14-8 බොහෝ භික්‍ෂූන් එක්ව කළ කථාවක්

සුඛො බුද්ධානං උප්පාදො සුඛා සද්ධම්මදෙසනා

සුඛා සඞ්ඝස්ස සාමග්ගී සමග්ගානං තපො සුඛො.

සම්‍යක්සම්බුද්ධවරයන්ගේ ඉපැද්ම සුවයට කාරණ ය. සද්ධර්‍මදේශනාව ද සුවයට කාරණ ය. ඝඞ්ඝයා ගේ සමග බව ද (එක් සිත් බව ද) සුවයට කාරණ ය. සමග වූ භික්‍ෂූන් ගේ තපස ද (බුඞවචනය උගන්නට ද ධූතාංග පරිහරණයට ද මහණදම් රක්නට ද පිළිවන් හෙයින්) සුවට කාරණ ය.

එක් දවසක් පන් සියයක් පමණ භික්‍ෂුහු උවැටන්හලෙහි රැස් ව “ඇවැත්නි! මේ ලෝකයෙහි සැපය කුමක් දැ” යි කතාවක් ඉපදවුහ. එහි සමහරු “රජසැපය තරම් සැපයෙක් නැතැ” යි කීහ. සමහරු “කම් සැපය තරම් සැපයෙක් නැතැ” යි කීහ. මේ අතර එහි වැඩම කළ භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “මහණෙනි! තමුසේලා මා මෙහි එන්නට පෙරාතුව කුමක් ගැන කතා කරමින් හුන්නහු දැ?” යි අසා වදාළ සේක. ඔවුන් “ස්වාමිනි! අපි මේ ලෝකයෙහි ඇති සැපය කුමක් දැ යි කතා කරමින් හුන්නමෝ ය” යි කී කල්හි “මහණෙනි! තමුසේලා කුමක් කියහු ද? මේ තමුසේලා කියන හැම සැපයක් ම සසර දුකෙහි ගැලී සිටියේ ම ය, මේ ලෝකයෙහි ඇති සැපය නම් බුද්ධෝත්පාදය ධර්‍මශ්‍රවණය සඞ්ඝසාමග්‍රිය යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.

සුඛො බුද්ධානං උප්පාදො සුඛා සද්ධම්මදෙසනා

සුඛා සඞ්ඝස්ස සාමග්ගී සමග්ගානං තපො සුඛො ති.

බුදුවරුන්ගේ ඉපදීම සැපයි. සද්ධර්‍මදේශනා සැපයි. සඞ්ඝයාගේ සාමග්‍රිය සැප යි. සමග වූවන්ට තපස සැප යි.

සුඛො බුදධානං උප්පාදො = බුදුවරුන්ගේ උපත සැප ය.

මෙහි සුඛ ශබ්දය, සුඛො-සුඛා යි සිටියේ තිලිඟු බැවිනි. සුඛං යි නපුංසකලිඞ්ගයෙහි ද වේ. ලෝකයෙහි බුදුවරු උපදනාහු දුක්ඛිත සත්ත්‍වයන් ජාතිකාන්තරාදියෙන් එතෙර කොට නිවන් පුර පමුනුවා මුළුමනින් සුඛිතයන් කරණු සඳහා ය. එහෙයින් බුදුවරුන්ගේ ලොව ඉපැත්ම නිවන් සුවයට කරුණු වන බැවින් සැපය යි වදාළ සේක.

දෙවියන් සහිත ලෝකයට හිතයක් සිදු කළ හැකි ජීවිතයක් පිළියෙල වන්නට ගත වන කාලය කළයුතු වීර්‍ය්‍යය විඳියයුතු වෙහෙස හළ යුතු සැපත මෙ තරම් ය යි මොන ලෙසකිනුත් කියන්නට නො පිළිවන. ගුණයෙන් හා දැනුමෙන් පරම කොටියට නො පත් වූ ජීවිතයකට නියම විසින් ක්‍රමවත් සේවාවක් කළ නො හැකි ය. එහෙයින් මේ ජීවිතය දානයෙන් ශීලයෙන් නෛශ්ක්‍රම්‍යයෙන් ප්‍රඥායෙන් වීර්‍ය්‍යයෙන් ක්‍ෂාන්තියෙන් සත්‍යයෙන් අධිෂ්ඨානයෙන් මෛත්‍රියයෙන් උපේක්‍ෂායෙන් යන මේ මහත් ගුණයන්ගෙන් පශ්චිම කොටියෙන් කල්ප ලක්‍ෂයක් අධික කොට ඇති චතුරසඞ්ඛ්‍යයක් මුළුල්ලෙහි හැදී වැඩී යා යුතු ය. මෙ කියූ ගුණයගෙන් වැඩුනු ජීවිත අතුරෙහි එය අද්වීතීය විය යුතු ය. අසහාය විය යුතු ය. අප්‍රතිම විය යුතු ය. අප්‍රතිසම විය යුතු ය. අප්‍රතිභාග විය යුතු ය. අසම විය යුතු ය. අසමසම විය යුතු ය. අග්‍ර විය යුතු ය. මෙලෙසින් සකස් වූ ජීවිත ඇත්තෝ ම ලෝක සේවාවෙහි සමර්‍ත්‍ථ වේ. ඔවුහු නම් සම්මා සම්බුදුවරයෝ ය. උන්වහන්සේලාගේ උපත සැපය යි වදාළේ බුදුවරුන්ගේ ලොව පහළවීම නිසා මෙම ප්‍රඥාචක්‍ෂුසගේ ප්‍රඥාලෝකයාගේ ප්‍රඥාවභාසයාගේ සවැදෑරුම් අනුත්තරිය ධර්‍මයන්ගේ පහළවීම වන්නේ ද, සිවු පිළිසැඹියාවන්ගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම වන්නේ ද, අනේකධාතු නානා ධාතූන්ගේ ප්‍රතිවේධය වන්නේ ද, සෝවන් සෙදගැමි අනගැමි රහත් මගපලයන්ගේ සාක්‍ෂාත් කිරීම වන්නේ ද එහෙයිනි.

