණ කියාවා හෝ නො කියාවා හෝ විචාළ කල්හි ප්‍රශ්න විසඳන්නේ ය. පරමාර්‍ත්‍ථ ධර්‍මය නො දත් දේශක තෙමේ නියම ධර්‍මදේශකයෙක් නො වන්නේ ය. “යාය වා තාය වා අප්පමත්තකාය පඤ්ඤාය සමන්තාගතො පන භික්ඛු ධම්ම කථං කථෙන්තො ඉතො වා එත්තො වා අනොක්කමිත්‍වා යට්ඨිකොටිං ගහෙත්‍වා අන්‍ධො විය එකපදිකං දණ්ඩසෙතු ආරූළාහො විය ගච්ඡති” මඳ නුවණැති මහණ තෙමේ දහම් දෙසන විට සැරයටි කොණ ගත් අන්‍ධයකු සේ එක් පියවරක් තැබිය හැකි තරම් වූ එක් පාපුවරුවක් ඇති ඒ දණ්ඩට නැග ගත්තකු සේ දහම් තතු නො දැන බියෙන් ඇවිසී අතැනින් මෙතැනින් මොනවා හෝ කරුණු ටිකක් ඇහිඳ ගෙණ උඩ බිම නො දැන දහම් දෙසන්නේ ය. එහෙයින් ධර්‍මකථිකයා පරමාර්‍ත්‍ථය මොනවට උගෙණ ධර්‍මනෙත්තිය දැන හැම කරුණෙක ම නො පැකිළ දහම් දෙසිය යුතු ය. පරමාර්‍ත්‍ථ ඥානය මෙන් ම නෙත්තියෙහි එන ප්‍රස්ථානඥානය ද ධර්‍මදේශකයා හට අවශ්‍යයෙන් තිබිය යුතු ය. ප්‍රස්ථාන නම්, දේශනාව පැවැත්වීම ය. දේශනාව ක්‍රමානුකූලව ගෙණ යෑම ය. දේශනාව පැවැත්වීම දේශනාව ගෙණ යෑම ආස්වාද - ආදීනව - නිශ්ශරණ - ආස්වාදාදීනව - ආස්වාදනිඃශරණ - ආදීනවනිඃශරණ - ආස්වාදීනවනිඃශරණ යි සත් වැදෑරුම් ය. “අස්සාදො ආදීනවො නිස්සරණං අස්සාදො ච ආදීනවො ච අස්සාදො ච නිස්සරණං ච අස්සාදො ච ආදීනවො ච නිස්සරණං ච අස්සාදො ච ආදීනවො ච නිස්සරණං චාති එතෙ සත්ත පට්ඨානනයා” යනු එහිලා ආයේ ය.

රූපශබ්දාදිවස්තුකාමයන්ගේ ඇසුරෙන් හටගන්නා වූ ක්ලේශ කාමයෙන් සිත්හි නගින සොම්නස ආස්වාදය යි. “අස්සාද යතී ති = අස්සාදො, සුඛං සොමනස්සං ච” යනු නිරුක්තියි. තවද පංච උපාදාන ස්කන්‍ධයන් නිසා උපදනා සැප සොම්නස ආස්වාදය යි. “යං භික්ඛවෙ! පංචුපාදානක්ඛන්‍ධෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං පංචසු උපාදානක්ඛන්‍ධෙසු අස්සාදො” යනු ආගම ය. ඉෂ්ටාලම්බනය ගැණ ද කිය යුත්තේ මෙසේ ය. රූපාලම්බනයෙහි රස විඳ ගැණුමෙන් ඒ අරබයා රාගය උපදනේ ය. ඒ ආස්වාදය යි. තෘෂ්ණාව ද ආස්වාද නමි.

“අස්සාදෙති එතායාති = අස්සාදො” යනු අර්‍ත්‍ථසමර්‍ත්‍ථනය යි. තෘෂ්ණාව නිසා සත්ත්‍වයා සුඛයත් සුඛාලම්බනයත් ආස්වාදය කරන බැවිනි එසේ කියනු. සිවු වැදෑරුම් විපල්ලාසයෝ ද ආස්වාද නම් වෙත්.