මෙසේ ගුණනුවණින් කුළුගැන්වුනු බුදුවරුන්ගේ උපත නිසා ම සත්ත්‍වලෝකය සසර දුකින් මිදී යන්නේ ය. නැත, නො ද මිදෙන්නේ ය. යම් ඉගැන්වීම් මගෙක අරිඅටඟිමග නො ඉගැන්වේ නම්, ඒ ඉගැන්වීම් මඟ සිස් ය. නිසරු ය. අර්‍ත්‍ථ රහිත ය. එය සත්ත්‍වයාගේ විමුක්තිය පිණිස පවතී යනු සත්‍ය නො වේ. එය අසත්‍යයෙකි. නො ද පිළිගත යුතු ය. අරිඅටඟිමග නො ලැබෙන ඉගැන්වීම් මඟකින් දුක - දුක් හට ගැණිම - දුක් සන්සිඳීම ගැන පිළිසමුපා ගැන දැනුමක් මොන ලෙසකිනුන් නො ලද හැකි ය. එකල්හි සත්ත්‍වවිමුක්තියෙක් නැත්තේ ය. සත්ත්‍වයාහට දුකෙන් මිදීමෙක් කවදාවත් නො ලැබෙන්නේය. දුකෙහි ම ගැලෙන්නේය. සසරින් මිදෙන එක් ම මග වූ ඒ මේ අරී අටඟි මග ඇති දහම්මග එලිපෙහෙලි වනුයේ බුදුවරුන්ගේ උපතින් ම ය. එහෙයින් බුදුවරුන්ගේ උපත සැපැයි දත යුතු ය. එහෙත් එය දුර්‍ලභ ය. “ඉමස්ස ඛො භික්ඛවෙ! එකපුග්ගලස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං” යනු එහිලා සාධක සූත්‍ර යි.

සුඛා සදධම්මදෙසනා = සද්ධර්‍මදේශනා සැප ය. [1]

සද්ධර්‍ම ශ්‍රවණයට පැමිණ දහම් අසා ධර්‍මය වූ පරිදී දිවි ගලවන සත්ත්‍වයෝ ජාති ජරාමරණාදි දුඃඛරාශියෙන් මිදෙත් ද, මෙසේ සද්ධර්‍මදේශනා, සැපයට කරුණු වන බැවින් සැපය යි වදාළ සේක. එහි සද්ධම්ම නම්:- බුදුරජානන් වහන්සේ විසින් සත්ත්‍වහිතානුකම්පායෙන් සංසාර විමුක්තිය පිණිස දේශනා කොට වදාළ ධර්‍ම සමූහය යි. ඒ සමූහය, ධර්‍මයට අනුව දව රෑ දෙක්හි ද්වාරාත්‍රයය හසුරු වන හැම සත්ත්‍වයන් සසර දුකෙහි, අපායයෙහි හෙන්නට නො දී දරා සිටුනා බැවින් ධර්‍ම නම් වී ය. ප්‍රථම තරඞ්ගයෙහි ‘සහිතං’ යනට කළ පරිකථාව බලනු. ඒ ම ශෝභන වූයේ පරම සත්පුරුෂ වූ බුදුරජුන් විසින් වදාරණ ලදුයේ සද්ධම්ම නමැ යි කියනු ලැබේ. “සොභනො ධම්මො = සද්ධම්මො, සතං වා බුද්ධාදි සප්පුරිසානං ධම්මො = සද්ධම්මො” යනු එහි ලා දත යුතු ය.

ඒ මේ සද්ධර්‍මදේශනාව සම්මුති-පරමාර්‍ත්‍ථ විසින් දෙ පරිදි ය. එහි අනිත්‍ය-දුඃඛ-අනාත්ම ලක්‍ෂණ නො දක්වා, ස්කන්‍ධ-ධාතු-ආයතන-සමෘතිප්‍රස්ථාන නො දෙසා, සත්ත්‍ව-පුද්ගල-ස්ත්‍රී-පුරුෂ-ක්‍ෂත්‍රිය-බ්‍රාහමණ-දේව-මාර-යක්‍ෂ-රාක්‍ෂස-නාග-සුපර්‍ණාදීන්ගේ වශයෙන් ලෝකය බෙදා විග්‍රහ කොට, ලෝකයාගේ ව්‍යවහාර විසින් කරණ දේශනා සම්මුති දේශනා ය. සත්ත්‍වපුද්ගලාදී වූ ලෝක ව්‍යවහාරය නො ගෙන, අනිත්‍ය ය, දුඃඛ ය, අනාත්ම ය, ස්කන්‍ධ ය, ධාතු ය, ආයතනය, සමෘතිප්‍රස්ථාන ය, යන ඈ විසින් පංචස්කන්‍ධ ය බෙදා විග්‍රහ කොට, ඇති තතු විසින් කරන දේශනා පරමාර්‍ත්‍ථ දේශනා ය. යම් කෙනෙක් ලෝක ව්‍යවහාර ගෙණ කරණ දේශනාව අසා අර්‍ත්‍ථප්‍රතිවේධය කොට මොහඳුරු නසා මගපල ලබන්නට පොහොසත් වෙත් ද, සම්මුතිදේශනාව ඔවුන් සඳහා ය. යම් කෙනෙක් පරමාර්‍ත්‍ථ විසින් කරණ දේශනාව අසා අර්‍ත්‍ථප්‍රතිවේධය කොට මොහඳුරු නසා මඟපල ලබන්නට පොහොසත් වෙත් ද පරමාර්‍ත්‍ථ දේශනාව ඔවුන් සඳහා වූ ය. ද්වාදශ තරඞ්ගයෙහි “අත්තානං චෙ පියං ජඤ්ඤා” යන්නට කළ පරිකථාව බලනු.

ධර්‍මාධිෂ්ඨාන ධර්‍මදේශනා - ධර්‍මාධිෂ්ඨාන පුද්ගලදේශනා - පුද්ගලාධිෂ්ඨාන පුද්ගලදේශනා - පුද්ගලාධිෂ්ඨාන ධර්‍මදේශනා යි ධර්‍ම - පුද්ගල වශයෙන් සද්ධර්‍මදේශනාව සිවු පරිදි වන්නී ය. එහි “නාහං භික්ඛවෙ! අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං භාවිතං කම්මනියං හොති, යථයිදං චිත්තං, චිත්තං භික්ඛවෙ! භාවිතං කම්මනියං හොති” යි මෙබඳු වූවා ධර්‍මාධිෂ්ඨාන ධර්‍මදේශනා ය. “අට්ඨානමෙතං භික්ඛවෙ! අනවකාසො යං දිටඨිසම්පන්නො, පුග්ගලො කඤ්චි සඞ්ඛාරං නිච්චතො උපගච්ඡෙය්‍ය නෙතං ඨානං විජ්ජති” යි මෙබඳු වුවා ධර්‍මාධිෂ්ඨාන පුද්ගලදේශනා ය. “එකපුග්ගලො භික්ඛවෙ! ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්‍ථාය හිතාය සුඛාය දේවමනුස්සානං” යි මෙබඳු වූවා පුද්ගලාධිෂ්ඨාන පුද්ගලදේශනා ය. “එකපුග්ගලස්ස භික්ඛවෙ! පාතුභාවා මහතො චක්ඛුස්ස පාතුභාවො හොති” යි මෙබඳු වූවා පුද්ගලාධිෂ්ඨාන ධර්‍මදේශනා ය.

එහි ධර්‍මය ප්‍රධානස්ථානය කොට තබා ධර්‍මාවබෝධය කරවීමට ධර්‍ම විසින් කරන දේශනා ධර්‍මාධිෂ්ඨාන ධර්‍මදේශනා නමු. ධර්‍මය ප්‍රධාන විසින් ගෙන එය පුද්ගලයා මතු පිට තබා කරණ දේශනා ධර්‍මාධිෂ්ඨාන පුද්ගලදේශනා නමු. පුද්ගලයා ප්‍රධාන විසින් ගෙණ පුද්ගලයාගේ වශයෙන් ම කරණ දේශනා පුද්ගලාධිෂ්ට්ඨාන පුද්ගලදේශනා නමු. පුද්ගලයා ප්‍රධාන කොට තබා ධර්‍මය විසින් කරණ දේශනා පුද්ගලාධිෂ්ඨාන ධර්‍මදේශනා නමු.

තව ද ආනුපූර්වීධර්‍මදේශනා - පර්‍ය්‍යායදර්ශිනීධර්‍මදේශනා - කරුණාපූර්‍වඞ්ගමධර්‍මදේශනා - ලාභානපේක්‍ෂිතධර්‍මදේශනා - අවිහිංසාපූර්‍වඞ්ගමධර්‍මදේශනා යනු විසිනුදු සද්ධර්‍මදේශනා පස් වැදෑරුම් ය. එහි දානයට අනතුරුව ශීලය, ශීලයට අනතුරුව ස්වර්‍ගය යන ඈ ලෙසින් වූවා ආනුපූර්වීදේශනා ය. ඒ ඒ අර්‍ත්‍ථය ගැණ, නුවණින් සලකා එයට හේතු උදාහරණ දී කරුණු දක්වමින් ආවා පර්‍ය්‍යායදර්ශිනීදේශනා ය. සසර දුකෙහි බැඳී සිටුනා සත්ත්‍වයන් දැක ඔවුන් එයින් මුදාලනු පිණිස වූවා කරුණාපූර්‍වඞ්ගමදේශනා ය. චීවරාදී වූ සිවුපසය ලබනු රිසියෙන් නො වූවා ලාභානපේක්‍ෂිත දේශනා ය. තමන් හුවා දැක්වීම, පරා හෙළා දැකීම ඈ විසින් තමන් හා අනුන් හා නො ද පෙළනු රිසියෙන් වූවා අවිහිංසාපූර්‍වගම දේශනා ය.