ඒ මේ ආස්වාද නම් වූ කාමයන්හි රසවිඳ ගැණීම පමණක් කරුණු කොට මුල් කොට කරන දේශනාව ආස්වාද පූර්‍වක දේශනා බැවින් එබඳු දේශනා මාත්‍රයකින් ශ්‍රාවකයන්ට සසරින් ගැලවී යෑමෙහි අදහසෙක් නූපදනේ ය. එහෙයින් මේ පළමුවන ප්‍රස්ථානය හික්ම විය යුතු සත්ත්‍වයන්ට හිත පිණිස නො වන්නේ ය.

ත්‍රෛභූමක සංස්කාරයන්හි පවත්නා දෝෂය ආදීනවය යි. “ආදීනං අතිවිය කපණං වාති පවත්තතීති = ආදීනවො” කෘපණ මනුෂ්‍යයකු වැනි බැවින් ත්‍රෙභූමකසංකාර අනිත්‍යාදි ස්වභාව හෙයින් ආදීනව නම්. පංච උපාදානස්කන්‍ධයෝ අනිත්‍ය වෙත්. දුක් වෙත්. පෙරළෙන එක් හැටියෙන් නො පවතින ස්වභාවයෙන් යුක්ත වෙත්, පංච උපාදානස්කන්‍ධයන්හි වූ මේ අනිත්‍ය ස්වභාවය ආදීනව නම් වේ. “යං භික්ඛවෙ! පංචුපාදානක්ඛන්‍ධා අනිච්චා දුක්ඛා විපරිනාම ධම්මා, අයං පංචසු උපාදානක්ඛන්‍ධෙසු ආදීනවො?” යනු දේශනා ය.

ඒ මේ ආදීනව නම් වූ සංස්කාර ධර්‍මයන්හි වූ දෝෂය පමණක් ගෙණ කරණ දේශනාව ආදීනවපූර්‍වක දේශනා බැවින් එබඳු දේශනා මාත්‍රයෙකින් ශ්‍රාවකයන්ට සසරින් නික්ම යෑමෙහි අදහසෙක් නූපදනේ ය. ඒ ද හික්ම විය යුතු සත්ත්‍වයන්ට හිත පිණිස නො වන්නේ ය.

ආර්‍ය්‍ය මාර්‍ගය හෝ නිර්‍වාණය නිඃශරණය යි. “නිස්සරති එතෙනාති = නිස්සරණං, අරියමග්ගො නිස්සරතීති වා = නිස්සරණං, නිබ්බාණං” ආර්‍ය්‍යමාර්‍ග සංඛ්‍යාත නිඃශරණය, සතිපට්ඨානා දී වූ සත්තිස් බෝ පැකිදහම් වසයෙන් හා එහි ඇතුළත් කායානුපස්සනාදීන්ගේ වසයෙන් ද විභාගයට ගියේ ය. නිෂ්පර්‍ය්‍යය වශයෙන් භේදයක් නැතත් නිර්‍වාණ සංඛ්‍යාත නිඃශරණය, සෝපාදිසේස - අනුපාදිසේස භේදයෙන් හා ද්වාර ආරම්මණ - විඤ්ඤාණ - ඵස්ස - වේදනා - සඤ්ඤා - චේතනා - තණ්හා-විතක්ක - විචාර - ධාතු - කසිණායතන - අසුභ - ද්වත්තිංසාකාර - ඛන්‍ධ - ආයතන - අට්ඨාරසධාතු - තිභව - ඣාන - අප්පමඤ්ඤා - ආරුප්ප - ද්වාදසපටිච්ච සමුප්පාදඞ්ග යනාදී වූ සඞ්ඛතධර්‍මයන්ගේ නිඃශරණයෙන් විභාගයට යන්නේ ය.