ශාසනිකධර්‍මදේශනාවන්හි ආදියෙහි ශීලය මද්ධ්‍යයෙහි මාර්‍ගය අවසානයෙහි නිවන පැවැසෙන්නේ ය. එසේ පැවැසෙනුයේ බුදුරජානන් වහන්සේගේ දහම් දෙසීම එසේ බැවිනි. මේ එයට සාධක:- “සො ධම්මං දෙසෙති ආදිකල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියොසාන කල්‍යාණං” යනු. ආදියෙහි ශීලය පැවැසෙන ධර්‍ම දේශනා ආදිකල්‍යණ ය. මද්ධ්‍යයෙහි මාර්‍ගය පැවැසෙන ධර්‍ම දේශනා මජ්ඣෙකල්‍යාණ ය. අවසානයෙහි නිවන පැවැසෙන ධර්‍ම දේශනා පරියොසානකල්‍යාණ ය. තව ද ශාසනයාගේ ආදි නම්, ශීල සමාධි විදර්‍ශනා ය. “කො චාදි කුසලානං ධම්මානං සීලං ච විසුද්ධං දිට්ඨි ච උජුකා” යනු සාධක යි. මද්ධ්‍යය නම්, ආර්‍ය්‍ය මාර්‍ගය යි. “අත්‍ථි භික්ඛවෙ! මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා” යනු සාධක යි. පර්‍ය්‍යයවසාන නම්, ඵලය හා නිවන ය. මෙය එයට, සාධක විසින් දන්නේ ය. “තස්මා තිහ ත්‍වං බ්‍රාහ්මණ! බ්‍රහ්මචරියං එතං සාරං එතං පරියොසානං” යනු. “ නිබ්බානොගධං හි ආවුසො විසාඛ! බ්‍රහ්මචරියං වුස්සති නිබ්බානපරායණං නිබ්බාන පරියොසානං” යන මෙයින් නිවන අවසානය යි කියන ලදි.

මෙසේ ම ශාසනිකදේශනා නම්, ස්ත්‍රීපුරුෂාදි වර්‍ණනා නිශ්ශ්‍රිත නො වූ සිවු සීවටන් ඈ ගැඹුරු දහම් ඇසුරු කොට සිටි දෙවියන් සහිත ලෝකයට හැමතකී වැඩ සහිත වූ ශිථිල-ධනිත-දීර්‍ඝ-ගරුක-ලහුක-නිග්ගහීත-සම්බන්‍ධ-ව්‍යවස්ථිත-විමුක්ත යන ව්‍යඤ්ජන නො නසා සමාන ව්‍යඤ්ජනයෙන් යුක්ත වූ සියල්ල නො අඩු වූ එසේ ම නො වැඩි වූ චීවරාදී වූ සිවුපසය ලැබීමෙහි ආශාවෙන් නො කිලිටි වූ ශීල-සමාධි-ප්‍රඥා යන ශික්‍ෂත්‍රය ගැබ් කොට සිටි දේශනා ය. “සාත්‍ථං සබ්‍යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙති” යන මෙයින් දක්වා වදාළේ බුදුරජානන් වහන්සේගේ ධර්‍ම දේශනා මෙ කී ගුණයන්ගෙන් පරිපූර්‍ණ ව සිටුනා බව ය. මෙහි ධර්‍ම දේශනා ක්‍රම මෙ මතු ම නො වේ. තව ද ඇත්තේ ය. පාය්‍යර්‍ත්‍ථකථාශ්‍රයයෙන් ඒ දත යුතු ය.

සුඛා සඞ්ඝස්ස සාමග්ගි = සඞ්ඝයාගේ සාමග්‍රිය සැප ය.

යම් හෙයකින් සඞ්ඝයාගේ සමඟි බව එක් සිත් ඇති බව දෙවියන් සහිත ලෝකයට හිත පිණිස සැප පිණිස වැටේ ද එහෙයින් සඞ්ඝයාගේ සමඟි බව සැප ය යි වදාළ සේක.

සඞ්ඝස්ස යන මෙහි සඞ්ඝ නම්, සසුන් පිළිවෙතෙහි ගොස් කෙලෙස් නසා සසරදුක් මුළුමනින් නසා සිටි උසස් පිරිස හා කෙලෙස් නසන්නට දිවි නො තකා පිළිවෙත් පුරන්නා වූ පිරිස ය. සඞ්ඝ යනු, දක්‍ෂිණාර්‍හ-සම්මුති විසින් ගැණෙන සඞ්ඝයා කෙරෙහි හෙන්නේ ද මෙහිලා නැගී සිටියේ ගිහි දහම් සිඳහැර සසුන් පැවිද්දෙන් පැවිදි ව සිවු පිරිසිදු සිල් පුරන්නා වූ දුහඟ රකින්නා වූ සම්මුතිසඞ්ඝ තෙමේ ය. මෙහි ත්‍රයොදශwතරඞ්ගයෙහි දානං යනු විස්තර කළ ධර්‍මකථාව බැලිය යුතු ය.

සාමග්ගි නම්, එක්වීම ය. එය සිතින් හා කයින් වන්නේ ය. උනුන්ගේ සිත් එකෙනෙකට අවිරුද්ධ ව පැවැත්ම එක් දෘෂ්ටියෙක පිහිටීම සිතින් වන එක්වීම ය. කායසාමග්‍රිදානයෙන් එක් සීමායෙක්හි සිටීම කයින් වන එක්වීම ය. “සමග්ගො නාම සඞ්ඝො සමානසංවාසකො සමානසීමයං ඨිතො” යනු විනයපදභාජනයෙහි ආයේ ය. සඞ්ඝසාමග්‍රී නම්, සඞ්ඝයාගේ එක්වීම වෙනසක් නැති බව සමවිනයකම් ඇති බව සමඋදෙසීම් ඇති බවැයි අර්‍ත්‍ථ කථායෙහි කියන ලදි. “සඞ්ඝසාමග්ගීති සඞ්ඝස්ස සමග්ග භාවො භෙදා භාවො එකකම්මතා එකුද්දෙසතා ච” යනු අර්‍ත්‍ථ කථාය.