සසරින් නිදහස් වීමට ඉවහල් වූ ආර්‍ය්‍යමාර්‍ගපුර්‍වක දේශනාව නිඃශරණපූර්‍වකදේශනා බැවින් එය සසරින් නික්ම යන්නට හිත පිණිස වන්නේ ය. 

ආස්වාද - ආදීනව දෙක පෙරටු කර ගත් දේශනාව ආස්වාදාදීනවපූර්‍වක බැවින් ඒ ද හික්මවිය යුත්තන් හික්මවීමට ප්‍රමාණ වත් නො වේ.

කාමයන්ගේ රස විඳ ගැණිම පළමු කොට කියා අනතුරුව එහි දොස් නො කියා මිදීම කියන දේශනාව ආස්වාද - නිඃශරණ දෙකින් පමණක් මිශ්‍ර වූ බැවින් සත්ත්‍වයන් හික්ම වන්නට ඒ ද නො සුදුසු ය. ආදීනව නො දැක්වීම නිඃශරණයට උපාය නො වන බැවිනි.

ආස්වාදය නො කියා ආදීනව - නිඃශරණ දෙක පමණක් වුවත් කීම හික්ම විය යුත්තන් හික්මවීමට ප්‍රමාණ බැවින් ආදීනව නිඃශරණ පූර්‍වක දේශනාව සාර්‍ත්‍ථක වේ.

කාමයන්හි රසවිඳුම එහි දෝෂය. ඉන් නික්මීම ගෙණ හැර දක්වන්නා වූ දේශනාව ආස්වදාදීනවනිඃශරණපුර්‍වක දේශනා ය. ඒ ද සත්ත්‍වයන්ට, හිත වේ.

මෙහි කොටින් කියු මේ පට්ඨානයන්ගේ වහළින් ධර්‍මාවබෝධය ලබන්නා වූ පුද්ගලයෝ ප්‍රධාන විසින් තිදෙනෙක් වෙත්. අප්‍රධාන විසින් එකෙක් වේ. උද්ඝටිතඥ - විපචිතඥ - ඥෙය්‍ය යන තිදෙන ප්‍රධාන වෙත්. පදපරම තෙමේ අප්‍රධාන වේ.

එහි යමක්හට උදෙසූ ඇසිල්ලෙහි ධර්‍මාවබෝධය වේ නම් හේ උද්ඝටිතඥ ය. මේ තෙමේ මෙහි තෙවන පට්ඨානයෙන් සසර ගැට බිඳ හැර, සසරින් නික්ම යයි. එහෙයින් මොහුට නිඃශරණදේශනාව ඒ පිණිස වන්නේ ය. “කතමොච පුගගලා උග්ඝටිතඤ්ඤු? යස්ස පුග්ගලස්ස සහ උදාහටවෙලාය ධම්මාභිසමයො හොති, අයං වුච්චති පුග්ගලො උග්ඝටිතඤ්ඤු” යනු එහි ආගමකථා ය. අර්‍ත්‍ථසමර්‍ත්‍ථනය මෙසේ වන්නේ ය. “ උග්ඝටිතං ඝටිතමත්තං උද්දිට්ඨමත්තං ජනාතීති = උග්ඝටිතඤ්ඤු, උග්ඝටිතං උච්චලිතං ජානාතීති = උග්ඝටිතඤ්ඤු, උග්ඝටිතො චලිතමත්තෙ ආසයෙ ධම්මං ජානාති අවබුජ්ඣතීති = උග්ඝටිතඤ්ඤු” යි.