උපාලි මහරහතුන් වහන්සේ :- කති නු ඛො භන්තෙ! සඞ්ඝසාමග්ගියො? ස්වාමීනි! සඞ්ඝසාමග්‍රීහු කෙතෙක් ද?

බුදුරජානන් වහන්සේ :- ද්වෙමා උපාලි! සඞ්ඝසාමග්ගියො. අත්‍ථුපාලි සඞ්ඝසාමග්ගි, අත්‍ථාපෙතා බ්‍යඤ්ජනුපෙතා. අත්‍ථුපාලි, සඞ්ඝසාමග්ගි අත්‍ථුපෙතා ච ව්‍යඤ්ජනුපෙතා ච.

කතමා ච සා උපාලි, සඞ්ඝසාමග්ගි අත්‍ථාපෙතා ව්‍යඤ්ජනූපෙතා? යස්මිං උපාලි, වත්‍ථුස්මිං හොති සඞ්ඝස්ස භණ්ඩනං කලහො විග්ගහො විවාදො සඞ්ඝභෙදො සඞ්ඝරාජි සඞ්ඝවවත්‍ථානං සඞ්ඝනානාකරණං, සඞ්ඝො තං වත්‍ථුං අවිනිච්ඡිනිත්‍වා අමූලා මූලං ගන්ත්‍වා සඞ්ඝසාමග්ගිං කරොති, අයං වුච්චති උපාලි, සඞ්ඝසාමග්ගි අත්‍ථාපෙතා ව්‍යඤ්ජනුපෙතා. කතමා ච සා උපාලි, සඞ්ඝසාමග්ගි අත්‍ථුපෙතා ච ව්‍යඤ්ජනුපෙතා ච? යස්මිං උපාලි, වත්‍ථුස්මිං හොති සඞ්ඝස්ස භණ්ඩනං කලහො විග්ගහො විවාදො සඞ්ඝභෙදො සඞ්ඝරාජි සඞ්ඝවවත්‍ථානං සඞ්ඝනානාකරණං, සඞ්ඝො තං වත්‍ථුං විනිච්ඡිනිත්‍වා මූලා මූලං ගන්ත්‍වා සඞ්ඝසාමග්ගිං කරොති, අයං වුච්චති, උපාලි! සඞ්ඝසාමග්ගි අත්‍ථුපෙතා ච ව්‍යඤ්ජනූපෙතා ච. = “උපාලි! සඞ්ඝසාමග්‍රි දෙකෙකි. උපාලි! අර්‍ත්‍ථයෙන් තොර වූ පදයෙන් යුකත වූත් සඞ්ඝසාමග්‍රියෙක් ඇත. උපාලි! අර්‍ත්‍ථයෙන් තොර වූ පදයෙන් යුක්ත වූ ඒ සඞ්ඝසාමග්‍රි කවරී ද? යත්: උපාලි! යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයෙක් කලහයෙක් විග්‍රහයෙක් විවාදයෙක් සඞ්ඝයාගේ බිඳීමෙක් සඞ්ඝයාගේ ඉරි තැලීමෙක් සඞ්ඝයාගේ වෙන් වීමෙක් සඞ්ඝයාගේ වෙනස් බවෙක් වේ ද, සඞ්ඝ තෙමේ ඒ වස්තුව විනිශ්චය නො කොට අමූලයෙන් මූලයට ගොස් සඞ්ඝසාමග්‍රිය කෙරේද, උපාලි! මේ අර්‍ත්‍ථයෙන් තොර වූ පදයෙන් යුක්ත වූ සඞ්ඝසාමග්‍රිය යි කියනු ලැබේ.

උපාලි! අර්‍ත්‍ථයෙන් නො තොර වූ පදයෙන් යුක්ත වූ ඒ සඞ්ඝසාමග්‍රිය කවරී ද? යත්: උපාලි! යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝසාමග්‍රිය කෙරේ ද, උපාලි! මේ අර්‍ත්‍ථයෙන් යුක්ත වූත් පදයෙන් යුක්ත වූත් සඞ්ඝසාමග්‍රිය යි කියනු ලැබේ”

අනතුරු ව උපාලි ස්ථවිරයන් වහන්සේ මෙය අසා උගෙණ හුනස්නෙන් නැගිට උතුරු සඟසිවුර එකස් කොට වැඳ සිය වෙහෙර බලා වැඩියහ. බුදුරජානන් වහන්සේ මෙසේ වදාළ සේක:- “එකධම්මො භික්ඛවෙ! ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය බහුනො ජනස්ස අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. කතමො එක ධම්මො? සඞ්ඝසාමග්ගි. සඞ්ඝෙ ඛො පන භික්ඛවෙ සමග්ගෙ න චෙව අඤ්ඤමඤ්ඤං භණ්ඩනානි හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරිභාසා හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරික්ඛෙපා හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරිච්චජනා හොන්ති. තත්‍ථ අප්පසන්නා චෙව පසීදන්ති, පසන්නානඤ්ච භිය්‍යොභාවො හොතීති” යනු. “මහණෙනි! ලෝකයෙහි සදේවලෝකයාහට හිත සැප පිණිස වැඩ පිණිස පවත්නා වු එක් ධර්‍මයෙක් ඇත්තේ ය, ඒ නම් සඞ්ඝසාමග්‍රිය යි, මහණෙනි! සඞ්ඝයා සමග වූ කල්හි කයින් හා සිතින් එක්ව බැඳී සිටි කල්හි උනුන් අතර කලහයෝ තර්‍ජනයෝ පිරිහෙළීම් අත්හැරීම් නො වන්නාහ, එහිලා නො පහන් වූවෝ පහදිත්, පහන් වූවන්ගේ පහන්බව වඩවඩාත් දියුණු වන්නේ ය” යනු ඒ සූත්‍රයෙහි ඉතා කෙටි අදහස ය.