යමක් හට සැකෙවින් කියූ දහම්, විස්තර විසින් බෙදා දක්වන කල්හි ධර්‍මාවබෝධය වේ නම් හේ විපචිතඥ ය. මෙ තෙමේ මෙහි සවන පට්ඨානයෙන් සසර ගැට බිඳ හැර සසරින් නික්ම යෙයි. එහෙයින් මොහුට ආදීනවනිඃශරණපුර්‍වක දේශනාව ඒ පිණිස වන්නේ ය. “කතමො ච පුග්ගලො විපචිතඤ්ඤු? යස්ස පුග්ගලස්ස සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්‍ථාරෙන අත්‍ථෙ විභජියමානෙ ධම්මාභිසමයො හොති, අයං වුච්චති පුග්ගලො විපචිතඤ්ඤු” යි එහි ආගමකථා ය. අර්‍ත්‍ථසමර්‍ත්‍ථනය මෙසේ දන්නේ ය. “විපඤ්චිතං විත්‍ථාරිතං නිද්දිට්ඨං ජානාතීති = විපචිතඤ්ඤු, විපඤ්චිතං වා මන්දං සණිකං ධම්මං ජානාතීති = විපචිතඤ්ඤු” යි.

යමක්හට උද්දෙස - පරිපුච්ඡා - යෝනිසෝමනසිකාර - කල්‍යණමිත්ත සේවන යනාදිය නිසා පිළිවෙළින් ධර්‍මාවබෝධය වේ නම්, හේ ඥය්‍ය ය. මෙ තෙමේ මෙහි සත්වන පට්ඨානයෙන් සසර ගැට බිඳ හැර සසරින් නික්ම යෙයි. එහෙයින් මොහුට ආස්වාද්දීනවනිඃශරණපූර්‍වක දේශනාව ඒ පිණිසවන්නේ ය. “කතමො ච පුග්ගලො නෙය්‍යො? යස්ස පුග්ගලස්ස උද්දෙසතො පරිපුච්ඡතො යොනිසො මනසිකරොතො කල්‍යාණමිත්තෙ සෙවතො භජතො පයිරුපාසතො අනුපුබෙබන ධම්මාභිසමයො හොති, අයං වුච්චති පුග්ගලො නෙය්‍යො” යනු එහි ආගමකථාය. අර්‍ත්‍ථසමර්‍ත්‍ථනය මෙසේ දන්නේ ය. “ නෙතබ්බො ධම්මස්ස පටිනිද්දෙසෙන අත්‍ථං පාපෙතබ්බොති = නෙය්‍යො” යි.

බණදහමට කොතෙක් කන් නතු කළ ද මෙලොව දී ආර්‍ය්‍යය මාර්‍ගය නො ලබනුයේ පදපරම ය. පදපරමයාගේ වශයෙන් පැවැති සංකිලේසභාගීය වූ හෝ වාසනාභාගීය වූ හෝ ඒ දෙපසෙහි වූ හෝ දේශනාවක් හෝ සූත්‍ර එකදේශයක් හෝ ගාථාවක් හෝ මේ කියූ නයක්‍රමයන්ට උදාහරණ වශයෙන් උපුටා දක්වා ද එකල්හි සත්වැදැරුම් පට්ඨානය ම ගැණුනේ වන්නේ ය. පදපරම, හුදු ආස්වාදපූර්‍වක දේශනාවෙන් ද සතුටු වෙයි. ඇතැම් විට ආදීනවපූර්‍වක දේශනාවෙන් ද සතුටු වෙයි. ආස්වාද-ආදීනවපූර්‍වක දේශනාවෙන් ද සතුටු වෙයි. ආස්වාද-නිඃශරණපූර්‍වක දේශනාව ද පදපරමයාගේ පැහැදීමට කරුණු වෙයි.

මැනැවින් පරමාර්‍ත්‍ථධර්‍ම විභාගය උගෙණ මේ කියූ සත්වැදෑරුම් පට්ඨානය ලෙසින් දහම් දෙසනුයේ නියම ධර්‍මදේශක තෙමේය. නියම ධර්‍ම දේශකයකු වීම නො පහසු ය. එහෙයින් බණ දෙසුම ද නො පහසු ය. “පරෙසං ඛො පන ආනන්ද! ධම්ම දෙසනා න සුකරා” යන බුද්ධ වචනයෙන් එය පැහැදිලි වේ.