සංඝයාගේ සමඟි බව සැපයට කරුණු ය. සමඟි වූවනට අනු බල දීම ද සුව එළවන්නේ වේ. සමඟි බවෙහි ඇලුනා වූ ධර්‍මයෙහි පිහිටි පුද්ගල තෙමේ නිවනින් නො පිරිහෙයි. සඞ්ඝයා සමඟි කොට කල්පයක් දෙව්ලොව සතුටු වේ, යි බුදුරජානන් වහන්සේ වදාළ සේක. මේ ඒ වදාළ සැටි:-

“සුඛා සඞ්ඝස්ස සාමග්ගි සමග්ගානඤ්ච අනුග්ගහො

සමග්ගරතො ධම්මට්ඨො යොගක්ඛෙමා න ධංසති

සඞ්ඝං සමග්ගං කත්‍වාන කප්පං සග්ගම්හි මොදතීති”

“එකධම්මො භික්ඛවෙ! ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති” යනාදීන් වදාළා වූ දේශනායෙහි ‘එකධම්මො’ යනු යෙදුනේ සඞ්ඝසාමග්‍රියෙන් උපදනා පුණ්‍යරාශිය දක්වනු සඳහා ය. සඞ්ඝසාමග්‍රිය වනාහි එක් කුශලධර්‍මයෙකි, එක් අනවද්‍යධර්‍මයෙකැ යි අටුවායෙහි කීයේ එහෙයිනි. “මේ ය ධර්‍ම ය, මේ ධර්‍මය නො වේ” යි යන ඈ විසින් සඞ්ඝයා අතර යම් විවාදයෙක් උපන්නේ නම් එහිලා විනය දන්නහු විසින් “සඞ්ඝයා අතර උපන් මේ විවාදය අනර්‍ත්‍ථකර ය, බිහිසුණු ය, ඉදිරියෙහි වැඩී ගියේ නම්, එය සඞ්ඝසාමග්‍රිය ඉරිතැලීමට සඞ්ඝයාගේ බිඳීයෑමට කරුණුය” යි සලකා තමාත් පක්‍ෂයක බැස සිටියේ නම්, ගිනිගත් අඟුරු රැසක් පාගන්නකු සේ වහා එයින් වැළකිය යුතු ය. මෙරමා විසිනුදු ගන්නා ලද එය, තමාට සන්සිඳවිය හැක්කේ නම්, එහිලා උත්සාහවත් ව ඉතා දුර බැහැර ගොසින් හෝ එය සන්සිඳවිය යුතු ය. තෙමේ ඒ පිණිස අපොහොසත් නම්, විවාදයත් වැඩේ නම්, එහි දී සුදුසු ප්‍රතිබලසම්පන්න වූ ශික්‍ෂාකාමී සබ්‍රහ්මචාරීන් වෙත ගොස් ඔවුන් උත්සාහවත් කරවා ධර්‍මවිනය ශාස්තෘශාසනය පරිදි ඔවුන් ලවා සන්සිඳවාලිය යුතු ය. මෙසේ මේ විවාදය සන්සිඳවීමෙන් සඞ්ඝයා සමග කිරීමෙහිලා විවාදය සසිඳවන්නහුගේ සිත්හි හට ගන්නා ධාර්මිකඋද්‍යෝගය මහත් කුසලයක් බැවින් එය ‘එකධම්මා’ යන මෙයින් දක්වා වදාළ සේක. මේ උද්‍යෝගය දෙපසට බෙදී ගිය භික්‍ෂූන්ට හා ඒ දෙපසට අනුව වැටෙන මෙහෙණ-උවසු-උවැසියනට ද එසේ උන් අරක් ගත් දෙව් බඹුන්ට ද වන්නට ගිය අහිතකර වූ දුක් එළවන ඒ අධර්‍මය වළකාලීම කුසල් රැස් වන්නට කරුණු බැවින් දෙවියන් සහිත ලෝකයට සැප එළවන්නේ වේ.

“යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ සමග්ගා සන්නිපතිස්සන්තී, සමග්ගා වුට්ඨහිස්සන්ති, සමග්ගා සඞ්ඝකරණීයානි කරිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි” මහා පරිනිබ්බාන සූත්‍රයෙහි ආ මේ ද සිත්හි දැරිය යුතු ය. “මහණෙනි! භික්‍ෂුහු යම් තාක් කල් සිතින් හා කයින් සමග ව රැස්වන්නාහු ද, සිතින් හා කයින් සමග ව නැගී සිටින්නාහු ද, සිතින් හා කයින් සමග ව සඞ්ඝකර්‍ම කරන්නාහු ද, මහණෙනි! මෙසේ පවත්නා තාක් භික්‍ෂූන්ට වැඩීමක් ම මුත් පිරිහීමෙක් නම් නො වන්නේ ම ය” යනු එහි කෙටි අදහස ය.

සෑ පිළිදැගුම් කරණු පිණිස හෝ බෝගෙය, පොහොයගෙය වසා පිළියෙල කරනු පිණිස හෝ කතිකාවක් නියම කරගණු කැමැත්තෙන් හෝ අවවාද දෙනු කැමැත්තෙන් හෝ රැස් වන්නට ගෙඩිය ගැසූ කල, කිසිත් නො බැණ අන් හැම වැඩක් බහා තබා සියල්ලට පළමු මම රැස්වීමට යමි යි එක්වරට ම නැගී සිටිත් නම්, ඔවුහු ය සමග ව රැස්වෙන්නාහු.

මෙසේ රැස් වූවෝ සිතා මතා කතා කොට කළ යුතු දැය කොට එක්ව ම නො නැගී සිටින්නෝ නම්, ඔවුහු සමගව නැගී සිටින්නෝ නො වෙත්. තව ද “අසුවල් තැන වෙදහෙදකම් කරණ නැකැත් කියන බලි බිලි දෙන බලිහුනියම් කරණ දෙවොල් නටන දෙවියන් පුදන පඬුරු බඳින ගිහින් අයත් මෙහෙවර කරණ පවිටු මහණෝ සසුන වනසත්, දහම් නො දහම් කරත්, විනය අවිනය කරත්, අඹුදරුවන් රකිත්, කවරෙක් එහි ගොස් ඔවුනට නිග්‍රහ කරන්නේ දැ” යි විචාළ කල්හි “මම යමි, මම යමි” යි යම් කෙනෙක් යන්නට නැගී සිටිත් නම්, ඔවුහු ය සමගව නැගී සිටින්නාහු.

ආගන්තුකයකු දැක “මේ පිරිවෙණට යව, අර පිරිවෙණට යව, අපි කවුරු වෙමු දැ” යි නො බැණ ඒ ආගන්තුකයා පිළිබඳ වත් කරන්නෝ ද, දිරාගිය පාසිවුරු දරන්නකු දැක ඔහු පිණිස පා සිවුරු සොයන්නෝ ද, ගිලන්හට ගිලන් බෙහෙත් පිරිකර සපයන්නෝ ද ඉතා බැගෑපත් කිසි ද පිහිටක් නැති ගිලනකු දැක “අසුවල් පිරිවෙණට යව, අසුවල් පිරිවෙණට යව” යි නො කියා තමන්ගේ පිරිවෙණට කැඳවා ගෙන ගොස් පිරිදැගුම් කරන්නෝ ද, ඉගෙණීමෙහි පසුබස්නා දුර්‍වලයකු දැක වහා නුවණැති ඇදුරකු සංග්‍රහ කොට ඔහු වෙත පමුණුවා ඔහු ලවා ඔහුගේ දැනුම ඔසොවා තබන්නෝ ද, උපසම්පදා පරිවාස මානත්ත අබ්භානාදි සඞ්ඝකර්‍ම කරන්නෝ ද සමග ව එක් ව බැඳී සිට සඞ්ඝකෙමී කරන්නෝ වෙත්.

මෙසේ සඞ්ඝසාමග්‍රියෙහි පැවැත්මට හැම තැන සමග ව රැස් වීම සමග ව නැගී සිටීම සමගව සඞ්ඝකර්‍ම කිරීම යන මෙ තුණ ප්‍රධාන විසින් ගත යුත්තේ ය.

පාරිලෙය්‍යක වනයට වඩින ගමනේදී අරලියගස්වනයට වැඩි,

බුදුරජානන් වහන්සේ

:-

අනුරුද්ධයෙනි! කිම ඉවසිය හැකි ද? කිම දිවි ගැලවිය හැකි ද? කිම පිණ්ඩපාතයෙන් වෙහෙස නැත්තහු ද?

අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ

:-

නැත, පින්වතුන් වහන්ස! ඉවසිය හැකියි. දිවි යැවිය හැකියි. පිණ්ඩපාතයෙන් වෙහෙසෙක් නැත.

බුදුරජානන් වහන්සේ

:-

කොහොම ද? අනුරුද්ධයෙනි! එක්සිත් ඇති ව සතුටු ව වාද විවාද නැති ව තමුසේලා කිරි හා දිය එක් වූවා සේ උනුන් දෙස ප්‍රිය ඇසින් බලන්නහු ද?

අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ

:-

ස්වාමීනි! එසේ ය, අපි සමග ව සතුටු ව වාද විවාද නැති ව එක් වූ කිරි හා දිය සේ නො වෙනස් ව උනුන් දෙස දිය ඇසින් බලමින් වසන්නෙමු.

බුදුරජානන් වහන්සේ

:-

අනුරුද්ධයෙනි! තමුසේලා කෙසේ සමගවහු ද?

අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ

:-

ස්වාමීනි! මෙහි මෙබඳු හොඳ සබ්රම්සරුන් හා එක් ව වසන්නට ලැබීම අප හැමට මහත් ලාභයෙකැ යි අපට නිතර සිහි වන්නේ ය. එසේ සිහිවත් ම අපි ඉතා හොඳින් එක්සත් ව වසන්නෙමු. ස්වාමීනි! මේ ආයුෂ්මතුන් වහන්සේලා කෙරෙහි මාගේ මෛත්‍රී සහගත කායවාඞ්මනස්කර්‍ම ප්‍රකට ව ද අප්‍රකටව ද එළැඹ සිටියේ ය. එකල්හි ස්වාමීනි! මාගේ සිත මේ ආයුෂ්මතුන් වහන්සේලාගේ සිතට යටත් කොට උන්වහන්සේලාගේ සිතට අනුකූල ව පවත්වන්නේ නම්, මැනැවැ යි මට අදහස් වේ. එකල්හි මම මාගේ සිත උන්වහන්සේගේ සිතට යටත් කොට උවූහන්සේගේ සිතට එකඟ ව පවත්වන්නෙමි. ස්වාමීනි! අපගේ ශරීරයෝ ම වෙන් ව පවතිත්. සිරුරුවලින් ම පමණක් අපි වෙන් ව සිටුම්හ. අපට ඇත්තේ එක් සිතෙක් ම ය. සිතෙන් වෙනස් බවෙක් අපට නැත්තේ ය.