නගරවර්‍ණනා රාජවර්‍ණනා සන්‍ධ්‍යාවර්‍ණනා ස්ත්‍රීවර්‍ණනා ආදිය කියන යන හැටි ඉඳින හැටි නිදන හැටි කන හැටි බොන හැටි බඳින හැටි ගේ හදන හැටි වතු වවන හැටි මුදල් සපයන හැටි කියන, දෙසන, දේශකයා නියම ධර්‍මදේශකයෙක් නො වේ. ඔහු සාමාන්‍ය කථිකයෙකි. දේශකයෙකි. ඔහුගෙන් පරමාර්‍ත්‍ථය පිළිබඳ කිසිවක් අසා ගත නො හැකි ය. ඔහු ඒ නො දනියි. ඔහු කියනුයේ දෙසනුයේ රටේ තොරතුරු ගමේ තොරතුරු ගෙදර තොරතුරු පවුලේ තොරතුරු ය. එහෙයින් නියම ධර්‍මදේශකයකු ලැබීම එදා ද අපහසු ය. අද එදාට ද වඩා අපහසු ය. එහෙයිනි වදාළෝ “කිච්ඡං සද්ධම්ම සවණං” යනු.

කිච්ඡො බුද්ධානං උප්පාදො = බුදුවරුන්ගේ ඉපැත්ම දුර්‍ලභ ය.

බුදුබව පිළිබඳ මුල් පැතුම, මනුෂ්‍යජාති ඇති පුරුෂයකු ව රහත්වීමෙහි හේතු ඇත්තකු ව බුදුවරයකු ඉදිරියෙහි සිට පැවිදි ව පංචාභිඥා අෂ්ට සමාපත්ති උපදවා ගෙණ බුදුනට දිවි පුදා බුදුබව ලැබීමෙහි ආශා ඇත්තකු ව සිට කළ යුතු ය. එක් අත්බවකදී ම මේ අටගුණයෙන් යුක්තවූවකු කරණ බුදුබව පැතුම ම සමෘද්ධ වන්නේ ය. මේ අටඟින් යුක්ත වූවහු විසිනුදු බුදු බව පැතීම මහත් උත්සාහයෙන් යෙදී කළ යුතු යි. මෙය පහසු නො වේ. කවදා නමුත් කිසිවකු නමුත් මේ අටඟින් යුක්ත ව මුල් පැතුම කළ ද ඉන් පසු බුදුබව පිණිස පිරිය යුතු වූ දස පෙරුම්දම් පිරුම පහසු නො වේ. ධර්‍ම විසින් ඒ නො පහසු ය. කාල විසින් ඒ නො පහසු ය. ධර්‍ම විසින් මහත් ය. කාල විසින් දීර්‍ඝ ය. මෙසේ නියත විවරණ ලැබූ මහාබෝධිසත්ත්‍වයකු ලැබීම කප් කෙළ සුවහස් ගණනකිනුත් නො සිදු වන බැවින් බුදුවරුන් ලෝ පහළ වීම ඉතා දුර්‍ලභය යි වදාළ සේක. “මහන්තෙන පන වායාමෙන අභිනීහාරස්ස සමිජ්ඣනතො සමිද්ධාභිනීහාරස්ස ච අනෙකෙහිපි කප්පකොටිසහස්සෙහි දුල්ලභුප්පාදතො බුද්ධානං උප්පාදොපි කිච්ඡොයෙව, අතිවියදුල්ලභො” යනු අටුවා ය.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි අසුසාරදහසක් ප්‍රාණීන්ට ධර්‍මාවබෝධය විය. නාරජ ද තිරිසන් ව නො සිටියේ එදා ම සෝවන් වන්නේ ය. නාගයෝ පිළිසිඳ ගැනීම සැවදැමීම නීදීම මෙවුන්දම් සෙවීම මැරීම යන පස්වැදැරුම් කරුණහිලා වෙහෙසෙත්. එහෙත් මෙතෙමේ මේ කරුණුවල වෙහෙසට නො පත්ව මාණවක වේශය ගෙණ හැසුරුනේ ය.

ඒරකපත්‍ර නාගරාජ වස්තුව නිමි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.