බුදුරජානන් වහන්සේ

:-

නන්‍දිය! නන්‍දියගේ අදහස කෙසේ ද? නන්‍දිය මෙහි කුමක් කියන්නේ ද?

නන්‍දිය ස්ථවිරයන් වහන්සේ

:-

ස්වාමීනි! මෙහිලා මාගේ අදහසෙහි වෙනස් බවෙක් නැත. අප කාගේත් අදහස එකෙක්ම ය. අපට වෙන් වෙන් වූ සිත් නැත. වෙන් වෙන් වූ අදහස් නැත. අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ යම් සේ කියූ නම් මා කියන්නේත් එසේ ය.

බුදුරජානන් වහන්සේ

:-

කිම්බිල! කොහොම ද, මේ දෙනමගේ අදහසට කිම්බිලත් එකඟ ද?

කිම්බිල ස්ථවිරයන් වහන්සේ

:-

එසේය, තිලෝගුරු හිමියෙනි! අපගේ අදහස් වල වෙනසක් නැත්තේ ය. පැවැතුම්වල වෙනසක් නැත්තේ ය.

බුදුරජානන් වහන්සේ

:-

හොඳයි! හොඳයි! අනුරුද්ධයෙනි! අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව හළ ආත්මාලය ඇති ව වසහු ද තමුසේලා?

අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ

:-

ස්වාමීනි! අපි එකාන්තයෙන් අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව හළ ආත්මාලය ඇති ව වසන්නෙමු.

බුදුරජානන් වහන්සේ

:-

හොඳයි! අනුරුද්ධයෙනි! කෙසේ නම් තමුසේලා අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව හළ ආත්මාලය ඇති ව වසහු ද?

අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ

:-

ස්වාමීනී! මෙහි අප අතර යමෙක් පළමු කොට ගමින් පිඬු සිඟා ගෙණ ආයේ නම්, හෙතෙමේ අසුන් පණවා පැන් බඳුන හා පිරිබෝදිය බඳුන එළවා තබා ඉඳුල් ලන බඳුන ගෙණවුත් තබයි. යමෙක් පසුව ගමින් පිඬු සිඟාගෙණ ආයේ නම්, හෙතෙමේ වළඳා ඉතිරි වූ දැය කැමැති නම් වළඳයි. නො කැමැති නම් තණ නැති බිමක හෝ බහයි. නැත, සතුන් නැති දියෙහි හෝ පාකොට හරියි. යමෙක් පැන් කළය, පිරිබෝදිය කළය, වැසිකිළිදිය කළය සිස්වූවන් දකියි ද හෙතෙමේ ඒ හැම එකක් දියෙන් පුරවා එළවා තබයි. ඔහුට එය එකලා ව කළ නො හැක්ක් නම් හස්ත සංඥායෙන් දෙවැන්නකු ගෙන්වා ගෙණ අත් විලඟුයෙන් ගෙණ එළවා තබයි. ඒ නිසා කිසි කතාබහෙක් අප අතර නැත. ස්වාමීනි! අපි පස් දවසකට වරක් එක්තැන් ව මුළු රෑම දැහැමි බණකතා කියමින් හිඳින්නෙමු. ස්වාමීනි! අපි මෙසේ අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව හළ ආත්මාලය ඇති ව වසන්නෙමු.

බුදුරජානන් වහන්සේ

:-

මැනැවි. මැනැවි. අනුරුද්ධයෙනි! යයි වදාළ සේක.

සමග ව එක්සිත් වන්නට පිළිපැදිය යුත්තේ කෙසේ ද, යනු මෙයින් පැහැදිලි වන්නේ ය. සඞ්ඝසාමග්‍රිය සංඝයාගේ පහසුව පිණිස සසුනෙහි කල් පැවැත්ම පිණිස නිවන් පසක් කරණු පිණිස උපකාර වන්නා සේ මහණ-මෙහෙණ උවසු උවැසියන්ගේ හා දෙව් බඹුන් ඈ හැම කෙනෙකුගේ එලොව මෙලොව දියුණුව පිණිස එලොව මෙලොව සැප විහරණය පිණිස වන්නේ යනු දතයුතු ය.

සමග්ගානං තපො සුඛො = සමග වූවන්ට තපස සැප ය. [2]

විශේෂ විසින් භික්‍ෂූන් වහන්සේගේ සමග බව බුදුවදන් උගෙණීමට ධූතඞ්ගපරිහරණයට මහණ දහම් පුරනට ප්‍රබල හේතු බැවින් සමගවූවන්ට තපස සැපැයි වදාළ සේක.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ භික්‍ෂුහු රහත්බැව්හි පිහිටියාහු ය. දේශනා තොමෝ මහාජනයාට වැඩ සහිත වූ ය.

භික්‍ෂුවස්තුව නිමි.

  1. 14-3 ‘කිච්ඡං සද්ධම්මසවණං’ යනු බලනු.

  2. 14-3 ‘තපො නිතික්ඛා’ යනු බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.